IMG-LOGO

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා


ගලන ගඟකි ජීවිතේ

මෙරට සංගීතයෙහි අමරණීය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජීවන මංතලාවේ ඔහුට හමුවූ විවිධ චරිත සොයා යෑමේ දී අමරදේවයන්ගේ නිර්මාණාවලියට ඔවුන්ගෙන් ලැබුණු බලපෑම හා දායකත්වය කෙසේද යන්නත් එම නිර්මාණ බිහිවීමේ පසුබිමෙහි ඇති රසවත් හා වැදගත් තොරතුරු කවරේද යන්නත් මනා සේ දැන කියාගත හැකිය. අමරදේවයන්ට හමුවූ එබදු සොඳුරු චරිත පිළිබද මතකාවර්ජනයක යෙදෙමින් අමරදේවයන්ගේ පුත් රන්ජන අමරදේවයන් “අමර මතක”‍ නමින් අගනා සාකච්ඡා මාලාවක් ආරම්භ කළේය.

ඒ සාකච්ඡා අතර ඉතා රසවත් හා වැදගත් එකක් වූයේ උදය මානවසිංහයන් සමග රන්ජන අමරදේවයන් කළ කතාබහයි. පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතර පැවැති සබඳතාවත් එයින් බිහිවූ අමරණීය නිර්මාණාවලියත් කවරාකාරදැයි උදය හා රන්ජනගේ මෙම සාකාච්ඡාවෙන් මනාව හෙළිදරව් වේ. මතු දැක්වෙන්නේ එම සාකච්ඡාව ඇසුරෙන් සැකසුණු ලිපියකි.

රන්ජන: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ මගේ පියා අතර තිබුණ සබඳතාව ඉතා වැදගත් එකක්. මානවසිංහයන් අමරදේව කලා දිවියට ආලෝකයක් වූ විශිෂ්ට චරිතයකැයි බල කණුවකැයි කියන්න පුළුවන්. අපි මේ මතකය අවදි කරන්නෙ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පුත්‍රරත්නය වන උදය මානවසිංහයන් සමගින්. ඔහු ප්‍රකට පුවත්පත් කලාවේදියෙක් වගේම ගීත රචකයෙක්. කලාව සංගීතය නිසා ඔබේ පියාත් මගේ පියාත් අතර මනා සබඳතාවක් ගොඩනැගුණා. ඒ ඇසුරින් බොහෝ නිර්මාණ බිහිවුණා. ඒ ගැන මතකය අපි අවදි කරමු.

උදය: මගේ තාත්තා බොහොම කාර්යබහුල කෙනෙක්. ඔහු බොහෝ ක්ෂේත්‍රවල දස්කම් දැක්වුවා. එතුමාගේ වෘත්තීය ජීවිතේ ගෙවුණෙ පුවත්පත් කලාවත් එක්ක. ඔහු වැඩ කළේ ලංකාදීප පුවත්පතේ. පුවත්පත් කලාව නිදහසක් තියෙන රැකියාවක් නොවෙයි. ඒත් ඒ අතර කාලයේ තමයි ඔහු කලා නිර්මාණවල යෙදුණෙ. මම දැකලා තියෙනවා ඔහු බොහෝ දවස්වල මහ පාන්දර කුප්පි ලාම්පුවකුත් පත්තු කරගෙන ටීපෝ එක උඩ කොළ ටිකකුත් තියාගෙන ලියනවා. තාත්තා ගෙදර ඉන්නෙ බොහොම කලාතුරකින්. දවල් දොළහට විතර වැඩට ගිහින් රාජකාරි ඉවරවෙලා ආපසු ගෙදර එනවිට රෑ දොළහ විතර වෙනවා. තාත්තා ගෙදර ඉන්න වෙලාවට පවුලෙ අයත් එක්ක බොහොම සතුටින් ඉන්නවා.

රන්ජන. මට මතකයි අපි පොඩි කාලෙ තාත්තාත් එක්ක නිතරම මේ ගෙදරට ආවා ගියා. අනිත් එක අපි හරි කැමතියි මෙහෙ එන්න. ගෙදර වගේම වත්ත පිටියෙත් හොඳට ඉඩකඩ තියෙන නිසා අපිට මෙහෙදි හිතේ හැටියට සෙල්ලම් කරන්න ලැබෙනවා.

