IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල

රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරින් මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳවය. රටේ දේශපාලනය පැත්තෙන් එම සංචාරය වැදගත් බව කාටත් පැහැදිලිය.

එහි වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ ජාත්‍යන්තර සම්බන්ධතා පැත්තෙන් බලන විට ඉන්දීය සම්බන්ධතා  ස්ථාන ගත කරන ආකාරය මේ ආණ්ඩුවේ ඊළඟ වසර 05 තුළ ගමන් මග ඒ සමග ගැට ගැසී ඇති නිසාය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර මේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ ISB  ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන පිළිබඳව අදහසක් දැක්විය යුතු යැයි සිතමි.

IMF සංවිධානය සමග සිදුකරන එකඟතාවේ මෙතෙක් සම්පූර්ණ කිරීමට නොහැකි වූ කොටසක් වූයේ පෞද්ගලික ණය හිමියන් හෙවත් ස්වෛරී බැඳුම්කර ණය හිමියන් සමග සිදුකරන එකඟතාවයි. එය අවසන් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළේය. එහෙත් පසුගිය ජනාධිපති ඡන්දය නිමාවන තුරු එහි අවසන් එකඟතාව ලැබුණේ නැත. මේ ආණ්ඩුව පටන් ගත්තේ එතැන් සිටය. දැන් පසුගියදා නිමා වූ ISB  එකඟතාව යනු රනිල් වික්‍රමසිංහ මහතා විසින් එකඟ වන ලද එකම බව ඉතාමත් පැහැදිලිය. මේ පිළිබඳව තත්වය පැහැදිලි කළ අනිල් ජයන්ත ඇමැතිවරයා ද පාර්ලිමේන්තුවේ දී කියා තිබුණේ අලුත් එකඟතාවක් සඳහා යන කාලය සලකා බලමින් පැරැණි එකඟතා මත කටයුතු කරන්නට සිදුවන බවය. ඒ අනුව පෙනී යන්නේ 2025 වර්ෂය තුළ ISB  ණය වෙනුවෙන් ඩොලර් බිලියන 1.8 පමණ මුදලක් ගෙවන්නට සිදුවන බවය.

එසේම ණය කපා හැරීම හෙවත් Hair cut එකක් ලැබෙන්නේ රටේ ආර්ථිකයේ වර්ධන වේගයටය සාපේක්ෂව බව ඒ එකඟතාව තුළ ඉදිරිපත් වන කාරණයකි. වර්ධන වේගය ඉතාමත් පහළ අගයක තබා ගත්තේ නැති නම් කිසිදු ණය කපා හැරීමත් සිදු වන්නේ නැති ගානය. මේ තත්වය තුළ 2025 වර්ෂය තුළ විදේශ සංචිත ගැටලුව ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ මෙන්ම මතු විය හැකි යැයි සමහරුන් දැනටමත් මතු කරමින් සිටී. පෙරටුගාමී පක්ෂය මේ පිළිබඳව ඉතාමත් පැහැදිලි අදහසක් ප්‍රකාශයට පත්කර තිබුණි. මේ පිළිබඳව අවධානයට ගැනීම ආණ්ඩුව සතු වගකීමක් බව සඳහන් කරනු කැමැත්තෙමි.

 

ඉතිහාසය තුළ ඉන්දීය සාධකය

නැවතත් මගේ මුල් මාතෘකාවට බැසිය යුතුය. මා මෙවර ලියන්නේ ජනාධිපතිතුමන්ගේ ඉන්දීය සංචාරය පිළිබඳවය. ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධතාවට සියවස් ගණනාවක ඉතිහාසයක් තිබේ. රාම – රාවණ කතාන්දරය, විජය කුමරුන් කතාන්දරය, මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම ඇතුළු විශාල කාල පරාසයක විසිරුණු ඉතිහාසයක් මේ රටවල් දෙක අතර ඇත. එසේම දකුණු ඉන්දීය දේශපාලන ආක්‍රමණ, චෝල ආක්‍රමණ, කාලිංග ආක්‍රමණ යනාදී වශයෙන් කියවෙන විවිධ මැදිහත්වීම් රජරට ශිෂ්ටාචාරය තුළ මතු වී තිබුණි.

යටත් විජිත යුගයේ දී ඉන්දියාව සමග තිබූ සම්බන්ධතාව වෙනමම එකක් විය. 1948 න් පසු තත්වය දෙස බැලීමේදී පෙනී යන්නේ එය යම් ආකාරයක Love and hate ආකාරයේ සම්බන්ධතාවක් බවය. එක කාලයක ඉන්දියාව සහ ලංකාව එකට මිත්‍රශීලීව වැඩ කළ බව සැබෑවක්ය. ශ්‍රී නේරු - සර් ජෝන් කොතලාවල කාලයේ මේ තත්වය ඉතාමත් හොඳින් පැවතුනි. ඒ වගේම ඩඩ්ලි - සිරිමා, පාලනය තුළ ශාස්ත්‍රී - ඉන්දිරා ගාන්ධි පාලනය සමග යම් ආකාරයක මිත්‍රශීලිත්වයක් පැවැති බව සැබෑවක්ය. ඉන්දියානු දෙමළ ගැටලුව කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුව යනාදිය මිත්‍රශීලීව විසඳා ගත්තේ ඒ අනුවය.

එහෙත් මේ සම්බන්ධතා 1977 න් පසුව අර්බුදයට ගිය බව සැබෑවක්ය. ජයවර්ධන පාලනය හරහා මතු වූ විවෘත ආර්ථිකය සහ ඇමෙරිකානු හිතවාදී විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉන්දියාව අපට එරෙහිව ගමන් කළේය. එය නිමා වූයේ මෙරට තුළ බරපතළ යුදමය තත්වයක් දක්වා වර්ධනය වූ ජනවාර්ගික ගැටුමක් නිර්මාණය කරමිනි. ත්‍රස්තවාදය විසින් මුළු රටම වසර 30 ක පමණ කාලයක් විනාශ මුඛයට ඇද දැමීමට ඒ තත්වය හේතු වූයේය.

වත්මන් ඉන්දීය – ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳව අපි තේරුම් ගත යුත්තේ මේ පසුබිම හිතේ තබා ගෙනය. 2009 න් පසුව ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධතාව යම් ආකාරයක ‘රණ්ඩු වෙවී යාළු වෙවී’ පැවැති බව සැබෑවක්ය. පසුගිය මහින්ද, මෛත්‍රී, ගෝඨාභය, රනිල් යන ජනාධිපතිවරුන්ගේ කාලවල ඉන්දියාව අපේ රට සම්බන්ධව හැසිරුණේ යුද්ධය නිමා වීමට පෙර හැසුරුණු ආකාරයෙන් නොවේ. අලුත් ආර්ථික තත්වය යටතේ ලෝකයේ නව පිළිගැනීමත් ඉන්දියාව වෙතට එල්ල වී ඇති වත්මන් තත්වය යටතේ ඔවුන් ලංකාව දෙස බලන්නේ යම් ආකාරයක කලාපීය ආධිපත්‍යයක් තබා ගැනීමේ කෝණයෙන්ය. මෙරට ව්‍යාපාර කටයුතුවලට සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම්වලට ඉන්දියාව සම්බන්ධ වන්නේ ඉහතින් සඳහන් කළ කලාපීය ආධිපත්‍ය ආරක්ෂා කර ගැනීමේ අර්ථයෙන්ය. එසේම මෙරට ආර්ථික තත්වය කඩා වැටී ඇති අවස්ථාවේ සිට ඉන්දියාව අප කෙරෙහි දක්වන ‘සහයෝගය දීමේ’ ක්‍රියාදාමය හරහා බරපතළ ‘යටත්වීමක්’ දක්වා වර්ධනය වීමේ විභවතාවක් ඇති බව බොහෝ අය විසින් පෙන්වා දී ඇති බවද මෙහිදී අවධානයට ගැනීම වැදගත්ය.

