IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ගාල්ලෙන් යෝජනාවක්

1983 ජනමත විචාරණය ජය ගැනීමත් සමගම එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තිබුණේ පුදුමාකාර සතුටකි. ඊට එක් හේතුවක් වූයේ එම කි‍්‍රයාදාමය නිවැරැදි බව පෙන්වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් පිරිසක්ද ඊට එක්වීමය. අනුර බණ්ඩාරනායක, මෛතී‍්‍රපාල සේනානායක, හලිම් ඉෂාක් ආදීහු ඒ අතර වූහ. පාර්ලිමේන්තුවේ කාලය වසරකින් දිගු කරගත් එම ඡන්ද ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාදාමයක් ලෙස රටේ ප‍්‍රබල ජනමතයක් පැවැතිණි. එහෙත් ආණ්ඩුව එය ගණන් ගත්තේ නැත.

චමල්

 

 


”ජනමත විචාරණය ඡන්ද ක‍්‍රමයක් නොවේයයි කියන්න බෑ. ඒක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කරල තියෙන ක‍්‍රමයක්. නමුත් ජනමත විචාරණයක හොඳ හෝ නරක හෝ යෝග්‍ය ද යෝග්‍ය නැති ද කියන එක කෙනකුට කියන්නටත් පුළුවන්. ඒත් ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙතක් නොවෙයි කියල කියන්න බෑ.


(ලලිත් ඇතුලත්මුදලි 1988.9.17 ”දවස”)

 


එදා එම ආණ්ඩුවේ ප‍්‍රබලයන් තර්ක කළේ එහෙමය. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල ප‍්‍රධානීහුද ගිරවුන් මෙන් එහි ගුණ ගායනා කරමින් ආණ්ඩුවට හොඳ තල්ලූවක් දුන්නෝය. එය ”කරන කලට පව් මීරිය මී සේ” කියන්නා සේය. අධිකරණයෙන් පවා එම කි‍්‍රයාදාමයට අනුමැතිය ලැබුණි. එහෙත් එහි යුක්තිසහගත භාවය හා එම ජනමත විචාරණය ජයගැනීම සඳහා ගෙනගිය අපකීර්තිමත් මැතිවරණ කි‍්‍රයාවලියේ පිළිකුල් සහගත ස්වරූපයෙන් අදත් යූ.ඇන්.පී.යට ගොඩඒමක් නැත. මැතිවරණ දුෂණ ගැන කතා කරන විට ජේ.ආර්. යුගයේ කළගෙඩි ලාම්පු සෙල්ලම හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ වයඹ පළාත් සභා මැතිවරණය උදාහරණ ලෙස ගැනීම අදටත් සාමාන්‍යයෙන් සිදුවන්නකි. මේ සියලූ තත්ත්වයන් යටතේ ජනමත විචාරණය හරහා ව්‍යවස්ථාදායකයේ කාලය වසර 6කින් දිගුකර ගැනීමේ කි‍්‍රයාවලියේ සතුට නැත්නම් ”ජොලිය” එදා යූ.ඇන්.පී.ය බුක්ති වින්දේ මහත් උජාරුවකිනි.
පසු කලෙක හයෙන් පහක ප‍්‍රබල රජයේ වැටීම ආරම්භ වන්නේත් රට බිහිසුණු කැරලි දෙකකට මුහුණ දෙන්නේත්, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාර උත්සන්න වන්නේත් එම විකෘති දේශපාලන සංසිද්ධියේ ප‍්‍රතිඵලයක් ලෙස යැයි අදත් රටේ පොදු පිළිගැනීමක් තිබේ. ඊට හුරේ දැමූ සමහරු අද ජීවතුන් අතරත් නැත. එහෙත් ”කට්ට කන්න” සිදු වී තිබෙන්නේ දැන් දේශපාලනය කරන යූ.ඇන්.පී. කාරයන්ටය.

වාසු


සමහරු වත්මන් ආණ්ඩුව මේ ඊයේ පෙරේදා ජයගත් දෝෂාභියෝගී කි‍්‍රයා පිළිවෙත ඊට සමාන කිරීමට සැරසෙති. ඔවුහු එය ආණ්ඩුවේ බිඳවැටීමක ආරම්භයක් වශයෙන්ද හඳුන්වති. එවැන්නක් ගැන සඳහන් කිරීමට තවමත් වේලාසන වැඩිය. ආණ්ඩුවේ අයට නම් එදා යූ.ඇන්.පී.යේ අයට ඇති වූ ජොලිය මේ කි‍්‍රයාවලියත් සමඟ ඇති වී නැති බව පෙනේ. ගෝල්ඩන් කී තැන්පත්කරුවන් කිරිබත් කෑවත්, සමහර ති‍්‍රරෝද රථ රියැදුරන්ට පොඩි ජොලියක් ඇති වී තිබුණත්, ආණ්ඩුවේ ප‍්‍රබලයන් එවැනි තැනක නොසිටින බව පෙනේ. පාරවල් දිගේ කිරිබත් කෑමත්, පොල් ගැහීමත් අද මේ රටේ සාමාන්‍ය සිරිතකි. නැතිනම් උප සංස්කෘතියකි. එය එදා ජනමත විචාරණයේ දී මෙන් ආණ්ඩුවට ඇති වූ ජොලියක් සේ තහවුරුවන්නේ නැත. ඊට හේතුව ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඇති වූ මෙම ගැටුමින් දෙපිරිසටම තුවාල සිදුවීමය.


අවශ්‍යතාවක් තිබේ නම් මේ ගැටුමින්ම දෙපිරිසටම නව ආරම්භයක් උදාකරගත හැකිය. ඊට  ඕනෑතරම් ආදර්ශ ද සොයාගත හැකිය. අවශ්‍ය වන්නේ  ඕනෑකමය. අලූත්කඬේ උසාවි සංකීර්ණයේ දී නීතිඥයන් පිරිසක් ඉටිපන්දම් පත්තුකරමින් යුක්තියේ හා සාධාරණත්වයේ මළගම සැමරීමට සූදානම් වුණත්, සියල්ල සති දෙකකින් කාටත් අමතක වනු ඇතැයි තවත් පිරිසක් කල්පනා කළත්, ගෝල්ඩන් කී සමහර තැන්පත්කරුවන් තම තැන්පත් මුදල් සිහින දෙව්දුවක් බන්දේසියක තබා ගෙනැවිත් දෙනු ඇතැයි සිහිනෙන් දුටුවත් සමස්තයක් වශයෙන් ආණ්ඩුව එසේ කල්පනා කරන බව නොපෙනේ. එය වැදගත්ය.
දෝෂාභියෝගී කි‍්‍රයාදාමයේ දී වුවද අමාත්‍ය වාසුදේව නානායක්කාර අයත් නැති පැරණි වමේ මතය ආණ්ඩුවේ පොදු මතය හා ගැටුණි. එම විකල්ප වූ මතය ප‍්‍රකාශයට පත් කළ අමාත්‍ය ඩිව් ගුණසේකරගේ හඬට කන්දෙන්නැයි කතානායක චමල් රාජපක්‍ෂ මූලාසනයේ සිට කළ ප‍්‍රකාශය මධ්‍යස්ථ මතධාරීන්ගේ ගෞරවයට හේතු වී තිබේ. විධායකය මත සියල්ල ඒකරාශී වූ ක‍්‍රමයක් යටතේ වුවද මේ ආණ්ඩුවේ වෙනසක් දක්නට ලැබෙන්නේ මෙවන් කි‍්‍රයාදාමයන් හරහාය. කොමියුනිස්ට් පක්ෂයේ නායකයාට ආණ්ඩුව තුළ ඉඳිමින්ම එවන් යම් වෙනස් මතයක් දැරීමට තිබෙන අයිතියට ආණ්ඩුවේ නායකයා ද ගරු කිරීම ප‍්‍රශංසනීය මෙන්ම අතීතය හා සැසඳීමේ දී සාධනීය ප‍්‍රවේශයකි.


1970 පිහිටු වූ සමගි පෙරමුණු රජය බිඳ වැටෙන්නේ තම පෙරමුණේ හවුල්කාර පක්ෂවලට නම්‍යශීලීව නොසැලකීමේ එවකට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ පැවැති උද්ධච්ඡු පිළිවෙත නිසාය. වම කොතරම් කුඩා වුණත් එදා ඔවුන් නොමැතිව තනියම යෑමට කල්පනා කළ ශී‍්‍ර ල.නි.ප.යේ හොට බිම ඇනගත්තේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එ් අනුව ගත්කල මෙදා ඩිව් ගුණසේකර ඇමැතිවරයාගේ හඬට ද වටිනාකමක් දීම වැදගත්ය. වම කුඩා වුවද සිටින්නේ එක්කෙනා දෙන්නා වුවද මෙවන් ආණ්ඩුවක පැවැත්මට එය වැදගත්ය.


