IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආනයනය කරන සියලු‍ භාණ්ඩ සඳහා පුළුල් ප්‍රතිගාමි තීරුබදු (Reciprocal Tariffs) මාලාවක් ප්‍රකාශයට පත් කළේය. ඔහු මෙම දිනය “ඇමෙරිකාවේ විමුක්ති දිනය”‍ ලෙස නම් කළ අතර, චීනය, යුරෝපීය සංගමය සහ අනෙකුත් රටවල් විසින් තම රටේ සම්පත් වෙළෙඳාම ඔස්සේ සූරාකෑම සමඟ වර්ධනය වෙමින් පැවැති එක්සත් ජනපද වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා මෙම නව බදු අත්‍යවශ්‍ය බව තර්ක කළේය.

මෙම නව ප්‍රතිපත්තිය යටතේ, සමහර රටවල් පොදු සියයට 10 තීරුබදුවට පමණක් මුහුණ දෙන අතර, අනෙක් ඒවා ඉහළ, නිශ්චිත ප්‍රතිගාමි තීරුබදුවලට මුහුණ දෙනු ඇත. උදාහරණයක් ලෙස, එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ සිංගප්පූරුව වැනි ජාතින් සියයට 10ක මූලික තීරුබදුවට පමණක් මුහුණ දෙන අතර, ආසියානු රටවල් කිහිපයක් බොහෝ ඉහළ තීරුබදු බර දරනු ඇත. කාම්බෝජය සියයට 49, ලාඕසය සියයට 48, වියට්නාමය සියයට 46, ශ්‍රී ලංකාව සියයට 44, මියන්මාරය සියයට 44, බංග්ලාදේශය සියයට 37, තායිලන්තය සියයට 36 සහ චීනය සියයට 34ක් ඇතුළු රටවල් රැසකට තීරුබදු පැනවීමට සිදුවනු ඇත. මෙම තීරුබදු පැනවීම පිටුපස තිබූ ට්‍රම්ප්ගේ අදහස සරලය: “ප්‍රතිගාමි තීරුබදු (Reciprocal Tariffs) යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් අපට එය කරන අතර අපි ඔවුන්ට එය කරන්නෙමු.”‍ වැනි දෙයකි.

 

එක්සත් ජනපද වෙළෙඳ හිඟය සහ එහි ගෝලීය බලපෑම

අපනයනය කරන ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ආනයනය කරන ජාතියක් වශයෙන් එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ සැලකිය යුතු වෙළෙඳ හිඟයක් අත්විඳ ඇති අතර, 2024 දී, එක්සත් ජනපදය චීනය සමඟ ඩොලර් බිලියන 295.40ක සහ වියට්නාමය සමඟ ඩොලර් බිලියන 123.46ක විශාල හිඟයක් වාර්තා කළේය. මෙක්සිකෝව සහ අයර්ලන්තය, ජපානය, දකුණු කොරියාව සහ තායිවානය වැනි රටවල් සමඟ වෙළෙඳාම සමස්ත වෙළෙඳ හිඟයට වැඩි වශයෙන් හේතු වේ. ඊට අමතරව, 2024 දී එක්සත් ජනපදය එහි විශාලතම ආසියානු වෙළෙඳ හවුල්කරුවන් පස් දෙනා වන චීනය, ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ වියට්නාමය සමඟ ඩොලර් බිලියන 620කට වඩා ඒකාබද්ධ වෙළෙඳ හිඟයක් වාර්තා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදය ලෝකයේ විශාලතම වෙළෙඳ හිඟය දරන අතර, එය 2024 දී වාර්තාගත ඩොලර් ට්‍රිලියන 1.2ක් විය. ගෝලීය වෙළෙඳාමේදී ඉතා කුඩා රටක් වන ශ්‍රී ලංකාව සමඟ ද එක්සත් ජනපදය ඍණ වෙළෙඳ ශේෂයක් පවත්වාගෙන යන අතර, එය මේ වන විට ඩොලර් බිලියන 2.7ක් පමණ වේ.

දේශීය ආදායම් බදු පහත හෙළා ජනතාවට සහන දී එමගින් අහිමි වන ආදායම් බදු ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මෙම අධි තීරුබදු භාවිත කරන බව පැවැසීමෙන් මේ සඳහා රට තුළින්ම එල්ලවිය හැකි මහජන විරෝධය ට්‍රම්ප් දැනට පාලනය කරගෙන සිටී. විදේශීය භාණ්ඩ සඳහා ඉහළ තීරුබදු පැනවීමෙන්, ආනයන අඩු කිරීමට සහ දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට එක්සත් ජනපදය බලාපොරොත්තු වේ. කෙසේ වෙතත්, මෙම උපායමාර්ගය ඊටම ආවේනික දුර්වලතා සහ අවදානම් කිහිපයකින් යුක්ත වේ.

 

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියේ ආවේණික දුර්වලතා

විදේශ වෙළෙඳාම පිළිබඳ ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය න්‍යායාත්මකව ද ප්‍රයෝගිකව ද දෝෂ සහිත වන අතර, එය සියවස් දෙකක් තිස්සේ ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධව ස්ථාපිත ආර්ථික මූලධර්ම සහ වත්මන් ගෝලීය වෙළෙඳ ගතිකතාවන් නොසලකා හරියි. 1776 දී ඇඩම් ස්මිත්ගේ ජාතින්ගේ ධනයේ කාලයේ සිටම විදෙස් වෙළෙඳාම සඳහා බදු පැනවීම “අසල්වැසියා දුප්පත් කිරීමේ ප්‍රතිපත්ති” (begger the neighbor policies) ලෙස විවේචනයට ලක්ව ඇති අතර, වත්මන් ගෝලීය ප්‍රවණතාව වන්නේ, ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) නායකත්වය යටතේ ලිබරල් වෙළෙඳ තන්ත්‍රය කරා ගමන් කිරීමයි. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්ති මෙම ගෝලීය ප්‍රවණතාවෙන් දැඩි ලෙස විතැන් වීමක් නිරූපණය කරන අතර, දශක ගණනාවක් තිස්සේ ලබා ඇති ප්‍රගතිය ආපසු හැරැවීමට උත්සාහ කරයි.

මෙම බදුවලට එරෙහිව අනෙකුත් රටවල් ප්‍රතික්‍රියා නොකරන බවට ට්‍රම්ප් කරන උපකල්පනය ද ඉතා බොළඳය. උදාහරණයක් ලෙස, චීනය වැනි රටවල් දැනටමත් සිය තීරුබදු ඉහළ දමමින් ට්‍රම්ප්ට විරෝධය දක්වා ඇත. ජර්මනිය ප්‍රමුඛ EU රටවල් ද එක්සත් ජනපදයට විරෝධතා ප්‍රකාශ කර ඇත. සැලකිය යුතු පීඩනයකට මුහුණ නොදී එක්සත් ජනපදයට මෙම තීරුබදු පැනවිය හැකි බවට ඇති අදහස යථාර්ථවාදි නොවේ. ඊට අමතරව, මෙම තීරුබදු නිසා ඇති වන අභ්‍යන්තර උද්ධමන පීඩන සහ දේශීය පොලී අනුපාත ඉහළ යාම එක්සත් ජනපද ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අතර, එය ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව මහජන කැළඹීම් ඇති වීමට හේතු විය හැකිය. අධික වියදම් සහිත ආනයනික අමුද්‍රව්‍ය මත විශ්වාසය තබමින් එක්සත් ජනපද කර්මාන්ත සමෘද්ධිමත් විය හැකි බවට ට්‍රම්ප්ගේ විශ්වාසය හෝ එක්සත් ජනපදයට ආනයන පහසුවෙන් ආදේශ කළ හැකි බවට ඔහු උපකල්පනය කිරීම ද ඒ හා සමානව වැරැදි අවබෝධයකි. මන්ද, මෙය එරට කර්මාන්තකරුවන්ට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට සහ පාරිභෝගිකයන්ට දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ යාමට මුහුණ දීමට හේතු විය හැක. ආදායම් බදු බාහිර වෙළෙඳාම සඳහා බදු සමඟ ප්‍රතිස්ථාපනය කිරීමට ඔහු දරන උත්සාහය ද එතරම් ප්‍රායෝගික නොවේ.

