IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඡන්දයට බාහිර බලපෑම්

මෑත කාලයේ ඇමෙරිකානු තානාපතිනි ජුලි  චං හා වෙනත් ඇතැම් බටහිර රටවල තානාපතිවරුන් කළාසේ ඔවුන් වෙනුවට චීන තානාපති ක්වි සෙන්හොං මෙරට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් හමුවී මෙරට මැතිවරණ නිදහස්ව හා සාධාරණව පැවැත්වීම අවධාරණය කරමින් සාකච්ඡා කළේ නම් බටහිර රටවල තානාපතිවරුන් ඒ පිළිබඳව කෙතරම් ‘‘කනස්සල්ල’’ පළ කරන්නට ඉඩ තිබුණේ ද?

බටහිර රටවල් පමණක් නොව මේ රටේම ඇතැම් දේශපාලන පක්ෂ පවා එවැනි හමුවීමක් කෙසේ හඳුවන්නට ඉඩ තිබුණේ ද?

එසේම ඇමෙරිකාවේ සිටින මෙරට හෝ ඉන්දියාවේ තානාපතිවරයකු ඇමෙරිකාවේ මැතිවරණ බලධාරීන් හමුවී ළඟ එන එරට ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කිරීමක් ගැන සිතා බැලීමට හෝ හැකිද? මෙම ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මගින් බටහිර රටවල් විසින් අනෙක් අය මත පටවනු ලැබ ඇති ලෝක සැකැස්ම පිළිබඳ අදහසක් ගත හැකිවනු ඇත.

ඇමෙරිකානු තානාපතිනි ජුලි චං ඉකුත් මැයි 28 වැනිදා මෙරට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී මේ රටේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණ පිළිබඳව සාකච්ඡා කිරීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරනු අසන්නට ලැබේ. ඒ මැතිවරණ කොමිෂන් සභාව මේ රටේ හෝ විදේශයක කිසිවකුගේ බලපෑමෙන් තොර ස්වාධීන ආයතනයක් ලෙස සැලකෙන හෙයිනි.

එසේම පසුගිය කාලයේ මේ රටේ පැවැති ඇතැම් ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණවලට ඇතැම් රටවල් විවිධාකාරයෙන් බලපෑම් කොට ඇති බවට යම් යම් කණ්ඩායම් පසුගිය කාලයේ චෝදනා එල්ල කොට තිබිණි. ඇමෙරිකාව, චීනය, ඉන්දියාව වැනි ප්‍රබල රටවලට එහි දී ඇඟිල්ල දිගු කෙරිණි. ඒ පසුබිම නිසාද ඇමෙරිකානු තානාපතිනිය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවීම වැදගත් බව පෙනේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසු එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පරාජය ගැන බිය වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම මැතිවරණ කල්  දැමීම සඳහා විවිධ උපක්‍රම යෙදීය. ඉන් එක් උපක්‍රමයක් ලෙස ඔහු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිය කාර්යාලයට කැඳවා එම කොමිසමේ මතභේද ඇති බව කියමින් නැති ප්‍රශ්නයක් ඇති කරන්නට උත්සාහ කළේය. විධායකයේ ප්‍රධානියා ස්වාධීන කොමිසමක් එසේ මුණ ගැසීම  පවා මේ රටේ විරුද්ධ පක්ෂවල දැඩි විවේචනයට ලක්විය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු තානාපතිනිය හා මැතිවරණ කොමිසම අතර හමුව සම්බන්ධයෙන් එම දෙපාර්ශවය පවසා තිබුණේ එය විශේෂ හමුවක්  නොවන බවය. එම හමුව පැවැති දිනයේම ඇමරිකානු තානාපතිනිය සිය කලින් ට්විටර් යනුවෙන් හැඳින්වුණු ‘‘එක්ස්’’ ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණ සැලසුම් පිළිබඳව දැන ගැනීම සඳහාත් එම ක්‍රියාවලියේ දී විවෘත භාවයේ අවශ්‍යතාව අවධාරණය කිරීම සඳහාත් එම හමුව සිදු වූ බවය.

එම හමුව පිළිබඳ ඩේලි මිරර් පුවත්පතේ නියෝජිතයකු මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.අයි. රත්නායක මහතාගෙන් කළ විමසීමේ දී ඔහු පවසා තිබුණේ එය හුදු සාමාන්‍ය හමුවීමක් ලෙසය. එහිදී ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ නියමිත පරිදි පැවැත්වෙනු ඇතැයි තමන් තානාපතිවරියට පැවසූ බවත් ඔහු සඳහන් කොට තිබිණි.

ජනාධිපතිවරණය කල් දමනු ලැබිය හැකි බව පසුගිය මාස කීපයක් තිස්සේ විටින් විට සැක පහළ වෙමින් තිබිණි. ඒ අනුව තානාපතිනිය ඒ ගැන කොමිසමෙන් විමසා ඇති බවත් ඊට කොමිසමේ සභාපතිවරයා ඉහත කී අයුරින් පිළිතුරු දී ඇති බවත් පෙනේ.

කවුරුන් කුමක් කීවද ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පාර්ශව වෙත මෙම හමුව යම් බලපෑමක් කරන්නට ඇති බව සිතිය හැකිය. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමට හා ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කරන බව පෙනෙන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මෙම හමුව තරමක හෝ බලපෑමක් කරන්නට ඇත.

මෙම හමුව හා රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර දෙකක් හෝ ජනාධිපති ධුරයේ සිටීම සඳහා ජනමත විචාරණයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි එජාපයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීම එකම දිනයේ (මැයි 28) සිදුවීම අහඹුවක් වුවද ඉතා වැදගත්ය. තම අදහසට රටේ විරෝධතාවක් ඇත්දැයි එජාපය එහි ප්‍රධාන ලේකම්වරයා ලවා “මුට්ටිය දමා බැලූ” අතර, ඇමෙරිකානු තානාපතිනිය ‘‘අපි ඔය ඔක්කොම බලාගෙනයි ඉන්නේ’’ යන පණිවිඩය මෙම හමුව මගින් දී ඇත.

වසර 33කට පෙර මේ රටේ මැතිවරණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ප්‍රබල විදේශයක තානාපතිවරයකු කළ තවත් මැදිහත්වීමක් දෙරට අතර රාජතාන්ත්‍රික අර්බුදයක් ඇති කළ අතර එහිදී එම තානාපතිවරයා රටින් පිට කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.

එහෙත් එම සිද්ධිය මෙදා ඇමෙරිකානු තානාපතිනිය මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවීම තරම් ‘‘සාමාන්‍ය’’ සිද්ධියක් නොවීය. එදා එම සිද්ධිය බරපතළ එකක් බවට පත් වූයේ එහිදී අදාළ තානාපතිවරයා ආණ්ඩු පක්ෂය මැතිවරණ දූෂණයේ යෙදෙන බවට පොලීසියට පැමිණිලි කිරීම නිසාය.

 මෙම මතභේදකාරී සිද්ධිය සිදු වූයේ 1990 මැයි මස 11 වැනිදාය. එදින පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත් වෙමින් තිබිණි. ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ දූෂණ පිළිබඳව බ්‍රිතාන්‍ය තානාපතිනි ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ට පැමිණිල්ලක් ලැබුණේ ඔහු මාතර  බලා යමින් සිටිය දී දික්වැල්ලේදීය. ඒ අනුව ග්ලැඩ්ස්ටන් පොලීසියට පැමිණිල්ලක් කළේය.

ඒ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මර්දනය කොට වසර දෙකක් ගත වී තිබිණි. එම මර්දනයේ දී ආණ්ඩුව පාර්ශ්වයෙන් අනීතික මිනිස් ඝාතන අති විශාල සංඛ්‍යාවක් කෙරුණු බවට චෝදනා එල්ල විය. ඒ පිළිබඳව එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් වූ මහින්ද රාජපක්ෂ හා වාසුදේව නානායක්කාර යන දෙදෙනා ජීනිවා නුවරට ඉදිරිපත් කළ වාර්තා අනුව පුද්ගලයන් 64,000ක් අතුරුදහන් වූ බව කියවේ. මේවා පිළිබඳව ග්ලැඩ්ස්ටන් විවිධ ස්ථානවල දී තම අප්‍රසාදය පළ කොට තිබිණි.

 එජාපය ආණ්ඩුව හා ග්ලැඩ්ස්ටන් අතර ඇතිවූ මතභේදයට තවත් පසුබිමක් තිබිණි. ඒ ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස යන දෙදෙනාගේ පාලන කාලවල දී සිදු වූ මහා පරිමාණ මැතිවරණ දූෂණ ක්‍රියාය.

ඒ කාලයේ මැතිවරණ ක්‍රියාවලිය මුළුමනින්ම පාහේ පාලනය කෙරුණේ එජාපයේ මැරවරයන්ට අවශ්‍ය පරිදිය. මැරවරයෝ විරුද්ධ පක්ෂවල රැස්වීම්වලට පහර දී ඒවා කඩා කප්පල් කළහ. ඇතැම් ප්‍රදේශවල විරුද්ධ පක්ෂ රැස්වීම් පැවැත් වූයේ ද නැත. බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල විරුද්ධ පක්ෂයේ ඡන්ද නියෝජිතයෝ පළවා හරිනු ලැබූහ. එවැනි බොහෝ මධ්‍යස්ථානවල මැරවරයන්ට අවශ්‍ය පරිදි ඡන්ද පෙට්ටි පුරවනු ලැබීය.

ඇතැම් මැති ඇමැතිවරු පිස්තෝල අත ඇතිව ඡන්ද මධ්‍යස්ථානවලට තම මැරවරයන් සමග කඩා වැදුනාහ. විරුද්ධ පක්ෂවලට ඡන්දය දෙනු ඇතැයි සැක කරනු ලැබූ පිරිස්වල ඡන්ද කාඩ්පත් උදුරා ගනු ලැබීය. ජාතික හඳුනුම්පත් එතරම් නොතිබූ ඒ කාලයේ ඡන්ද කාඩ්පත් අත්‍යවශ්‍ය දෙයක් විය. ඇතැම් ප්‍රදේශවල නීති විරෝධීව මුද්‍රණය කොට බෙදා හරිනු ලැබූ ඡන්ද කාඩ්පත් තිබූ බව මැතිවරණ කොමසාරිස් සිය වාර්තාවල සඳහන් කොට තිබිණි.

ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල දී සිය ඡන්දය ලකුණු කොට ඡන්ද නියෝජිතයන්ට පෙන්වන්නට ඡන්දදායකයන්ට සිදුවූ බව එවැනි එක් වාර්තාවක සඳහන් වේ. 1981 ජූනි මස පැවැති පළමු සහ එකම දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී යාපනයේ ඡන්ද මධ්‍යස්ථානයකින් අතුරුදහන් වූ ඡන්ද පෙට්ටි හයක් අද දක්වාම සොයා ගැනීමට නොහැකි වී ඇත. 97,000කට වැඩි වටිනා පොත් හා පුස්කොළ පොත් තිබූ යාපනයේ පුස්තකාලය ගිනි තබනු ලැබුවේ ද මෙම මැතිවරණය පැවැති දිනවලමය.

 1991 මැයි 11 වැනිදා පළාත් පාලන මැතිවරණයක් පැවැති අතර කලින් සඳහන් කළ පරිදි එදින බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මාතර බලා යමින් සිටියේය. දික්වැල්ලේ දී ඔහුට හමු වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් මැරවරයන් තමනට ඡන්ද මධ්‍යස්ථානයට යන්නට ඉඩ නොදෙන බවත් ඒ ගැන පොලිසියට දන්වන ලෙසත් ඉල්ලා සිටියහ. ඔහු ද ඒ බව පොලීසියට දැනුම් දුන්නේය.

එජාප නායකයෝ මෙයින් දැඩි ලෙස කෝපයට පත් වූහ. ඡන්ද නිරීක්ෂකයකු හෝ නොවන ග්ලැඩ්ස්ටන් මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන බවට චෝදනා කළ ඔවුහු ඔහු බ්‍රිතාන්‍යයට කැඳවා ගන්නා ලෙස එරට රජයෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම ඉටු නොවූයෙන් මැයි 29 වැනිදා ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව ඔහු පිළිගත නොහැකි පුද්ගලයකු ලෙස ප්‍රකාශයට පත් කොට ඔහුට රටින් පිටවන ලෙස නියෝග කළේය. එහෙත් සාධාරණ හේතුවකින් තොරව ඔහුට ශ්‍රී ලංකා ආණ්ඩුව එසේ සලකා ඇති බව බ්‍රිතාන්‍යයේ විදේශ කාර්යාලය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව වැනි රටවල සිදුවන ඇතැම් කටයුතුවලදී එදා දික්වැල්ලේදී ග්ලැඩ්ස්ටන්ට සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ ශ්‍රීලනිප ආධාරකරුවන්ගේ තත්වයට එම රටවල ජනතාව පත්වී වෙනත් රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් මහා පරිමාණයෙන් උල්ලංඝනය කරන බටහිර රටවලින් සහාය පතති.

 තමන්ට මැතිවරණ ජයග්‍රහණය කරන්නට නොහැකි බව පෙනෙන නිසා පාලකයන් කිසිදු ලජ්ජාවක්  නැතිව මැතිවරණ කල් දැමීමට සැරසෙන විට එය වැළැක්වීමට ප්‍රබල රටවල් මැදිහත් වේ නම් ආණ්ඩු පාක්ෂිකයන් හැර අන් සියල්ලන් එය අනුමත කරන්නට නොපැකිළෙනු ඇත. ශ්‍රී ලංකාවට සාපේක්ෂව එම රටවල එම මැදිහත්වීම් සාධාරණ යැයි ද නිවැරැදි  යැයි ද පිළිගත්තද එම රටවල් එම මැදිහත්වීම් කරන්නේ නිරපේක්ෂ අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොවේ. අප එසේ කියන්නේ ඒවා අතර ගාසාවේ 16,000ක් ළමයින් ද ඇතුළු මිනිසුන් 36,000ක් මරා දමන්නට ඊශ්‍රායලයට බෝම්බ සැපයූ, තවමත් සපයන  රටවල් ද සිටින හෙයිනි.

(*** එම්.එස්.එම්. අයුබ්)



අදහස් (3)

ඡන්දයට බාහිර බලපෑම්

Deepal Nirosh Saturday, 08 June 2024 08:50 AM

2009 මැයි මස යුද්ධය අවසන් වීමට දින කිහිපයක් තිබිය දී එය නවතා දමන ලෙසට ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ අමාත්‍යවරුන්ට එදා මහින්ද ඇඹිලිපිටියට කැඳවා ලුණු ඇඹුලෙන් කර වාග් සංග්‍රාමයමයි මේකටත් බෙහෙත.

:       2       51

Vithana Sunday, 09 June 2024 06:13 AM

ජූලි නෝනට ඕන වෙලා තියෙනවා එයාගේ සුවච කීකරු ගෝලයා වන අනුර කුමාරව ජනාධිපති කරන්න. අරගලේ මැදට පැනලා බලෙන් ඒකේ නයකත්වය ගන්න ජාජබ එකට උපදෙස් දුන්නේ කවුද? ව්‍යවස්ථාවට පිටින් කථානායකට ආණ්ඩු බලය ගන්න කියලා බල කලේ කවුද? දැන් මේ රාජ්‍ය නිළදාරීන්ව මුණ ගැහෙන්න යන්නේ ඇයි? මේවා ගැන රටේ බුද්ධිමත් ජනතාව අවධියෙන් සිටිය යුතුයි. ඇමරිකාවේ පඹයන්ටත්, පඹයාව මෙහෙයවන්නන්ටත් කිසිදා ඉඩ නොදිය යුතුයි.

:       9       49

city Tuesday, 11 June 2024 06:09 AM

ඇයි විරුද්ධ පක්ෂය නිශ්ශබ්දව සිටින්නේ

:       1       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1113 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4585 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 511 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 414 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site