රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරින් මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳවය. රටේ දේශපාලනය පැත්තෙන් එම සංචාරය වැදගත් බව කාටත් පැහැදිලිය.
එහි වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ ජාත්‍යන්තර සම්බන්ධතා පැත්තෙන් බලන විට ඉන්දීය සම්බන්ධතා ස්ථාන ගත කරන ආකාරය මේ ආණ්ඩුවේ ඊළඟ වසර 05 තුළ ගමන් මග ඒ සමග ගැට ගැසී ඇති නිසාය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර මේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ ISB ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන පිළිබඳව අදහසක් දැක්විය යුතු යැයි සිතමි.
IMF සංවිධානය සමග සිදුකරන එකඟතාවේ මෙතෙක් සම්පූර්ණ කිරීමට නොහැකි වූ කොටසක් වූයේ පෞද්ගලික ණය හිමියන් හෙවත් ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමග සිදුකරන එකඟතාවයි. එය අවසන් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළේය. එහෙත් පසුගිය ජනාධිපති ඡන්දය නිමාවන තුරු එහි අවසන් එකඟතාව ලැබුණේ නැත. මේ ආණ්ඩුව පටන් ගත්තේ එතැන් සිටය. දැන් පසුගියදා නිමා වූ ISB එකඟතාව යනු රනිල් වික්‍රමසිංහ මහතා විසින් එකඟ වන ලද එකම බව ඉතාමත් පැහැදිලිය. මේ පිළිබඳව තත්වය පැහැදිලි කළ අනිල් ජයන්ත ඇමැතිවරයා ද පාර්ලිමේන්තුවේ දී කියා තිබුණේ අලුත් එකඟතාවක් සඳහා යන කාලය සලකා බලමින් පැරැණි එකඟතා මත කටයුතු කරන්නට සිදුවන බවය. ඒ අනුව පෙනී යන්නේ 2025 වර්ෂය තුළ ISB ණය වෙනුවෙන් ඩොලර් බිලියන 1.8 පමණ මුදලක් ගෙවන්නට සිදුවන බවය.
එසේම ණය කපා හැරීම හෙවත් Hair cut එකක් ලැබෙන්නේ රටේ ආර්ථිකයේ වර්ධන වේගයටය සාපේක්ෂව බව ඒ එකඟතාව තුළ ඉදිරිපත් වන කාරණයකි. වර්ධන වේගය ඉතාමත් පහළ අගයක තබා ගත්තේ නැති නම් කිසිදු ණය කපා හැරීමත් සිදු වන්නේ නැති ගානය. මේ තත්වය තුළ 2025 වර්ෂය තුළ විදේශ සංචිත ගැටලුව ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ මෙන්ම මතු විය හැකි යැයි සමහරුන් දැනටමත් මතු කරමින් සිටී. පෙරටුගාමී පක්ෂය මේ පිළිබඳව ඉතාමත් පැහැදිලි අදහසක් ප්‍රකාශයට පත්කර තිබුණි. මේ පිළිබඳව අවධානයට ගැනීම ආණ්ඩුව සතු වගකීමක් බව සඳහන් කරනු කැමැත්තෙමි.
ඉතිහාසය තුළ ඉන්දීය සාධකය
නැවතත් මගේ මුල් මාතෘකාවට බැසිය යුතුය. මා මෙවර ලියන්නේ ජනාධිපතිතුමන්ගේ ඉන්දීය සංචාරය පිළිබඳවය. ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධතාවට සියවස් ගණනාවක ඉතිහාසයක් තිබේ. රාම – රාවණ කතාන්දරය, විජය කුමරුන් කතාන්දරය, මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම ඇතුළු විශාල කාල පරාසයක විසිරුණු ඉතිහාසයක් මේ රටවල් දෙක අතර ඇත. එසේම දකුණු ඉන්දීය දේශපාලන ආක්‍රමණ, චෝල ආක්‍රමණ, කාලිංග ආක්‍රමණ යනාදී වශයෙන් කියවෙන විවිධ මැදිහත්වීම් රජරට ශිෂ්ටාචාරය තුළ මතු වී තිබුණි.
යටත් විජිත යුගයේ දී ඉන්දියාව සමග තිබූ සම්බන්ධතාව වෙනමම එකක් විය. 1948 න් පසු තත්වය දෙස බැලීමේදී පෙනී යන්නේ එය යම් ආකාරයක Love and hate ආකාරයේ සම්බන්ධතාවක් බවය. එක කාලයක ඉන්දියාව සහ ලංකාව එකට මිත්‍රශීලීව වැඩ කළ බව සැබෑවක්ය. ශ්‍රී නේරු - සර් ජෝන් කොතලාවල කාලයේ මේ තත්වය ඉතාමත් හොඳින් පැවතුනි. ඒ වගේම ඩඩ්ලි - සිරිමා, පාලනය තුළ ශාස්ත්‍රී - ඉන්දිරා ගාන්ධි පාලනය සමග යම් ආකාරයක මිත්‍රශීලිත්වයක් පැවැති බව සැබෑවක්ය. ඉන්දියානු දෙමළ ගැටලුව කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුව යනාදිය මිත්‍රශීලීව විසඳා ගත්තේ ඒ අනුවය.
එහෙත් මේ සම්බන්ධතා 1977 න් පසුව අර්බුදයට ගිය බව සැබෑවක්ය. ජයවර්ධන පාලනය හරහා මතු වූ විවෘත ආර්ථිකය සහ ඇමෙරිකානු හිතවාදී විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉන්දියාව අපට එරෙහිව ගමන් කළේය. එය නිමා වූයේ මෙරට තුළ බරපතළ යුදමය තත්වයක් දක්වා වර්ධනය වූ ජනවාර්ගික ගැටුමක් නිර්මාණය කරමිනි. ත්‍රස්තවාදය විසින් මුළු රටම වසර 30 ක පමණ කාලයක් විනාශ මුඛයට ඇද දැමීමට ඒ තත්වය හේතු වූයේය.
වත්මන් ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳව අපි තේරුම් ගත යුත්තේ මේ පසුබිම හිතේ තබා ගෙනය. 2009 න් පසුව ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධතාව යම් ආකාරයක ‘රණ්ඩු වෙවී යාළු වෙවී’ පැවැති බව සැබෑවක්ය. පසුගිය මහින්ද, මෛත්‍රී, ගෝඨාභය, රනිල් යන ජනාධිපතිවරුන්ගේ කාලවල ඉන්දියාව අපේ රට සම්බන්ධව හැසිරුණේ යුද්ධය නිමා වීමට පෙර හැසුරුණු ආකාරයෙන් නොවේ. අලුත් ආර්ථික තත්වය යටතේ ලෝකයේ නව පිළිගැනීමත් ඉන්දියාව වෙතට එල්ල වී ඇති වත්මන් තත්වය යටතේ ඔවුන් ලංකාව දෙස බලන්නේ යම් ආකාරයක කලාපීය ආධිපත්‍යයක් තබා ගැනීමේ කෝණයෙන්ය. මෙරට ව්‍යාපාර කටයුතුවලට සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්වලට ඉන්දියාව සම්බන්ධ වන්නේ ඉහතින් සඳහන් කළ කලාපීය ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීමේ අර්ථයෙන්ය. එසේම මෙරට ආර්ථික තත්වය කඩා වැටී ඇති අවස්ථාවේ සිට ඉන්දියාව අප කෙරෙහි දක්වන ‘සහයෝගය දීමේ’ ක්‍රියාදාමය හරහා බරපතළ ‘යටත්වීමක්’ දක්වා වර්ධනය වීමේ විභවතාවක් ඇති බව බොහෝ අය විසින් පෙන්වා දී ඇති බවද මෙහිදී අවධානයට ගැනීම වැදගත්ය.
අනුරගේ ඉන්දීය සංචාරය
වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අප කියවා ගත යුත්තේ මෙවැනි සන්දර්භයකය.
මෙම සංචාරය පිළිබඳ සමහර කාරණා අපි හැහෝම දන්නා කරුණුය. මෙරට ජනාධිපතිවරයකු ස්වකීය පළමු විදේශ සංචාරය වශයෙන් ඉන්දියාවට යාම ඉතාමත් නිවැරදිය. අනෙක් අතට නවක නායකයකු ලෙසින් සමහර ‘ෆ්‍රොටො කෝල්’ වැඩ නොදැන සිටීම තේරුම් ගත හැකි තත්වයකි. කොළඹ සිවිල් සමාජයේ සමහරුන් මෙන් ඒ සියල්ලට සිනහ වෙන්නට අප යා යුතු නැත. එහෙත් මෙහිදී සඳහන් කළ යුතුම කාරණයක් වන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමන් දැන් නියෝජනය කරන්නේ ඔහුගේ පක්ෂය නොව සමස්ත රටම බවය. ඒ නිසා සමහර මූලික කාරණා ගැන එතුමන්ගේ අවධානය යොමුවීම ඉතාමත් අවශ්‍යය. විදේශීය සම්බන්ධතා විෂයෙහි දී ඔහුට වැරදීම යනු සමස්ත රටම අගෞරවයට පත්වීමක් ලෙසින් තේරුම් ගෙන හැකිතාක් නොවරදින අයුරින් වැඩ කිරීම අවශ්‍යය. එපමණක් නොවේ. ඔහු විසින් එකඟ වන හැම දෙයක්ම රට සම්බන්ධ වගකීමක් සහිත ඒවා ලෙසින් සිතීම වැදගත්ය.
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිතුමන්ගේ ඉන්දීය සංචාරයේ තීරණාත්මකම සිද්ධිය වන්නේ ඔහුගේ සහ මෝදි අගමැතිතුමන්ගේ නමින් ප්‍රකාශයට පත් කළ වගන්ති 34 කින් යුතු ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයයි. බැලූ බැල්මටම පෙනෙන්නේ ඒ ප්‍රකාශය ඉන්දීය විදේශ සේවයේ අයවලුන් විසින් නිර්මාණය කරන ලද එකක් මිස දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශයක් නොවන බවය.
ඒ ප්‍රකාශයේ තිබෙන වැඩිමනත් වගන්ති මගින් කියවෙන්නේ පසුගිය දශක 02ක පමණ කාලයේ වරින් වර මතු වූ සමහර විවාද සම්පන්න කරුණු ඒවාට එක්කර ඇති බවයි. 13 වැනි වගන්තියේ (6) මගින් කියවෙන විදුලිබල සම්ප්‍රේක්ෂණ ජාල සම්බන්ධතාව හෙවත් grid connection එක ඉන්දියාව සමග සම්බන්ධ කිරීම සලකා බලන්න. මේ කාරණය පිළිබඳව මේ රටේ 2023 වර්ෂයේ විශාල සංවාදයක් පැවති බව අනුර දිසානායක ජනාධිපතිතුමන් හොඳින් දන්නා කරුණකි. ඒ පිළිබඳව යෝජනාව රනිල් වික්‍රමසිංහ රජයෙන් ගෙනෙද්දී එයට විරුද්ධ පිලේ ඉදිරියෙන්ම ජ.වි.පෙ. නායකයෝ සිටියෝය. එදා එතුමන්ලාත් සමගින් එක්වී පරාජයට පත්කළ ඒ යෝජනාව අද එතුමන්ගේද අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයේ එකඟතාවක් ලෙසින් පැමිණීම තේරුම් ගත යුත්තේ කෙසේදැයි මා දන්නේ නැත.
එසේම වගන්ති 13 (c) කොටස බලන්න. එයින් කියවෙන්නේ අමුතුම යෝජනාවකි. එයට අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ UAE හෙවත් එක්සත් එමීර් රාජධානිය අතර ඉන්ධන නළයක් ඉදිකිරීමට දෙරට නායකයෝ එකඟ වී ඇත්තාහ. රටේ ස්වෛරීත්වය සමග සෘජුවම ගැට ගැසී ඇති මේ යෝජනාව කාගේ එකක් දැයි අප දන්නේ නැත. මෙහෙම එකඟතාවකට ජනාධිපතිවරයා ගියේ තමන්ගේ කැබිනට් මණ්ඩලයේවත් එකඟතාවකින්දැයි අප දන්නේද නැත. මැදපෙරදිග සමග නළයකින් එක්කර එක කොණක ඉන්දියාවත් ගැට ගැසුණු මේ යෝජනාව රනිල්ගේ කාලයේවත් පැමිණි එකක් නොවන බව මගේ අදහසය.
ඒකාබද්ධ ප්‍රකාශයේ 14 වැනි වගන්තියේ දැක්වෙන පරිදි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නවීකරණය කිරීමත්, ත්‍රිකුණාමලය කලාපය බලශක්ති Hub එකක් කරන්නට ඉන්දියාවත් සමග එකඟවීමත් බරපතළ ආකාරයේ සාකච්ඡාවකින් පසු පැහැදිලි කරගත යුතු කාරණයක්ය.
එසේම ඒකාබද්ධ ප්‍රකාශයේ 15 (iv) වගන්තියේ එකඟ වී ඇති UPI Payment System හෙවත් ඒකාබද්ධ ගෙවීම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද ගැටලුකාරීත්වයක් 2023 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා එය යෝජනා කළ කාලායේදී සිටම පැවතිණ. මෙයින් කියන්නේ ඉන්දියාවේ බැංකු පද්ධතියට සම්බන්ධ කර ඇති UPI ගෙවීම් ජාලයට ලංකාව ද සම්බන්ධ කරන බවයි. මෙහි ඇති ධනාත්මක දේවල් සහ සෘණාත්මක තත්ව ගණනය කිරීම අවශ්‍ය බව මගේ යෝජනාවය.
ඒකාබද්ධ ප්‍රකාශයේ 24 වැනි වගන්තියේ තිබෙන සාගර කලාපයේ ආරක්ෂාව සඳහා ඉන්දීය රජය සමග පොදු ආරක්ෂණ යාන්ත්‍රණයක් සඳහා එකඟවීම ද කලාපයේ මුහුදු ආරක්ෂණය සම්බන්ධයෙන් සංකුලතාවක් ගොඩ නැගීමේ ඉඩක් පවතින බවද කිව යුතුය.
මේ ඒකාබද්ධ ප්‍රකාශයේ වගන්ති 34 අතරින් සමහර ඒවා 2023 රනිල් - මෝදි ඒකාබද්ධ ප්‍රකාශයේ නොතිබුණු හෝ එහි තිබී හැලුනු ඒවාදැයි සොයා බැලීම වටින බව මගේ අදහසයි.
විශේෂයෙන් ජනපතිගේ ඉන්දීය සංචාරය හරහා රටට ලැබෙන්නට නියමිත වාසි සහගත තත්ව සහ අවාසි සහගත තත්වය ගණනය කිරීම ඉතාමත් අවශ්‍ය බව මගේ අදහසයි. එසේ සිදුකරමින් රටට අවාසි යෝජනා ක්‍රියාත්මක නොවන පරිදි රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම් මෙහෙයවීම සුදුසු බව මගේ කිවිදා දැක්මය.
(***)
මහාචාර්ය චරිත හේරත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල