IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


තිස්පස් වසරකට පෙර සප්තකන්‍යා කඳුවැටියේ සිදුවුණු මහා ගුවන් අනතුර

ශ්‍රී ලංකාවේ විශාලතම මගී ගුවන් යානා අනතුර සිදුවී අදට (දෙසැම්බර් 04) හරියටම වසර 37ක් ගත වන්නේ අපගේ මතකය යළිත් අවදි කරවමිනි. මාර්ටින් එයා” නමැති ගුවන් සමාගමට අයත් ඞී.සී. 08 නමැති මෙම ගුවන් යානය මගීන් 184ක් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 07 දෙනෙක්ද සමග ගුවන්ගත වී ශ්‍රී ලංකාව හරහා මක්කම බලා පියාසර කරද්දී 1974 දෙසැම්බර් 04 වැනි දින ශ්‍රීපාද අඩවියේ පිහිටි සප්ත කන්‍යා” නමැති සුප‍්‍රසිද්ධ කඳුවැටියේ හැපී එදින රාත‍්‍රී හරියටම 10 පසුවී විනාඩි 10ට අනතුරට පත්වී ඇති බව වාර්තාවල සඳහන් වේ. අනතුරින් එම  යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර එහි ගමන් කළ 191 දෙනාම ජීවිතක්‍ෂයට පත්වූහ. ලක්‍ෂපාන ජල විදුලිබලාගාරය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි ලක්‍ෂපාන දිය ඇල්ල ඉස්මත්තේ ඇති සප්ත කන්‍යා” කඳු වැටියේ පස්වැනි කන්දේ (සප්ත කන්‍යා යනු කඳු හතකින් යුක්ත කඳු වැටියකි) ගුවන් යානයේ එක් තටුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තටුව ගැටී ගුවන් යානය ඉදිරියට ගමන් කිරීමේ දී සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ අඩි කීපයක් ගල දිගට ඇඳී තිබූ රේඛාව වසර ගණනක්  සුදුපාට වර්ණයෙන් දිස්ව තිබුණ ද මේ වන විට එය වල්වැදී මැකී ගොස් ඇති අයුරු දැක ගත හැකිය. එක්දහස් නවසිය හැත්තෑ හතරේ දෙසැම්බර් මස හතර වැනි දින සිදුවූ මේ ඛේදවාචකයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ, නෝටන් බි‍්‍රජ් පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු වැටිය පිළිබඳව ලොව දසත ප‍්‍රසිද්ධියට පත්විය. ශ්‍රී ලංකාවේ ගීත රචකයන් කීප දෙනෙක් විසින් පබැදු ගී පද මාලා සුප‍්‍රසිද්ධ ගායකයන්ගේ හඬින් ගායනා කර කැසට් පට මගින් එවකට ප‍්‍රසිද්ධ වූයේ මේ අනතුරේ පසුබිම තොරතුරු ඇතුළත් කරමිනි. කාන්තාවක් සැතපී සිටින ආකාරයෙන් පිහිටි මේ සුන්දර සප්ත කන්‍යා කඳු ශිකරය බිලිගත් මාර්ටින් එයාර් ගුවන් අනතුර එදා සියැසින් දුටු අය බොහෝ පිරිසක් අද මියගොස් ඇති අතර තවමත් කීප දෙනෙක් අවට ගම්මානවල සිටිති. වසර 37 ගෙවෙන මොහොතේ අප ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා කඳු පාමුල පිහිටි කොත්තැල්ලෙන නමැති ගම්මානයට ගියේ ඔවුන්ගේ මතකය අවදි කිරීමටය. එහිදී අපට මුලින්ම හමුවුණේ, මුරුත්තැන්න තේ වත්තේ වත්මන් අයිතිකරු වන මංජුල එදිරිසිංහ මහතාය. මේ ඔහුගේ හඬය. මෙම ගුවන් අනතුර මුලින්ම දුටු අයෙක් මගේ පියා... ඔහු දැනට වසර කීපයකට පෙර මියගියා. අපි තමයි