කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
එම අධිබලැති කාර් බෝම්බය පුපුරා යාමෙන් එකසිය දාහතර දෙනකු පමණ මියගොස්, හත්සිය පනස් දෙනෙක් පමණ බරපතළ තුවාල ලැබූහ.
බෝම්බය පුපුරා යාමත් සමඟම රක්ත වර්ණ ලෙයින් මුළු ප්‍රදේශයම පෙඟී යාමට ගත වූයේ නිමේෂයකි.
බැලූ බැලූ හැම තැනම දක්නට ලැබුණේ කැඩී බිඳී විසිරී ගිය මිනිස් සිරුරුවල කොටස්ය.
අවට සිසාරා පැතිර ගියේ බෝම්බය පුපුරා යෑම නිසා බරපතළ තුවාල ලබා අත් පා අහිමිව මර ළතෝනි දෙන එහෙමත් නැත්නම් මරණාසන්නව කෙඳිරි ගාන අයගේ වේදනාත්මක හඬවල්ය.
දොන් මැදගොඩගේ ඇන්ටනි මහතා පදිංචිව සිටින්නේ කුලියාපිටිය බෝවත්ත පාරේ දොඩම්පාවුල ප්‍රදේශයේය.
ඔහු බෝම්බ පිපිරීමෙන් තුවාල ලබන කාලයේ පදිංචිව සිටියේ කුලියාපිටිය උඩුබද්දාව පල්ලෙවෙල ප්‍රදේශයේය.
මේ වන විට 76 වන වියේ පසු වන ඇන්ටනි මහතා දෙදරු පියෙකි.
බෝම්බ පිපිරීමට ලක්වී බරපතළ තුවාල ලබන විට ඔහු පසු වී ඇත්තේ 38 වන වියේය.
බෝම්බයෙන් ජීවිතය බේරා ගත් ඇන්ටනි මහතා ගැන තොරතුරු පවසා ඔහු මට හඳුන්වා දෙනු ලැබුවේ කුලියාපිටිය, පල්ලේවෙල පදිංචි පාලිත වීරසිංහ මහතාය.
වින්කල් බාස් කෙනකු වූ ඇන්ටනි මහතා ලොතරැයිපත් මිලදී ගැනීම පුරුද්දක් වශයෙන් කරගෙන ඇත්තේ තරුණ කාලයේ පටන්ය.
කුලියාපිටිය නගරයේ ලොතරැයිපත් අලෙවි නියෝජිතයකු වන, ඒ කාලේ හෝටලයක් ද පවත්වාගෙන ගිය ශ්‍රියානන්ද මහතාගෙන් ලොතරැයිපතක් ඇන්ටනි මහතා මිලදී ගත්තේ නගරයට ගිය අවස්ථාවේදීය.
ඇන්ටනි මහතා පුරුද්දක් වශයෙන් මිලදී ගත්තේ ද මොහුගෙන්මය.
ලොතරැයිපතකට ජයග්‍රහණයක් හිමි වුවහොත්, කරගෙන යන වින්කල් වැඩපොළ වැඩි දියුණු කරගැනීම ඔහුගේ තිබුණු එකම සිහිනය විය.
පසු දින දිනපතා පුවත්පතක් ඇන්ටනි මහතා බැලුවේ තමන් මිලදී ගත් ලොතරැයිපතට ජයග්‍රහණයක් හිමි වී ඇත්දැයි දැනගැනීමටය.
වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන බලා සිටියේ ලොතරැයිපතක් ජයග්‍රහණය කරනු ඇතැයි සිතාය.
ඒ සිහිනය මල් ඵල ගන්වමින් ඔහු මෙදා මිලදී ගෙන තිබූ ලොතරැයිපතට මුල් දිනුම ඇදී තිබිණි.
ඇන්ටනි මහතාගේ මතකය අනුව ඒ ජයග්‍රාහි මුදල රුපියල් දසදහසක් වන අතර, ජයග්‍රාහි අංකය 18/S 50326 වේ.
ඒ කාලේ හැටියට එය ලොකු මුදලකි.
නිම් හිම් නැති සතුටකින් ඔහු ජයග්‍රාහි ලොතරැයිපත ද සාක්කුවේ දමාගෙන කෙළින්ම ගියේ ජයග්‍රාහි ලොතරැයිපත මිලදී ගත් අලෙවි නියෝජිත ශ්‍රියානන්ද මහතා මුණගැසීමටය.
“මහත්තයා කොළඹ යන වේලාවක මගේ ජයග්‍රාහි මුදල අරගෙන එන්න. මම යන්න අවශ්‍ය නැහැ. මට වින්කලයේ වැඩ තියෙනවා.” යැයි කියමින් ඇන්ටනි මහතා ලොතරැයිපත අලෙවි නියෝජිතයා අතට පත් කළේය.
ඒ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති ලොතරැයිපත් අලෙවි නියෝජිතයා, පසු දින එනම් 21 වැනිදා ජාතික ලොතරැයි මණ්ඩලයට යමු යැයි කියා යෝජනා කර ඇත.
ශ්‍රියානන්ද සහ ඇන්ටනි කුලියාපිටිය නගරයේ බස් නැවතුම්පොළෙන් 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා උදෑසනින්ම කොළඹ බලා යන බස් රථයකට ගොඩවූහ.
පිටකොටුව බෝ ගස ළඟින් බස් රථයෙන් බැස ගත් ඔවුන් තවත් බස් රථයක ගොඩ වී ජාතික ලොතරැයි මණ්ඩලයට ගොස් ජයග්‍රාහි මුදලට හිමි චෙක්පත ලබාගෙන ඇත.
“මමයි ශ්‍රියානන්ද මහත්තයායි චෙක්පතක් අරගෙන බැංකුවකට ආවා. ඒ බැංකුවේ අපේ ගම වන කුලියාපිටියේ පදිංචි වෙලා ඉන්න අපි හොඳට දන්නා හඳුනන නෝනා කෙනෙක් හිටියා. ඒ නෝනා ඒ වේලාවේම චෙක්පත මාරු කරලා සල්ලි ටික මගේ අතට දීලා පරිස්සමෙන් අරන් යන්න කියලා කිව්වා. ඒ මුදල මම ඇඳ සිටි කලිසම් සාක්කුවේ දමා ගත්තා.
අපි දෙන්නා බස් එකක නැගලා පිටකොටුවේ බෝ ගහ ළඟින් බැස්සා. පිටකොටුවෙන් බස් එකෙන් බහිද්දී හොඳටම හවස් වෙලා තිබුණේ. අපි දෙන්නා බස් ස්ටෑන්ඩ් එකට ගිහින් කුලියාපිටියට එන බස් එකකට පොර කාලා බොහොම අමාරුවෙන් ගොඩ වුණා. ඒ බස් එකේ හරියට සෙනඟ පිරිලා, ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ තිබුණේ නැහැ. හිටගෙන එන්නත් අමාරු නිසා වෙනත් බස් එකක එන්න හිතාගෙන දෙන්නාම බස් එකෙන් බිමට බැස්සා.” යැයි ඇන්ටනි මහතා පැවැසීය.
තවදුරටත් තොරතුරු හෙළි කරමින් ඒ මහතා මෙසේ ද කීය.
“අපි දෙන්නා තව බස් එකක් එනකම් බෝ ගහට නුදුරින් රැඳී සිටියා. එතැන පොලිස් නිලධාරින් දෙදෙනෙක් අශ්වයන් දෙන්නෙක් පිට නැගලා ජනතාව හසුරවමින් සිටියා. පාර අවහිර වෙන ලෙස කාර් රථයක් නතර කර තිබුණා. අපි දැක්කා හොඳට හැඳ පැලඳ ගත් අයෙක් කාර් රථයේ ඉදිරිපස අසුනෙන් බිමට බැස්සා. කාර් රථය එතැන නතර කර තැබීම නිසා මාර්ගය අවහිර වන බව පවසා කාර් රථය එතැනින් ඉවත් කරගන්නා ලෙස අශ්වයන් පිට නැගලා හිටිය පොලිසියේ මහත්වරු දෙන්නා කාර් රථයෙන් බිමට බැස්ස කෙනාට කිව්වා. ඒ බව අපි දෙන්නාටත් ඇසුණා. ඒ මනුස්සයා ඉංග්‍රීසි භාෂාවෙනුත් පොලිස් නිලධාරින් දෙන්නාට යමක් පැවැසුවා අපට ඇහුණා. දොස්තර මහත්තයකුගේ වැදගත් පෙනුමක් තමා ඒ පුද්ගලයාට තිබුණේ.
