එතෙර ගිහින් නම තැබූ ලාංකිකයෝ
උදාරා තම සැමියා සමග
සූරූපී, සුකොමල ඇය නූතන කාන්තාවන්ට ආදර්ශයක් වූයේ අනේක කැප කිරීම් මධ්‍යයේය. මේ අප කියන්නට යන්නේ ගෙවිලිය යන වදනට අලුත් පරිච්ඡේදයක් එකතු කළ ජපානයේ නරාහි අසූකාවල පවත්වාගෙන යන ‘ටර්ටල් ෆීට් ෆාම්’ (Turtle Feet Farm) හි හිමිකාරිය වන උදාරා සංකල්පනී නම් ලාංකික තරුණ කාන්තාවගේ ජීවිත දිනුම ගැනය. ඇය ‘ඉරිදා ලංකාදීප’ය හා එක්කරගනු ලබනුයේ විදේශයක සිට ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එන දිරිය කාන්තාවක් වන නිසාමය.
හෙක්ටයාර භාගයක සිදු කරන තමාගේ වගාව වෙනුවෙන් ඇය යන්ත්‍ර සූත්‍රවලින් පස සකස් කරනුයේ තනිවමය. තනිව ඇය ඒවා හරි හරියට ක්‍රියාත්මක කරනුයේ ධෛර්යසම්පන්න ලෙසිනි. උසස් අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් කාටවත් කරදරයක් නොවී, තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන, ලංකාවේ නාමයටත් කීර්තියක් ලබා දී වර්තමානයේ ජපානයේ ඉන්න සාර්ථක ව්‍යසායිකාවක් වීමේ ගමන් මග ඇය විස්තර කළේ මෙසේය.
“හැරිලා බලද්දී වැඩ ගොඩාක් කරපු දිග ගමනක් වගේ පෙනුණාට ඇත්තෙන්ම වසර 15යි මම ජපානයට ඇවිත්. අවුරුදු 22 දී තමයි මම ජපානයට ආවේ. මම කෑගලු බාලිකා විද්‍යාලයේ උසස් පෙළ සඳහා ජපන් භාෂාව තෝරාගනු ලැබුවා. අමතර පන්ති ගැන හෝඩුවා දෙකක් ලැබිලා දෙකටම කෝල් කරලා දෙකටම ගියා. දෙන්නම ජපන් ජාතික ගුරුවරු. එක් ගුරුවරියකගේ පන්තියට මට සහභාගි වෙන්න ලැබෙන්නෙ මාසයයි, ඇය ආපසු ජපානයට යන නිසා. පසුව මම අනෙක් ගුරුතුමිය ළඟට දිගටම ජපන් ඉගෙන ගන්න ගියා. උසස් පෙළ ඉවර වෙලාත් දිගටම යනවා. ඔළුවෙ තිබුණේ වෙන රටකට යන්න විතරමයි. දාපු යුනිවර්සිටි එකට තේරිලා 2006 දී ජපානෙට එනවා. එතකොට මට විසිදෙක ලබන්න හිටියේ. දෙවැනි වසරේදී මගේ ජපන් ජාතික මිතුරෙක් හමුවෙනවා සිංහල කතා කරන. ඔහු පසු කාලීනව මගේ සැමියා. මම වැඩිදුර ඉගෙන ගත්තේ සංචාරක ප්‍රවර්ධනය පිළිබඳ විෂයයන්.”
