IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ණය-අපනයන අර්බුදයේ වරදකරුවෝ

පවතින ආර්ථික අර්බුදය කොවිඩ් වසංගතය නිසාම ඇති වූවක් නොවේ. එය කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබූ ප්‍රශ්නයකි. බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් ඊට විසඳුම් සෙවීමට උත්සාහ ගත්තේ නැත. කොවිඩ් වසංගතය මෙන්ම ගත් ඇතැම් ප්‍රතිපත්ති හා තීරණ අර්බුදය උග්‍ර වීමට බලපෑවේය. අඛණ්ඩව ණය ගැනීම ඒ අතරින් කැපී පෙනේ. 

විශේෂයෙන්ම ව්‍යාපෘති ණය හැරුණු විට මුල්‍ය වෙළෙඳපොළෙන් හා වෙනත් රටවලින් ගන්නා ණය සම්බන්ධයෙන් පසුඇගයීම් ක්‍රියාවලියක් සිදුවෙන්නේ නැත. එනම් අදාළ ණය යොදවන්නේ කුමක් සඳහා ද ලැබෙන ප්‍රතිලාභ යනාදිය පිළිබඳ ණය ලබාදෙන පාර්ශ්ව විසින් සොයාබැලීමක් සිදුකරනු ලබන්නේ නැත.

එවැනි තත්ත්වයක සිදුවන දෙය නම් එම ණය බලයේ සිටින ආණ්ඩුවලට අවශ්‍ය පරිදි පරිහරණය කළ හැකි වීමය. කිසිවෙක් ඒ ගැන නොසොයති.

මුල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීම අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. අපේ සමස්ත ණයවලින් සියයට 57 ක ප්‍රමාණයක් තිබෙන්නේ වාණිජ ණය හැටියටය. ඒවායෙන් සියයට 34 ක ප්‍රතිශතයක් තිබෙන්නේ ස්වෛරීත්ව බැඳුම්කර ණය වශයෙනි. චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය ප්‍රතිශතයක් ලෙස සියයට 8 කි.

අන්තර්ජාතික මුල්‍ය වෙළෙඳපොළෙන් ගන්නා ණය සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු නොවන හෙයින් එම ණයවලට සිදු වූයේ කුමක්ද කියා රටේ ජනතාව දන්නේ නැත. රජය ද ඒ ගැන නොදන්නවා විය හැකිය.

මේ මූලාශ්‍රයෙන් ගත් ණය ඵලදායී ලෙස ආයෝජනය නොකරන්නේ නම් එයින් සිදුවෙන්නේ ණය බර තවත් ඉහළ යෑමය.

ඇතැම් අය කියන කාරණයක් නම් වාණිජ ණය අධිවේගී මාර්ග ඇතුළු ව්‍යාපෘති සඳහා යෙද වූ බවය. එහි සත්‍යතාවක් නැත. අධිවේගී මාර්ග අරබයා ව්‍යාපෘති ණය වැඩි වශයෙන් ගත් නිසාය. 2007 න් පසුව අඛණ්ඩව වාණිජ ණය ලබාගෙන තිබේ.

මේ ණය අර්බුදය නිසා අපේ විදේශ සංචිත අඛණ්ඩව පහළ ගොස් තිබේ. එම පසුබිමේ ලංකාවේ ආර්ථිකයේ උද්ගතව ඇති ප්‍රධානම ප්‍රශ්නය වන්නේ විනිමය අර්බුදයයි. 

සංචිත පහළ යෑමට බලපාන එකම හේතුව ණය ගැනීම නොවේ. ඊට ඉවහල් වෙන තවත් හේතු සාධක තිබේ. ආනයන වියදම් ඉහළ යෑම එක් හේතුවකි. ආනයන පාලන සීමා පැනවුවද 2021 වසරේ සමස්ත ආනයන වියදම හා කොවිඩ් වසංගතය පැමිණීමට පෙර වසරේ ආනයන වියදම අතර විශාල පරතරයක් නැත. 2010 සිට 2021 දක්වා කාලයේදී ආනයන වියදම් දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ආනයන වියදම් වැඩි වීමට සාපේක්ෂව අපනයන ආදායම් ඉහළ යෑමක් සිදුව නැත. 

2010 සිට 2021 දක්වා කාලයේදී අපේ අපනයන ආදායම් වැඩි වී තිබෙන්නේ සියයට 65 කින් පමණය. කොවිඩ් වසංගතයත් සමග අපනයන ඉල්ලුම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලු ඊට බලපෑ එක් හේතුවකි. 

දෙවැන්න අපනයන ප්‍රවර්ධනයක් සිදු නොවීමය. අපනයනකරුවන් මුහුණපාන ප්‍රශ්න හඳුනා ගැනීමක් හෝ ඒවා විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමක් සිදුව නැත. 

කාලයක සිට අපනයන විවිධාංගීකරණයක් සිදු කළ යුතු බවට සාකච්ඡාවේ පැවතියද එවැන්නක් ප්‍රායෝගිකව ක්‍රියාවට නොනැගිණි. ලංකාවට වැඩිම අපනයන ආදායමක් ලැබෙන්නේ ඇඟලුම්වලිනි. එහෙත් ඇඟලුම්වල ශුද්ධ ආදායම පවතින්නේ අඩු අගයකය. එම කර්මාන්තයට අවැසි අතරමැදි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආනයනය කරන නිසාය. 

අපනයන විවිධාංගීකරණය යටතේ වියට්නාමය වැනි රටවල් අද වන විට ඉහළ දියුණුවක් අත්කරගෙන සිටියි. එබැවින් ලංකාවද අපනයන විවිධාංගීකරණයට පහසුකම් සපයන පරිසරය නිර්මාණය කළ යුතුය. ඒ යටතේ අපනයනකරුවන්ට විදේශ වෙළෙඳපොළවල් වෙත පහසුවෙන් පිවිසීමට හැකි විය යුතුය. අවශ්‍ය තාක්ෂණික ඥානය ලබා දීමද වැදගත්ය. අපනයන හා කුඩා කර්මාන්ත වෙනුවෙන් පිහිටු වූ ආයතන විශාල ප්‍රමාණයක් ලංකාවේ තිබුණද ඒවායේ ඵලදායීත්වය තිබෙන්නේ ප්‍රශ්න කළ යුතු මට්ටමේය. රජය එම ආයතනවල කාර්යභාරය ගැන පසුවිපරමක් කළ යුතුය. 

අපනයන විවිධාංගීකරණය, වෙළෙඳපොළ සහ කළමනාකරණය ආදී ප්‍රස්තුත ගැන විශ්වවිද්‍යාල මට්ටමින් පර්ෙ‌ය්ෂණ සිදුකෙරෙන අතර ඒවා මගින් නිපදවන දැනුම පර්යේෂණ පත්‍රිකාවලද පළ වෙයි. 

එසේම ඒවාට අන්තර්ජාතික තලයේදී ඉහළ පිළිගැනීමක් ලැබෙන අවස්ථා ද තිබේ. එහෙත් එම පර්ෙ‌ය්ෂණ මගින් සොයාගන්නා නව දැනුම රටේ නිෂ්පාදන දියුණුවට යොදා ගන්නේද යන්න සම්බන්ධයෙන් ඇත්තේ ප්‍රශ්නයකි.

අප ප්‍රමුඛතාව ලබාදෙන්නේ කුමක් සඳහාද යන කාරණයද ප්‍රශ්නසහගතය. මේ වේලාවේ අප සිතිය යුතු පැතිකඩ දෙකක් තිබේ. එකක් ණය ගෙවීමය. දෙවැන්න සංචිත කළමනාකරණයයි. පවතින සුළු සංචිත ප්‍රමාණය යොදා ගනිමින් ණය ගෙවුවහොත් රට ඉදිරියට ගෙන යෑම දුෂ්කර වෙනු ඇත. ණය ගෙවන බව රජය කියයි. සාමාන්‍ය නිවෙසක ආර්ථික කළමනාකරණය පිළිබඳ උදාහරණයකින් මේ තත්ත්වය පැහැදිලි කළ හැකිය. අධික ණය බරෙන් පෙළෙන නිවෙසක ප්‍රමුඛතාව දිය යුත්තේ ආහාර සඳහා ඇති මුදල්වලින් ගත් ණය ගෙවීමටද නැතිනම් දරුවන්ට අවශ්‍ය ආහාර පාන ආදිය සැපයීමටද යන්න ගැන ගෘහමූලිකයා සිතිය යුතුය. 

රටේ පවතින්නේ ද එවැනි තත්ත්වයකි. 2014 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක සංචිත ප්‍රමාණයක් රටේ තිබිණි. මේ වෙන විට එම අගය ඩොලර් බිලියන 3 දක්වා අඩු වී ඇත. ගෙවීමට ඇති ණය හා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා වැය වෙන මුදල් ප්‍රමාණය ගතහොත් මේ සංචිත ප්‍රමාණයෙන් රට ඉදිරියට ගෙන යා නොහැකිය. එසේනම් අප ඊට විසඳුම් සෙවිය යුතුය. 

ණය ගෙවීම දුෂ්කර නම් කළ යුත්තේ පවතින සංචිත එකතු කර කෙසේ හෝ ණය පියවීම නොවේ. මගේ නිරීක්ෂණය අනුව වත්මන් ආණ්ඩුවේ දැක්ම වී තිබෙන්නේ කෙසේ හෝ ණය ගෙවීමය. එයින් සිදු විය හැකි දෙය නම් සංචිත තවත් අඩු වී අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීමට නොහැකි වීමය. එය මේ වන විටත් සිදු ව තිබේ. ඛනිජ තෙල් ආනයනය කිරීමට මුදල් නොමැති වීමෙන් ඒ බව පැහැදිලි වෙයි. අපේ රටේ නිෂ්පාදන අංශය බලගැන්වීමට ඛනිජ තෙල් අත්‍යවශ්‍යය. විදුලිය විසන්ධි කිරීමෙන් නිෂ්පාදන කර්මාන්තවල පැවැත්ම අර්බුදයට ලක් කරයි. මේ තත්ත්වය විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහිද සෘණාත්මක ලෙස බලපායි. ප්‍රමුඛතාව ලබා දිය යුත්තේ කුමක් සඳහාද යන්න සම්බන්ධයෙන් රජය නැවතත් සිතිය යුතුය.

එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණයට යෑමද අතිශය වැදගත්ය. රටේ ආර්ථිකය මුහුණ පා තිබෙන සැබෑ අර්බුදය ගැන ණය හිමියන් දැනුම්වත් කළ යුතුය. කොවිඩ් වසංගතය හේතුවෙන් ආදායම් මාර්ග අවහිර වූ ආකාරය ගැනද එහිදී පැහැදිලි කළ හැකිය. එසේ කිරීමෙන් අපට ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යා හැකි නම් ඛනිජ තෙල් ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන බාධාවකින් තොරව කළ හැකිය. එමගින් නිෂ්පාදන කර්මාන්තය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට ද හැකියාව ලැබේ. 

එසේම මේ දුෂ්කර අවස්ථාවේ අපට අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ සහාය ද ලබාගත හැකිය. එහි සහාය ලබා ගැනීමට නම් එමගින් නිර්දේශ කරන යෝජනාවලට අපට එකඟ වීමට සිදු වෙයි. 

ඇතැම් අය මුල්‍ය අරමුදලේ එවැනි යෝජනා රටට අහිතකර කොන්දේසි යැයි පැවසුවද එහි සත්‍යතාවක් නැත. ඒවා ආර්ථිකමය වශයෙන් ඉතාමත් හොඳ යෝජනාය. ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාය. එම අරමුදල සාමාජික රටකට ණය ලබා දෙන විට අදාළ ණය යොදවන්නේ කුමක් සඳහාද යන්න ගැන පසුවිපරමක් කරයි. එවැනි සන්දර්භයක මුදල් අවභාවිත කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. අනිත් කාරණය නම් මුල්‍ය අරමුදල ණය ගෙවීම පිණිස ණය ලබා නොදීමය. එම ආයතනය ණය දෙන්නේ අප ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වූ පසුය.

බදු ප්‍රතිසංස්කරණ සිදුකිරීමද වැදගත්ය. 2019 දී ක්‍රියාත්මක කළ බදු සහන ප්‍රතිපත්තිය නිසා රජයේ ආදායම් සියයට 27 න් පහළ ගියේය. එය ආවරණය කිරීම පිණිස අධිභාර බද්දක් පැනවීය. එය සුදුසු විකල්පයක්ද යන ප්‍රශ්නය මම නගමි. එම බද්ද නිෂ්පාදන ආයතනවල කඩාවැටීමට හේතු විය හැකි නිසාය. මගේ අදහස වන්නේ 2019 ට පෙර පැවති බදු ක්‍රමය හොඳ බවය. බදු ප්‍රතිසංස්කරණයකට යොමු වීමත් අධික පාඩු බලන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමත් කළ යුතුය. එහෙත් එය දූෂිත පෞද්ගලීකරණයක් නොවිය යුතුය.

මේ දේවල් නොකළ හොත් දැනට පවතින අර්බුද තවත් උග්‍ර වීම සිදු වෙයි. සියයට 5.2 අගයක පැවති උද්ධමනය මේ වෙන විට සියයට 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

මේ තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ශ්‍රී ලංකාවද අතිඋද්ධමනය පවතින රාජ්‍ය ලැයිස්තුවට ඇතුළත් වෙනු ඇත. ආර්ථිකයේ පැන නැග ඇති මේ අර්බුදවල ස්වභාවය විමසීමේදී ලංකාව බංකොළොත් වී ඇතැයි කිව නොහැකිය. එහෙත් මේ අර්බුදවලට මාස 06ක් ඇතුළත පිළියම් යෙදීමට අපොහොසත් වුවහොත් ආර්ථිකය බංකොළොත් වීම වැළැක්විය නොහැකිය.

විදේශ විනිමය ආදායම්මාර්ග වැඩිකර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අපනයන, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තය යනු අපේ ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගය. 

අපනයන ආදායම් සුළු ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබුණ ද විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 2 කින් 2021 වර්ෂයේදී පහළ ගියේය. 
ඒ ගැන මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. අප මෙතෙක් කල් ජීවත් වූයේ ගෘහ සේවයට යන ලාංකිකයන් එවන මුදල්වලිනි. එහෙත් මේ වෙන විට පුහුණු ශ්‍රමිකයෝ විශාල පිරිසක් ද එතෙර රැකියාවල නිරත වෙති. ඔවුන් රටට එවූ මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න ගැන රජය සොයා බැලිය යුතුය. 

විදේශ ප්‍රේෂණ ලැබීම් අඩු වීමට බලපෑ හේතු ගණනාවකි. කොවිඩ් වසංගතය එක් හේතුවකි. මහ බැංකුව විනිමය අනුපාත රඳවා ගෙන තිබීම ද ඊට බලපා ඇති තවත් හේතුවකි. ඩොලරයේ අගය රුපියල් 203 ක මට්ටමේ රඳවා ගෙන තිබුණද මේ වෙන විට කළු කඩවල එනම් අවිධිමත් මුල්‍ය අංශයේ ඩොලරයක් රුපියල් 230 ක් වැනි මුදලකට අලෙවි වෙයි. 

එවැනි තත්ත්වයක ලංකාවට එවන ඩොලරයක් සඳහා අතිරේක රුපියල් 10 ක් ලබා දෙන බව මහ බැංකුව ප්‍රකාශ කළද ශ්‍රමිකයන් රටට මුදල් එවන්නේ නැත. ඒ වෙනුවට අවිධිමත් අංශය හරහා මුදල් එවන්නේ ඉහළ අගයක් ලැබෙන නිසාය. රටේ විදේශ විනිමය වැඩි වශයෙන් තිබෙන්නේ අවිධිමත් අංශයේය. එනිසා විනිමය අනුපාත රඳවා ගැනීමෙන් සිදුවෙන්නේ විදෙස්ගත රැකියාවල නියුතු පිරිස් අවිධිමත් මූලාශ්‍ර හරහා මුදල් එවීමට වැඩි වශයෙන් පෙළඹීමය. එසේම මුදල් එවීම වෙනුවට ළඟ තබා ගැනීමට ද ඔවුහු වැඩි නැඹුරුවක් දක්වති.

රුසියානු-යුක්රේන ගැටුම නිසාද අපේ ආර්ථිකයටද්‍ අහිතකර බලපෑම් එල්ල විය හැකිය. රුසියාව යනු ලොව ප්‍රමුඛ තෙල් සැපයුම්කරුවෙකි. එබැවින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට ආර්ථික විශේෂඥයෝ මත පළ කරති. ගැටුම ආරම්භ වූ පසු බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 සිට 105 දක්වා ඉහළ ගියේය. රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමත් සමග එම අගය තවත් ඉහළ යනු ඇත. එසේ වුවහොත් අප දැනටමත් මුහුණ පා තිබෙන ඛනිජ තෙල් ආනයනය කිරීමේ දුෂ්කරතාව තවත් උග්‍ර වෙයි. වාර්ෂිකව ලංකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 140 ක පමණ වටිනාකමින් යුත් තේ රුසියාවට අපනයනය කෙරේ.

එය අපේ මුළු අපනයන ආදායමෙන් සියයට 1.7 ත් 2ත් අතර පංගුවකි. පවතින තත්ත්වය හමුවේ එරටට අඛණ්ඩව තේ අපනයනය කළ හැකිද යන ප්‍රශ්නය මතු වෙයි. එමගින් අපේ අපනයන ආදායම්වලට සෘජු බලපෑම් ඇති කරයි. ගැටුමට සම්බන්ධ රටවල් දෙකෙන්ම සංචාරකයෝ මෙරටට එති. වෙසෙසින්ම කොවිඩ් වසංගතයෙන් බිඳවැටුණු මෙරට සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමේදී වැඩි වශයෙන් සංචාරකයන් ලංකාවට පැමිණියේද මේ දෙරටිනි. 

2021 වසරේදී ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 16 ත් 17 ත් අතර ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. සියයට 10 ක් පමණ යුක්රේන ජාතිකයන්ය. එබැවින් මේ ගැටුම අපේ සංචාරක කර්මාන්තය කෙරෙහිද අහිතකර ලෙස බලපෑ හැකිය.

චීනය මේ අර්බුදයට මැදිහත්වීම සඳහා ඇති ඉඩ ඉහළය. එසේ වුවහොත් මේ ගැටුම සම්බන්ධයෙන් ලංකාවට නිර්පාක්ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකිද යන ප්‍රශ්නය මතු වෙයි. ණය හා වෙනත් කාරණා සමග ලංකාව ආර්ථික වශයෙන් චීනය මත යැපෙන නිසාය. යුක්රේන- රුසියා ගැටුමට යුරෝපයද සම්බන්ධ වුවහොත් එමගින්ද අපේ ආර්ථිකය විශාල බලපෑම් ඇති විය හැකිය.

වෙසෙසින්ම ලංකාවේ ඇඟලුම් යුරෝපා වෙළෙඳපොළට අපනයනය කෙරේ. යුරෝපා රටවල් ගැටුමට සම්බන්ධ වුවහොත් එම රටවල ඇතිවෙන උද්ධමනය ඉහළ යෑම් අපේ රටේ උද්ධමනය තවත් ඉහළ යෑමට තුඩු දෙනු ඇත. ගැටුමට මැදිහත් නොවන බව යුරෝපය ප්‍රකාශ කර ඇතත් ඉදිරියේදී කුමක් සිදුවිය හැකි දැයි අපට අනාවැකි පළ කළ නොහැකිය.

සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දිනේෂා සිරිවර්ධන



අදහස් (0)

ණය-අපනයන අර්බුදයේ වරදකරුවෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 316 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 937 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1425 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 220 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site