කාර් රථය ඉවත් කරගන්න යැයි කියා පොලිස් නිලධාරි මහත්වරුන් දෙන්නා කිව්වාම පෙට්‍රල් ඉවර වෙලා කාර් එක නතර වුණා, ඉක්මනට පෙට්‍රල් ටිකක් අරගෙන එන්නම් කියා කෑන් එකකුත් අතින් අරගෙන ඒ මනුස්සයා වේගයෙන් ඉදිරියට ගමන් කළා. අශ්වයන් පිට හිටපු පොලිස් නිලධාරින් දෙන්නා අපි දෙන්නාට කතා කරලා කිව්වා කාර් රථය තල්ලු කරලා වෙනත් තැනකට දාන්න කියලා. එහෙම කිව්ව පොලිස් නිලධාරින් දෙන්නා අශ්වයන් පිටේ නැගලා එතැනින් ඉවත්ව ගියා. අපි දෙන්නා ඒ කාර් එක තල්ලු කරලා ඒ අසල තිබූ ගොඩනැගිල්ලක් ළඟට දැම්මා.
මාරයාගේ හෝරාව එළඹෙමින් තිබුණේ ඒ අවස්ථාවේය.
නමුත් ඒ බවක් ඒ අවට සිටි කිසිවකු දැන සිටියේ නොමැත.
“මම ශ්‍රියානන්ද මහත්තයා ඉන්න තැනට පයින් එද්දී බස් රථයක් ඇවිත් හෝන් එක ගැහැව්වා. මම පාරේ මැද එන හින්දා මට අයින් වෙන්න කියා තමා හෝන් එක නාද කරලා තිබෙන්නේ. හෝන් එක ගහනවාත් එක්කම මම පාරෙන් ඉවතට පැන්නා. ඒත් එක්කම මහ හඬක් නංවමින් බෝම්බයක් පුපුරා ගියා. ඒ හඬට මුළු පළාතම දෙදරුම් කෑවා වගේ තේරුණා. එතකොට වේලාව සවස හතරයි පනහට විතර ඇති. සුළු මොහොතකින් බස් එකේ සිටි මගීන් මර ලතෝනි දුන්නා. බස් එක සුණු විසුණු වී ගියා. බස් එකට කවර් වීමත් එක්ක ඒ මහා බිහිසුණු හඬ ඇසුණා. පිපිරීමත් එක්ක මාව බිම ඇදගෙන වැටුණා. මගේ දකුණු පාදයට බෝම්බ පිපිරීමෙන් බලවත් හානි සිදු වී තිබුණා. මට නැගිට ගන්න බැරුව ගියා. කකුලෙන් ලේ ගලාගෙන යමින් තිබුණා.
ඒ, ඇන්ටනි මහතාගේ හඬයි.
බෝම්බය පුපුරා යෑමෙන් පිටකොටුවේ බෝධිය අවට තිබූ වෙළෙඳසල් කුඩු පට්ටම් වී ගොස් තිබුණේ ඒවායේ සිටි අය ද මරුමුවට පත් කරමිනි.
මම බිම වැටී වේදනාවෙන් කෙඳිරි ගාමින් ඉන්නකොට මගේ ළඟටත් එකෙක් ආවා. මගේ කලිසම් සාක්කුවට එපා කියද්දී අත දාලා ඒ සාක්කුවේ තිබූ ලොතරැයිපතෙන් ජයග්‍රහණය කර තිබුණු මුදල් ගත්තා. ‘මම දුප්පත් මිනිහෙක්, දරුවො දෙන්නෙක් ඉන්නවා. මට ලොතරැයියක් ඇදිලා ඒකෙ මුදල් තමා සාක්කුවේ තියෙන්නේ, අනේ ගන්න නම් එපා. මට කාලයක් යනකම් රස්සාව කරගන්න ලැබෙන්නෙත් නැහැ. එහෙම වුණොත් දරුවො දෙන්නවයි බිරිඳවයි ජීවත් කරන්න බැරිව යනවා. අපිට හාමතේ මැරෙන්න වෙයි’ කියා මම ඒ මිනිහට බැගෑපත් වුණා.
ඔහු මගේ කීම තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. ‘වෙන කවුරු හරි එකෙක් ඇවිල්ලා සල්ලි ටික ගන්න පුළුවන්, මම ඔයාට මේ සල්ලි ටික රෝහලේදී දෙන්නම්’ කියා බලහත්කාරයෙන් අරගෙන එතැනින් පැනලා යන්න ගියා. මේ නිසා මගේ අනාගත බලාපොරොත්තු සියල්ලම සුණු විසුණු වී ගියා.