උදය: ඔව්. අමරදේව මහත්තයා නිතර අපේ ගෙදර ආවා ගියා. විවිධ නිර්මාණ ගැන තාත්තත් එක්ක ගොඩක් දේ කතා කළා. සමහර නිර්මාණ කළේ මෙහෙදි. අමරදේව මහත්තයා තාත්තා මුලින්ම අඳුනගත්තෙ අපේ මාමා කෙනකුගේ මාර්ගයෙන්. අපේ තාත්තයි රන්ජනගෙ තාත්තයි මුලින්ම නිර්මාණයකදි හමුවුණේ දුගී හඬ කියන නාට්‍යයේදි. මේක කළේ ඒ කාලෙ සමසමාජ මන්ත්‍රීවරයකු හැටියට කටයුතු කරපු හෙන්‍්රි පීරිස්. සම සමාජ දර්ශනය තමයි ඒ නාට්‍යයේ තේමාව වුණේ. අමරදේව මාස්ටර් එතකොට ඇල්බට් පෙරේරා නමින් හිටියේ. ඔහු තමයි මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කළේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ඒ කියන්නෙ අපේ තාත්තා තමයි මේකෙ ගීත ලිව්වෙ. දෙන්නා නිර්මාණයකදී මුණගැසුණු මුල්ම අවස්ථාව මේක. අනිත් විශේෂ හේතුව අපේ අම්මයි රන්ජනගෙ අම්මයි දෙන්නම මේ නාට්‍යයේ රඟපෑවා.

රන්ජන: එහෙනම් මේ නිර්මාණය හැම අතකින්ම විශේෂ එකක්. තාත්තා ඉන්දියාවෙ යන්නත් අමරදේව නම භාවිත කරන්නත් කලින් තමයි මේ නාට්‍යයට දායක වෙන්නෙ. මම දන්න විදියට අපේ තාත්තට ඉන්දියාවට යන්න ශිෂ්‍යත්වයක් ඇති කිරීමේ කාරණයේ දී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් බොහෝ සේ කැප වුණා. මම අහල තියෙන විදියට රජයේ ශිෂ්‍යත්වයකින් යන්න ලැබුණේ නෑ.

උදය: රජයේ ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප වුණා. මොකද ඒ කාලෙ බටහිර සංගීතය පැත්තට තමයි රජයේත් වැඩිපුර නැඹුරුවක් තිබුණේ. බටහිර සංගීතය ඉගෙන ගන්න අයට ශිෂ්‍යත්ව ලැබෙනවා. ඒත් පෙරදිග සංගීතය ඉගෙන ගන්න අයට ඒ කාලෙ එහෙම ක්‍රමයක් තිබුණෙ නෑ.

රන්ජන: කොහොමත් ඒ ශිෂ්‍යත්වය ඇතිකරලා ඒ ගැන පණිවුඩය ජනතාව අතරට අරගෙන යන්න මානවසිංහ මහත්තයා ලොකු දායකත්වයක් දැක්වූ බව මම අහල තියෙනවා.

උදය: ප්‍රේමකුමාර එපිටවල මහත්තය සැළලිහිණි සංදේශය ඇසුරින් ඒ කාලෙ මුද්‍රා නාට්‍යයක් කළා. ඒකෙ කවි ගායනා කළේ ඇල්බට් පෙරේරා. ඒ කියන්නෙ පස්සෙ කාලෙ අමරදේව. ඔහු ඒකෙ හරිම ලස්සනට කවි කිව්වා. මේ කවි අහපු ඩී.බී. ධනපාල මහත්තයයි එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයයි වශී වුණා. එයාල කිව්ව මෙයා ඉගෙනීමක් නැතිව මෙහෙම ගායනා කරනවා නම් උගන්නලා ගෙනාවොත් කොහොම හිටියිද කියලා. ඒ අනුවයි සරච්චන්ද්‍ර මහත්තයයි ධනපාල මහත්තයයි මූලික වෙලා ශිෂ්‍යත්වයක් පිහිටුවන්න කතා කළේ. ඒ කාලෙ ලංකාදීපෙ ප්‍රධාන ලේඛකයා වුණේ අපේ තාත්තා. තාත්තා මේ ශිෂ්‍යත්වය ගැනත් අමරදේව ගැනත් අවස්ථා කීපයකදිම වගතුග තීරුවේ ලිව්වා.

ඉස්සර සතියකට සැරයක්වත් අමරදේව මාස්ටර් අපේ ගෙදර එනවා. මේක අසපුවක් වගේ තැනක් කියලා තමයි අමරදේවයන් නිතරම කිව්වෙ.

රන්ජන: මේ ගෙදර මිදුලට එහා පැත්තෙ තියෙන පොකුණ විශේෂ එකක්. ඒක නිර්මාණ බොහොමයක් සඳහා පාදක වුණු අපූරු තැනක් නේද?

උදය: මම දන්න විදියට අමරදේව මහත්තයා ලංකාවට ආවට පස්සෙ මුලින්ම සංගීතය සැපයුවේ රන්මුතුදූව චිත්‍රපටයට. ඒකට අපේ තාත්තා සින්දු තුනක් ලිව්වා. තාත්තා කිව්වෙ මේකට සින්දු තුනක් හොඳටම ඇති කියලා. අපේ ගෙදර මිදුලට එහා පැත්තෙ පොකුණක් තියෙනවා. ඒ පොකුණ ළඟ කාන්තාවන් කිහිපදෙනකුගේ මූර්ති හදලා තියෙනවා. ඔය කියන දවසෙ ටිකක් කළුවර වෙලා තිබුණෙ. තාත්තා කිව්වා අර පොකුණෙ මගෙ සුන්දරියො ළගට යන්න ඕනෑ කියලා. එතැනට වෙලා තමයි තාත්තා

ගලන ගගකි ජීවිතේ - දයාලූ ලෝකයේ

මිහිර පතා ආදරේ - ළපලු‍ නටයි ගං තෙරේ

ගීතය ලිව්වෙ. ඒ ගීතය වඩාත් ජනප්‍රිය වුණා වගේම හොඳ ගායකයෙක්, ගායිකාවකුත් බිහිවුණා. නන්දා මාලිනීගේ ගායන ජීවිතයේ සන්ධිස්ථානයක් ඒ ගීතය. මේ ගීතය වෙනුවෙන් සරසවි සම්මාන උළෙලේදී අමරදේව, මානවසිංහ, නන්දා තුන්දෙනාටම සම්මාන හමුවුණා. අමරදේව ඉන්දියාවට ගියාට පස්සෙත් ලිපි මගින් තාත්තත් එක්ක ලිපි මගින් ගනුදෙනු කළා. ගීත ලියවගත්තා. තාත්තා කියද්දි අම්මා තමයි ඒවා ලියන්නෙ. අමරදේවට හමුවූ විදග්ධ ගීත රචකයන්ගෙන් ප්‍රථමයා හැටියට සලකන්න පුළුවන් වෙන්නෙ අපේ තාත්තා.

රන්ජන: ඔව්. මානවසිංහ අමරදේව සුසංයෝගය ලංකාවේ ගීත සාහිත්‍යයේ පැහැදිලි ආරම්භයක් කියලා කියන්න පුළුවන්. මම පෞද්ගලිකව දකින්නෙත් මේක තමයි සිංහල සුභාවිත ගීතයේ ආරම්භය. පස්සෙ කාලෙ මහගමසේකරටත් ආභාසය ලැබුණෙ මානවසිංහගෙන්.

උදය: සුභාවිත ගීත සාහිත්‍යයට මාවත හදල දුන්නෙ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කියලා මඩවල රත්නායක මහතාත් කියනවා. ඒ හදපු මාවතේ විවිධ වාහන යන්න පුළුවන් විදියට දැන් පුළුල් වෙලා තියෙනවා. මහගමසේකර ඇතුළු බොහෝ දෙනා ඒ මාවතේ ගමන් කළා. අනික් පැත්තෙන් අමරදේව තැනූ මාවතත් එහෙමයි. එයින් මොන තරම් ගායක ගායිකාවන් පිරිසක් බිහි වුණාද?

