IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මාණාවලෝකන කෘතිය දොරට වැඩීමේ උළෙල මෙම 25 දා (සිකුරාදා) සවස 4.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරේ. ප්‍රවීණ ගීත රචක සහ ප්‍රවීණ විචාරක ධම්මික බණ්ඩාර මහතා මෙහි ප්‍රධාන දෙසුම ඉදිරිපත් කරයි. ප්‍රවීණ ගායන ශිල්පීන් හා ශිල්පිනීන් රැසක් මෙදින ගී ගැයීමට නියමිතය. සත්සර සම්මාදම රංජිත් බාලසූරිය මහතාගෙනි. සහෘද ඇමතුම අමිල ජයසේකරගෙනි. සහෘද සංවාද කේන්ද්‍රය මෙම උළෙල සංවිධානය කරයි. මතු දැක්වෙන්නේ කෘතියේ රචක ගෝනදෙණියේ විමලජෝති හිමි සහ ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතා සමග අප කළ කතාබහක් ඇසුරින් සැකසුණු ලිපියකි.

වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා සුභාවිත ගීත සාහිත්‍යයක් ගොඩනැඟූ රචකයන් සංගීතඥයන් ගායක ගායිකාවන් බොහෝ දෙනා අද වන විට නිහඬව කලකිරීමෙන් සිටින බව ප්‍රකට කාරණයකි. එහෙත් වරින් වර නූතනයේ එම සුභාවිත ගීතයේ වටිනාකම් මතු කරන විමර්ශනාත්මක කාර්යයන්ද සිදු නොවන්නේ නොවේ. එය නූතනයේ අප සතුටට පත්විය යුතු කාරණයකි. තිරය ඇරෙනවා තිරය වැහෙනවා, බාල ළමා වරුනේ, සඳ තනියම රෑ තුන් යම, දුවේ නුඹ මගෙ ප්‍රාණයයි, චක්ගුඩු ගුඩු, වන්නි වන පෙතේ, ජීවිතේ කවියක්, මගෙ අමල් බිසෝ ආදි ගීත රැසක් රචනා කළ ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමි සම්පාදනය කළ නොනිවෙන පහන් සිළ කෘතිය මේ සඳහා හොඳම උදාහරණයකි. විමලජෝති හිමියන්ගේ මේ උත්සාහය ඇහැළියගොඩ මහතා දකින්නේ කෙසේද? ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.

“ගීතයට ඉතාම නරක කලදසාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නෙ. සුභාවිතය භාවිත නොවීමේ හා අවප්‍රමාණ වීමේ තත්වයක් තිබෙනවා. ඒ නිසාම අපේ ඇතැම් රචකයෝ උදාසීන වෙලා ගීත නොලියා ඉන්නවා. ඉස්සර වගේ මාධ්‍යවලත් ඒවට වැඩි ඉඩකඩක් ලැබෙන්නේ නෑ. මේ හේතු නිසා බොහෝ අය අකර්මණ්‍ය වෙලා. ඒත් මම අකර්මණ්‍ය වෙන්නෙ නෑ. මේ කරන නිර්මාණ ජනතාව අතරට යනවද නැද්ද, මාධ්‍යයේ ඉඩක් තියෙනවද නැද්ද කියලා බලන්නෙ නැතුව මම දිගටම නිර්මාණ කරනවා. ගෝනදෙණියේ විමලජෝති හිමි මම දීර්ඝ කාලයක් තිස්සේ දන්න හඳුනන කෙනෙක්. උන්වහන්සේ දිගු කලක පටන් මා රචනා කළ ගීත විමර්ශනාක්ෂියෙන් යුතුව කියවන කෙනෙක්. හොඳ රසිකත්වයක් තිබෙන කෙනෙක්. මීට පෙරද උන්වහන්සේ ගීත විමර්ශන ග්‍රන්ථ කිහිපයක්ම රචනා කරල තියෙනවා. නොනිවෙන පහන් සිළ කෘතියේ උන්වහන්සේ මගේ ගීත ගැන ඉතා දීර්ඝ විමර්ශනයක් ඉදිරිපත් කරලා තියෙනවා. උන්වහන්සේගේ මෙම විමර්ශන කාර්යය ගැන මම අතිශය සතුටට පත් වෙනවා. මේ කාර්යය මගේ ගීත ගැන ආපසු හැරිල බලන්නට විවර කර දුන් කවුළුවක් කියලා මම හිතනවා.”‍

ඇහැළියගොඩ මහතාගේ බොහෝ ගීත තම පෞද්ගලික අත්දැකීම් ආදිය ද ආශ්‍රය කරගෙන රචනා කළ ඒවා බව පැහැදිලිය. ඒ බොහෝ ගීත මානව ප්‍රේමය මහ ඉහළින් මතු කරන ඒවාය. විශේෂයෙන්ම කුටුම්භය වටා ගොඩනැගෙන විවිධ සමීප චරිත ඔහු මොනතරම් නිර්මාණත්මක ලෙස ගීතයේ භාවිතයට ගන්නවාදැයි කෙනකුට නිරීක්ෂණය කළ හැකිය. තම ගීතවල ආ ජීවනානුභූතීන් කවරාකාරදැයි ඇහැළියගොඩ මහතා අප සමග ප්‍රකාශ කළේ මෙසේය.

“මගේ ගීත හැම එකක්ම ජීවිතේ ලබාපු අත්දැකීම්වල කිසියම් ප්‍රතිඵලයක් කියල කියන්න පුළුවන්. මේ කිසිම ගීතයක් මම ආයාසයෙන් ලියපුවා නෙවෙයි. නිරායාසයෙන් ලියැවුණු ඒවා. තිරය ඇරෙනවා තිරය වැහෙනවා ගීතය ලියන්න පදනම් වුණේ 1974 දී පාසලේදී මම වින්ද අත්දැකීමක්. ඒක ගීතයක් බවට පත්වුණේ 1983 දී. ඔබ කිව්ව වගේම පවුල, කුටුම්භය කියන සංකල්පය මගේ බොහෝ ගීතවලට පදනම් වුණා. මම හිතන විදියට එය බොහෝ ගීත රචකයන්ට විෂය නොවූ කාරණයක්. ප්‍රේමය වගේ මාතෘකා ගැන මා අතින් ලියැවුණු ගීත ඉතාම අවමයි. වන්නි වනපෙතේ කියන ගීතය මම මගේ තාත්තාගේ ඇසුරේ ලබාපු අත්දැකීම් පදනම් කරගෙන ලියැවුණේ. තාත්තාගේ මරණය දවසේ මට ඇතිවුණු කියැවීම මේ සඳහා විශේෂයෙන් බලපෑවා. මගෙ අමල් බිසෝ ගීතය වුණත් මම පෞද්ගලිකව වින්ද අත්දැකීමක් නොවුණත් මේ රටේ ඒ කාල වකවානුවේ සංචාරක ව්‍යාපාරය නිසා අපේ පවුල් අතර ඇතිවන යම් ව්‍යසනකාරී සිදුවීම් තමයි ඊට මුල් කරගන්නෙ. අන්න බලන් බෙර හඬින් උදම් වී ගීතයේ පවා අදහස මට ආවෙ මගේ තාත්තගෙ අයියා සබරගමු නැටුම් ශිල්පියකු ලෙස මුහුණ දුන් අත්දැකීම් නිසයි. අන්න බලන් ඉදිකඩ ළග කොක්කු රෑන වගේ ඇවිත් ගීතයට මට අදහස ආවෙ මගේ දුව පාසල් යන කාලෙ මට මගේ පාසල් දිවිය මතක් වීමෙන්.”‍

බණ්ඩාර ඇහැළියගොඩ මහතා තම අත්දැකීම් එසේ විස්තර කළත් 60-70-80 දශකවල අමරණීය ගීත කලාවක් ගොඩනැගූ බොහෝ ගීත රචකයන් බහුල ලෙස විෂය කරගත්තේ ප්‍රේමය විරහව වැනි තේමා බව පෙනේ. එහෙත් ඇහැළියගොඩ මහතා එයින් වෙනස් වෙයි. මේ වෙනසට හේතුව කුමක්ද? ඊට ඔහුගේ පිළිතුර මෙසේය.

“මට හිතෙන්නෙ ඒකට හේතුවක් වෙන්න ඇත්තෙ මම ගීත රචනා කලාවට සක්‍රීය ලෙස දායක වෙන්නෙ යෞවන ප්‍රේමය වගේ මාතෘකා කතා කරන වයසෙන් පස්සෙ. විවාහ වෙලත් දරු මල්ලො ලැබුණටත් පස්සෙ තමයි මම වැඩිපුර ගීත ලිව්වෙ. ඒත් ප්‍රේමය කියන දේ කතා කරන්නට ඒක සීමාවක් ද බාධාවක් ද කියල කෙනෙක් අහන්න පුළුවන්. අජන්තා රණසිංහයන් තමන්ගෙ ජීවිතය පුරාම ඉතාම අපූරු ප්‍රේම ගීත ලීවා. ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ, සුනිල් සරත් පෙරේරා, සුනිල් ආරියරත්න, මේ හැම කෙනෙක්ම ප්‍රේමය කියන විෂයත් එක්ක ඉතාම රමණීය ගීත ගණනාවක් ලියලා තියෙනවා. ඒක ඔවුන්ගේ ප්‍රතිභා ශක්තිය. ඒත් මගේ රචනා කලාව වෙන හැඩයක්. ඒත් මම ලියපු හැම ගීතයකම මානව ප්‍රේමය කියන දේ තියෙනවා කියලා මම හිතනවා. මේ මගේ විදිය.

ඒත් වෙනත් රචකයන් ලියූ ප්‍රේම ගීත මම පුදුම ආස්වාදජනක විදියට විඳිනවා. මහගම සේකරගේ

ඔබේ දෑසයි ඔබේ දෑසයි

නීල උත්පල දිගටි දෑසයි

නීල චංචල කිඳුරු දෑසයි

වගේ ගීතයක් මොනතරම් දැනෙනවද? එහෙම ලියන්න බෑ ලේසියෙන්.

හදේ කොතැනක හෝ හිඳී ඔබ

නිදා නොනිදා මෙන්

කියලා කුමාරදාස සපුතන්ත්‍රි ලියනකොට අපිට ඒක කොච්චර දැනෙනවද? මට නම් කවදාවත් එහෙම ලියන්න බෑ. ඒ වගේ අතිවිශිෂ්ට ප්‍රේම ගීත විරහ ගීත ගණනාවක් අපේ ගීත සාහිත්‍යයේ තිබෙනවා. ඒත් මගේ භාවිතාව ඇතුළෙ ඉතාම අඩු සැලකිල්ලක් තමයි විරහ සහ ප්‍රේම ගීතවලට ලැබුණෙ. ඒ ඉතින් මගේ හැටි.”‍

60-70-80 දශකවල ස්වර්ණමය යුගයක් නිර්මාණය කළ ගීතය අද වනවිට පත්ව ඇත්තේ කවර මට්ටමකටද? ඒ සම්බන්ධයෙන් ඇහැළියගොඩ මහතා අප සමග පළ කළේ මෙබඳු අදහසකි.

“මේ කඩා වැටීම බරපතළයි. ඒත් ඒකට මෙන්න මේ හේතුව කියල එක කාරණයකට ඇඟිල්ල දික් කරන්න බෑ. හේතු රාශියක් තියෙනවා. මීට දශක කිහිපයකට පෙර නිර්මාණ රචනයේ යෙදුණු අයගේ දැනුම අවබෝධය සහසම්බන්ධකම් හොඳ නිර්මාණ බිහිවීමට බලපෑවා. මහගම සේකරලගෙන් මානවසිංහලගෙන් මඩවල රත්නායකලගෙන් පටන්ගත්තාම ඒ හැමෝම නිර්මාණ කළේ ස්වභාව සෞන්දර්යයත් එක්ක බැඳුණු ගීත කලාවක්. සුනිල් ආරියරත්නලා, සුනිල් සරත් පෙරේරලා, ධර්මසිරි ගමගේලා ඊට පස්සෙ මේ මාර්ගයේම ගමන් කළා. සොබාදහමයි ගීත කලාවයි වෙන් කරන්න බැරි තරම් බැඳුණා. ප්‍රේම ගීතයක් ලිව්වත් ඒකෙ තියෙන්නෙ සොබාදහම.

ගලන ගගකි ජීවිතේ දයාලූ ලෝකයේ

මිහිර පතා ආදරේ ළපලු‍ නටයි ගං තෙරේ

කියලයි මානවසිංහ ලිව්වෙ. මානවසිංහ බෞද්ධ ගීතයක් ලිව්වත් ඒකෙ තිබ්බෙ සොබාදහම.

