IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඡන්ද ජය ගැන අපට සැක නෑ

ආණ්ඩුව තම ජනප‍්‍රියත්වය උරගා බැලීමට අකලට පවත්වන මැතිවරණ තුන අත ළඟය. ආර්ථික, අධ්‍යාපන හා සමාජ ප‍්‍රශ්න වලින් රටත් ජනතාවත් අර්බුදයකට ගොස් ඇති පසු බිමක එකී මැතිවරණ ගැන ආණ්ඩුවේ මන්ත‍්‍රී රොෂාන් රණසිංහගේ මතවාදයි මේ.

⋆ ප‍්‍රශ්නය:- නියමිත කාලයට වසර 1 1/2 කට කලින් විසුරවූ බව නියෝජනය කරන උතුරු මැද ඇතුළු පළාත් සභා තුනේ ඡුන්දය අත ළඟයි. ගොවීන්ගේ වී විකුණාගත නොහැකිව, විරැකියාව, ජීවනබර ඉහළ ගිහින් තවත් සමාජ, දේශපාලන හා ආර්ථික ගැටලූ රැසකට ආණ්ඩුව මැදිවෙලා මේ ඡන්ද දිනා ගැනීම ගැන සැක නිසාද ඇමැති මෛත‍්‍රීපාල වැනි ප‍්‍රවීණයෙක් වසර 18ක් පැරණි මඩ අවුස්සන තැනට වැටුණේ? පිළිතුර:- මෛත‍්‍රීපාල ඇමැතිතුමා ශ්‍රීලනිප මහා ලේකම්තුමායි. අපේ දිස්ත‍්‍රික් නායකයාත් එතුමායි. එතුමා වැනි කෙනෙක් පදනමක් නැතිව කතා කරාවි කියල මම හිතන්නෙ නැහැ. 94 ජනපතිවරණයේදී චන්ද්‍රිකා මැතිනියට වත්මන් එජාප ප‍්‍රබලයන් යටින් උදව් කළා කියන කතාව ආවේත් ඒ තුළයි. මේ ආණ්ඩුව ත‍්‍රස්තවාදය නැති කරලා රට සංවර්ධනය කරන නිසා ඡන්ද දිනීමට මඩ කතා කියන්න අපට අවශ්‍ය නෑ. මේ මැතිවරණවල ජයග‍්‍රහණ ගැන අපට කිසිම සැකයක් නෑ. ඒ නිසා මෛත‍්‍රීපාල ඇමැතිතුමා මේ කියන්නේ මඩ කතාවක් බව මම විශ්වාස කරන්නෙ නෑ.   ⋆ ප‍්‍රශ්නය:- ඒත් මහවැලිය තනා රජරට ඇතුළු රටේ ගොවි ජනතාවට වගා ජලය ලබාදීමට මූලික වුණේ ගාමිණී දිසානායක ප‍්‍රමුඛ එජාපයයි. එහෙව් ගාමිණීට එජාපයේ වත්මන් අය අකුල් හෙලූ බවට මතයක් ඇති කර ගොවි ජනතාවගේ ජන්ද සන්ධානයට නම්මවා ගැනීමට මේ මඩ කතාව එළියට දැමූ බවට පවතින මතය ගැන ඔබ මොකද කියන්නේ? පිළිතුර:- මේ ආණ්ඩුවට ගොවි ජනතාව රවටගන්න අවශ්‍ය නෑ. ඔවුන් ඉන්නේ ආණ්ඩුව එක්කයි. ඔවුන්ට පොහොර සහනාධාර ඇතුළු සියලූ දේ දුන්නේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවයි. එජාපයේත් රටට විශාල සේවයක් කළ නායකයන් හිටියා. ඞී.ඇස්., ඩඞ්ලි මැතිතුමන්ලා මූලිකයි. ඒත් බණ්ඩාරනායක මැතිතුමා හා අපේ ජනාධිපතිතුමාගෙ පියා ඞී.