IMG-LOGO

2025 මාර්තු මස 07 වන සිකුරාදා


ජාතික ආරක්ෂාව සුරක්ෂිතද?

අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ කණ්ඩායම් ඇතුළුව, ඇතැමකු තර්ක කරන්නේ මෙම පාතාල ක්‍රියාකාරකම් මගින් අප රටේ ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්ව ඇති බවයි.

තවත් කොටසක් එය ජාතික ආරක්ෂාවට නොව මහජන ආරක්ෂාවට තර්ජනයක් බව ප්‍රකාශ කරති. බ්‍රිතාන්‍යයන් මෙරටට නිදහස ලබාදීමට ආසන්න අවස්ථාවේදී මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී. එස්. සේනානායක මහතා වරක් ප්‍රකාශ කළේ ජාතික ආරක්‍ෂාවෙන් තොරව ලබා ගන්නා නිදහස පළ රහිත බවයි. රටක් ලෙස අපි දීර්ඝ කාලයක් ජාතික ආරක්ෂාවටත් මහජන ආරක්ෂාවටත් දැඩි අභියෝග පැවති යුග කිහිපයක් පසුකරමින් ඉදිරියට යෑමට උත්සාහ දරමින් සිටිමු. එහෙයින් ගොඩනැගී ඇති ජාතික ආරක්‍ෂාව පිළිබඳ විමසීම කාලෝචිතය. එයට හේතුව ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව රටේ ස්ථායිභාවය, සංවර්ධනය සහ ජනතා ආරක්ෂාව සඳහා ඉතාවැදගත් දායකත්වයක් සපයන බැවිනි.

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව යනු කුමක්දැයි විමසීමේදී පෙනීයන්නේ ඒ පිළිබදව එක් නිශ්චිත අදහසක් ඉදිරිපත් කළ නොහැකි වුවද, පොදුවේ ජාතික ආරක්ෂාව යනු රටකට අභ්‍යන්තරිකවත් බාහිරවත් ඇති අවදානම, අනතුරු සහ තර්ජන වැළැක්වීම සහ ආරක්ෂාව තහවුරු කිරීමයි. ශ්‍රී ලංකාව මේ මොහොතේ මේ ආකාර ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයකට හෝ අභියෝගයකට මුහුණ දී ඇති බවට කරනු ලබන තර්ක දෙස බලන විට පෙනී යන්නේ සමාජය තුළ සිදුව ඇති යම් යම් සිදුවීම් විග්‍රහ කිරීම උදෙසා එවැනි කථිකාවක් නිර්මාණය වී ඇති බවයි. තත්වය එසේ වුවද ජාතික ආරක්ෂාව වඩා පුළුල් සංකල්පයක් වන අතර එය රටක බාහිර සහ අභ්‍යන්තර ස්වාධිපත්‍යය සමගත්, දේශසීමාව සහ අනන්‍යතාව වැනි විවිධ කාරණා සමගත් සම්බන්ධ එකකි. සීතල යුද්ධයේ අවසානයත් සමගින් එය මානව සුරක්‍ෂිතාව හා වඩාත් සමිප වෙමින් පවති.

ජාතික ආරක්ෂාව අංශ කිහිපයක් ඔස්සේ විග්‍රහ කළ හැකිය. පළමුව රටක භූමිය, ගුවන සහ නාවික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව තහවුරු කර පවත්වාගෙන යාමේ දී අත්‍යවශ්‍යයෙන්ම මූලික වන කාරණාවේ. පලස්තීනය ඇතුළු මැදපෙරදිග රටවල් රැසක් ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ මුහුණ දී ඇති අනාරක්ෂිතභාවය, යුක්රේනය සහ රුසියාව අතර යුද්ධයෙන් නිර්මාණය කර ඇති වාතාවරණය, චීනයේ ආක්‍රමණගීලී හැසිරීම හමුවේ තායිවානය වැනි රටවල් පත්ව ඇති තත්වය මේ සම්බන්ධව ඉදිරිපත් කළහැකි කදිම නිදසුන් ය.

මෙරට දශක තුනකට වැඩි කාලයක් පුරා පැවති එල්.ටී.ටී. සංවිධානය සහ ආණ්ඩුව අතර පැවති යුද්ධය නිසා භූමියට මෙන්ම රටවටා මුහුදු සීමාව කෙරෙහි ද  අනාරක්ෂිත බවක් නිර්මාණයවීම හමුවේ ජාතික ආරක්‍ෂාව තර්ජනයකට ලක්ව තිබිණ. තවද හැත්තෑව සහ අසුව දශකය තුළ බලයේ සිටි ආණ්ඩු පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් අතර පැවැති ගැටුම් සහගත තත්වය මෙන්ම පාස්කු දින ප්‍රහාරය මගින්ද ජාතික ආරක්‍ෂාව අභියෝගයට ලක්විය. දෙවැනුව ජාතික ආරක්ෂාව සම්බන්ධ තවත් පැතිකඩක් නම් රට තුළ මෙන්ම ඉන් බැහැරව නිර්මාණය වී ව්‍යාප්ත වන ත්‍රස්තවාදී ක්‍රියා සහ ජාත්‍යන්තර මැදිහත්වීම් කළමනාකරණය කිරීමය. පසුගිය කාලයේ අප අත්දකින ලද කාරණයක් වන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හරහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, ආයුධ වෙළදාම වැනි දෑ රටේ ආරක්ෂාවට එල්ල කළ තර්ජනයි. විශේෂයෙන්ම ලෝකයේ බොහෝමයක් රටවල් මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ වෙ​ෙළදාම අප රට මුහුණදී ඇති තවත් ප්‍රධානතම අභියෝගයකි. ඊට සම්බන්ධ සංවිධානත්මක කණ්ඩායම් දේශපාලකයන් සහ ඔවුන්ගේ බලපුළුවන්කාරයන් සමග එක්වී සිදු කරන ක්‍රියාකාරකම් හේතූවෙන් වෙඩිඋණ්ඩ සහ පිහි ඇනුම්වලින් තොර නිදහස් සහ ගෞරවාන්විත ජීවිතයකට ඇති අයිතිය අභියෝගයකට ලක්ව පැවැතීම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මගින් තීව්‍ර කෙරිණි.

එක් අතකට මෙරට මැතිවරණ ක්‍රමයට මනාප ක්‍රමය හදුන්වාදීමෙන් අනතුරුව පාතාල කල්ලිවල ක්‍රියාකාරීත්වයේ යම් වර්ධනයක් සිදුවූවා පමණක් නොව පසුගිය කාල පරිච්ඡේදය තුළ මෙරට නීතීය ක්‍රියාවට නංවන ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ සහයෝගයද පාතාල කල්ලිවල වර්ධනයට හේතූවක් වී තිබේ. අනෙක් අතට සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂවල බලය බිඳ වැටිම සහ බලවත් පුද්ගලයන්ගේ බලය බිඳ වැටීමද පාතාලය හිස එසවීමට තවත් හේතූවක් වී තිබේ. මෙවැනි බොහෝ ක්‍රියාකාරකම් මගින් මුදල් විශුද්ධිකරණය වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් තීව්‍ර කරන අතරම එය ආර්ථික හා සමාජ ප්‍රගමනයට තර්ජනයක් ද මතුකර ඇත. එවැනි ක්‍රියාකාරකම් වර්ධනය වීමෙන් ජාතික ආරක්ෂාව අනතුරකට ලක්විය හැකිය.

ජාතික ආරක්ෂාව සම්බන්ධ තවත් පැතිකඩක් නම් ස්වාභාවික සහ මිනිසා විසින් නිර්මාණය කරන ලද ආපදා සහ අර්බූද මෙන්ම මහා පරිමාණ ආර්ථික අවපාතවලින් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ වගකීමය. රටක් ලෙස අප බොහෝ අර්බුදවලට මුහුණ දෙමින් සිටින අතර ජල ගැලීම්, නාය යෑම්, ඉඩෝර මෙන්ම වසංගත වැනි ස්වාභාවික ව්‍යසන නිසා පීඩා විඳින ජන කණ්ඩායමකි. අනෙක් අතින් දේශපාලන කළමානකරණ ගැටලු‍ සහ වෙනත් හේතු නිසා නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදවලින් ද අපි බැටකමින් සිටිමු. කෙසේ වෙතත් පොදුවේ ජාතික ආරක්ෂාව යන්නෙන් අදහස් වන්නේ රටක ජීවත්වන ජනතාව ප්‍රීතිමත්ව සහ ගෞරවාන්විත ලෙසත් අනාරක්ෂිත හැගීමකින් තොරවත් නිදහසේ ජීවත්වීමටත් ඇති පරිසරයක් සුරක්ෂිත කර ඇති තත්වයකි.

