IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය අප්‍රේල් 03 වැනිදා ඒකක 349.84 කින්ද, හතර වැනිදා ඒකක 254.25 කින්ද, 07 වැනිදා ඒකක 712.90 කින්ද පහත වැටුණි. එම දින තුනේ සමස්ත අඩුවීම ඒකක 1316.99 කි. මෙම ඇමරිකානු තීරණය රටේ ආර්ථිකය කෙරෙහි ඇතිකරන තිබෙන බලපෑම ඒ තරම් විශාලය.

2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ලද භාණ්ඩවල මුළු වටිනාකම ඩොලර් මිලියන 346ක් විය. එම මාසයේදී එරටින් ශ්‍රී ලංකාව මිලදී ගත් භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 26ක් විය. ඒ අනුව, ඇමරිකාවෙන් එම මාසය තුළ මිලදී ගත් භාණ්ඩවලට වඩා ඩොලර් මිලියන 321ක භාණ්ඩ ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයනය කර ඇත. මෙය එක් මාසයක් තුළදී දෙරට අතර පැවැති වෙළෙඳ ගනුදෙනුවලදී ඇමරිකාවට අත්විඳීමට සිදුවූ වෙළෙඳ හිඟයයි. 2024 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 3.0 ක් වටිනා භාණ්ඩ අපනයනය කර තිබේ.

එසේ වුවද එම වසරේදී එරටින් ශ්‍රී ලංකාව ආනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 368ක් වටිනා භාණ්ඩ ප්‍රමාණයක් පමණි. ඒ අනුව, ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් මිලදී ගන්නා භාණ්ඩවලට වඩා ඩොලර් බිලියන 2.6ක් වටිනා භාණ්ඩ අප 2024 වසරේදී එරටට අපනයනය කර තිබුණි. ඇමරිකාව පසුගිය කාලය තුළදී මුහුණදුන් ප්‍රබල ගැටලුවක් වූයේ සමහර රටවල් විශාල ලෙස තම භාණ්ඩ එම රටට අපනයනය කරන නමුත් එම රටවල් ඇමරිකාවෙන් මිලදී ගන්නේ ඉතා අඩු භාණ්ඩ ප්‍රමාණයක් වීමය.

මේ ආකාරයට ආනයන අපනයන වෙළෙඳාමේ දී සමහර රටවල් සමග කෙරෙන ගනුදෙනුවලදී අතිවිශාල වෙළෙඳ හිඟයක් පැවතීම තම රටේ ආර්ථික පසුබෑමට මෙන්ම ආර්ථික අර්බුදයට ද හේතුවක් වී ඇති බව ට්‍රම්ප්ගේ අදහස වී තිබේ. එබැවින් තමන් වැඩිපුර භාණ්ඩ මිලදී ගන්නා රටවල් තමන්ගෙන් ද භාණ්ඩ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා ක්‍රමයක් ඇති කළ යුතුය යන්න ඔහුගේ මතය වී ඇත.

පසුගියදා ට්‍රම්ප් හඳුන්වා දෙන ලද නව ආනයන බදු ක්‍රමයේ අරමුණ වනුයේ ඇමරිකාවට විශාල වෙළෙඳ හිඟයකට මුහුණදීමට සිදුවන අයුරින් විදේශ වෙළෙඳාම පවත්වාගෙන යන රටවලට දැඩි කම්පනයක් දැනෙන පණිවුඩයක් ලබාදීමය. ඒ අනුව වෙළෙඳ හිඟයක් පවත්නා රටවලින් ඇමරිකාවට භාණ්ඩ අපනයනය කිරීමේදී ඉතා ඉහළ තීරුබදු නියම කිරීමට ඔහු කටයුතු කළේය.

ඉහතින් සඳහන් කළ පරිදි ඇමරිකාවට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර එරටින් ඉතා අඩු භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්නා රටවල් අතර ශ්‍රී ලංකාව ද ප්‍රමුඛස්ථානයක් හිමිකර ගෙන තිබේ. වාර්ෂිකව ඩොලර් බිලියන 2.5ක් වැනි වෙළෙඳ හිඟයක් පවත්නා විට එය ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් සම්බන්ධයෙන් වුවද විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව පෙන්වා දිය යුතුව ඇත. එයට හේතුව ඇමරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම අපනයන වෙළෙඳපොළ වුවද එරටින් අප මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණයේ සැළකිය යුතු වෙනසක් පසුගිය කාලපරිච්ඡේදය තුළම සිදුව නැති බැවිනි.

ශ්‍රී ලංකාව බොහෝ රටවල් සමග ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය කරගැනීම පිළිබඳව විවිධාකාරයේ එකඟතා ඇතිකරගෙන තිබේ. එසේ වුවද ඇමරිකාව සමග ද්විපාර්ශ්වීය වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එවැනි එකඟතා හෝ සාකච්ඡා ඵලදායී මට්ටමකින් සිදුව ඇති බවක් නොපෙනේ. එමෙන්ම ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන්නේ අඩු භාණ්ඩ ප්‍රමාණයක් වුවද ඒවා වැඩිකර ගැනීමට ශ්‍රී ලංකාව වෙත විශේෂ බලපෑමක් ඇමරිකාවෙන් සිදුවූ බවක් ද නොපෙනේ.

ඇමරිකාව සෑමවිටම ක්‍රියාත්මක වූයේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලදී නිර්බාධිත වෙළෙඳ ක්‍රමයක් පවත්වාගෛන යෑම සහතික කිරීම සඳහාය. එබැවින් සියලු කටයුතු වෙළෙඳපොළ මත නිදහසේ තීරණයවීමට ඉඩහැරීමට එම රජය කටයුතු කළේය. ලෝක වෙළෙඳ සංවිධානය ජාත්‍යන්තර වෙළෙඳාම අධීක්ෂණය කිරීම තුළ ජාත්‍යන්තර වෙළෙඳාම ඉල්ලු‍ම හා සැපයුම අනුව තීරණයවීමට ඉඩහැරීම සුදුසු බව එරට බොහෝ ජනාධිපතිවරුන්ගේ අදහස වූ බව පෙනේ.

ජපානය, යුරෝපා සංගමය සහ චීනය වැනි රටවල් සමඟ විශාල වෙ‌ළෙඳ හිඟයක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කළේය. එසේ වුවද ට්‍රම්ප්ගේ අදහස වන්නේ එම ක්‍රමය තුළ සමහර රටවල් අයුතු ලෙස කටයුතු කරන බවත්, එහි ප්‍රතිඵලය ලෙස ඇමරිකා ආර්ථිකය අර්බුදයකට ලක්වී ඇති බවත්ය.

ට්‍රම්ප්ගේ නව තීරුබදු ක්‍රමය අනුව වැඩිම බදු බරක් පනවා ඇති රටවල් අතර ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ගැනුම්කරු වන්නේ ඇමරිකාවයි. දෙවැනි ගැනුම්කරු වන්නේ යුරෝපා සංවිධානයයි. ඉන්දියාව, චීනය, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාණ්ඩ සැපයුම්කරුවන් වන නමුදු, එම රටවල් අපගේ භාණ්ඩවලින් සැළකිය යුතු ප්‍රමාණයක් මිලදී ගන්නේ නැත. ඇමරිකාව සහ යුරෝපා සංගමය අපේ ඇඟළුම්වලින් සැළකිය යුතු ප්‍රමාණයක් මිලදී ගනී.

එවැනි තත්වයක් තුළ අපගේ අපනයනවලට ඇමෙරිකා වෙළෙඳපොළේ දී සියයට 44ක බද්දක් ගෙවීමට සිදුවීම මගින් විශාල ආර්ථික කඩා වැටීමකට රට ගොදුරු වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ඇමරිකාව අනෙක් බොහෝ රටවලට ද ඉහළ තීරුබදු පනවා තිබෙන නමුත්, එම රටවල් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආකාරයේ ආර්ථික අර්බුදයකට මේ වනවිට මුහුණ දී සිටින්නේ ද නැත. පැවැති ආර්ථික අර්බුදයෙන් යාන්තමින් හිස ඔසවන්නට පටන්ගත් ශ්‍රී ලංකාවට ජනවහරේ කියවෙන ආකාරයට “කොරේ පිටට මරේ” තත්වයකට මුහුණදීමට සිදුව තිබේ.

1977 වසරේදී හඳුන්වා දුන් නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය යටතේ අපනයන කලාප ආරම්භ කිරීමෙන් පසු අපගේ ප්‍රධාන අපනයන අංශය බවට රෙදිපිළි හා ඇඟළුම් කර්මාන්තය පත්විය. 1991 වසරේදී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා හඳුන්වා දුන් ඇඟළුම් කම්හල් වැඩසටහන යටතේ ඇඟළුම් නිෂ්පාදන කර්මාන්තය විශාල ලෙස වර්ධනය විය. ඇඟළුම් කර්මාන්ත ආරම්භ කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සේවා වියුක්තිය ඉහළ මට්ටමක පැවති අතර, වැටුප් මට්ටම ද පහළ තත්වයක පවැතුණි. වැඩි වශයෙන්ම ශ්‍රම මූලික කර්මාන්තයක් වූ ඇඟළුම් කර්මාන්ත නිෂ්පාදන තරගකාරී ලෙස ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාවේ වැටුප් මට්ටම ඉහළ ගොස් තිබේ. එසේ වුවද අඩු මිලට ශ්‍රමය ලබාගත හැකි බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය, ලාඕසය වැනි රටවල් ද එම වෙළෙඳපොළේ තරගකාරීත්වයෙන් මේ වනවිට ඉහළ මට්ටමකට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවට තවමත් ඇඟළුම් වෙළෙඳපොළේ රැඳී සිටීමට හැකිවී ඇත්තේත්, එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශය බවට පත්ව තිබෙන්නේත් ගුණාත්මක බවින් ඉහළ ඇඟළුම් භාණ්ඩ නිපදවීමට ශ්‍රී ලංකාවට හැකිව තිබීම නිසාය. කෙසේ වුවද ජාත්‍යන්තර වෙළෙඳපොළේ දැඩි තරගකාරීත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සියයට 44ක ඉහළ තීරු බද්දක් යටතේ තරග කිරීමට හැකිද යන්න ගැටලුවකි. ට්‍රම්ප් මෙම තීරු බද්ද පනවන තුරුම ඒ පිළිබඳව අල්පමාත්‍ර හෝ අවධානයක් යොමු කිරීමට රජයට නොහැකි වූයේ මන්ද යන්න ගැටලු සහගතය. ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් රජයට තිබේ.

