ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාවේ සැවොම කිරි බීමට වුවමනා වුණත් කිරි ලබා ගැනීමේ අපහසුතාව නිසා දියර කිරි භාවිතයෙන් ඈත් වී සිටිති. පිටිකිරි භාවිත කිරීම පහසු බැවින් ඒ සඳහා මිනිස්සු ඇබ්බැහි වී සිටිති. එසේම ශ්‍රී ලංකාවේ ජාතික කිරි අවශ්‍යතාවෙන් මෙරට නිපදවන්නේ සියයට 40 ක ප්‍රමාණයකි.
2022 වසරේ ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සලකා බැලුවහොත් එළකිරි ලීටර මිලියන 419ක් නිපදවා ඇත. මීකිරි ලීටර් මිලියන 87ක් නිපදවා ඇත. එකතුව ලීටර් මිලියන 506කි. දළ වශයෙන් මසකට දියර එළකිරි ලීටර් මිලියන 34ක් සහ මී කිරි ලීටර් මිලියන 7ක් නිපදවයි. මෙයට අමතර වශයෙන් ජාතික අවශ්‍යතාව පිටරටින් ආනයනය කළ යුතු අතර බහුජාතික සමාගම් මත ශ්‍රී ලාංකික ජනතාවට යැපීමට සිදු වී තිබෙන බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල කිරි පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් වලින් ගතහොත් 4.14කි. එය ලීටර් වලින් සලකා බැලුවහොත් වසරකට ලීටර් 52ක් පමණ වේ. මෙම ප්‍රමාණය පෝෂණය මට්ටම පවත්වාගෙන යාමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ලෝකයේ වැඩියෙන්ම කිරි බොන රට වන්නේ බෙලරූස් රාජ්‍යයයි. එය වසරකට කිලෝග්‍රෑම් 115කි. දෙවනුවට කිරි පාරිභෝජනය කරන්නේ දැනට යුද්ධයක් හටගෙන ඇති යුක්රේනයයි. එය වසරකට කිලෝ ග්‍රෑම් 114ක් පාරිභෝජනය කරයි. ලෝකයේ වැඩියෙන්ම කිරි පාරිභෝජනය කරන රටේ තත්වයට පත්වීමට අපි දැනට භාවිත කරන ප්‍රමාණය වගේ 28 ගුණයකින් කිරි පරිභෝජනය වැඩි කළ යුතුය. මෙය කිරීම සඳහා දැවැන්ත ක්‍රියාවලියක් රටේ ක්‍රියාත්මක කළ යුතුය. බීරි අලින්ට වීනා ගායනා කරනවා මෙන් රට කරවන දේශපාලනඥයන්ද් මෙන්ම නිලධාරින් ද නිහඬව නොසිටිය යුතුය. මේ සඳහා දැවැන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල දළ දේශීය නිෂ්පාදනයට දායක වන්නේ සියයට 1.2ක් වූ කුඩා ප්‍රමාණයකි. රටක සංවර්ධනය මෙය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත. කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල වාර්ෂික වර්ධන වේගය සියයට 1-2 අතර පවතී. යම්කිසි ප්‍රතිඵලදායක තත්වය උදාකර ගැනීමට නම් එය වාර්ෂිකව සියයට 15 මට්ටමට පවත්වා ගෙන යා යුතුය. වාර්ෂික සියයට 15 මට්ටමේ පවත්වාගෙන ගියහොත් වර්ෂ කිහිපයක දී සාර්ථක ප්‍රගතියක් අත්පත් කරගෙන කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට හැකියාව ඇත.
කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවලින් රට ස්වයංපෝෂිත වන්නේ නම් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් ඉතිරිකර ගත හැක. මෙය ඉතා විශාල මුදලකි. වෙනත් විදිහකට අර්ථ දක්වන්නේ නම් 2022 වසරේ පමණක් කිරි හා කිරි ආශ්‍රිත ද්‍රව්‍යය මෙරටට ආනයන කිරීමට රුපියල් කෝටි 6500ක් පමණ වැයකර ඇත. එම සම්පූර්ණ මුදල මෙරට පහසුවෙන් ඉතිරි කරගත හැකි මුදල්ය. ශ්‍රී ලංකාවේ ගව සම්පත දළ වශයෙන් මිලියන 1.2කි. අලුතින් පැටවු ඉපදෙනවාට වැඩි ප්‍රමාණයක් මස් පිණිස මරා දමයි. මේ නිසා ගව සම්පතේ වර්ධනය සිදු වන්නේ ඉතා සෙමිනි. ඒ නිසා ශ්‍රී ලංකාවේ ගවයන් නම් මසට මැරීම සීමා කළ යුතුය. එසේ නොමැති සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බව කේ. බී. ගුණරත්න මහතා පවසයි.
වාර්ෂිකව කිරි ලීටර මිලියන 1200ක් නිපදවීමට හැකිනම් අප කිරි වලින් ස්වයංපෝෂිත මට්ටම කරා ළඟා වනු ඇත. දැනට එළ දෙනක් කිරි නිපදවන්නේ දිනකට සාමාන්‍ය අගය වන ලීටර 3.5ක් වන ප්‍රමාණයකි. ඒ ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කරගත හැකි නම් අපට ස්වයං පෝෂිත තත්වය කරා ළඟා විය හැක. එනම් එළදෙනක් දිනකට කිරි ලීටර 10-11 ක ප්‍රමාණයක් නිපදවන්නේ නම් අපට අපේ රටේ කිරි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට ප්‍රමාණවත්ය.
ශ්‍රී ලංකාවේ කිරි හා ආශ්‍රිත නිෂ්පාදනවල නිරත වන පවුල් දළ වශයෙන් 75000ක් පමණ සිටී. මේ අයගේ ප්‍රධාන ආදායම කිරි නිෂ්පාදනයයි.
මෙරට කිරි නිෂ්පාදන රඳා පවතින්නේ මේ ආහාරයේ සුළු කිරි ගොවියා පදනම් කර ගෙනය. මෙරට කිරි නිෂ්පාදනයෙන් සියයට 85-90 ක් නිපදවනු ලබන්නේ මේ සුළු පරිමාණ කිරි ගොවියන් විසින්ය. සමාගම් හා මධ්‍ය පරිමාණ ගොවිපොළ ආශ්‍රිතව ඉතිරි ප්‍රමාණය නිෂ්පාදනය කරයි. ඒ අනුව අපේ අවධානය යොමු විය යුත්තේ මෙම කුඩා පරිමාණ කිරි ගොවියාගේ ක්‍රියාකාරකම් නගා සිටුවීමටයි. ඔවුන්ට අවශ්‍ය සහාය සහ සහයෝගය නිරන්තරයෙන්ම ලබාදිය යුතුය.
මෙරට කිරි නිෂ්පාදනය නගා සිටුවීමට දැනට ක්‍රියාත්මක කරන රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කළ යුතුය. වසරින් වසර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඉලක්ක ගත ක්‍රමවේද අනුගමනය කළ යුතුය. ලෝකයේ භාවිත කරන නවතම ක්‍රම වේදයක් හඳුන්වා දිය යුතුය. ග්‍රාමීය මට්ටමේ කිරි නිෂ්පාදනය ඉහළ දැමිය යුතුය. මේ සඳහා දිරි ගන්වන සුළු ක්‍රියා මාර්ග ගත යුතුය. තරුණ ප්‍රජාව කිරි කර්මාන්තය කෙරෙහි ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමවේද හඳුන්වා දිය යුතු යැයි කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි.
කිරි ගොවියාගේ මූලික යෙදවුම් සඳහා බදු අඩු හෝ බදු රහිත සහයෝගය ලබාදිය යුතුය. විශේෂයෙන්ම ගවයන් සඳහා ලබාදෙන සත්ව ආහාරවල ගුණාත්මය ඉහළ දැමිය යුතුය. මිල අඩු කළ යුතුය. නිෂ්පාදන වියදම ඉහළ ගියහොත් ලාබය අඩුවේ. ලාබය අඩු වෙන විට කිරි ගොවියා වියදමේ අඩු විකල්ප මාර්ගවලට යොමුවේ. එහි ප්‍රතිඵලය වන්නේ දිනකට නිපදවන කිරි ප්‍රමාණය අඩු වීමයි. ගුණාත්මයෙන් යුතු ආහාර ලබාදීම අඩුවේ. පිරිසුදු කිරීම් ආදිය අඩු කරයි. ගවයන්ට අවශ්‍ය බෙහෙත් ආදිය අඩු කරයි.
මේ තත්වය යටතේ නිපදවන කිරි ප්‍රමාණය අඩු වේ. එසේම කිරි ගොවියාට අවශ්‍ය ලාබය උපයා ගැනීම සඳහා සාධාරණ මිලක් ලබා දිය යුතුය. ඒ අනුව ගුණත්වයෙන් යුත් කිරි නිෂ්පාදනය කිරීමටත් වැඩිපුර කිරි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබේ. බොහෝ ගොවීන් හවස් වරුවේ කිරි ලබා ගැනීම නොකරයි. එයට හේතුව ඔවුන්ට අලෙවි කර ගැනීමට තිබෙන අපහසුව සහ ඔවුන් සතුව කිරි කල් තබා ගැනීමේ පහසුකම් නොමැති වීමය. කිරි දෙවීමත් සමග ශීත කළ යුතුය. ලංකාවේ ඒ සඳහා පහසුකම් නැත. ශීතාගාර පහසුකම් අැති ස්ථාන කරා ළඟා වීමට කාලයක් ගත වේ. ඉතා සුළු ප්‍රමාණයක් කිරි ශීත කිරීමේ මධ්‍යස්ථාන දක්නට ලැබේ.
කිරි ශීත නොකළහොත් බැක්ටීරියා සහ වෙනත් ආසාදන තත්ව අැති වී කිරි නරක් වීමට ඉඩ ඇත. ශීතාගාර පහසුකම් සැපයීමට රජය මැදිහත් වී කටයුතු කළ යුතුය. කිරි එකතු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කළ යුතුය. කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානය දක්වා ප්‍රවාහනයට කාලයක් ගත වේ. මේ තත්වය මඟ හරවා ගැනීමට කටයුතු කළ යුතුය. එසේම කිරි ගොවියා විසින් සමහරවිට කිරිවලට යම් යම් ද්‍රව්‍ය එකතු කරයි. විශේෂයෙන්ම ජලය, පිටි, ලුණු, සීනි වැනි ද්‍රව්‍යය එකතු කරයි. මෙවැනි කිරි මිල දී ගැනීම සිදු නොකළ යුතුය. ඒවා ප්‍රතික්ෂේප කළ යුතුය. එවිට එම වරද යළි සිදු නොකරනු ඇත. විශේෂයෙන්ම කිරිවලට වතුර එකතු කිරීම කරයි. කිරි එකතු කරන්නන් මේ තත්වය මැන බලා මිලදී ගනී. අනෙකුත් ද්‍රව්‍ය එකතු කර ඇද්දැයි පරීක්‍ෂා කිරීමටත් ක්‍රමවේද ඇතුළත් කළ යුතුය. නවීන තාක්‍ෂණය එයට යොදාගත හැකිය.
ග්‍රාමීය මට්ටමේ කිරි ශීත කරන මධ්‍යස්ථාන ප්‍රමාණය ඉහළ දැමිය යුතුය. උදේ සවස කිරි එකතු කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි.
එසේම තණකොළ ලබා ගැනීමේ අපහසුතා පවතී. විශේෂයෙන්ම වියළි කලාපයේ වියළි කාලයේ දී තණ කොළ සොයා ගැනීම ඉතා දුෂ්කරය. මේ සඳහා විකල්ප ක්‍රම හඳුන්වා දිය යුතුය. රජය මගින් තණකොළ බිම් නඩත්තු කළ යුතුය. සයිලේජ් භාවිතය ඉහළ දැමිය යුතුය. ප්‍රමාණවත් තරම් රටේ බඩ ඉරිඟු සහ සෝයා බෝංචි නිෂ්පාදනය කළ යුතුය. එසේ වුවහොත් ගුණාත්මයෙන් යුතු සත්ව ආහාර ලබා දිය හැකිය. අඩු මිලට ආහාර ලබා දිය හැකිය. එසේම අවශ්‍ය විටමින් වර්ග ඛනිජ ලවණවල මිල ද පහත හෙළිය යුතුය. ගුණාත්මක බවින් ඉහළ සේම වැඩි කිරි ප්‍රමාණයක්ද ලබාගත හැකිය.
ලෝකයේ කිරි නිෂ්පාදනයේ අංක එකටම සිටින්නේ අපේ අසල්වාසී රටවන ඉන්දියාවය. ඉන්දියාව ගවයාට දෙවියන්ට මෙන් සලකයි. ඔවුහු ජනවාරි මස 14-15 දිනවල තෛපොංගල් නමින් උත්සවයක් පවත්වා ගවයාට ගරු බුහුමන් දක්වති. එසේම සූර්ය දිව්‍ය නමස්කාරය ද කරනුයේ කෘතවේදිත්වය පළ කිරීමටය. ගවයාගෙන් කිරිවලට අමතර බොහෝ වාසි ලබා ගනී. ගොම පොහොරක් ලෙස ඉන්දියාවේ බොහෝ වශයෙන් භාවිත කෙරේ. ලෝක කිරි නිෂ්පාදනයෙන් සියයට 24ක් නිපදවන්නේ ඉන්දියාවය. ඉන්දියාවේ ජනතාවට ගවයා ඉතා සමීප සත්වයෙකි.
