IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ජීනිවා යෝජනා දිග්ගැස්සෙයිද?

මෙරට පැවැති තිස් වසරක යුද්ධයේ අවසාන සමයේ දී සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පොරොන්දු වෙමින් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රාහකත්වය යටතේ 2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් විය. අදාළ යෝජනාව කවුන්සිලයේදී සම්මත විය.

අදාළ යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට වසර දෙකක කාල දිගුවක් ලැබිණි. අදාළ යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ දී ශ්‍රී ලංකාව පෙන්වා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවේ ඇතුළත් නිර්දේශ සහ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා.

2015 දී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව සමඟ හයිබ්‍රිඩ් අධිකරණයක් පත්කිරීමේ සාකච්ඡාව පැමිණියේය. එම සාකච්ඡාව විටින් විට ඉස්මතුව යට ගිය ද මුළුමනින්ම අවසන් වූයේ නැත. මේ වනවිට අප දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කර නැති අතර ඊට කිසිදු උත්සාහයක් ද ගෙන නැත. දෙමුහුන් උසාවිය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ හිතවාදීන් විසින් ගෙන යන ලද අනන්ත වූ අරගල හා බටහිර බලපෑම සමඟ සත්‍ය සෙවීමේ කොමිසමකට යෑමට උත්සාහ කළ ද එය සිදුවුණේ නැත.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීම සිදුවූයේ ඉන් පසුවය. අතුරුදන්වූවන්ගේ කාර්යාල ගැසට්ටුවට අස්සන් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ජිනීවා ගියේ පසුගිය වසරේ ඔක්තෝබරයේය. ඉන්පසුව ප්‍රශ්න ආවේ අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සභිකයන් පත්කිරීමේදීය.

සභිකයන් අපක්ෂපාතී නොවන බවට විවිධ පාර්ශ්වවලින් එල්ල වූයේ දැඩි විවේචනයකි. ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට 2009 සිට ප්‍රකාශ කරන පිරිසක් ද මෙය නියෝජනය කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම පත්කිරීම් කවර ප්‍රමිති යටතේ කරනු ලැබීද යන්න ප්‍රශ්නයකි. මේ අතර අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ජාත්‍යන්තර මට්ටමින් ද විවේචන එල්ල වේ. එම විවේචනවල පදනම වන්නේ දඬුවම් දීමේ බලයක් නොමැතිව තොරතුරු සෙවීමේ කාරියට සීමා වූ ආයතනයකින් පලක් නොමැති බවටය. 

2015 දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කළේය. අද මෙය බොහෝ දෙනෙකුට මතක නැත. එම පරීක්ෂණ වාර්තාව තවම එක්සත් ජාතින් ළඟ තිබේ. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලබා දෙන සාක්ෂි මෙම වාර්තාවට ද බලපායි. ලබන ඔක්තෝබරයේදී ලංකාව සිර කිරීමට ද එය ඉවහල් වනු ඇත. එක්සත් ජාතින්ගේ සංවිධානය ඉතිහාසය තුළ මානව හිමිකම් කඩවීම් ගැන පරීක්ෂණ කර ඇතත් ඒවා මෙසේ බහා තබා ගෙන නැත. ඔවුන්ගේ පිළිවෙත වූයේ අදාළ වාර්තා කෙළින්ම ආරක්ෂක මණ්ඩලයට යොමු කිරීමය.

එහිදී ආරක්ෂක මණ්ඩලයෙන් කියුබාව, ඊශ්‍රායලය සම්බන්ධයෙන් තීන්දු ලබා දුන් අවස්ථා ද වේ. ඊශ්‍රායල හමුදාව විසින් බෝට්ටුවල ගමන් කළ පලස්තීනුවන් තුන්සීයක පිරිසක් ඝාතනය කරනු ලැබී යැයි චෝදනා එල්ල වූ අතර මානව හිමිකම් කවුන්සිලයෙන් ඒ ගැන පරීක්ෂණයක් කෙරිණි. මෙම පරීක්ෂණ වාර්තාව ආරක්ෂක මණ්ඩලයට යොමු කෙරුණු අතර ඇමෙරිකාව තම නිශේධ බලය පාවිච්චි කරමින් ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළේය.

ලංකාව සම්බන්ධයෙන් තත්ත්වය කෙසේවේ ද යන්න ප්‍රශ්නාර්ථයකි.දෙමුහුන් අධිකරණයක් පත් කළේ නැතැයි කියා උදම් වීමට තරම් දෙයක් අපට ලැබී නැත. එහි අතුරු ප්‍රතිඵල රැසක් නිහඬවම දියත් වෙමින් තිබේ. අතුරුදන්වූවන්ගේ කාර්යාලයට නිශ්චිතව දඬුවම් දීමේ බලයක් නැති නමුත් සාක්ෂි ඒකරාශි කිරීම බටහිර ලෝකයට සතුටට කරුණකි. 
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය ඔක්තෝබරයේදී ජිනීවා ගොස් පැවැසුවේ මෙම සියලු ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් දෙන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදුවන බලය බෙදීම ඇතුළු පියවර රැසක් ගැන ඔහු පැවැසීය.

එහෙත් ඒවා සියල්ල අද පුස්සක් වෙලාය. මානව හිමිකම් සැලැස්මක් ගැන ද අපි ජාත්‍යන්තරයට පොරොන්දු දුන්නෙමු. එහෙත් එය ද අද හුදු ප්‍රකාශයක් පමණක් වී තිබේ. ඒවා ක්‍රියාවට නැඟීමට රජය කටයුතු කර නැත. 2014 දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් යෝජනා සකස් වනවිට රටවල් හයක් කෙළින්ම ලංකාව වෙනුවෙන් සිටියේය. එම රටවල් හයම මුස්ලිම් රටවල්ය. මුළු බටහිරම ලංකාවට එරෙහිව අවි අමෝරද්දී එවැනි පියවරක් ගැනීම සාධාරණ නොවන බව කීවේ මෙම රටවල්ය. එහෙත් අද වනවිට තත්ත්වය වෙනස් වෙලාය. උද්ගතව ඇති වාර්ගික ප්‍රචණ්ඩකාරීත්වය හමුවේ සිය මුස්ලිම් ජනයා ආරක්ෂා කරන්නැයි ඒකාබද්ධව පවසන තැනකට එම රටවල් ද තල්ලු වී තිබේ. 

ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මේ ආණ්ඩුවේ දේශපාලන නායකයෝ රැසක් සිටිති. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග යටතේ වෙනම කාර්යාලයක් තිබේ. ජාතික ඒකාබද්ධතාව වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් තිබේ. පුනරුත්ථාපනය වෙනම විෂයයක් ලෙස අමාත්‍යාංශයක් ද තිබේ. මේ ආදී ලෙස ඇමැතිවරුන් රැසක්ම මෙම විෂය පථයට අයිතිය. ඊට අමතරව ස්වෙච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන රැසකි. මෙවැනි ආයතන හා පුද්ගලයන් රැසක්ම සිටිද්දී අම්පාරේදී හා තෙල්දෙණියේදී වූ සිදුවීම් නතර කරගැනීමට නොහැකි වුණේ ඇයි? 2015 සිටම මීට අදාළව විවිධ සම්මන්ත්‍රණ, වැඩමුළු පවත්වා තිබෙන පසුබිමක මෙසේ වූයේ ඇයි? ඇත්ත කතාව නම් මේ සිදුවීම් පසුපස දේශපාලන අතකොළු ඇති බවය.

වගකිව යුතු තැන් අකර්මණ්‍ය කර ක්‍රියාන්විත දියත් කිරීම දක්වා මෙම  සිදුවීම් පසුපස ඇති පිරිස් සංවිධානාත්මක වී තිබේ. මේ රටේ ස්වාධීන ජාතික පොලිස් කොමිසමක් තිබුණ ද තෙල්දෙණියේ සිදුවීම ගැන නිසි පරීක්ෂණයක් කිරීමට ඔවුන් සමත් වී නැත. උද්ගත වූ තත්ත්වයට කෙටිකාලීන පිළිතුරක් සඳහා ආණ්ඩුව අනුගමනය කළ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමේ පිළිවෙත ද අද වනවිට බටහිර ලෝකයේ කතාබහට ලක් වූ මාතෘකාවකි. ෆේස් බුක් ආයතනය නියෝජනය කරමින් පසුගියදා ලංකාවට නියෝජිත පිරිසක් පැමිණි අතර සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුව ඉදිරිපත් කළ තර්ක කිසිවක් ඔවුන් පිළිගෙන තිබුණේ නැත. මෙරට කාර්යාල පිහිටුවා සමාජ ජාලා දැඩි පෙරහන්කරණයකට ලක්කරන්නට ආණ්ඩුව කළ ඇරියුම ද ඔවුන්ගේ සැලකිල්ලට භාජනය වුණේ නැත.

ඇත්තවශයෙන්ම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම ගැන මුලින්ම කට ඇරියේ තානාපතිවරු කීප දෙනෙකි. පළමුවැන්නා ඇමෙරිකානු තානාපතිවරයාය. ඊළඟට මහා බි්‍රතාන්‍ය හා ඕස්ටේ්‍රලියානු තානාපතිවරුය. සමාජ මාධ්‍ය අවහිර කිරීම අකුලාගැනීමට රජයට සිදුවූයේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ මේ පීඩනය සමඟය. ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් ජාතිවාදය වර්ගවාදය වර්ධනය කරන වෛරී ප්‍රකාශනවලට භාෂණයේ ප්‍රකාශනයේ නිදහසක් නැත. එය ඇත්තය. එහෙත් එය මුල් කරගෙන ශ්‍රී ලංකා රජය කළ යෝජනා කිසිවක් පිළිගැනීමට සමාජ ජාලා මාධ්‍ය හිමිකාරිත්වය කටයුතු නොකිරීමෙන් අපහසුවට පත්ව සිටින්නේ රජයයි. 

එල්.ටී.ටී.ඊයට හිතවාදී ගෝලීය ප්‍රජාව මේ වනවිට ලංකා ආණ්ඩුවට එරෙහිව විශාල ප්‍රචාරයක් දියත් කරමින් සිටී. ඔවුන්ගේ මූලික ඉල්ලීම වන්නේ යුද අපරාධවලට එරෙහිව වැරැදිකරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතු බවය. එහෙත් මැන්ඩෙලා පිළිවෙත අනුගමනය කෙරෙන සත්‍ය සෙවීමේ කොමිසමකට යෑමට ලංකාණ්ඩුව පැත්තෙන් කිසිදු පියවරක් ගෙන නැත. මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ එල්.ටී.ටී.ඊයට හිතවාදී ගෝලීය ප්‍රජාව ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වීමය. ආණ්ඩුව පොරොන්දු දුන් පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවක් ද පෙනෙන්නට නැත.

බලය බෙදීමක් ද පෙනෙන්නට නැත. විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාවේ නිර්දේශ 102 ක් තිබේ. එම නිර්දේශවලින් ක්‍රියාත්මක කර ඇත්තේ මොනවාද යන්න ගැටලුවකි. රාජ්‍ය නායකයන් පළාත් පාලන මැතිවරණ දැලේ පැටැලී දේශපාලන වේදිකාවල කතා කළා මිස මෙම ගැටලු ගැන මොහොතක්වත් සිතුවේ නැත. ආණ්ඩුව දැන් හෝ කළ යුත්තේ ජිනීවා යෝජනා තවදුරටත් ඉදිරියට දිග්ගස්සන්නේ නැතිව රටට හිතකර පියවර අනුගමනය කිරීමය. පවතින තත්ත්වය යටතේ ඊට හොඳම පියවර වන්නේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාතික පරීක්ෂණයකට යෑමය. එවැනි පියවර අනුගමනය කළ රටවල් ගැන ලෝක පරිමාණයෙන් උදාහරණ තිබේ.

උගන්ඩාව, සියෙරාලියෝන්, කෙන්යාව ඊට උදාහරණය. අප එවැනි වැඩක් ස්වෙච්ඡාවන් නොකළහොත් ජාත්‍යන්තරයෙන් සහාය ගැනීම ද පහසු නොවනු ඇත. විශේෂයෙන්ම සිදුවීම් වන ස්වරූපය අනුව ඉදිරියේදී මුස්ලිම් රටවලින් උදවු ගැනීම පහසු නොවේ. මාර්තුව අග වනවිට මානව හිමිකම් කවුන්සිලය පැත්තෙන් ලංකාවට තවත් යෝජනා එනු ඇත. ඇමෙරිකානු ජනාධිපති ධූරයට ඩොනල්ඞ් ට්‍රම්ප් පත්වී යැයි කියා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකානු පිළිවෙත වෙනස් වන්නේ නැත.

සමීපව නිරීක්ෂණය කළහොත් අප දකින්නේ 2009 සිට ඇමෙරිකාව ලංකාවට දී ඇති ජාත්‍යන්තර පීඩනය වෙන කිසිදු රටකට එල්ල කර නැති බවය. ඇමෙරිකාව සිටින්නේ 2015 දී රෙජීම මාරුවක් සිදුවුවද සිය සිතැඟි ඉටු නොවන තත්ත්වයකය. මිනිස් ජාවාරමින්, මුදල් විශුද්ධිකරණයෙන් ලංකාව අද සිටින්නේ පළමු පෙළේ රටවල් අතරය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ලංකාව සැලකෙන්නේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් හැටියටය.

නීතිවිරෝධී වෙඩික්කරුවන් විසින් උදුරාගනු ලබන ජීවිත ගණන යළිත් වැඩිවෙමින් තිබේ. මත්ද්‍රව්‍ය මැඬීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ගන්නා උත්සාහයට ද දේශපාලන හස්තයන්ගේ එල්ලවන්නේ සුළුපටු පීඩනයක් නොවේ. සමස්තයක් වශයෙන් ගත්කල මේ කිසිවක් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් ගොඩනඟන්නේ නැත. 

මේ සියලු කාරණාවලට අද වනවිට සෘජුවම බලපාමින් තිබෙන්නේ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වයයි. ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් සිතන්නේ නැවත වරක් පාර්ලිමේන්තුවට පත්වන්නේ කෙසේද කියාය. ඔවුන්ට ඇති එකම විකල්පය වන්නේ විශ්වාසභංගයට සහාය දැක්වීමය. මේ තත්ත්වය මත ජනාධිපතිවරයාට සිදුවන්නේ තම ගෞරවය ආරක්ෂා කරගැනීමට ශ්‍රී.ල.නි.ප සහාය පවත්වාගැනීමටය. මේ අතරේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කෙළින්ම පවසන්නේ විශ්වාසභංගයට සහාය දෙන බවය.

ජනපති හා අගමැති පාර්ශව දෙකක් වශයෙන් කටයුතු කිරීම තුළ ආණ්ඩුව දවසින් දවස අර්බුදයකට ගමන් කරමින් සිටී. වසර තුනක් පුරා නායකයන් දෙදෙනා රටවල් ගණනක සංචාරය කළ ද අද වන තෙක් මහා පරිමාණ එකදු ආයෝජනයක්වත් සිදු වී නැත. මුළු ලෝකයම යහපාලන ආණ්ඩුව දෙස බලා සිටින්නේ මේ නම් කවර මාදිලියේ ආණ්ඩුකරණයක්දැයි කියාය. මෙහි නිසග අනිටු පලය වී තිබෙන්නේ රාජ්‍ය තන්ත්‍රය බිඳ වැටීමය.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව පිහිටු විය යුතු සභා පිහිටුවීම කල් යද්දී පළාත් සභා මැතිවරණය තවත් කල්යමින් තිබේ. අරාජික තත්ත්වයක් යැයි කියන්නේ මෙයටය. මෙවැනි විටක ජනාධිපතිවරයා වහ වහා කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විමසා බහුතර විශ්වාසය හිමි තැනැත්තා කවුදැයි දැන ගැනීමය. ඇතැම්විට ඒ නව පුද්ගලයකු විය හැකි අතර නොඑසේව වත්මන් අගමැතිවරයාම ද විය හැකිය.

ඒ තැනැත්තා කවරකු වුවද මෙවැනි පියවරකින් සිදුවන්නේ දේශපාලන බලය ස්ථාවර වීමය. මෙවැනි අවස්ථාවක දේශපාලන පක්ෂ පාට කණ්ණාඩිවලින් බැලීමෙන් රටට අත්වන සුගතියක් නැත. එය සියලුම දේශපාලන පක්ෂ නායකයන් සිතට ගත යුතු කරුණකි. ඇත්තවශයෙන්ම මෙය එක්තරා ආකාරයකට රටට ආදරය කරන නායකයන් සිටීදැයි කරන පරීක්ෂාවක් ලෙස ද සැලකිය හැකිය.

-සටහන බිඟුන් මේනක ගමගේ-



අදහස් (0)

ජීනිවා යෝජනා දිග්ගැස්සෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 69 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 46 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 399 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 491 3

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 387 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 11569 4

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 868 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site