ඉරිදා ලංකාදීපයේ -ජනපතිගෙන් අහන්න” විශේෂාංගය යටතේ ජනාධිපතිතුමාගෙන් ඇසීමට පාඨක ඔබගෙන් ප්‍රශ්න දහස් ගණනක් අප වෙත ලැබී ඇත. එහෙත් ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු පුවත්පතේ පළ කිරීම ප්‍රායෝගිකව කළ හැකි කටයුත්තක් නොවේ. එබැවින්, ඔබ එවූ ප්‍රශ්නවලින් තෝරාගත් ප්‍රශ්න කිහිපයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පිළිතුරු පුවත්පතේ පළවේ. ඔබගේ අනෙකුත් ප්‍රශ්නවලට පෞද්ගලිකව අවධානය යොමුකර පිළිතුරු ලැබෙන්නට සලස්වන බවට ජනාධිපතිතුමා පොරොන්දු වූ බව කරුණාවෙන් දැනුම් දෙමු.
● ප්‍රශ්නය- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට ආණ්ඩුව පසුගිය කාලයේ ලොකු ශබ්ද දැම්මා. ඔබ ජනාධිපතිවී වසර එක හමාරයි. ආණ්ඩුව පත්වෙලා වසරකට ආසන්නයි. නමුත් ගේනවා කිව්ව ව්‍යවස්ථා සංශෝධනය ගේන පාටක් නැහැනේද?
උදිත ගුණරත්න,
වලස්මුල්ල
● පිළිතුර- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නෙ ග්‍රාම සංවර්ධන සමිතියක ව්‍යවස්ථාවක් වගේ නෙවෙයි. ව්‍යවස්ථාවක් හදන විට රටේ අනාගතය බලා දීර්ඝ ලෙස සාකච්ඡා කර කළ යුතුයි. එය එක පැත්තකින් ආණ්ඩුක්‍රම විශාරදයින්ගේ වගකීමක්. අනෙක් පැත්තෙන් දේශපාලනඥයින්ගේ වගකීමක්. ජනතාවගේ අදහස් විමසීම මේ දෙගොල්ලන්ගේම වගකීමක්. ඒ නිසා ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන වෙනසක් අපි 19 වැනි සංශෝධනයෙන් කළා. 19 වැනි සංශෝධනයෙන් කළ පරිවර්තනය අමතක කර මේ ගැන කාටවත් කතා කරන්න පුළුවන්කමක් නැහැ. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දැනට පත්කර තිබෙන කමිටු ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා.
● ප්‍රශ්නය- මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් රටේ ලොකු විරෝධයක් මතුව තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් පවා ඒ බව කියනවා. සිවිල් සංවිධානවලිනුත් ඔහු සම්බන්ධයෙන් විරෝධය පළවී තිබෙනවා. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ සමහර මැති ඇමැතිවරුත් මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් විවේචන එල්ල කරනවා. මේ අනුව ඔහු නැවත එම ධුරයට පත් කරනවාද?
නිමල් විමලසිරි
වැල්ලම්පිටිය
● පිළිතුර- දැන් ගත කරන්නේ ජුනි මාසයෙ මැද භාගය. මගේ මතකය හැටියට ජුනි අගවනතුරු ඔහුගේ ධුර කාලය තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මාත් අගමැතිතුමාත් සාකච්ඡාකර ඉදිරියේදී සුදුසු පියවරක් ගන්නවා.
● ප්‍රශ්නය- පසුගිය මැතිවරණයේදී දුන් පොරොන්දුවක් තමයි සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගන්න පුළුවන් ආර්ථිකයක් රට තුළ ගොඩනගනවා කියන එක. එහෙත් ආණ්ඩුව ජනතාවගේ වාහන සිහිනය බිඳ දමමින් වාහන මිල අසීමිත ලෙස වැඩි කළා. කාර් එකක් නෙමෙයි, කාර් එකක රෝදයක් මිලදී ගන්නවත් බැරි තරමට වාහන මිල ඉහළ ගිහින්. ඒ අතර, නුසුදුසු පුද්ගලයින් වාහන ගන්න නිසා වාහන මිල වැඩි කළා කියලා රජයේ සමහර ඇමැතිවරු කිව්වා. ඔබතුමා මෙයට දෙන පිළිතුර කුමක්ද?
රංජිත් ගුණතිලක
ගිරිඋල්ල
මහරගම
● පිළිතුර- වාහන මිල පිළිබඳ ප්‍රශ්න මේවා අද ඊයේ ඇති වෙච්ච දේවල් නෙවෙයි. මීට කලින් තිබුණු හැම ආණ්ඩුවක් යටතේම වාහන මිල වැඩිවෙන එක වාහනවලට බදු ගහන එක කරලා තියෙනවා. හැම ආණ්ඩුවක්ම මේ දෙය කර තිබෙනවා. එය නොකළ ආණ්ඩුවක් නැහැ.
දැන් රටේ තත්ත්වය ගත් විට මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. රටට අවශ්‍ය වාහන ප්‍රමාණයට වඩා වැඩි වාහන ප්‍රමාණයක් රට තුළ තිබෙනවා. ඒ හරහා රටේ විශාල වාහන තදබදයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා පිටරට සිට ගෙන්විය යුතු වාහන මොනවද කියන එක පිළිබඳව රජය විදියට අප තීරණයක් ගත යුතු වෙනවා.
රටේ සාමාන්‍ය මහජනතාවගේ ගමන් බිමන් සඳහා රජය පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කළ යුතුයි.
අපේ පොදු ප්‍රවාහන සේවාවල විශාල අඩුපාඩුකම් තියෙනවා. දුම්රිය, බස් සේවය ගත්විට සාමාන්‍ය ජනතාවට හිරිහැර සිදුවෙනවා. එහෙම වෙන්නෙ පොදු ප්‍රවාහන සේවයේ තිබෙන විශාල අඩුපාඩුකම් නිසයි. ඒ නිසා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමට රජයේ සැලසුම්වල ප්‍රමුඛතාව දී තිබෙනවා.
කොළඹට ඇතුළුවන වාහන සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම සාමාන්‍ය ජනතාවට හොඳ වාහනයක් පාවිච්චි කිරීමේ අවස්ථාව තිබිය යුතුයි. දැනට තිබෙන වාහන බදු ක්‍රමය මේ විදියටම දිගටම පවත්වාගෙන යයි කියා මා හිතන්නෙ නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පාන්තික ජනතාවට වාහනයක් මිලදී ගන්න අවශ්‍ය පහසුකම් සලසා දිය යුතුයි. ඒ සම්බන්ධයෙනුත් ඉදිරියේදී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගන්නවා කියන්නෙ සිහිනයක්. ඒ සිහිනයට රජයක් බාධා කරන්න හොඳ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
● ප්‍රශ්නය- රට ණය උගුලක හිරවෙලා. ජනතාවට පටි තද කරගන්න කියලා ආණ්ඩුව බදු වැඩි කළා. එමගින් රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගිහින්. ජනතාවගේ මේ දුක ඔබතුමාලට නොපෙනේද?
නදීශානි රාජසිංහ
ඇල්පිටිය
● පිළිතුර- ජනතාවට ජීවන බර ප්‍රශ්නයක් තිබෙන බව රජයක් විදියට අපි පිළිගත යුතුයි. මේ වැට් බදු එක්ක ජීවන බර වැඩිවීමක් සිදුවී තිබෙනවා. ඒ ගැන රජය විදියට අපේ මූලික අවධානය යොමු කරල තියෙනවා. දැනට සමහර අංශවල වැට් බදු ඉවත් කිරීම පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා. උදාහරණයක් විදියට මගේ යෝජනාවක් තමයි සිගරට්වල බදුවැඩි කිරීම. සිගරට්වල බද්ද හෙට අනිද්දා වැඩි වෙනවා. සිගරට් බද්ද වැඩි කරල සෞඛ්‍ය සේවයේ වෛද්‍ය පරීක්ෂණවල බදු ඉවත් කිරීමට තීරණයකර තිබෙනවා.
සෞඛ්‍ය සේවයට තිබෙන වැට් බද්ද ඉවත්කර ඒ ආදායම ලබාගන්න සිගරට් මිල වැඩි කරන්න කියා මා උපදෙස් දුන්නා. එය දැන් කැබිනට් මණ්ඩලයේ සම්මතවී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී සිගරට් මිල වැඩිවී වෛද්‍ය පහසුකම්වලදී සාමාන්‍ය මහජනතාවට තිබෙන වැට් බද්ද ඉවත් කරනවා.
● ප්‍රශ්නය- වැට් බදු වැඩි කරන අවස්ථාවේ සාමාන්‍ය පොදු මහජනතාවට බරක් පැටවෙන්න ඉඩ දෙන්නෙ නැහැ කියා ඔබතුමා ප්‍රකාශ කළා. නමුත් විදුලි බිලට වතුර බිලටත් වැට් ගහල තියෙනවා. ඔබතුමා කිව් පරිදි එය සිදුවී නැහැ නේද?
සුදර්ශන නිශ්ශංක
උඩුනුවර
● පිළිතුර- මම ඒ ප්‍රකාශය බොහොම පැහැදිලිව කළා. බදු අය කිරීමේදී සාමාන්‍ය පොදු මහජනතාවට එය බරක් නොවිය යුතු බවට මම මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබුණා. නමුත් මෙතනදි කරුණු දෙකක් සිදුවී තිබෙනවා. මේ බදු ක්‍රමය තුළ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට මෙය බලපාලා තියෙනවා. ඒ වගේම වැට්බද්ද අයිති නැති වෙළෙඳ භාණ්ඩ හා සේවාවල මිලත් වැට්බද්ද පිටදාලා වැඩිකර තිබෙනවා. මේ බදු කිසිසේත් බලනොපාපු භාණ්ඩ සහ ඇතැම් ආහාරවල කෙසේද මිල ඉහළ ගියේ කියා සොයා බලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා මම මුදල් ඇමැතිවරයාට උපදෙස් දීලා තියෙනවා.
මෙතන මා සොයා ගෙන තිබෙන කාරණයක් තමයි වැට් බද්ද බලනොපාන භාණ්ඩවලත් මිල වැඩි කිරීම වෙළෙඳුන්, ව්‍යාපාරිකයින් විසින් කර තිබීම. ඇත්තටම මෙතනදී මහජනතාවට හිරිහැරයක් සිදුවී තිබෙනවා. ජනතාවගේ දෛනික ජීවිතයට ජීවන බරට මේ ඇතිවී තිබෙන බදු ඉවත් කිරීමට අපි කටයුතු කරන බව කිව යුතුයි.
ජල සම්පාදන මණ්ඩලය වතුර බිල ඉහළ දැමීමක් පසුගිය වසර ගණනාව තුළ සිදුකරල නැහැ. ඒ තුළ ජල සම්පාදන මණ්ඩලයත් ආර්ථික ගැටලුවකට මුහුණ දුන්නා. බදු වැඩි කිරීම තුළ සාමාන්‍ය පොදු මහජනතාවට බලපාන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. විදුලිය සහ ජලය සම්බන්ධයෙන් යම් ඒකක සීමාවකට යා යුතුයි කියන අදහසකට අප පැමිණ තිබෙනවා. අඩු ආදායම්ලාභීන් සහ පහළ මධ්‍යම පාන්තිකයන් සඳහා ඒකක සීමාවකට ගොස් සම්පූර්ණයෙන් බදු කපා හැරිය යුතුයි කියන තැන අප ඉන්නවා. ඒ අනුව විදුලිය සහ ජලය සම්බන්ධයෙන් ඉදිරියේදී මිල සංශෝධනයක් කරන්න අපි බලාපොරාත්තු වෙනවා.
● ප්‍රශ්නය- ජාත්‍යන්තරය දිනා ගැනීම සඳහා ඔබතුමා ගෙනයන වැඩ පිළිවෙළ අප අගය කරනවා. එදා බණ්ඩාරනායක මැතිනිය ගෙන ගිය නොබැඳි පිළිවෙත අනුව යමින් ඔබතුමා කටයුතු කරන ආකාරයක් අප දකිනවා. ජපානයේ පැවැති ජී 7 සමුළුවට ආ බරක් ඔබාමා ඇතුළු රාජ්‍ය නායකයින් ඔබතුමා සමඟ කටයුතු කළ ආකාරය රටක් විදියට සතුටට කරුණක්. මේ හරහා ඔවුන්ගේ සහාය ගෙන රට දියුණු කිරීමේ සැලැස්මක් ඔබතුමාට තිබේද?
ජයන්ත සමරසිංහ
ඇහැලියගොඩ
● පිළිතුර- ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම පැත්තෙන් මගේ කාලය තුළ මෙය ඉතා ඓතිහාසික අවස්ථාවක්. මෙය හැමවෙලේම රටේ යහපත සඳහා පාවිච්චි කළ යුතුයි. දේශපාලන ප්‍රතිවාදීන් හා අපේ දේශපාලන විරුද්ධවාදීන් මේ ගැන ඉතාම වැරැදි විග්‍රහයන් කරනවා. මීට පෙර හිටපු රාජ්‍ය නායකයින් විදියට අප ගත්තොත් ජේ. ආර්. ජයවර්ධන, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි අය ජාත්‍යන්තර සබඳතා ඇති කර ගැනීම තුළ මේ රටට වූ යහපත අප පිළිගත යුතුයි. අප මේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගෙන යන්නෙ මේ රටේ යහපත සඳහායි. රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න යහපාලනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාගන්න වැනි කරුණු සඳහායි අප මේ ක්‍රියාමාර්ග ගන්නෙ. දියුණු රටවල තමයි දැනුම තියෙන්නෙ. තාක්ෂණය තියෙන්නෙ. ඒ රටවල තමයි සම්පත් තියෙන්නෙ. ඒ නිසා අපේ රට දියුණු කරන්න නව දැනුම තාක්ෂණය අත්‍යාවශ්‍යයි. ඒ වගේම සම්පත් අවශ්‍යයි. මේ කරුණුවලදී අපට ජාත්‍යන්තර සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ නිසා මා ගොඩනගාගෙන තිබෙන ජාත්‍යන්තර හොඳ හිත සැම විටම පාවිච්චි කරන්නෙ ඒ සඳහායි. අප කතා කරන යහපාලනය, ජාතික සංහිඳියාව ගොඩනගන්න එය අවශ්‍යයි. යහපාලනය, ජාතික සංහිඳියාව කියන්නෙ පුළුල් විෂයක්. මේ ගැන වැරැදි විග්‍රහ ඉදිරිපත් නොකර, ලැබී ඇති ජාත්‍යන්තර සහයෝගය ආශිර්වාදය මේ රටේ සම්පතක් විදියට සළකා කටයුතු කරන්න අවශ්‍යයි. මම කරන්නෙ ඒ කාර්ය බව බොහොම පැහැදිලිව කියන්න ඕනෑ.
ජාත්‍යන්තර සහයෝගය කියන කාරණයේදී පසුගිය වසර එක හමාර තුළ අප ගෙන ගිය වැඩ පිළිවෙළ පිළිබඳව පැහැදීමක් විදියට තමයි යුරෝපා සංගමය අපට පනවා තිබුණ මත්ස්‍ය තහනම ඉවත් කළේ. එය අප ලබාගත් විශාල ජයග්‍රහණයක්. මම බලයට එන්නට පෙර දමන ලද යුරෝපා මත්ස්‍ය තහනම සහ ජීඑස්පී තහනම සම්බාධක විදියටයි මම සළකන්නෙ. යුරෝපා මත්ස්‍ය තහනමෙන් අපේ රටේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවුණා. ඒ නිසා යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම අපට ඉතා වාසිසහගත තත්ත්වයක්. මේ තත්ත්වය තුළ ජීඑස්පී සහනයත් ඉදිරියේදී යළි ලබා ගැනීමට හැකිවේ යැයි මම බලාපොරොත්තු වෙනවා.
● ප්‍රශ්නය- ඔබතුමා වටේ ඉන්න මුග්ධ උපදේශකයින් නිසා ඉදිරියේදී ඔබතුමා ලොකු අමාරුවක වැටීමට නියමිත බව ඔබතුමාට බලයට ඒමට උදව් කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියල තිබුණා. ඔබතුමා වටේ ඉන්න ඔය කියන උපදේශකයො කවුද?
සුදන්ත හපු ආරච්චි
පස්යාල
● පිළිතුර- සරත් විජේසූරිය මහත්තයත් මගේ උපදේශකයෙක් තමයි. ඒ හැරෙන්න මගේ උපදේශකයෝ ඉන්නෙ දෙතුන් දෙනයි. නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහත්තයා හිටපු ජනාධිපති ලේකම් කරුණාරත්න මහත්තයා ඊළඟට මගේ ආගමික උපදේශක රාජ පතිරණ මහත්තයා. ඔච්චරයි මට උපදේශකයො ඉන්නෙ. ඊට වැඩිය මට උපදේශකවරු 50ක් 60ක් නැහැ. මීට පෙර හිටපු ජනාධිපතිවරු උපදේශකවරු පත් කරගෙන සිටි හැටි කාටත් මතක ඇති. මම ඒ එක් එක් කාල පරිච්ඡේද ගැන කියන්නෙ නැහැ. ජනාධිපති උපදේශකවරු සිය ගණන් පත් කරගෙන හිටපු කාලයක් තිබුණා. හැබැයි මගේ එහෙම නැහැ. මට උපදේශකවරු ඉන්නෙ පස් දෙනකුටත් අඩුවෙන්. ඒක නිසා මේ තත්ත්වය කවුරුත් සැළකිල්ලට ගන්න ඕනැ. මගේ එහෙම නිත්‍ය උපදේශකයො කවුරුත් නැහැ. ඒ නිසා උපදේශකවරු සම්බන්ධයෙන් ඒ කියල තියන ප්‍රකාශයට මට එකඟවෙන්න පුළුවන් කමක් නැහැ.
විශේෂයෙන්ම මගේ තියෙන දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් එක්ක ප්‍රධාන විෂයයන් කීපයකට පමණයි මම උපදේශකවරු අරගෙන තියෙන්නෙ. ඒත් තුන් හතර දෙනෙක්. ඒ නිසා ඔය කියල තියන ප්‍රකාශ ගැන මම ඉතාමත් කනගාටු වෙනවා.
● ප්‍රශ්නය- ඇමැති මණ්ඩලය වැඩි කරන බවක් කියවෙනවා. තොණ්ඩමන් මහතාටත් ඇමැති ධූරයක් දෙන්න යනවා. ඇමැතිවරුන් වැඩි කිරීම හරහා මේ යන්නෙ පසුගිය පාලනයටම නොවෙයිද? යහපාලනය මේකද?
ගාමිණී කීරගම
හඳපාන්ගොඩ
● පිළිතුර- ඒක සම්පූර්ණ බොරුවක්. ඇමැති මණ්ඩලය වැඩි කිරීමක් සිදුවන්නෙ නැහැ. තොණ්ඩමන් මහත්මයා එවැනි දෙයක් මා සමඟ කතා කරලත් නැහැ. ඒක නිසා ඔය ප්‍රවෘත්තිය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
“ජනපතිගෙන් අහන්න” ඉරිදා ලංකාදීපය පාඨක ඔබ වෙත ගෙන එනු ලබන නවතම විශේෂාංගයයි
ජනපති යනු රටේ සියලු ජනී ජනයාගේ නායකයා වේ. ඒ සමගම රටේ සියලු වැදගත් තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. රට හමුවේ නිමැවන සියලු අභියෝග ජය ගනිමින් රටට නොනැවතී ජයග්‍රහණ නිර්මාණය කිරීමේ වගකීම ජනපතිවරයා සතුය. ඒ සඳහා රටේ නියම තත්ත්වය සහ ජනතා අභිලාෂයන් පිළිබඳ නිවැරදි අංගසම්පූර්ණ අවබෝධයක් ජනාධිපතිවරයා තුළ තිබිය යුතුය.
එහෙත් කාලාන්තරයක් මුළුල්ලේ රටේ ගොඩනැගෙමින් තිබෙන ප්‍රශ්න දෙස බලන විට රට පිළිබඳ නිවැරදි තොරතුරු රටේ පළමු පුරවැසියාට ගලා එනවාද යන සැකයක් ද මතුවේ. සාමාන්‍යයෙන් රටේ සකස්වී ඇති ක්‍රමයට අනුව ඉහළ සිට පහළට තොරතුරු ගලා එනවා විනා පහළ සිට ඉහළට තොරතුරු ගලායාමක් සිදු නොවේ. එදා මෙදා කවදත් සිදුවූයේ එයමය. එහෙයින් පෙර රජවරු විවිධ වෙස් ගෙන ජනතාව අතරට ගියේ ජනතාවගේ සැබෑ, නිවැරදි තොරතුරු අසා දැක ගැනීමේ අටියෙනි. එහෙත් අද එසේ කළ නොහැකිය. ‘ජනපතිගෙන් අහන්න” විශේෂාංගය අප ගෙන එන්නේ ඒ වෙනුවෙනි.
මේ හරහා ඔබේ පළාතේ, ඔබේ ගමේ, ඔබේ ආයතනයේ, ඔබේ ජන කණ්ඩායමේ ප්‍රශ්න ඍජුව ජනාධිපතිවරයා වෙත යොමුකිරීමේ අවස්ථාව ඔබට හිමිවේ. ඒ අනුව ඔබ යොමුකරන ප්‍රශ්න ජනාධිපතිතුමාට ඉදිරිපත්කර ලැබෙන පිළිතුරු මසකට වරක් පුවත්පතේ පළ කෙරේ. එහෙත් පෞද්ගලික ප්‍රශ්නවලට මේ යටතේ ඉඩක් නොලැබෙන බවද සඳහන් කළ යුතුය.
රටවැසියකු ලෙස ඔබගේ වගකීම නිසි ලෙස හඳුනාගනිමින් පුරවැසි ජනමාධ්‍යයේ නව පරිච්ඡේදයක් ඇරඹීමට ඔබට හිමිවෙන මෙම අගනා අවස්ථාව එයට හිමි නිසි අර්ථයෙන්ම ඔබ හඳුනාගනු ඇතැයි අපි විශ්වාස කරමු. ඔබගේ ප්‍රශ්න පහත ලිපිනයට යොමුකරන්න.
ජනපතිගෙන් අහන්න
ඉරිදා ලංකාදීප, නො. 08, හුණුපිටිය හරස්පාර, කොළඹ - 2.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතාවට ජීවන බර ප්‍රශ්නයක් තිබෙන බව රජයක් විදිහට අපි පිළිගත යුතුයි
යොහාන් Friday, 01 July 2016 03:02 AM
පිළිගෙන විතරක් වැඩක් නැහැනේ. ඊට පිළියම්ද යෙදිය යුතුයි (නි)
ටෙරන්ස් Friday, 01 July 2016 11:35 AM
අනේ මොකටද මේවට උත්තර දීලා ලේ රත් කරගන්නේ? (නි)
ධම්ම Tuesday, 28 June 2016 06:38 PM
අපරාදේ මෙතුමාගෙන් ප්‍රශ්න අහන්නේ. උත්තර නොවෙයි ලැබෙන්නේ, නැවතත් ප්‍රශ්නමයි. (නි)
ජගත් Wednesday, 29 June 2016 02:42 PM
අනේ අපි මොකටද මේවට උත්තර දීලා? (නි)
නිම්මි Wednesday, 29 June 2016 02:45 PM
රටේ නායකයා නිහතමානි වුණාම ඇතිද චතුරි. රටේ යුද්ධයක් තිබුනා කියලා මතක නැද්ද? ඒ කාලේවත් මුළු රටම මෙහෙම පාරේ හිටියද? (නි)
නිම්මි Thursday, 30 June 2016 03:18 PM
අනේ ලෙස්ලි, පහුගිය දවස් වල විතරද මහජන දේපල කොල්ලකෑවේ? දැන් නැද්ද? එතකොට මහබැංකුවේ මොකද වුණේ? ඇවිදින මං තීරුවට මොකද වුණේ? (නි)
චතුරි Wednesday, 29 June 2016 02:50 AM
ජනපතිතුමනි, අපේ රටට ඔබ වගේ නිහතමානි පුද්ගලයකු හොඳ වැඩියි. ගොඩක් අය කැමති මඩේ ලගින තාරාවන් නාවන කට්ටියට. මොන රටේද බදු අයනොකර ඉන්නේ? මහින්දගේ බදු ලිස්ට් එකට විරුද්ධව මේ විදියට කෑගැහුවද? (නි)
සෙනරත් Tuesday, 28 June 2016 11:17 AM
ජනතාවට ජීවන බර දරන්න බැරි බව ආදී මේ සියල්ල මෙතුමා දන්නවා. ඒ වුණාට කිසිම දෙයක් කරන්නේ නැහැ. (නි)
වින්සන්ට් Saturday, 02 July 2016 07:39 PM
චතුරි, ඔබ කියන තාරාවන් නිම්මි හැමදාම නාවනවා. මොකට එපමණ මහන්සි වෙනවද කියා තේරෙන්නේ නැත. අපිට නම් ඔය කාගේ කාගේත් වැරදි පේනවා. නිම්මිට නම් එහෙම නොවෙයි පෙනෙන්නේ. පසුගිය කාලයේ සිල්වත් උපාසකයන් විසින් පාලනය කළ දිව්‍ය ලෝකයක් තිබුණා කියලයි නිම්මි හිතාගෙන අදහස් එවන්නේ. සමහර අයට නම් එහෙම හිතන්නත් හේතු තිබෙන්නට පුළුවන් අපට නැතුව ගියාට. (නි)
ප්‍රතාප් Friday, 01 July 2016 08:54 AM
ඔබතුමාට හොඳට වැරදි පේනවා. ඔබතුමා මේවා අපට පෙන්වාදෙන එක හොඳයි. අපිටවත් මොනවාහරි කරන්න බැරියෑ. (නි)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 29 June 2016 11:29 PM
පහුගිය දවස් වල මහජන දේපොළ සොරාකෑ විදිහට රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් (නි)