මේ කඳුවැටිය ආසන්නයේම පදිංචි වෙලා ඉන්නේ. මගේ පියා පවසා ඇති විදිහට 1974.12.04 වැනි දින හරියටම රාත‍්‍රි 10.10ට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අවදිව සිටි බවත් එක් වරම විශාල ශබ්දයක් සමග ප‍්‍රදේශයම ගිගිරුම් දුන් බව පැවසුවා. නිවසින් පිටට ඇවිත් බලන විට ඉහළින් පිහිටි සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් ඇවිලී යන අයුරු දැක්ක බවත් කීවා. තාත්තා සැනෙකින් නෝටන්බි‍්‍රජ් පොලිසියට කථා කර සිද්ධිය කියා තිබෙනවා. පොලිසිය සුළු වේලාවකින් පැමිණි පසු දැනගෙන තිබෙනවා ගුවන් අනතුරක් සිදුවෙලා කියලා” මෙම ගුවන් අනතුර සියැසින් දුටු කොත්තැල්ලෙන ගම්වැසියෙක් වන ඊ.ජී. මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. මේ අනතුර සිද්ධවෙනකොට මට අවුරුදු 18යි.  මම ගෙදර හිටියේ. ? හරියටම 10.10ට විශාල ශබ්දයක් ඇහුණා. මුළු පළාතම හෙල්ලිලා දෙදරුම් කෑවා. අපිට හිතාගන්න බැරිවුණා. මම ගෙදර අයත් සමග එළියට ආවා. සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් දැක්කා. ඒ ගින්න ටික වෙලාවකින් කන්ද පුරා පැතිරී ගියා. මගේ බාප්පා එවකට පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස වැඩ කළා. ඔහු නෝටන් බි‍්‍රජ් පොලිසියට දැන්වූවා. රාත‍්‍රී 11.00 වෙනකොට පොලිසිය ආවා. මම රාත‍්‍රියේම ගමේ කීප දෙනෙක් එක්ක කන්ද ළඟට ගියා. පොලිසියේ හතර දෙනෙක් මා සමග ආවා. අපිට එදා රාත‍්‍රි මළ සිරුරු හමුවුණේ නෑ. ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තියෙනවා දැක්කා. රාත‍්‍රිය පුරා පට පට ගා ඇවිලෙන සද්දේ ඇහුණා. ඒ ගුවන් යානයේ ඇල්මිනියම් තහඩු පිච්චෙන සද්දේ. ඊට පසු දින පොලිසිය හා හමුදාවෙ මහත්තුරු විශාල පිරිසක් ආවා. මම හමුදාවෙ අය සමග කන්ද උඩටම නැග්ගා. මළ සිරුරුවල කෑලි හැමතැනම විසිවී තිබුණා. ගස් උඩ මළ සිරුරු කෑලි දකින්න ලැබුණා. රතු පාටට  හැම තැනම ලේ. මස් කඩයක් වගේ තිබුණා. ගල උඩ තිබුණ මළ සිරුරු කොටස් හමුදාවෙ අය සමග උඩම වැළලූවා. ඒ අතර රෙදිපිළි හා පෙට්ටි විසිරී තිබුණා” කන්ද පාමුල තිබුණ මළ සිරුරු හා කැබළි ගොඩක්. ඒවා සමූහ මිනී වළක කන්ද පාමුලම වැළලූවා. ගුවන් යානයේ එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුර ඇගේ පෙම්වතා ඇවිත් ගුවනින් ඉන්දුනීසියාවට රැගෙන ගියා. අනිත් ඒවා ඔක්කොම කන්ද පාමුල වැළලූවා. ප්ලේන් එකේ කළු පෙට්ටිය” වැටුණ කියලා සැක කරපු කන්දේ උඩ පිහිටි ගල් දෙබොක්කාව ළඟට ආමි එකේ මහත්තුරුත් එක්ක මමත් ගියා. ඒක ගොඩක් ගැඹුරු වළක්. කළු පෙට්ටිය හොයාගන්න ලැබුණේ නෑ. ප්ලේන් එකේ කෑලි මිනිස්සු අරගෙන ගියා. පස්සේ පොලිසියෙන් ඒවා අරගෙන ගිය මිනිසුන්ට නඩු දැම්මා. ඒ කාලේ හැමදාම මේ ස්ථානයට හෙලිකොප්ටර් තුනක් හතරක් එනවා. පරීක්‍ෂණ කළා. ප්ලේන් එකේ ටයර් එකක් හමුවුණා. ඒක නෝටන් පොලිසියේ තියෙනවා. මේ සිද්ධිය බලන්න මිනිස්සු ලක්‍ෂ ගානක් ආවා. වාහන පෝලිම කිලෝමීටර් ගාණක් දුරට තිබුණා.” කොත්තැල්ලෙන ග‍්‍රාමයේ වත්මන් ග‍්‍රාම නිලධාරි කේ.ජී. ගුණතිලක මහතා අදහස් දක්වමින් මෙසේ කීය. -සිද්ධිය වෙනකොට මට අවුරුදු 07යි. අපි එදා හිතුවෙ රැ සද්දෙත් එක්ක ලක්‍ෂපාන ගල කඩාගෙන වැටුණ කියලා. වැඩිහිටි අය හිතුවෙ එහෙමයි. සප්ත කන්‍යා කන්දට ගමේ පැරණි අය කියන්නේ ලක්‍ෂපාන ගල කියලයි. රැ එළිවෙනකම් එදා මේ කන්ද ගිනි ගත්තා. ඒ දවස්වල අපිට ඉස්කෝලේ නිවාඩු දීලා වගේ. පාලූ ප‍්‍රදේශයක් වුණ මේ පළාතට මේ සිද්ධියත් එක්ක ලොකු ප‍්‍රසිද්ධියක් ලැබුණා. කන්ද පාමුල සමූහ මිනී වළක අනතුරින් මියගිය අය මිහිදන් කරපු තැන ඉන්දුනීසියාවේ අය පැමිණ ඉතා අලංකාර ලෙස හැදුවා. එම ස්ථානයේ අනතුරට පත් ගුවන් යානය අයිති මාර්ටින් එයාර් ගුවන් සමාගමේ නිල ලාංඡනය ස්ථාපිත කර තිබුණා. ඒ අයගේ ගුවන් සමාගමේ ලකුණ වන විශාල ගුරුලකුගේ රුවක් ද ස්මාරකයේ සවිකර තිබුණා. එම ගුරුලාගේ රුව හා නිල ලාංඡුනය මෑතක දී කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා. එය ඉතා පහත් ක‍්‍රියාවක්. ගුවන් අනතුරින් මිය ගිය අයගේ ඥාතීන් වසරක් පාසා මෙම ස්ථානයට පැමිණ මළවුන් සිහිකිරීමක් කරනවා. මෙම ස්ථානය දැන් කැලෑ වැදිලා. කිසිවෙක් නඩත්තු කරන්නේ නෑ” ඔහු කීය. මල්ලිකා හෙන්නායක (58) මහත්මිය අනතුර සිදුවන අවස්ථාවේ අපි ගොඩක් බයවුණා. විශාල ශබ්දය නිසා මුළු පළාතම දෙදරුම් කෑවා. ගෙදරින් එළියට ඇවිත් බලනකොට සප්ත කන්‍යා කන්ද ගිනිගෙන දැවෙනවා දැක්කා. වැඩිහිටි අය කන්දට ගියා. මගේ මහත්තයාත් බලන්න ගියා. ඔහු එහි තිබී ඩොලර් 10 නෝට්ටුවක් ගෙනවිත් තිබුණා. එය තාම මා ළඟ තිබෙනවා සිද්ධිය මතක් වෙන්න. ප්ලේන් එකේ කෑලි ඒ දවස්වල මිනිස්සු ගෙනියනවා දැක්කා. දැන්නම් ඒවා කා ළඟවත් නෑ. නෝටන් පොලිසිය ඉදිරිපිට ටයරයක් තියෙනවා” යැයි පැවසුවාය. මෙම අනතුරට පත් මාර්ටින් එයාර් ඞී.සී. 08 ගුවන් යානය පැදවූ එක් ගුවන් නියමුවෙකු වන නෙදර්ලන්ත ජාතික පී. ලෑම්ප් මහතාගේ පුත‍්‍රයෙකු වන පී.ඒ. ලෑම්ප් මහතා දැනට වසර තුනකට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම ගුවන් අනතුර පිළිබඳව සොයා බලා සියලූ පාර්ශ්වයන් හමු වී වාර්තාමය වැඩසටහනක් කළ බව අප හා පැවසුවේ නෝටර් බි‍්‍රජ්, කිරිවන්එළිය ප‍්‍රදේශවල පදිංචි සංචාරක මාර්ගෝප දේශකයකු මෙන්ම පරිසරවේදියකු ද වන එම්.ආර්. චමින්ද නිරෝෂණ (නීල්) මහතාය. අපට ඔහු හමුවුණේ ඔහු පදිංචි සප්ත කන්‍යා” කඳු පියස අසල දී ය. මේ ඔහු අපට කී දේය. දැනට වසර තුනකට පමණ පෙර අනතුරට පත් මාර්ටින් එයා ඞී.සී. 08 ගුවන් යානයේ එක් නියමුවකුගේ පුතා නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මට හමුවුණා. ඔහු සමග ඔහුගේ බිරිඳ ද පැමිණියා. මම ඔවුන් සමග ඒ අයගේ වාර්තා වැඩසටහනට සහභාගි වී සිද්ධිය වූ සප්ත කන්‍යා කන්දට ගියා. මෙම ගුවන් අනතුර සිදු වූ ආකාරය පිළිබඳ ඔහුට සමීක්‍ෂණයක් කිරීමයි  අභිප‍්‍රාය වී තිබුණේ. ඔහු පී.ඒ. ලෑම්ප් මහතා. ඔහු මෙහිදී සියලූ සිද්ධීන් කැටිකොට වාර්තාමය සංයුක්ත තැටියක් නිපදවූවා. එහි පිටපතක් මට ද ලබා දුන්නා. මම පරිසරවේදියෙක් ලෙස කඳු නැගීම කරනවා. දැනට වසර කීපයකට පෙර මම සප්ත කන්‍යා කන්ද තරණය කළ අවස්ථාවේ ගුවන් යානයේ පසුපස ටයරයේ කෑල්ලක් හමුවුණා. එය මා රැුගෙන ආවා. අනතුරට පත් ස්ථානය පාමුල පිහිටි සමූහ මිනී වළ ළඟ තිබුණු සැමරුම් කොටස් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාම ඉතාම අශෝභනයි. ඉදිරි දිනක, ගුවන් අනතුරින් මියගිය අයගේ ඥාතීන් යළි පැමිණියහොත් අප කොතරම් ලජ්ජාශීලි විය යුතුද? මේ ගැන වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. අප කොත්තැල්ලෙන ග‍්‍රාමයට ගිය අවස්ථාවේ දී එම ගම්වැසියන් කියූ කතාවක් මෙම ලිපිය අවසන් කිරීමට ප‍්‍රථම සඳහන් කිරීමට අදහස් කළෙමු. මහත්තයෝ මේ ප්ලේන් අනතුරේ දී පළාතේ සමහර අය ප්ලේන් එකේ කෑලි විකුණලා තියෙනවා. ඒ අය කාටවත් හරිගියේ නෑ. ළඟ දී කන්ද පාමුල තියෙන මිනී වළලපු තැන හදලා තියෙන ස්මාරකය කඩල සිහිවටන ඵලක වගයක් ගලවාගෙන ගිහින් තියෙනවා. පොදුවේ ගමේ අපිටත් ඒක අපවාදයක්. එහෙම කරපු අයට කවදාවත් දියුණුවක් නෑ. මේක සමන් දෙයියන්ගෙ අඩවිය මහත්තයෝ”

ඡායාරූප හා සටහන මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක, නෝර්වුඞ් - රංජිත් රාජපක්‍ෂ
නෝටන්බි‍්‍රජ් පොලිසිය ඉදිරිපිට ඇති ගුවන් යානයේ ඉදිරිපස ටයරය සප්ත කන්‍යා කඳු පාමුල පිහිටි සමූහ මිනි වළ අසල ඉදිකර ඇති සිහිවටන ඵලකය සප්ත කන්‍යා කඳුවැටිය



අදහස් (0)

තිස්පස් වසරකට පෙර සප්තකන්‍යා කඳුවැටියේ සිදුවුණු මහා ගුවන් අනතුර

චින්තානි cyprus Sunday, 15 January 2012 11:59 PM

මේ ගැන සතුටුයි. නමුත් අපේ දරුවන්ටත් දැක ගන්න යන්න මාර්ගයත් පැහැදිලිව තිබුණා නම් වඩා හොදයි

:       0       0

ප්‍රබෝද් Thursday, 15 December 2011 08:58 PM

මේ වගේ දෙයක් පළකිරීම ගැන සතුටුයි. සප්ත කන්‍යා හරිම සුන්දර තැනක්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1107 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4582 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 511 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 414 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site