අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය. ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීම්වලින් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 18 ක් තුවාල ලැබූහ.
මියගිය පිරිස් අතරේ ඉන්දීය සංචාරකයන් 25 දෙනකු සහ එක් නේපාල ජාතික සංචාරකයෙක් සිටින බව දැනගන්න ලැබුණි. ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් තිදෙනකු හඳුනා ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත් වුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී දුන්නේ, ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුට සමාව නොදෙන බවත්, අවසානය තෙක් ඔවුන් හඹා ගොස් විනාශ කර දමන බවත්ය.
කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් පවතින්නේ එහි අයිතිය වෙනුවෙනි. 1947 දී ඉන්දියාව දෙකඩ කර, මුස්ලිම්වරුන් වෙනුවෙන් පාකිස්තානය යනුවෙන් වෙනම රාජ්‍යයක් බිහි කළේ බ්‍රිතාන්‍ය පාලකයන්ය. කාශ්මීරය දෙකඩ වූයේ එය ඉන්දියාවටත් පාකිස්තානයටත් අයිති වෙමිනි. මෙය පාකිස්තානයේ දැඩි විරෝධයට හේතුවිය. කාශ්මීරය මුල්කොට ගනිමින් 1947 දී, 1965 දී, 1971 දී සහ 1999 දී ප්‍රධාන යුද්ධ කීපයක් හටගත්තේය. ඊට අමතරව, 2019 දක්වා විටින් විට දේශසීමා අවි ගැටුම් පැවැතිණි. ත්‍රස්ත ප්‍රහාර සිදුවිය. පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මෙම නවතම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ද ඉන්දු පාකිස්තාන ගැටුමක් ගැන බියක් හටගෙන ඇත්තේ මේ නිසාය.
ඊයේ (25) උදෑසන වාර්තා වූයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ (ජම්මු කාශ්මීර් පාලන රේඛාව) ඉන්දීය හමුදා මුරපොළ කීපයකට පාකිස්තාන හමුදා වෙඩි තැබීම් කළ බවය. පාකිස්තාන හමුදා සෙබළුන් කළ වෙඩි තැබීම්වලින්, ඉන්දීය දේශසීමා සෙබළුන්ට අනතුරක් සිදු නොවිණි. පාකිස්තාන සෙබළුන් එල්ල කළ වෙඩි ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය සෙබළුන් පෙරළා වෙඩි තැබූ බවත්, එයින් ද පාකිස්තාන සෙබළුන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් පැවැසිණි.
කාශ්මීර බෙදුම්වාදී ත්‍රස්තයන්, කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ පවතින විරසකය ඒ අනුව ඔඩුදුවන්න වූ අතර, ‘සාර්ක් වීසා’ යටතේ ඉන්දියාවේ සිටින පාකිස්තානුවන්ට ඉන්දියාවෙන් පිටවීමට පැය 48 ක් ලබා දීම සිදුවිය. දේශසීමා වසා දැමීමත් සමඟ ඉන්දියාව සහ පාකිස්තානය ජලය බෙදා ගත් ‘ඉන්දුස් ජල ගිවිසුම’ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළේය.
‘ඉන්දුස් ජල ගිවිසුම’ යනු ඉන්දු නදිය සහ එහි අතු ගංගාවල ජලය භාවිතය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති කරගත් ජල බෙදාහැරීමේ ගිවිසුමය. ලෝක බැංකුවේ මැදිහත්වීමෙන් සකස් කරන ලද මෙම ගිවිසුම, 1960 සැප්තැම්බර් 19 වැනි දින එවකට ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු සහ එවකට පාකිස්තාන් ජනාධිපති ෆීල්ඩ් මාර්ෂල් අයියුබ් ඛාන් විසින් කරච්චි නුවරදී අත්සන් කරන ලදී. මෙම ගිවිසුම යටතේ නැගෙනහිර ගංගා තුනෙහි එනම් බියාස්, රාවි සහ සට්ලෙජ් යන ගංගාවල පාලනය ඉන්දියාවට හිමිවන අතර බටහිර ගංගා තුනෙහි එනම් ඉන්දු, චෙනාබ් සහ ජෙලම් පාලනය පාකිස්තානයට හිමිවෙයි. ඉන්දියාවට ඉන්දු නදී පද්ධතියේ පිහිටා ඇති මුළු ජලයෙන් සියයට 30 ක් පමණ ලැබෙන අතර ඉතිරි සියයට 70 පාකිස්තානයට ලැබේ. පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරය මුල්කොට ගනිමින්, ‘ඉන්දුස් ජල ගිවිසුම’ අත්හිටුවීමට ඉන්දියාව ගත් තීරණය, තමන් සමග යුද ප්‍රකාශ කිරීමක් යැයි පාකිස්තානය චෝදනා නගා ඇත.
