IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජනතාව කබලෙන් ළිපට දැමූ අමනෝඥ තීරණ

ශ්‍රී ලංකාවේ ජීවත්වෙන බොහෝදෙනකුට දැන් දැනෙන්නේ ඔවුන් මොහොමඩ් අලි සමග බොක්සිං කවය මැද සටනකට එළඹුණා සේය. එකපිට එක එල්ලවන මුෂ්ටි ප්‍රහාරවලින් ඔවුහු හෙම්බත් වී සිටිති. බොහෝ අය දණින් වැටෙති. ඇතැම්හු මුෂ්ටි ප්‍රහාර වැදී බිම ඇද වැටෙති. සටන මුළුමනින් පරාජය වී බිම පතිත වන්නට සිදුවන මුෂ්ටි ප්‍රහාරය කොයිවේලේ හෝ වදිනු නියතය.

මුලින් පහරදීම ඇරඹුණේ දරුවන්ට කිරිපිටි මිලදී ගන්නට පෝලිම්වල තපින්නට සිදුවීමෙනි. ඉන්පසු ගෑස් මිලදී ගන්නටද පෝලිමේ ඉන්නට සිදුවිය. ඉන්පසු විදුලිය කපා හැරීම නිසා කළුවරේ පීඩා වින්දෙමු. දැන් පැට්රෝල්, ඩීසල්, භූමිතෙල් මිලට ගන්නට ගව් ගණන් දිග පෝලිම්ය. දුක්පීඩා විඳිමින් ගෙවන මේ දිවිය තුළ අධිඋද්ධමනයෙන්ද පා පහර කන්නෙමු. වැසි වැස්සොත් ගඟ පිටාර ගලා ගම්බිම් යටවන්නේය යන කියමනද හරියට හරිය. පෙර කිසිදාක අත් නොවිඳි මානුෂීය ව්‍යසනයක් රට අබිමුවේ පවතී. බොහෝ විදේශීය නිවේදකයන් පවසන්නේ ශ්‍රී ලංකාව 1948 පටන් අන්ත නරකම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි. ලෝකයේ විශාලතම මානුෂීය සංවිධානය වන ලෝක ආහාර වැඩසටහන නිකුත් කර ඇති නිවේදනයක මෙසේ කියවේ.

‘ජනගහනයෙන් සියයට 22 ක් වන මිලියන 4.9 ක ඇස්තමේන්තු ගත ජනගහනයක් මේ වන විට ආහාර සුරක්ෂිත බව නැතිවීම නිසා මානුෂීය ආධාර අවශ්‍යතාවෙන් පෙළෙති. දේශීය කෘෂි නිෂ්පාදනය පහත වැටීම, විදේශ සංචිත හිඟකම සහ දේශීය මුදලේ අගය පහත වැටීම නිසා ආහාර හිඟවී ජීවන වියදම අහස උසට නැග තිබේ. ඒ හේතුවෙන් ජනයාගේ සෞඛ්‍ය සහ ප්‍රමාණවත් ආහාර ලබාගැනීමේ හැකියාව සීමාවී තිබේ. ආර්ථික අර්බුදය පවුල් පිටින් කුසගින්න සහ දරිද්‍රතාව වෙත තල්ලුකර දමා ඇත. ඇතැමුන් එම තත්ත්වයට වැටී ඇත්තේ පළමු වතාවටයි. ලෝක බැංකුවේ ඇස්තමේන්තුවට අනුව මිලියන භාගයක් ජනතාව දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී සිටියේ වසංගතය නිසාය.

වඩාත් මෑතක දී කළ ලෝක ආහාර වැඩපිළිවෙළේ ඇගයුම්වලින් අනාවරණය වන්නේ පවුල්වලින් සියයට 86 ක් මිලෙන් අඩු පෝෂ්‍යදායී ගුණයෙන් අඩු ආහාර මිලදී ගෙන මද වශයෙන් ආහාර ගන්නා බවයි. ඇතැම් විට ආහාරවේල් මගහරින බවද පෙනී යයි. ආර්ථික අර්බුදයට සහ වසංගතයට පෙරාතුවම මන්දපෝෂණ අනුපාතය ශ්‍රී ලංකාව පුරාම ඉහළ මට්ටමක පැවතුණි. කෝවිඩ් වසංගතයට පෙර බොහෝ මධ්‍යම පරිමාණ ආදායම් ලබන රටවලට වඩා ශ්‍රී ලංකාවේ කාන්තාවෝ සහ දරුවෝ ඉහළ මන්දපෝෂණ මට්ටමක පසුවූහ. අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් සියයට 17 ක් දෙනා වැඩීම දුර්වල වීම හේතුවෙන් නියමිත පමණට වඩා උසින් අඩුවූවෝ වූහ. සියයට 15 ක් දෙනා ඔවුන්ගේ උසේ පමණට ශරීරය කෘෂභාවයෙන්  යුක්ත විය. මෙම තත්ත්වය දැනට පවතින ආර්ථික අර්බුදය සමග තවත් වර්ධනය වනු ඇත.

තරුණයන් මූලික වී අරගලය නමින් ඇරඹූ සාමකාමී විරෝධතාව මැයි 9 වැනිදා පුපුරා ගිය කල එහි ප්‍රතිඵලයක් ලෙස අගමැතිවරයාත් කැබිනට් අමාත්‍යවරුත් ඉල්ලා අස්වූහ. අරගලයට පින්සිදු වන්නට අප්‍රසාදයට පත් ඇතැම් චරිත තවදුරටත් කැබිනට් මණ්ඩලයේ නොසිට යටිබිම්ගතව, තත්ත්වය විමසා බලනු පිණිස ඉඳහිට මාධ්‍යවල පෙනී සිටිති. මහින්ද රාජපක්ෂ රජයේ සිටි තරමක් අප්‍රසාදයට පත් එහෙත් අන්ත අසමත් කිහිපදෙනෙක් නැවත කැබිනට් මණ්ඩලයට රිංගා ගන්නට සමත්ව සිටිති. තමන්ගේ පක්ෂය දේශපාලන වශයෙන් මතකයෙන් ගිලිහී යන තත්ත්වයට පත් කොට තම ආසනය පවා අහිමි කරගත් අයකු දැන් අගමැති තනතුරට පත්ව සිටීම සම්මතයට එරෙහි වූවකි.

කෙසේ වුවද මගේ මේ ලිපිය අපගේ ආර්ථිකයේ ව්‍යසනය නිර්මාණය කොට, ආර්ථිකය වළපල්ලට යවන්නට ක්‍රියා කළ අය පිළිබඳවය. මීට පෙර ලියූ ලිපියකින් ද ඒ අය නිවාඩ් කබ්රාල්, පී.බී. ජයසුන්දර, එස්.ආර්. ආටිගල, ඩබ්.ඩී. ලක්ෂ්මන් ලෙස මවිසින් හඳුන්වනු ලැබූහ. මා ඔවුන් නම් කළේ හතරදෙනාගේ කල්ලිය යනුවෙනි. හතරදෙනාගේ කල්ලිය වෙත චෝදනා එල්ලකොට ඔවුන්ට කරන ලද දේ උදෙසා නඩු පැවරිය යුතුය යන මතයට මම නිතරම පක්ෂව කතා කළෙමි. ඔවුන් අපරාධකරුවන් ලෙස හඳුන්වන්නට මම කැමැත්තෙමි. මෑතකදී, රටේ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු හතරදෙනාගේ කල්ලිය ඇතැම් අයට විරුද්ධව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබීම සතුටකි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව කඩිනමින් විභාගයට ගෙන ප්‍රමුඛතා පිළිවෙළට හැකි ඉක්මනින් තීන්දුවකට එළඹෙතැයි බලාපොරොත්තු වන බව මා හා කතා කළ බොහෝදෙනා පැවසූහ. මේ ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඔවුනට කසපහර දිය යුතු යයි සමහරු කීහ. එවැනි දරුණු ක්‍රියාව මම අනුමත නොකරමි. එහෙත් ඔවුන්ගේ කේන්තිය මට හොඳින් වැටහේ.

සති කිහිපයකට පෙර ආර්ථිකය කඩා වැටීමට හේතුවූ කරුණු විමසීමට හතරදෙනාගේ කල්ලිය කෝප් කමිටුව ඉදිරියට කැඳවනු ලැබූහ. අවාසනාවකට යූටියුබ් හි දිස්වූ විනාඩි 15 කින් යුතු එම මුළු වීඩියෝවම මට දැකගන්නට නොලැබුණේය. එහි වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, අවඥා සහගත ලෙස එස්.ආර්. ආටිගල ඉලක්ක කරමින් දෝ වගකීමක් ඇති රාජ්‍ය නිලධාරීන් දේශපාලනයේ නියැලෙමින් වැළකී සිටිය යුතු බවත් ඔවුන්, දේශපාලකයකු සහ නිලධාරියකු අතර වෙනස හොඳින් හඳුනාගෙන සිටිය යුතු බවත් කීවේය.

2018 වසරේ ව්‍යවස්ථා අර්බුදය තුළ බිහිවූ කෙටිකාලීන මහින්ද රාජපක්ෂ පාලනය කාලයේ, එස්.ආර්. ආටිගලම කඩිමුඩියේ භාණ්ඩාගාර ලේකම් පදවියට පත්කරන ලද බව සිහිපත් කරනු වටී. ඒ කාලයේම බලයට පැමිණි සැණින් (2018 දී) මහින්ද රාජපක්ෂ, කපිල චන්ද්‍රසේන ශ්‍රීලංකන් එයාලයින්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කළ අයුරුත්, සැණෙකින් මතුවූ මහජන විරෝධතා හමුවේ ඔහුගේ පත්වීම අවලංගු කළ අයුරුත් සමහරුන්ගේ මතකයේ තිබෙන්නට පිළිවන. එසේ කරන ලද්දේ ඔහුගේ බිරිඳට එයාර් බස් අල්ලස වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් ගෙවා තිබුණු බව සඳහන්වීමෙන් අනතුරුවයි.

මහින්ද රාජපක්ෂ බොහෝ තනතුරුවලට පත්කිරීම් සිදුකොට ඇත්තේ සුදුසුකම් සලකා බැලීමෙන් තොරව මිත්‍රසබඳතා හා පක්ෂපාතීකම් හේතුකොට බව විශ්වාස කෙරේ. එම නිසා එස්.ආර්. ආටිගලට ඔහු රාජපක්ෂලාගේ දේශපාලන හිතවාදියකු නොවේය යන්න ඒත්තු ගන්වන්නට සෑහෙන තරම් අසීරුවනු ඇත. බදු කපාහැරීම පිළිබඳවත්, ඒ හේතුවෙන් රජයට සෑහෙන තරම් ආදායමක් අහිමිවීමත් පිළිබඳව ප්‍රශ්න කළවිට එස්.ආර්. ආටිගල කියා සිටියේ කෝවිඩ් වසංගතය ඇරඹීමත් සමග බදු කපා හැරීම නිවැරදිද යන්න පිළිබඳ පර් යේෂණ කොට තීන්දුවක් ගැනීම අපහසුවූ බවයි. කාලයක පටන් අයවැය හිඟයේ වෙලී සිටින රටකට ඉදිරි කටයුතු පුරෝකථනය කර ගැනීමටත් එවැනි වගකීමෙන් තොර තීරණයක් හේතුවෙන් ගෙවුම් ශේෂ අර්බුදය උත්සන්නවී දරුණු ආර්ථික අසීරුතා වලට මුහුණ පෑමට සිදුවන බව දැන ගන්නටත් අයින්ස්ටයින් කෙනකු අවශ්‍ය නැත.

මම 2020 ජනවාරි 12 දින ලියූ ලිපියකින් බදු කපාහැරීමේ යෝජනා පිළිබඳව මගේ කනස්සල්ල පළ කළෙමි. මා ආර්ථික විශේෂඥයකු නොවූවද ව්‍යාපාරික ආයතන කිහිපයක ප්‍රධාන මූල්‍ය නිලධාරී තනතුරේ වසර 20 ක් කටයුතු කර තිබුණ නිසා එකී කනස්සල්ල පළකිරීමට තරම් මගේ දැනුම ප්‍රමාණවත් විය.

වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීමටත්, නිෂ්පාදන සමාගම්වල සමාගම් බදු සියයට 28 සිට සියයට 18 දක්වා පහත හෙළීමත් සියයට 2.5 ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසිකර දැමීමත් බදු කපා හැරීම් වලට ඇතුළත් විය. ඒ සමගම වැට් බදු ගෙවිය යුතු සැපයුම්වල සීමාව රුපියල් මිලියන 12 සිට රුපියල් මිලියන 300 දක්වා ඉහළ දැමිණි. තනි පුද්ගල බදු රහිත දීමනා රු. මි. 1.2 සිට රු. මි 3 දක්වා වැඩි කෙරිණි. ඒ සමගම බදු සීමා යන අඩුකිරීම් හේතුවෙන් එම අනුපාතය ඉහළම අගයකින් පහත වැටුණේ සියයට 24 සිට සියයට 18 දක්වාය.

මේ සියලු වෙනස් කිරීම් සිදු කරන ලද්දේ බදු ආදායම් කිනම් ප්‍රමාණයකින් අහිමි වන්නේද යන්න ප්‍රක්ෂේපණය  කිරීමකින් තොරවය. එම ආදායම් හිඟය රජය කෙසේ පියවාගන්නේද යන්න ගැන කිසිම සඳහනක් නොකෙරිණි. එය අතිශය නොසැලකිල්ලෙන් සහ වගකීමකින් තොරව ගත් පියවරකි.

බදු කපාහැරිය සැණින්ම අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ෆිච්රේටිං ආයතනය ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශයක් නිකුත්කොට කියා සිටියේ එම බදුසහන ප්‍රදානය ණය උදෙසා අහිතකර ලෙස බලපාන බවයි. ඒ සමගම ශ්‍රී ලංකාවේ අනාගත දීර්ඝකාලීන විදේශ විනිමය තත්ත්වය සහ ණය පැහැරහැරීමේ තත්ත්වය ස්ථාවරභාවයෙන් සෘණාත්මක මට්ටමට පහත වැටෙන බව විග්‍රහ කෙරිණි.

මෙම ආයතන ස්වාධීන වන අතර තම ඇගයුම් කිරීමට අතිශය නිපුණතාවෙන් යුතු ඒවාය. කෙසේ වුවද අපගේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සහ මහ බැංකු අධිපති (ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්) ෆිච් ප්‍රකාශය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කොට ප්‍රකාශයක් නිකුත් කළෝය. රූපවාහිනී වැඩසටහනකදී අන්තර්ජාතික ණය ඒජන්සි ආයතනය දැඩි ලෙස චෝදනාවට ලක්කළ ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඒවා දේශපාලන අගතියෙන් යුතුව ශ්‍රී ලංකා රජයට එරෙහි කුමන්ත්‍රණයේ කොටස්කරුවන් වන බවත් කියා සිටියේය. තවදුරටත් ඉන්පසු ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළන හැම අවස්ථාවකදීම, එස්.ආර්. ආටිගල, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, නිවාඩ් කබ්රාල් ඒවා ප්‍රශ්න කරමින් ඒවාට දොස් තැබූහ. එම විවේචන වලංගු නොවන ඒවා වන අතර ඒවා එකහෙළාම අමනෝඥ ඒවාද වේ. කළ යුතුව තිබුණේ ඒවා සමග වඩාත් රාජතාන්ත්‍රික අයුරින් සම්මුතියකට එළඹීම මිස ඒවාට බැණ වැදීම නොවේ. හතරදෙනාගේ කල්ලියේ මුග්ධ බවත් ප්‍රචණ්ඩ බවත් විමතිය දනවනසුළුය.

ඒ සමගම, උපයන විට ගෙවීමේ හා රඳවා ගැනීමේ බදු බැංකුවලින් හා මූල්‍ය ආයතන විසින් පොලී ආදායම් ගෙවනු ලැබීමේදී එක් එක් සේව්‍යාගෙන් කපාහැරීම හා එසේ පොලී ආදායම් ගෙවීමේදී කපාහැර අය කිරීමද අහෝසි කළ යුතු බවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් හතරදෙනාගේ කල්ලියේ අසීමිත බුද්ධිමත්භාවයෙන් තීරණය කෙරිණි.

එකී වෙනස්කම්වල නිර්මාතෘවරයා පී.බී. ජයසුන්දර මිස අන් කෙනකු නොවන බව මගේ විශ්වාසයයි. ඔහු 2010-15 කාලයේ භාණ්ඩාගර ලේකම්ව සිටි අවධියේ දී එක්තරා පෞද්ගලික අංශයේ සංසදයක දී මෙසේ කියා සිටියේය. උපයන විට ගෙවීමේ බදු එකතුව ඉතා කුඩා ප්‍රමාණයක් නිසා උපයන විට ගෙවීමේ බදු අයකරගැනීම උදෙසා කරදර නොවන ලෙස මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කීවෙමි. ඔහු තවදුරටත් මෙසේද කීවේය. ආදායම් බදු ගෙවීමෙන් රජයේ සේවකයන් නිදහස් කළා නම්, පෞද්ගලික අංශයේ සේවකයන් බදු ගෙවිය යුත්තේ ඇයි? එහි අවසාන ප්‍රතිඵලය වූයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බොහෝදෙනකුගේ ආදායම් බදු ගොනු වසා දැමීමය.

මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සහ නිවාඩ් කබ්රාල් යන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් දෙදෙනා යටතේ මුදල් අච්චු ගසන්නට ගත් තීරණය නිසා ඩබ්.ඩී. ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුව අච්චු කන්තෝරුවක් බවට පත් කළේය. යන කියමන ප්‍රචලිත විය. හතරදෙනාගේ කල්ලිය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ යෙදුණු අනෙක් අය අතිශය මතභේදයට තුඩුදුන් නූතන මූල්‍ය න්‍යායේ අනුගාමිකයන් බවට විශ්වාස කෙරේ. එම තත්ත්වය නිසා අධිඋද්ධමනයට මගපෑදෙන බව ස්වාධීන ආර්ථික විශේෂඥයෝ පුරෝකථනය කරමින් කනස්සල්ල පළ කළෝය. එම කනස්සල්ලට නිවාඩ් කබ්රාල් නිර්දය ලෙස පහර දෙමින් ප්‍රචණ්ඩ ලෙස ඒවා විවේචනය කළේය.

2021 අප්‍රේල් 27 වැනිදා ප්‍රධාන පෙළේ පුවත්පතක නිවාඩ් කබ්රාල්ගේ කියමනක් මෙසේ උපුටා දක්වා තිබිණි. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහබැංකුවෙන් මුදල් අච්චු ගැසීම හා විදේශ විනිමය වෙළෙඳපොළේ ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීම අතර සම්බන්ධතාවක් නැතැයි ඊයේ ප්‍රකාශ කළේය. මිනිසුන් එසේ කියන්නේ නොදන්නාකමට යයිද එම පුවතට මුල්වූ රූපවාහිනී වැඩසටහනේ දී ඔහු කියා තිබිණි.

 

හතරදෙනාගේ කල්ලිය පොලී අනුපාතිකය, උද්ධමන අනුපාතයට පහළින් තබාගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. මෙසේ කරන ලද්දේ ණය ගැනීම් දිරිමත් කිරීමේ අරමුණෙනි. මෙම හාස්‍යජනක ප්‍රතිපත්තිය නිසා තැන්පත් කරුවන්ට ඔවුන්ගේ ඇමෙරිකානු ඩොලර් තැන්පත් කිරීමේදී රුපියල් තැන්පත් කරනවාට වඩා වැඩි පොලියක් සාකච්ඡා කරගත හැකිවූයේය. නිවාඩ් කබ්රාල් මුලින්ම ගත් තීරණ අතර භාණ්ඩාගාර බිල්පත්වල පොලිය සෑහෙන ප්‍රමාණයකින් ඉහළ දැමීමද විය. එය පොලී අනුපාතිකය ඉහළ දැමීමෙන් ඉල්ලුම සීමාකොට උද්ධමනය අඩුකිරීමේ උත්සාහයකි.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය, සෑහෙන කාලයක් තිස්සේ රු. 200 මට්ටමේ තබාගන්නා ලද්දේ ස්වාධීන ආර්ථික විශේෂඥයන් සහ බැංකුකරුවන් එය අපගේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන ආකාරය ගැන නිරන්තරයෙන්ම දෙන ලද උපදෙස් නොතකමිනි. ඩොලරයට කළු කඩයක් නිර්මාණය වන්නට එය හේතු වූවාට සැක නැත. මේ නිසා විදෙස්ගත ශ්‍රීලාංකීය ශ්‍රමිකයන් සහ පිටරටවල මුදල් තබාගෙන ඉන්නා අපනයනකරුවන් මෙරටට එවන ප්‍රේෂණ මුදල් සෑහෙන තරමින් පහත වැටුණි. දැනට උහුලන පීඩාව ඩොලර් හිඟකම නිසා විඳින්නක් බව අපි සැවොම දනිමු.

ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය රු. 200 මට්ටමේ තබාගැනීමට නිවාඩ් කබ්රාල්ගේ සභාපතිත්වය යටතේ වූ මූල්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය නිසා මාස දෙකක් තුළ රුපියල සියයට 80 කින් අවප්‍රමාණ වූයේය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් තරයේ කළ අනතුරු හැඟවීම අතිශයින් නොසලකා හැරීමකි. එසේ කිරීම නිවාඩ් කබ්රාල් තනිමතේට, හිතුමතේ ගත් තීරණයක් බව මූල්‍ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනකු කියා තිබිණි. මගේ පෞද්ගලික මතය වන්නේ නිවාඩ් කබ්රාල්ගේ අත්තනෝමතික තීරණයට මූල්‍ය මණ්ඩල සාමාජිකයින් විරුද්ධ වූයේ නම් ඒ අවස්ථාවේ ඔවුන් ඉල්ලා අස්විය යුතුව තිබුණු බවය.

ප්‍රසිද්ධියේ පළ කළ ප්‍රකාශවලින් තමන් කළ දේ නිවැරැදි යයි කියන්නට නිවාඩ් කබ්රාල් උත්සාහ ගෙන තිබිණි. තවමත් රුපියලේ අගය බලෙන් රඳවාගෙන ඉන්නා බවත්, මුදල් තවමත් අච්චු ගසන බවත් ඔහු කියා තිබිණි. වසර දෙකක් තිස්සේ ඔහු කරන ලද දරුණු හානිය සැණෙකින් නවතාලිය නොහැකිය. එය කොටියකු පිටේ යන්නා වැනි කාර්යයකි. හිටිහැටියේ පිටෙන් බැසීම කළ නොහැකිය.

තවත් පසු විපරම් හමුවකින් කෝප් රැස්වීම හමාරවූයේ යයි මම සිතමි. හතරදෙනාගේ කල්ලියේ කෙරුම් තවදුරටත් විස්තර කරන පුවත් තවත් දකින්නට නොලැබිණි. ඒවායින් හානිය තක්සේරු කිරීමක් සිදුවූයේද යන්න සැකසහිතය. කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්, රාජ්‍ය නිමි ව්‍යවසායයන් දුර්වල අන්දමින් කළමනාකරණය කර ඇති ආකාරය කීහැටි පුවත්පතේ සිරස්තලවල පළවිය. කෙසේ වුව මට නම් මේවා නාට්‍ය රඟදැක්වීම් සේ පෙනේ. ඒවා විගණකාධිපති වාර්තාවලින් මීට බොහෝ කලකට පෙර අගේට විස්තර කර තිබිණි.

හතරදෙනාගේ කල්ලිය අපගේ ජීවන රටාව දශක කිහිපයක් ආපස්සට ඇද දමා තිබේ. ලෝක ආහාර වැඩපිළිවෙළ කියා ඇති පරිදි අපගේ ජනයා මිලියන ගණනාවක් හාමත් කොට මන්දපෝෂණය ලක්කර ඇත. අනාගතය යනුවෙන් හඳුන්වන අපගේ තරුණයාට තවදුරටත් පෙනෙන අනාගතයක් නැත. ඒ බොහෝ අය පිස්සුවෙන් මෙන් රට හැර යන්නට වෙර දරති.

රාජ්‍ය කටයුතු ව්‍යසනය කරා ගෙන ගිය වරදට ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය ඒ හා සමානම වගකීම භාරගත යුතුය. වඩාත් වැඩි වගකීමක් ඉසිලිය යුත්තේ 4 දෙනාගේ කල්ලිය සහ ඊනියා විද්වතුන්ය. ඔවුන් අසමත් වූ අතර එසේ අසමත් වූයේ හුදු අත්තනෝමතික තීරණ නොසැලකිල්ලෙන් ගත් නිසාය. එකී පර් යේෂණ ඔවුන් කළේ මිලියන ගණනක් ජනතා  ජීවිත පරදුවට තබමිනි. 4 දෙනාගේ කල්ලිය අමතමින් පා.ම. එම්.ඒ. සුමන්දිරන් කෝප් කමිටුවේ කීදේ වගකිව යුත්තන්ට දඬුවම් පැමිණවීම් අතින් ඉතා වැදගත්ය.

“මෝස්තර නිරූපණ ශිල්පියකු වූ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ආර්ථික විශේෂඥයකු නොවූවද 2019 ඔක්තෝබර් මාසයේ ගෝඨාභය රාජපක්ෂගේ බදු යෝජනා පුරෝකථනයට ලක්කළේය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මේ රට ශීඝ්‍රගාමී දුම්රියක් මෙන් අධිවේගයෙන් ඒවා නිසා බංකොලොත්භාවයට පත්ව ග්‍රීසිය හා සමාන ආර්ථික අර්බුදයකට ලක්වන බව” ඔහු කියා සිටියේය. ආර්ථික කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් යයි කියා ගන්නා ඊනියා 4 දෙනාගේ කල්ලිය, මෝස්තර නිර්මාණ ශිල්පියකු දකින තරම් දුර නොදකින බව සුමන්දිරන් කියා සිටියේය.

 

(***)
When will the gang of four be held
accountable for their irresponsible decisions?
ලිපියේ පරිවර්තනය  - සමන් පුෂ්ප ලියනගේ

 



අදහස් (2)

ජනතාව කබලෙන් ළිපට දැමූ අමනෝඥ තීරණ

dhamneth Thursday, 14 July 2022 04:08 PM

බුදුරජාණන් වහන්සේද පවසා ඇත්තේ කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් අසා ක්‍රියාකළ යුතු බවයි. නමුත් ලංකාවේ එහෙම නැහැ. බහුතරයක් බොරුවලට රැවටෙනවා. හැමදාමත් ජනතාව රවටන කොටස් තමයි සමහර ආගමික නායකයින්, සමහර දේශපාලකයින්, කේන්දර බලන්නන්, සාත්තර කාරයින්, කපුවන්, අංජනම් එළි බලන්නන්...

:       0       0

NAK Friday, 15 July 2022 11:36 AM

2017 විදේශ විනිමය සංශෝධන පනත මේ රටට කළ විනාශය ඔය කියන සියළු ව‍ැරැදි වලට එහා ගිය මහා අපරාධයකි. එයට කෙලින‍්ම වග කිව යුත‍් තේ එවක අගම‍ැති රනිල‍් හා මුදල‍් අ‍ැමති රවී කර‍ැණානායකයි. නමුත‍් පුදුමය එ‍් ග‍ැන කාටවත‍් වගේ වගක‍් න‍ැත. වරක‍් කෝප‍් කමිටු රැස්වීමකදී රවී මහ බ‍ැංකු නිලධාරීන්ගෙන‍් ප්‍රශ්න කර සිටියේ රටට ප‍ැමිණිය යුතු විදේශ විනිමය ග‍ැන මහ බ‍ැංකුව නොදන්නේය යනුවෙන‍ි. එවිට මහබ‍ැංකු නිලධාරියෙක‍් පෙන්වා දුන්නේ රවී අ‍ැමැති විසින‍් ගෙනා විදේශ විනිමය පනතින‍් එම බලතල මහ බ‍ැංකුවෙන‍් ඉවත‍් කළබවයි. එම අපරාධ වලටත‍් දඬුවම් ල‍ැබිය යුතු නැද්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1994 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11339 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 519 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 896 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 957 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 483 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site