IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජාතිවාදී ගින්නට පිදුරු දැමීම

1707 වසරේ දී දෙවැනි විමලධර්මසූරිය රජුගේ අභාවයෙන් පසු උගත්කමින් හා බුද්ධිමත්කමින් මඳ, විනෝදකාමී ජීවිතයකට මෙන් ම මතට සහ සල්ලාල කමට ඇබ්බැහි වූ කුණ්ඩසාලේ කුමාරයා වශයෙන් නම් දැරූ දෙවැනි විමලධර්මසූරිය රජුගේ පුතු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රාජාභිෂේක විය. ඔහු වටා සිටි කුමන්ත්‍රණකාරී කේවට්ටයන්ගේ ගොදුරටක් බවට පත් වූ ඔහු, ඔහුගේ අග්‍ර පුරෝහිතයා ලෙස ගොන්සාල්වේස් ද, ඇමතිවරුන් ලෙස ජෝශප් වාස්, දස්කොන්, ලැනරෝල් යන අය ද, මහ ඇමති ලෙස ඔහු මදුරාපුරයෙන් ගෙන්වාගත් නායක්කාර් වංශික බිසවකගේ සහෝදරයකු ද පත්කරගනු ලැබූහ.

1739 දී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මියගියේ සිංහලේ රාජධානියේ අවසන් සිංහල රජු ලෙස ය. අනතුරුව නායක්කාර් වංශික වඩිගයකු වන ශ්‍රී විජය රාජසිංහ ඇතුළු රජවරු හතර දෙනකු සිටි අතර අවසන් වරට කන්නසාමි නමැත්තා ශ්‍රී  වික්‍රම රාජසිංහ නමින් රජ විය.

1815 පෙබරවාරි 13 වැනි දින ඉංග්‍රීසි පාලකයන් උඩරටට ගොස් ඔහුව ජීවග්‍රහයෙන් අල්ලා රටින් පිටුවහල් කළ අතර 1815 මාර්තු 2 වැනි දින මහනුවර මඟු‍ල් මඩුවේ අත්සන් කළ රට පාවා දීමේ ගිවිසුමත් සමඟ අවුරුදු 2358 ක් තිස්සේ පැවති සිංහලේ රාජධානිය අවසන් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීම සඳහා ඔත්තු සැපයුවේ ඉන්දියාවේ සිට පැමිණ සිටි තෝම්බු මුඩ්ලියර් නමැති මුසල්මානුවෙකි.

1818 වසරේ ඉංග්‍රීසි පාලකයන්ගේ කෲරත්වය ඉවසනු නොහැකිව ජාති මාමකයන් ඉංග්‍රීසි පාලනයට එරෙහි ව නැගී සිටිද්දී ඉංග්‍රීසීන් මෙරට ජාතීන් අතර විරසකයක් ඇතිකර සිංහලයන් දුර්වල කිරීම පිණිස කුමන්ත්‍රණයක් දියත් කළේ ය. එමෙන් ම ඌවේ දිසා භාර ව සිටි මොණරවිල කැප්පෙටිපොල යටතේ පැවති ප්‍රදේශයට ඉංග්‍රීසි ආණ්ඩුකාර බ්‍රවුන්රිග් මරක්කල හජ්ජි නමැත්තෙක් වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කළේ ය. ඒ සමඟ ම ඉංග්‍රීසීන්ට එරෙහි ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය ව්‍යාප්ත විය. ඌවේ සිටි මරක්කල ජනතාව එම පළාත අතහැර නැගෙනහිර ප්‍රදේශයට සංක්‍රමණය වීම ආරම්භ කළ විට ඉංග්‍රීසි ආණ්ඩුව එය තහනම් කළේ ය. ඌව වෙල්ලස්ස සටන නිසා 30,000 ක් පමණ සිංහල ජනතාවට ජීවිත අහිමි විය.

ඌව වෙල්ලස්ස සටන ලේ විලකින් අවසන් කළ ඉංග්‍රීසීන් 1848 වීර පුරන්අප්පු විසින් ආරම්භ කරන ලද මාතලේ කැරැල්ල ද දස දහස් ගණනකගේ ජීවිත බිලි ගනිමින් නිමා කළේය.

 ඉංග්‍රීසීන් තවදුරටත් සිංහලයන් යටත් සහ නිවට ජාතියක් බවට පත් කිරීමේ උත්සාහය අත නොහරිමින් සුරාබදු පනත ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ ය. ඊට එරෙහි ව නැගී සිටි ජාති මාමක බලවේගවලට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා නායකත්වය දුන් අතර ඔවුන් 1911 දී හාපිටිගම දී ආරම්භ කළ අමද්‍යප ව්‍යාපාරය තුළින් ජාතිය අවදි කිරීමේ සටන ආරම්භ කළේ ය. එය පිටුපස සිට ඊට දැවැන්ත ශක්තියක් ලබා දුන්නේ අනගාරික ධර්මපාලතුමන් ය.

එය මර්දනය කිරීම සඳහා ද බ්‍රිතාන්‍ය පාලකයන් රට තුළ ජාතිවාදී ගැටුම් නිර්මාණය කළේ ය. එවකට ආණ්ඩුකාර රොබට් චාමර්ස්, පොලිස්පති හර්බට් ඩව්බිගින් සහ හමුදාපති මැකලම් යන අය කුමන්ත්‍රණය කොට 1915 වෙසක් මස 28 වන දින දළදා මාළිගාවේ පෙරහැරට සහ ගම්පොළ පැවති පෙරහැරකට ගල් ගසා බාධා කිරීම සඳහා ඉන්දියාවේ සිට පැමිණි මරක්කලයන් කිහිප දෙනකුට කොන්ත්‍රාත්තුව ලබා දුනි.

එමගින් ඇති වූ ජාතිවාදී ගැටුම් නිසා සිංහල සහ මුස්ලිම් දහස් ගණනක් ජනතාව ජීවිත අහිමි කරගත්හ. එකී කෝලාහල පදනම් කරගෙන ඩී.එස්. සේනානායක ඇතුළු සියලු‍ම සිංහල ජන නායකයන් අත්අඩංගුවට පත්වූ අතර ඩව්බිගින් පොලිස්පතිවරයා විසින් කුමන්ත්‍රණකාරී ලෙස ගෙතූ සාක්ෂි මත එවකට කොළඹ නගරාරක්ෂක පොලීසියේ සේවය කළ හෙන්රි පේදිරිස් ඝාතනය කිරීමට කටයුතු කළේ ය. එවන් වූ මහා ජන සංහාරයක් සිදු කළ මිනීමරු පොලිස්පතිවරයකු වූ හර්බට් ඩව්බිගින්ගේ නම යොදා ගනිමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඊට අයත් හැව්ලොක් ටවුමේ ක්‍රීඩා මණ්ඩපය Dowbiggin Pavillion නමින් තවදුරටත් පවත්වාගෙන යාමට තරම් මෙරට පාලකයන් නිවට වී ඇති බව නොපවසාම බැරි කරුණකි.

එතනින් නොනැවතූන බ්‍රිතාන්‍ය පාලකයෝ මෙරට ජනතාව ජාතීන් වශයෙන් බෙදා වෙන් කිරීමට කටයුතු කළෝ ය. සිංහල ජාතිකයන් උඩරට හා පහතරට යනුවෙන් ද, ද්‍රවිඩ ජනතාව ලාංකික සහ ඉන්දියානු වශයෙන් ද, මුස්ලිම් ජනතාව ලාංකික, ඉන්දියානු සහ මැලේ යනුවෙන් ද වෙන් කොට පිළිගැනීමට කටයුතු කළේ ය. ඔවුනට වෙන වෙනම නීති සම්පාදනය කළේය. ඒ ඔවුනට තිබූ ආදරයක් නිසාවෙන් නොව මෙරට ජාතීන් අතර පැවති සමගිය බිඳ දැමීමේ අරමුණෙනි. 1931 මෙරට සිටියේ මිලියන 5.4 ක ජනගහනයකි.

1931 මෙරටට හඳුන්වා දුන් ඩොනමෝර් ප්‍රතිසංස්කරණ අනුව ඇති කළ ව්‍යවස්ථාදායක මණ්ඩල නියෝජිතයන් පත් කිරීම ද ජාතීන් අනුව සිදු කිරීමට කටයුතු කළේ තවදුරටත් ඔවුන්ට අවශ්‍ය පරිදි ජාතීන් අතර විරසකය වර්ධනය කිරීම පිණිස ය. බ්‍රිතාන්‍ය යටත් විජිත 62 ක් වැනි ගණකක් පැවතියත් ඔවුන් එම රටවල් හැර යෑමට ආසන්නයේ ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දෙමින් නීති සම්පාදනය කළත් ජාතීන් වශයෙන් බෙදා වෙන්කොට මහජන නියෝජිතයන් පත් කිරීම් ක්‍රමය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවට පමණි. එදා ඔවුන් විසින් නිර්මාණය කරන ලද ජාතිවාදී ආගාධයෙන් ගොඩ ඒමට නිදහසෙන් වසර 72කට පසුව ද අපි අසමත් ව සිටින්නෙමු.

ඔවූහු භාෂාමය වශයෙන් ද ශ්‍රී ලාංකිකයන් බෙදා වෙන්කොට පාලනය කිරීමට වගබලා ගත්හ. 1930 සහ 1940 දශකවල දී මෙරට සිංහල සහ දෙමළ භාෂාව කථා කරන ජනතාවට ඉංග්‍රීසි පාලනය යටතේ මුහුණ පෑමට සිදුව තිබූ පීඩා හේතුවෙන් ස්වභාෂා පදනම බිහි වී තිබූ අතර ජේ.ආර්. ජයවර්ධන සහ ජී.ජී. පොන්නම්බලම් ඊට ප්‍රබල දායකත්වයක් ලබා දුන්හ. එහි අරමුණ වූයේ සිංහල හෝ දෙමළ එක් භාෂාවක් රාජ්‍ය භාෂාව කිරීම නොව එම භාෂා දෙක කථා කරන ජනතාවට තම මව් භාෂාවෙන් කටයුතු කර ගැනීමට අවස්ථාව තිබිය යුතු ය යන අරමුණ ඉටුකර ගැනීමයි.

1948 පූර්ණ නිදහසක් නොවූ ඩොමීනියන් තත්ත්වය අප රටට ලැබී වසර 72 ක් ගත වී ඇතත් ඉංග්‍රීසීන් විසින් මෙරට වපුරන ලද ජාතීවාදී මූල බීජ උදුරා දැමීමට මෙරට පාලකයන් සමත් නොවුණේ බලයට ඇති කෑදරකම හේතුවෙන් ම ජාතීන් වශයෙන් සහ භාෂාමය වශයෙන් ඇති වෙනස්කම් අවස්ථාවාදී  ලෙස ඔවුන්ගේ පැවැත්ම උදෙසා මෙවලම් ලෙස භාවිත කිරීමේ කෲර ක්‍රියාදාමය දිගින් දිගට ම ක්‍රියාත්මක කිරීම නිසාය. ඊට උදාහරණ පෙන්වනු ලබන්නේ නම් එය පොත් ගණනාවක් ලිවීමට තරම් දීර්ඝ ප්‍රස්තූතයක් බවට පත් වන්නේ ය.

දෙවැනි ලෝක යුද්ධය නිමා වීමෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වූයේ ජාතිකත්ව (nationalism) සංකල්පය වුවත් ශ්‍රී ලංකාව තුළ වඩාත් වේගයෙන් වර්ධනය වුයේ ජාතිවාදය (communalism) සංකල්පයයි. ආචාර්ය ජේන් රසල් මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇයගේ ආචාර්ය උපාධිය සඳහා සම්පාදිත නිබන්ධන ග්‍රන්ථය නම් කොට ඇත්තේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ජාතිවාදී දේශපාලනය යන්නයි. ඇය පවසා ඇත්තේ වෙනත් රාජ්‍ය තුළ ජාතිකත්ව සංකල්පය ස්ථාපිත වෙද්දී ශ්‍රී ලංකාවේ ජාතිවාදය උඩුදුවා ඇති බව ය.

1940/50 දශකවල පටන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතීන් ද්‍රවිඩයන් සඳහා ම පමණක් ජාතීවාදී පක්ෂ බිහිකරගත් අතර ඊට ෆෙඩරල් යන නම ද ඇතුළත් කොට තිබුණි. එදා පටන් අද දක්වා උතුරු නැගෙනහිර ඇති ද්‍රවිඩ දේශපාලන පක්ෂවල තේමාව ජාතිකත්වය නොව ජාතිවාදය යි. 1988 දෙසැම්බර් මස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ 15 වැනි සංශෝධනය හේතුවෙන් බිහි වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජාතිවාදය පදනම් කරගත් ස්ථාවරයට මුස්ලිම් ජාතිකයන් තල්ලු‍ කිරීමට සමත් විය. මෙම දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ විසින් දෙමළ හා මුස්ලිම් ජනතාව සිංහල ජනතාවගෙන් ඈත්කොට තබා ගැනීම සඳහා තාප්ප ඉදි කළේ ය. ඉන් ප්‍රයෝජන ගත් සමහර සිංහල නායකයෝ ද සිංහලයන් ජාතිවාදී දිශානතියකට ඇදගෙන ගියෝය.

1981 ජුලි මස ඇති වූ සිංහල දෙමළ ජාතිවාදී ගැටුම ආරම්භ වූයේ හමුදා භටයන් 13 දෙනකු ඝාතනය කිරීම නිසා ය. එය අවසන් වූයේ 60,000 කට වැඩි ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බිලි ගනිමිනි. 1983 ජාතිවාදී ගැටුම් වළක්වා ගැනීම සිතාමතා ම මඟහැරිය දේශපාලනඥයන්ගේ අමනෝඥ පාලනය වෙනුවෙන් ජීවිත වලින් වන්දි ගෙව්වේ අසරණ ජනතාව ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් උතුරේ දේශපාලනඥයෝ සියලු‍ දෙනා පාහේ එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රභාකරන් අතින්ම ඝාතනය වූහ.

දැනට දශක දෙකක පමණ කාලයක සිට මෙරට ජීවත්වන මුසල්මානු ජනතාවගේ සාම්ප්‍රදායික ඉස්ලාම් ආගමික ජීවන ක්‍රමයට අභියෝග කරමින් වහාබ්වාදී අන්තවාදය ක්‍රමානුකූල ව මෙරට සමාජය තුළට රිංගා ගෙන ඇත. සාම්ප්‍රදායික ඉස්ලාම්වාදය යටපත් කරමින් රජයේ පාසල්වල උගන්වන විෂය නිර්දේශවලට ද වහාබ්වාදය රිංගා ගෙන ඇත. මුස්ලිම් ආගමික සභා තුළට ද වහාබ්වාදීන් රිංගා ගෙන ඇති අතර සාම්ප්‍රදායික බහුතරය යටපත් කරමින් සුළුතර වහාබ්වාදීන් එය තුළ ද ව්‍යාප්ත වෙමින් පවතී. ලෝකයේ බලය ස්ථාපිත කර ගැනීමට කැස කවන ජාත්‍යන්තර බලවතුන් යෙදී සිටින අනවරත සටනේ ගොදුරු බිමක් බවට ශ්‍රී ලංකාව පත් වී හමාර ය. ඒ සඳහා ජාතිවාදි මූල බීජ පෝෂණය කරන්නේ ද එම බලවතුන්මය. ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන ලෙස භූගෝලීය වශයෙන් ශ්‍රී  ලංකාවේ පැවතීම වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස අප සිතුවත් එය වෙස්වලාගත් ශාපයක් පමණක් බව තේරුම්ගත යුතු ව ඇත. මෙරට තිබෙන වැදගත්කම නිසා ම අවුරුදු 443 ක් මෙරට යුරෝපීයයන්ගේ යටත් විජිතයක් බවට පත්ව තිබුණි.

එකල යටත් විජිත නිර්මාණය කිරීමට අවශ්‍ය වූයේ අවි ආයුධ වුවත් අද ඒ සඳහා ඊට වඩා ප්‍රබල අවි ලෙස ක්‍රියාත්මක වන්නේ ඩොලර් සහ යුවාන් ය. චීනය විසින් අපගේ හම්බන්තොට වරාය ඩැහැ ගැනීම නිසා ම ඇමෙරිකාවට ත්‍රිකුණාමල වරායත් ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර ජැටියත් අවශ්‍ය වී ඇත. ඔවුන් ඒවා හොඳින් හෝ නරකින් ලබා ගැනීමට කටයුතු කරන බවට කිසිදු සැකයක් නැත. ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට දීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වූ අතර එය ප්‍රමාද වීම හේතුවෙන් පාස්කු ඉරිදා දින බෝම්බ පුපුරා දේවස්ථාන සහ හෝටල් ලේ ගංගා බවට පත්වීම පිටුපස සිටියේ කවුරුන්දැයි යන්න නිගමනය කිරීම පිණිස එයට ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ පුපුරවා ජන සංහාරයක් සිදු කොට වසර දෙකකට ආසන්න වේ. ඊට සහාය දැක්වූ ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුට එරෙහි ව ඇමෙරිකාව නඩු පවරා ඇති නමුත් ශ්‍රී ලංකාවේ රජය තවමත් කොමිසම් ක්‍රියාත්මක කරමින් සිටී.

පාස්කු ප්‍රහාරය තුළ මෙරට පැවති ජාතිවාදී සීතල යුද්ධය එළිපිටට ආ  ජාතිවාදී ව්‍යසනයක් බවට පත් විය. ඒ තුළ තනි සිංහල ආණ්ඩු පිළිබඳ මතවාදය ඉස්මතු විය. සිංහල ජනතාව එසේ පවසන විට මෙරට ජීවත්වන සාම්ප්‍රදායික ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව ඔවුනොවුන්ගේ අන්තවාදීන් සමඟ එකතු වීම වැළැක්විය නොහැක. ඇසට නොපෙනෙන එහෙත් හිතට දැනෙන ජාතිවාදී උන්මත්තක රැලි ගණනාවක් සමාජය තුළ දියත් ව ඇත.

එක් අතකින් ද්‍රවිඩ ජාතිය තුළින් මතුවන අන්තවාදයත්, අනෙක් අතින් වහාබ්වාදී අන්තවාදීන් විසින් දියත් කොට ඇති අන්තවාදයත් පාලකයන් විසින් අඩු කොට තක්සේරු කර ඇති නිසා සියලු‍ ම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අවදානමට පත්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ලොවට බිහිවන්නේ විවිධත්වය තුළින් එකමුතුව (Unity Within diversty) යන ඉලක්කය සපුරා ගැනීම සඳහා ය. එහෙත් ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය පවා සකස් වී ඇත්තේ ජාතිවාදී පදනම මත ය.

කොළඹ වරායේ දකුණු පර්යන්තය චීනයට දෙන විට ඒ පාලකයෝ දේශප්‍රේමීහුය.  හම්බන්තොට වරාය චීනයට විකුණන විට ඒ පාලකයෝ දේශද්‍රෝහීහුය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණන විට ඒ පාලකයෝ දේශප්‍රේමීහුය. විකිණීම දේශද්‍රෝහී ක්‍රියාවක් වුවත් එය ප්‍රතිව්‍යුහගත කිරීම’ යන ලේබලය හෝ ආයෝජන අවස්ථා ලබා දීම’ යන ලේබල ඇලවූ විට එය දේශ​ප්‍රේමී ක්‍රියාවකි. අපේ දේශපාලන නායකයෝ විපක්ෂයේ සිටිනතාක් දේශප්‍රේමීහු ය. ආණ්ඩු බලය ලද පසු දේශද්‍රෝහීහු ය. නැවත විපක්ෂයට ගිය විට නැවතත් දේශප්‍රේමීහු ය. විපක්ෂයේ සිටින භික්ෂුන් වහන්සේලා අපේ හාමුදුරුවෝ’ ය, ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා’ ය. ආණ්ඩු බලය ලැබුණ පසු ඔවුන්ට භික්ෂුන් වහන්සේලා යනු ‘චීවරධාරිහු’ ය.

1970 දශකයේ අග සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ සිංගප්පූරු පුරවැසියන් අමතා කළ ප්‍රකාශයක් මෙහි දී සිහිපත් කළ යුතුය.

“සිංගප්පූරුව අද ලබා ඇති දියුණුව ගැන මට සිංගප්පූරු ජාතිකයනට ස්තූති කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවෙන් මා ස්තූති කරන්නේ ශ්‍රී ලංකාවේ වමේ නායකයන්ට ය. අවුරුද්දේ දවස් 365 ක් වත් කොළඹ වරායේ සේවකයන් වැඩ වර්ජනය සඳහා මෙහෙයවන ලද්දේ ඔවුන් විසින්ය. කොළඹ වරායේ වැඩ වර්ජන දියත් වෙද්දී මම කොළඹට එන නැව් ටික සිංගප්පූරුවට හරවා ගත්තෙමි. අපේ රටේ දියුණුව ඇරඹුණේ එතැන් පටන්ය.”

මෙම සරල යථාර්ථය තේරුම් ගැනීමටවත් නොහැකි ඔලමොට්ටලයන් මෙරට නායකයන් වී විනාශ කරන්නේ මේ රටේ සියලු ජනතාවගේ ජීවිතය.
දශක තුන හතරක සිට මෙසේ වන්නේ දේශපාලනඥයාගේ ම වරද නිසාවෙන් ම නොව ඡන්ද දායකයන්ගේ තිබෙන නිවටකම හා වහල්කම නිසා ය. ඡන්දදායකයා දේශපාලනඥයා ඉදිරියේ වහලෙකු වනවා සේ ම දේශපාලන නායකයන් විදේශ බලවතුන්ගේ වහලු‍න් ය. බලයට එන්නේ හැදෙන්නට නොව හදන්නට කියා ය. බලයට ආ පසු හදනවා කියන්නේ රටේ තිබෙන සම්පත් ටික විකුණා දමා සියයට දහයේ හෝ විස්සේ කොමිස්වලින් සනුහරේ පොහොසත් කරන එක ය. අපේ හොරා අපිට හොඳා’ කියා පෙළපාළි ගිය මිනිසුන් සිටින එක ම රට ලෝකයෙන් උතුම් රට වන ශ්‍රී ලංකාව ය. ක්‍රි.පූ. හතර වැනි සියවසේ දී ඇරිස්ටෝටල් පැවසුවේ මෙලොව සියල්ල දන්නේ යැයි සිතන එහෙත් කිසිවක් නොදන්නා මිනිසෙක් වේ නම් ඔහු දේශපාලනඥයකු වීමට අවශ්‍ය සියලු‍ ගුණාංග සපුරා ඇත.’ එය වර්තමාන ලෝකයේ අන් රටවලට වලංගු නොවුණත් අප රටට නම් තවමත් වලංගු ය.

‘‘න ජඡ්ඡා වසලෝහෝති - න ජඡ්ඡාහෝති බ්‍රාහ්මණෝ;
කම්මුනා වසලො හෝති -කම්මුනා හෝති බ්‍රාහ්මණෝ’’
යමෙකු අහවල් ජාතියට, ආගමට, භාෂාවට, පක්ෂයට අයත් නිසා වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ. ඔහුගේ ක්‍රියාව අනුව පමණක් වසලයකු ද, බ්‍රාහ්මණයකු ද යන්න තීරණය වේ. වසලයා හා බ්‍රාහ්මණයා අතර වෙනස නොහඳුනන ඡන්ද දායකයන් සිටින තාක් මේ ජරාජීරණභාවයෙන් ගොඩ ඒමට නොහැක.

“කතඤ්ඤෝ කතවේදි පුග්ගලො දුල්ලභෝ ලෝකස්මිං”. කෘතවේදී මිනිසුන් ලෝකයේ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අපේ රටේ දේශපාලනඥයන් බොහෝමයක් බලය ගන්නේ අහිංසක ජනතාවගේ ඡන්දයෙනි. එහෙත් සේවය කරනු ලබන්නේ විජාතික පරදේශක්කාරයන්ට ය.

බහුතරයක් වු සිංහල ජාතිකයන්ට නායකත්වය දෙන දේශපාලනඥයන් ජනතාව ජාතිවාදය කරා ඇදගෙන යන මොහොතක සියලු‍ ම සිංහල දේශපාලන නායකයන් බල පොරයේ නියැළෙන්නේ එය බලු‍ පොරයක් බවට පත්කර ගනිමිනි. ඒ අතරින් නැගී සිටින අන්තවාදී බලවේග වල යක්ෂාවේෂය කුමන මොහොතේ සිදුවේ දැයි යන්න ඔවුන්ට තේරුම්ගත නොහැකි තරමට ඔවුන් අඳබාලයන් බවට පත්ව ඇත. බලය වෙනුවෙන් ම කැසකවන, දුර පමණක් නොව ළඟ ද නොපෙනෙන මුග්ධ පාලනයන් යටතේ මෙරට විනාශ මුඛයෙහි දොරටුව අභියසට පැමිණ ඇත. අළු යට සැඟව ඇති ජාතිවාදී ගිනි පුළිඟු‍ පරමානු බෝම්බ බවට පත්ව පුපුරා යෑමේ දිනය වැඩි ඈතක යැයි නොසිතිය යුතු ය. ජාතිය, ආගම, භාෂාව, කුලය යනාදී සියලු‍ භේද පසෙක ලා මෙරට සියලු‍ ජනතාව ශ්‍රී ලාංකිකයන්ය යන අනන්‍යතාවට ඇතුළත් කරගෙන එකී අනන්‍යතාව රැකිය හැකි නායකත්වයක් බිහි නොවුණහොත් මෙරට ජාතිවාදී ගින්නෙන් දැවී ගිය දුමාරයක අළු දූවිලි බවට පත්වීම වළකා ගත නොහැක.

(***)



අදහස් (12)

ජාතිවාදී ගින්නට පිදුරු දැමීම

Raveendra Wednesday, 27 January 2021 07:45 AM

කාලකන්නි දේශපාලුවන් පිළිබඳව ඉතාමත්ම හොඳ විග්‍රහයක්. අප අපගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනය ගැන පමණක් සිතමින් අපගේ වටිනා ඡන්දය වංක අදහසින් පාවිච්චි නොකර අවංක චේතනාවෙන් භාවිතා කරන දවසට අපගේ මාතෘභූමිය උඩු යටිකුරු වනු ඇත. දේශපාලුවන් යනු (විශේෂයෙන් අප රට තුළ) තමන්ගේ මාතෘභූමිය සැමවිටම කාබාසිනියා කරන කාලකන්නි ජාතියක් බව අමුතුවෙන් කිව යුතු නැත.

:       6       10

Gihan Wednesday, 27 January 2021 09:37 AM

මෙයත් ඒ වල්ලෙම තවත් කෙනෙක් විතරයි. මොනවා හරි හොයාගෙන ඇවිත් මහ වීරයෙක් වෙන්න ගිහින් අන්තිමට පචවෙලා යනවා. හැබැයි ඡන්දෙ කිට්ටු වෙනකොට හරි ගාණට මහජනතාව අන්දනවා. මිට්ටා කට්ටයි කියන එකට හොඳම උදාහරණයක් තමයි.

:       2       16

gaminiWednesday, 27 January 2021 12:03 PM

ඔබගේ ප්‍රකාශය 100%ක් නිවැරැදි වේ. අවස්ථාවාදී දේශපාලනයේ යෙදී සිටින්නාවූ තවත් එක් පුද්ගලයෙක් කියලා තමයි කියන්න වෙන්නේ...

:       2       13

Puppa Wednesday, 27 January 2021 11:15 AM

මෙයාට හොඳ ඇමැතිකමක් ලැබුණා නම් මේවා ලියන්නේ නැහැ. මෙයාට මොන දේශප්‍රේමයද? මෙයා තමයි කිව්වේ මොන චෝදනාවක් තිබුණත්... ජනපති සිරගත කරන්නේ නැහැ කියලා..

:       2       15

BamunuarachchiThursday, 28 January 2021 02:23 AM

මෙතුමා තිබුණු ඇමතිකම් නැතිකර ගත්තේ නීතිය සහ සාධාරණය කතා කරන්න ගොස්ය. එම නිසා නොදන්නා දේවල් කතා නොකර සිටීම ගොබ්බකම පෙන්වීමට වඩා හොඳයි.

:       12       4

Bamunuarachchi Wednesday, 27 January 2021 01:42 PM

ඔබගේ අදහස්වලට අපි කවදත් ගරු කළෙමු. ගොබ්බයින්ට ඔබව හඳුනා ගැනීමට තවම බැරිවිය. ඒ කෙසේවෙතත් මුස්ලිම් කියා ජාතියක් නැත. ඇත්තේ ඉස්ලාම් අාගම පමණි. ඔවුන් සමග සිංහල බෞද්ධයින්ට ඇත්තේ ආගම් වාදයකි. ඔබතුමා කියන්නේ සිංහල බෞද්ධ අපි ඔවුන්ට මෛත්‍රී කරන්න කියාද? එසේ මෛත්‍රී කළ රටවල අද බුද්ධාගම නැත...

:       11       9

asanka Wednesday, 27 January 2021 06:41 PM

කෘෘර පාලනය දේශීය හෝ විදේශීය පාලකයින් යට‍තේ ලංකිකයින්ට අමුතු දෙයක් නොවේ. උදාහරණයක් ලෙස ශ්‍රී වික්‍රම රජු සමයේ සුළු වරදකට පවා උල තබා මැරීම, සිරුරේ අවයව කපා දැමීම, දියේ ගිල්වා මරා දැමීම, දරුවන් වංගෙඩියේ දමා කෙටීම, ඇතුන් ලවා පෑගවීම, හිස ගසා දැමීම, හංවඩු ගැසීම මිනිසුන්ට දුන් දඬුවම් විය. මිනිසුන් තුල රජ කෙරෙහි තිබු අප්‍රසාදය ඔහුව පහසුවෙන්ම සුද්දන්ට අල්වා ගැනීමට එක හේතුවක් වුණා. උඩරට ගිවිසුම කියවා බැලුවොත් එහි එක කොන්දේසියක් වන්නේ මෙවැනි මිලේච්ඡ දඬුවම් රට වැසියන්ට දීම නැවැත්විය යුතු බවකි. ජාතිවාදය ලෝකයේ බොහෝ රටවල යම් මුහුණුවරකින් පවතින දෙයක්. බටහිර රටවල රැකියා වෙළෙඳපලේ සුදු මිනිසුන්ට වැඩි සැලකිල්ලක් ලැබීම මීට උදාහරණයකි. සුද්දන් රටින් යනවිට ජාතීන් අනුව පාලනයක් ස්ථාපනය කලේ ලංකාවේ පමණක් නොව..., ඔවුන් පාකිස්ථානය බිහි කරමින් මුස්ලිම්වරුන්ට වෙනම රටක් ලබා දීය. මහාජාතියට සුළු ජාතීන් සමග සමගිව වසන්නට නොහැකිවීම අපේම වරදක් විය නොහැකිද? හම්බන්තොට වරාය චීනයට බදු දීමට සිදුවුයේ ඉන් ලැබෙන ආදායම, ගත් ණය ආපසු ගෙවීමටවත් ප්‍රමාණවත් නොවුණු බැවිනි. රටට දැරිය නොහැකි ලෙස ණය ගැනීම චීනාගේ වරදක්ද..?

:       6       5

Rama Thursday, 28 January 2021 12:46 AM

හොඳ විග්‍රහයක්. නමුත් මොහු මේ කියන දේ ක්‍රියාවෙන් පෙන්නුම් කර නොමැත. ​

:       0       7

kapila Thursday, 28 January 2021 12:26 PM

කෘරත්වය අතින් ලංකාවේ පාලකයින් පමණක් නොව, පුරවැසියන්ද තමන්ගේ කොටස මැනවින් ඉටුකර ඇත. 89/89 සමයේ ජවිපෙ හැසිරීම සහ 30 වසරක යුද්ධයේදී කොටින්ගේ හැසිරීම මීට උදාහරණයි. ආර්ථිකය අතින් බැලූකල, ලංකාව යනු නවීන කර්මාන්ත සඳහා අවශ්‍ය තෙල්, යපස්, තඹ, අලුමීනියම් වැනි ඛනිජ හිඟ දුප්පත් රටක්. රටේ හොඳ දේශගුණයක් ඇති අතර, අපට තනිවම කළ හැක්කේ කෘෂිකර්මාන්තය පමණි. නමුත් වර්තමාන ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් පමණක් රටක් දියුණු කළ හැකිද? අප වැනි රටක් දියුණු කළ හැක්කේ සංවෘත ආර්ථිකයකින් නොව, අන් රටවල් සමග ගනුදෙනු කළ හැකි විවෘත ආර්ථිකයකින් පමණයි...

:       3       3

Eran Thursday, 28 January 2021 03:39 PM

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීම සඳහා ඉන්දියාවේ සිට පැමිණ සිටි තෝම්බු මුඩ්ලියර් නමැති මුසල්මානුවෙකි.. ඔත්තු සැපයූ බව කියන මොහු විලියම් ඩයස් ගැන කිසිවක් නොකියන්න හේතුවක් ඇති...

:       0       6

kamalFriday, 29 January 2021 12:13 PM

ඔය කියන රජා එතරම් සෞම්‍ය මිනිසෙක් නොවේ. එදා පැවති රාජාණ්ඩු ක්‍රමය අදටත් තිබුණා නම්, ලංකාව තවමත් වඩුග පරම්පරාව විසින් පාලනය වීමට ඉඩ තිබූ... සුද්දන් විසින් හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු තිබුණත්.., එය තිබුණු රාජාණ්ඩු ක්‍රමයට වඩා දහස් ගුණයකින් හොඳ දෙයක්...

:       0       0

tikiri Sunday, 31 January 2021 04:10 PM

ජාතිවාදය යනු රටක මිනිසුන් අතර යම් බෙදීමක් ලෙස දැකිය හැකිය. එය ආගම, වෘත්තීය, කුලය, සමේ වර්ණය වැනි දේ මත පදනම් විය හැක. ලංකාවේ මෙය මුල් බැස ගැනීම විජයට පෙර පැවති දේව, රාක්ෂ, රකුස්, නාග වැනි ගෝත්‍ර වලින් ආරම්භ වුවා යයි සිතිය හැක. රටේ දීර්ඝ කාලීනව පැවති රාජාණ්ඩු ක්‍රමයෙන් මෙය තවත් ප්‍රවර්ධනය විය. ඊට හේතුව නම්, රාජාණ්ඩු ක්‍රමයෙ පැවැත්ම පදනම් වූයේ රජුට පක්ෂපාතී ජන කොටස්වල සහයෝගය මත වීමයි. සුද්දන් රටට හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදය වඩා ගැලපෙන්නේ අධ්‍යාපනය තුලින් පුළුල්ව, ජාතිවාදයෙන් ඔබ්බට සමාජය දැකිය හැකි ජනතාවක් වෙසෙන රටකටයි. ලංකාවේ මිනිසුන් බහුතරයකට තවමත් එවැනි පුළුල් මනසක් තිබේද යන්න සැක සහිතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 37 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1246 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 586 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4554 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12915 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site