“මගේ සැමියා ලංකාවේ වසරක කාලයක් සිටිය කෙනෙක්. ඒ නිසා සිංහල දන්නවා. ඔහු 2007 දී මුලින්ම මා හමු වූ අවස්ථාවේදී ඔහු අත් එකතු කරලා ආයුබෝවන් කිව්වා. මම ඉතින් පුදුම වුණා සිංහල කතා කරන ජපන් ජාතිකයෙක් නිසා. පසු කාලීනව වසර තුනකට පසු අපි විවාහ වුණා. දෙපාර්ශ්වයෙන්ම කැමැත්තක් වැඩිය නොතිබුණත් පසු කාලීනව කැමැත්ත ලැබෙනවා. 2010 දී මගේ පුතා ලැබුණා. ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා රැකියාවක් කරනවා. පුතා ඉපදෙන්න ඉන්නකොට තමයි මම ජපන් භාෂාවෙන්ම විභාගයට පෙනී සිට ලයිසන් එක ගන්නේ. ඒ නිසා කිරි සහ යෝගට් දේවල් වගේ නිවෙස්වලට ඩිලිවරි කරන රැකියාවට යනවා. රෝද තුනේ පිටිපස්සට කූල් බොක්ස් එකක් බැඳගත්ත බයික් එකක් ඒක. ඒ රැකියාවට යන්න කලින් ඒ යෝගට් සහ අඩංගු දේ පිළිබඳ ඉගෙන ගන්න ඕනෑ. ශරීරයට හිතකර බැක්ටීරියා ඉන්න විශේෂ යෝගට් පානයක් ඒක. ක්‍ෂුද්‍ර ජීවීන් ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. ජපානයේ කල් තබාගත් ආහාරවලට අතීතයේ සිටම විශේෂ තැනක් හිමි වෙනවා.”
“නිරන්තරයෙන්ම මගේ සැමියා විවිධ තරාතිරමේ රැකියාවලට මාව උනන්දු කළත් මම එකකටවත් කැමැති වුණේ නෑ. රජයේ රැකියාත් ඒ අතර තිබුණා. ඔහොම ඉන්නකොට තමයි නැවතත් අපි ජීවත් වෙන ප්‍රාන්තයට අදාළ රජයේ කෘෂිකර්ම ඒකකයෙන් කෘෂිකර්මයට කැමැති තරුණ පිරිස ඒ සඳහා යොමු කරවන එක්තරා පුහුණුවක් සම්බන්ධයෙන් මගේ සැමියා මට දැන්වුවේ. මම ඒකටත් අනිත් ඒවාට වගේම අකැමැත්ත ප්‍රකාශ කළා. නමුත් ඔහුගේ සිහිනයක් තිබුණා කවදා හෝ ඔහුගේ රැකියාවෙන් විශ්‍රාම දිවියට ගියාම කෘෂිකර්මය කරන්න ඕනෑ කියලා.”
“කොහොම හරි ඔහු මාව බලෙන්ම අයැදුම් කරවනවා. ඉන්ටවීව් එක දවසේ ඔහු උදේට වැඩට යන්න කලින් අද අහවල් වෙලාවට අහවල් තැනට යන්න කියලා කියනකොට තමයි මටත් තේරුණේ මගෙන් නාහා බලෙන්ම අයැදුම් කරලා කියලා. කොහොම වුණත් අවසාන මොහොතේ වෙලාව ළංවෙත්ම නොදැනුවත්වම සූදානම් වෙලා සහභාගි වුණා. ඒ දවස නම් අමතක වෙන්නෙ නෑ. මොකද උසාවියක් ඉදිරියේ වගේ ටයිකෝට් දාගත්ත නිලධාරීන් 15ක් විතර ඉස්සරහා එකම එක පුටුවක් මට තිබුණා ඉඳගන්න. අනේ මන්දා ඒ බය වුණු පාරට මොනවා ඇහුව ද මොනවා උත්තර දුන්න ද කියලා මට මතක නෑ. මට මතක අවසානයේ මම හරිත වර්ණ ගස්වලට ආසයි කියලා කීවා මතකයි. හරියට හීනයක් වගේ. ටික දවසකින් ගෙදරට එනවා ලියුමක් මම ඉන්ටවීව් එකෙන් තේරුණා කියලා.”
“අකැමැත්තෙන් වුණත් යන්න වෙනවානේ. හරි එහෙනම් කියලා මාස තුනේ කෙටි කාලීන පුහුණුවට ගියා. ඒ කෙටි කාලීන පුහුණුවෙන් පස්සේ තමයි ඇත්තටම මේ ක්ෂේත්‍රයට යනවා ද නැද්ද, වවන බෝග මොනවා ද කියලා තමන් තීරණය කළ යුත්තේ. එ් නිසා මේ කෙටි කාලීන පුහුණුව මට වෙනස් වෙන්නට විශාල රුකුලක් වුණා.”
“මෙම කෙටි කාලීන පුහුණුව කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා සම්බන්ධ ආයතන සහ වෙළෙඳ ස්ථාන, ආහාර නිෂ්පාදන ආයතන වගේම, සාර්ථක අසාර්ථක වගා බිම් නැරැඹීමට රැගෙන යාම වගේම පස සැකසීම, බීජ තවන් දැමීමේ සිට පැළ සිටුවීම, ඵලදාව නෙළීම, ඒවා ඇසුරුම්වල ඇසිරීම, විකිණීම, ඒ වගේම කෘෂිකර්ම උපකරණ භාවිතය, ට්‍රැක්ටරය, අත්ට්‍රැක්ටරය, තණකොළ කැපීමේ උපකරණ මේ වගේ සෑම දෙයක්ම කෙටියෙන් මාස තුනක් ඇතුළත රජයේ වියදමින් උගන්වනවා. ඉතින් මේ අවස්ථාවේදී තමයි මට අස්පරා ගස් කියන බෝගය ගොවි මහත්තයකුගේ වගා බිමේදී දැකලා මගේ හිත වශී වෙන්නේ කිව්වොත් නිවැරැදියි. ඇත්තටම අකැමැත්තෙන් ගිය මම ඉතාම සතුටින් උද්‍යෝගයෙන් ගෙවපු මාස තුනක්. එදා මම තනිවම තීරණය කරනවා වවන බෝග සහ මගේ සිහින ගොවිපොළ. මම තනිවම කාටවත් නොකියා එයට නමකුත් දාගන්නවා Turtle Feet Farm කියලා. කොහොම හරි මෙම මාස තුනෙන් පසුව තමා වවන බෝගය තීරණය කර, තවත් වසරක පුහුණුවක් ප්‍රසිද්ධ ගොවි මහතකු යටතේ නිම කළ යුතුයි. එතකොට මගේ පුතාට වයස අවුරුදු පහයි. පුතා පෙරපාසලට ඇරලවා මම වැඩට යන්න ඕනෑ. උදේ 8 සිට පස්වරු 5 වෙනකම් වැඩ කරන්න ඕනෑ. දවස් 6ක් වැඩ කළ යුතුයි.” ඇය කියා සිටින්නීය.
“එතැන මාස නවයක කාලයක් විවිධ එළවළු වර්ග වවනවා. බීජ වපුරනවා. විශාල තැනක් නිසා හරිම කාර්යබහුලයි. අපිත් යන්ත්‍ර වගේ වැඩ කරන්න ඕනෑ. අස්පරා ගස් ගොවියකුගේ ළඟ මාස 3ක් සේරම වසරක් පඩි නොමැතිව ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියනවාට වඩා වැඩ කරනවා කිව්වොත් නිවැරැදියි. කෘෂිකර්මය කියලා කියන්නේ මොළයට වඩා ශරීරයෙන් ඉගෙන ගන්න විෂයයක්. මොකද මම එහෙම කිව්වේ කරන බොහෝ වැඩ පැය ගණන් එකම ඉරියව්වෙන් එකම වැඩයේ යෙදෙන අවස්ථා වැඩියි. ඒ නිසා මොළයට වඩා අත, ශරීරය හුරු කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් සියලුම පුහුණුව අවුරුදු එකයි මාස 3 අවසානයේ මම මගේ සැලැස්මක් හදනවා. මේ සැලැස්ම වසර 5ක සැලැස්මක්. මේ සඳහා අනිවාර්යයෙන්ම රජයේ නිලධාරීන්ගේ සහයෝගය ලැබුණා. මගේ කියලා උදැල්ලක්වත් නෑ මම ආරම්භ කරන විට. එ් නිසා අවශ්‍ය උපකරණ සහ හැමදේම ලිස්ට් එකක් හදනවා.”
“කතුර, උදැල්ලේ සිට ට්‍රැක්ටරය, ග්‍රීන් හවුස් දක්වා හැමදේම ලයිස්තුගත කරනවා. ඉන් පසුව වසර 5ක සැලැස්මක් හදනවා. වසරෙන් වසර ආදායම පවා දළ වශයෙන් ගණනය කරනවා. වවන බිම් ප්‍රමාණය, බෝගය, ගන්න අස්වැන්න, ඵලදාව, දළ වශයෙන් මිල ගණන්, වියදම, ආදායම මේ සියල්ලම වසර 5ක විශාල සැලසුමක් හදනවා. ඉන් පසුව තමයි මගේ සිහින ගොවිපොළ කලඑළි දැක්කේ.” යැයි ද ඇය පැවැසුවාය.
ජපානයේ ‘නරා’ ප්‍රදේශයේ අක්කර කිහියක් පුරා පවතින සරුසාර ගොවි බිමක් වූ ඇයගේ ටර්ටල් ෆීට් ගොවිපොළේ ආරම්භය හා වර්තමාන තත්ත්වය ගැන උදාරා කියා සිටියේ මෙවැන්නකි.
“මම මුලින් නම් විශාල ප්‍රමාණයක වගා කළා. නිවෙසේ කටයුතුත් සමබරව කළ යුතු නිසා බොහෝ දුරට මම වගා කටයුතු අඩු කළා නමුත් තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් වගා කරනවා. මගේ ප්‍රධාන බෝගය තමයි අස්පරා ගස්. බ්‍රොකොලී, නිවිති, රොමේන් ලෙටස්, තට්සොයි වගා කරනවා. 50mx7m හරිතාගාර දෙකක අස්පරා ගස් වවලා තියෙනවා. දැනට හෙක්ටාර් බාගයට මඳක් අඩු ප්‍රමාණයක් තනිවම පාලනය කරනවා. මම අස්පරා ගස් ග්‍රීන් හවුස් කිහිපයක් ඉදිරියේදී වැඩි කරන්නට තීරණය කර තිබෙනවා. දැනට ආරම්භක සැලැස්මට අනුව වැඩ කටයුතු ඒ අයුරින්ම කෙරීගෙන යනවා.”
ඇය තමා නිෂ්පාදනය කරන කෘෂි බෝග අතරින් ජපාන වෙළෙඳපොළට හඳුන්වා දී ඇති ලාංකික ආකාරයට නිෂ්පාදනය කරන ‘නිවිති දාපු පරිප්පු කරිය’ට මේ වනවිට ජපන් සමාජයෙන් ලැබන්නේ ඉතාම ඉහළම ප්‍රතිචාරයකි. නිවිති බෝගය ජනප්‍රිය නැති ජපානයේ එය ප්‍රචලිත කිරීම හිතන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. නමුත් ඒ අභියෝගය ද උදාරා සාර්ථකව ජය ගත්තාය.
“ගොවිතැන ආරම්භ කරද්දී මගේ සැලැස්මේ නිවිතිය කියලා බෝගයක් තිබුණේ නැහැ. ඇත්තම කියනවා නම්, මම ගමේ අය සමඟ නිවිතිය වවන්නන්ගේ සංගමයට සහභාගි වෙලා එයාලත් එක්ක නිවිතියත් වගා කරන්න තීරණය කළා. නිවිති කියන්නේ ඇත්තටම ජපානෙ අය අතර වැඩි ප්‍රසිද්ධියක් නැති එළවළුවක්. ඒ රසට ඔවුන් වැඩිය ප්‍රියමනාප නැහැ. නිවිතිය නොදන්නා අය වැඩියි. ඒ නිසා මුලින්ම අපි කළේ නිවිතිය ගැන මිනිසුන්ට දැනගන්නට සැලැස්වීම. අපේ නිවිති ප්‍රොජෙක්ට් එකෙන් නිවිති යොදා කරන නිෂ්පාදන ගොඩක් හඳුන්වලා දුන්නා. නිවිති ශාබට් අයිස් ක්‍රීම්, නිවිති නූඩ්ල්ස්, නිවිති යොදා සෑදූ සුප් වගේ දේ. ලංකාවේ අපිට නිවිතිය කියලා කිව්වොත් මතක් වෙන්නේ අපේ නිවිතිය පරිප්පු කරිය තමයි. එයින් මම නිවිතිය පරිප්පු කරිය නිෂ්පාදනය කරන්න සැලසුම් කළා. නිවිතිය වගාව සහ නිවිතිය පරිප්පු කරිය මගේ වසර පහේ සැලසුමේ කොටසක් නොවුණත් එය සාර්ථක කරගන්න අපට හැකි වුණා.” යැයි ද ඇය කියා සිටිනුයේ නිහතමානී ලෙසිනි.