කට්ටියක් එකතු වෙලා මාව ඔසවාගෙන වාහනයක නංවා කොළඹ රෝහලට එව්වා. දවස් දහයකට විතර පස්සේ තමා ගෙදර අයට මාව බලන්න ඉස්පිරිතාලෙට එන්න වුණේ. රෝහලේ ඉඳිද්දී තමා මාත් එක්ක ආපු ශ්‍රියානන්ද මහත්තයා බෝම්බෙට අහුවෙලා මියගිය බව දැනගත්තේ. ඔහු මරණයට පත්වෙලා කියලා දැනගත්ත මොහොතේ මට කියන්න බැරි තරම් වේදනාවක් ඇති වුණා. මගේ පපුව පලාගෙන යන්න ආවා. බොහොම අමාරුවෙන් තමා හිත හදා ගත්තේ. කොළඹ රෝහලේ ඉඳිද්දී මගේ කකුල ශල්‍යකර්මයකින් කපා ඉවත් කරන්න අවශ්‍ය බව අවස්ථා කිහිපයකදීම කිව්වා. නමුත් මම ඒකට කොහෙත්ම කැමැති වුණේ නැහැ. මාස දෙකක් කොළඹ රෝහලින් ප්‍රතිකාර ගත්තාට පස්සේ මාව කුලියාපිටිය රෝහලට රැගෙන ආවා.
ඒ කාලේ කුලියාපිටිය රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක් හිටියා එයාගේ නම මොහාන් ද සිල්වා මහත්තයා. ඒ විශේෂඥ වෛද්‍යවරයා මට ප්‍රතිකාර කරලා කකුල නොකපා බේරා ගත්තා. මාස හතරක විතර කාලයක් මම කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙදර ආවා. විශේෂඥ වෛද්‍ය මොහාන් ද සිල්වා මහතා නිසා තමා මම අදටත් දෙපයින් ඇවිදින්නේ. එතුමා දෙවි කෙනෙක් වගේ. අදටත් මම එතුමාව ගෞරවයෙන් සිහිපත් කරනවා.” යැයි ඇන්ටනි මහතා පවසයි.
නැවතත් ඔහු පුරුදු රස්සාව පටන්ගෙන ඇත්තේ බිරිඳ සහ දරු දෙදෙනා ජීවත් කිරීමේ වගකීම දෙවුර මත තබාගෙනය.
“බෝම්බයෙන් තුවාල වුණා කියා කිසිම වන්දියක් ලැබුණේ නැහැ.” යැයි ද ඒ මහතා අවධාරණය කළේය.
“මීට තිස්අට වසරකට ඉහතදී පිටකොටුවේ ඒ කාර් බෝම්බය පුපුරා යාමේ බිහිසුණු සිද්ධිය කවමදාවත් අමතක වන්නේ නැහැ. එදා බස් එකට කවර් නොවෙන්න මගේ ජීවිතේ බෝම්බයෙන් විනාශයට පත් වෙන්න බෙහෙවින්ම ඉඩ තිබුණා.” යයි ද ඔහු කියයි.
පොලිසියේ මහත්වරුන් දෙන්නාගේ කීමට එදා තල්ලු කර ඇත්තේ අධිබලැති බෝම්බයක් ඇටවූ කාර් රථය බව ඇන්ටනි මහතා දැනගෙන ඇත්තේ කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ඇන්ටනි මහතාගේ බිරිඳ චන්ද්‍රාණී ප්‍රේමලතා මහත්මිය මීට වසර එකොළහකට පමණ ඉහතදී මියගියාය.
ඇය සමුපකාර පරීක්ෂකවරියක ලෙස සේවය කළාය.
අවුරුදු හැත්තෑ හයක් ගත වී ඇතත් ඇන්ටනි මහතා තවමත් පුරුදු රස්සාව කරගෙන යයි.
ලොතරැයිය ජයග්‍රහණය කරලා ලැබුණු මුදල් ටික සිත් පිත් නොමැති පාපතරයකු විසින් බලහත්කාරයෙන් පැහැරගෙන නොයන්නට ඇන්ටනිලාට මීට වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසෙනවා නොඅනුමානය.
මේ ගැන ඇන්ටනි නම් කියන්නේ, අහිමි වූ දෙයක් ගැන කල්පනා කරමින් දුක් වෙනවාට වඩා ජීවිතය බේරා ගැනීමට හැකි වීම ගැන සතුටු වන බවය.
“මම තවමත් එක දිගට ලොතරැයිපත් මිලදී ගන්නවා. මේ ළඟදී දවසක රුපියල් ලක්ෂයක් ඇදුණා. රුපියල් පනස්දහසක මුදලකුත් ඇදී තිබෙනවා. තවත් පොඩි පොඩි ජයග්‍රහණ මට ලොතරැයිපත්වලින් ලැබී තිබෙනවා.” යයි ඇන්ටනි මහතා පැවැසුවේ සිනාසෙමිනි.
ඇන්ටනි කළ වීර ක්‍රියාවක් ගැන ද මෙහිලා විශේෂයෙන් සටහන් කළ යුතුය.
නිකවැරටිය පොලිසියට 1986 වසරේ දිනෙක එවකට උතුරු පළාතේ ක්‍රියාත්මක වූ ප්ලොට් නමැති ත්‍රස්තවාදි සංවිධානයේ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද ඝාතනය කර අවි ආයුධ පැහැරගෙන ගොස් තිබිණි.
එම ප්‍රහාරයට ආ ත්‍රස්තවාදිහු කිහිප දෙනෙක් පොලිස් ප්‍රතිප්‍රහාරවලින් මැරුම් කෑහ.
මෙම ප්‍රහාරයෙන් පසු මෙම ත්‍රස්තවාදි සංවිධානය කුලියාපිටිය මූලස්ථාන පොලිසියට ද ප්‍රහාරයක් එල්ල කර අවි ආයුධ පැහැර ගැනීමට සැලසුම් කර ඇති බවට පොලිස් බුද්ධි අංශවලට කල් තියා තොරතුරු ලැබී ඇත.
මෙම තොරතුර ලැබීමෙන් අනතුරුව ප්‍රදේශයේ වෙසෙන තරුණයන් සිවිල් ආරක්ෂකයන් ලෙස පොලිසියට බඳවා ගැනීමට කටයුතු කර ඇත්තේ ආරක්ෂාව දැඩි කිරීමේ අරමුණ ඇතිවය.
“මේ සිවිල් ආරක්ෂක අංශයට මමත් කැමැත්තෙන්ම බැඳුණා. මගේ අධ්‍යාපන සුදුසුකම් අනුව මාව මේ එක් කණ්ඩායමක නායකයා ලෙස පත් කළා. අපි දිවා රාත්‍රී දෙකේ ලොකු කැපවීමකින් අපට පැවැරී තිබූ රාජකාරිය ඉටු කළා.
රාත්‍රී කාලයේ මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කළා. දවසක් කුලියාපිටිය නගරයේ ඒ කාලයේ තිබුණු දෙමළ ව්‍යාපාරිකයකුට අයත් කඩේකට මම ගියා. ඒ කඩයේ දෙමළ තරුණයන් කණ්ඩායමක් සිටිනවා මම දැක්කා. මේ තරුණ කණ්ඩායම ගැන මට ඇති වුණේ බලවත් සැකයක්. මම වහාම මේ ගැන පොලිස් සැරයන් ආරියසේන මහත්තයාට කිව්වා. ආරියසේන මහත්තයා මේ බව එවකට කුලියාපිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත අබේරත්න මහතාට දැනුම් දී තිබෙනවා.
පොලිස් ස්ථානාධිපතිවරයා ආරියසේන සාජන් මහත්තයා ඇතුළු කණ්ඩායමක් සමඟ පැමිණ මාත් එක්ක එකතු වෙලා ඒ කඩය වටලා තුන් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. දස දෙනෙක් විතර පැනලා ගියා. අත්අඩංගුවට ගත් තුන් දෙනාගෙන් එක් අයෙක් ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකරුවෙක්. අනෙක් දෙන්නා කිලිනොච්චියේ සහ යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි අය. කුලියාපිටිය පොලිසියට ප්‍රහාරයක් එල්ල කර ආයුධ පැහැර ගැනීමට පැමිණි බව මේ අයගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කරගත්තා.” යයි ද ඇන්ටනි මහතා පැවැසීය.
බෝම්බ ප්‍රහාරයට ලක් වී බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව ඇන්ටනි මහතා සිවිල් ආරක්ෂක නිලධාරියකු ලෙස කරන රාජකාරියෙන් ඉවත් වී ඇත.
(***)
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
(බෝම්බයෙන් ජීවිතය බේරා ගත් ඇන්ටනි මහතා ගැන
තොරතුරු දුන් කුලියාපිටිය පල්ලේවෙල පදිංචි පාලිත වීරසිංහ මහතාට
‘ලංකාදීප’යේ විශේෂ ස්තුතිය.)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය