IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ගෝන දඩයමේ ගිය සැරයන්ට දුන් දඬුවමට දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් වනජීවියට පාඩමක්

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිටින වල් ඌරන්, මුවන් සහ ගෝනුන් මරා මස් කර විකුණන ජාවාරමක සුලමුල මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ. වැලිකන්ද ප්‍රදේශයේ සිටින සිවිල් ආරක්ෂක නිලධාරියකු මීට පෙර මුවන්, ගෝනුන් සහ වල් ඌරන් මරා තැරැව්කාරයන් හරහා විකුණන වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය. එහි උණුසුම යන්නටත් මත්තෙන් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේදී දඩයම් කර මස් කළ ඌරු මස් හා ගෝන මස් තොගයක් ප්‍රවාහනය කරන බවට වනජීවී නිලධාරින්ට ඔත්තුවක් ලැබෙන්නේ ඔක්තෝබර් 10 වැනිදාය.

ප්‍රවාහනය කරමින් තිබූ මස් තොගය වැටලීමට එම ඔත්තුවට අනුව වනජීවී නිලධාරින් එම ස්ථානයට ගොස් තිබුණි. එහෙත් එම නිලධාරීන්ගේ අණ නොතකා ඔවුන්ද අනතුරට පත් කිරීමට උත්සහ දරමින් මස් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථය පලා ගොස් තිබුණි. එසේ පලා යන අතරේදී දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේදී එම වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන තිබුණි. එම වාහනයේ මස් ප්‍රවාහනයේ යෙදී සිටි සැකකරුවන් තිදෙනකු සිට ඇති අතර ඉන් එක් අයකු පලා ගොස් තිබුණි. එලෙස පලා ගිය සැකකරු ගැන තොරතුරු සෙවීමේදී අනාවරණය වී ඇත්තේ ඔහු දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අනුයුක්තව සේවය කරන සාජන්වරයකු බවය.

අදාළ සැකකරු සාජන්වරයා සහ සිවිල් ආරක්ෂක නිලධාරියා එක්ව දීර්ඝ කාලයක සිට වනසතුන් දඩයම් කර මස් පිණිස විකිණීමේ ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. කෙසේ හෝ ඔක්තෝබර් 10 වැනිදා වෑන් රථයකින් ගෝන මස් කිලෝ 47 ක් සහ වල් ඌරු මස් කිලෝ 17 ක් ප්‍රවාහනය කරමින් තිබෙන බවට ලැබුණු ඔත්තුව අනුව මෙම වැටලීම කර තිබුණි. හෙනානිගල ආදිවාසී ගම්මානයේ කාලයක සිට මුවන්, ගෝනුන් සහ වල් ඌරන් මරා කරගෙන ගිය දඩමස් ජාවාරමේ සුලමුල ඒ අනුව අනාවරණය විය. අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරිමේදී අනාවරණය වී ඇත්තේ සැකකාර පොලිස් සැරයන්වරයාගේ වුවමනාව මත මෙම දඩ මස් ප්‍රවාහනය කළ බවය.

මෙලෙස මස් ප්‍රවාහනය කර ඇත්තේ කොළ පාටට හුරු වෑන් රථයකින් බව වනජීවිය මේ ගැන අධිකරණයට ඉදිරිපත් කර ඇති අංක B 638/24 වාර්තාවෙන් පෙන්වා දී ඇත. එම වෑන් රථය පලා යාමේදී වනජීවී නිලධාරීන් විසින් ඒ පසුපස පැන්නූ බවත් වාහනයට ඉස්සර කර හරස් කරන අවස්ථාවේ සඳුන්පුර ප්‍රදේශයේදී වනජීවී කැබ් රථයේ බෆර් කොටසේ වද්දා පලා ගිය බවද “බී”‍ වාර්තාවේ සඳහන් වෙයි. පසුව පලා ගිය රථය මුවගම්මන කහ පාලම ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇත. වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතට අනුව අධි ආරක්ෂිත ක්ෂීරපායි සතකු වන ගෝනකුගේ මස් කිලෝ හතළිස් හතක් සහ වල් ඌරු මස් කිලෝ 17 ක් එම වෑන්‍ රථයේ තිබී ඇති බව “බී”‍ වාර්තාව මගින් පෙන්වා දෙයි. කෙසේ හෝ මෙම සිදුවීමෙන් පසු සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇපමත නිදහස්කොට ඇත.

අප මේ කියන කතාවේ පසුබිම වෙනස් වන්නේ ඉන් පසුවය. ඊට හේතු වී තිබෙන්නේ දෙහිඅත්තකණ්ඩියේ පොලිසියේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන නව මැදගම හෙනානිගල උද්‍යාන පිවිසුමේ වනසත්ව අඩවි ආරක්ෂක   මෙන්ම වනසත්ව අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් නැගෙනහිර පළාතේ වනජීවී සහකාර අධ්‍යක්ෂ වෙත යවන ලිපිය නිසාය. මාගේ අංක වජි/හෙපි/out/686/2024 අංකයෙන් යවන ලද ලිපියෙන් පෙන්වා දෙන්නේ මෙවැන්නකි. ඔක්තෝබර් 10 දින මස් දඩයමේ ගිය පොලිස් සැරයන්ට විරුද්ධව වනජීවිය නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වනජීවියට කරන කෙණෙහිලිකම් ගැනය.

වනජීවිය සතුව ඇති වාහනවල ආදායම් බලපත්‍ර ලබා දෙන්නේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය මගිනි. එලෙස ආදායම් බලපත්‍රය ලබා දීමේදී නියමිත දිනට රජයේ වාහන සඳහා ආදායම් බලපත්‍ර ලැබෙන්නේ නැත. එක්කෝ මාසයක් දෙකක් පමා වෙයි. සාමාන්‍ය පෞද්ගලික වාහනයක ආදායම් බලපත්‍ර කල් ඉකුත් වී ධාවනය කිරීම නීතියෙන් වරදකි. එහෙත් රජයේ වාහනවලට එම නීතිය බලපාන්නේ නැත. ඒ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ඊට අදාළ ක්‍රමවේද වඩාත් ඉක්මනින් ඉටු නොකිරීම හේතුවෙනි. මේ නිසා ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රජයේ වාහනවල ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීමක් කරනුයේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණය.

එහෙත් හෙනානිගල ප්‍රදේශයේ වනජීවී නිලධාරීන්ට මේ දිනවල සිය රජයේ වාහන සඳහා ආදායම් බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීමේ හැකියාව ඇහිරී ඇත. ඊට හේතු වී ඇත්තේ ඔක්තෝබර් 10 වැනි දින දෙහිඅත්තකණ්ඩියේ ගෝන මස් දඩයමේ ගිය සාජන්වරයාට එරෙහිව වනජීවී නිලධාරීන් ක්‍රියා කිරීම නිසා බව වනජීවියේ චෝදනාවයි.” ආදායම් බලපත්‍ර නොමැතිව වාහනයක් ධාවනය කරන්න බෑ. ඒක ඇත්ත. නීතිය අනුව ඒක වැරදියි. එහෙත් වනජීවී වාහන කියන්නේ රජයේ වාහනයක්. ඒ වාහනවලට ආදායම් බලපත්‍ර ලබා දෙන්නේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන්. ඒ බලපත්‍ර එනකොට ටික කලක් ගත වෙනවා. එහෙත් ආදායම් බලපත්‍ර නෑ කියලා අපට කැලෑ කපන එක වටලන්න යන්න, සත්තු දඩයම් කරන එක නතර කරන්න බෑ. අපි ඒවාට යන්න ඕන. එහෙත් ආදායම් බලපත්‍ර බල බල ඒ වැඩේ නතර කරන්න බෑ. ඒ නිසා ගොඩක් රජයේ වාහනවල ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීමක් වෙන්නේ බොහොම අඩුවෙන්”‍ යැයි වනසත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජේකෝන් මහතා ද පෙන්වා දෙයි.