 

අනුරගේ ඉන්දීය සංචාරය

වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය අප කියවා ගත යුත්තේ මෙවැනි සන්දර්භයකය.

මෙම සංචාරය පිළිබඳ සමහර කාරණා අපි හැහෝම දන්නා කරුණුය. මෙරට ජනාධිපතිවරයකු ස්වකීය පළමු විදේශ සංචාරය වශයෙන් ඉන්දියාවට යාම ඉතාමත් නිවැරදිය. අනෙක් අතට නවක නායකයකු ලෙසින් සමහර ‘ෆ්‍රොටො කෝල්’ වැඩ නොදැන සිටීම තේරුම් ගත හැකි තත්වයකි. කොළඹ සිවිල් සමාජයේ සමහරුන් මෙන් ඒ සියල්ලට සිනහ වෙන්නට අප යා යුතු නැත. එහෙත් මෙහිදී සඳහන් කළ යුතුම කාරණයක් වන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමන් දැන් නියෝජනය කරන්නේ ඔහුගේ පක්ෂය නොව සමස්ත රටම බවය. ඒ නිසා සමහර මූලික කාරණා ගැන එතුමන්ගේ අවධානය යොමුවීම ඉතාමත් අවශ්‍යය. විදේශීය සම්බන්ධතා විෂයෙහි දී ඔහුට වැරදීම යනු සමස්ත රටම අගෞරවයට පත්වීමක් ලෙසින් තේරුම් ගෙන හැකිතාක් නොවරදින අයුරින් වැඩ කිරීම අවශ්‍යය. එපමණක් නොවේ. ඔහු විසින් එකඟ වන හැම දෙයක්ම රට සම්බන්ධ වගකීමක් සහිත ඒවා ලෙසින් සිතීම වැදගත්ය.

 

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශය

ජනාධිපතිතුමන්ගේ ඉන්දීය සංචාරයේ තීරණාත්මකම සිද්ධිය වන්නේ ඔහුගේ සහ මෝදි අගමැතිතුමන්ගේ නමින් ප්‍රකාශයට පත් කළ වගන්ති 34 කින් යුතු ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශයයි. බැලූ බැල්මටම පෙනෙන්නේ ඒ ප්‍රකාශය ඉන්දීය විදේශ සේවයේ අයවලුන් විසින් නිර්මාණය කරන ලද එකක් මිස දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශයක් නොවන බවය.

ඒ ප්‍රකාශයේ තිබෙන වැඩිමනත් වගන්ති මගින් කියවෙන්නේ පසුගිය දශක 02ක පමණ කාලයේ වරින් වර මතු වූ සමහර විවාද සම්පන්න කරුණු ඒවාට එක්කර ඇති බවයි. 13 වැනි වගන්තියේ (6) මගින් කියවෙන විදුලිබල සම්ප්‍රේක්ෂණ ජාල සම්බන්ධතාව හෙවත් grid connection එක ඉන්දියාව සමග සම්බන්ධ කිරීම සලකා බලන්න. මේ කාරණය පිළිබඳව මේ රටේ 2023 වර්ෂයේ විශාල සංවාදයක් පැවති බව අනුර දිසානායක ජනාධිපතිතුමන් හොඳින් දන්නා කරුණකි. ඒ පිළිබඳව යෝජනාව රනිල් වික්‍රමසිංහ රජයෙන් ගෙනෙද්දී එයට විරුද්ධ පිලේ ඉදිරියෙන්ම ජ.වි.පෙ. නායකයෝ සිටියෝය. එද‌ා එතුමන්ලාත් සමගින් එක්වී පරාජයට පත්කළ ඒ යෝජනාව අද එතුමන්ගේද අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයේ එකඟතාවක් ලෙසින් පැමිණීම තේරුම් ගත යුත්තේ කෙසේදැයි මා දන්නේ නැත.

එසේම වගන්ති 13 (c)  කොටස බලන්න. එයින් කියවෙන්නේ අමුතුම යෝජනාවකි. එයට අනුව ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ UAE  හෙවත් එක්සත් එමීර් රාජධානිය අතර ඉන්ධන නළයක් ඉදිකිරීමට දෙරට නායකයෝ එකඟ වී ඇත්තාහ. රටේ ස්වෛරීත්වය සමග සෘජුවම ගැට ගැසී ඇති මේ යෝජනාව කාගේ එකක් දැයි අප දන්නේ නැත. මෙහෙම එකඟතාවකට ජනාධිපතිවරයා ගියේ තමන්ගේ කැබිනට් මණ්ඩලයේවත් එකඟතාවකින්දැයි අප දන්නේද නැත. මැදපෙරදිග සමග නළයකින් එක්කර එක කොණක ඉන්දියාවත් ගැට ගැසුණු මේ යෝජනාව රනිල්ගේ කාලයේවත් පැමිණි එකක් නොවන බව මගේ අදහසය.

ඒකාබද්ධ ප්‍රකාශයේ 14 වැනි වගන්තියේ දැක්වෙන පරිදි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නවීකරණය කිරීමත්, ත්‍රිකුණාමලය කලාපය බලශක්ති Hub එකක් කරන්නට ඉන්දියාවත් සමග එකඟවීමත් බරපතළ ආකාරයේ සාකච්ඡාවකින් පසු පැහැදිලි කරගත යුතු කාරණයක්ය.

එසේම ඒකාබද්ධ ප්‍රකාශයේ 15 (iv) වගන්තියේ එකඟ වී ඇති UPI Payment System  හෙවත් ඒකාබද්ධ ගෙවීම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් ද ගැටලුකාරීත්වයක් 2023 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා එය යෝජනා කළ කාලායේදී සිටම පැවතිණ. මෙයින් කියන්නේ ඉන්දියාවේ බැංකු පද්ධතියට සම්බන්ධ කර ඇති UPI ගෙවීම් ජාලයට ලංකාව ද සම්බන්ධ කරන බවයි. මෙහි ඇති ධනාත්මක දේවල් සහ සෘණාත්මක තත්ව ගණනය කිරීම අවශ්‍ය බව මගේ යෝජනාවය.

ඒකාබද්ධ ප්‍රකාශයේ 24 වැනි වගන්තියේ තිබෙන සාගර කලාපයේ ආරක්ෂාව සඳහා ඉන්දීය රජය සමග පොදු ආරක්ෂණ යාන්ත්‍රණයක් සඳහා එකඟවීම ද කලාපයේ මුහුදු ආරක්ෂණය සම්බන්ධයෙන් සංකුලතාවක් ගොඩ නැගීමේ ඉඩක් පවතින බවද කිව යුතුය.

මේ ඒකාබද්ධ ප්‍රකාශයේ වගන්ති 34 අතරින් සමහර ඒවා 2023 රනිල් -  මෝදි ඒකාබද්ධ ප්‍රකාශයේ නොතිබුණු හෝ එහි තිබී හැලුනු ඒවාදැයි සොයා බැලීම වටින බව මගේ අදහසයි.

විශේෂයෙන් ජනපතිගේ ඉන්දීය සංචාරය හරහා රටට ලැබෙන්නට නියමිත වාසි සහගත තත්ව සහ අවාසි සහගත තත්වය ගණනය කිරීම ඉතාමත් අවශ්‍ය බව මගේ අදහසයි. එසේ සිදුකරමින් රටට අවාසි යෝජනා ක්‍රියාත්මක නොවන පරිදි රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම් මෙහෙයවීම සුදුසු බව මගේ කිවිදා දැක්මය.

 

(***)
මහාචාර්ය චරිත හේරත්



අදහස් (0)

ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 79 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 256 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 86 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 86 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 252 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 482 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 69 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site