ඒ. රාජපක්‍ෂ මැතිතුමන්ලා එජාපයේ ඉඳලා කඩාගෙන එළියට ආවේ ඒ පක්‍ෂයේ එදා ඉඳලා විවිධ අසාධාරණකම්, යටි කූට්ටු දේවල් තිබූ නිසයි. ඊළඟට ගාමිණී, ලලිත් වගේ දක්‍ෂයන්ට ඉදිරියට එන්න නොදී ඔවුන්ට කැපිලි දමල පක්‍ෂයෙන් පැන්නුවේ අද බුදුවෙලා කතා කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ පියා පේ‍්‍රමදාස ජනාධිපතිතුමායි. පේ‍්‍රමදාස මහතා එදා කොටින්ට අවි, සිමෙන්ති හා සල්ලි දෙනවට විරුද්ධවයි ලලිත්, ගාමිණීල නැගී සිටියේ. අන්තිමේ පේ‍්‍රමදාස මැතිතුමා කොටින්ටම බිලිවුණා. යළිත් එජාපයට ගිහින් ගාමිණී දිසානායක මහතා රටයි ජනතාවයි ඉදිරියට ගෙනියන වැඩපිළිවෙළක් වෙනුවෙන් ’94 ජනපතිවරණයට ඉදිරිපත් වුණාම කොටි එතුමා බිලිගත්තා. පක්‍ෂයේම අය ජනපතිවරණය පරදවන්න චන්ද්‍රිකා මැතිනියට යටින් තොරතුරු දුන් බවටයි චෝදනා එල්ල වෙන්නේ. ගාමිණීට එජාපය තුළ එදා කැපිල්ලක් තිබුණු එක ප‍්‍රසිද්ධියේ පේන්නත් තිබුණා කියලා මමත් පිළිගන්නවා. මෛත‍්‍රීපාල ඇමැතිතුමා මේ කතාව කියන්නෙත් ඒ පදනමෙන් විය හැකියි. එදා ශ්‍රීලනිපයේ ඉහළ තලයේ තිබූ පසුබිම ගැන අපි දන්නෙ නෑ. ඒත් මෛත‍්‍රීපාල ඇමැතිතුමා ශ්‍රීලනිප තරුණ සම්මේලනයේ ලේකම් ලෙස 70 දශකයේ වැඩ කළා. ’89 පාර්ලිමේන්තු ඇවිත් ’94 වෙනකොට ඉහළ තලයකට ආපු නිසා ජ්‍යෙෂ්ඨයෙක් ලෙස එතුමාට මේ තොරතුරු ගැන අවබෝධයක් ඇති. ඒ සිද්ධියයි උතුරු මැද ඡන්දයයි එකට පටලවන්න එපා. ගාමිණී දිසානායක හා මේ ජනාධිපතිතුමායි දෙන්නම විවෘතව හිතන, අභියෝග බාරගන්නා දක්‍ෂයෝ නිසා ඒ දෙන්නා අතර එදා ලොකු සබඳතාවකුත් තිබිල තියෙනවා. ගාමිණී මැතිතුමා අද හිටිය නම් ජනාධිපතිතුමා එක්ක බව මම විශ්වාස කරනවා.   ⋆ ප‍්‍රශ්නය:- ඒත් 94 ජනපතිවරණයේදී චන්ද්‍රිකා ළඟින් හිටියේ මංගල, එස්.බී. බවත් රහස් කතා කරන කාමරයට තබා ඒ දොර ළඟටවත් ඒමට ඇමැති මෛත‍්‍රීපාලට ඉඩ නොතිබූ බව මංගල කියා තිබුණා. එස්.බී.ත් එම ප‍්‍රකාශයට අභියෝග නොකිරීම තුළ ඇමැති මෛත‍්‍රී මේ කියන්නේ අතේ රෝලක් බවට ඇති මතය ගැන ඔබ මොකද කියන්නේ? පිළිතුර:- මෙහෙමයි. අපේ ඇමැතිතුමයි එස්.බී. ඇමැතිතුමයි මංගල මහතායි ඔක්කොම ’89 පාර්ලිමේන්තු ආපු අයයි. ඒත් එදා ශ්‍රීලනිපය ඇතුළෙ මොනවා වුණාද කියල මම ඇත්තටම කියන්න දන්නෙ නෑ. ඒත් මෛත‍්‍රීපාල ඇමැතිතුමා ව්‍යාජ කතාවක් කියාවි කියල මම හිතන්නෙත් නෑ. අනික එස්.බී. ඇමැතිතුමා මේ ගැන නිහඬව ඉන්නේ එතුමාගෙන් මේ ගැන කවුරුවත් අහපු නැති නිසාද දන්නෙත් නෑ. මෛත‍්‍රී ඇමැතිතුමා මේ ගැන උත්තර දෙන්න හා විවාදයකට සූදානම් බව කියල තිබුණා. මම ආපහු කියන්නේ උතුරු මැද ඡන්දයේ අපේ ජයග‍්‍රහණයට මේ ප‍්‍රශ්නය අපි කිසිසේත්ම උපයෝගී කරගන්නේ නැති බවයි.   ⋆ ප‍්‍රශ්නය:- 2005 මහින්ද-රනිල් තීරණාත්මක ජනපතිවරණයේදී ඇමැති මෛත‍්‍රී මේ කතාව එළිකර මේ ජනපතිට අවංක සහයක් නොදීම ගැනත් ඇමැති මෛත‍්‍රීපාල ’94 ජනපතිවරණය ගැන ලියූ ”ඇත්තයි සත්තයි” කෘතියේ මේ තොරතුර ඇතුළත් නොකිරීම ගැනත් සමහරු ප‍්‍රශ්න කරනවා නේද? පිළිතුර:- දේශපාලනය කියන්නේ ඉතා ව්‍යාකූල හා පළල් ක්ෂේත‍්‍රයක්. දේශපාලනය තීන්දුවක් ගන්න කලින්, යමක් එළිකරන්න කලින් එක්වරක් දෙවරක් නොව ඇතැම්විට සිය දහස් වරකටත් වඩා සිතා බැලිය යුතු වෙනවා. පස්මහ බැලූම් බලන්න වෙනවා. මේක මීට පෙර එළි නොවුණේ ඒ පදනම තුළ මොන හේතුවක් මත එදා මේක එළි නොකළාද කියන එක මෛත‍්‍රී ඇමැතිතුමාගෙනුයි අහන්න වෙන්නේ. ඒත් මේ කරුණ රජරට ගොවි ජනතාවගේ ඇගට දැනෙන දෙයක්. ඔවුන් මහවැලියට හා ගාමිණීට ආදරේයි. ඒ නිසා එජාපය ගැන යම් තරහක් ඇති වෙන්නත් බැරි නැහැ. ඒත් එජනිස ජයග‍්‍රහණයට නම් ඒක කිසිසේත්ම බලපාන්නෙ නැහැ. ඒත් එජාපයේ රටට දැනෙන්න වැඩක් කරපු ගාමිණී මහතාට කෙනෙහිලිකම් කිරීම රජරට ගොවි ජනතාව විතරක් නෙවෙයි රටේම ජනතාව අනුමත කරන එකක් නැහැ. මොකද මහවැලියෙන් ගොවියා සශ්‍රීකවී, ජල විදුලිය ලැබී රට ඉදිරියට ගියා. ඇත්ත ඒකයි. ඒ නිසා අපේ පළාත්වල ජනතාව එතුමාට ගරු කරනවා. අනික දිඹුලාගල, වැලිකන්ද ඇතුළු තර්ජනයට ලක් වූ මේ පළාතේ ගම් ත‍්‍රස්තයන්ගෙන් බැට කෑවා. ත‍්‍රස්තවාදය අතුගෑ ජනාධිපතිතුමාට ඒ ජනතාව ගරු කරන්නේ ඒ පදනම තුළයි. ගාමිණී මහත්තයට ඒ පළාත්වලට කරන්න බැරි වූ සංවර්ධනයත් අද සිදුවෙනවා. විදුලිය, ජලය, මාවත්, පාසල්, රෝහල් ඇතුළු සියලූ යටිතල දැන් ලැබෙමින් තිබෙනවා. සියල්ල එකවර සම්පූර්ණ කරන්න බැහැ. ඒත් ශීඝ‍්‍ර සංවර්ධනයක් රජරට හා රටපුරා සිදුවන බව හා ඇරඹී ඇති බව කාටවත් නැහැ කියන්න බැහැ. උතුරු මැද ඇතුළු රටපුරා ජනතාව ජනාධිපතිතුමාට