එසේම ආදායම් බලපත්‍ර නොමැතිව 2024-10-29 දින මාවනවෙල වන අලි පාලන ඒකකයේ වන සත්ව නියාමකවරයා සිය රාජකාරි යතුරුපැදියෙන් රාජකාරියේ යෙදී සිටියදී අංක BJB 7606 යන යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්‍රය නොමැතිව ධාවනය කළා යැයි දෙහිඅත්තකණ්ඩියේ පොලිසියේ රථවාහන නිලධාරීන් දඩ කොළ ලබා දී ඇත. තවද 2024-10-31 දින නවමැදගම වනජීවී කාර්යාලයේ ස්වෙච්ඡා මාර්ගෝපදේශකවරයා ගමන් ගත් වාහනයට දඩ කොළයක් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ලබා දී ඇත. එලෙස දඩ කොළ ලබා දීමේදී දෙහිඅත්තකණ්ඩිය රථවාහන අංශයේ නිලධාරීන් පවසා ඇත්තේ වනජීවී නාමය ගෑවුණු අයකුට කිසිදු සමාවක් නොදෙන ලෙසට දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපතිවරයා උපදෙස් ලබා දී බවය. මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කාර්යාලයේ නිලධාරීන් සමඟ දැඩි කේන්තියෙන් පසුවෙන බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසූ බව හෙනානිගල වනසත්ව අඩවි ආරක්ෂක නැගෙනහිර පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ වෙත යැවූ ලිපියේ සඳහන් වෙයි.

මෙලෙස දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් වනජීවී නිලධාරීන්ට බලපෑම් එල්ල වීමට හේතු වී ඇත්තේ ගෝන දඩයමේ ගිය සැරයන්වරයාට නීතිය ක්‍රියාත්මක කළ නිසා බව යැයි වනසත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා ද පෙන්වා දෙයි. එම ගෝන මස් සහ වල් ඌරු මස් තොගය ඇල්ලූ පසු සාමදාන කර සැරයන්වරයා මුදා හැරීමට කටයුතු නොකිරීම නිසා මේ ආකාරයට වනජීවියට අයත් වාහන සඳහා දඩ කොළ නිකුත් කිරීමට පටන්ගෙන ඇති බවද කුමාරසිරි විජේකෝන් මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් හෙනානිගල වනජීවී කාර්යාලයට අයත් සහ මාදුරුඔය ජාතික වනෝද්‍යාන කලාපයේ වනජීවී නිලධාරීන්ට සිය රාජකාරි කටයුතු කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බව කුමාරසිරි විජේකෝන් මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ආදායම් බලපත්‍ර නිකුත් නොකළ ට්‍රැක්ටරයක් සහ යතුරුපැදි ධාවනය කිරීමට නොහැකි වී තිබේ. එහෙයින් දඩයමේ යන පුද්ගලයන් අල්ලා නීතිය ක්‍රියාත්මක වීමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු බව ද කුමාරසිරි විජේකෝන් මහතා පෙන්වා දෙයි.

වල් ඌරු මස් කිලෝ 17 ක් සහ ගෝන මස් කිලෝ 47ක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් සැරයන් ඇතුළු පිරිස සාමදාන කර නිදහස් නොකිරීම හේතු කොටගෙන පොලිසියෙන් එල්ල වන බලපෑම් නවතන ලෙස කුමාරසිරි විජේකෝන් මහතා ඉහළ බලධාරීන්ගෙන්ද ඉල්ලා සිටියි. වනජීවී නිලධාරීන් කළේ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය පිරිස් අල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමය. එසේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සැරයන්වරයාට නීතිය ක්‍රියාත්මක නොකර ආයතනික ප්‍රශ්නයක් සේ සලකා එය නොසලකා හැරිය යුතු බව පොලිසියේ මතය බව කුමාරසිරි විජේකෝන් පෙන්වා දෙයි. පොලිස් නිලධාරියකු රක්ෂිතයකට ඇතුළු වන සතුන් දඩයම් කිරීම ආයතනික ප්‍රශ්නයක් සේ සලකා එය නොසලකා හැරිය නොහැකිය. වනජීවී ආඥා පනතේ 66:1 වගන්තියෙන් පෙන්වා දෙන්නේ වනසතුන් දඩයම් කිරීම ප්‍රවාහනය කිරීමට එරෙහිව පොලිස් නිලධාරීන්ටද නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවය. එම නීතිය ක්‍රියාත්මක නොකිරීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.

එලෙස නීතිය වනජීවී ආඥා පනත යටතේ පෙන්වා දී තිබියදී පොලිස් නිලධාරීන් සතුන් දඩයම් කිරීම අනුමත කළ නොහැකිය. ලංකාවේ ඇති විශාලතම සහ දුර්ලභ සතුන් ජීවත් වෙන ජාතික වනෝද්‍යානය මාදුරුඔයයි. එවැනි රක්ෂිතයකින් සතුන් මරා ප්‍රවාහනය කිරීම ආයතනික වශයෙන් නොසලකා හැරිය යුතු ක්‍රියාවක්ද යන්න බලධාරීන් සොයා බැලිය යුතු කරුණකි. නීතිය රකින අයම නීතිය කඩනවා නම් නීතිය රැකීමක් සිදුවෙන්නේ නැත. එවිට ඉන් ප්‍රයෝජනය ගන්නේ දඩයමේ යන උදවියයි. දෙහිඅත්තකණ්ඩියේ පොලිසිය වනජීවියට මේ ආකාරයට දඩ කොළ ලියා කරන බලපෑම මත මේ නඩුවේ සාක්ෂිකරුවන්ද යම් ආකාරයක තැතිගැන්මකට ලක් වී ඇති බව කුමාරසිරි විජේකෝන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් සාක්ෂිකරුවා සහ වින්දිතයා ආරක්ෂා කිරීම වනජීවී නිලධාරීන්ටද දැන් ගැටලු‍වක් වී තිබෙන බව කුමාරසිරි විජේකෝන් මහතා පෙන්වා දෙයි. පොලිස් දෙපාර්තමේන්තුව සහ වනජීවිය යනු අ​ෙන්‍යාන්‍ය සහජීවනයෙන් වැඩ කරන ආයතන දෙකකි. වනජීවී නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව, අවි හරඹ ඉගැන්වීම් කටයුතු සිදු කරනුයේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේය. එසේම වැටලීම්වලදී පොලිසියේ සහය ද නිරන්තරයෙන් වනජීවියට ලැබෙන මොහොතක ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා මේ සහජීවනයට බලපෑමක් ඇතිවන බව ද කුමාරසිරි විජේකෝන් පෙන්වා දෙයි.

මේ අතර වනජීවියට ලැබුණු ඔත්තුවකට අනුව දෙහිඅත්තකණ්ඩිය නගරයේ හෝටල් දෙකක කළ වැටලීමකදී ගෝන මස්, වල් ඌරු මස් මෙන්ම මුව මස් ද හමුවී තිබුණි. එසේම පසුගිය කාලයේ දඩයමේ ගොස් සතුන් මරා මස් කර විකිණූ වැලිකන්ද ප්‍රදේශයේ ආරක්ෂක අංශ සාමාජිකයකු ගැන ද වාර්තා වුණි. මේ දඩමස් ජාවාරම ජාලගත ආකාරයෙන් මේ සියලු‍ දෙනා එක්ව කරන බවට සොයා බලන විමර්ශනයක්ද වනජීවියෙන් ආරම්භ කර ඇත.

ඒ අනුව දඩමස් ජාවාරමට සම්බන්ධ ඇතැම් පිරිස් වනජීවී නිලධාරීන්ට බලපෑම් කරන ආකාරය ද පසුගිය කාලයේ වාර්තා වුණි. එසේ නම් පොලිසියේ නම ද අවභාවිත කරමින් මෙලෙස වනජීවී නිලධාරීන්ට බලපෑම් කරන්නේ දඩ මස් ජාවාරමේ නිරත පිරිස් ද කියා දන්නේ නැත. එනිසා මේ ගැන සොයා වනජීවී නිලධාරීන්ගේ රාජකාරිය නිසි ලෙස කිරීමට අවස්ථාව උදාකර දීම වැඩබලන පොලිස්පතිවරයාගේ ද යුතුකමකි. නැතහොත් සිදුවෙන්නේ ජාතික වානෝද්‍යානවල සිටින සතුන් මරා මස් කර ජාවාරම ජයටම සිදු කිරීමක් පමණි.

 

- දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති

වනජීවියේ වාහන අල්ලා දඩ කොළ ලියන්නේ ගෝන දඩයමේ ගිය සැරයන්ට නීතිය ක්‍රියාත්මක කළ නිසාද කියා එල්ල වන චෝදනාව ගැන දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ මූලික පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික මහතාගෙන්ද විමසා සිටියෙමු. එහිදී ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙවැන්නකි. කිසිම අයුරකින් වනජීවී නිලධාරීන්ට බලපෑම් කරලා නෑ. වාහනවල ආදායම් බලපත්‍ර නැත්නම් ලියන එක නීතියට අනුව කරලා ඇත්තේ. එහෙම ලියන්න වාහන ඒ අයට නෑ. එක වාහනයයි තියෙන්නේ. එහෙම රජයේ වාහන ලියන්නේ නෑ. වනජීවී එක කියන චෝදනාව වැරදියි. යතුරුපැදි දෙකක් ලියලා තිබුණා ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතිකය නැති නිසා. ඒ හැරෙන්න කිසිදු බලපෑමක් අපි වනජීවී නිලධාරීන්ට කරලා නෑ. වනජීවී එකේ වැටලීම්වලට අපේ සහය උපරිමයෙන් ලබා දෙනවා. එකට වැඩ කරනවා. එහෙම වැඩ

කරද්දි එයාලා මොකක් හරි වෙන හේතුවක් තියාගෙන පොලිසියට චෝදනා කරන්නේ යැයි ස්ථානාධිපතිවරයා කීය.

වනජීවී දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාතේ සහකාර අධ්‍යක්ෂ ප්‍රේමරත්න විමලදාස මහතාගෙන්ද මේ ගැන විමසූ විට පැවසුවේ මෙවැන්නකි.

 

- නැගෙනහිර පළාත් සහකාර වනජීවි අෂ්‍යක්ෂ

වනජීවි එකේ වාහන ආදායම් බලපත්‍ර නැතිව රක්ෂණ සහතික නැතුව අල්ලන බවට අපේ නිලධාරින් දැනුවත් කළා.මේ ගැන වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළා.පොලිසියෙන් ලියන්නේ අපේ වරදක් තියෙන නිසයි.අපි අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කර කියා සිටියේ නැගෙනහිර පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරයව සහ ​ෙජෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කොට අදාළ ස්ථානාධිපතිවරයාව දැනුවත් කරන ලෙසයි.සමහරවිට ස්ථානාධිපතිවරයා එහෙම බලපෑමක් කළා වෙන්න පුළුවන්. මේ සම්බන්ධව පොලිසියෙන් වෙනම පරීක්ෂණයක් සිදුකරනවා.

දෙහිඅත්තකණ්ඩිය  පොලිසිය එහෙම දෙයක් කළා නම් ඒ අයගේ ප්‍රාථමිකත්වය ඒකෙන් පේනවා.අපට ඔත්තුවක් තිබුණා සතුන් දඩයම් කළ අය දිගටම මේ වැඩේ කරනවා කියලා.මේ ආකාරයට කුමන ප්‍රදේශයේ සතුන් දඩයමක් කර කෙනෙක් ඇල්ලුවා.එයා පොතුවිල් ප්‍රදේශයේ ආරක්ෂක අංශයක අණදෙන නිලධාරිවරයෙක්.එයාගේ වැඩ තහනම් වුණා. සිවිල් ආරක්ෂක අය ගුවන් හමුදාවේ අය හසු වුණා.අපේ නිලධාරින්‍ට නොයෙක් කරදර කළා.වනජීවි පනතේ විධි විධානවලට අනුව නීතිය අපි කරනවා.වැරදි කරන අයට නීතියෙන්

දඩුවම් කරනවා යැයි ද නැගෙනහිර පළාත් සහාකාර අධ්‍යක්ෂවරයා කීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් මේ ගැන විමසීමකදී පැවසුවේ මෙවැන්නකි.

 

- පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීභු නිහාල් තල්දූව

වනජීවියට නෙමෙයි කිසිම කෙනෙකුට ආදායම් බලපත්‍ර නැතිව වාහනයක් පාරට දාන්න බෑ.ඒ වගේම යතුරු පැදි දෙකක් ආදායම් බලපත්‍ර නැතිව ලියලා තියෙනවා. මේ යතුරු පැදි පැදලා තියෙන්නේ සිවිල් ආරක්ෂක අය.ඒ අයට වනජිවි නිලධාරින්ට ලබා  දෙන යතුරු පැදි පදින්න බෑ.මේ සිදුවීම ගැන පොලිස් පරීක්ෂණයක් තියන්න තරම් දෙයක් වෙලා නෑ.මොකද වනජීවි නිලධාරින් සිය යතුරු පැදි පැදලා

තියෙන්නේ ආදායම් බලපත්‍ර නැතිව යැයි  නිහාල් තල්දූව මහතා කීය.

 

(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
සුධාරිකා ගුරුසිංහ
ජායාරූප - සමන්ත පෙරේරා



අදහස් (12)

ගෝන දඩයමේ ගිය සැරයන්ට දුන් දඬුවමට දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් වනජීවියට පාඩමක්

Janaka Paranamama Thursday, 07 November 2024 05:28 PM

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ද නීත්‍යානුකූලව හැසිරෙන්න ඕනෑ?

:       0       34

AthulaFriday, 08 November 2024 12:36 PM

පෙන්වා නේද කොහොමද දූෂණය, අපරාධ, වංචා, අවනීතිය රජ වෙන ක්‍රමය පැතිරී ඇති ස්වභාවය..? මාලිමාවට මැතිවරණයට පසුව බරපතල ලෙස මේවාට මැදිහත් වෙන්න වෙනවා. මේවා කොයිතරම් කෘරයිද? කොච්චර හිරිකිතයිද..? මිනිස්සු කොයිතරම් අමානුෂික ලෙස දූෂණයට හුරු වෙලාද කියලා තේරුම් ගන්න පුළුවන්...!

:       4       32

Bandara Thursday, 07 November 2024 06:30 PM

සාමාන්‍යයෙන් වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත්කරන්නේ රජයට ආදායම් ගැනීමට කියලා මේ කියන පොලිස් ස්ථානාධිපති හැර නොදන්නා කෙනෙක් නැහැ. වාහන ආදායම් බලපත්‍රය කියලා තමයි එහි දැක්වෙන්නේ. එහෙම නම් ඒකවත් තේරුම් ගන්න බැරුව කොහොමද සාමය රකින්නේ කියලා ප්‍රශ්නයක් ඇතිවෙනවා. රජයේ වාහන සඳහා වාර්ෂික බලපත්‍රය නිකුත්කරන්නේ රජයට ගාස්තුවක් අයකිරීමෙන් තොරව එය රජයේ කටයුතු සඳහා පාවිච්චියට ගන්නවා කියන සහතිකය මත තමයි ඒත් රක්ෂණ සහතික සඳහා ගාස්තු ගෙවනවා. එහෙම නම් එම පොලිස් නිළධාරි කරලා තියෙන්නේ රජයේ කටයුතු වලට බාධාවක් වගේම පලිගැනීමක් කියන්න පුළුවන්... වනජීවියේ අයට තියෙන්නේ දඩකොළ ලිව්වාම නොගෙවා සිටීම තමයි... ඉන් පස්සේ අධිකරණයට ගියාම තත්වය පැහැදිලි කරන්න...

:       3       47

සරත් වීරසිංහ Friday, 08 November 2024 04:31 AM

වෙලාවට ආදායම් බලපත්‍ර කල්ඇතිව ගත යුතුයි. එසේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා බලපත ගැනීමට නොහැකි වී නම් එම දඩය රජයෙන්ම ගෙවිය යුතුයි. බලපත නැතිව යන්න බෑ කියන්නේ පනින රිලවුන්ට ඉනිමං බැඳීමක්...

:       1       11

සරත් වීරසිංහ Friday, 08 November 2024 04:34 AM

වැරදි දෙකයි දෙපාර්ශයෙන්...

:       0       10

Dhanushi Friday, 08 November 2024 09:28 AM

සාමාන්‍ය රජයේ ක්‍රියා පිළිවෙල අනුව අවශ්‍ය කටයුතු සිදු වෙනකොට යන්න කාලයක් ගතවෙනවා. එය වළක්වා ගැනීමට වනජීවිය උත්සාහ කළ යුතුයි. නමුත් මෙසේ දඩ කොල ලිවීමට පොලිසිය පටන් ගෙන ඇත්තේ 2024 ඔක්තෝම්බර් මාසයෙන් පසුවද යන්න සොයා බැලිය යුතුයි. සාමාන්‍යයෙන් වනජීවියේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ වසරේ පමණක් ප්‍රමාද වූවා විය නොහැකියි. පොලිස් සැරයන්වරයෙකු අදාල වන සතුන් මැරීමේ කටයුතුවල නිරත වුණා නම් බොහෝ විට ඉන් කොටසක් පොලිස් ප්‍රධාන පොලිස් ස්ථානාධිපති වෙත යාමට ඉඩ ඇති බව සිතිය හැකියි. එබැවින් නිසි පරීක්‍ෂණයක් පැවැත්වීමෙන් අදාළ පොලිසි ස්ථානාධිපතිවරයාගේ පළිගැනීමක්ද, නැතිනම් වනජීවී නිලධාරීන්ගේද බොරු චෝදනාවක්ද යන්න පැහැදිලි කරගත හැකියි. නිහාල් තල්දුව මහතා පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි පවසන්නේ මන්ද? යන්න අවබෝධ කරගත නොහැකියි.

:       0       13

Danushi Friday, 08 November 2024 01:59 PM

රජයේ කාර්යාලවල ක්‍රියා පටි පාටි වලට අනුව කටයුතු කරනකොට කොහොමත් ඔය වගේ කටයුතු කිරීමේ යම්කිසි ප්‍රමාදයක් සිදුවෙනවා. මම හිතන්නේ වනජීවිය එය නිවැරදි කරගත යුතුයි. එහෙත් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ හැසිරීම සැක සහිතයි. මෙවැනි ආදායම් බලපත්‍ර අලුත් කිරීමට ප්‍රමාද වීම් මෙම වසරේ විතරක් වන ජීවියෙන් සිදුවූවා යයි සිතිය නොහැකියි. එබැවින් 2024 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයට පෙර මේ වගේ දඩ ගැසීම් සිදුකර ඇතිද යන්න පරීක්ෂණයක් මගින් සොයා බැලිය හැකියි. පොලිස් සැරයන්වරයෙකු වන සතුන් දඩයම් කිරීමේ කටයුතු සිදු කළා නම්, පොලිස් ස්ථානාධිපතිවරයා එය දැන නොසිටීම සාමාන්‍යයෙන් විශ්වාස කළ නොහැකියි. යම්කිසි කොටසක් ඔහුටත් ගියා විය හැකියි. එබැවින් පොලිසි ස්ථානාධිපතිවරයා නීතියේ මුවාවෙන් පළිගැනීමකට කටයුතු කරනවා නම් එය අනුමත කළ නොහැකියි. එමෙන්ම නිහල් තල් දූව මහතා පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි පවසන්නේ නම් එයද පුදුම සහගතයි.

:       0       11

dileepa1986 Friday, 08 November 2024 04:19 PM

ආදායම් බලපත්‍ර ගන්න කියන්නේ ඇයි...? රජයට ආදායමක් ගන්න. එක දෙපාර්තමේන්තුවකින් වෙනත් දෙපාර්තමේන්තුවකට ගාස්තුවක් ගෙව්වා කියලා රජයට ඇති ලාභයක් නෑ නේද? ඕවාගෙන් වෙන්නේ තව කාලයත් වියදමත් වැඩිවෙන එක විතරයි. රජයේ වාහන සඳහා ඕවා අයින් කරන්න නීති ඕනෑ...

:       0       13

saman Saturday, 09 November 2024 09:02 AM

වසර කීපයකට ඉහතදී දඹුල්ලේ පාසලක ක්‍රීඩාපිටිය පොලිස් පෙරට්ටුවකට ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණා. ඉන් පසුදාම පොලිසියේ අය කලේ අදාළ පාසලේ ගුරුවරුන්ගේ යතුරුපැදි හා වාහනවල බලපත්‍ර පාසල අසල සිට පරික්ෂාකර එම ගුරුවරුන්ව අපහසුතාවයට පත්කිරීමයි. මේවගේ ප්‍රාථමික වැඩ කරන අයට ක්ෂණිකවම නිසි දඬුවම් ලබා නොදී අපේ රට හදන්න බැහැ. විජිත හේරත් ඇමතිතුමනි, පසුගිය පොලිසියේ අක්‍රමිකතා නැතිකොට යහමගට ගැනීමට ඉක්මනින්ම කටයුතු කරන්න.

:       0       13

නිහාල් Saturday, 09 November 2024 11:49 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කිවුවලු පොලීසියෙන් පරීක්ශණ කරන්න දෙයක් නෑ කියලා. එතකොට මස් ප්‍රවාහනය කරලා ඇප පිට ඉන්න සාර්ජන්ට් ගැන මාධ්‍ය ප්‍රකාශකයාට ප්‍රශ්නයක් නැති වීමේ රහස මොකක්ද?

:       0       15

dadamas Sunday, 10 November 2024 11:51 AM

සාජන්ට දඩමස් ව්‍යාපාරය කරගන්න දෙන්න. පොලිසියටත් මස් කන්න ආස ඇතිනේ...!

:       0       7

Perera Monday, 11 November 2024 07:20 PM

ඔය දෙහිඅත්ත කණ්ඩිය පොලිසියේ කකුළුවා නටන්නේ වතුර රත්වෙනකන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නොකැඩෙන ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා
2024 දෙසැම්බර් මස 21 404 1

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්


ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල
2024 දෙසැම්බර් මස 20 660 0

රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි


ඉන්දීය - චීන ආර්ථිකයේ ආදර්ශය
2024 දෙසැම්බර් මස 19 588 0

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල


බැඳුම්කර ආර්ථික බලපෑම
2024 දෙසැම්බර් මස 18 1389 0

ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට


දේශගුණික අර්බුදවලට අප සූදානම්ද?
2024 දෙසැම්බර් මස 18 160 1

නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව


ආනයනික සහලේ අලකලංචිය
2024 දෙසැම්බර් මස 16 795 0

සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 119 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 110 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site