සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසින් සම්පාදිත ‘2013 සිංහල නවකතා විචාරය’ කෘතිය පසුගියදා එළිදැක්වුණි. මෑත කාලීන සිංහල නවකතාවේ ප්‍රවණතා සාකච්ඡා කරමින් මේ සංවාදය පැවැත්වෙන්නේ ඒ නිමිත්තෙනි. මෙරට මෑතකාලීන සිංහල නවකතාව, කෙටිකතාව හා කවිය පිළිබඳව අඛණ්ඩ අධ්‍යයනයක යෙදෙමින් කතුවරයා පළකරන කෘති ආවලියෙහි මෙය තවත් එක් කෘතියකි. කතුවරයා පර්යේෂණ හා විමර්ශනාත්මක ග්‍රන්ථ රැසක් මෙරට සාහිත්‍යයට දායාද කළ අයෙකි.
• 2013 වසරේ පළ වූ සිංහල නවකතා වෙන් වෙන් වශයෙන් ගෙන නවකතා විචාර ග්‍රන්ථයක් පළකිරීමට ඔබ පෙළඹුණේ ඇයි? එම නවකතා ගැන විමර්ශන කෘතියක් පළකිරීමට මෙච්චර කාලයක් ගත්තේ ඇයි?
2014 වසරේ ගොඩගේ සාහිත්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සභාපති වුණේ මම. අපට විනිශ්චය සඳහා නවකතා 84ක් ලැබී තිබුණා. මා ඉක්මනින් නවකතා පඨනය කළ හැකි පාඨකයෙක් නොවෙයි. නවකතාවක් කියවලා අවසන් කරන්නට මට දින තුන හතරක් ගතවෙනවා. ඒක නවකතාවේ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. කියවන අතරතුර නවකතා තේමාව, කතා පුවත, චරිත ක්‍රියාකාරකම් විචාරාත්මක නිරීක්ෂණයකට ලක්කරනවා. කියවා අවසන් වූ පසු සමස්තයක් වශයෙන් ගෙන නවකතාව විශ්ලේෂණය කොට දළ සටහනක් සකස් කරගන්නවා. ඊට පසුවයි මේ ගැන ලියන්න පෙළඹෙන්නේ.
ලියන අතරතුර මගේ විචාරාත්මක නිරීක්ෂණය තුළ කෘතියේ ව්‍යුහගත අංගෝපාංග කෙරෙහිත් යොමු වෙනවා. මේ විදිහට පඨිනයක් පඨනය කොට නිමා කිරීමෙන් පසුව විචාරයක් ලිවීමට පෙළඹීම සාමාන්‍යයෙන් මගේ අතින් සිදුවන දෙයක්.
2013 වසරේ ඉතා වැදගත් නවකතා කීපයක්ම රචනා වුණා. විශේෂයෙන් එරික් ඉලයප්ආරච්චිගේ ‘පාද යාත්‍රා’, ටෙනිසන් පෙරේරාගේ ‘දණ්ඩ භූමි’, පී.බී. ජයසේකරගේ ‘මරියා සිලොනිකා වස්තුව’, චම්පා වෛද්‍යතිලකගේ ‘ඇදහිය නොහැකි නිහඬතාව’, ශාරිකා කරුණාතිලකගේ ‘සෝන්දර බංගලාව’, මොහාන් රාජ මඩවලගේ ‘ලොවීනා’, ලියනගේ අමරකීර්තිගේ ‘කුරුලු හදවත’ වගේ අගය කළ යුතු විචාරාත්මක විශ්ලේෂණයට හසුවිය යුතු උඩුපෙළ අභිබවා යටිපෙළ කෙරෙහි අන්තර් විඥානය යොමුවිය යුතු පඨින රැසක්ම මේ වසරේදී පළවුණා.
මෙරට මේ වනවිට නිසි නවකතා විචාරයක් සිදුවෙමින් නොපැවැති නිසා නවකතා රැසක්ම පඨනය කිරීමට අවකාශය සැලසුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට මම පෙළඹුණා. හැම අතින්ම සාර්ථක නොවුණත් යම් යම් විශේෂතා මෙන්ම අනන්‍යතාත්, ප්‍රවණතාත් මතු කෙරුණු නිසා පඨනයට ලැබුණු හැම නවකතාවක් ගැනම විචාරාත්මක විශ්ලේෂණයක් කිරීමට අවකාශය සැලසුණා.
මෙහි ජනප්‍රිය දහරාවේ නවකතා කීපයකුත් විමර්ශනයට ලක්වෙනවා. ජනප්‍රිය දහරාවේ නවකතා පිළිබඳව විශ්වවිද්‍යාල විෂය නිර්දේශවලට ඇතුළත් වී තිබෙන නිසා එකී පඨනවල මතුවී පෙනෙන පොදු ලක්ෂණ කවරේද යන්න අපගේ නිරීක්ෂණයට මෙන්ම විමර්ශනයට ලක්වීම වැදගත් යැයි සිතනවා.
• මෑත කාලයේ වාර්ෂිකව පළවන නවකතා බොහොමයක් ඔබේ විමර්ශනයට යොමුවුණා. සමස්තයක් ලෙස මෑත කාලීන නවකතාවේ ප්‍රබලතා සහ දුබලතා ඔබ හඳුනාගන්නේ කෙසේද?
මෑත කාලීන නවකතාවල අප දුටු කැපී පෙනෙන ප්‍රබලතා සහ දුබලතා ගණනාවක් පෙන්වා දෙන්න පුළුවන්. මූලිකව ගත්තොත් ඇතැම් නවකතාවල අන්තර්ගතයෙහි කැපී පෙනෙන විවිධත්වයක් දක්නට ලැබුණා. ගෝලීය තරුණ විඥානය, මෙරට සමාජ අභ්‍යන්තරයෙහි ඔඩුදුවා ඇති කුල විභේදනය, විවිධ වාර්ගිකයන් අතර පැවතිය යුතු සංහිඳියාව කිසියම් රටක ජාතියක සමගියට මෙන්ම එරටේ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රවර්ධනයට බලපෑ හැකි ආකාරය පරදේසී, කුරුලු හදවත, සෙංකොට්ටං, තාරා මගේ දෙව්දුව වැනි නවකතාවලින් මතුවී පෙනුණා.
මෑත කාලයේ රචනා වූ විවිධ නවකතාවලින් අන්තර්ගතයෙහි මෙතෙක් පැවැති සීමා ඛණ්ඩනය කොට පෘථුල පරාසයක විකාශනය වෙමින් පැවැති අයුරු දක්නට ලැබුණා. නවකතා සන්දර්භය, විධික්‍රම, අතික්‍රමණය කිරීමට අද්‍යතන නවකතාකරුවන් දරා ඇති ප්‍රයත්නය පැසසුම් කටයුතුයි. බොහෝවිට තර්කානුකූල හේතුඵල සම්බන්ධය වෙනුවට දුරස්ථ වූ හේතුඵල ක්‍රියාවලියක් ගොඩනැගීමට පෙළඹී ඇති අයුරු දැකිය හැකියි. ආඛ්‍යාන ක්‍රමවේදයේදී ද විවිධ අත්හදාබැලීම් කිරීමට නූතන නවකතාකරුවා පෙළඹී තිබීම වැදගත්.
අන්තර්ගතයේ මෙන්ම කතා සන්දර්භයේත් කතා ආකෘතියේත් විවිධත්වයක් නැවුම් බවක් දැකිය හැකිවුවත් මේ නවකතා සමකාලීනත්වය ඉක්මවා ගිය බරසාර ගැඹුරු හා සංකීර්ණ ජීවිතාර්ථ හෝ සමාජාර්ථ ප්‍රකට කරන අර්ථපූර්ණ හා කලාත්මක ප්‍රයෝගවලින් විභූෂණය වූ නිර්මාණ දකින්න ලැබෙන්නේ නැහැ. නවකතා ජීවිත විවරණයක්, සමාජ විවරණයක්, මානව සම්බන්ධතා පිළිබඳ ගවේෂණයක්, නෙඑසේ නම් මානව ධර්මතා පුළුල් ලෙසත් සියුම් ලෙසත් අරුත් ගැන්වෙන විශ්ලේෂණ ක්‍රියාවලියක්. මෙකී අර්ථ නිරූපණ එදාට පමණක් නොව අදටත් අනන්‍ය, සාධාරණ බව විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට සාහිත්‍යවලින් පෙන්වාදී තිබෙනවා.
ඔනරේද බල්සාක් ගේ ‘මහලු ගෝරියෝ’, ගුස්ටාව් ෆ්ලෝබෙයාගේ ‘මදාම් බොවාරි’, ලියෝ තෝල්ස්තෝයිගේ ‘ඇනා කැරනිනා’, පියදෝර් දොස්තොවුස්කිගේ ‘අපරාධය සහ දඬුවම’, අර්නස්ට් මිලර් හෙම්ංවේ ගේ ‘මහල්ලා සහ මුහුද’ බඳු නවකතාවලින් ඒ බව පෙනෙනවා. නවකතාව යන වචනයට ආරෝපිත නවතාව එබඳු නවකතාවලින් ඉස්මතු වී පෙනෙනවා. ඒ නවකතා පඨනය කරන වාරයක් පාසා රසිකයාට නැවත නැවතත් විවිධ අර්ථ ව්‍යාඛ්‍යාත සැපයිය හැකියි. පෙර නොවූ විරූ වින්දනයක් උකහාගත හැකිවෙනවා.
• එබඳු සිංහල නවකතා අපේ රටේ බිහිවී නොමැති බවද ඔබ කියන්නට උත්සාහ ගන්නේ?
එබඳු ශක්‍යතාවෙන් යුත් එකම සිංහල නවකතාව ලෙස අවංකව පැවැසිය හැක්කේ ‘විරාගය’යි. විරාගයෙහි තිබෙන සාර්වත්‍රික ගුණය නම් කියවන වාරයක් පාසා සියුම් වින්දනයක් උකහා ගනිමින් නවාර්ථවලට අවකාශ සලසාගත හැකිවීමයි. දශක හතකට ආසන්න කාලයක් මේ නවකතාව වින්දනය කළ පරම්පරා ගණනක ප්‍රබුද්ධ රසිකයන් මේ පඨිනය අරඹයා සිදුකර ඇති අර්ථකථන විමර්ශනයෙන් මා කියන මේ අදහස වඩාත් සනාථ වෙනවා. මෙම ශක්‍යතාවෙන් යුත් වෙනත් සිංහල නවකතාවක් මෙතෙක් රචනා වී තිබේදැයි සැක සහිතයි.
අවම වශයෙන් අර්ථවත් සමාජය ගැඹුරින් විශ්ලේෂණය කෙරෙන නවකතා ලියැවී ඇත්තේ අතලොස්සයි. අද්‍යතන ඇතැම් සිංහල නවකතා ස්වර්ණ පුස්තක ආදී සම්මාන උළෙලවලදී පිදුම් ලැබූවත් නවකතාකරුවාගේ දෘෂ්ටිවාද හෝ කිසියම් යථාර්ථවාදී ප්‍රභේදයක් හෝ බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රචලිත සම්බඳු සාහිත්‍ය ප්‍රවණතාවක් මතු කෙරෙන විවරණය කිරීම අරමුණු කරගත් බව පෙනෙනවා. වර්තමාන ලේඛකයන් ඔවුනොවුන් පිළිගත් මතවාද වමාරනවා. ඒවා නිසි පරිකල්පනයට හසුවී නැහැ. ඇතැමුන් ආඛ්‍යාන හරඹ හෝ ශිල්පීය හරඹවලට නවකතාව මාධ්‍යයක් කරගෙන තිබෙනවා. මේවා සාමාන්‍ය රසිකයන්ගෙන් ඈත්වූ දුරස්ථ වූ රසවිහීන පඨන රුචියක් ඇති නොකරන අර්ථ ශූන්‍ය කෘති බව පැහැදිලියි.
• සාහිත්‍යකරුවාගේ ප්‍රධාන මෙවලම භාෂාවයි. නවකතාවකදී භාෂාව තීරණය වන්නේ කොහොමද?
නවකතාවක ව්‍යුහාත්මක අංගෝපාංග වන අන්තර්ගතය, චරිත, කතා සන්දර්භය, කතා කලාව, ජීවන දැක්ම, ශිල්පීය ලක්ෂණ ආදී සියල්ලක්ම භාෂාව සමඟ අවියෝජනීය ලෙස බැඳී තිබෙනවා. මෙහිදී යෙදුම් තෝරාගැනීම හෙවත් වාගුක්ති වරණය පිළිබඳ සංකල්පය ඉතා වැදගත් වෙනවා. විවිධ ක්‍රියා, විවිධ වස්තූන් හැඳින්වීම පිණිස භාෂාවේ විවිධ වාගුක්ති තිබෙනවා. නවකතාකරුවා ඉන් එකක් මහත් අවධානයෙන් හා විවේක බුද්ධියෙන් යුතුව තෝරා ගන්නේ සිය අභිලාෂය සඵල කරගැනීමට එය උචිතතම එක වන බැවිනි. ඒ නිසා නවකතාකරුවකු භාවිත කර ඇති වැකියක්, වගන්තියක්, යෙදුමක් වෙනස් කිරීම කියන්නේ නවකතාවේ අර්ථය වෙනස් කිරීමක් වෙනවා.
නවකතාකරුවා වචන හා යෙදුම් එකිනෙකට සංඝටනය කරන්නේ එම අවස්ථාව හා බැඳුණු සිදුවීම, චරිත සංඝටන නිරූපණය කිරීමට හැම අතින්ම සුදුසුය යන හැඟීමෙන් යුතුවයි. නවකතාවක් ලිවීමට පෙළඹුණු මොහොතේ සිටම ලේඛකයාගේ කාර්ය සාධනය බද්ධවී තිබෙන්නේ වචන මාලාව සමඟයි. මෙය තීරණය වන්නේ නිර්මාණ කාර්යය සඳහා උපයෝගී කරගන්නා අත්දැකීම් ක්ෂේත්‍රයට අනුවයි.
ගැමි සමාජයට බද්ධ වූ අත්දැකීමක් පාදක කරගත් විට ගැමි චරිත නිරූපණය සඳහා ගැමි වහරෙන් පෝෂණය වූ බස භාවිත කිරීමට සිදුවෙනවා. වන්නිකරයේ හෝ දිගාමඩුල්ලේ ජීවිත අත්දැකීම් තෝරාගත් අවස්ථාවලදී නවකතාකරුවාට අවස්ථාවෝචිත ලෙස ගැමියන් භාවිත කරන ප්‍රාදේශීය යෙදුම් අව්‍යාජ ලෙස භාවිත කළ යුතු වෙනවා. සයිමන් නවගත්තේගම, පියසේන කහදගමගේ වැනි ලේඛකයන්ගේ නවකතාවල උපයුක්ත බස්වහර විමසීමෙන් මේ බව තේරුම්ගන්න පුළුවන්. ඒ අනුව බස්වහර චරිතවල අදාළ සමාජ පරිසරය හා බද්ධ වෙනවා. කිසිම නවකතාවක් එක් සමාජ ස්ථරයකට පමණක් සීමාවන්නේ නෑ.
• ඔබ දෙස් විදෙස් නවකතාවේ නව ප්‍රවණතා ගැන නිරන්තර අධ්‍යයනයේ යෙදෙන කෙනෙක්. ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා හමුවේ අද අපේ රටේ නවකතාව තිබෙන්නේ කොතැනද?
විදෙස් නවකතාකරුවන් තම රටේ පවත්නා සමාජ, ආර්ථික හා දේශපාලන පරිසරයට අනුරූපී ලෙස විවිධ බාහිර බලපෑම්වලින් මිදී ලේඛන කාර්යයේ යෙදීම සඳහා නවකතාවේ ගමන්මග වෙනස් කිරීමට පෙළඹෙනවා. ඒ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තර්ගතයේ ප්‍රවණතා මෙන්ම වස්තු සන්දර්භයෙහිත්, ආකෘතියෙහිත් ප්‍රවණතා මතුවෙනවා. ප්‍රවණතා ඉස්මතු වන්නේ හිතාමතා සැලසුම් සහගත ලෙස නොවෙයි. එය ප්‍රතිභාසම්පන්න ලේඛකයන් නිරතුරු සිය නවකතා ක්‍රමවේදය පිළිබඳ සිදුකරන පර් යේෂණ හා අත්හදාබැලීම් හේතු කොටගෙන නිරායාසයෙන්ම සිදුවන දෙයක්. ප්‍රවණතා මතු කරන්න හිතාගෙන කිසිම ලේඛකයකුට නවකතා ලියන්න බෑ.
යථාර්ථවාදී රීතිය අරඹයා ලේඛකයන්ට මුහුණදීමට සිදුවුණ යම් යම් බාධක හා ගැටලු විසඳා ගැනීම සඳහා සිදුකරන ලද අත්හදාබැලීම් හේතුකොටගෙනයි අධියථාර්ථවාදී රීතිය, නව යථාර්ථවාදී රීතිය, සමාජවාදී යථාර්ථවාදී රීතිය හා ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය ආදී රීති පසු කාලයේ ගොඩනැගුණේ. එසේම නූතනවාදය පශ්චාත් නූතනවාදය වගේ විචාරවාද හා බැඳුණු යම් යම් සංකල්ප මතුකරගෙනත් නිර්මාණාත්මක සාහිත්‍ය කෘති රචනා කිරීමට පෙළඹුණත් ඒ ප්‍රයත්න එතරම් සාර්ථක වුණේ නෑ. මේ හැරුණු විට යම් යම් මතවාද දෘෂ්ටිවාද ඔස්සේත් ප්‍රවණතා ඉස්මතු වී ඒවා පෙරටු කරගෙන නවකතා රචනා කිරීමට ඇතැමුන් පෙළඹුණත් ඒවා උපන් ගෙයිම ශුන්‍ය වී ගියා.
ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා හමුවේ අපේ රටේ නවකතාව බොහෝදුරට සමීපතාවක් දක්වනවා. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය අපට දුරස්ථ නොවූ නිසා එම රීතිය අනුගත අගය කළ හැකි නවකතා කීපයක් අපේ රසිකයන්ට කියවන්නට ලැබුණා. ඒවා විශිෂ්ට ගණයේ කෘතීන් ලෙස සැලකිය හැකියැයි මා කියන්නේ නෑ. එහෙත් කිසියම් ප්‍රමාණයකට ඒවා මෙරට රසිකයන්ගේ වින්දන ශක්‍යතාවන්ට සමීපස්ථ වුණා.
• ඔබ වාර්ෂිකව පළවන නවකතා, කෙටිකතා පොත් සහ කාව්‍ය සංග්‍රහ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් හා විමර්ශනයක් දිගු කලක සිට කරගෙන එනවා. ඒත් මෙබඳු විධිමත් සාහිත්‍ය විමර්ශන කාර්යයක් අපේ රටේ බොහෝ විචාරකයන් අතින් හෝ විශ්වවිද්‍යාලවලින් සිදුවන බවක් පෙනෙන්නට නැහැ නේද?
ඔබ කියන කරුණ ඇත්තක්. බලන්න සිංහල කවිය. මාර්ටින් වික්‍රමසිංහ ‘නව පද්‍ය සිංහලය’ කෘතියෙන් කොළඹ කවීන්ගේ සිට සිරි ගුණසිංහ හා ගුණදාස අමරසේකර යන කවීන්ගේ නිර්මාණ තෙක් මධ්‍යස්ථ විචාරයක් සිදුකළා. ඉන්පසු සිංහල කවිය නව මංපෙත් ඔස්සේ විකාශනය වුවත් සිංහල කවියේ ගමන්මග වෙනස් කිරීමට 70–80 දශකවල කවීන් මහත් ප්‍රයත්න දැරුවත් ඒ අරඹයා විධිමත් මධ්‍යස්ථ අධ්‍යයනයක් මෙතෙක් සිදුවුණේ නෑ. විටින් විට උපාධි පර් යේෂණ සඳහා යම් යම් කවීන්ගේ නිර්මාණ විමර්ශනය වී තිබුණත් එය ප්‍රමාණවත් නෑ.
දැනට දශක දෙකකට පමණ පෙර විශ්වවිද්‍යාලවල සිංහල අංශවල සේවය කළ ආචාර්යවරුන් මෙම වගකීම පිළිබඳ අවබෝධයකින් යුතුව ක්‍රියාකළ බව ඇත්ත. එහෙත් අද සිටින අයගේ අරමුණ ඊට වඩා වෙනස්. යහපත් අරමුණින් දීර්ඝ කාලීනව විචාර කාර්යයේ යෙදෙනවා නම් ඒ අතලොස්සයි. අද තත්ත්වය එදාට වඩා හාත්පසින්ම වෙනස්. අද සරසවිවල සිංහල අංශ දිය සිඳුණු මරු කතරක් වගේ කීවොත් අපේ හිතවතුන් අමනාප වෙන එකක් නෑ.
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
දැන් නවකතාවල තියෙන්නේ ආකෘති හරඹ විතරයි
lalith gunasekara Sunday, 30 May 2021 07:25 AM
විශ්ව විද්‍යාලයේ ඉගැන්නුවා තමයි. කුහක ගුරු හොරුන් මේ අය. කිසිම ළමයි සමග සම්බන්ධයක් නැහැ. මහ අහංකාර කමට තමයි ගියේ. එතකොට ඔය ආචාර පදවි නැහැ. යාන්තම් බී.ඒ. එක විතරයි තිබුණේ...