IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජාතික පාසල් මුල්පුටු හුටපටේ

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

[email protected], [email protected] 

විදුහල්පති සේවයේ ගැටලු ගැන සහ ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සම්බන්ධයෙන් 2018 මාර්තු මස හත් වැනි දා “විදුහල්පති සේවයේ අවනඩුව” මැයෙන් සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් අනාවරණය කළේය. එම ලිපියට මාස 10ක් පමණ ගත වී ඇතත් මේ වන තෙක් ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පුරවා නැත. මේ වන විට ජාතික පාසල් 353න් 302කට විදුහල්පති ධුර පුරප්පාඩුවී පවතී. මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගය ජාතික පාසල් විදුහල්පති 
පුරප්පාඩු සහ පුරප්පාඩු පිරවීමේ ක්‍රම ගැනයි.

10 162 ක් වූ ශ්‍රී ලංකාවේ මුලු පාසල් සංඛ්‍යාවෙන් ජාතික පාසල් ඇත්තේ 353ක් පමණි. සෙසු පාසල් පළාත් පාසල්ය. අධ්‍යාපන අමාත්‍යංශයෙන් වරින් වර නිකුත් කරන චක්‍රලේඛයන්ට අනුකූලව පළාත් පාසල් සම්බන්ධයෙන් පරිපාලනමය කටයුතු සහ පත්වීම් සිදු කරන්නේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ මගිනි. ජාතික පාසල් 353හි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයයි. එනම් අධ්‍යාපන අමාත්‍යංශයට සෘජු ලෙසම අයිති පාසල් සංඛ්‍යාව 353කි. 

මෙම ලිපිය ලියන මොහොත වන විට එම ජාතික පාසල් 353න් 303කටම ස්ථිර විදුහල්පතිවරු නැත. සිටින්නේ වැඩබලන විදුහල්පතිවරුන් පමණි. ජාතික පාසල් සියයකට ආසන්න සංඛ්‍යාවක විදුහල්පති පුරප්පාඩු පවතින්නේ 2010 වසරටත් පෙර සිටය. ආණ්ඩු දෙකක් යටතේවත් ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පුරවන්නට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ඒ කෙරෙහි ඇති දේශපාලන බලපෑම්ය.

2012ක් වූ දෙසැම්බර් මස 12 වැනි දා ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කරමින් විදුහල්පති පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැඳවීය. එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේ ගෝඨාභය ජයරත්න මහතායි. එම ප්‍රසිද්ධ දැන්වීම අනුව ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සංඛ්‍යාව 105කි. කොළඹ මහානාම විද්‍යාලය, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, වේල්ස් කුමරි විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය වැනි ප්‍රසිද්ධ පාසල් කිහිපයක ද පුරප්පාඩු ඇති බව එම දැන්වීමේ සඳහන් වී තිබිණි. එහෙත් ඒ වන විට විදුහල්පතිධුර පුරප්පාඩු වී තිබූ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය ආදී පාසල් රැසක නම් එම දැන්වීමට ඇතුළත් නොවීය.  2012 දෙසැම්බර් 31 වැනි දා ට පෙර එම අයදුම්පත් එවන ලෙස දැනුම් දී තිබුණු අතර ඒ අනුව විශාල පිරිසක් අයදුම් කළහ.  නමුත් සිදුවූ දෙයක් නැත. හේතුව තම බල ප්‍රදේශවල පාසල්හි සිටින නුසුදුසු විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීමට ඇතැම් දේශපාලනඥයන් අකමැති වීමයි. 

ඉන් පසු යළිත් වරක් 2015 අප්‍රේල් මස 01 වැනි දා ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් ජාතික පාසල් විදුහල්පති තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැ`දැවීය. එම දැන්වීමේ ජාතික පාසල් 106ක් ඇතුළත් කර තිබිණි. අයදුම්පත් කැඳවනු ලැබ තිබුණේ එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ උපාලි මාරසිංහ මහතා විසිනි. ජාතික පාසල් තවත් රැසක ඒ වන විට පුරප්පාඩු පැවතිය ද එම පාසල්වල නම් දැන්වීමට ඇතුළත් කර තිබුණේ නැත. කොළඹ ගෝතමී විද්‍යාලය, ගම්පහ ගුරුකුල විද්‍යාලය, ගාල්ල ඇලවීෂයස් විද්‍යාලය, යාපනය හින්දු විද්‍යාලය, සඳලංකාව ජාතික පාසල, නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය ආදී ප්‍රසිද්ධ පාසල් රැසක නම් එම දැන්වීමේ ඇතුළත් කර තිබිණි. කෙසේ වෙතත් එලෙස මෙම දැන්වීමට නම් ඇතුලු කළ ජාතික පාසල්හි විදුහල්පති පුරප්පාඩු පැවතියේ 2010 වසරටත් පෙර සිට වුවත් එම පාසල්වල නම් 2012 වසරේ අයදුම්පත් කැඳවීමේ දැන්වීමට ඇතුළත්ව නොතිබිණි. 2012 දැන්වීම් තිබුණු ඇතැම් පාසල්වල නම් මෙම දැන්වීමෙන් හැලී ගොස් තිබුණි.

2015 වසරේ දී ද අයදුම්පත් කැඳවුවද සුදුස්සන් තෝරා පත් කර නොගැණිනි. සිදුවූයේ දැන්වීම්වලට මුදල් වියදම් වීම පමණි.

යළිත් වරක් ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවේ 2018 වසරේ ජූලි 20 වැනි දා ය. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය වී තිබුණේ 2018 අගෝස්තු මස 14 වැනි දා ය. එවකට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි සුනිල් හෙට්ටිආරච්චි මහතා අයදුම්පත් කැඳවා තිබිණි. කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය, තර්ස්ටන්, ඩීඑස්, වේල්ස් කුමර, ගම්පහ බණ්ඩාරනායක, ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, රත්නාවලී බාලිකා, මහනුවර ධර්මරාජ, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව පිරිමි, කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය, නාරම්මල මයුරපාද, සඳලංකාව ජාතික පාසල ආදී විද්‍යාල 302ක නාම ලේඛනයක් එහි සඳහන් විය. 

මෙම විද්‍යාල 302න් සමහර විදුහල්වල විදුල්පතිවරුන් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති විය. කවි ප්‍රබන්ධයක් සම්බන්ධයෙන් ගුරුවරුන් ස්ථාන මාරු කිරීම නිසා උදහසට ලක්වූ විදුහල්පතිවරු ද ඒ අතර සිටිති. 
සම්මූඛ පරීක්ෂණ අවසන්වී තිබිය දී තවමත් සුදුස්සන් පත් කර නැත. සම්මූඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මේ වන තෙක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතද යොමු කර නැත. මෙලෙස කඩිනමින් සුදුස්සන් පත් නොකරන්නේ මෙවරද පසුගිය අවස්ථාවලදී මෙන්ම දේශපාලනඥයන්ගේ වුවමනා එපාකම්වලට අනුව විදුහල්පතිවරුන් පත් කරන්නටදැයි සැකයක් පවතින බව ගුරු සංගම් පෙන්වා දෙයි. 

වැඩබලන විදුහල්පතිවරුන් පාසල්වල සිටීමෙ අගතිදායක වන්නේ බොහෝ විට එවැනි ඇතැම් වැඩබලන විදුහල්පතිවරුන්ට ස්වාධිනත්වයකින් වැඩකටයුතු කරගෙන යෑමේ අවස්ථාවක් නැති නිසාය. තනතුර ස්ථිර නැති නිසා එක්කෝ ඔවුන්ට ආදි ශිෂ්‍ය සංගම්වල කීමට අනුව වැඩ කරන්නට සිදු වෙයි.  කෙටියෙන් කිව්වොත් ඇතැම් විදුහල්පතිවරුන් සිටින්නේ ආදි ශිෂ්‍ය සංගම්වල ප්‍රාණ ඇපකරුවන් ලෙසය. තවත් විටෙක තනතුර ස්ථිර නැති නිසා සම්මූඛ පරීක්ෂණවලදී දේශපාලකයන්ගේ වුවමනාවට නම් කැපේද යන්න ගැන සැකයෙන් දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයට වැඩ කිරීමට ඇතැම් වැඩ බලන විදුහල්පතිවරුන්ට සිදුවේ.

දේශපාලනඥයාගේ කීමට පිට පාරෙන් පාසලට ළමයින් ඇතුළත් කර නොගන්නා වැඩ බලන විදුහල්පතිවරුන් එළවීමට කටයුතු කරමින් සිටි අවස්ථා ද පසුගිය කාලයේ වාර්තා විය. ස්ථිර විදුහල්පතිවරුන් පත් කිරීම පමා විමෙන් එන ප්‍රධානතම සැකය වන්නේ සම්මූඛ පරීක්ෂණවලින් වැඩියෙන් ලකුණු ගත් සුදුස්සන් සිටියදී දේශපාලන උවමනා එපාකම් මත අඩුලකුණු ලබා ගත් නුසුදුස්සන් තනතුරුවලට යෑමය.

දේශපලන පත්වීම්
දේශපාලන පත්වීම්වලට හොඳම උදාහරණය සපයන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා පත් කිරීමේ ක්‍රමවේදයයි. ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු වූ පසු 2017 වසරේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාවේ අධ්‍යක්ෂවරයා ලෙස යුද හමුදා සක්‍රීය සේවයේ සිටිය කර්නල්වරයකු පත් කරනු ලැබීය. අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු රාජකාරි කළ යුතු වූ තනතුරකට යුද හමුදා කර්නල්වරයෙක් පත් කිරීමට එරෙහිව විරෝධතා මතු විය. අධිකරණයේ නඩුවක් පවා ගොනු විය.

 

ඒ අනුව පසුව අදාල නිලධාරියා ඉවත් කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාවේ අධ්‍යක්ෂ තනතුර හිස්ව තබා ඒ වෙනුවට අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සංවර්ධන සහ පුහුණු ලෙස වෙනත් තනතුරක් ඇති කර ඊට ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ ද අනුමැතිය ලබා ගත්තේය.  සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාවේ අධ්‍යක්ෂ වෙත පැවරෙන රාජකාරි රැසක් අලුතින් පත් කළ ශාරීරික අධ්‍යාප සංවර්ධන සහ පුහුණු අධ්‍යක්ෂවරයාට ලැබිණි.

මෙම තනතුර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වාතාවරණයක් ඇති වෙද්දි රාජ්‍ය සේවා කොමිසමට සහ අධ්‍යාපන අමාත්‍යංශයට මෙම තනතුරු හා සම්බන්ධ තොරතුරු ඉල්ලමින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ  කරන ලද  ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස රාජ්‍ය සේවා කොමිසමෙන් අදාළ තොරතුරු ලැබිණි.

ශාරීරික අධ්‍යාපන හා පුහුණු අධ්‍යක්ෂ තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත සුදුස්සන් බඳවා ගැනීමට අදාළ බඳවා ගැනීමේ පටිපාටිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙනුවට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආර් ඩී පී එස් ධර්මරත්න මහතා අධ්‍යාපන ලේකම්ට යවා ඇත්තේ 2017 ජූලි 03 වැනි දා ය.  එහි සඳහන් කර ඇති අන්දමට මෙම නව තනතුර සඳහා කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරු අනුමත කිරීම සිදු කර ඇත්තේ 2017 මැයි 17 වැනි දා ය. ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය ලබාගෙන ඇත්තේ 2017 ජුනි පස් වැනි දා ය. ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය ලබාගෙන ඇත්තේ 2017 ජුනි දෙවැනිදාය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන ඇත්තේද 2017 ජුනි 20 වැනි දා ය. 

අදාළ තනතුරේ මාසික දීමනාව රුපියල් 62000කි.  

වැදගත්ම කාරණය එන්නේ ඊළඟටය. මෙම තනතුර සඳහා සුදුස්සන් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමෙන් නිකුත් කරන ලෙස බඳවාගැනීමේ පරිපාටියේ 9.2 වගන්තියේ සඳහන් වන්නේ අයදුම්පත් කැඳවීමේ ක්‍රමවේදය ගැනයි. රජයේ ගැසට් පත්‍රයේ දැන්වීම් පළ කිරීම හෝ ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම හෝ වෙබ් අඩවියේ පළ කිරීම මගින් අයදුම්පත් කැඳවිය යුතු බව එහි සඳහන් වේ. විනිවිද භාවයෙන් කරන්නේ නම් මේ ක්‍රමවේද තුන ඔස්සේම අයදුම්පත් කැඳවිය හැකිය. 

කෙසේ වෙතත්  2017 සැප්තැම්බර් 29 වැනි දා එම තනතුර සඳහා යුද හමුදාවේ කර්නල්වරයෙක් පත් කරනු ලැබීය. ඒ කර්නල්වරයා ඊට පෙර ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කළ නිලධාරියාම වේ. මේ සම්බන්ධයෙන් ගුරු සංගම් පැත්තෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දී අධ්‍යාපන අමාත්‍යංශයෙන් කීවේ අදාළ තනතුරට කර්නල්වරයා බඳවා ගත්තේ ප්‍රසිද්ධ දැන්වීම් පල කර අයදුම්පත් කැඳවා සම්මූඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව බවයි.

ඒ අනුව අදාළ ප්‍රසිද්ධ දැන්වීම පළ කළ පුවත්පත් සහ ඒවායේ පිටපත්, එම දැන්වීම පළ කළ ගැසට් පත්‍රයේ පිටපත්, සම්මූඛ පරීක්ෂණ පැවැත්වූ දිනය සහ පැමිණි පිරිසේ නාමලේඛණය ආදී විස්තර තොරතුරු දැන ගැනීමේ පනත අනුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියත් ලැබුණේ නැත. 

ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් කිරීමෙන් පසු 439/2018 යටතේ අභියාචනා විභාගය පැවැත්විණි. එහිදී අනාවරණය වූයේ මෙම ප්‍රශ්නගත තනතුර සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවීමේ දැන්වීම් ගැසට් පත්‍රයේ හෝ පුවත්පත්වල හෝ වෙබ් අඩවියේ පළ කර නැති බවයි. ඔවුන් සිදු කර තිබුණේ එම අයදුම්පත් කැඳවීම   දැන්වීම් පුවරුවල පළ කරන ලෙස ඉල්ලමින් ආයතන පහකට ලිපියක් යැවීම පමණි. තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා නියෝගයේ ඒ ගැන දැක්වෙන්නේ මෙසේය.

“අභියාචක ඉල්ලා සිටි තොරතුරු අතුරෙන් 1 හා 2, ඒ අයුරින් දැන්වීම් පළ නොකිරීම හේතුවෙන් පොදු අධිකාරිය සතුව නොමැති බව පැහැදිලිවේ. ඒ වෙනුවට අමාත්‍යංශය විසින් මෙම තනතුර ගැන තම දැන්වීම්පුවරුවල පළ කර දෙන ලෙස දන්වා ආයතන පහක් වෙත යවන ලද 2017.07.21 දිනැති ඊඩී/05/67/2/1/1/116 දරණ ලිපිය ලබාදීමට නියෝග කරනු ලැබේ. තවද 2017.08.28 දිනැති සම්මූඛ පරීක්ෂණයට පැමිණි අයගේ නාමලේඛනයේ පිටපතක්ද ලබා දීමට නියෝග කරනු ලැබේ. ”

අයදුම්පත් තම දැන්වීම් පුවරුවල පළ කර දෙන ලෙස අධ්‍යාපන ලේකම් වෙනුවට අතිරේක ලේකම් එච් හේවගේ මහතා කාරුණික ඉල්ලීමක් කර ලිපි යවා ඇති ආයතන පහ වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජනකලා කේන්ද්‍රය, ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කඩුවෙල ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යංශයයි. එම ආයතන පහ තෝරා ගත්තේ කුමන පදනමකින්දැයි සඳහනක් නැත. එම ආයතන පහෙන් බොහෝමයක නිලධාරීන්ගෙන් විමසද්දී ඔවුන් කීවේ එවැනි දැන්වීමක් තම දැන්වීම්පුවරුවල අලවා නොතිබුණු බවයි. 

හොඳම විහිළුව එන්නේ ඊළඟටය. එනම් මෙම තනතුරට අදාලව සම්මූඛ පරීක්ෂණයේ පැමිණීමේ අත්සන් ලේඛනය පිරික්සද්දී තහවුරු වන්නේ ඊට සහභාගී වී ඇත්තේ දෙදෙනකු පමණක් බවයි. කේ ඩබ්ලිව් විශාල් සෝමවර්ධන සහ කර්නල් එච් ජී පී එම් කාරියවසම් මහත්වරුන් එම දෙදෙනාය. ඔවුන් පැමිණි වේලාව ලෙස දක්වා ඇත්තේ පස්වරු 4.30ටය. එසේ නම් සම්මූඛ පරීක්ෂණය පවත්වා ඇත්තේ සාමාන්‍ය සම්ප්‍රදායෙක් බැහැරව යමින් අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරි අවසන් වීමෙන් පසුවය. 

සම්මූඛ පරීක්ෂණයට සහභාගී වූ කර්නල් එච්ජීපීඑම් කාරියවසම් මහතා යුද හමුදා නිලධාරියෙකි. මීට පෙර ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබුවේ ද ඔහු වන අතර සම්මූඛ පරීක්ෂණයෙන් පසු අදාළ නව තනතුරට පත් කරනු ලැබුවේ ද ඔහුය. 

පෙර සඳහන් කළ පරිදි මෙම තනතුරට සම්මූඛ පරීක්ෂණ පැවැත්වීමට අයදුම් පත් කැඳවීම ගැන දැන්වීම් පළ කරන ලෙස අමාත්‍යංශය ඉල්ලා තිබුණේ ආයතන පහකින් පමණි. අයදුම්කරුවකු ලෙස සහභාගී වූ කර්නල්වරයා එම ආයතන පහේ රාජකාරි කරන කෙනෙක් නොවන අතර මෙම දැන්වීම යුද හමුදාවේ දැන්වීම් පුවරුවල ද පළ කරන ලෙස දන්වා යවා නැත. එසේ නම් ඔහු සම්මූඛ පරීක්ෂණයට සහභාගීවූයේ කොසේදැයි බරපතල ගැටලුවක් පවතින බව ගුරු සංගම් පෙන්වා දෙයි.

මේ ආකාරයටම ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පිරවේදැයි සැක සහිත බව ගුරු සංගම් කියයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ කීවේය. 

“ජාතික පාසල් 303ක මේ වන විට විදුහල්පති පුරප්පාඩු තිබෙනවා. ඇතැම් පාසල්වල විදුහල්පති පුරප්පාඩු පවතින්නේ දීර්ඝ කාලයක සිටයි. අවස්ථා කිහිපයකදී දැන්වීම් පළ කර අයදුම්පත් කැඳෙව්වත් පත්වීම් සිදු කළේ නෑ. හේතුව දේශපාලන වුවමනායි. 2012 දැන්වීමේ තිබුණු පාසල් ඊට පස්සේ දැන්වීමෙන් හැළිලත් තිබුණා. අපි ඒ ගැන ප්‍රශ්න කළා. දිගින් දිගටම විදුහල්පතිවරුන් පත් කිරීම පමා වෙද්දි අපට සැක මතුවෙනවා දේශපාලනඥයන්ට ඕනෑ අය පත් කිරීමටම පමා වෙන්නේ කියලා. සමහර පාසල් සඳහා එහෙම උත්සාහයක් තියෙන බවත් අපි දන්නවා. අපි අධ්‍යාපන අමාත්‍යංශයට බල කර සිටින්නේ සම්මූඛ පරීක්ෂණයෙන් සමත් සුදුස්සන් හැකි ඉක්මනින් ජාතික පාසල්වල විදුහල්පතිවරුන් ලෙස පත් කරන්න කියලයි. 

අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරයත් පුරප්පාඩු වෙලා තියෙන්නේ. ඒ සඳහාත් හැකි ඉක්මනින් සුසුස්සකු පත් කරන්න කියලා ඉල්ලනවා.” යැයි ස්ටාලින් මහතා කීවේය.

මේ ගැන කළ විමසීමේදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කීවේ හැකි ඉක්මණින් ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමට පියවර ගන්නා බවයි. තොරතුරු ඉල්ලීම් ලැබෙනතුරු නොසිට අදාල ජාතික පාසල් සඳහා ඉදිරිපත් වූ අයදුම්කරුවන් ගැන සහ ඔවුන් ලබා ගත් ලකුණු ගැන විස්තර ද අධ්‍යාපන අමාත්‍යංශය ස්වේච්ඡාවෙන් ප්‍රසිද්ධ කරන්නේ නම් එම තනතුරු පිරවීම විනිවිද භාවයෙන් සිදුකළාදැයි ජනතාවට තහවුරු වනු ඇත. 

 

 



අදහස් (1)

ජාතික පාසල් මුල්පුටු හුටපටේ

Sriyal Friday, 18 January 2019 05:32 PM

මෙය ජාතික අවශ්‍යතාවයක්... පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීමට නොහැකි වීම නිසා පාසල්වල පරිපාලන ගැටළු ඇත. පරිපාලන ශ්‍රේණියේ නිලධාරීන් වත් පත්කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 59 0

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


ජනපතිවරණ ජනමත කැඩපත
2024 සැප්තැම්බර් මස 23 62 0

2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ


ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 677 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1176 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1104 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 221 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21196 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20512 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site