උදාරා වැනි තරුණ ලාංකික කාන්තාවක් ජපානය වැනි දියුණු රටක ජීවිතය ජය ගැනීම මහත් අභියෝග රැසක් මැද ලබාගත් එකක් විය. ඒ ගමන සුව පහසු නැත. බොහෝ කැප කිරීම් තුළින් ලබාගත් ඒ සුවිශේෂී ජයග්‍රහණ ගැන ඇති ආත්ම අභිමානය කියා පෑමට ඇයට ඕනෑ තරම් දේ පැවැසිය හැක. එම සුවිශේෂී ආත්ම අභිමානය සහ ඒ ගැන ලංකාවේ කාන්තාවන්ට දෙන මගපෙන්වීම ගැන අදහස් දක්වමින් ඇය මෙසේ කීවාය.
“ඇත්තෙන්ම මම උසස් පෙළට ජපන් භාෂාව තෝරගත්තේ මගේ දෛවයට තමයි. එදා ජපන් යන්න ඕනෑ කියලා අම්මට කියද්දී අම්මා, අප්පච්චි මට විරුද්ධ වුණේ නෑ. එයාලා මට ඒ වෙනුවෙන් උදව් කළා. මගේ ආදරණීය ගුරුතුමිය ජුන්කො අබෙ ගුරුතුමිය මට මග පෙන්නුවා. හැමදාම මට මගේ ගුරුතුමිය කිව්වේ අපි අපේ වාසනාව මිට මොලවලා අල්ලගන්න ඕනෑ. ඒකට පැනලා යන්න දෙන්න නරකයි. අපි ඒ වෙනුවෙන් උත්සාහවන්ත වෙන්න ඕනෑ කියලා. ඇත්තටම මගේ ජීවිතේට අමතක නොවන ඒ වචන ටික මම නැවත නැවතත් නිතරම සිහිගන්වනවා. මම ඇයට ණයගැතියි. ඇයගේ ඒ වචන ඉදිරියට යන්න ශක්තියක් වුණා. ඒ වගේම මගේ පවුලේ අය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මගේ පවුලේ වැඩිමලා මම. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මගේ අප්පච්චි අම්මා ඉන්නවා. මගේ ලොකු මල්ලි ලංකාවේ වෛද්‍යවරයෙක්. චූටි මල්ලි ජීවතුන් අතර නෑ. මගේ අම්මත් දැන් ජීවතුන් අතර නෑ.”
“බෞද්ධ පරිසරයක හැදී වැඩුණු නිසා හොඳ නරක දන්න තරුණියක් ලෙස මම ජපානයට ආවේ. නිතරම ගැටුණේ ජපන් පරිසරය හා ඒ සංස්කෘතිය සමග නිසා ඉකමනින්ම ඒ රටට හැඩගැහුණා. ඒ කාලයේ දුක හිතෙන දේ සිදු වුණාට ඒ ගැන හිත, හිතා අඬ අඬා හිටියෙ නෑ මම. මම දුක අමතක කළේ වැඩ කරලා. මට පවුලේ අයව බලන්න යන්නත් බැරි වුණා. එයාලා සමග මතක සටහන් හැමදාම මාව ජීවත් කළා. ඒ නිසා හැමදෙයක්ම හිතේ තියාගෙන මම මගේ අරමුණට ගියා. අධ්‍යාපනය සඳහා පැමිණි නිසා, ඉගෙන ගන්න ගමන් පාට් ටයිම්වල නිරත වෙලා අමතර වියපැහැදම් සොයා ගත්තා. ඇත්තෙන්ම මට සතුටුයි මට ලැබුණු අභියෝග මම හැම එකක්ම සාමාන්‍ය දෙයක් වගේ බාරගත් නිසා. මම ඒවා මහා බරපතළ ප්‍රශ්න විදිහට හිතුවේ නෑ. අදත් මම අව්වේ දාඩිය පෙරාගෙන වැඩ කරනවා. මගේ යාළුවෝ සමහර අය මගෙන් අහනවා ඇයි ඔයා ඔච්චර දුක් විඳින්නේ කියලා. මට එයාලගෙන් අහන්න තියෙන්නේ, ඇයි ඔයාලට මම කරන දේවල් දුකක් විදියට පේන්නේ කියලා. සමහරවිට අපි බෞද්ධයන් විදිහට ගැඹුරින් කතා කළොත් මේක දුකක් වෙන්න ඇති. නමුත් එතැන ජය ගැනීම තමයි උත්සාහය කියලා කියන්නේ. මට දවසම ලස්සනට ඉඳගෙන, කකුලක් පිට කකුලක් දාගෙන වැඩක් නොකර කාලය ගෙවන්න පුළුවන් ආර්ථික ශක්තියක් වටපිටාවක් තිබෙනවා. නමුත් මම එහෙම කාලය කන්න කැමැති නෑ. මම සතුටු වෙන්නෙ වැඩ කරලා. ඒ නිසා මට අභිමානයෙන් කියන්න පුළුවන් මම ජීවිතයේ එන හැම අභියෝගයක්ම බාරගෙන සතුටින් ගෙවනවා කියලා.”
ජපන් කෘෂිකර්මාන්තයෙන් මෙරට කෘෂිකර්මාන්තයේ නියැළි අයට ගත හැකි ආදර්ශ බොහොමයක් ඇති බව උදාරා කියා සිටියාය.
“ලංකාවේ කෘෂිකර්මාන්තය ගැන මට කතා කරන්න අමාරුයි. මොකද ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියැළෙන අයට ලැබිය යුතු මූලික පහසුකම් ඔවුන්ට ලැබෙන්නෙ නැහැනේ. එ් නිසා ඔවුන්ට එය සාර්ථක කරගන්න හුඟක් අමාරුයි. හැමදාම අසරණ හඬවල් තමයි ඇහෙන්නේ. බලා හිටියාට රජය කිසිම දෙයක් නොකරනවා නම් ගොවියන් විසින්ම නැගිටින්න ඕනෑ කියලා මම හැමදාම හිතන්නේ. මුලින් මුදල් හොයන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අවශ්‍ය අත්තිවාරම හැමෝම එකතු වෙලා දැමිය යුතුයි. හොර හිතින් කපටිකමින් කරන්න ගියොත් සාර්ථක වන්නේ නැහැ. කොහොමත් ගන්න තියෙන ආදර්ශ නම් එමටයි. පොඩි දේකටත් ගරහන්නේ නැති, අනිත් අයට හිනා නොවී එකමුතුව නගාසිටුවන්න, නැගී සිටින්න පුළුවන් නම් ජපානය වගේ රටවල් වුණත් ලංකාවට තියෙන විශ්වාසය වැඩි වෙනවා.”
“මම දෙයක් සඳහන් කිරීමට කැමැතියි. ඒ, ජපන් රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කරන ගෙවිලියන් ව්‍යාපෘතියේ සාමාජිකයකු ලෙස මම කටයුතු කරනවා. එහි සාමාජිකයකු විය හැක්කේ ස්වකර්මාන්තයක් ලෙස කෘෂිකර්මය කරන කාන්තාවන්ට පමණයි. එතැන සිටින හැමෝම ජපන් ජාතික කාන්තාවන් තම සැමියාගේ කෘෂිකර්මය පෙරමුණු කරගෙන ආරම්භ කළ අය හෝ තම දෙමව්පියන්ගෙන් ලැබුණු දායාදයෙන් කෘෂිකර්මය ආරම්භ කළ අය. උදැල්ලේ ඉඳන් අලුතින්ම අරන් තනිවම ආරම්භ කළ කෙනකුට මම විතරයි එතැන ඉන්නේ. අනික ජපානයේ නරා ප්‍රාන්තයේ පළමු විදේශික ගෙවිලිය මමලු. මුළු ජපානෙටම මම වගේ විදේශික කිහිප දෙනෙක්ම ඉන්නවා.” යැයි ඇය අවසානයේ සඳහන් කළේ හිස උදුම්මා නොගත් නිහතමානී කාන්තාවක ලෙසය.
සටහන
තිළිණි ද සිල්වා
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජපානයට ගිහින් සරුවට වවන ලංකාවේ උදාරා
Mangala Saturday, 14 August 2021 02:58 PM
ආඩම්බරයක් දැනෙනවා ලංකාවේ කෙනෙක්ගේ සාර්ථකත්වය ගැන. මේ ලිපියෙන් හොඳ විස්තරයක් දීලා තියෙනවා කොහොමද සාර්ථක ගොවියෙක් නිර්මාණය කරන්න ජපාන රජය ගන්න ක්‍රියාමාර්ග ගැනත්....
pakeer Saturday, 14 August 2021 10:46 PM
දියුණු වෙන්න නම් හැමෝවම අතහරින්න ඕනේ. තමන් ගැන විතරයි හිතන්න ඕනේ. මා එක්ක හැමෝම විරුද්ධ වේවි. හුඟක් අය... ඒත් ඒකයි ඇත්ත.. හැබැයි මම නම් තාම මගේ දෙමව්පියන්ව බලාගන්නවා. මම ඉන්නේ ලංකාවේ..
Mangala Sunday, 15 August 2021 06:06 AM
දිරිය දැරිය... ලොකු අඩම්බරයක්.. උත්සාහවන්තයා ජයගනී. ලංකාවේ අයට හොඳ ආදර්ශයක්...
චමින්දSunday, 15 August 2021 05:38 PM
ලංකාවේ අයට නොවෙයි ලංකාවේ කෘෂිකර්මයට සම්බන්ධ සැමටම ආදර්ශයක්. මෙම දියණිය කොතෙක් කලක් ඒ වෙනුවෙන් කිසිම ආදායමක් නැතිව මහන්සි වී පුහුණුව ලබා තිබේද සිතන්න. මේ රටේ මෙහෙම දේ වෙනවද? බලන්න මේ රටේ කිසිදා කුඹුරකට තියා කිසිම ගොවිපලකට නොගිය ගොවිතැනට කිසිත් නොකරන කෘෂිපර්යේෂකයින් නගරවල තුන්රෝද පදවනවා නේද කියලා...
Wikkamabahu karunaratne Sunday, 15 August 2021 09:36 AM
අනේ මන්දා...!
HAD jayathissa Hettiarachchi Sunday, 15 August 2021 12:50 PM
හොඳයි, නංගි... ! ඔයාගේ ගොවිපළට බුදුසරණයි..
PA - RA Sunday, 15 August 2021 10:12 PM
නියම නම ඇස්පැරස්ගා හරිම ගනන්, බලුකිස්ථාන්, රශියා, ජපන්, කැනඩා වගේ රටවල තියනවා, ඊට වඩා වටිනවා ලංකාවේ කැරන් කොකු එහි වර්ග 2 ක් තියනවා, ගෝල්ඩ් සහ සිල්ව හරිම රසයි ගුනයි.
Rohitha rajakaruna Monday, 16 August 2021 09:54 AM
මේ රටින් කුමන හෝ ක්‍රමයකට වෙන රටකට යන්න පුලුවන් වන ගොඩක් අය ජීවිත ජය ගන්නවා.. හේතුව තමන් තනිවීම හා තරඟකාරි රටකට පිවිසීම (විශේෂයෙන් බුද්ධිමතුන් රට පාලනය කිරීම නිසා මිනිසුන් විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන්) දිරිය යෞවනියක් වන අැය රටට අභිමානයක්... තෙරුවන් සරණයි...
මිහිරාජ් ප්‍රියන්ත Monday, 16 August 2021 12:21 PM
උදාරා, මට හරිම සතුටුයි ඔයා ඉන්න තැන ගැන හිතන කොට.... ඔයා හරිම උත්සාහවන්ත ගැහැනියක්... ඔයා කෑගල්ලේ උන එක ගැන අපිට ආඩම්බරයි.... ඔයාට බුදුසරණයි.... .
chandima Tuesday, 17 August 2021 10:55 PM
වැඩේ නම් හොඳට කරගෙන යනවා තමයි. ඒත් කතාව බලපුවාම පේන්නේ ගෙදරට වෙලා ඉන්නේ නැතිව මොනවා හරි කරන්න කියලා බලහත්කාරයෙන් මේ වැඩේට යවලා වගේ... නැතුව සිය කැමැත්තෙන්, දැඩි උනන්දුවකින්, වගාවට ඇති ඇල්මෙන් වැඩේට බැහැලා නෙවෙයි..
සෙනරත් Wednesday, 18 August 2021 11:09 AM
ෆට්ට කතාවක්...ඇත්තටම මැය දුක නැතිකරපු සෝවාන් වූ කාන්තාවක්