IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ඡන්ද ක්‍රමයේ සංශෝධනයේදී ඡන්ද කාලසටහනක් ගැනත් සිතමු

මෙරට මැතිවරණ ව්‍යුහය වර්තමානයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිගත් දේශපාලන පක්ෂවලින් යෝජනා ලබාගැනීම පසුගියදා අවසන් කළේය. ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් මගින් යෝජනා ඉදිරිපත් කර තිබිණි. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගෙන්ද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධානවලින්ද මහජනතාවගෙන්ද යෝජනා සහ අදහස් ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු කළේය.

රටේ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට මගපෑදුණේ මෙරට ජනතාවගෙන්ද විවිධ සංවිධානවලින්ද වරින් වර ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් හේතුවෙනි. මේ ඉල්ලීම් දේශපාලන පක්ෂවලින් සහ විද්වතුන්ගෙන්ද ඉදිරිපත් විය. මෙහි මහාපොදු සාධකය වන්නේ රටේ මැතිවරණ ව්‍යුහය දැනට වඩා ක්‍රමවත් සහ සංවිධානාත්මක විය යුතු බවට නැගෙන හඬය. එසේ නොවන විට මැතිවරණ ක්‍රම කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගිලිහී යයි. එය රටට යහපතක් වන්නේ නැත.

මෙහිදී මැතිවරණ ක්‍රම සරල වීම පමණක් ප්‍රමාණවත් නැතැයි අපි සිතමු. වඩාත්ම අවධානය යොමුවිය යුත්තේ නිසි කලට මැතිවරණ පැවැත්වීමට පියවර ගැනීමය. බලයට පත්වන ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ඡන්දය පවත්වන දිනය එහා මෙහා කිරීමට තිබෙන ඉඩකඩ නීතියෙන්ම වැළැක්වීමට කටයුතු යෙදිය යුතුය. තමන්ට අවශ්‍ය පරිදි මැතිවරණ කල්දමා ගැනීමට ආණ්ඩුවකට අයිතියක් තිබිය යුතු නැත.

විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දීමට පෙර පැවැති අවසන් රජය වූයේ 1970 දී බිහි වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් සමගි පෙරමුණු රජයයි. එම රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී පස් අවුරුදු කාලසීමාව හත් අවුරුද්දක් දක්වා දීර්ඝ කර ගත්තේය. එය වැරදි බව ආණ්ඩුව තේරුම් නොගත් නමුත් ඉන් පසුව පැවති මහා මැතිවරණයේදී ජනතාව එය වැරදි බව පෙන්වා දුන්හ.

ඊළඟට බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජය විධායක ජනාධිපති බලතල යොදවාගෙන හයෙන් පහක බලය පෙන්වා මහ මැතිවරණයක් නොපවත්වාම තමන්ගේ පාලන කාලය වසර පහකින් දික්කර ගත්තේය. එය අමු අමුවේම ජනතාවගේ පරමාධිපත්‍යයට පයින් ගැසීමක් විය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ දෙවැනි පාලන කාලය තුළදී රටේ උතුරත් දකුණත් දෙකම ත්‍රස්තවාදයට බිලිවීමය. එම තීන්දුව රටේ දේශපාලන ඉතිහාසය පවා වෙනස් කළ බවට වෙනත් නිදසුන් අවශ්‍ය නැත.

ඊට පසුව පළාත් සභා ඡන්ද මෙරට මැතිවරණ සිතියමට එකතු විය. එම ඡන්ද පැවැත්වීම මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලන කාලයේදී සිදුවූයේ නියමිත කාලසටහනට අනුව නොවේ. එය රටේ මහජන මුදල් විශාල වශයෙන් කා දැමූ හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තැබූ කාලයක් විය.

ඡන්ද නීති සංශෝධනය කරන බවට පොරොන්දු වී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවද නීති වෙනස් කළත් එයට මුවා වී පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැම්මේය. එම සංශෝධනවල මහිමය කොතරම්ද කියනවා නම් පළාත් සභා ඡන්ද අද වනතුරුද පවත්වාගැනීමට නොහැකි වී තිබේ. මෙවැනි විහිළු සැපයීම දැන් හෝ වැළැක්වීමට තද නීති හඳුන්වා දිය යුතුය.

අපේ රට නිදහස ලබා දශක හතක් ගෙවී ගියත් තවමත් ජනතාවගේ අවශ්‍යතා සපිරෙන මැතිවරණ ව්‍යුහයක් ගොඩනංවා ගැනීමට අපොහොසත් වීම මහත් අවාසනාවකි. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මැතිවරණ නීති සංශෝධනය කළ හැම ආණ්ඩුවක්ම එය සිදු කළේ බලය සැමදා තමන් අතේ තබාගැනීම මූලික අරමුණ කර ගනිමින් බැවිනි. එය යළිත් සිදුවීමට ඉඩක් නොතැබිය යුතුය. මහජනතාව බලාපොරොත්තු වන සේවාව රජයෙන් ඉටුනොවන්නේ නම් එවැනි නීති රීති කොතරම් තිබුණත් ඉන් පලක් නොවන බවට අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළින් ඕනෑතරම් උදාහරණ සොයාගත හැකිය.

අපගේ වැටහීම වන්නේ මැතිවරණ ව්‍යුහය ප්‍රතිසංස්කරණයේදී මැතිවරණ පැවැත්වෙන දින නිශ්චිතවම ප්‍රකාශයට පත් කිරීම අවශ්‍ය බවය. අසල්වැසි ඉන්දියාවේ සෑම වසර පහකටම වරක් මහ මැතිවරණය පැවැත්වෙයි. ප්‍රාන්ත මැතිවරණ පැවැත්විය යුතු දින වෙනස් කළ නොහැක. ඒ සියලු‍ දින තීන්දු කරන්නේ මැතිවරණ කොමිසම මගිනි. අමෙරිකාවේ ජනාධිපතිවරණය සෑම වසර හතරකටම පසුව එළඹෙන නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා දින පැවැත්වෙයි. එය 1845 සිට මේ දක්වාම නොවෙනස්ව පවතී. ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය සෑම වසර තුනකටම වරක් එළඹෙන සෙනසුරාදා දිනයක පැවැත්විය යුතුය. 1912 වසරේ සිට මෙය වෙනස් වී නැත. එවැනි ස්ථිර මැතිවරණ සිතියමක් අප රටේද තිබිය යුතුය.

අපේ රටේ මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනාගෙන ඒවා යාවත්කාලීන කිරීම අවශ්‍යය. එසේම මැතිවරණ වියදම් පාලනය සඳහා නීති රීති පැනවීම, රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම සහ ජන කොට්ඨාස සඳහා අනුපාතික නියෝජනයක් ලැබෙන සේ කටයුතු යෙදීමද අවශ්‍ය වෙයි. මෙරට ක්‍රියාත්මක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා පිළිගත් ක්‍රමවේදයක් හඳුන්වාදීමද කළ යුතුය. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ සියලු‍ මැතිවරණ සඳහා නිශ්චිත දිනයක් නීතිගත කිරීම බව යළිත් අපි අවධාරණය කරමු.

(***)



අදහස් (0)

ඡන්ද ක්‍රමයේ සංශෝධනයේදී ඡන්ද කාලසටහනක් ගැනත් සිතමු

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 162 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 561 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 155 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 145 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 339 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 653 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site