IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දින දෙකකට වතාවක්වත් මමත් රෝහණ සහෝදරයත් හමුවුණා

  10_SLTK_P7_Back

 

ආණ්ඩුවට ඇඟිල්ල දික් කළ සමාජවාදී රතු එළි බුරුතු පිටින් 80 දශකයේ අග නිවී ගියේය. ජවිපෙ නායකයන් විෂයේ ආණ්ඩුවේ මර්දනය ආරම්භ වූයේ ඇයිද යන කාරණය ගැඹුරු වූවකි. නමුත් ඒ මර්දනය හමුවේ ජවිපෙ ට ආදරය කළ ජවිපෙ මතය ගරු කළ කාටත් ආණ්ඩුවේ බිල්ලක් වන්නට සිදුවිය. සමහරු උගත්තු වූහ. සමහරු කම්කරුවෝ වූහ. එහෙත් සමාජවාදී මතය ගැඹුරු ජීවන දර්ශනයක් ලෙස ඔවුහු පිළිගෙන සිටියහ.
අවසානයේ ඒ මතයේ සිටගත් දොස්තරවරුන්ගේ නීතිඥයෝ ඉංජිනේරුවන්ගේ ගුරුවරුන්ගේ සිට කම්කරුවන් දක්වා මරා දමන්නට ආණ්ඩුව පසුබට නොවීය.


එකී මර්දනය හමුවේ ජීවත් වීමේ භාග්‍යය ලද්දන් අතළොස්සකි. 1983 ජවිපෙ තහනම වේලේ හිටපු අයත් 1990 පසු ඉතිරි වූවන් තුළ මර්දන ක්‍රියාදාමයේ තීව්‍ර ලක්ෂණයන් හඳුනා ගත හැකිය. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාද එකී ජීවත්වීමේ භාග්‍යයට උරුමකම් ලද්දෙකි.


දොස්තර වසන්ත 1983 පසු යුගයේ කිසියම් ඓතිහාසික චරිතයක් බවට පත්වේ. ඒ චරිතය වටා ජවිපෙ හි කේන්ද්‍රිය සිදුවීම් ජාලයක් නිර්මාණය වේ.
එයට හේතුව ඔහු 1983 න් පසු රෝහණ විජේවීර සහෝදරයාගේ පවුලේ වෛද්‍යවරයා බවට පත්වීමය. විජේවීර යන එන තැන සිටි, ඇතැම් විට විජේවීර පවුලටම තම නිල නිවසේ පදිංචිය පවා දුන් වසන්ත බණ්ඩාර මහතා අද ඔබට අපි මුණගස්වමු. එය ඉතා රසවත් සැඟවුණු යටගිය දවස කතා පෙළක් ආපසු කියවන දුලබ අවස්ථාවක් වනු ඇත.

1
වසන්ත බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කෙරෙහි උනන්දු වූයේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේය. එදා ජවිපෙ දේශපාලනය සම්බන්ධයෙන් අනුරාධපුරය වැඩි උනන්දුවක් තිබුණු නගරයක් බවට පත්ව තිබිණි. 1971 දී වසන්තලා පාසල් ශිෂ්‍යයන් හැටියට පෝස්ටර් ගහන්නට ගොස් අත්අඩංගුවට පත්වූහ. ඒ අවස්ථාවේ විදුහල්පතිවරයා මැදිහත් වී වසන්ත බේරාගත් හැටි ඔහු මතකයට නගයි.


1972 අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ජාතික ශිෂ්‍ය සංගමය (කොමියුනිස්ට්) සාදා එහි ලේකම් ධුරයට පත්වූයේ වසන්ත බණ්ඩාරය. 71 කැරැල්ලෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ නැවත තටු ගසා එළියේ දේශපාලනය පටන් ගත්තේ 1975 දී පමණය. ඒ අනුව වසන්ත නැවත ජවිපෙ දේශපාලනයට කොක්ක ගැසුවේය. 1978 දී විශ්වවිද්‍යාල ජීවිතය පටන්ගත් පසු ජවිපෙ දේශපාලනය තුළ යමක් කිරීමේ බලය ඔහුට ලැබිණි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක් ලෙසය. පේරාදෙණියේ වෛද්‍ය පීඨය එදා යම් ආකාරයට ජවිපෙට පක්ෂපාතී විය. වසන්ත බණ්ඩාර 1978 දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා බවට පත් විය. එදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමස්ත මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධූරය ජවිපෙට හිමිවූයේද වෛද්‍ය පීඨයේ ඡන්ද ගණන වැඩි බලපෑමක් ඇති කළ හෙයිනි. මේ තත්ත්වය උඩ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති ධුරයට ජවිපෙ ශිෂ්‍යයන් පත්වීම නවතාලිය නොහැකි විය. ගාමිණි දිසානායක ඇමතිතුමා මැදිහත් වී ප්‍රවාහයට විරුද්ධව කණ්ඩායමක් යෙදුවද ඒ සිසුන් පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය තුළ බරපතළ පරාජයකට පත්විය. ජවිපෙ පසු කාලයේ දේශපාලන මණ්ඩලයට පත්වූ ඩී.එම්. ආනන්ද සහෝදරයාද පේරාදෙණියේ මහා ශිෂ්‍ය සංගමයේ වසන්තලා සිටි අවධියේ හිටපු සභාපතිවරයෙකි.


වසන්ත බණ්ඩාර දන්ත වෛද්‍ය සිසුවකු ලෙස පසුකාලීනව විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයට තෝරාගැනිණි. එතැනින් පසු කතාව දොස්තර වසන්තට බාරදෙමි.


“මට විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ සේවය කරන්න ඉඩ ලැබුණෙ නෑ. එදා එක්සත් ජාතික පක්ෂය මැදිහත් වෙලා මාව ඒ අවස්ථාවෙන් නෙරපා දැමුවා. නමුත් උගත්කම නැති කරන්න බෑනෙ. මම 1983 දී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බැඳුණා. ඒ අනුවයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ධුරය දැරූ ලයනල් බෝපගේ සහෝදරයා මට මුණගැසුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරන කාලෙදීය. පක්ෂ ලේකම්වරයාට අමතරව බුද්ධිමතුන් අතර වැඩ කිරීමේ වගකීමත් බෝපගේ සහෝදරයාට පැවරී තිබුණා.


නමුත් 1983 පක්ෂය තහනමට ලක්වෙද්දි ඔහු ජවිපෙන් ඉවත්වුණා. ලයනල් බෝපගේ දරපු බුද්ධිමතුන් අතර වැඩකිරීමේ වගකීම ඉන්පසුව පැවරුණේ සෝමවංශ අමරසිංහ සහෝදරයාට. එතුමයි මමයි සමීප මිතුරන් බවට පත්වෙන්නෙ ඔය කාලයේ. මොකද සෝමවංශ සහෝදරයයි මමයි අවුරුද්දක් විතර බත්තරමුල්ලේ නිවසක් කුලියට අරන් එහි නැවතී සිටියා. ඒ නිවස ඉතාම රහසිගතව හමුවිය හැකි තැනක්. ඒ නිසා සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්, බුද්ධිමතුන්ගේ කම්ටුව රැස්වන මධ්‍යස්ථානයක් බවට එතැන ක්‍රමිකව පත්වුණා. රෝහණ විජේවීර සහෝදරයාත් ඒ නිවසට රැස්වීම් සඳහා ආව ගියා.”


එතකොට ඔබට විජේවීර සහෝදරයා සමීප ඇසුරට පත්වෙන්නෙ කොහොමද? ඔබේ නිවසට රැස්වීම් සඳහා ආව ගිය නිසාද? මම ප්‍රශ්නයක් යොමු කළෙමි.
විවිධ අවස්ථාවල රෝහණ විජේවීර සහෝදරයා හමුවුණා තමයි. නමුත් දවසක් සෝමවංශ සහෝදරයා මට කතා කළා.


වසන්ත ලොකු වගකීමක් භාරදෙන්න තියනවා. ඒකට විශ්වාසය ඉතාම වැදගත්. ඒ නිසා ඔබ ඊට තෝරාගන්නවා. නමුත් ඒ වගකීම තියෙන්නෙ බණ්ඩාරවෙල ප්‍රදේශයේ. ඔබට බණ්ඩාරවෙල රෝහලට පත්වීමක් ගන්න පුළුවන්ද කියලා ඇහුවා.


ඒ වෙනකොට මම පශ්චාත් උපාධියට ලියාපදිංචි වෙලා හිටියෙ. මම ඒකත් අතහැරලා බණ්ඩාරවෙල රෝහලේ පුරප්පාඩුවකට යන්න සූදානම් වුණා. ඒ වෙනකොට බණ්ඩාරවෙල රෝහලේ දන්ත වෛද්‍ය පුරප්පාඩුවකුත් තිබුණා. ඒ විතරක් නෙවෙයි, වෛද්‍යවරුන්ට පත්වීම් දෙන ලැයිස්තුවෙ ලකුණු අනුව උඩින්ම හිටියෙත් මමයි. මට අයදුම් කරන තැනකට යන්න පුළුවන්කම තිබුණා.” වසන්ත බණ්ඩාර මහතා කියයි.

2
ඒ අනුව දොස්තර වසන්ත කොළඹට සමුදී බණ්ඩාරවෙල බලා පිටත්විය. එහෙත් තමන් බණ්ඩාරවෙලට යන්නේ පක්ෂයේ කවර වගකීමක් වෙනුවෙන්ද යන්න ඔහු දැන සිටියේ නැත. සෝමවංශ අමරසිංහ සහෝදරයා වසන්තට කීවේද නැත. නමුත් බරපතළ වගකීමක් විය යුතුය යන්න පමණක් හෙතෙම දැන සිටියේය. ඒ 1984 වර්ෂයයි.


“මම බණ්ඩාරවෙල රෝහලට ගිහින් මාසයක් විතර යනකොට රෝහණ විජේවීර සහෝදරයා වල්හපුතැන්නේ නිවසට ආවා. එය ඉතාම ආරක්ෂාකාරී තැනක්. නමුත් රෝහණ සහෝදරයාගේ සහ පවුලේ අයගේ තාවකාලික පදිංචි ස්ථානයක් විදිහටයි එතැනට පැමිනුණේ. සෝමවංශ අමරසිංහ සහෝදරයා ඇවිත් මාව රෝහණ සහෝදරයාගේ ගෙදරට එක්ක ගියා. ඔහුට අවශ්‍ය වුණා අපි දෙදෙනා අතර කිසියම් දැඩි සබඳතාවක් ගොඩනගන්න. ඒකට හේතුවක් තිබුණා. මම පක්ෂයේ කෙනෙක් වුණත් පක්ෂයට පරිබාහිර සමාජයක් සමග වෘත්තිමය ජීවිතය හා ගැළපුණු කෙනෙක්. ඒ වගේම රජයේ පත්වීමක් යටතේ බණ්ඩාරවෙලට පැමිණි නිසා කිසිවෙක් සැක කරන පසුබිමක් තිබුණෙ නෑ. ජවිපෙට සම්බන්ධයැයි හිතන්නට කිසිම ඉඩක් නෑ. දොස්තර වසන්ත කියයි.


රෝහණ විජේවීර වල්හපුතැන්නේ පදිංචිය යන්නේ අත්තනායක නමින් පෙනී සිටින මැණික් ව්‍යාපාරිකයකු හැටියටය. එම නිසා ඔහුගේ ගෙදරට යන එන අය මැණික් විකිණීමට එන අය හෝ ව්‍යාපාරික පසුබිමක් ඇති අය ලෙස රඟපාමින් පැමිණිය යුතුය. එසේ නොවුණොත් ගෙවල් රාශියක් අතර මැදිවූ විජේවීර සහෝදරයා ගැන කිසියම් සැකයක් ඇතිවීම නවතාලිය නොහැක. ඊටත් වඩා ආණ්ඩුව රට පීරමින් හොයන විජේවීර මහ කැලේක සිටිනවා යන අදහසක් කෙනෙක් තුළ ඇතිවෙනවා විනා ගමක පදිංචියක් ගනීවි යැයි සිතෙන්නේ නැත. රෝහණ සහෝදරයා පක්ෂ තහනමින් පසු මේ අලුත් උත්සාහය ගත්තේ රටේ පවතින එම අදහස ඔස්සේ යමිනි.


රෝහණ සහෝදරයාගේ ආරක්ෂාවට දෙන්නෙක් යොදවලා හිටියා. එක්කෙනෙක් නැවතිලාම හිටියා. අනෙක් කෙනා නිතර ආව ගියා. මම හිටියෙ බාහිර පාර්ශවයක් විදිහටයි. විශේෂයෙන් රෝහණ සහෝදරයා වෙනුවෙන් සමාජ බලය ගොඩනගන බලවේගයක් විදිහටයි. මම බණ්ඩාරවෙල ප්‍රදේශයේ මධ්‍යම පාන්තිකයන්ව ඇසුරු කළේ වෛද්‍යවරයකු ලෙසයි. ඔවුන් මාව දැන සිටියෙත් වෛද්‍යවරයකු ලෙසයි. මේ නිසා දිසාපතිතුමා, පොලිස් නිලධාරීන්, ගුරුවරු, වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩල, වෙනත් රාජ්‍ය නිලධාරීන් මාව දැන හිටියා. ඒ පසුබිම තුළ රෝහණ සහෝදරයාගේ එදිනෙදා අවශ්‍යතා යම් ආකාරයකට සපුරා දීමේදී මා තීරණාත්මක සාධකයක් බවට පත්වුණා. මා තනිකරම පෙනී සිටියේ පක්ෂයට සම්බන්ධ නැති විදිහටයි. පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්වරයා මට අවස්ථා ගාණකදී මුණගැසුණා. නමුත් ඔහු දැන සිටියෙ නෑ මම මොකද කරන්නෙ, මම ඒ ප්‍රදේශයට ආවේ කවර හේතුවක් සඳහාද යන කාරණයවත්.


රෝහණ සහෝදරයා ආරක්ෂා කර ගැනීම ඒ පමණට රහස්‍ය ක්‍රියාමාර්ග ඔස්සේ සිදුවූ බවට ඊට වඩා වැල්වටාරම් උවමනා නැත. අදාළ ප්‍රදේශයේ ජවිපෙ ප්‍රධානීන්වත් රෝහණ සහෝදරයා වල්හපුතැන්නේ පදිංචි බව දැන සිටියේ නැත. දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ අය එක අවස්ථාවක රෝහණ සහෝදරයා සිටි නිවසට පැමිණ හැඳුනුම්පත් පවා එකතු කරගෙන ගියහ. අත්තනායක නමින් පෙනී සිටින හැඳුනුම්පත තමන්ගේ පක්ෂයේ නායකයාගේ බව දේශප්‍රේමීහු දැන නොසිටියහ.


මම තමයි රෝහණ සහෝදරයාගේ පවුලේ වෛද්‍යවරයා බවට පත්වුණේ. මා දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වුණත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ගැන නිසි දැනුමක් ලබාතිබුණා. ඒ නිසා දරුවෙක් අසනීප වුණත්, චිත්‍රාංගනී සහෝදරිය අසනීප වුණත් මම ඔවුන්ට නිවසට ඇවිත් ප්‍රතිකාර කරලා ගියා. ටිකක් තදබල අසනීප තත්ත්වයන්වලදී මම වාහනේ දරුවන්ව සහ චිත්‍රාංගනී සහෝදරියව බණ්ඩාරවෙල රෝහලට එක්ක ඇවිත් සුදුසුම වෛද්‍යවරයන්ටත් පෙන්නුවා.
ඒ සමහර අවස්ථාවල ඔවුන් රෝහල් ගත කරපු අවස්ථාත් තිබුණා. විශේෂයෙන් දරුවන් කීපවිටක් නේවාසිකව රෝහල් ගත කළා. චිත්‍රාංගනී සහෝදරියත් අවස්ථාවක දෙකක නේවාසිකව නතර කරන්න සිදුවුණා. ඒ සියලු අවස්ථාවල පූර්ණ මැදිහත් වීම රෝහලේ වෛද්‍යවරයකු ලෙස මට කරන්නට සිදුවුණා. මෙතැනදී කියන්නම අවශ්‍ය දෙයක් තියනවා. රෝහණ සහෝදරයාගේ අත්අඩංගුවට පත්වීමත් සමග මාධ්‍යයේ දිගටම ඔහුගේ පවුලේ ඡායාරූප පළවුණා. මේ ඡායාරූප හරහා රෝහලේ වෛද්‍යවරු මා ජවිපෙට සම්බන්ධ දෝ යන අදහසක් ඇති කරාවිය යන සැකය මා තුළ පැවතුණා. නමුත් වෛද්‍යවරු අතරින් එම සැකය මතුවුණේ නෑ. එහෙත් රෝහල් කාර්ය මණ්ඩලයේ සිටි එක හෙදියක් චිත්‍රාංගනී සහෝදරිය රෝහල් ගත කිරීමට මා පැමිණි වගට හඳුනාගෙන තිබුණා. එය හෙළිවීමත් සමග තවත් කාරණා කීපයක් මුල්කරගෙන මට වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව යන්න සිදුවුණා. එය සේවයෙන් ඉවත්ව ගියා සේ සලකන ආකාරයේ සමුගැනීමක්.. (මේ සිදුවීම පිළිබඳ තවත් විස්තර ඉදිරියේ ලියැවේ)


විජේවීර සහෝදරයා ජාතික ගැටලු විසඳුම් පොත ලිවුවේ වල්හපුතැන්නේ නිවසේ සිටිද්දීයි. ඒ කාලෙදි ඔය පොත සම්බන්ධ කරුණු ගොඩක් ඔහු මාත් සමග කතා කළා. ඔහුට බොහෝ විට නිතරම ලැබුණේ පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයන් ගේන තොරතුරු පමණයි. ඒ අතර සාමාන්‍ය ජන සමාජයේ තොරතුරු නිසිආකාරව ලැබුණ කියා හිතන්නට බෑ. ඒවා හරියටම ලබාගන්න විශ්වාසවන්ත අයකු ලෙස මා සිටියා. ඒ නිසා අවම වශයෙන් දින දෙකකට වතාවක් හෝ මමත් රෝහණ සහෝදරයත් ඔහුගේ නිවසේදී හමුවුණා. ඒ අවස්ථාවලදී රෝගීන්, වෛද්‍යවරු, රාජ්‍ය නිලධාරීන් රටේ අර්බුදය සම්බන්ධයෙන් දරන මතය මා රෝහණ සහෝදරයාට ප්‍රකාශ කළා. එම තොරතුරු මගේ හරහා ලබාගැනීමේ විශාල කුතුහලයක් ඔහු තුළ තිබුණු බව මා දැක්කා. හදිසියේවත් මට එන්න බැරි වුණොත් කෙසේ හෝ ඉක්මනින් ගෙන්වා ගන්නවා. එම සාකච්ඡා සඳහා රාත්‍රී කාලයේ මෝටර් බයිසිකලයකින් එන්න මා පුරුදු වී සිටියා.”


බණ්ඩාරවෙල සිට වල්හපුතැන්නට රාත්‍රී කාලයේදී මෝටර් බයිසිකලයකින් පැමිණීම තරමක් දුෂ්කර කාර්යයක්. දැඩි සීතලත්, මීදුමත් කපාගෙන දොස්තර වසන්ත පැමිණියේ එවැනි ගමනකි. දවල් කාලයේ රෝහල් රාජකාරියේ යෙදෙන ඔහුට රාත්‍රියේ පක්ෂයේ වගකීම ඉටු කරන්නට සිදුවිය. මේ දෙකම තමන්ගේ ජීවිතය කරගත් වසන්ත බණ්ඩාරවෙලදී ගෙන ගියේ ආණ්ඩුවේ රාජකාරි කරන ගමන් ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළට එරෙහි වන කටයුත්තකි. බණ්ඩාරවෙල පදිංචියට පැමිණි වෛද්‍ය වසන්ත මහතාට රෝහල් සේවයට අමතරව රජයේ තවත් තීරණාත්මක වගකීමක් පැටවුණේ මෙකලය.
ඊට පසු කතාව ලබන සතියට.

m



අදහස් (0)

දින දෙකකට වතාවක්වත් මමත් රෝහණ සහෝදරයත් හමුවුණා

චන්න බුවනක Friday, 15 July 2016 07:24 AM

රටේ නායකත්වයක් ගන්න සුදුසු පුද්ගලයින් විනාශ කරලා නුසුදුසු පුද්ගලයින් තමයි එතනට එන්නේ. අපේ රටේ කවදත් සිද්ධ වුනේ ඒකයි. (ර)

:       0       0

උදාර Tuesday, 12 July 2016 08:37 AM

හරිම ආශාවෙන් කියවූ ලිපියක් (නි)

:       0       0

අල්මේදා Tuesday, 12 July 2016 08:36 AM

ශ්‍රී ලංකාවට සිටි අහිමානවත් උගත් නායකයෙක් විජේවීර (නි)

:       0       0

ධම්ම Wednesday, 13 July 2016 04:15 PM

මගේ ප්‍රියතම ශ්‍රී ලාංකික දේශපාලකයා රෝහණ විජේවීරයි. ඔහුගේ බුද්ධියෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අහිමිවීම අභාග්‍යයකි. (නි)

:       0       0

මහානාම කුමාරගේ Monday, 18 July 2016 09:06 AM

අද වසන්ත බණ්ඩාර මහත්තයල හිටගෙන ඉන්න තැන දැක්කහම දුකයි. සැබෑ සෝමවංශ අමරසිංහ සහෝදරයා මියගියේ 2015 අප්‍රේල් දිනක සේම. සැබෑ වසන්ත බණ්ඩාර මහත්තය මියගිහිල්ලත් බොහෝකල්. (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 13 July 2016 07:58 PM

ඇත්ත කතාකරනවා නම් අපි සතුටුයි (නි)

:       0       0

යසස් Tuesday, 12 July 2016 05:46 PM

මෙවන් ලිපි තව තවත් පළකරන්න (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 13 July 2016 02:24 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

මාලක Tuesday, 12 July 2016 08:02 AM

‘ආණ්ඩුවට ඇඟිල්ල දික් කළ සමාජවාදී රතු එළි බුරුතු පිටින් 80 දශකයේ අග නිවී ගියේය. ජවිපෙ නායකයන් විෂයේ ආණ්ඩුවේ මර්දනය ආරම්භ වූයේ ඇයිද යන කාරණය ගැඹුරු වූවකි. නමුත් ඒ මර්දනය හමුවේ ජවිපෙ ට ආදරය කළ ජවිපෙ මතය ගරු කළ කාටත් ආණ්ඩුවේ බිල්ලක් වන්නට සිදුවිය‘ - මෙය කොටි සටනටත් අදාලයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1793 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 932 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 176 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site