වැලිතල අතරේ හෙමිහිට බසිනා

නේරංජන නදියේ ගයා හිස

වැඩසිටි බුදු සමිදා

එහෙම බලද්දි අපව නිවන සනහන අරුම පුදුම විශිෂ්ට ගීත කලාවක් මේ කාලයේ නිර්මාණය වුණා. ඒකට අවශ්‍ය දැනුම අවබෝධය රසවින්දනය මේ අයට තිබුණා. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක නවකතා ලියනකොට ඔවුන් ඒ දේ කළේ මනා අවබෝධයෙන්. අපේ පරම්පරාවේ අය කළේ නිර්මාණ කරන්න කලින් අධ්‍යයනය කරපු එක. භාෂා දැනුම පවා ඔවුන්ට ලැබුණෙ මේ අධ්‍යනයත් එක්ක. අපි කරපු නිර්මාණ ඒ කාලෙ ගුවන්විදුලිය නිර්ලෝභීව ප්‍රචාරය කළා. රසිකයන් අතරට ගෙන ගියා. ගුවන්විදුලිය එදා අලු‍ත් ගීත නිර්මාණයට විශේෂ තැනක් දුන්නා. මේවා ඇද බැඳ වැළඳගන්නා රසික පරම්පරාවක් සිටියා.

ඒත් විවෘත ආර්ථිකය ආවට පස්සෙ මේ ඔක්කොම උඩුයටිකුරු වෙනව. ඊට පස්සෙ නව තාක්ෂණයේ බලපෑමට ගොදුරු වෙනවා. මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් එක්ක කෙරෙන ගනුදෙනුව වෙනුවට තාක්ෂණික ලෝකයක් රසිකයන් තුළ මැවෙනවා. අද වනවිට පෙර පාසල් දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා ගනුදෙනුව තියෙන්නේ දුරකතනයත් එක්ක. ඔවුන්ට මේ ලෝකෙ සිහියක් නෑ. පොතක් පතක් පුවත්පතක් කියවන්න ඒ අයට ඕනැකමක් නෑ. නිර්මාණ රසවිඳීම කියන එක ගැන කිසිම සැලකිල්ලක් මේ අයට නෑ. මොනවා හරි වචන ටිකක් එකට එකතු කරලා සංගීතය කියලා මොනව හරි භාණ්ඩ ටිකක් වයලා ගීතයක් හදනවා. මේ කාලෙ ගීත නිර්මාණය කරන්න දැනුමක් අවබෝධයක් අත්දැකීම් කිසි දෙයක් අවශ්‍ය නෑ. අද ගායකයෙක් වෙන්න කටක් විතරක් තිබුණොත් හොඳටම ඇති.

මේ හැමදේම නිසා ගීතයේ තියෙන සුභාවිත බව වැදගත්කම අභිබවා නිකම්ම නිකං වචන සෙල්ලම් ටිකක් සංගීත භාණ්ඩවල එකතුවක් හෝ මෙලෝ සිහියක් නැතුව කරන ගායනයක් බවට ගීතය පත්වෙලා තියෙනවා. යූ ටියුබ් නාලිකාවලින් විවිධ විසූක දස්සන ගීත හැටියට එළියට එනවා. මේවා දඩ බඩ ගාල එළියට ඇවිත් ඒ තරම් ඉක්මනටම නැතිවෙලා යනවා. දැන් ඉතින් ගීතය විතරක් නෙවෙයි සියලු‍ ක්ෂේත්‍ර විනාශ මුඛයට යමින් තිබෙන්නෙ. දේශපාලනය, අධ්‍යාපනය, මේ ඔක්කොම දැන් වැහැරිලා තියෙන්නෙ. වර්තමානයේ බොහෝ දෙනකුට හැදෑරීමක් නෑ. අත්දැකීම් එකතු කරගන්නෙ නෑ. ජීවිතේ විඳින්නෙ නෑ. භාෂාව ඉගෙන ගන්නෙ නෑ. ඒ නිසා අද ගීත කියන්නෙ නිකම්ම නිකං වචන ටිකක් විතරයි. ඒ වචනත් හරසුන් බොල් විප්‍රකාර. යූටියුබ් එක බලපුවාම ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්.

මේ වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්වයට අපි හැම කෙනෙක්ම වගකියන්න ඕනෑ. පරිපාලනයේ ඉඳල පහළම තැන දක්වා හැම කෙනෙක්ම. අපි ඉන්නෙ සංස්කෘතික ප්‍රතිපත්තියක්වත් නැති රටක.

 

(***)

සටහන

ගාමිණී කන්දේපොළ



අදහස් (0)

ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 47 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 40 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 17 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 46 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 23 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 541 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site