IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජාතික ලැයිස්තු පටලැවිල්ල

මැතිවරණයකින් පත්වූ පාර්ලිමේන්තුවක නිල කාලය අතර මඟ දී දිස්ත්‍රික් ලැයිස්තුවකින් හෝ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කිරීම අලුත් දෙයක් නොවේ. එහෙත් එක්සත් ජාතකි පක්ෂය එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ දී පාර්ලිමේන්තුවට පත් කිරීම බොහෝ  ප්‍රවෘත්ති හා දේශපාලන ඕපාදූපවලට නිමිත්තක් විය.

 ඇතැම් ජනමාධ්‍ය වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත් කිරීම පියවරෙන් පියවර වාර්තා කොට තිබිණි. එක්සත් ජාතික පක්ෂය ඒ මහතා පත් කිරීමට තීරණය කිරීම, ඔහු ඊට එකඟ වීම එජාප මහ ලේකම්වරයා ඔහුගේ නම මැතිවරණ මහ ලේකම් කාර්යාලයට දැනුම් දීම, මැතිවරණ මහලේකම් කාර්යාලය ඔහුගේ මන්ත්‍රීධුරය සනාථ කොට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම් දීම වික්‍රමසිංහ මහතා මේ සතියේ පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූ 22 වැනිදා නොව  23 වැනිදා දිවුරුම් දීමට තීරණය කිරීම හා දිවුරුම් දීම යනා දී වශයෙනි.

 කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මෙම ජාතික ලැයිස්තු පුරප්පාඩුව පිරවීම ප්‍රවෘත්ති මවන්නක් බවට පත්වීමට හේතු නැතුවා ද නොවේ. එක්සත් ජාතික පක්ෂයේ මෙම ජාතික ලැයිස්තු ආසනයම විශේෂ තත්ත්වයකි. නිදහසට වසර දෙකකට පෙර ආරම්භ වූ එජාපය එතැන් පටන් 2020 දක්වා නොකඩවා වසර 72ක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂයකි. එම පක්ෂයට ඉකුත් මහ මැතිවරණයෙන් කිසිදු ආසනයක්  හිමි නොවී ජාතික ලැයිස්තුවෙන් පමණක් ආසනයක් හිමිවීම එම ආසනය කතා බහට ලක්වීමට හේතුවකි.

අනෙක් කාරණය නම් පසුගිය මහමැතිවරණයට පෙරද ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ එජාපය වසරක පමණ කාලයක් තිස්සේ මෙම ආසනය සඳහා කෙනකු පත් කිරීමට අසමත් වීම ද විශේෂිත වූ තත්ත්වයකි.

එසේම පසුගිය මහ මැතිවරණ කිහිපයේදීම දිස්ත්‍රික් මට්ටමේ තරගවලින් පරාජය වන කිසිවකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බව එජාප නායකයන් පවසා තිබිණි. එහෙත් එජාපයේ ලකුණ යටතේ තරග කළ වෙනත් පක්ෂ  පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නට තීරණය කළ විට එජාපය ඊට එකඟ වී ඇත. කෙසේ වෙතත් පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම පිළිබඳ සංවාදය නිසාද වික්‍රමසිංහ මහතාගේ පත්වීම සංවාදයට ලක්විය.

එහෙත් ඊටත් වඩා ජනමාධ්‍ය අවධානයට ලක් වූයේ ඇතැම් කට කතාය. වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත්වී ආ විගස සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එජාපයට එක් වනු ඇතැයි යන්න එක කට කතාවකි. එසේ එම පිරිස  එජාපයට එක් වූ පසු දැනට සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂනායක ධුරය වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇතැයි යන්න තවත් කතාවකි.

මෙම කතාවලට කිසිදු පදනමක් නොතිබුණේ වුව ද ඇතැම් දේශපාලනඥයන් හා ජනමාධ්‍ය ඒවා ගැන කතා කිරීමට ප්‍රිය කරන බවක් ද දක්නට ලැබිණි. එසේම එම කතා සමඟි ජනබලවේගය තුළ ද එක්තරා බලපෑමක් ඇති කොට තිබූ බව පෙනේ. හිටි අඩියේ පෙනෙන්නට කිසිදු හේතුවක් නැතිවම එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉකුත් ජූනි 7 වැනිදා රැස්වී එම පක්ෂයට හා පක්ෂයේ නායක  සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂපාතිත්වය ප්‍රකාශ කොට යෝජනාවක් සම්මත කිරීමෙන් ඒ බව පෙනේ.

විපක්ෂ නායක ධුරය පිළිබඳ මෙම කතා ගැන සම්මුඛ සාකච්ඡාවක දී ජනමාධ්‍යවේදියකු වික්‍රමසිංහ මහතාගෙන්ම අසා තිබිණි. කුමන පදනමකින් එම ප්‍රශ්නය අසන්නේදැයි විමසන්නාක් මෙන් වික්‍රමසිංහ මහතා ද ‘‘කොහොම ද එහෙම වෙන්නේ’’ යැයි ප්‍රශ්නයකින්ම ඊට පිළිතුරු දී තිබිණි.

සිය ජාතික ලැයිස්තු පුරප්පාඩුවට වික්‍රමසිංහ මහතා පත් කරන බවට එජාපය තීරණය කළ බවට පුවත් පළවූ පසු විද්‍යුත්  ජනමාධ්‍ය ගණනාවක් ඒ මහතා සමග සම්මුඛ සාකච්ඡා පවත්වා තිබිණි. ඒවාට  සවන් දෙන විට නම් පෙනුණේ 1977 සිට නොකඩවා  පාර්ලිමේන්තුවේ සිට ඇමැතිවරයකු, අගමැතිවරයකු හා විපක්ෂනායකවරයකු ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා බැරෑරුම්, කාර්යභාරයක් පාර්ලිමේන්තුව තුළ  ඉටු කරනු ඇතැයි ජනමාධ්‍ය නොසිතන බවයි. ඒ නිසාදෝ බැරෑරුම් සාකච්ඡාවකට සුදුසු පුද්ගලයකු වුව ද ඔහු වෙත ඉදිරිපත් කෙරුණේ බැරෑරුම් නොවන සරල ප්‍රශ්නයි.

ඔහු ද එම ප්‍රශ්න සම්බන්ධයෙන් එතරම් ප්‍රසාදයක් දැක්වුයේ නැත. මෙරට ආර්ථික හා සමාජ ප්‍රශ්න පිළිබඳ වික්‍රමසිංහ මහතාගේ අදහස් අප පිළි ගත්තේ වුව ද නැති වුව ද ඔහු එම කරුණු සම්බන්ධයෙන් බැරෑරුම්ව හා ගැඹුරින්  සාකච්ඡා කිරීමේ හැකියාවක් ඇත්තෙකි. එවැන්නක් වෙතට මෙම සාකච්ඡා යොමු නොවූ හෙයින් වික්‍රමසිංහ මහතා ද ඇතැම් අවස්ථාවල දී ජනමාධ්‍යවේදීන් අසීරුවට පත්වන ආකාරයේ ප්‍රති ප්‍රශ්නවලට යොමුවිය.

පසුගිය බදාදා ඔහු වත්මන්  පාර්ලිමේන්තුවේ කළ පළමු කතාව බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එහෙත් ඇත්ත වශයෙන්ම එම කතාවේ අලුත් යමක් තිබුණේ නැත. ඔහු එම අදහස් පසුගිය දිනවල ඇතැම් ජනමාධ්‍යවලට පවසා තිබිණි.

විශේෂයෙන්ම කොරෝනා ගෝලීය වසංගතය මැඬලීම සඳහා වූ කාර්ය සාධන බළකාය වෙනුවට එම වගකීම කැබිනට් මණ්ඩලයට පවරා ගත යුතු යැයි ඔහු මීට පෙර ද ප්‍රකාශ කොට තිබිණි. ඔහු පවසන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියකු වන හමුදාපතිවරයා මෙම කාර්ය සාධක බළකායේ ප්‍රධානිය වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරයකුට නියෝග නිකුත් කළ නොහැකි නිසා එම කාර්ය භාරය කැබිනට් මණ්ඩලය විසින් පවරා ගත යුතු බවයි. නීතිමය අර්ථයෙන් ගත් කල එය ප්‍රබල තර්කයකි.

එහෙත් ප්‍රශ්නය වන්නේ කාර්ය සාධන බළකාය තිබුණ ද දැනුදු තීරණ ගන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමැතිවරුන් පිරිසක් වීමයි. ඇතැම් ප්‍රදේශ හුදකලා කිරීම වැනි තීරණ කාර්ය සාධන බළකාය ගත්ත ද රටටම බලපාන ආකාරයේ ඇඳිරි නීතිය පැනවීම් රට අගුලු දැමීම, වැනි තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා හා අදාළ ඇමැතිවරුන් සහභාගි වන රැස්වීම්වලදීය. ඒ අනුව නිල වශයෙන් කාර්ය සාධන බළකායට කුමක් පැවරී තිබුණ ද වික්‍රමසිංහ මහතා යෝජනා කරන දේ දැනටමත් සිදුවේ. ප්‍රශ්නයක් වී ඇත්තේ  ඇමැති මණ්ඩලය කාර්ය සාධන බළකායේ කාර්ය භාර්ය පවරා ගත්තද වසංගතය මර්දනය කරන්නට  කළ යුත්තේ කුමක්ද යන්නයි.

ඒ සඳහා වික්‍රමසිංහ මහතා වෙත යෝජනා ඇත්දැයි නොදනිමු. එසේ ඔහු කුමක් යෝජනා කළ ද වත්මන් සැකැස්ම තුළ ඒවා ක්‍රියාත්මක කරන්නට ඇමැති මණ්ඩලය හෝ කාර්ය සාධන බළකාය බැඳී නැත. ඔහුට ඒ සඳහා ආණ්ඩුවට බලපෑම් කළ හැක්කේ අනෙකුත්  විපක්ෂ කණ්ඩයාම් සමග එක්ව පමණි. එසේ වේදැයි  පැහැදිලිද නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයෙන් දැනට  සිදුවන කිසිවක වෙනසක් වේ යැයි දැනට නම් නොපෙනේ.

මැතිවරණයෙන් පරාජය වුවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බව කී එජාපය දැන් මැතිවරණයෙන් පරාජය වූ තම නායකයාම ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම හාස්‍යයට ලක් කරමින් හා ලජ්ජා සහගත යැයි කියමින් මේ දිනවල සමාජ ජනමාධ්‍යවල විවිධ පුද්ගලයෝ අදහස් දක්වති. එසේ පරාජිතයන් පත් කිරීම නුසුදුසු ක්‍රියාවක් බව එජාපය පමණක් නොව වෙනත් ඇතැම් පක්ෂ ද පවසා ඇත. ඇතැම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද එම මතයේ සිටින බව පෙනේ.

මෙම කාරණය නම් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය මුල් කොට ගෙන හෝ සාකච්ඡා කළ යුතු කරුණකි. මන්දයත් මේ වනවිට මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කටයුතු කරමින් සිටී.

පාර්ලිමේන්තුවේ සභානායක හා විදේශ ඇමැති වන දිනේශ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම තේරීම් කාරක සභාව මේ දිනවල දේශපාලන පක්ෂවලින් මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ අදහස් ලබා ගනිමින් සිටී. අනෙක් අතට මේ කාරණය පිළිබඳ පොදුවේ සමාජය පිළිගෙන ඇති මතය ද නිවැරදි බවක් පෙනෙන්නේ නැත.

මැතිවරණයෙන් පරාජය වුවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම නුසුදුසු යැයි ඉදිරිපත් කෙරෙන තර්කයේ පදනම පරාජය වුවත් ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී ඇතැයි යන්න හා ඔවුන් නුසුදුස්සන්ය යන්නයි. එහි විලෝමය නම් ජනතාව ඉතා බුද්ධිමත්ව කරුණු කාරණා සොයා බලා සුදුස්සන් පමණක්  පාර්ලිමේන්තුවටත්, පළාත් සභාව වැනි ආයතනවලටත් පත් කර යවතියි යන්නයි.

එහෙත් සත්‍යය නම් ජනතාව මැතිවරණවල දී ජන කණ්ඩායම් වශයෙන් හා පුද්ගලයන් වශයෙන් අතිශය වැරැදි සම්බන්ධයෙන් මෙරට කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි  උදාහරණය නම් 1982 දී පැවැති ජනමත විචාරණයයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා අතිශයින්ම දූෂිත වූ එම ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අද පවා නීතිය හමුවේ සැලකෙන්නේ ජනතා තීන්දුවක් ලෙසය.

එසේම එක්සත් ජාතික පාක්ෂික ඡන්ද නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථාන අති විශාල සංඛ්‍යාවකින් පලවා හැර 1999 දී පවත්වන ලද වයඹ පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය ද සැලකෙන්නේ ජනතා තීන්දුවක් ලෙසය.

ඊට අමතරව සාපේක්ෂ සාමකාමී  තත්ත්වයන් යටතේ ද ජනතාව හාස්‍ය ජනක තීන්දු දී ඇත. 2010 මහමැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයට එජාපයෙන් තරග කළ එම පක්ෂයේ එවකට නියෝජ්‍ය නායක කරුජයසූරිය මහතා ලබාගත්තේ එම පක්ෂයෙන්ම එම දිස්ත්‍රික්කයට තරග කළ චිත්‍රපට නිළි උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා මහත්මියටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවකි. මෙයද සැලකෙන්නේ ජනතා තීන්දුවක් ලෙසය. යම් හෙයකින් ජයග්‍රාහකයන් හා පරාජිතයන් අතර බෙදුම් රේඛාව මේ දෙදෙනා අතරින් වැටී තිබුණේ නම් ජයසූරිය මහතා සැලකෙන්නේ ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වූ නුසුදුස්සකු වශයෙනි. ස්වර්ණමාලී මහත්මිය සැලකෙනු  ඇත්තේ ජනතාව පිළිගත් සුදුසුකම් ඇත්තියක වශයෙනි.

 එම මහ මැතිවරණයේදීම ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් අතුරින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් විය. එනම් එම දිස්ත්‍රික්කයේ අනෙක් එජනිස අපේක්ෂකයන්ට වඩා මන්ත්‍රීධුරයට සුදුස්සා ජයසුරිය මහතා යැයි ජනතාව තීන්දු කොට තිබිණි.

 මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටියදීම ප්‍රේමලාල් ජයසේකර මහතා 2015 මහ මැතිවරණයේ දී මනාප 150,000 ක් ලබා එජනිස ලැයිස්තුවේ මුල්තැනට පත්විය. ජෝන්  සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි  ආදීන්ට වඩා ඔහු සුදුස්සකුයි ජනතාව තීන්දු  කොට තිබිණි. ජනතා තීන්දුවේ ස්වභාවය එයයි.

 2015 දී මාතර ජනතාව ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා, ‘‘නුසුදුස්සෙකු යැයි ප්‍රතික්ෂේප කොට’’ තිබිණි. ජවිපෙ ඔහු ජාතික ලැයිස්තුවෙන් පත් කළේය. ඔහු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක  සභාවේ සභාපති වශයෙන් ජනතාවට දැඩි අතුල් පහරක් එල්ල කළේය.

ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කිරීමට කිසිදු ප්‍රමිතියක් හෝ නිර්ණායකයක් නැත. කුමන අර්ථයකින් බැලුව ද ඔවුන්  දිස්ත්‍රික්ක මට්ටමේ අපේක්ෂයන්ට වඩා ‘‘සුදුස්සන්’’  යැයි කිව නොහැකිය. ඔවුන් මැතිවරණයකට තරග කළහොත් ජයගන්නා බවට ද කිසිදු සහතිකයක් නැත.

අනෙක් අතට  පක්ෂයක ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩු පිරවීම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමට ද නිශ්චිත ක්‍රමවේදයක් නැත. ඔවුන් තෝරා ගනු ලබන්නේ පක්ෂ නායකයාගේ රුචි අරුචිකම් අනුවය. ඒ සෑම අයකුම පරාජිතයන්ට වඩා සුදුස්සන් ලෙස සැලකේ.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතුව තිබිය යුතු සුදුසුකම් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති හා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පසුගිය මහමැතිවරණයට සති කිහිපයකට පෙර  ප්‍රකාශයක් කළේය. ව්‍යවස්ථා සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම හා ජනතාව නියෝජනය කිරීම යන කටයුතුවලට දායක වීමේ හැකියාව ඉදිරිපත් කළ සුදුසුකම් විය.

 වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගත් කල ඔහු පරාජය වූයේ මෙවැනි ප්‍රශ්නයක් නිසා නොව පක්ෂය නාය යාම නිසාය. ඔහුගේ ප්‍රතිපත්ති, ක්‍රියාකිරීමේ ශෛලිය ඔහු අනෙක් පුද්ගලයන් සමග සබඳතා පවත්වාගෙන යන  ආකාරය ආදිය කෙනකු පිළිගත්තත් නැතත් වත්මන් පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකුට වඩා ගුණසේකර මහතා ගෙනහැර දක්වන සුදුසුකම් ඔහු වෙත ඇති බව නම් නිසැකය.

(*** එම්.එස්.එම්.අයුබ්)



අදහස් (2)

ජාතික ලැයිස්තු පටලැවිල්ල

chandrasiri senevirathne Saturday, 26 June 2021 03:32 PM

විශිෂ්ඨ කියවීමක්. අයුබ් ඔබට ස්තුතියි..!!! 

:       0       3

Chandra Amerasekare Tuesday, 29 June 2021 08:09 PM

හරියට හරි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 810 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 391 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4288 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12704 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 694 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38309 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25237 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site