ජාතික ආරක්ෂාව සම්බන්ධව මෙරට මුහුණදෙන තවත් අංශයක් වන්නේ සයිබර් ආරක්ෂණයයි. එනම් ජාතික තොරතුරු පද්ධතිවල ආරක්ෂාව තහවුරු කර පවත්වාගෙන යාමයි. විශේෂයෙන් වේගවත් ගමනක් සහිත තොරතුරු තාක්ෂණය පදනම් කරගත් වර්ධනය හමුවේ ජාතික මට්ටමේ තොරතුරුවල ආරක්ෂාව පවත්වාගැනීම අභියෝගයක්ව පවතී. 

රටක ජාතික වත්කම් ආරක්ෂා කර පවත්වාගෙන යාම, ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යාම ඇතුළු තවත් බොහෝ අංශ ජාතික ආරක්ෂාවේ කොටස්ය. ජාත්‍යන්තර මට්ටමින් ගොඩනගනු ලබන විවිධ ගිවිසුම් සහ එකගතා මගින් අතීතයේ රට අභ්‍යන්තරයේ ගැටලු‍ නිර්මාණය වී පැවැති අවස්ථා ද දැකිය හැකිවිය. විශේෂයෙන් ජාතියේ විවිධ සම්පත්වල හිමිකාරිත්වය සහ පාලනය පවරා ගැනීම මගින් පිටස්තර රටකට හෝ ආයතනයකට රටේ ඇතැම් අභ්‍යන්තර කටයුතු මෙහෙයවීමට අවසර ලබාදීම මගින් මෙවැනි වාතාවරණ නිර්මාණය විය. මේ ආකාරයට බලන විට පෙනී යන්නේ ජාතික ආරක්ෂාව යනු ඉතා පුළුල් මෙන්ම බහුමානීය කාරණාවක් වන රාජ්‍යයේ නියෝජිතයා වන ආණ්ඩුව සිදුකළ යුතු ප්‍රධානතම කාර්යයන්ගෙන් එකක් වන්නේ ජාතික ආක්‍ෂාව සුරක්‍ෂිත කර පවත්වාගෙන යාමයි.

මහජන ආරක්ෂාව ජාතික ආරක්ෂාව තරම් පුළුල් එකක් ලෙස විග්‍රහකළ නොහැකිමුත් ජාතික ආරක්ෂාව උදෙසා එය ඉතාවැදගත් වන බව පෙන්වා දිය හැකිය.  මහජන ආරක්ෂාව යනු පොදු ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම හරහා සාමය තහවුරු කිරීමය. මහජන ආරක්ෂාව පිළිබද දැඩි කථිකාවක් ලෝකය තුළ නිර්මාණය වන්නේ 1648 වෙස්ට්ෆේලියා සාම ගිවිසුම අත්සන් කිරීමට ආසන්න යුගයේදීය.

ඒ වන විට රෝම අධිරාජ්‍යය පෙරටු කරගත් යුරෝපය තුළ ජාතික රාජ්‍යයක අවශ්‍යතාව පෙන්වා දුන්නේ පුද්ගල නිදහසට එල්ල වී තිබූ තර්ජන නවතා ගැනීමේ මගක් ලෙසිනි. විශේෂයෙන් තෝමස් හොබ්ස්, ජෝන් ලොක් වැනි දාර්ශනිකයන් අවධානය යොමු කළේ මහජන ආරක්ෂාවට එල්ල වූ තර්ජන නිසා රාජ්‍යයේ බිහිවීමට අවශ්‍ය එකඟතාව ජනතාව අතරින් ඉදිරියට පැමිණි බවයි. කෙසේ වෙතත් මෙමගින් පෙනී යන්නේ රාජ්‍යයේ බිහිවීම මහජන ආරක්ෂාවේ අවශ්‍යතාවක් ලෙස හදුනා ගන්නා ලද බවයි.  රටක ආණ්ඩුව ජාතික අරක්‍ෂාව මෙන්ම මහජන ආරක්‍ෂාව සහතික කිරීමට බැදී සිටී.