ප්‍රමාණවත් තරම් පශු වෛද්‍ය නිලධාරින් ද ක්ෂේත්‍ර නිලධාරින් ද නැත. සත්ව නිෂ්පාදන ව්‍යාප්ති සේවාව මීට වඩා පුළුල් කරමින් ග්‍රාමීය මට්ටමේ කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කළ යුතුය. හොඳම ආදර්ශය අපේ අසල්වැසි රට වන ඉන්දියාවය. කිරි පරිභෝජනයද ඉහළ දැමිය. සියයට 80ක්ම දෙනා ප්‍රකාශ කරනුයේ කිරි ලබා ගැනීමට පහසුකම් නැති බවය. කිරි ලබාදෙන ජංගම රථ ගෙයින් ගෙට යැවීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතුය. විවිධ දියර කිරි හුරු කර වන්නට පුළුවන්ය. පාසල් ළමයින්ට දියර කිරි වීදුරුවක් ලබාදිය හැකි නම් මන්දපෝෂණය දුරු කිරීමට බෙහෙවින් ඉවහල් වේ.
කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන බහුලව දක්නට ලැබේ. යෝගට්, චීස්, බටර්, ගිතෙල්, අයිස්ක්‍රීම්, පැස්ටරීකරණය කරන ලද කිරි ආදිය විශ්වාසවන්ත ලෙස පාරිභෝජනය කළ හැකිය. එහෙත් සමහර යෝගට් සඳහා විවිධ මිශ්‍රණ එකතු කර වෙළෙඳපොළට එවනු ලැබේ. විශේෂයෙන් ප්‍රසිද්ධ සමාගම්වල නමට හා වෙළෙඳ සලකුණුවලට සමාන නම් යොදා ගනිමින් වෙළෙඳ පොළේ ගුණාත්මයෙන් අඩු යෝගට් දක්නට ලැබේ. බරපතළම තත්වය දක්නට ලැබෙන්නේ මුදවපු මී කිරිවලය. මසකට මී කිරි ලීටර් මිලියන 7ක් නිපදවා ශ්‍රී ලංකාවේ මුදවපු මී කිරි අවශ්‍යතාව කිසිසේත් සැපරිය නොහැකිය. වෙළෙඳ පොළේ ඇති මී කිරිවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් ගුණාත්මයෙන් සහ ප්‍රමිතියෙන් තොරය. ඇසිඩ් වර්ග, ප්ලාස්ට් ඔෆ් පැරිස් පේලටින් වර්ග සහ වෙනත් අහිතකර ද්‍රව්‍යය එකතු කර සමහර විට බාල කිරි පිටිවලින් සකස් කරන ලද මී කිරි වෙළෙඳ පොළේ ඇත. මේවා ගැන මහජනයා දැනුවත් විය යුතු අතර ඒවා පාරිභෝජනය කිරීමෙන් ආසාත්මිකතා, හමේ රෝග, බඩේ රෝග හට ගත හැකිය. එබැවින් මී කිරි පරිභෝජනය කිරීම ඉතා පරෙස්සමෙන් කළ යුතුය.
පාරිභෝගික අධිකාරිය හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු දිගින් දිගටම මෙම මී කිරි පරීක්‍ෂා කළ යුතුය. ඒ සඳහා ඉහළ මිලක් දඩ ලෙස අය කිරීමට කටයුතු කළ හැකිය. නියම මී කිරි හඳුනාගන්න මහජනයාට හැකියාවක් හෝ දැනුමක් නොමැත. ඒ නිසා මහජනයා දිගින් දිගටම මෙම රැවටීම්වලට හසු වේ. ස්වයංපෝෂිත වී තිබූ රටක අද මෙරට නිපදවන ද්‍රව්‍යය ගුණාත්මයෙන් යුතුව පරිභෝජනය කිරීමට නොලැබීම ජාතියේ අවාසනාවක් බව ද කේ. බී. ගුණරත්න මහතා පෙන්වා දෙයි.
(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම