IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ණය බර නැති රටකට මඟක්

රජයේ වියදම් දැරීමට ආදායම ප්‍රමාණවත් නැත්නම් ණය ලබාගැනීම සාමාන්‍ය දෙයකි. රජයේ වියදම් පියවා ගැනීමට රජයට ක්‍රියාමාර්ග කිහිපයක් ගත හැකිය. රජය අයකරන බදු ඉහළ දැමීම එක් ක්‍රියාමාර්ගයකි. බදු ඉහළ දැමීම ණය අඩු කිරීමට හේතු වෙයි. එසේම අයකරන බදු අඩු කිරීම ණය වැඩි කිරීමට හේතු වෙයි. බදු අනුපාතික ඉහළ දැමීම මහජනයා නුරුස්සන දෙයකි. එවැනි විටකදී ණය ලබාගැනීම ඉහළ දැමීම කවුරුන් විසින් වුව ද කළ යුතුය.

රජයේ වියදම් පියවා ගැනීම සඳහා මෙතෙක් එකතු කළ වත්කම් විකිණීමෙන් ලැබෙන ආදායම යොදා ගැනීම තවත් ක්‍රියාමාර්ගයකි. රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකුණා රාජ්‍ය වියදම් පියවා දැමීම අතීත රජයන් අනුගමනය කළ පිළිවෙතකි. ශ්‍රී ලංකාවේ 1991 සිට 2005 දක්වා පැවැති ආණ්ඩු, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයෙන් රජය සතු සම්පත් විශාල ප්‍රමාණයක් පෞද්ගලික අංශයට විකුණා මුදල් ලබා ගන්නා ලදී. මෙවැනි ක්‍රියාමාර්ග වර්තමානයට ද පොදුය. මෙවැනි ක්‍රියාමාර්ගවලට විරුද්ධ වනවිට රජයට සිදුවන්නේ වියදම් පියවා ගැනීමට ණය ලබාගැනීම පමණි.

මේ රට දේශපාලන නිදහස ලබාගත් 1948 වර්ෂයේ පටන් මේ දක්වා වර්ෂ දෙකක් (1954, 1955) හැර ඉතිරි සියලු වර්ෂ සඳහා ඉදිරිපත් කළ රජයේ සෑම අයවැයක්ම හිඟ අයවැයක් විය. මේ අනුව හිඟ අයවැය පියවා ගැනීම සඳහා ණය ලබාගැනීම සුලභ ලක්ෂණයක් වී ඇත. 2018 වර්ෂයේ රාජ්‍ය අයවැය හිඟයෙන් සියයට 95ක්ම පියවා ඇත්තේ ණය ලබාගැනීමෙනි. රාජ්‍ය අයවැය පියවීම සඳහා දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් හෝ පොලියක් සහිතව ආපසු ගෙවීමේ පොරොන්දුව මත ලබාගත් අරමුදල් රාජ්‍ය ණය වශයෙන් සැලකේ.

නැගීගෙන එන ආර්ථිකයක, විශේෂයෙන් ආර්ථික සංවර්ධනය සඳහාත්, ආර්ථිකයේ පැවැත්ම සඳහාත් අවශ්‍ය සම්පත් සිය රට තුළින්ම සපයා ගැනීම අපහසු දෙයකි. මෙම රටවල ඒක පුද්ගල ආදායම අඩු නිසාත්, සාපේක්ෂ වශයෙන් සම්පත් හිඟකම නිසාත් එම රටවලට අවශ්‍ය ආයෝජන සියල්ල තම රටේ ඉතිරි කිරීම්වලින් සපයා ගැනීමට අපහසුය. ආයෝජනය (සංවර්ධන කටයුතු සඳහා වියදම්) කිරීමට දේශීය හෝ විදේශීය වශයෙන් ඉතිරි කිරීම් අවශ්‍ය වේ. රටවල අවශ්‍යතා සඳහා ආයෝජනය ඉහළ දැමීම අවශ්‍ය දෙයකි. එහෙත් ඉහළ යන ආයෝජන මට්ටමට සරිලන ඉතිරි කිරීම් ප්‍රමාණවත් නොවනු ඇත. 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සමස්ත ආයෝජන ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 28.6ක් විය. එහෙත් දේශීය ඉතුරුම් අනුපාතිකය සියයට 21.2ක් විය

. ආයෝජන හා ඉතිරි කිරීම්වල වෙනස සියයට 7.4ක් වූ ප්‍රමාණය විදේශ මූලාශ්‍රවලින් පියවාගත යුතු විය. මේ අනුව දේශීය ඉතුරුම් ආයෝජනයට ප්‍රමාණවත් නොවන විට එම පරතරය පියවා ගැනීමට අවශ්‍ය සම්පත්/මුදල් විදේශයෙන් ලබාගැනීමට සිදුවේ. (න්‍යායානුකූලව මෙම සිද්ධාන්තය “දෙපරතර න්‍යාය” වශයෙන් හැඳින්වේ). මෙම පරතරය විදේශීය ආධාරවලින් හෝ වෙනත් ක්‍රියාමාර්ගවලින් හෝ පියවා ගැනීම සාමාන්‍ය පිළිවෙතයි. මේ යටතේ අපනයන ඉහළ දැමීමත්, විදේශීය රටවල සිටින තම දේශිකයන්ගේ ප්‍රේෂණ තම රටට ලබාගැනීමත්, විදේශීය ආයෝජන ලබාගැනීමත්, රජයට අයත් විදේශීය සම්පත් විකුණා දමා අරමුදල් ලබාගැනීමත්, විදේශීය ණය සහ ආධාර ලබාගැනීමත් රජයකට කළ හැකිය.

විදේශීය වෙළෙඳපොළේ පවතින සීමාකම් හා තරගකාරී බව දියුණු වෙමින් පවතින රටවල අපනයනය ඉහළ දැමීමේ දී මුහුණ දෙන ගැටලුවකි. මේ නිසා අපනයන භාණ්ඩවල ගුණාත්මක භාවය වැඩිකර අඩු වියදමකින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම වෙළෙඳපොළ ජය ගැනීමට උචිත එක් ක්‍රියාමාර්ගයකි. ශ්‍රී ලංකාව ගත් කල තම අපනයනවල ගුණාත්මක මට්ටම වැඩි කර අඩු මිලකට වෙළෙඳපොළට සැපැයීම අපහසු දෙයක් වී ඇත. අප රටේ මේ ක්‍රියාමාර්ග කොතෙක් ගත්ත ද තවමත් ප්‍රධාන වශයෙන් රැඳෙන්නේ සාපේක්‍ෂ වශයෙන් පාරම්පරික අපනයන මතය. මේ නිසා අපනයන ආදායම් ඉහළ දැමීමේ දී දියුණු රටවල අනුකම්පාව පැතීමට අපට සිදුව ඇත. යුරෝපය ඇතුළු බටහිර රටවලින් වෙළෙඳපොළ කොටස වර්ධනය කර ගැනීම සඳහා ආයාචනය කිරීමත්, ජී.එස්.පී. වැනි බදු සහන ඉල්ලීමත් කරනු ලබන්නේ මේ නිසාය. මේ අනුව අපනයන ආදායම ඉහළ දමා අප රටට අවශ්‍ය ආයෝජන ඉහළ දැමීමට කටයුතු කිරීම අපහසු දෙයක් වී ඇත.

විදේශ රටවල රැකියාවල නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට එවනු ලබන ප්‍රේෂණ ආයෝජන-ඉතුරුම් පරතරය පියවා ගැනීමට යොදාගත හැකි තවත් ක්‍රියාමාර්ගයකි. මෑත කාලයේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් මැදපෙරදිග මෙන්ම බටහිර රටවලත් සේවයේ යෙදී සිටිති. මොවුන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආයෝජන-ඉතුරුම් පරතරය පියවීමේදී අතිශයෙන් ඉවහල් වී ඇත. 2018 වර්ෂයේ මෙසේ ලබාගත් විදේශීය ප්‍රේෂණවල මුළු වටිනාකම රුපියල් බිලියන 1,138ක් විය. මෙය ශ්‍රී ලංකාවේ සමස්ත ආයෝජනයෙන් සියයට 27ක ප්‍රමාණයකි. කෙසේ වෙතත් විදේශීය රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ද රටේ ආර්ථික මට්ටම ඉහළින් පවත්වා ගැනීමට ප්‍රමාණවත් වී නොමැත.
විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම ආයෝජන-ඉතුරුම් පරතරය පියවා ගැනීමේදී ගත හැකි තවත් පියවරකි.

2018 දී විදේශීය ඍජු ආයෝජන සමස්ත ආයෝජනයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 6ක් වැනි සුළු ප්‍රමාණයක් විය. ආර්ථික වර්ධනය සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපට දිගු කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට සිදු වේ. රට තුළ පවතින නීතිමය රාමුවේ වෙනස්කම්, ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය, සමාජ ආකල්පවල වෙනස්කම් ආදිය විදේශීය ආයෝජන ආකර්ෂණයේදී අවශ්‍ය වේ. රටක පවතින අස්ථාවර භාවය විදේශීය ආයෝජන අධෛර්යය කරවයි. දේශපාලන නිදහසින් පසු බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනිමට ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙත් මෑතකදී දියුණු වූ අග්නිදිග ආසියාතික රටවල් හා සසඳන කල අප රටේ මෙම උත්සාහයේ ප්‍රතිඵල සීමාකාරී වී ඇති බව පෙනේ.

ආයෝජන-ඉතුරුම් පරතරය පියවා ගැනීමට රටකට ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක් වන්නේ තම රටට හිමි විදේශීය සම්පත් විකුණා දමා ඉන් ලැබෙන ප්‍රේෂණ ආයෝජන සඳහා යොදවා ගැනීමයි. මේ ක්‍රියාමාර්ගයෙන් අප රටේ සම්පත් භාවිතයට ගැනීම සිමා වී ඇත්තේ ශ්‍රී ලංකාව විදේශීය චංචල/නිශ්චල දේපළ මෙන්ම විදේශීය ආයෝජන ද සීමිත බැවිනි. මේ නිසා රටට අයිති විදේශීය සම්පත් විකුණා දමා දේශීය ආයෝජන පුළුල් කිරීමට අරමුදල් ලබාගැනීමට නොහැකි වී ඇත.

මේ අනුව අප රටේ ආයෝජන-ඉතුරුම් පරතරය පියවා ගැනීමට ඇති පහසුම ක්‍රියාමාර්ගය වී ඇත්තේ විදේශීය ණය ලබාගැනීමයි. ආයෝජන-ඉතුරුම් පරතරය සීමිත කාලයක් තුළ පැවැතීම අනර්ථකාරී නොවන බවත්, විදේශ ආධාර ලබාගෙන අපනයන වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතු බවටත් තර්ක කෙරේ. මෙයින් පැවැසෙන්නේ විදේශාධාර ලබාගෙන ආර්ථිකය අපනයනාභිමුඛ වර්ධනයක් සඳහා යොමු කිරීම අවශ්‍ය බවයි.

මේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නිදහසින් පසු විශාල වශයෙන් විදේශීය වශයෙන් ආධාර ලබාගෙන ඇත. විදේශාධාර යන්නට ආපසු ගෙවීමක් අවශ්‍ය නොවන ප්‍රදාන ද පොලියක් සහිතව යම් පරිණත කාලයකදී ගෙවා දැමිය යුතු ණය මුදල් ද යන දෙකම ඇතුළත් වේ. ශ්‍රී ලංකාව වර්තමානය දක්වා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපීය ආර්ථික ප්‍රජාව, කොළඹ ක්‍රමය, එක්සත් ජාතීන්ගේ විවිධ අරමුදල් ආදියෙන් බහුපාර්ශ්වීය ආධාරත්, මිත්‍ර රටවලින් ද්විපාර්ශ්වීය ආධාරත්, වාණිජ මට්ටමින් මූල්‍ය වෙළෙඳපොළෙන් මුදල් සපයා ගැනීමත් මගින් විදේශීය අරමුදල් සම්පාදනය කරගෙන ඇත. මෙතෙක් ලබාගෙන ඇති පියවීමට ඇති සමස්ත විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,960කි. මෙය ශ්‍රී ලංකාවේ දේශීය ආදායමෙන් සියයට 58.7කි.

ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරුම විදේශීය ණය ආධාර ලබාගත්තේ මධ්‍යම රජය විසින් පමණි. එහෙත් වර්තමානයේ විදේශීය අරමුදල් පරිහරණය කිරීමේ නීතිරීති ලිහිල් වී පෞද්ගලික අංශයට ද බාධාවකින් තොරව විදේශීය මූලාශ්‍රවලින් ණය ලබාගැනීමට පහසුකම් ලැබී ඇත. 1990 දශකය දක්වා ශ්‍රී ලංකාවට විදේශීය ආධාර ලබාදෙන විදේශීය වැඩපිළිවෙළක් පැවැතුණි. ශ්‍රී ලංකාව විදේශාධාර ලබාදීමේ දී බිහි වී තිබුණු ප්‍රධාන මූලාශ්‍ර දෙකක් වූයේ ප්‍රංශයේ හා ලන්ඩනයේ දී වර්ෂයකට වරක් රැස්වන ආධාර කණ්ඩායමේ සම්මේලනයි. රජය වෙනුවෙන් මුදල් ඇමැති හා අදාළ රාජ්‍ය නිලධාරීහු මෙම රැස්වීම්වලට නොකඩවා සහභාගී වී ඉදිරි වර්ෂය සඳහා ආධාර පිළිබඳ සහතිකයක් මෙම සමුළුවලට සහභාගී වන රටවලින් ලබාගනිති. මෙම වාර්ෂික සමුළු සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ප්‍රංශය, ස්වීඩනය, ජපානය, බෙල්ජියම, ඩෙන්මාර්කය, පින්ලන්තය, ඉන්දියාව, ඉතාලිය, නොර්වේ යන රටවල් සමඟ ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, එක්සත් ජාතීන් ආදී ආයතන සහභාගී වුණි. මේ විදේශාධාර ක්‍රමය පැවැතියේ අප රට අඩු ආදායම් ලබන රටක් ලෙස ශ්‍රේණිගත කළ කාලයේය.

ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක් වශයෙන් පිළිගැනීම නිසා මේ අන්දමේ සහනාධාර ලබාදෙන සම්මේලන දැන් නැවතී ඇත. ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශීය මුදල් විදේශ වෙළෙඳපොළවලින් වාණිජ මට්ටමින් ලබාගැනීමට සිදුවී ඇත. මේ අනුව ශ්‍රී ලංකා රජය වර්තමානයේ විදේශීය ණය ලබාගන්නේ ඒ සඳහා විදේශීය මුදලින් නිකුත් කරනු ලබන දිගු කාලීන බැඳුම්කර හරහාය. මීට අමතරව මිත්‍ර රටවලින් හඳුනාගත් ව්‍යාපෘති සඳහා දිගුකාලීන ණය ලබාගැනීමත් සිදුවේ. මූල්‍ය වෙළෙඳපොළවලින් ලබාගත් ණයවල පොලී ප්‍රතිශතය ඉහළ වන අතර ආපසු ගෙවීමේ දී ලැබෙන සහන කාල ආදිය සිමා වී ඇත. ශ්‍රී ලංකාවට සහනදායී ණය ලබාදුන් කාලවලදී එම ණය ආපසු ගෙවීමේදී වර්ෂ 5ක් 6ක් වැනි සහන කාලයක් ද ණය මුදල් වර්ෂ 50ක් 60ක් වැනි දිගු කාලයක් සඳහා සියයට 1ත් සියයට 2ත් අතර අඩු පොලී අනුපාත සහිත වීමත් කැපී පෙනෙන ලක්ෂණ විය. වර්තමාන වාණිජ ණය සඳහා මෙවැනි සහන නොලැබේ. මේ අනුව අතීතයේ ලබාගත් ණය වාණිජ ණයවලට වඩා සහනදායී ණය වශයෙන් සැලකිය හැකිය.

විදේශීය ණය ලබාගැනීම රජය විසින් විවිධ මුහුණුවරවලින් කරනු ලැබ ඇත. විදේශීය ණය මෙන්ම දේශීය වශයෙන් ණය ලබාගැනීමත් රටවල් කරනු ලැබේ. වියදම් සඳහා ආදායම ප්‍රමාණවත් නොවන විට දේශීය වශයෙන් ද විවිධාකාරයෙන් රජයන් ණය මුදල් ලබාගනී. රජය සිය මූල්‍ය අවශ්‍යතා සඳහා දේශීය වශයෙන් ණය ලබා ගැනීමේදී ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර භාවිත කරනු ඇත. (1997 වර්ෂයට කලින් ශ්‍රී ලංකා රජය දිගු හා මධ්‍යම කාලීන ණය ලබාගත් දේශීය උපකරණය හැඳින්වූයේ රුපියල් සුරැකුම්පත්/ණය වශයෙනි). රජයට දේශීය සහ විදේශීය ණය ලබාගැනීමේ දී ඒ සඳහා රජය වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. දේශීය අරමුදල් ණය වශයෙන් ලබාගැනීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙනුවෙන් සතිපතා වෙන්දේසි පවත්වන අතර ණය සඳහා වන පොලී අනුපාත මෙම වෙන්දේසිවල ලංසු මත පදනම් වේ.

ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සහභාගීත්වයෙන් සතිපතා පැවැත්වෙන වෙන්දේසි මඟින් රජයට අවශ්‍ය අරමුදල් ණය වශයෙන් දේශීය ආයතන හා පුද්ගලයන්ගෙන් ලබාදීම සිදුකෙරේ. මෙම වෙන්දේසි සඳහා විදේශිකයන්ට සීමිතව සහභාගී විය හැකිය. මෙවැනි වෙළෙඳපොළවල් ශ්‍රී ලංකාවේ පමණක් නොව බොහෝ රටවල රජයට හා රජයේ ආයතනවලට ණය අරමුදල් සම්පාදනය කිරීමේ දී ක්‍රියාත්මකය. මේ අනුව රජය අවශ්‍ය ණය අරමුදල් සම්පාදනය කරගැනීමේ දී දේශීය හා විදේශීය වෙළෙඳපොළ මත පදනම්ව විවිධ ක්‍රියාමාර්ග අනුගමන කරයි. ලොව ඇති දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල රජයන් ණය වෙළෙඳපොළවල පාර්ශ්වකරුවන් ලෙස කටයුතු කරමින් තම අරමුදල් අවශ්‍යතා සපුරා ගනු ඇත.

ණය බරක් වන්නේ ණය ගෙවා ගැනීමට නොහැකි වන අවස්ථාවලය. ණය ගෙවීමේ කාල සීමාව තුළදී ඒවාට අදාළ පොලියත් සමඟ ආපසු ගෙවීමට සිදුවේ. ණය ආපසු ගෙවීමට සිදුවන අවස්ථාවලදී පහසු වීම සඳහා ණය නැවත නිකුත් කිරීම හා ණය ප්‍රතිලේඛනගත කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. ණය නැවත නිකුත් කිරීම ශ්‍රී ලංකා රජයේ ද ක්‍රියාමාර්ගයකි. ණය ගෙවීමට ආදායම ප්‍රමාණවත් නොවන අවස්ථාවල ණය ගෙවීම සඳහා ඒවා නැවත නිකුත් කිරීම කරන නිසා පියවීමට ඇති ණය ප්‍රමාණය ඉහළ යයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත්වල නොගෙවූ ණය ප්‍රමාණය 2018 වනවිට රුපියල් බිලියන 747ක් විය. භාණ්ඩාගාර බැඳුම්කරවල ප්‍රමාණය රුපියල් බිලියන 4140ක් විය. මෙම ණය ගෙවා නිදහස් කිරීමක් නොවන නිසා සෑම වර්ෂයකදීම ගෙවා නිදහස් කළ යුතු ණය ප්‍රමාණය ඉහළ යයි. උදාහරණ වශයෙන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන ලද ප්‍රථම වසර වූ 1997 දී ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 10,000ක් විය. එහෙත් අද එය ඉහත සඳහන් පරිදි බිලියන ගණනකි. එසේම රජයේ වාර්ෂික ණය සහ ණය පොලිය ගෙවීම රජයේ සමස්ත ආදායමට වඩා වැඩිය. මේ අනුව ණය රජයට බරකි.

ගනු ලබන ණය ප්‍රයෝජනවත් ලෙසට ආදායම් උපදවන ව්‍යාපෘති සඳහා යෙදීම ණය බර අඩු කිරීම සඳහා අවශ්‍ය දෙයකි. පුද්ගලයකුට මෙන්ම රජයකට ද මෙය අවශ්‍ය ක්‍රියාමාර්ගයකි. ණය, බරක් වන්නේ එම ණය ආපසු ගෙවීමට ක්‍රමවේදයක් සහ ආදායමක් නොමැති විටය. ණය, බරක් නොවීම සඳහා ණය ක්‍රමානුකූලව ආයෝජන කිරීමත්, ණය යොදා නිෂ්පාදනය ඉහළ දැමීමත් අවශ්‍ය වේ.

විදේශීය ණය බර අඩු කිරීම සඳහා පියවර කිහිපයක් රජයට ගත හැකිය. මෙම පියවර කෙටි කාලීන හෝ දිගු කාලීන ක්‍රියාමාර්ගවලින් සමන්විත විය හැකිය.

• විදේශීය රාජ්‍ය ණය බර අඩු කිරීමට ගත හැකි ඍජු ක්‍රියාමාර්ගය නම් ඒවා කඩිනමින් ගෙවා දැමීමයි. ඒ සඳහා විදේශීය අරමුදල් සම්පාදනය කරගැනීමට අපනයනාභිමුඛ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, අපනයන ආදායම් ඉහළ දැමීමත් අවශ්‍යය. අපනයන ඉහළ දැමීම සඳහා නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය කොට තරගකාරී නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම අවශ්‍යය. මේ සඳහා තාක්ෂණය දියුණු කිරීමත්, ඒවා යෙදවීමත් ඉහළ දැමීම අවශ්‍ය වනු ඇත.

• විදේශයෙන් ලැබෙන ප්‍රේෂණ ඉහළ දැමීම තවත් ක්‍රියාමාර්ගයකි. මේ සඳහා විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ලබාගත යුතු වේ.

• විදේශීය ඍජු ආයෝජන ඉහළ දැමීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම විදේශීය ණය බර අඩුකර ගැනීමට ගත හැකි තවත් ක්‍රියාදාමයකි. මේ සඳහා සුදුසු දේශපාලන, ආර්ථික, නීතිමය, සමාජ ප්‍රතිසංස්කරණ ඇති කිරීම අවශ්‍ය දෙයකි. චීනය, සිංගප්පූරුව, කොරියාව, තායිලන්තය ආදී රටවල ක්‍රියාත්මක සාර්ථක ව්‍යාපාරවලින් මේ සම්බන්ධ පාඩම් අපට උගත හැකිය.

විදේශීය ණය අඩු කරන අතරම දේශීය වශයෙන් ද ණය බර අඩු කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග රාශියකි. ණය ගැනීම සහ බදු ගෙවීම එකිනෙකට පරස්පරව කටයුතු කරයි. මේ නිසා දේශීය වශයෙන් ගත් කල ණය බර අඩුවීම සඳහා ඉහළ බදු බරක් දැරීමට අවශ්‍ය වේ. ඒ සඳහා ජනතාව අනුබල දෙන්නේ නම් ණය බර අඩු කරගත හැකිය. ණය බර ඉහළ බව කීමෙන් ණය බර අඩුවන්නේ නැත. ණය අඩු කිරීමට මහජනතාව බදු බර කරට ගත යුතුය. බදු ගෙවීම සුදුසු දෙයක් නොවන බවට පිළිගෙන බදු මගහැරීම්වලින් වැළකිය යුතුය. ණය බර අඩු කිරීමේ ප්‍රධානතම විකල්පය එයයි. මේ සියලු ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය වන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගැනීමයි. ඉහළ ආදායමක් ලබන රටකට ණය බරක් නොවනු ඇත.

(මේ ලිපියේ දත්ත ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවෙනි)



අදහස් (2)

ණය බර නැති රටකට මඟක්

E ariyasiri Monday, 23 December 2019 04:03 AM

ආනයනය අඩුකරලා මෙරට නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කළ යුතුයි.

:       0       1

Kumar Tuesday, 24 December 2019 05:46 PM

ණය නොගෙන රජයක් ගෙනියන්න හැකියාවක් නැහැ. රජයට අාදායම් එකවරම නොලැබෙන නිසා බැඳුම්කර වැනිදේ විකුණන්නේ... ලංකාවට ප්‍රයෝජනයක් නැති නෙලුම් කුළුණු වගේ දේ තැනීමට ණය ගත්තේ නැතිනම් තමයි හොඳ...

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංචාරක ව්‍යාපාරයේ පෙරැළියක් ඕනෑ
2024 නොවැම්බර් මස 28 34 1

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි තිරසාර විසඳුම් කවරාකාරද යන්න පිළිබඳ සංවාදය සමාජයෙහි නිරන්තර සාකච්ඡාවට ලක්වන්නකි. මේ කාරණා කෙ


ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 248 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 308 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1513 1

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 243 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 526 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2165 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site