මේ දිනවල සමාජය තුළ නිර්මාණය වී ඇති සාකච්ජාවලින් පෙන්වා දෙන ප්‍රධාන කාරණයක් වන්නේ මහජන ආරක්ෂාවට යම් තර්ජනයක් මෙම සංවිධානාත්මක අපරාධ හරහා ගොඩනැගී ඇති බවයි. මෑත කාලීනව සිදුවූ පාතාල කල්ලිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විපක්‍ෂය ඇතුළු කණ්ඩායම් මතු කරන තර්කය සාධාරණ නොවේ. එයට හේතූව මෙම ක්‍රියාදාමය පාතාල කල්ලි සහ ඔවුන්ගේ සමිපතමයන් අතර සිදුවූවක් වන අතරම එමගින් සිවිල් සමාජයට සෘජු බලපෑමක් එල්ලකරමින් ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට එම හුදෙකලා සිදුවීම් අපොහොසත් වීමය. මෙම සිදුවීම් දෙස පරීක්‍ෂාකාරීව බැලීමේදී මෙම හදිසි ක්‍රියාකාරීත්වය පිටුපස යම් මට්ටමක දේශපාලන සබදතා පවතින්නේදැයි සැකයක් ද මතුවේ.

කෙසේ වෙතත් මහජන ආරක්ෂාව සම්බන්ධව ඇති ප්‍රධානතම කාරණය නම් මෙවැනි අපරාධ පාලනය කරමින් ඒවා වළක්වා ගැනීමට ආණ්ඩුවද ක්‍රියා කළ යුතු බවයි. මෑතකාලීන සිදුවීම් පරික්ෂාකරන විට දිස්වන ප්‍රවණතා කිහිපයක් මෙම අපරාධවලට අදාළව නිරීක්ෂණය කළ හැකිය. බොහෝවිට මත්ද්‍රව්‍ය ජාවාරම හා කේන්ද්‍රගත කණ්ඩායම් කිහිපයක් අතර ඇතිවී තිබෙන ගැටුමක් ලෙස මෙකී තත්වය විග්‍රහ කළ හැකිය. නවීන උපායාත්මක ක්‍රම යොදාගනිමින් අධිකරණ සංකීර්ණ වැනි ස්ථාන ඉලක්ක කරගන්නා මට්ටමක් දක්වා ඉදිරියට පැමිණ තිබීම, ඉලක්කගත පුද්ගලයන්ට අමතරව තෙවැනි පාර්ශවවලට සිදුවන හානිය නොසලකා හැරීමක් දැකගත හැකි වීම සහ තරුණ පිරිස සහ කාන්තාවන්ගේ මැදිහත්වීම ඉහළගොස් තිබීම යනාදිය මෙම අපරාධ සම්බන්ධව නිරීක්ෂණය කළ හැකිය.

අපරාධ වර්ධනයවීම පාලනය කිරීමට ආණ්ඩුව වහා නිසි පියවර අනුගමනය කළ යුතුය. එසේ නොවුණහොත් පළමුව එය ආර්ථික සුරක්‍ෂිතතාවට බලපෑමක් එල්ලකළ හැකිය. එහි ප්‍රතිඵල සංචාරක කර්මාන්තය ඇතුළු බොහෝ අංශ කෙරෙහි සෘණාත්මක බලපෑමක් කරනු ඇත. අනතුරුව එයින් මහජන ආරක්‍ෂාවට සහ ජාතික ආරක්‍ෂාවට තර්ජන මතුවිය හැකිය. මෙකී තත්වයන් යහපත් මාවතකට ගෙන ඒම සඳහා මහජන සුරක්‍ෂිතාව සහතික කිරීමට නව ප්‍රවේශයක් කෙරෙහි ආණ්ඩුව අවධානය යොමුකිරීමට දැන් කාලය එළඹ තිබේ. තව ද වර්ධනය වෙමින් පවතින සයිබර් අපරාධ මර්දනය කිරීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමුකළ යුතුය.

මහජන ආරක්ෂාව සම්බන්ධ අනෙක් කාරණය නම් මහජන නොසන්සුන්තා සහ පොදු සාමයට හානිවන ක්‍රියාව පාලනය කරමින් නීතිය හා සාමය පවත්වාගෙන යාමයි. විශේෂයෙන් බහු වාර්ගික හා බහුආගමික රටක් ලෙස විවිධ ජනකොටස් අතර විරසකයන් ඇතිවන ආකාරයේ ක්‍රියාකාරකම්, සිදුවීම් පාලනය කිරීම වැදගත් ය. පසුගිය කාලයේ ඇතිවූ මාවනැල්ල සහ අලු‍ත්ගම වැනි ප්‍රදේශවල ඇති වූ සිදුවීම් මගින් මේ සම්බන්ධ පාඩම් උගත හැකිය. සාධාරණ මැතිවරණ, නිදහස් ජනමාධ්‍ය වැනි මූලධර්මීය පිළිගැනීම් මේ සඳහා අත්‍යවශ්‍ය වේ. මහජන ආරක්ෂාව පිළිබඳ අනෙක් අංශය වන්නේ ක්ෂණික ආපදා කළමනාකරණය කිරීමය. විශේෂයෙන් ගංවතුර, නායයෑම් වැනි අනතුරුවලින් ජනතාව ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

මහජන ආරක්ෂාව උදෙසා ක්‍රියාත්මක වන පොලීසිය, හමුදාව, ආපදා කළමනාකරණ ආයතන මෙන්ම යුක්තිය පසිඳලන ආයතන මනාව ක්‍රියත්මකවීමත් සම්බන්ධීකරණය පවත්වා ගැනීමත් අත්‍යවශ්‍ය වේ. ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්‍ෂාව අන්‍යාන්‍ය වශයෙන් එකට බද්ධවී තිබේ. මහජන ආරක්ෂාව නොමැතිව ජාතික ආරක්ෂාව හෝ ජාතික ආරක්ෂාව නොමැතිව මහජන ආරක්ෂාව හෝ පවත්වා ගැනීම පහසු නැත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ජාතික ආරක්ෂාව සුරක්ෂිතද?

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

ජාතික ආරක්ෂාව සුරක්ෂිතද?
2025 මාර්තු මස 06 36 0

අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ


අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලන අරගලය
2025 මාර්තු මස 05 132 0

ශ්‍රී ලංකාව තුළ ‘‘බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්”‍ සංසිද්ධිය නිර්මාණය කර ඇත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර පැවත


ගෝඨාභය යැව්වාද? ගියාද?
2025 මාර්තු මස 05 818 0

ගෝල්ෆේස් අරගලය සහ ඒ හේතුවෙන් රට තුළ ඇති වූ දේශපාලන පෙරළි පිළිබඳවත්, ඒවාට බලපෑම් එල්ල වූ දෙස් විදෙස් බලවේග පිළිබඳවත් කරුණු විස්තර කෙරෙන ග්‍රන්ථ කිහිපය


පාතාලය මැඬීමේ යුද්ධය
2025 මාර්තු මස 04 324 1

දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති නොනවතින ලේ වැගිරීම්වලින් පසු, 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදාවන් කොටි ගරිල්ලන්ට එරෙහිව ඓතිහාසික මිලිටරි ජයග්‍රහණය


අනෝතත්ත විල නෙළුම නෙලාලා
2025 මාර්තු මස 04 484 2

මේ ගීතය එදා පමණක් නොව අද ද ගුවන්විදුලි, රූපවාහිනී නාළිකාවලත් දළදා මාලිගය අභියසත් සුවහසක් රසික ජනයාගේ මුවගෙහිත් කොපමණ වාර ගණනක් ගායනා වන්නට ඇතිදැයි ගණ


අයවැයේ අනාගත පණිවිඩය
2025 මාර්තු මස 04 269 0

අයවැය යනු රටක වාර්ෂිකව ආදායම් සහ වියදම් පිළිබඳව ඇස්තමේන්තු කරමින් ඉදිරිපත් කරන නීත්‍යනුකූල ලියවිල්ලකි. රජයේ අදායම් සහ වියදම් සම්බන්ධයෙන් විස්තරාත්


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 146 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 484 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 550 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site