IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ජනපතිගේ දින හතේ සංඥාව

කස්තුරි

[email protected]

මාසයකට අධික කාලයක් තිස්සේ විවිධාකාර අයුරින් පැටලෙමින් පවතින දේශපාලන අර්බුදයට තවමත් විසඳුමක් ලැබී නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් අඟහරුවාදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුවේදී ප්‍රකාශ කළේ තවත් සතියක පමණ කාලයකදී දේශපාලන අර්බුදය මුළුමනින්ම විසඳෙනු ඇත කියාය. එහෙත් දේශපාලන විචාරකයන්ගේ අදහස ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පටහැනිය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට විරෝධය දක්වති. ඉන් බහුතරය එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුය. එක්සත් ජාතික පෙරමුණ සිය ස්ථාවරය වෙනස් නොකරමින් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන ලෙස බලපෑම් කරයි. එහෙත් ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගෙන තිබේ. මේ පාර්ශ්ව දෙක අතර මත ගැටුම හේතුවෙන් රට දිනෙන් දින අරාජිකත්වය කරා ගමන් කරමින් තිබේ. රාජ්‍ය ආයතනවල කටයුතු නිසි පරිදි සිදුනොවන බවට ඇතැම් පිරිස් කරුණු හුවා දක්වති. ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නද රාජ්‍ය නිලධාරීන්ද තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පසුගාමී බවක් පෙන්නුම් කරන බවද පැවසේ. ඒ අතර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියකට පත්වන්නට පටන්ගෙන ඇත.

“මේවගේ තත්ත්වයක් තවදුරටත් ඉදිරියට ඇදගෙන යන්න බැහැ. එක්කෝ ජනාධිපතිවරයා අඩියක් පස්සට ගන්න ඕනේ. නැත්නම් එජාපෙ වෙනත් අගමැති අපේක්ෂකයකු නම් කරන්න ඕනේ. මේ දෙකම නොවෙනතාක් අර්බුදය දිගටම පවතිනවා මිසක් විසඳුමක් ලැබෙන්නේ නැතැයි” දේශපාලන විචාරකයෝ පවසති. අභියාචනාධිකරණය මගින් ඉකුත් සඳුදා ලබා දුන් අතුරු තහනම් නියෝගය ප්‍රකාශයට පත්වීමත් සමග මහින්ද රාජපක්ෂ පිළට අයත් මන්ත්‍රීවරු හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවසට රැස්වූහ. හදිසි රැස්වීමක් ලෙසම නොව සාකච්ඡාවක් ලෙස එම රැස්වීම පැවති අතර අධිකරණ තීන්දුව පිළිබඳව එහිදී මන්ත්‍රීවරු සාකච්ඡා කළහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී අධිකරණ තීන්දුවට ගරු කළ යුතු බවට තීන්දුවක් ගත් නමුත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ තීන්දුව වූයේ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමටය. ඒ අනුව හිටපු ඇමැතිවරුන් පිරිසක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉකුත් අඟහරුවාදා නඩුවක් ගොනු කළේය.

මේ අතර අද තීරණාත්මක දිනයක් ලෙස ප්‍රකාශ වී තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් පියවර පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශ කිරීමට නියමිත වන හෙයිනි. “බ්‍රහස්පතින්දා වනතෙක් නඩුව අහලා බොහෝවිට සිකුරාදා තීන්දුවක් දෙන බව පැවසෙනවා. එහෙම නැත්නම් ලබන සඳුදා දිනයේදී තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතයි” යැයි නීතිඥයෝ පිරිසක් අනාවැකි පළකළහ.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් එය තවදුරටත් පවත්වාගෙන ගියත් මෛත්‍රීපාලගේ ආණ්ඩුවකට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා ඉතාම ඉක්මනින් රටට මහ මැතිවරණයක් අවශ්‍යයි. ජනාධිපතිවරයාගේ පාර්ශ්වයයි එක්සත් ජාතික පක්ෂයයි එක මතයකට ඇවිත් පාර්ලිමේන්තු මහ මැතිවරණයකට එන්න ඕනේ” යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මැතිවරණ කොමිෂන් සභාව ඉදිරි වසර දෙක ඇතුළත ජාතික මැතිවරණ තුනක් පැවැත්වීම සඳහා සූදානමින් පසුවෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනුයේ “ලබන 2020 අවුරුද්ද අවසන් වීමට පෙර මැතිවරණ තුනක් අපට පවත්වන්න සිද්ධවෙනවා. දහනව වැනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 5 යි. ඒ අනුව 2020 ජනවාරි 8 වැනිදායින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වෙනවා. ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට මාස දෙකකට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්වීම නීතියයි. ඒ අනුව අපට 2019 වසරේ නොවැම්බර් මාසයේදී ඒ මැතිවරණය තියන්න වෙනවා. 2019 වසර ආරම්භ වනවිට සියලුම පළාත් සභාවල නිල කාලය අවසන්. ඒ අනුව පළාත් සභා 9 ම මැතිවරණය තියන්න වෙනවා. 2020 අගෝස්තු මාසය වනවිට පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙනවා. ඒ අනුව ඒ කාලයට පෙර හෝ ඊට කලින් හෝ අපට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට සිදුවේවි. ඒ අනුව අපට ජාතික මැතිවරණ තුනකට සූදානම් වෙන්න සිද්ධ වෙනවා” යැයි මහින්ද දේශප්‍රිය සඳහන් කරන්නේය.

කැබිනට් අමාත්‍ය ධුරවල බලතල අත්හිටවුවද ලේකම්වරුන්ට සාමාන්‍ය පරිදි කටයුතු පවත්වාගෙන යාමට ඉකුත්දා ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. කොළඹ ජනාධිපති කාර්යාලයට කැඳවා අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් වෙනත් මතයක් කරළියට පැමිණ තිබේ.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තියට අනුව ඇමැතිවරුන්ගේ බලතල අක්‍රියවනවිට ඒ සමගම ලේකම්වරුන්ගෙත් බලතල අක්‍රීය වෙනවා. ඒ අනුව දැන් ඉන්න ලේකම්වරුන්ට කටයුතු කරන්න බලයක් නැහැ” යැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තර්ක කරති.
අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පැනනැගී ඇති දේශපාලන ගැටලුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර ඉකුත් සඳුදා රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එය අසාර්ථක වූයේය. සාකච්ඡාව අසාර්ථකවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ කනස්සල්ලටත් කෝපයටත් පත්ව සිටිති. සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ඇමැති මනෝ ගනේෂන් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබුණේය. “මට තවදුරටත් දේශපාලනමය වශයෙන් පීඩනයක් ඇතිවුණොත් මම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. ගිහින් පොළොන්නරුවේ ගොවිතැන් කරනවා යැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළා” යනුවෙන් මනෝ ගනේෂන් සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබිණ. ඒ පිළිබඳව මනෝ ගනේෂන් සහතික වන අතර “ජනාධිපතිතුමා එහෙම කියනකොට තවත් ඇමැතිවරු එතන හිටියා. හකීම්, කිරිඇල්ල, රාවුෆ් මේ හැමෝම හිටියා” යැයි මනෝ ගනේෂන් සඳහන් කරන්නේය.
මේ අතර ඉකුත් සඳුදා පැවැති එම සාකච්ඡාව ඉතාම අසාර්ථක වූයේ ජනාධිපතිවරයා ස්ථිර තීන්දුවක් ගෙන තිබූ හෙයිනි.

එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ රාත්‍රී අට පසුවෙද්දී ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටියහ. සියලුදෙනා විශ්වාස කර තිබුණේ ජනාධිපතිවරයා එජාපෙට සතුටුදායක තීරණයක් දෙනු ඇත කියාය. එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අසුන්ගෙන සිටිද්දී ජනාධිපතිවරයා තරමක් දැඩි ස්වරූපයෙන් පැමිණ වාඩිවූයේය. ජනාධිපතිවරයා අසුන් ගැනීමට පෙරම “ඔයගොල්ලොට ඉන්නේ රනිල්ම විතරද එහෙම නම් කරන්න දෙයක් නැහැ. වෙන කෙනෙක් නැද්ද” යැයි ජනාධිපතිවරයා පැවසුවේය. ජනාධිපතිවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු බඳින්නට ඉදිරිපත් වූයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය. “ජනාධිපතිතුමනි, අපට බහුතරය තියෙනවා ඔබතුමා බහුතර බලයක් තියෙන පැත්තට ආණ්ඩුව දෙන්න. එක්සත් ජාතික පක්ෂය හැටියට අග්‍රාමාත්‍යවරයා ලෙස අපි ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමා අපි වෙන කෙනෙක් ගැන හිතලවත් නැහැ” යැයි සජිත් කීවේය. සජිත් ප්‍රේමදාසගේ කතාවෙන් පසුව ලක්ෂ්මන් කිරිඇල්ල ද ජනාධිපතිවරයාට කරුණු කීවේය. ලක්ෂ්මන් කිරිඇල්ල තරමක ආවේගයකින් අදහස් දැක්වූයේය. “ජනාධිපතිතුමනි, ඔබතුමා බරපතළ තීන්දු දෙකක් ගත්තා. ඒ තීන්දු දෙකම නිවැරදි නැති බව සනාථ වෙමින් තියෙනවා. අපට බහුතරය තියෙන නිසා ඔබතුමා නිවැරදි තීන්දුවක් ගන්න. මෙතන ඔබතුමාගේ පුද්ගලික කැමැත්ත අකමැත්ත වැඩක් නැහැ” යැයි කිරිඇල්ල කී කතාවට ජනාධිපතිවරයාට ද තරමක් කේන්ති ගියේය. දෙසිය විසිපහම ආවත් රනිල්ට නම් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා කීවේ ඉන්පසුවය. ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරයාට තවත් කතාවක් කීවේය. “ඔබතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව ඔප්පු වුණොත් ඔබතුමාට හිරෙත් යන්න වෙනවා යැයි සමහර නීතිඥයෝ කියනවා” කිරිඇල්ල කීවේය. එවිට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ නැගිට යන්නට ගියෝය.

පවතින දේශපාලන අර්බුදය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය ද යම් අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ. දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයෝ ඉකුත්දා රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කළහ. එහිදී දෙමළ සන්ධානයේ පොදු මතයට ටෙලෝ සංවිධානය බාල්දියක් දැම්මේය. ටෙලෝ සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන් හා විනෝනාරාදයන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ජී. සිවාජිලිංගම්, එන්. ශ්‍රීකාන්තා සහ කේ. කරුණාකරන් ද සහභාගි වූහ. එහිදී ටෙලෝ සාමාජිකයින් කීවේ “හැමදාම දකුණේ නායකයින් අපි රැවැට්ටුවා. අපට හැමදාමත් රැවටෙන්න බැහැ. මේ පාර එක්සත් ජාතික පෙරමුණට සහාය දෙනවා නම් ලිඛිතව කොන්දේසි පහක් යටතේ ගිවිසුමක් ගහන්න ඕනේ. උතුරු නැගෙනහිර පළාත්වල අපේ ඉඩම් නිදහස් වෙන්න ඕනේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි. උතුරු හා නැගෙනහිර යළිත් ඒකාබද්ධ විය යුතුයි.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට දෙන්න ඕනේ. ඔය කියන ඉල්ලීම් පහ දෙන බවට ලිඛිත ගිවිසුමක් දුන්නොත් අපට සහාය දෙන්න පුළුවන්” ටෙලෝ සාමාජිකයෝ පැවැසූහ. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ නායක සම්පන්දන් ඊට එකඟවූයේ නැත. “අපට මේ අවස්ථාවේ ලිඛිත පොරොන්දුවක් ගන්න අමාරුවේවි. අපි මුලින් සහාය දෙමු. අපි බලමු ඊට පස්සේ මොකද කරන්නේ කියලා” යැයි සම්පන්දන් කීවේය. එහිදී ශ්‍රීකාන්තා තවත් අදහසක් කීවේය. “දේශපාලන විසඳුමක් ලබාගන්න එක ලේසි නැහැ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍යයි. තුනෙන් දෙකක් ගන්න නම් මහින්ද රාජපක්ෂගෙ සහායත් අවශ්‍ය වෙනවා. ඒ නිසා රාජපක්ෂව ඕනවට වඩා තරහා කරගන්න මේ අවස්ථාවේ හොඳ මදියි. අපි ඒ ගැනත් බලන්න ඕනේ” ශ්‍රීකාන්තා කී කතාවට අනෙක් සාමාජිකයින් කිසිවක් කීවේ නැත.

“ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහට ලබානොදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය උපක්‍රමශීලී පියවරක් ලෙස අඩියක් පසුපසට ගත යුතු බවට එජාපයේම පිරිසක් අතර කතාබහක් ඇතිවෙමින් තිබෙන බව වාර්තාවේ”. එජාපයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ඉකුත් දා පෞද්ගලික අදහසක් ලෙස ප්‍රකාශකර තිබුණේ “මේ වෙලාවේ රනිල්ව පාලනය කරන්න පුළුවන් කෙනෙක් අගමැති කළොත් ආණ්ඩු බලය අපට ගන්න පුළුවන්. බලය ගන්න එක මේ අවස්ථාවේ වැදගත්. ඊට පස්සේ රනිල්ට නිලනොලත් නායකයා ලෙස කටයුතු කරන්න පුළුවන්. මියන්මාරයේ අවුන්සාන් සුකි වගේ” යැයි එම මන්ත්‍රීවරුන් කියා තිබේ. එවිට තවත් කෙනෙක් සඳහන් කර ඇත්තේ “දැන් දෙපැත්තටම තියෙන්නේ අභිමතය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මේ වෙලාවේ අගමැතිකම ගන්න කැමති නැහැ. අරගෙන මේ අවුල ලිහාගන්න බැරිවුණොත් එයා මුල්වතාවෙම අසාර්ථක බවට නරක නාමයක් වැදෙනවා. ඒ නිසා පක්ෂ නායකකමත් එක්ක මිසක සජිත් වෙනම අගමැතිකමක් ගන්න එකක් නැහැ” යැයි ඔහු කීවේය.

 

 



අදහස් (2)

ජනපතිගේ දින හතේ සංඥාව

ajith Saturday, 08 December 2018 09:29 AM

ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණයට මේ ප්‍රශ්නය විසඳන්න බැරියි වගේ පේනවා. තුන්කට්ටුව බල අරගලයක පොරකනවා. මහමැතිවරණයක් දෙන්න බැරිනම් එදා රට බෙරගත්තෙත් ත්‍රිවිධ හමුදාව. අපේ විශ්වාසය එයයි.

:       1       314

jagath Sunday, 09 December 2018 02:52 PM

පේනවා නේද...? කාගේ පුද්ගලික වුවමනාවකටද කියලා රට අරාජික කරන්නේ...? කිව්වා වගේම පොළොන්නරුවට ගිහින් අමුඩයක් ගහගෙන කුඹුරක් කෙටුවොත් තමා හොඳ. තවත් රට කන්නේ නැතුව...

:       345       8

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 498 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 190 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 624 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 891 4

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 825 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 14213 5

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 995 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 578 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site