විපක්ෂයේ ඇත්තේ එහි අනෙක් පැත්තය. විපක්ෂයේ සිටිමින් වුවද එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට උසාවියේ විභාග වන නඩුවක් නැරඹීමටවත් අවසරයක් නැත. තමන්ට නොලැබුණු කාලය විපක්ෂයේ ම වෙනත් මන්තී‍්‍රවරයකුගෙන් ලබාගෙන ආණ්ඩුවට විරුද්ධව කතා කිරීමටවත් නියෝජ්‍ය නායකයාට වුවද අවසරයක් නැහැ වගේය. මාධ්‍ය වාර්තා කරන්නේ එහෙමය. විපක්‍ෂ දේශපාලනය තුළ ඇති මෙවන් දරදඬු දඬු අඬු විනය පද්ධතියක් හා සැසඳීමේදී ආණ්ඩුව ඇතුළේ වෙනස් මතයක් දැරීමට ඇති අයිතියට ගරු කිරීමේ වැදගත්කමක් තිබෙන බව තේරුම් ගැනීමට ආණ්ඩු පාක්ෂිකයකු විය යුතුම නැත. අවසන් වූ දෝෂාභියෝග කි‍්‍රයාදාමයත් සමඟම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවක් පෙනේ. ව්‍යවස්ථාදායකයේ ප‍්‍රධානියාම ඊට මුලපුරා තිබීම හොඳ ආරම්භයකි.


කතානායක චමල් රාජපක්‍ෂ කවදත් ඉවසීමෙන් කටයුතු කරන නිහතමානී සමබර නායකයකු ලෙස ප‍්‍රකටය. ඔහුගේ කතානායක භූමිකාව විපක්ෂයේ ද පැසසුමට ලක්ව තිබීමෙන් එය පැහැදිලි වේ. කතානායක නිල නිවසට යන  ඕනෑම කෙනකුට සරමක් බුෂ් ෂර්ට් එකක් පැළැඳ සිනහ මුසු මුහුණින් යන එන අය පිළිගන්නා මේ තෙවැනි පුරවැසියා දැකගත හැකිය. එම සැහැල්ලූ අත්දැකීම් සහිත වියපත් ස්වරූපය ප‍්‍රශ්නයක දී කලබල වන බවක් පෙන්නුම් කරන්නේ නැත. එහෙත් රුහුණේ ගිරුවාපත්තුවෙන් පැමිණි චමල් රාජපක්‍ෂ ඇල්වතුරත් නිවලා බොන ජාතියේ කෙනකු නොවන බවට ද වගබලාගෙන තිබේ. එසේම කිවයුතු දේ ඍජුව ප‍්‍රකාශ කිරීමේ පෞරුෂයක් ඔහු තුළින් විද්‍යමාන වේ. දැන් ළතවුණා ඇති. මෙතැන් සිට පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට රට ගමන් කළ යුතු බව අද ආණ්ඩුවට සැලකර සිටින්නේ ව්‍යවස්ථාදායකයේ මේ ප‍්‍රධානියාමය. මේ සියලූ අවුල් එහි ප‍්‍රතිඵලයකි. ”අවසානයේ අහිංසක මටත් මේවාට මැදිහත්වීමට සිදු වී තිබේ.” ඔහු කෙටියෙන් කීවේ එයයි.

 

 


”පසුගිය දවස්වල රටේ ලොකු ආන්දෝලනයක් තිබුණා. එම අර්බුදය ඇතිවුණේ කෙසේද කියා අප දන්නවා. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර රටට සුදුසු ගැළපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්න  ඕන. එම බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටයි. දැන් එයට හොඳම අවස්ථාව පෑදිලා. ඒ නිසා එය කඩිනමින් කළ යුතුයි. ජනතාවගේ යහපතට සංවර්ධනයට කඩිනමින් ප‍්‍රශ්න විසඳීමට හැකි ආකාරයට එය කළ යුතුයි.”


(14.1.2013 ලංකාදීප)

 

 

කතානායකවරයා සඳහන් කරන්නේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගැනය. එය ජනතාවගේ ප‍්‍රශ්න විසඳන ආකාරයට සිදුවිය යුතු සංශෝධනයකි. එසේම පවතින බහුබූත ව්‍යවස්ථාව කණපිට හරවනයක් විය යුතු බව ද පැහැදිලිය. ඊට අවශ්‍ය ව්‍යවස්ථාමය ශක්තිය මේ ආණ්ඩුවට තිබේ. ඔහු නොකියා පවසන්නේ එයයි. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන කතානායක චමල් රාජපක්‍ෂ ගාල්ලේ දී මේ මතය පළකරන විට ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මන්තී‍්‍රවරයකු වන දොස්තර රමේෂ් පතිරණ තරුණ මන්තී‍්‍රවරයා තම හඬ අවදි කරන්නේද ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙනි.

 

 


”මැතිවරණ ක‍්‍රමය ඇතුළුව වෙනස් විය යුතු අංග රාශියක් තිබෙනවා. විනිසුරුවරුන් ඉවත් කිරීමේ කි‍්‍රයාපටිපාටිය ඇතුළුව සියලූම කාරණා වැදගත් සාකච්ඡාවකට ලක්කළ යුතුයි. මේ රටේ ජනතාව කලබලයට පත් කරන්නේ නැති මහජන නියෝජිතයන්, විධායකය හා අධිකරණය සමගම කටයුතු කරන සරල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා නම් එය රටටත් ජනතාවටත් හිතකරයි. අද හැම දෙනාගේම අපේක්‍ෂාව එයයි.


(දොස්තර රමේෂ් පතිරණ 17.1.2013 ලංකාදීප)

 

 

රමේෂ්

මේ අතර උත්තරීතර වන්නේ ජනතාව හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බව මතක් කර දීමට ද ඔහු පසුබට වන්නේ නැත.         ”මට නම් හැඟෙන විදියට ජනතාව තමයි පරමාධිපත්‍යය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තමයි උත්තරීතර. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්‍ෂාවන අයුරින් කටයුතු කරන්න මේ ආයතන තුනටම වගකීමක් තිබෙනවා.”


ගාල්ලේ දොස්තර රමේෂ් පතිරණ හිටපු කීර්තිමත් අමාත්‍යවරයකු වූ රිචඞ් පතිරණගේ පුත‍්‍රයාය. පිය උරුමයෙන් ඔහු දේශපාලනයට පැමිණිය ද වත්මන්

පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ මන්තී‍්‍රවරුන් අතුරින් උගත් තැන්පත් නිහතමානී චරිතයක් ලෙස රමේෂ් ප‍්‍රකටය. මෙවන් කණ්ඩායමක් ම ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරති. රමේෂ් පතිරණ දේශපාලනයට පිවිසෙන්නේ තමන්ට පෞද්ගලිකව මීට වඩා සැපවත් දිවි පෙවෙතක් ගත කිරීමට ඇති අවස්ථා ඉවත දමලාය. එ් නිසාම ඔවුහු මේ දේශපාලනයේ තේරුමක් අපේක්‍ෂා කරති. මේ නිසා වෙනසක් සිදුවීමකින් තොරව එකතැන පල්වෙන දේශපාලනයක නිරතවීමට දොස්තර රමේෂ් පතිරණලා සූදානම් දැයි කියන්න දන්නේ නැත.


දෝෂාභියෝගයෙන් පසුව පසුපෙළ මන්තී‍්‍රවරුන්ද තම හඬ අවදිකිරීමට සූදානම් වෙලා වාගේය. පසුපෙළ නොවුණද රෙජිනෝල්ඞ් කුරේ ඇමැතිවරයා දරන්නේ ද මෙවන් මතයකි. දෝෂාභියෝගයෙන් පසුව වේගවත් විය යුතු ව්‍යවස්ථා සංශෝධනයක හඬ දැන් මතුවන්නේ ව්‍යවස්ථාදායකයේ ඉහළ පුටුවෙන් පමණක් නොවේ. පහළම පුටුවලින් ද ඒ හඬ නැගේ. එය ගාල්ලෙන් ඇරඹීමද දකුණෙන්ම ඇරඹුණා වාගේය. මේ නිසා 1983 ට පසු යුගය වර්තමානයට සමාන කළ නොහැක. දෝෂාභියෝගයෙන් පසුව දක්නට ලැබෙන මෙම සාධනීය ප‍්‍රවණතාව ආණ්ඩුවට පැවැති තත්ත්වයටත් වඩා වාසිදායක කරගත හැකිය. එහි පෙරමුණ ගතයුත්තේ තමන් උත්තරීතර යැයි හඬ නගන ව්‍යවස්ථාදායකයමය. නැතිනම් එම උත්තරීතර බවෙන් ශත පහකට වැඩක් නැත.

 

වසන්තප‍්‍රිය රාමනායක

 

ඩිව්

 



අදහස් (0)

ගාල්ලෙන් යෝජනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 208 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 39 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 75 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 163 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 222 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 864 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 495 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site