හා සන්ධානයට සහාය දක්වන්නේ ඒ නිසයි. ජනතාවට අමාරුකම් තිබෙනවා. නාගරික අයටයි ඒක තදින් බලපාන්නේ. ඒත් රට ශීඝ‍්‍රයෙන් දියුණු වෙලා ආසියාවේ ආශ්චර්ය බවට පත්වන තැනට ආවිට සියලූ ජනතාවට එහි ප‍්‍රතිලාභ ලැබෙන බව ජනතාව දන්නවා. යුද්ධයේදී මෙන්ම සංවර්ධනයේදීත් ජනතාව අමාරුකම් විඳ දරාගෙන ජනාධිපතිතුමා හා මේ ආණ්ඩුවට සහාය දෙන්නේ ඒ තුළයි. එහි තවත් කඩඉමක් ලෙස මේ මැතිවරණ තුන අනිවාර්යෙන්ම පත්වේවි.   ⋆ප‍්‍රශ්නය:- ආණ්ඩුවට මේ මැතිවරණ තුනේ ජය ඒ තරමට විශ්වාස නම් ඔවුන්ට උදලූ තල, දෑකැති, මදුරු දැල්, ටකරන්, රැකියා ඉල්ලූම් පත‍්‍ර වැනි ව්‍යාජ හා අවස්ථාවාදී දේවල් බෙදන්නට ආණ්ඩුව ක‍්‍රියා කරන්නේ ඇයි? බදුල්ලේ ජනතාවට අයිති සෙවිලි තහඩු තොගයක් ඇමැති වීරවංශගේ පක්‍ෂයේ අයෙකුට මැතිවරණ සහාය සඳහා ත‍්‍රිමලේට ගෙන ගොස් බෙදන්නට කළ උත්සාහය ඇමැති ඩිලාන් වැළැක්වූ බව ඔබ දන්නවා නේද? සිල්ලර දේවල් දුන්නත් රු. ලක්‍ෂයේ ගොවි වන්දිය ලබාදීම ආණ්ඩුව කර අරින්නේ ඇයි? පිළිතුර:- නියඟයෙන් හානි වූ ගොවි ජනතාවට අපි වන්දි ලබාදෙනවා. ඒත් කුඹුරුවල හානිය කොපමණද? හොක්ටයාර් හෝ අක්කර කොච්චරද කියන එක අනුව වන්දිය අඩු වැඩි වෙනවා. එහෙම නැතුව හැම කෙනෙකුටම මෙච්චර දෙනවා කියන්න බැහැ. හැම දෙනාටම එකම වන්දියක් දීමත් අසාධාරණයි. ඒත් වන්දි අනිවාර්යෙන් ලබා දෙනවා. ඊට අමතරව පොහොර නොමිලේ ලබාදෙනවා. ගොවිතැන් කරන්න ඇල වේලි සුද්ද කරන්න උදව් ලබාදෙනවා. දීමනා දෙනවා. බිත්තර වී දෙනවා. ඒවා ඉෂ්ඨ කිරීම ගැන ගොවීන් සතුටකින් ඉන්නේ. ගොවීන් ජලය නැතිකම හා නියඟය නිසා අසීරුතාවට පත් වෙලා ඉන්න කොට විපක්‍ෂය ඇතුළු කාගේත් වගකීම වෙන්නේ උද්ඝෝෂණ කිරීම, පාරවල්වල නිදා ගැනීම, හිතුමතයට ජලය මුදාහැරීම, පොලිසිය හා නිලධාරීන් එක්ක ගැටුම් ඇති කර ගැනීම නෙවෙයි. නියඟයක් යළි ආවොත් කොහොමද කටයුතු කළ යුත්තේ කියන පණිවිඩයයි. විපක්‍ෂය වේවා කාගේ හෝ පැත්තෙන් එන්න  ඕනෑ. ඒත් ඔවුන් කරන්නේ ගොවීන්ගේ සුබසිද්ධිය නෙවෙයි. ඔවුන් උසිගැන්වීමයි. පාරට ඇද දැමීමයි. විපක්‍ෂයේ පක්‍ෂවල නායකයන් ගොවි පරම්පරාවල අය නෙවෙයි. ඒකට හේතුව එයයි. ඒත් ජනාධිපතිතුමා, මෛත‍්‍රීපාල ඇමැතිතුමා කියන්නේ ගොවි පරපුරවල්වල අයයි. මගේ සීයාත් 1948 දී අකුරැස්සේ ඉඳලා ආපු ගොවියෙක්. අපට ගොවීන් ගැන කැක්කුම වැඩි ඒකයි. අද නියඟය උපයෝගී කරගෙන වැව් හාරලා රොන්මඩ ඉවත් කරලා වැව් බැමි ශක්තිමත් කරන්නත් ආණ්ඩුව ක‍්‍රියා කරන්නේ ඒකයි. ඒ වගේ රජරට විතරක් නොවෙයි, රටපුරා වැව් අද ප‍්‍රතිසංස්කරණය වෙනවා. ගිය ගංවතුරෙදි කවුඩුල්ල වැවේ බැමි අනතුරු දායකත්වයට මුහුණ දුන්නා. ඒ නිසා නියඟයකදීත් ගංවතුරකදීත් ඔරොත්තු දෙමින් ඉහළ ජල ධාරිතාවක් දරන්න හැකි වැව් නිර්මාණය කිරීම අපේ ඉලක්කයයි. රජරට ජනතාවට වෙන දේවල් අවශ්‍ය නෑ. ඒ ටිකම ඇති. උදලූ තල බෙදලා ඡන්ද ගන්න අපට  ඕන නෑ. බයිසිකලෙන් ගිය අයට මෝටර් සයිකල් ලැබෙන මෝටර් සයිකලෙන් ගිය අය වාහනවලින් යන දියුණුවක්  අතමිට සරු බවක් ජනතාවට අද ලැබිලා තියෙන්නේ.   ⋆ ප‍්‍රශ්නය:- නියඟය ජල ප‍්‍රශ්නයේ එක් ගැටලූවක් පමණයි. ආණ්ඩුව ජල කළමනාකරණය නිසි ලෙස සිදු නොකිරීම සී ප්ලේන් බැස්සවීමට වැව් වල ගල් තිබේදැයි බැලීමට ජලය අපතේ යැවීම ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැව් තාවුලූවල හෝටල් තනා ඇති නිසා වැව්වලට පිටාර ගලන මට්ටමේ ජලය එකතුවීමට ඉඩ නොදීම ඇතුළු දේ මේ ජල ප‍්‍රශ්නයට ප‍්‍රධාන හේතු නේද? රජරටට අලූතින් වැව් හදන බවට පළාත් සභාවේ ප‍්‍රධානීන් කෝටි ගණන් වැය කළත් හදපු වැව් තිබේද? පිළිතුර:- ඔය තර්ක හුඟක් විපක්‍ෂය කියන කතායි. මට ඒවා ප‍්‍රතික්ෂේප කරන්න සිදුවෙනවා. සී ප්ලෙන් බස්සන්න ගල් තිබේද බලන්න වැව් ජලය අපතේ යැව්වාය කියන කතාව පිළිගන්න බැහැ. එහෙම දෙයක් පොලොන්නරුවේ නම් වෙලා නැහැ. දන්න තරමින් අනුරාධපුරේත් වෙලා තිබෙන බවට ආරංචි නැහැ. වැව්වල ගල් තිබේද බලන්න වතුර අරින්නම  ඕනද? ඉංජිනේරුවරු මේවා දන්නවා. අද මේ සමහරු ප‍්‍රහාර එල්ල කරන්නේ පක්‍ෂ, පාට භේදයෙන් තොරව කටයුතු කරන නිලධාරීන්ටදැයි මම අහනවා. අද ඉන්නා ඉංජිනේරුවන් ගොවි දරුවන්ගේ දු පුතුන්. ඔවුන් වගකීමෙන් වැඩ කරන්නේ. පරාක‍්‍රම සමුද්‍රයේ දොර 10 අරින්න කොළඹිනුත් අනුමැතිය  ඕනෑ. ඒ තීන්දු හිතුමතයට කරන්න බැහැ. තීන්දුව ගන්නෙත් සියලූ ගොවි සන්ධානවල අනුමැතිය තුළයි. ආණ්ඩුව ජල කළමනාකරණය හරිහැටි නොකළ බව සමහරු චෝදනා කළත් ජලය තියාගෙන නොදී ඉන්න හෝ ජලය හොරකම් කරන්න කාටවත් අවශ්‍ය නැහැ. නියඟයක් තිබෙන බව කවුරුත් දන්නවා. වැව් තාවුලූවල ආණ්ඩුවේ දේශපාලකයන් හෝටල් හදපු නිසා, වැව් ජලය නිරපරාදේ නිකුත් කළ නිසා ජල ප‍්‍රශ්නය ආපු බවටත් ඔබ කිව්වා. පොලොන්නරුවේ නම් මා දන්න තරමින් එහෙම එකක් නෑ. රජරට හෝ වෙනත් තැන්වල මැති ඇමැතිවරු වැව් තාවුලූවල හෝටල් හදලද ඒ වෙනුවෙන් ජලය ඇරලද කියලත් මම නම් දන්නෙ නෑ. වැව් ළඟ හෝටල් හදන කොට ඉංජිනේරුවෝ මැනලා පරිසර අධිකාරිය බලලා වාරි අංශවල අයගේ අනුමැතිය ලබාගන්න වෙන නිසා වැව්වලට හානි කර ලෙස හෝටල් හදන එක ලේසි නෑ.   ⋆ ප‍්‍රශ්නය:- රජරට ඇතුළු රට පුරා ගොවීන්ට ජලය නොදීමේදී නියඟය පමණක් නොව ආණ්ඩුවේ දේශපාලකයන්ගේ වැරදි හා අඩුපාඩුවක් තිබෙන බව පෙනී යන්නේ රට පුරා ගොවීන් දහස් ගණනින් වීදි බැසීම තුළයි. ගොවීන් පාරට බහින්නේ ඔවුන් අවුස්සන නිසා බවට කියමින් ඔබට ඇඟ බේරාගන්න පුළුවන්ද? පිළිතුර:- විපක්‍ෂයට ජනතාවට කියන්න දෙයක් නැති නිසා නියඟය හා ජල ප‍්‍රශ්නය දේශපාලනයට යොදා ගැනීම ගැන අපි කනගාටුවෙනවා. මට ආපහු කියන්න වෙන්නෙත් ගොවීන් පාරට බහින්නේ, පාරේ නිදාගන්නේ, උද්ඝෝෂණ කරන්නේ ඔවුන් අවුස්සන නිසා කියලයි. නියඟයට විසඳුමක් දෙන්න ආණ්ඩුවට බැහැ.   ⋆ ප‍්‍රශ්නය:- ගොවි ජනතාව වී විකුණා ගැනීමට නොහැකිව ජල ප‍්‍රශ්නයෙන් පීඩා විඳිද්දී රටේ සමස්ත ජනතාව අධික ජීවන බරින්, විරැකියාවෙන් පෙළෙනවා. බාල ඞීසල්, පෙට්රල්, සිමෙන්ති හා ඉසෙඞ් උ.පෙළ ප‍්‍රශ්න පත‍්‍ර ගැටලූ විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ප‍්‍රශ්නය, කොටස් වෙළෙඳ පොළ ප‍්‍රශ්න, රට උගස් කරන අධික ණය බර ආදියෙන් රට පෙළෙනවා. සරසවිත් වසා දමා ආණ්ඩුව යන්නේ කොහාටද? පිළිතුර:- රටක් කරගෙන යනකොට ප‍්‍රශ්න මතුවෙනවා. ලංකාවටත් ඒක අදාළයි. මේ ආණ්ඩුව තුළත් ප‍්‍රශ්න තිබෙනවා. අංගසම්පූර්ණ නැහැ. ඒත් මේ ආණ්ඩුවට විකල්පයකුත් අද රට තුළ නැහැ. එජාපය ඇතුළේ මරා ගන්නවා. අනාගතයක් නැහැ. ආණ්ඩුවට එන්න සමහර එජාප ජනප‍්‍රිය මන්ත‍්‍රීවරු උත්සාහ ගන්නෙත් ඒකයි. ඒ නිසා ආණ්ඩුවේ පවතින වැරැදි හදාගෙන ඉදිරියට යන්න ජනතාව මෙවරත් අවස්ථාව දෙන බව නියතයි. අපේ වගේ රටකට ණය ගන්න වෙනවා. ඒවා නිවැරැදිව ආයෝජනය නොකළොත් තමයි ප‍්‍රශ්නය වෙන්නේ. මේ ආණ්ඩුව ඒක ඉතා හොඳින් කරනවා. ඒත් ණය ගැනීමේ සාපේක්‍ෂත්වය මේ ආණ්ඩුව යටතේ අඩු කරලා තියෙන්නේ. අධ්‍යාපනයේ යම් ප‍්‍රශ්න වගයක් තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%කට ආසන්නව ආණ්ඩුව පෞද්ගලික අංශය හා මවුපියන් දැනටත් වැය කරනවා. මේ රටේ ඇති නිදහස් අධ්‍යාපනය කොහේවත් නෑ. සරසවි ඇදුරන්ගේ වර්ජනයේ අරමුණ ගැන සැක තිබෙනවා. විදුලි වර්ජනයේත් එහෙමයි. රු.40,000 කට වඩා විදුලි කම්කරුවෙක් ගන්නවා. තවත් වැඩි කරන්නලූ. අධ්‍යාපනයට රටේ මුදල් පිටරට යන නිසා ඒවා නවතා ගැනීමේ පෞද්ගලික සරසවි ලංකාවේ ඇති කළ යුතු බව මගේත් මතයයි. යාබද රටවල මුදල් අපට ඇද ගැනීමේ හැකියාවකුත් ඒ තුළ ඇතිවේවි. ඔබ කියන තවත් ප‍්‍රශ්න රට තුළ තිබෙනවා. ඒවා මේ ආණ්ඩුව විසඳාගෙන යනවා. යුද්ධය දිනනතෙක් ඉවසූ ජනතාව රට සංවර්ධනය කරලා සෙසු ප‍්‍රශ්න විසඳන්නත් සහාය දෙනවා. විදේශවලින් රටට එල්ල වන අභියෝග ජයගැනීමේදීත් ජනතාව ආණ්ඩුව සමඟ බව ලෝකයට පෙන්වීම වැදගත් නිසා ජනතාව මේ ඡන්ද ආණ්ඩුවට දිනවාදීම ජාතික යුතුකමක්.

පොලොන්නරුව දිස්ති‍්‍රක් එජනිස මන්ත‍්‍රී රොෂාන් රණසිංහ

සංවාද මෙහෙවර - අශෝක ජයතුංග



අදහස් (0)

ඡන්ද ජය ගැන අපට සැක නෑ

නදීකා Monday, 27 August 2012 08:49 PM

අපිට මොකාක් උනත් එකයි

:       0       0

දිසානායක Saturday, 01 September 2012 03:51 PM

හොද ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 28 August 2012 12:43 PM

එයාගෙ පිළිතුරු හරියට නිකන් අපි මෝඩයින් කියලයි. (ස)

:       0       0

විරාජ් Monday, 27 August 2012 02:32 PM

අනිවාර්යයෙන්ම එක්සත් ජනතා විමුක්ති පෙරමුණ විශිෂ්ට අන්දමින් ජය ගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1303 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4681 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 514 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 421 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1686 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site