 

ට්‍රම්ප්ට ගෝලීය ප්‍රතිචාර

ට්‍රම්ප්ගේ නිවේදනයෙන් පසුව, බ්‍රහස්පතින්දා වන විට ආසියානු සහ යුරෝපීය කොටස් වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතර, එමඟින් නිව්යෝර්ක්හි S&P 500 දර්ශකය සියයට 4.8කින් පහත වැටුණි. එය 2020 දී COVID-19 වසංගතයෙන් පසු එහි විශාලතම පහත වැටීමයි. සිකුරාදා මධ්‍යහ්නය වන විට ෆ්‍රැන්ක්ෆර්ට් කොටස් වෙළෙඳපොළ දර්ශක සියයට 5කින් පහත වැටුණි. පැරිසිය සියයට 4කට වඩා පහත වැටුණි. ලන්ඩනය සියයට 3.8කින් පමණ පහත වැටුණි. ටෝකියෝවේ නිකේයි දර්ශකය සියයට 2.8කින් පහත වැටුණු අතර, අගමැති ෂිගෙරු ඉෂිබා ට්‍රම්ප්ගේ තීරුබදු “ජාතික අර්බුදයක්”‍ ලෙස විස්තර අර්ථකථනය කළේය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පැය 48ක් ඇතුළත, සිකුරාදා චීනය එක්සත් ජනපද ආනයන සඳහා සියයට 34ක තීරුබදු පැනවීමෙන් ට්‍රම්ප්ගේ නව බදු පැනවීමට එරෙහි වූ පළමු ප්‍රධාන ආර්ථිකය බවට පත්විය. ඊට ප්‍රතිචාර වශයෙන්, චීනය ලෝක වෙළෙඳ සංවිධානයට (WTO) පැමිණිල්ලක් ගොනු කරන බවට එක්සත් ජනපදයට අනතුරු ඇඟවූ අතර, වෛද්‍ය තාක්‍ෂණයට සහ ඉලෙක්ට්‍රොනික උපකරණවලට අත්‍යවශ්‍ය දුර්ලභ මූලද්‍රව්‍ය සඳහා අපනයන පාලනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් නිවේදනය කළේය. මේ අතර, ප්‍රංශය සහ යුරෝපීය සංගමය ලොව පුරා රටවල් ඔවුන්ගේ විකල්ප වෙළෙඳපොළ සොයමින් සිටියි. වෙළෙඳ යුද්ධයක් හා ගෝලීය අවපාතයක අවදානම පිළිබඳ කනස්සල්ල මතු වෙමින් පවතී. ට්‍රම්ප්ගේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති WTO පවා පාලනය කිරීමට නොහැකි දිගු කාලීන ආරවුලක් බවට පත්විය හැකි අතර, නුදුරු අනාගතයේදී ගෝලීය වෙළෙඳාමේ සැලකිය යුතු හැකිලීමකට තුඩු දිය හැකිය.

 

ශ්‍රී ලංකාවට ඇති අභියෝගය

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් සඳහා, මෙම නව තීරුබදුවල බලපෑම විශේෂයෙන් හානිකරය. එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ අතුරින් වැඩිම ප්‍රමාණය නිර්මාණය කරන ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් කර්මාන්තය සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙනු ඇත. 2024 දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3කට ආසන්න භාණ්ඩ එක්සත් ජනපදයට අපනයනය කළ අතර, මෙම අපනයනවලින් සියයට 70කට වඩා ඇඟලු‍ම් අංශයෙන් ලැබුණි. කෙසේ වෙතත්, දැන් ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමත් සමඟ, ශ්‍රී ලංකා ඇඟලු‍ම් එක්සත් ජනපද වෙළෙඳපොළේ තරගකාරි නොවන තත්වයට පත්වනු ඇත. නව තීරුබදු ශ්‍රී ලංකා ඇඟලු‍ම්වල පිරිවැය අසාමාන්‍ය ලෙස වැඩි කරනු ඇති අතර, ඒවා එක්සත් ජනපද ආනයනකරුවන්ට සහ සිල්ලර වෙළෙන්දන්ට බෙහෙවින් මිල අධික වනු ඇත. මෙම මිල වැඩි වීම ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා ඇති ඉල්ලු‍ම සැලකිය යුතු ලෙස පහත වැටීමට හේතු විය හැකිය.

මෙම නව තීරුබදු ඇඟලු‍ම් අංශයට පමණක් නොව රබර් නිෂ්පාදන, පොල් නිෂ්පාදන සහ තේ වැනි ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන අනෙකුත් අපනයන සඳහා ද බලපානු ඇත. මෙම අංශ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට සහ රැකියා සඳහා අත්‍යවශ්‍ය වේ. ඇඟලු‍ම් අංශයේ පමණක් ඍජුවම 300,000කට ආසන්න පිරිසක් සේවයේ යෙදෙන අතර, වක්‍ර රැකියා හරහා තවත් 100,000කට ජීවනෝපාය සපයයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බිඳෙනසුලු‍ තත්වය සැලකිල්ලට ගත් විට, මෙම අධික බදු පීඩනය හමුවේ විදේශ සංචිත පහත වැටීම මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන් අසාර්ථක වී ආර්ථික අර්බුදය සමනය වීමට ගත වන කාලය දීර්ඝ විය හැකිය.

 

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට කළ හැකි දේ

ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් (FTA) සාකච්ඡා කිරීම සලකා බැලිය හැකි වුව ද, එය සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා අඩුය. එක්සත් ජනපද නිෂ්පාදන සඳහා සැලකිය යුතු වෙළෙඳපොළක් ලබා දිය හැකි විශාල ආර්ථිකයන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා එක්සත් ජනපදය ප්‍රමුඛත්වය දෙන නමුත්, ශ්‍රී ලංකාව සාපේක්ෂව කුඩා ආර්ථිකය සහ සීමිත අපනයන විභවය සමඟ, ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් එක්සත් ජනපදයට උපායමාර්ගිකව වැදගත් නොවේ.

විකල්පයක් ලෙස, ණය අර්බුදයක් හේතුවෙන් මෑතකදී බංකොලොත් බව ප්‍රකාශ කළ සහ යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරමින් සිටින රටකට විශේෂ සැලකිල්ලක් ලෙස එක්සත් ජනපදයට ඇඟලු‍ම් අපනයනය සඳහා GSP+ තත්වය නැවත ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ගවේෂණය කළ හැකිය. කෙසේ වෙතත්, එය ද සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට ඉඩ ඇත. ඊට සමගාමීව ලංකාව තුළ ක්‍රියාත්මක වන තීරුබදු හා අතිරේක බදු අඩු කිරීම හෝ ඉවත් කිරීම, විශේෂ භාණ්ඩ බදු (SCL) ඉවත් කරමින් සැලකිය යුතු සහන ලබා දීමට එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බලපෑම් කළ හැකිය.

මෙහිදී ද අවාසනාවකට මෙන්, WTO හි වඩාත්ම ප්‍රසාදිත ජාතිය (MFN) නීති යටතේ ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය විශේෂ කොට සැලකීමට ඇති හැකියාව සීමා කරයි. මන්ද, එක්සත් ජනපදයට ලබා දෙන ඕනෑම තීරුබදු සහනයක් අනෙකුත් WTO සාමාජික රටවලට ද ලබා දීමට MFN යටතේ ශ්‍රී ලංකාව බැඳී සිටී.

මෙම අභියෝග හමුවේ, මෙම තීරුබදුවල බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව විකල්ප උපායමාර්ග ගවේෂණය කළ යුතුය. පළමුවෙන්ම සහ ප්‍රධාන වශයෙන්, ශ්‍රී ලංකාව කලාපීය හවුල්කරුවන් සමඟ, විශේෂයෙන් නැගෙනහිර ආසියාවේ සහ අප්‍රිකාවේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා වැඩි වන ඉල්ලු‍මක් පවතින රටවල් සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කළ යුතුය. මෙම කලාපවල රටවල් සමඟ, විශේෂයෙන් ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොළ සමඟ දිගටම සාකච්ඡා කිරීම, ශ්‍රී ලංකාවේ අපනයන ගමනාන්ත විවිධාංගිකරණය කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. කෙසේ වෙතත්, මෙම උපායමාර්ග දිගු කාලීන වන අතර, එමගින් දැනට උද්ගතව ඇති ගැටලුව වහාම විසඳාගත නොහැකිය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව තම අපනයන නිෂ්පාදන සහ වෙළෙඳපොළ විවිධාංගිකරණය කිරීම සලකා බැලිය හැකිය. ඇඟලු‍ම් අංශය මත යැපීම අඩු කිරීමෙන්, ශ්‍රී ලංකාවට ගෝලීය වෙළෙඳ යුද්ධවල අස්ථාවරත්වයට එරෙහිව ආරක්ෂා විය හැකිය. තාක්ෂණය, සේවා සහ කෘෂිකර්මාන්තය වැනි ඉහළ වටිනාකමක් ඇති අංශ වෙත විතැන් වීම දිගු කාලීන වර්ධන විභවයක් ලබා දිය හැකිය. කෙසේ වෙතත්, මෙම විතැන් වීම සඳහා කුසලතා සංවර්ධනය, යටිතල පහසුකම් සහ නවෝත්පාදන සඳහා ආයෝජනය කිරීම අවශ්‍ය වනු ඇත.

සාරාංශයක් ලෙස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය අභියෝගාත්මක මාවතකට මුහුණ දෙන අතර, ට්‍රම්ප්ගේ තීරුබදුවල ක්ෂණික බලපෑම රටේ ප්‍රධාන අපනයන අංශවලට බරපතළ අවදානම් ඇති කරයි. ආර්ථික අර්බුදයකට මුහුණපා ඉන් තවමත් පීඩා විඳින අපේ රට එකසත් ජනපදය සමඟ සාකච්ඡා කර කිසියම් සහනයක් ලබා ගැනීමට උත්සාහ කරනවා විනා වෙනත් කෙටිකාලීන විසඳුමක් නැත. ඒ අතර අපනයන අභිමුඛ නිෂ්පාදනවල පිරිවැය පහත හෙළා ගැනීමේ උත්සාහයක් දැරිය යුතුය. එහෙත්, තීරුබදු සීමාවට මුහුණ දිය හැකි වන සේ නිෂ්පාදන පිරිවැය සියයට 30කින් පමණ පහත හෙළීම කිසි ලෙසකවත් කළ හැක්කක් නොවේ.

 

ට්‍රම්ප්ට තම උපායමාර්ගයෙන් ඉවත්වීමට ඇති හැකියාව

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිවල අතාර්කිකභාවය හමුවේ, එක්සත් ජනපදය ඉදිරියේදී මෙම උපායමාර්ගයෙන් ඉවත් වීමට ද ඉඩකඩක් නැතුවා නොවේ. දේශීය උද්ධමනය, ඉහළ යන පොලී අනුපාත සහ ආනයනික අමුද්‍රව්‍යවල පිරිවැය වැඩිවීම වැනි අභ්‍යන්තර පීඩන සමඟ උග්‍ර වන වෙළෙඳ යුද්ධය ට්‍රම්ප්ට එක අඩියක් පසුපසට ගැනීමට බල කළ හැකිය. අඩු වියදම් ආනයන මත යැපෙන එක්සත් ජනපද නිෂ්පාදකයන්ට ඉහළ නිෂ්පාදන පිරිවැයකට මුහුණ දීමත්, එමගින් පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලු‍ම අඩු වීමට හේතු වන අතර, අවසානයේ එරට ආර්ථික වර්ධනය අඩාළ වේ.

එපමණක් නොව, චීනය සහ යුරෝපීය සංගමය වැනි ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් ඇතුළු අනෙකුත් රටවල් විසින් ප්‍රතිගාමි තීරුබදු පැනවීම හේතුවෙන් එක්සත් ජනපද අපනයන අලෙවිය අඩු විය හැකිය. එම රටවල් එක්සත් ජනපද භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන විට, ඇමෙරිකානු අපනයනකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඉල්ලු‍මේ තියුණු පහත වැටීමක් දැකිය හැකි අතර, එය එක්සත් ජනපද වෙළෙඳ හිඟය තවදුරටත් උග්‍ර කළ හැකිය. එවැනි තත්වයක් තුළ, ඇමෙරිකානු ඩොලර් සංචිත පවත්වාගන්නා රටවල් ඒවා යුරෝ හෝ වෙනත් දෘඩ මුදල්වලට මාරු කිරීමට තීරණය කළ හැකි අතර, එමඟින් එක්සත් ජනපද ඩොලරය තව තවත් දුර්වල වේ. මෙම අවස්ථාවේදී, ට්‍රම්ප්ගේ අදූරදර්ශි තීරණ පාරාවළලක් සේ ආපසු කරකැවී එක්සත් ජනපදයට දැඩි ආර්ථික ව්‍යසනයකට තුඩු දිය හැකිය.

මෙම සාධක සැලකිල්ලට ගත් විට, ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්ති එක්සත් ජනපදයට ගමන් මග ආපසු හැරැවීමට මග පෑදිය හැකිය. මෙම තීරුබදුවල දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක එක්සත් ජනපදයට ඔරොත්තු නොදෙන තත්වයක් තුළ තම ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ගෝලීය වෙළෙඳ සබඳතා යථා තත්වයට පත් කිරීම සඳහා තීරුබදු නැවත සාකච්ඡා කිරීමට හෝ අඩු කිරීමට ට්‍රම්ප් පෙළඹිය හැකිය. වෙළෙඳ යුද්ධය දිගටම උත්සන්න වන විට, වැඩි වන බාහිර හා අභ්‍යන්තර පීඩන හමුවේ එක්සත් ජනපදයට තම ස්ථාවරය මෘදු කිරීමට සිදු වනු ඇත.

එබැවින්, ප්‍රශ්නය නිර්මාණය කරන ට්‍රම්ප් විසින්ම ප්‍රශ්නය විසඳීමට ද ඉදිරිපත් වන අනාගත දවසක් ද උදා වනු ඇත. එහෙත්, එම දිනය උදා වන තෙක් ලංකාව වැනි ඉතා දැඩි ලෙස ඇමෙරිකාව මත රඳා සිටින රටවල් කිසිවක් නොකර බලා සිටියහොත් එම ආර්ථිකයන්ට විය හැකි උපරිම ව්‍යසනය සිදු වී හමාරය.

(***)



අදහස් (2)

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම

himal Monday, 07 April 2025 11:13 AM

මහැදුරුතුමා තාමත් න්‍යායාත්මක දැනුමට මූලාශ්‍ර කරගන්නේ 1776 ලියපු ඇඩම් ස්මිත්ගේ පොත නම් ඉතින් ආර්ථික විද්‍යා විග්‍රහය ගැන එතැනම තේරුම් ගන්න පුළුවන්...

:       10       10

අපිලගේ සාදු Monday, 07 April 2025 12:20 PM

අම්මට සිරි. අයි එම් එෆ් සෙල්ෆි බුවා. මචෝ සහෝ කොහේද හිටියේ මෙච්චර කල්...? ඔන්න ට්‍රම්ප්ට ගේම දෙන්න එල කොල්ලෙක් මාලිමාවෙන් දාලා. ට්‍රම්ප් තව සතියකින් කියනවා. "අනේ තිඹිරි මල්ලි ... මට උදව් කරන්න..." කියලා

:       7       10

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 156 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 531 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මෝදි සංචාරය ආර්ථික දෘෂ්ටියකින්
2025 අප්‍රේල් මස 10 260 0

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ පසුගියදා කළ සංචාරයත් එම සංචාරයේදී දෙරට අතර එළැඹි ගිවිසුම් ආදිය පිළිබදවත් බොහෝදෙනාගේ අවධානයට


ගෝලීය දකුණේ ස්ටාර්ලින්ක්
2025 අප්‍රේල් මස 09 906 0

ස්ටාර්ලින්ක් අක්‍රිය කළහොත් යුක්රේනයේ “සම්පූර්ණ ඉදිරි පෙළ” බිඳ වැටෙනු ඇති බවට එලොන් මස්ක් කළ ප්‍රකාශයට, ප්‍රතිචාර දක්වමින් පෝලන්ත විදේශ අමාත්‍ය රඩො


ට්‍රම්ප්ගේ තීරුබදු මරාලය
2025 අප්‍රේල් මස 09 409 0

ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයන කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට 44 දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 02 දා ඉහළ දමනු ලැබීය. එම ආරංචිය ලැබීමෙන් පසු ශ්‍රී ලංක


​සිංහල භාෂාව හෑල්ලුකිරීම ඛේදවාචකයක්
2025 අප්‍රේල් මස 08 287 1

කිවියකු, ගීත රචකයකු, කෙටිකතාරචකයකු, මෙන්ම විචාරකයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා නිර්මාණ රැසක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රවීණ නිර්මාණ රචකයෙකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 132 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 916 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site