පාස්කු ඉරිදා ප්‍රහාරය, මද්‍රසා පාසල්, මුස්ලිම් සමාජයේ සංස්කෘතික වෙනස්කම්, අන්තවාදය, ඇමැති රිෂාඞ්ට එරෙහි දෝෂාභියෝගය යනාදී කරුණු සම්බන්ධව එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.
ප්‍රශ්නය: පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තැතිගත් රට තවම සාමාන්‍ය අතට පත්වී නැහැ. මේ තැනට රට තල්ලු වුණේ ආණ්ඩුව වගකීමෙන් කටයුතු නොකළ නිසා නේද?
පිළිතුර: පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව මෙහි වගකීම අපි සියලු දෙනාම ගන්න ඕන. රටේ ආරක්ෂක අංශ ලබාදී තිබූ තොරතුරු හෑල්ලුවට ගැනීම එයට හේතුවයි. වසර 2011 පමණ කාලයේ සිට මුස්ලිම් නමින් පෙනී සිටින මේ ත්‍රස්තවාදීන් අයි.එස්.අයි.එස්. සංවිධානයක් සමග සම්බන්ධතා ආරම්භ කළ මුල් කාලෙදීම විස නසා දාන්න තිබුණා. එසේ නොකර එයට ඔඩුදුවන්න ඉඩදීම පිළිබඳව පක්ෂ විපක්ෂ හැමෝම වගකියන්න ඕන.
ප්‍රශ්නය: මුස්ලිම් සමාජයෙන් මතුවූ මේ අන්තවාදී කොටස හඳුනා ගන්න එම සමාජයට බැරි වුණේ ඇයි?
පිළිතුර: මේ අන්තවාදී කොටස් හඳුනා ගැනීම එතරම් පහසු වැඩක් නෙවෙයි. ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමක් හැටියට ඔවුන් ඔවුන්ගේ සම්බන්ධතා ඉතාම රහසිගතව පවත්වාගෙන ගොස් තිබෙනවා. බුද්ධි අංශ මේවා හඳුනාගෙන තිබෙනවා. 2014 සිට මේ පිළිබඳව ආරක්ෂක අංශවලට සහ අවශ්‍ය තැන්වලට දැනුම් දුන් බව සමස්ත ලංකා ජමියිතුල් උලමා සංවිධානය කියනවා. ඒක කොතරම් දුරට ඇත්ත ද නැත්ත ද කියන්න මම දන්නේ නැහැ. එහෙත් යම් දෙයක් සිදුව තිබෙනවා. ඔවුන්ට හඳුනාගත හැකි තරමට දැනුම් දී තිබෙනවා. මේක වළක්වා ගැනීමට නොහැකිවීම තමයි වැරදුණු තැන. දැන්වත් ඒ අඩුපාඩු හදාගෙන මේ ත්‍රස්තවාදය ලංකා භූමියෙන් අතුගා දැමිය හැකි මට්ටමක තිබෙනවා. කොන්ද කෙළින් තියාගෙන දේශපාලන භේදයකින් තොරව ඡන්ද මලුවලට ඔළුව නමන්නේ නැතිව තීන්දු තීරණ අරගෙන ඒ දෙය කළ යුතුයි.
ප්‍රශ්නය: විදේශ බුද්ධි අංශවලින් දේශීය බුද්ධි අංශවලට සහ අදාළ බලධාරීන්ට තොරතුරු ලැබී තිබියදීත් පියවර නොගත් පසුබිමක ඔවැන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?
පිළිතුර: ඇස් ඇරිල තිබෙන්නේ දැන්. විවිධ අය මේ කණ්ඩායම් පෝෂණය කළා කියලත් සැකයක් තිබෙනවා. එසේ පෝෂණය කර එය ඔඩු දුවනකම් නිකන් බලන් සිටියා. යුද්ධයෙන් පසු අපි හැමෝම නිදහසේ සතුටු වුණා. නිදහස හොඳට භුක්තිවින්දා. ප්‍රභාකරන් මැරුණාම කොටි සංවිධානය අඩපණ වූ ප්‍රීතියෙන් අන්ධ වී ජාත්‍යන්තර ත්‍රස්තවාදය හෑල්ලුවට ගත්තා. එහි ප්‍රතිඵල දැන් හැමෝටම තේරෙනවා. පක්ෂ විපක්ෂ සියලු දෙනාට ලේ මස් නහර ඇතුළටම ඒක දැනී තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ එයින් දේශපාලනය නොකර ජනාධිපති, අගමැති, විපක්ෂ නායක එකතු වී කෙළින් තීරණ අරගෙන මේ විසබීජය ශ්‍රී ලංකා භූමියෙන් සම්පූර්ණයෙන් ඉවත් කරන්න වැඩකටයුතු කරන්න ඕනේ.
ප්‍රශ්නය: අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් පසුව කුලියාපිටිය, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශ කිහිපයක තවත් සිද්ධි දාමයක් වූවා. මෙයින් පෙන්නුම් කරන්නේ මේ සිද්ධිය කළමනාකරණයට ආණ්ඩුවේ අසමත් බව ද?
පිළිතුර: ඔතන කරුණු දෙකක් තිබෙනවා. ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන ප්‍රහාරයක් එල්ල කළාම එහි පසු ප්‍රහාර තිබෙනවා. ඒක මෙවන් සිද්ධි ඇති වූ සෑම රටකම පාහේ දකින්න ලැබෙන්නක්. ලංකාව තුළ පසු ප්‍රහාර වළක්වා ගන්න අපේ ආරක්ෂක අංශවලට හැකියාව තිබෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. ලංකාව වගේ දකුණු ආසියාතික රටක මිශ්‍ර සමාජයක් ඇති තැනක ප්‍රතික්‍රියා පැමිණිය හැකි බව ඕනෑම කෙනකුට තේරෙනවා. ඒක පාලනය කරන්න යම් ප්‍රමාණයකට බැරිවී තිබෙනවා. මීටත් වඩා ඔඩු දුවන්න තිබූ කාරණයක් ඔය මට්ටමින් හෝ පාලනය වූවා. එහෙත් යම් මට්ටමකින් හෝ මේවා සිදුවීමේ වගකීම ආණ්ඩුව ගන්න ඕන.
ප්‍රශ්නය: එහෙම වගකීම අරගෙන මේකෙන් ඇඟ බේර ගන්න පුළුවන් ද?
පිළිතුර: අපි එක දෙයක් දැනගන්න ඕන. කණ්ඩායමක් වගකීම අරගෙන ඉවත්වී තවත් ඒකාධිපති කණ්ඩායමක් ගෙන ඒම විසඳුම නෙවෙයි. ලංකාවේ අවුරුදු දහසක් පමණ කාලයක සිට ලංකාවේ ජීවත්වන මුස්ලිම් සමාජයේ නොවූ වෙනස්කම් රාශියක් පසුගිය වසර 15කදී පමණ සිදුව තිබෙනවා. අපි පටන් ගන්න ඕන අපට වැරැදුණු තැනින්. හමුදාව ලවා ත්‍රස්තවාදය මර්දනය එක කාරණයක්. එහෙත් මේවාට දිගුකාලීන විසඳුමක් ගන්න නම් සංස්කෘතිකමය වශයෙන් සිදුව ඇති වෙනස්කම් ආපසු හරවා සංස්කෘතික වෙනසක් කරන්න හොඳම වෙලාව උදාවී තිබෙනවා. ඒ සංස්කෘතික වෙනස්කම් විය යුතුයි. මෙය මුලිනුපුටා දමන්න පුළුවන් වෙන්නේ ඒ වෙනසෙන්.
ප්‍රශ්නය: මුස්ලිම් සමාජයේ විය යුතු ඔබ කියන සංස්කෘතික වෙනස්කම් මොනවා ද?
පිළිතුර: ශ්‍රී ලංකික මුස්ලිම්වරු කියන්නේ මැදපෙරදිග මුස්ලිම්වරු නෙමෙයි. ආසියානු කලාපයේ මුස්ලිම් රාජ්‍ය තිබෙනවා. බංගලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව ආදී රටවල මුස්ලිම් ජනතාව විශාල වශයෙන් සිටිනවා. ඒ අය මැදපෙරදිග මුස්ලිම් වෙලා නැහැ. මැලේසියා මුස්ලිම්වරු මැලේසියා මුස්ලිම්වරු හැටියට ජීවත් වෙනවා. අනෙක් රටවලත් එහෙමයි. ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය තුළ පසුගිය කාලයේ කුමන හෝ කරුණක් අරබයා සංස්කෘතික වෙනස්කම් ගණනාවක් සිදුව තිබෙනවා. ඇඳුම්, පැළඳුම්, ආහාරපාන, ගමන් බිමන් යාම, අනෙක් අය සමග ගනුදෙනු කරන ආකාරය මත ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙනවා. අධ්‍යාපනයේදීත් මේ කරුණු විශේෂයි. මම ඉගෙන ගත්තේ සිංහල බෞද්ධ පාසලක් වන මාතර රාහුල විද්‍යාලයේ. අපි පාසල් ගිය කාලයේ අපට නොදැනුණු වෙනස්කම් ගණනාවක් පසුගිය දශකයක දෙකක කාලයේ සිදුව තිබෙනවා. මේවා ආපසු හරවා අපට වැරැදුණු තැන්වලින් නැවත පටන් ගන්න ඕන.
ප්‍රශ්නය: එකම නීතියක් එකම රාමුවක් තුළට සියලු දෙනා කටයුතු කළ යුතු බව ඔබේ අදහස?
පිළිතුර: ශ්‍රී ලංකා භූමියේ ඉපදී එහි ජීවත්වන සියලු දෙනාටම එක නීතියක් තිබිය යුතුයි. සිංහල බෞද්ධ කෙනකුට එම අනන්‍යතාව තියාගන්න පුළුවන්. මුස්ලිම්, දෙමළ අයට ඒ ඒ අනන්‍යතාව තියාගන්න පුළුවන්. ඒ සෑම දෙයකටම වඩා ශ්‍රී ලාංකිකයි කියන කරුණ ප්‍රමුඛයි. අනෙක් සියලු දේ විය යුත්තේ ඒ යටතේයි. සමාජයේ යහ පැවැත්මට, එකිනෙකා කෙරෙහි විශ්වාසයට බාධාවක් නොවන ආකාරයට තම තමන්ගේ අනන්‍යතා තියාගන්න පුළුවන්. හැබැයි හැමෝටම පොදු නීතියක් බලපාන්න ඕන.
ප්‍රශ්නය: මුස්ලිම් සමාජයේ සංස්කෘතික වෙනස්කම් ක්‍රමිකව සිදුවූවක්. සියලු දේ මෙහෙයවන්නේ පල්ලිය ආශ්‍රිතව බව කියනවා. මේ වෙනස්කම් දකින්න සංවේදීතාවක් තිබුණේ නැද්ද?
පිළිතුර: බහුපාක්ෂික දේශපාලන ක්‍රමය නැතිවී ආගමික දේශපාලන පක්ෂ ආරම්භ වීමේ ප්‍රතිඵලයක් හැටියට මේ දේ සිදුවූවා. අෂ්රොෆ් මහත්මයා මුස්ලිම් කොංග්‍රසය පටන් ගත්තා. ඒක හරියන්නේ නැති බව පසුව එතුමා වටහා ගත්තා. 1994 දී සමගි පෙරමුණ හැදුවේ ඒ නිසයි. අවාසනාවකට එතුමා මියගියා. අද ආගම් පදනම් වූ දේශපාලන පක්ෂ කීයක් තිබෙනවාද? විනාශයට ප්‍රධානම හේතුව මෙයයි. මේ කල්ලි, කණ්ඩායම් තමන්ට කියලා ඡන්ද මල්ලක් හදා ගන්නවා. බහුතරයක් නැති ආණ්ඩු පත්වුණාම මේ කල්ලි තමන්ගේ ඡන්ද මල්ල කේවල් කරනවා. විවිධ වෙනස්කම්වලට මුල පිරුවේ ඒ හරහායි. අන්තවාදී සංවිධානවල බලය තරකර ගත්තේ, ඒ ක්‍රියාවලට පෙළඹීමට අවශ්‍ය සමාජ වටපිටාව නිර්මාණය කළෙත් ඒ හරහායි.
ප්‍රශ්නය: අන්තවාදය පෝෂණය කරන මද්‍රසා පාසල් රට පුරා ව්‍යාප්ත වී තිබෙනවා. මේවා ගැන මුස්ලිම් සමාජය දැන සිටියේ නැති ද?
පිළිතුර: මද්‍රසා වර්ග දෙකක් තිබෙනවා. පාසල් යන දරුවන්ට කුරාණය සහ ආගම කියා දෙන මද්‍රසා තිබෙනවා. මේවා දහම් පාසල් හා සමානයි. මේවාට කියන්නේ ‘අසාදියා’ කියලයි. ඒකෙ කිසිම ගැටලුවක් නැහැ. අරාබි භාෂාවෙන් මවුලවිවරුන්ට උගන්වන තවත් මද්‍රසා තිබෙනවා. මෙතැන තිබෙන්නේ අරාබි භාෂාවෙන් ඉගැන්වීම නොවෙයි. පිරිවෙන්වල හාමුදුරුවරුන්ට උගන්වද්දී පාලි භාෂාව උගන්වන්න ඕන. එහෙත් මේ මද්‍රසාවල විෂය පථය, උගන්වන ආකාරය, ගුරුවරු, නිසි නියාමනයකට ලක් කරන්න ඕනෑ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ එය කළ යුතුයි. කැබිනට් මණ්ඩලය හරහා මේ කටයුතු කරන්න කියා මම අගමැතිවරයාට යෝජනා කර තිබෙනවා.
ඉස්ලාම් ආගම උගන්වන මද්‍රසා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත්වීම් ලබාදී ඒ හරහා දේශීයව මේ කටයුතු කෙරෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පිටරටින් ගෙන්නුවාම නියාමනයක් නැහැ. උගන්වන දේ ගැන අපි හරියට දන්නේ නැහැ. සැකයට භාජන වෙනවා. ඒ නිසා මෙතැන් සිටවත් අධ්‍යාපන අමාතාංශය යටතට මේවා අරගෙන නියාමනය කළ යුතුයි. මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ මේවා කිරීම අවශ්‍ය නැහැ. පිරිවෙන් අධ්‍යාපනය හා සමාන මට්ටමෙන් මෙය කළ යුතුයි. එවිට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. පිටරට සිට මේවාට එන අය තහනම් කළ යුතුයි.
පාසල් අධ්‍යාපනයත් මිශ්‍ර අධ්‍යාපනයක් බවට පත්කරන්න ඕන. මුස්ලිම් ජනයා ජීවත්වන ප්‍රදේශවල සිංහල පාසල්වල දෙමළ මාධ්‍යයෙනුත් උගන්වනවා නම් මුස්ලිම් දරුවන්ට ඒ පාසල්වල ඉගෙන ගන්න පුළුවන්. කොළඹ රාජකීය විදුහල මිශ්‍ර පාසලක්. සමහර අය මේ මිශ්‍ර පාසල් හදනවට කැමැති නැහැ. දෙමළ මධ්‍යයෙන් උගන්වන අවස්ථාව සිංහල පාසලේ නැති වුණාම මුස්ලිම් කියා පාසල් බිහි වෙනවා. එතැන ලොකු වරදක් තිබෙනවා. මෙහෙම වුණාම ඔවුන් එක කාලයකට ලඝු වෙනවා. එක සංස්කෘතියකට ගොනු වෙනවා. සිංහල මුස්ලිම් සියලු දෙනා එක පාසලක ඉන්නවා නම් එහෙම ප්‍රශ්න මතු වෙන්නේ නැහැ. අනෙක් ආගම්වලට ගරු කරන ආකාරය, සිංහල සංස්කෘතිය එයට අනුගතවන ආකාරය ගැන නිසි අවබෝධයක් ලැබෙනවා. ඒ සිතුවිල්ල කුඩා කාලයේ පටන් එන්න ඕන. ඇඟේ දුවන්න ඕන. මම මේවා කියන්නේ අත්දැකීමෙන්. ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගයක් බලන විට ලංකාව වෙනුවෙන් අත උත්සන්න මට ආභාසය ලැබුණේ මිශ්‍ර අධ්‍යාපනය නිසයි. මම අහන්නේ දෙමළ සිංදු නෙමෙයි. සිංහල සිංදු. එයට ආභාසය ලැබුණේ මිශ්‍ර අධ්‍යාපනයෙන්.
ප්‍රශ්නය: මද්‍රසාවලට අමතරව ෂරියා විශ්වවිද්‍යාලයක් ද ආරම්භ කර තිබෙනවා. අද මෙය මතභේදයට ලක්වූවක්. ෂරියා විශ්වවිද්‍යාල රටට අවශ්‍ය ද?
පිළිතුර: ෂරියා විශ්වවිද්‍යාල ලංකාවට අවශ්‍ය නෑ. ඔය කියන විශ්වවිද්‍යාලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියක් දී නැහැ. තව එහි ගොඩනැගිලි පමණක් ඉදිවී තිබෙනවා. එහි ෂරියා විශ්වවිද්‍යාලයක් බිහිවීමට ඉඩදිය යුතු නැහැ. ලංකා භූමිය තුළ ෂරියා විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. පෞද්ගලික අධ්‍යාපනයට මම විරුද්ධ නැහැ. එය නිසි නියාමනයකට ප්‍රමිතියකට යටත්ව කළ යුතුයි. හැබැයි සයිටම් එකට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වූ අය එයට දින ගණන් පෙළපාලි ගිය අය මේ ගැන එක වචනයක් කතා කළේ නැහැ. එක උද්ඝෝෂණයක් මේ වෙනුවෙන් කළේ නැහැ.
ප්‍රශ්නය: මේ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න බැහැ කියා නැගෙනහිර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබුණා. මෙවන් පසුබිමක එහි ඉදිරිපස තීරණය කරන්නේ කොහොම ද?
පිළිතුර: ආණ්ඩුව පවරා ගන්න පුළුවන් ද බැරි ද කියන එක තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලයයි. එක එක ආණ්ඩුකාරවරුන්ට ඒක තීරණය කරන්න බැහැ. එක එක ආණ්ඩුකාරවරුන්ට තම පෞද්ගලික සම්බන්ධතා මත ඕන ඕන ආකාරයට මේ රටේ විශ්වවිද්‍යාල පිහිටුවන්න ඉඩ දෙන්න බැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ඇතිව මෙහි අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒකට ෂරියා ඕන නැහැ. අනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන් හෝ රජය සමග අනුබද්ධ විශ්වවිද්‍යාලයක් වශයෙන් මේක පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම ෂරියා විශ්වවිද්‍යාලයක් වෙන්න බැහැ. ෂරියා විශ්වවිද්‍යාලයක් නොවන කල මුදල් ගෙවා සිංහල හා දෙමළ දරුවන්ටත් එයට ඇතුළු වෙන්න පුළුවන්.
ප්‍රශ්නය: රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාට බරපතළ චෝදනා එල්ලවෙමින් තිබෙද්දීත් ආණ්ඩුව ඔහු සම්බන්ධව පියවර නොගන්නේ ඇයි?
පිළිතුර: ඔහු මේ ආණ්ඩුවට ආවේ වසර හතරකට කලින්. ඊට පෙර වසර 10ක් ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ සිටියා. ඒ කාලේ ඔහුට චෝදනා එල්ල වුණා. අද ඒ අයට චෝදනා කරනවා. මම ඔහු වෙනුවෙන් පෙනී ඉන්න උත්සාහ ගන්නේ නැහැ. තමන් ළඟ සිටියදී හොඳ කෙනා අනුන්ගේ ගොඩට ගියාම අවුලක් කරගෙන. මේ පාදඩ දේශපාලනය ලංකාවෙන් නැති කරන්න ඕන.
ප්‍රශ්නය: රිෂාඞ් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. එතැනදී ඔබලාට යම් තීරණයකට එන්න පුළුවන් නේද?
පිළිතුර: පක්ෂය ගන්න තීන්දුවක් එක්ක මම ඉන්නවා. එජාප සාමාජිකයකු හැටියට මම අන්තවාදය ප්‍රතික්ෂේප කරනවා. පක්ෂය ගන්නා තීන්දුවක් සමග මම හිටගන්නවා. පක්ෂ ප්‍රතිපත්තිය මගේ ප්‍රතිපත්තියයි.
ප්‍රශ්නය: මේ ප්‍රශ්න විසඳා ගැනීමේදී ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකළ බවට නැඟෙන චෝදනාව ගැන කියන්නේ මොකක් ද?
පිළිතුර: ඒක මම නම් පිළිගන්නේ නැහැ. හැබැයි මේ ප්‍රහාරය ගැන කලින් තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීම හෝ හානිය අවම කර ගැනීම කළ හැකිව තිබුණා. ඒ සම්බන්ධව ක්‍රියා නොකිරීම වගකීමෙන් පැන යන්න ආණ්ඩුවට බැහැ. මේ වැරැද්ද කළ සියලු දෙනාට දඬුවම් දිය යුතුයි. මේ ආණ්ඩුව ලබාදුන් ජයග්‍රහණ රැසක් තිබෙනවා. ඒ සියල්ල යටපත් කර නැවත ඒකාධිපතියකු ගෙන එන තැනට තල්ලු වෙන්න අපට බැහැ. ඒක ජන සමාජය තේරුම් ගත යුතුයි. ලංකාවේ දේශපාලන පිට්ටනිය පිරිසුදු කර ගන්න මේක අවස්ථාවක් කර ගන්න ඕන.
සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්ද මල්ලට කේවල් කිරීමේ අනිටු විපාක
lalithm Tuesday, 21 May 2019 07:41 AM
සියලුම ආගම්වල පුජ්‍ය පක්ෂයට හැර ගිහියන්ට ආගමික අධ්‍යාපනය ඉස්කෝලවලට විතරක් සීමා කලොත් නරකද? එතකොට ඕනෑම ආගමක සීමාව තියාගන්න පුළුවන් වෙනවා? අන්තවාදීන් බිහිවෙන එක නවත්වගන්න සැහෙන්න උදව් වෙනවා. මේක කිව්වම හුඟ දෙනෙක් අවි අමෝරාගෙන මට බනීවි. කාලීනව හිතමු.
Nipun Jayesundara Thursday, 23 May 2019 12:45 AM
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමියි මේ කරන්නේ .