අපනයන ක්‍රියාවලිය සඳහාම ස්ථාපිත වූ දෙපාර්තමේන්තු සහ සංස්ථා ඒ යටතේ ක්‍රියාත්මක වේ. ජාත්‍යන්තර වෙළෙඳපොළ පිළිබඳව සහ එහි අනාගත ප්‍රවණතා පිළිබඳව අවධානය යොමු කිරීමේ වගකීම එම ආයතන වෙත පැවරී තිබේ. ඒ අතරම ජාත්‍යන්තර මූල්‍ය හා වෙළෙඳ අංශවල සිදුවන වෙනස්කම් පිළිබඳව රජයට උපදෙස් දෙන මූල්‍ය සහ ආර්ථික කටයුතු පිළිබඳ ආයතන ද රාශියක් පවතී. ඒ ඒ රටවල සිදුවන ආර්ථික හා සමාජීය වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටීම සඳහා විදේශ අමාත්‍යාංශය යටතේ පවතින තානාපති කාර්යාල ද ඒ රටවල තිබේ. කෙසේ වුවද මෙම ගැටලුව පිළිබඳව රජයේ අවධානය ‌යොමු කරවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඒ එකදු ආයතනයකින් හෝ පිටිවහලක් ලැබුණු බවක් නොපෙනේ.

ඒ අතරම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැනි පිරිස් මෙම තත්වය යටතේ ඉදිරියේදී ඇතිවන ආර්ථික අවදානම පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මේ සඳහා වහාම ක්‍රියාකිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි. කෙසේ වුවද රජයේ පාර්ශ්වය මේ වනතෙක් ඒ පිළිබඳව නිසි අයුරින් සැළකිලිමත් වූ බවක් නොපෙනේ. ඒ අතර තවත් ප්‍රහේළිකාවක් වන්නේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඕනෑම ප්‍රශ්නයකදී රටේ ආධාරයට ඉදිරිපත් වන බව මාධ්‍ය මගින් නිරන්තරයෙන් ප්‍රකාශ කරන ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග්ට සිදුව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳවය.

අපේ රටේ මානව හිමිකම් පිළිබඳවත්, අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳවත් මහා කැපවීමකින් කටයුතු කරන බව පෙන්වන ජුලි චන්ග්ට ඇය මතුපිටින් දක්වන ආකාරයේ සැබෑ හිතවත්කමක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින්නේ නම් මෙම ගැටලුව විසඳාදීමට මේ මොහොතේ මැදිහත්වීම ඇයට කළහැකි තීරණාත්මක කාර්යභාරයක් ලෙස ද සැළකිය හැකි වන්නේය.

වරින්වර ශ්‍රී ලංකාව මෙවැනි අර්බුදවලට මුහුණදී ඇත. 2010 අගෝස්තු මාසයේදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ඒ දක්වා ලබාදී තිබූ GPS+ සහනය කපා දැමුවේය. කෝවිඩ් වසංගත සමයේදී ඇඟළුම් කර්මාන්තය පවත්වා ගෙනයාම විශාල ගැටලුවක් බවට පත්වූ නමුදු ඒවා වසා නොදමා පවත්වාගෙන යාමට රජය කටයුතු කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් සමහර ඇඟළුම් නිෂ්පාදනවලට ලෝක වෙළෙඳපොළේ ඇති වූ විශාල ඉල්ලු‍මට නිෂ්පාදන සපයන ආකාරයට ඇඟළුම් කර්මාන්තයේ හැඩගැස්වීම් සිදුකරන ලදී. එබැවින් මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු දෙනා මෙම අවස්ථාවේ එකතු වී කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දිය යුතුව තිබේ.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 340 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 181 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 696 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 338 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 215 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


ශ්‍රී ලංකාවේ අපරාධ එදා සහ අද
2025 අප්‍රේල් මස 08 268 0

පාතාල ක්‍රියාකාරකම්වල හිස එසවීම, අපරාධ කල්ලිවල වර්ධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැඩි වශයෙන් සාකච්ජාවට ලක් විය. මෙකල අපරාධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 51 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site