IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්දියානු විරෝධය නමැති මතවාදී ආස්ථානයවීම ස්වාභාවික තත්වයකි.

ජවිපෙ දසක කිහිපයක් ඉන්දියානු විරෝධී මතය ගෙන ගියේ එහි ප්‍රතිඵලයක් හැටියටය. එහෙත් දැන් බලයේ සිටින්නේ හුදෙක් ජවිපෙ පමණක් නොවේ. එය ජාතික ජන බලවේගය නමින් හඳුන්වන සභාගයකි. ජවිපෙ ඓතිහාසික ඉන්දියානු විරෝධය යම්දුරකට තනුක වීමට මේ කාරණය හේතු වූවා වන්නට පිළිවන. ශ්‍රී ලංකාව කොදෙව් රාජ්‍යයක් වෙන හෙයින් භූ දේශපාලනික යථාර්ථයන්ට පිටුපා කටයුතු කළ නොහැකි ය. ශ්‍රී ලංකාව ආසන්නයේම පිහිටි එමෙන්ම දකුණු ආසියාතික භූගෝලීය කලාපයේ බලවත්ම රාජ්‍යය වෙන ඉන්දියාව සමග සමීප සබඳතා පවත්වන්නේ නැතිව ශ්‍රී ලංකාවට රාජ්‍යයක් හැටියට ඉදිරියට යා නොහැකිය. මේ පසුබිමේ ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ආණ්ඩුව විසින් අගමැතිවරයාට උසස් පිළිගැනුමක් පිරිනමනු ලැබීම එකී භූ දේශපාලන වැදගත්කම සහ මතවාදී ආස්ථානවල සිදු වූ වෙනස්වීම් යන කාරණා දෙක ඇතුළත තේරුම් ගත යුතුය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංගේ ආණ්ඩු සමයේ සාගරික කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සන්ධානයක් නිර්මාණය කිරීමට අදාළ මූලික වැඩසටහන් ආරම්භ කළේ ය. එය හැඳින්වූයේ කොළඹ ආරක්ෂක සම්මේලනය යනුවෙනි. මාලදිවයිනේ අභිනව ජනාධිපතිවරයා චීනයට බර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් එරට යම් දුරකට මේ සන්ධානයෙන් ඉවත් වීමක් ද දැකගත හැකි විය. එහෙත් ආරක්ෂව සම්බන්ධ සාකච්ඡාවලින් මාලදිවයින සම්පූර්ණයෙන්ම ඉවත් වූයේ නැත. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර උපයාමාර්ගික සහ ආරක්ෂක ගිවිසුම් ඇති කර ගැනීමට පදනම සකස් වූයේ ද මේ සාකච්ඡාවලිනි. වත්මන් ආණ්ඩුව සහ ඉන්දීය රජය අතර අස්සන් තැබුණු ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියාව සාකච්ඡා කළ ආරක්ෂක ගිවිසුමේ ලිඛිත පරිවර්තනයක් යැයි කිව නොහැකිය. එසේ වුවද දයාන් ජයතිලක, අසංග අබේගුණසේකර වැනි නිරීක්ෂකයන් පවසන්නේ මෙම ආරක්ෂක සහයෝගීතා ගිවිසුම රනිල් වික්‍රමසිංහගේ කාලයේ සාකච්ඡා කළ ගිවිසුමෙහි මුද්‍රිත ස්වරූපය බවය.

මෙම ගිවිසුමෙහි තොරතුරු සම්බන්ධ ප්‍රශ්නයක් තිබේ. එනම්, එහි අන්තර්ගත තොරතුරු සම්බන්ධයෙන් පූර්ණ විග්‍රහයක් දෙරටේ ආණ්ඩුවලින් ඉදිරිපත් වෙන්නේ නැත. එහෙත් අපට සපයාගත හැකි තොරතුරු ඇසුරින් කිව හැක්කේ රනිල් වික්‍රමසිංහගේ කාලයේ සාකච්ඡා වූ ගිවිසුමට වඩා වෙනස්කම් මෙම ගිවිසුමෙහි ඇති බවය. රනිල් වික්‍රමසිංහ සාකච්ඡා කළ ආරක්ෂක ගිවිසුමේ දී මිලිටරිමය හා ආරක්ෂක ප්‍රතිසන්ධාන නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දී තිබුණි. බලශක්තිය පිළිබඳ යෝජනාත් එහි අන්තර්ගත විය.

එහෙත් ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී අස්සන් තැබුණු ආරක්ෂක සහයෝගීතා ගිවිසුමෙහි වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ සාම්ප්‍රයික නොවන ආරක්ෂව පිළිබඳ තර්ජනවලට ආමන්ත්‍රණය කිරීමටය. එම සංකල්පයෙන් අදහස් වෙන්නේ මිලිටරිමය නොවන ආරක්ෂක කාරණාය.

බොහෝ අය තර්ක කරන ආකාරයේ වික්‍රමසිංහගේ කාලයේ සාකච්ඡා වූ සහ මීට දින කිහිපයකට ඉහත දී අස්සන් තැබුණු ගිවිසුම අතර සාම්‍යතාවක් නැති බව මගේ මතය යි. රනිල් වික්‍රමසිංහ ගෙනගිය සාකච්ඡා මෙයට බලනොපෑ බව එයින් අදහස් වෙන්නේ නැත. එම සාකච්ඡා බරපතළ ලෙස බලපෑවේ ය. මන්ද, මෙම ගිවිසුම හුදෙක් අලුත් ආණ්ඩුව බලයට පත් වූ පසු සකස් කළ ගිවිසුමක් නොවන හෙයිනි.

යම් ගිවිසුමකට අත්සන් තැබුණු පසු ඊට අදාළව අනුගමනය කළ යුතු තාක්ෂණික ක්‍රියාවලියක් තිබෙන අතර එය අවසන් වූ පසු ගිවිසුමෙහි අවසන් රූපය ප්‍රකාශයට පත් කළ යුතු ය. රටට වඩාත් සංවේදී මෙවැනි ගිවිසුමක් අස්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව සහ සිවිල් සමාජය ඒ ගැන දැනගත යුතුය යන අදහස මම පිළිගනිමි. මා ඉහත දී ද පැවසූ පරිදි මේ ගිවිසුමෙහි අන්තර්ගතය සකස් වී තිබෙන්නේ කාලයක් පුරා ආරක්ෂාව සහ උපාය මාර්ගික සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර ගෙනගිය සාකච්ඡාය. මෙම ගිවිසුම සම්බන්ධයෙන් දයාන් ජයතිලක මතු කරන ප්‍රශ්නය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව තිබේ. ඔහු ආරක්ෂක කර්මාන්ත ( Defense Factories) යන යෙදුම සෘජුව භාවිත කරයි. සාගරික බලවතකු හැටියට සිය ආරක්ෂක කටයුතු මහාද්වීපික සාගරික කලාපයෙන් එපිටට ප්‍රසාරණය කිරීමේ අවශ්‍යතාව ඉන්දියාවට තිබේ. එහිදී ඉන්දියාවට පළමුව මුණගැසෙන පළමු වැදගත් රට ශ්‍රී ලංකාවයි. එබැවින් මෙවැනි කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග ව්‍යුහගත සාකච්ඡාවකට පැමිණීමට ඉන්දියාවට අවශ්‍යය. මේ ආකාරයේ ගිවිසුමක් එබඳු ව්‍යුහගත සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය.

ආරක්ෂක අවි ආයුධ නිෂ්පාදනය කරන කම්හල් මෙරටේ ස්ථාපිත කිරීමට මෙම ගිවිසුමෙන් එකඟ වී ඇති බව දයාන් ජයතිලක කියයි. එහෙත් මෙම ගිවිසුම සම්බන්ධ ඉන්දියානු රජයේ හෝ ශ්‍රී ලංකා රජයේ හෝ නිල ප්‍රකාශනවල මෙවැන්නක් ගැන සඳහනක් නොමැත. ඒ ආකාරයේ බරපතළ කාරණයක් වගකිව යුතු ජාතික රාජ්‍යයන් දෙකකට සඟවාගෙන සිටිය හැකි යැයි මම නොසිතමි. එමෙන් ම ශ්‍රී ලංකාවට කිසිදු තත්වයක් යටතේ එවැනි දෙයකට එකඟ විය නොහැකි ය. කිසියම් රාජ්‍යයක් තවත් රාජ්‍යයක අවි ආයුධ නිෂ්පාදන කම්හල් පිහිටුවන්නේ නම් ඊට අදාළව අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබෙන අතර ඒවා ජාත්‍යන්තර සම්මුතිවල ඇතුළත් ය. එක්සත් ජාතීන්ගේ සංවිධනය 1945 සිට මේ දක්වා න්‍යෂ්ටික අවි සහ මහා පරිමාණ යුද්ධ සඳහා භාවිත කරන අවි සම්බන්ධයෙන් නිර්මාණය කළ සම්මුති ගණනාවක් තිබේ. දායන් ජයතිලක වරක් එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිතයා වශයෙන් කටයුතු කළ බැවින් ඔහු මේවා ගැන නොදැන සිටිය නොහැකි ය. එබැවින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය වගකීම් විරහිත එකක් හැටියට මම සලකමි.

එබැවින් යළිත් අවධාරණය කළ යුත්තේ මෙම ගිවිසුමෙහි අන්තර්ගතය ඒ ආකාරයේ අවි ආයුධ කම්හල් පිහිටුවීමක් ගැන සාකච්ඡා නොකරන බවත් එයින් වැඩිමනත් අවධානය යොමු කර තිබෙන්නේ සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජන ආමන්ත්‍රණය කිරීමට බවත්ය.

ක්වොඩ් යනු චීනයේ මූලෝපායික නැගීම පාලනය කිරීමට ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපනාය යන රටවල මූලිකත්වයෙන් පිහිටු වූ සංවිධානයකි. එම සංවිධානයේ සාමාජික රටක් වෙන ඉන්දියාව සමග ශ්‍රී ලංකාව මේ ආකාරයේ ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අස්සන් කිරීමෙන් ඉන්දු-චීන බලතුලනයට බලපෑමක් වෙන බව ද ප්‍රකාශ වේ. එහි යම් සත්‍යතාවක් ඇතත් මෙහිදී අප අමතක නොකළ යුතු කාරණයක් ද තිබේ. එනම්, චීනය මේ දක්වා මෙවැනි ගිවිසුම්වලට එකඟ වී නැද්ද යන්නය. 2008 සිට මේ දක්වා චීනය එරටට යාබද රටවල් රැසක් වෙන කාම්බෝජය සහ ලාඕසය සමග ආරක්ෂක ගිවිසුම් අස්සන් කර ඇත. විශේෂයෙන්ම ලෝක පර්යායේ අධිපතිභාවය දරන ඇමෙරිකාවට අභියෝග කිරීමට අත්‍යාසන්න අවස්ථාවේ සිටින රාජ්‍යයක් යාබද රටවල් සමග ආරක්ෂක ගිවිසුම්වලට එළැඹීම ස්වාභාවික ය. මේ කාරණය සම්බන්ධයෙන් සලකා බැලුවහොත් ඉන්දියාවටත් යාබද රටවල් සමග එවැනි ආරක්ෂක ගිවිසුම්වලට එළැඹීමට සිදු වේ. ඒ සඳහා ඉන්දියාවට තිබෙන සුදුසුම තෝරා ගැනීම ලංකාවයි. පාකිස්තානය සමග පවතින ඓතිහාසික පසමිතුරුතා නිසාත් බංග්ලාදේශයේ සිදුව තිබෙන නව දේශපාලන වෙනස්කම් නිසාත් එම දෙරට සමග ඉන්දියාවට මේ ආකාරයේ ගිවිසුම්වලට එළැඹිය නොහැකිය.

අප මේ තත්වය ඉන්දියාවට නාභිගත කර තේරුම් ගන්නේ නම් එය කළ යුත්තේ ඉන්දියාවේ භූදේශපාලනික නැගීම කේන්ද්‍ර කරගෙන ය. ඉන්දියාව ලංකාව සමග මෙවැනි ගිවිසුමකට ඇතුළත් වීම චීනය තමන්ගේ යාබද රටවල් සමග ආරක්ෂක ගිවිසුම්වලට ඇතුළත් වීමට සමාන ය. කෙසේවෙතත් ශ්‍රී ලංකාව කුඩා රටක් හෙයින් මෙය අපට බලපාන ආකාරය වෙනස් වීමට පිළිවන. ඉන්දියාව යනු චතුර්පාර්ශ්වික ආරක්ෂක සංවාදය (ක්වොඩ්) නමැති සංවිධානයේ සාමාජික රාජ්‍යයකි. එහි සාමාජික රාජ්‍යයක් සමග ශ්‍රී ලංකාව මේ ආකාරයේ ගිවිසුමකට ඇතුළත් වීම චීනය සමීපව නිරීක්ෂණය කරන බව මම පිළිගනිමි. එහෙත් එම ගිවිසුමෙන් චීනයට අනර්ථයක් සිදුවේද යන්න ගැන ශ්‍රී ලංකාව බරපතළ සලකා බැලීමක් කළ යුතු ය. ඉන්දීය සාගර කාලපයේ හෝ ඉන්දු-පැසිෆික් සාගර කලාපයේ බලතුලනයට හානි වෙන ආකාරයේ නැතිනම් ඉන්දියාවට මෙම කලාපය ආක්‍රමණය කිරීමට සහාය වෙන ආකාරයේ ආරක්ෂක සන්ධානයකට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට නොහැකි ය. එබැවින් මෙම ගිවිසුම ඉන්දීය සාගර කලාපයට හා ඉන්දු-පැසිෆික් භූ දේශපාලනික කලාපයට බලාපන්නේ කෙසේද යන්න උපායමාර්ගිකව සිත්හි තබාගෙන මෙම ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ අවසන් ස්වරූපය සකස් කළ යුතුය.

නව යථාර්ථවාදී ජාත්‍යන්තර දේශපාලන විද්‍යාඥයකු වෙන කෙනත් වෝල්ට්ස් පෙන්වා දෙන්නේ ශක්‍යතා බෙදී ගොස් ඇති ආකාරය (Distributions of Capabilites) අනුව ලෝක පර්යායක් නිර්මාණය වෙන බවය. නිරවි යුද්ධයේ අවසානයෙන් පසු පැවති ද්වී ද්‍රව බලතුලනය බිඳ වැටී බහු ද්‍රව බලතුලනයක් නිර්මාණය විය. බහු ද්‍රව බලතුලනයක් සහිත ලෝක පර්යායක දී වුව ඇමෙරිකානු බලය කේන්ද්‍රීය බලයක් වශයෙන් පැවතිණි. එහෙත් 2000 සහශ්‍රකයේ මුල් දසකයෙන් පසු මේ ඇමෙරිකානු බලයට චීනය විශාල අභියෝගයක් එල්ල කළේ ය. මෙය ලෝක පර්යායේ බරපතළ වෙනස්කම් සිදුවෙමින් පවතින කාලයකි. වෙළෙඳ සහ ආර්ථික වශයෙන් ගතහොත් මෑතකාලයේ දී සාර්ථකත්වයට පත් වූ රාජ්‍යයන් ගණනාවක් හඳුනාගත හැකි ය. ඒවායෙන් බොහොමයක් පූර්ණ නවලිබරල් ධනවාදී නොවන රටවල්ය. චීනය, දකුණු අප්‍රිකාව, රුසියාව, බ්‍රසීලය, වියට්නාමය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව වැනි එලෙස සාර්ථකත්වයට පත් වූ රටවල් පූර්ණ ධනවාදී ඒවා නොවේ. මේ සංවර්ධනය අප දකින්නේ ලෝක පර්යාය ඇතුළත පළමුවැනි වරටය. මෙම බලවතුන් සාම්ප්‍රදායික පැරණි නවලිබරල් බලවතුන්ගේ සන්ධානයට අභියෝග කරයි. එම සන්ධානය නියෝජනය කරන්නේ ඇමෙරිකාව සහ යුරෝපා බලවතුන්ය. එය හැඳින්වෙන්නේ පාර-අත්ලාන්තික ආර්ථික පර්යාය නමිනි. එය තවදුරටත් දකින්නට ලැබෙන්නේ නැත.

මේ සන්දර්භයේ ශ්‍රී ලංකාව බරපතළ විදේශ ප්‍රතිපත්ති වෙනසකට ප්‍රවිෂ්ට විය යුතු ය. ගෝලීය පර්යාය ඇතුළත සිදුවෙන සංවර්ධනයන් ඉතාම සමීපව නිරීක්ෂණය කළ යුතු ය. ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් වැදගත් වෙන්නේ එබැවිනි. ආණ්ඩුවේ සියලු ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කරන බවක් එයින් ගම්‍ය නොවේ. එහෙත් මගේ ආස්ථානය වන්නේ මේ අවස්ථාවේදී මෙබඳු සන්ධානගතවීමක් අත්‍යවශ්‍ය වේය යන්නයි. එවැනි සන්ධානගතවීමක් මධ්‍යයේ අප අපේක්ෂා කරන විදේශ ප්‍රතිපත්ති වෙනසට මුලපිරිය හැකි ය. එසේ ම චීනය සමග පවතින සබඳතා පුළුල් කර ගැනීම ද වැදගත්ය. පාර-අත්ලාන්තික ආර්ථික පර්යායේ බලවතුන්ට පරිබාහිරව අප ලෝකය වෙත ගමන් කළ යුතුය. එහිදී බ්‍රික්ස් බලවතුන් හා දකුණු ඇමෙරිකානු සහ ආසියානු බලවතුන් විශේෂය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 79 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 53 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 406 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 505 3

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 421 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 11863 4

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 873 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site