වැලිතල අතරේ හෙමිහිට බසිනා නේරංජන නදියේ

නමින් අපේ තාත්තා ලියපු මහබෝ වන්නමට ගන්නෙ දේශීය නාද රටා. අමරදේව මහත්තයා ඉන්දියාවට ගිහින් රාගධාරී සංගීතය හදාරලා ලංකාවෙ නිර්මාණවලට යොමුවුණාට පස්සෙ ඒ සංගීතය අපේ නාදමාලාවලට හරවගත්තා. අපට ආවේණික නාදමාලාවලට සුදුසු මාවත තනාගත්තා. මඩවල රත්නායක වගේ අයත් ජන ගී ආර මතුවෙන විදියේ විවිධ නිර්මාණ කළා.

අමරදේව මහතා ගායනා කළ

රන්වන් කරල් සැලෙයි,

බමරකු ආවයි නිරිත දිගේයා,

මිහිරියේ ගැමි ළදේ

වගේ ගීත හැම එකක්ම දේශීය නාදමාලා, දේශීය සංගීතය පදනම් කරගෙන නිර්මාණය වූ ඒවා.

රන්ජන: විශිෂ්ට සංගීතවේදියකු වන මානවසිංහ සංගීතයටත් හරිම සංවේදී කෙනෙක්. මානවසිංහ අමරදේව සුසංයෝගය බැලු‍වත් මහගමසේකර අමරදේව සුසංයෝගය බැලු‍වත් බරපතළ විදියට බැඳිලා තියෙන්නේ සංගීතය සහ භාෂාව සමග කියන එකයි ඉතා පැහැදිලි. සාහිත්‍ය සහ භාෂාව අතර සම්බන්ධය ඔබ දකින්නේ කොහොමද?

උදය: මම විශ්වාස කරනවා සංගීතය ගොඩනැගෙද්දි ඒ රටේ ජාතියේ සංස්කෘතික පසුබිම ඇසුරින් ඒක ගොඩනැගෙන්න ඕනෑ කියලා. අපිට හොඳ සංගීතමය භාෂාවක් තියෙනවා. භාරතයේත් හොඳ මධුර භාෂාවක් තියෙනවා. ඒකත් සංගීතමය භාෂාවක්. ඒ භාෂාවට හරියන විදියේ සංගීතයක් තමයි ගොඩනැගිය යුත්තේ. අමරදේවගෙන් ගොඩනැගුණේ අපේ භාෂාවට ඉතාම ගැළපෙන සංගීතයක්.

20 වැනි සියවස බැලු‍වොත් චීන සංගීතය කියන්නෙ මහා සම්ප්‍රදායක්. ඒ අයගෙ භාෂාවයි සංගීත නාද රටාවයි එකට යන්නෙ. ඒ වගේම තමයි බටහිර. ඉංග්‍රීසි වගේ භාෂාවක උච්චාරණ විධි වේගවත්. ඒකට හරියන විදියට තමයි එයාලගෙ සංගීතයත් නිර්මාණය වෙන්නෙ. අපේ මිනිස්සු බොහොම සන්සුන් ගති තියෙන අය. ඒ නිසා අපට හරියන්නෙ ඒ වගේ නිවුණු සංගීතයක්.

මානවසිංහ මහත්තයා සිංහල, පාලි, සංස්කෘත භාෂා තුනෙන්ම ගීත රචනයේ යෙදුණා නේද? ඒක හරිම විශේෂ දෙයක්.

උදය:

ජගන් මෝහිනී මධුර භාෂිණී

ගීතය අපේ තාත්තා ලිව්වෙ සම්පූර්ණ සංස්කෘත වචන පමණක් යොදාගෙනයි. සරසවිය පත්තරේ ඒ කාලෙ සම්මාන උළෙලක් පටන් ගත්තා. ඒ වෙනකොට කර්තෘ විදියට හිටියෙ විමලසිරි පෙරේරා මහතා. ඒ කියන්නෙ ජී.එච්. පෙරේරා මහත්තයාගෙ පුතා. විමලසිරි පෙරේරා තාත්තගෙන් ඉල්ලීමක් කරල තිබුණා සරස්වතී අභිනන්දන ගීතයක් ලියල දෙන්න කියලා. තාත්තා ඒ දවස්වල අසනීප වෙලා හිටියෙ. මාරවිල වෙද මහත්තයකුගේ ගෙදර නැවතිලා බෙහෙත් කරමිනුයි හිටියෙ. විමලසිරි මහත්තයා මාරවිලට ගිහිල්ලා තාත්තා මුණගැහිලා ඉල්ලීමක් කරලා තියෙනවා මෙහෙම ගීයක් ලියල දෙන්න කියලා. කීප දවසකින් ගීතය ලියල දුන්නට පස්සෙ ඔහු කෙළින්ම ගිහින් තියෙන්නෙ අමරදේවන් හොයාගෙන.

මුලින්ම ලියැවුණු ගීතයේ තිබුණෙ සරස්වතී දේවී නමස්තේ සරස්වතී දේවී

කියලයි. අමරදේව මහත්තයා මේක බලල අපේ තාත්තගෙන් අහල තියෙනවා නමස්තේ කියන වචනෙ වෙනුවට වන්දේ කියල දාන්නද කියලා. තාත්තා ඊට එකඟ වෙලා තියෙනවා. සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී කියල ගීතය ගැයුවේ ඒ අනුවයි. ඒක කළේ ගීතයේ සුගායනීය බව ඇති කිරීමටයි. ඒ වචනය විතරයි මේ විදියට ඒ ගීතයේ වෙනස් වුණේ.

රන්ජන: මේකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා නේද? ඒ කාලෙ නිර්මාණයක් කරද්දි නිර්මාණයට දායක වන හැමෝම ඒ ගැන සාකච්ඡා කරමින් එකතු වෙලා තමයි කළේ. අද නම් බොහෝ වෙලාවට ගීතය රචනා කරන කෙනා ගායකයා දැකලවත් නෑ.

උදය: අමරදේව මහත්තයට ඒ විදියට වචන වෙනස් කරන්න ශක්තිය තිබුණෙ භාෂාවේ සංගීතමය හා සුගායනීය ලක්ෂණ පිළිබඳව එතුමාට මනා අවබෝධයක් තිබුණ නිසයි. කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුර ආදිය අමරදේවගේ භාෂා අවබෝධයට මෙහෙවින් බලපා තිබුණා. මම හිතන්නෙ සිංහල, පාලි හා සංස්කෘත කියන භාෂා තුනෙන්ම ගීත රචනයේ යෙදුණෙ අපේ තාත්තා විතරයි. සරස්වතී ගීතය අහල තිලකරත්න කුරුවිට බණ්ඩාර මහත්තයා කියල තිබුණෙ මේ විදියට ගීතයකට වචන යොදන්න පුළුවන් කෙනෙක් දැන් ඉන්දියාවෙවත් ඉන්නවද කියලයි.

රන්ජන:  මමත් හිතන්නෙ මොන භාෂාවෙන් ලිව්වත් ගීතවත් බව සහ එහි උචිත බව තීරණය වෙන්නෙම සහජ හැකියාවන් එක්ක තමයි. ඒකට භාෂා දැනුම අවශ්‍ය වෙනවා. යමක් වෙනස් කරන්න කලින් ඒ කාරණය හොඳින් දැනගෙන ඉන්න ඕනෑ. භාෂාව වෙනස් කරන්න කලින් මනා භාෂා දැනුමක් ලබා තිබිය යුතුයි. මානවසිංහ මහත්තයා ගීත ලියන බොහෝ අවස්ථාවල අපේ තාත්තත් ළඟ ඉඳල තියෙනවා නේද? තාත්තා මැඩ්ලින් එකත් අරගෙන තමයි එන්නෙ.

උදය: ඒක හරි අපූරු දෙයක්. අපේ තාත්තා ලියන ගීතයට නිර්මාණාවේෂය ලබාගන්න අමරදේව මහත්තය ළඟ ඉඳගෙන මැඩ්ලීනය වාදනය කරමින් සියුම් නාද රටාවන් මතු කරනවා. නිර්මාණාවේෂය ලබාගන්න ඒක ලොකු උදව්වක්. පද්‍ය පන්තියක් ගත්තත් ඒක ගීතයක් බවට පත් කිරීමේ මනා වූ හැකියාවක් මේ අයට තිබුණා. එහෙම නිර්මාණය වූ ගීත බොහොමයක් තිබෙනවා.

රන්ජන: වින්සන් සෝමපාල තාත්තගේ ගෙදර ආපු දවසක ඔහු කියූ රස කතාවක් ගැන මතකයක් තියෙනවා නේද?

උදය: ආ..ඔව්. වින්සන් සෝමපාල මහත්තයා අපේ ගෙදර ඇවිත් තාත්තත් එක්ක කතා කර කර ඉන්නකොට සෝමපාල මහත්තයා අපේ ගේ දිහා බලාගෙන ඉඳලා තාත්තගෙන් ඇහුවලු‍ “මානවසිංහ මහත්තයා ඇයි මේ පන්සලක් වගේ ගෙයක් හැදුවෙ”‍ කියලා. අපේ ගෙදර වහලෙ එහෙම හදල තියෙන්නෙ දළදා මාලිගාවෙ වහලෙ හැඩේට. අනික කැටයම් අරව මේවත් හරියට ගෙදර තියෙනවා. වාමන රූප හදලා තියෙනවා. ඒක අහපු තාත්ත කිව්වලු‍ “ඔව් ඉතින් මේ කාලෙ ගොඩක් පන්සල් හදන්නෙ ගෙවල් වාගෙනෙ. ඉතින් මම පන්සලක් වගේ ගෙයක් හැදුවා”‍ කියලා.

රන්ජන: මානවසිංහ මහත්තයා වචනයකට ප්‍රති උත්තර දෙන්නෙ බොහොම උපහාසය පිරි වචනවලින් මතක හිටින විදියට. ලංකාදීපයට ලියපු වගතුග තීරුවෙත් ඒ රසය ඉතාම හොඳින් තිබුණා.

(*** සටහන:  ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ගලන ගඟකි ජීවිතේ

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

වැඩිහිටි ප්‍රජාවට විශේෂයක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 08 1228 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ කතාවේදී ප්‍රකාශයට පත්කළ නව බදු සංශෝධන අතරින් ඉතිරිකිරීමේ ගිණුම් සඳහා වූ රැඳවුම් බද්


ගලන ගඟකි ජීවිතේ
2025 ජනවාරි මස 07 199 0

මෙරට සංගීතයෙහි අමරණීය පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ජීවන මංතලාවේ ඔහුට හමුවූ විවිධ චරිත සොයා යෑමේ දී අමරදේවයන්ගේ නිර්මාණාව


වෙනසක් අවශ්‍ය යුගයක්
2025 ජනවාරි මස 07 128 0

“ක්ලීන් ශ්‍රී ලංකා” යනු පැතිකඩ කිහිපයකින් සමන්විත වැඩසටහනකි. එය හුදු පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පමණක් නොවේ. ක්ලීන් ශ්‍රී ලංකාවක් යන්නෙන් කුමක්


විශ්‍රාමිකයන්ගේ කඳුළු කතාව
2025 ජනවාරි මස 06 698 1

රාජ්‍ය සේවයට ඇතුළු වන සියලු‍ දෙනාගේ අරමුණ අවසාන කාලය විශ්‍රාම වැටුපක් ලබමින් කිසිවකුට බරක් නොවී ජීවත් වීමය. රාජකාරිය උදෙසා අපරිමිත කැපකිරීම් සිදුකළ


ආර්ථික අභියෝග ජය මාර්ග
2025 ජනවාරි මස 06 163 0

2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ


දූෂණ මර්දනයට ජනතා යුතුකම
2025 ජනවාරි මස 04 535 0

ජනවාරි 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තම ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් පැවැත් වූ කතාව මේ රටේ කී දෙනකු අසන්නට ඇත් ද?


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 57 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 494 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 262 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site