ජල ගිවිසුම නතර කිරීමෙන් පසු පාකිස්තානයේ සිටින ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදා නිලධාරීන් වහා කැඳවීමට ද ඉන්දීය රජය පියවර ගත්තේය. ඊට අමතරව, ඉන්දියාවට අයත් හෝ ඉන්දියාවෙන් ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තාන ගුවන් සීමාව වසා දැමුණි. පාකිස්තානය හරහා ඕනෑම තෙවැනි රටකට සහ ඉන් පිටතට ඉන්දියාව සමග සියලු වෙළෙඳාම අත්හිටුවිණි.
පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයක් ලෙස සැලෙකන ‘ලෂ්කාර් ඊ තයිබා’ සංවිධානයට සහාය දක්වන ‘ප්‍රතිරෝධක පෙරමුණ’ හෙවත් ‘ටී.ආර්.එෆ්’ සංවිධානය විසින් බාර ගනු ලැබ ඇත. පාකිස්තාන රජයේ මෙන්ම එරට ‘අයි.එස්.’ බුද්ධි අංශයේත් සහාය‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයට හිමිවන බව ඉන්දීය බුද්ධි අංශ පමණක් නොව, ඇමෙරිකන් බුද්ධි අංශ ද තහවුරු කර ඇත.
ඒ අනුව, පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්.’ බුද්ධි අංශය සිටිනවා යැයි ඉන්දියාව එල්ල කරන චෝදනා අසත්‍ය බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත. ඉන්දියාව එසේ චෝදනා කරන්නේ නම්, සාක්ෂි සහිතව එය ඔප්පු කළ යුතු යැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත. ඉන්දියාවට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර රැසක් අනුගමනය කිරීමට ද පාකිස්තාන රජය සූදානම් වෙයි.
දශක ගණනකට පසු කාශ්මීර බෙදුම්වාදීන් එල්ල කළ දරුණුම ප්‍රහාරය ලෙස පහල්ගම් ප්‍රහාරය සැලකෙයි. එපමණක් නොව, ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ දරුණුම ප්‍රහාරය ද මෙයයි. ඉන්දු කාශ්මීරයේ පහල්ගම් නගරයේ බයිසරන් තණ පිටිය, වනාන්තරයකට මායිම් වුණු සුන්දර ස්ථානයක් වන අතර, පසුගිය 22 වැනිදා දහවල් වෙඩි ප්‍රහාරය එල්ල වූයේ, එම තණ පිට්ටනියේ සිටි සංචාරකයන් ඉලක්ක කර ගනිමිනි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් පසුව රෝහල්වලට රැගෙන යෑම සිදුවූයේ හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගනිමිනි.
වෙඩි තැබීම සිදුවෙද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිටියේ සෞදියේ සල්මාන් කුමරුන් සමඟය. ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගනිමින්, මෝදි සහ සල්මාන් කුමරු අතරේ ගිවිසුම් රැසකට අත්සන් තැබුණි. කෙසේ නමුත්, ත්‍රස්ත ප්‍රහාරය සැළවුණු සැණින් මෝදි, සල්මාන් කුමරුන් පිළියෙළ කළ රාත්‍රීභෝජන සංග්‍රහය අමතක කර, ආපසු නවදිල්ලිය බලා පැමිණියේය. මෝදි ආපසු එන අතරතුරේ, ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා කාශ්මීරයේ ශ්‍රීනගර් බලා ගියේ සිදුවූයේ හමුදා ප්‍රධානීන් හමුවෙමින් කුමක්දැයි සොයා බැලීමටය. මේ අතර, ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ද ඊයේ (25) ශ්‍රී නගර් බලා යෑමට නියමිතව සිටියේය.
(*** ලුසිත ජයමාන්න - එන්.ඩී.ටීවී. ඇසුරිනි)
අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා
මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්
කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද
මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු