මේ දිනවල හිරගෙදරට නිදහසක් නැති තරම්ය. එය තනිකරම ‘වී.අයි.පී’ නවාතැනක් මෙනි. චෝදනා පිට මන්ත්‍රීවරු රිමාන්ඞ්ය. රාජ්‍ය නිලධාරීහු රිමාන්ඞ්ය. භික්‍ෂූහු රිමාන්ඞ්ය.
හැමදාම වැරැද්දකට පොඞ්ඩෝ විතරක් හිරගෙට කොටුවුණු යුගයක ලොකු ලොක්කෝ ද හිරගෙයි විසීම එක අතකින් රටට වෙනසකි.
කොහොම වුණත් හිරේට යන ලොක්කෝ බොහොම සතුටින් එහි යන බව නම් මාධ්‍යයේදී අපි දකිමු. රිමාන්ඞ් සිටින අය බන්ධනාගාර බස් එකේ අධිකරණයට එන්නේද ගෙදර ඉන්නවාට වඩා සතුටිනි. එහි කිසිම දුකක් නැති බව ඔවුන් දකිද්දී අපට පෙනේ. ලොක්කෝ හැටියට හිරේට යාම සැපක් ලෙස හිතන අයත් නැතිව නොවේ. මේ අතරේ හිරේට යන්න වුණත් රෝහලට යන්න ලෑස්ති වී ඇඟිලි ගණින අයත් සිටිති. මේ කොයි හැටි වෙතත් අත් දෙකටම මාන්චු දාගෙන හිනා වෙවී, අත්දෙකත් පෙන්නාගෙන යන ලොකු ලොක්කෝ ලෙඩක් නැතුව රෝහලට රිංගනවානම් එය ලජ්ජාවකි. ඒකට හේතුව පොඞ්ඩන්ට එහෙම ‘චාන්ස්’ නැති බැවිනි.
අපි දන්නා හැටියට සමහර මැති ඇමතින්ගේ ගෙදර කාමරය ‘ඩුවල් ඒසී’ය. සෙරෙප්පු සපත්තු පමණක් නොව ඇඳුම් ගලවන්නටද සේවකයෝය. නිදියහන අධි සුඛෝපභෝගීය. කොටින්ම භාවිත කරන වැසිකිළියද ඇමතිවරයා පමණක් භාවිත කරන අන් සියලු දෙනාට තහනම් වූ සුඛෝපභෝගී කාමරයකි. එවැනි අය හිරගෙට ගිය විට සැපක් විඳිනවා යැයි අපි නොසිතමු. මේ කාලේ පිච්චෙන රස්නය හිර ගෙටද පොදුය. ඒ නිසා රෝහලට නොගොස් බන්ධනාගාරය ඇතුළේ දාඩිය දාගෙන බිම බුදියා ගැනීම ලේසි වැඩක් හැටියට අපි හිතන්නේ නැත. “ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි” වගේ වැරදි කළානම් විඳවීමද සන්තෝෂයෙන්ම කරන හැටි හිරේට සතුටින් යන අය දකිද්දී අපට පෙනේ. පසුගියදා දැඩි ලෙස රෝගී වූ අයෙක් අධිකරණයට ගෙනැවිත් ආපසු බන්ධනාගාර බසයට නංවා ගත්තේ අතිශය කනගාටුදායක අන්දමිනි. එය සැබෑවටම ‘කුදලාගෙන’ විසිකිරීමක් හැටියට මාධ්‍යයේ දකිද්දී අප තීරණය කළෙමු. මේ වැනි දේවල් සමහර ලොක්කන්ට නැති බවද අපි දකිමු. කෙසේ හෝ වේවා කොයි ලොක්කත් රිමාන්ඞ් වූ පසු රෝහලට නොගිහින් සාමාන්‍ය පරිදි සිටිනවානම් එය තමන්ටත් අනුන්ටත් ආදර්ශයක් බව නම් නොකියා බැරිය.
වත්මන් සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන ඇමති එස්.බී. දිසානායක මහතා ඉතිහාසයේ අවස්ථා දෙකක් සිරගත වූවෙකි. ඔහු 1987 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ නායකයකු ලෙස රිමාන්ඞ්ගත කෙරිණ. ඉන්පසු 2004 වසරේ දෙසැම්බරයේ වසර දෙකකට බරපතළ වැඩ සහිතව සිරගත කෙරිණ. එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එස්.බී. සිරගත කෙරුණේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මතය. මේ නිසා එස්.බී. දිසානායක ඇමතිතුමාට රිමාන්ඞ්ගත වීම ගැනත්, බරපතළ වැඩ සහිතව සිරගත වීම ගැනත් හොඳ අත්දැකීම් තිබේ.
ඒ නිසා අපි එස්.බී ඇමතිතුමා සමඟ සිරගත ජීවිතයේ අත්දැකීම් බෙදාගනිමු. එයට ඔහු සුදුස්සකු වන්නේ බන්ධනාගාර රෝහලින් පිට ඔහු සිරගත ජීවිතයේ රසය වගේම නීරසද වින්දෙකු බැවිනි.
‘කොහොමද හිරේ හිටපු ජීවිතේ...?’
මම එතුමාගෙන් විමසීමි.
‘ආ... මම ඉතින් රිමාන්ඞ් වෙලත් හිටියා. බරපතළ වැඩ කියලත් ඇතුළට දාල හිටියනෙ..?’
‘ඒක තමයි.... රිමාන්ඞ් වුණේ කොයි කාලෙද?’
1987 අවුරුද්දෙ. ඒ කාලෙ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ සමිති රැස්වීමකදී මට ලැබුණු තුණ්ඩු වගයක් වාහනේ තිබුණා. ඒකෙ ලියල තිබුණෙ යූ.ඇන්.පී එකත් සන්නද්ධයි, ජ.වි.පෙත් සන්නද්ධයි, ඇයි අපි සන්නද්ධ නොවෙන්නේ කියලා. අන්න ඒ කාරණය මුල්කරගෙන තමයි මාව රිමාන්ඞ් බන්ධනාගාරයට ගෙනාවේ.
‘කොහොමද ඒ කාලේ...’?
‘මම මාස 9ක් රිමාන්ඞ් එකේ හිටියා. ඒ කාලෙ මහින්ද විජේසේකරත් මාත් එක්ක රිමාන්ඞ් එකේ හිටියා. තව එම්.කේ.ඩී.ඒ.එස් ගුණවර්ධන. එතුමත් හිටියා. රිමාන්ඞ් එකෙත් කාමර කියල එකක් තියෙනවා. හෝල් කියල එකක් තියනවා. මුලදී මාව දැම්මේ කාමරයකට. ‘ලෙඩක් තමයි ඉතින්’ එස්.බී මට කියයි...
‘ ඒ මොකෝ ලෙඩක් කිවුවේ...
‘මෙහෙමයි, ඔය කියන තරම් ලොකු සැප අපට නම් ලැබුණෙ නෑ. මට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි ටොයිලට් (වැසිකිළි) ප්‍රශ්නෙ. හවස 6.00ට කාමරේ වහනවා. ඒ කාමරේ ටොයිලට් එකක් නෑ. හයෙන් පස්සෙ දොර අරින්නේ නෑ. ටෝච් එකක් දීලා තිබුණා. කාමර කිවුවට ඕවා හරියට කූඩුව වගේනෙ. කාමරේ ඇතුළෙ බාස්කට් දෙකක් තියෙනවා.
තව වතුර බෝතලේකුත් කාමරේට ගන්නවා. එක බාස්කට් එකකට රෑට මුත්‍රා කරනවා. අනෙක මළපහ කරන්න. නිදියගත්තෙ බිම. ඒවා දැනුත් එහෙම තමයි. හැබැයි ඉතින් රිමාන්ඞ් වෙන අය, කොන්ද අමාරුයි, අතපය කැක්කුමයි, ඉඳල පුරුදු නෑ කියල පොඩි ඇඳන් ඉල්ලා ගන්නවා. ජේලර්ලත් ඒවා සපයලා දෙනවා. එහෙමත් ඉන්න අමාරු කට්ටිය හොස්පිට්ල් එකට යනවා. අපිනම් කරුවලේ බිම බුදියගෙන, බාස්කට් දෙක ළඟ තියාගෙන රිමාන්ඞ් ජීවිතේ ගෙව්වා. ඊට පස්සෙ මාව හෝල් එකට දැම්මා. ඒකෙනම් 100ක් විතර කට්ටිය ඉන්නවා. ඒකෙත් බුදියගත්තෙ බිම... හැබැයි ටොයිලට් තියනවා. ඔය කාලෙ අපි බන්ධනාගාරෙ භූමියෙ එළවළු වැව්වා. කතුරුමුරුංගා හොඳ වගාවක් කළා. තව මල් වැව්වා... හරි ෂෝක්’...
‘රිමාන්ඞ් එකේදී මොනවද ලැබුණු පහසුකම්’...
‘රිමාන්ඞ් අයට තුන් වේලට පිටින් කෑම ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට ආගන්තුකයන්ට අපිව බලන්න එන්න පුළුවන්. තව ජම්පරේ අඳින්න ඕනෑ නෑ. අපට කැමති ඇඳුමක් ගෙන්නාගෙන අඳින්න පුළුවන්.’ ඒ ටිකම ලොකු දෙයක්’..
‘හැබැයි 2004 දී ඇතුළට දැම්මේ වැඬේ බරපතළම කරලනෙ..’ මම විමසීිමි.
‘ඔව්.. ඔව්... අධිකරණයට අපහාස කළා කියලා. නමුත් දේශපාලන වශයෙන් දුන්න දඬුවමක්. අවුරුදු දෙකක් බරපතළ වැඩ සහිතව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන් දෙනයි ඔය විදිහට හිරේට ගියේ. මමයි, සරත් ෆොන්සේකයි, ඉස්සර හිටපු දොස්තර එස්.ඒ. වික්‍රමසිංහයි විතරයි.
‘බරපතළ වැඩ කළාද?’
‘මෙහෙමනෙ..., බරපතළ වැඩ කියල එක්කො උයන්න දානවා. නැත්නම් රෙදි හෝදන්න දානවා. කම්හලට දානවා. මාව දැම්මෙ පුස්තකාලෙට. මම ඒකට ගියාම පුටුවක් මේසයක් ලෑස්ති කරල දුන්නා. මම ඒකෙ වාඩි වෙලා හොඳට පොත් කියෙවුවා. ඒ වගේම පොත් ලියුවා. මම හිතනවා හිරේ හිටියත් ඉතාම වටිනා කාලයක් කියලා. හොඳ දැනුමක් ලැබුවා. පුස්තකාලෙ ගිහාම මට ඒකෙ ඉන්න කවුරු හරි වඬේ එකක්, පැටිස් එකක් දීලා තේ එකකුත් දෙනවා.
හොඳට සැලකුවා. මට සලකපු අයට මමත් එළියට ඇවිත් සැලකුවා. මට උදවු කරපු සමහර ජේලර්ලත් හිරකාරයෝත් පස්සෙ මාව හොයාගෙන ආවා. දරුවන් රස්සාවලට දාන්න.. පත්වීම් වෙනස් කර ගන්න. මම ඒවා කළා. එක ජේලර් කෙනෙක් විතරයි මට සැරෙන් හිටියෙ. එයානම් ‘ලෙඩෙක්ම’ වුණා. අනික් අය බන්ධනාගාර අධිකාරිගෙ ඉඳල පහළට සියළු දෙනා මට උදවු කළා.
‘එතකොට ජම්පරේ...’ මගෙන් ප්‍රශ්නයකි.
‘ජම්පරේ තමයි අඳින්නෙ. ගිය දවසෙ මට දුන්නෙ අමු රෙද්දෙන් මහපු අලුත් ජම්පරයක්. මට ඒක හරි ගියේ නෑ. මම සුදු කොට කලිසම් 10කුයි සුදු අත්කොට කමිස 10 කුයි ගෙදරින් ගෙන්වාගත්තා.’
‘දාලා හිටියෙ කාමරේකද?’
‘නෑ... ශාලාවක හිටියෙ. මම දාපු ශාලාවේ හිටියෙ ටිකක් වැදගත් මිනිස්සු. බැංකු මැනේජර්ලා, ගුරුවරු, හමුදාවෙ කැප්ටන් කෙනෙක් හිටියා. තව නාවික හමුදාවේ කමාන්ඩර් කෙනෙක් හිටියා. පොලිසියෙ අය හිටියා. හැබැයි ඉතින් අපරාධ, මිනීමැරුම් කරල ආපු අය. බරපතළ වැඩ සහිතව දාපු අයනෙ. ඒ මිනිස්සු මාත් එක්ක හිතවත් වුණා.
‘හිරේදී හොඳම හිතවතෙක් හැදුනද?’ මම විමසීමි.
‘ම්... ඔව්.. ඒ මනුස්සයා මම ඇතුළට යද්දිත් අවුරුදු 13ක් හිරේ ඉඳල තිබුණ. 14 වැනි අවුරුද්ද ගෙවමින් හිටියෙ. දෙණියායෙ කෙනෙක්.. එයාගෙ තාත්තව ගමේ කවුද මනුස්සයෙක් පිහියෙන් ඇනලා මරලා. පස්සෙ ඒ මිනිහා හමුදාවට ගිහින් තුවක්කුවක් අරන් පැනල ඇවිත් තාත්තව මරපු මිනිහට වෙඩි තියලා මහ පාරෙම ගිනි තියලා. ඒකට තමයි ඇතුළට ඇවිත් හිටියෙ. පරණම හිරකාරයෙක් නිසා වාට්ටුවේ (හෝල් එකේ) ලීඩර් එයා. කොහොමත් මිනිහා අහිංසක කෙනෙක්. හොඳ කල්කිරියාව නිසා එයාට ඉතින් පොඩි පොඩි අවස්ථා බන්ධනාගාරෙන් දීලා තිබුණා. දවසට සැරයක් විතර බොරැල්ලට ගිහින් එනවා. හිටපු ගමන් එයා ගෙදරත් ගිහින් එනවා. එයා තමයි මට ගොඩක් උදවු කළේ..
‘කියන්ඩකො බලන්න ඔබට මොනවද කරපු උදවු කියලා’.. මම නැවත අවස්ථාව දුනිමි.
‘කෑම එක බෙදලා දුන්නා. මම කෑවම ‘සර් පිඟාන දෙන්න’ කියලා මිනිහා ඉක්මනට ගිහින් පිඟාන හෝදනවා. උදේ මම ටොයිලට් යන්න ලෑස්ති වෙද්දී, ‘සර්... පොඞ්ඩක් ඉන්න කියලා, අර මනුස්සයා ටොයිලට් එක හොඳට සෝදලා මට යන්න ලස්සනට හදල දෙනවා. හැමෝම පාවිච්චි කරන ටොයිලට්නෙ.
ඒ වගේම කොමඞ් ඒවා නෙවෙයි. පෝච්චි වැසිකිළි. මට නාගන්න ටැංකියට වතුර පුරවලා දෙනවා. මම නිදාගත්තෙ පැදුරෙ. මට ඇඳක් දෙන්න හැදුවා. ඒක ගත්තෙ නෑ. මම නිදා ගන්නකොට අර මනුස්සයා මා ළඟට එයාගෙ පැදුර අරන් ඇවිත් තනියට වගේ හැමදාම නිදාගත්තා. උදේට මම පාන්දරම නැගිටිනවා. ඒ වෙලාවට එයා නැගිටල මට තේ එකක් හදලා දෙනවා. ඉතාම හොඳ කෙනෙක්..
‘මම හිරේ ඉන්න ගමන් එයාගෙ පවුලෙ තොරතුරු හොයලා ඔහුගේ ගෙදර වියදමට සල්ලි යැවුවා. දුප්පත් අහිංසක මිනිස්සුනෙ. මම නිදහස් වෙලා එළියට ඇවිත් රජීවු විජේසිංහගේ තාත්තට කතා කරල අර මනුස්සයා හිරෙන් නිදහස් කළා. පස්සෙ එයාගෙ දරුවොත් හොඳ රස්සාවල් වලට දාලා දුන්නා. ඇමති එස්.බී. කියයි.
‘තව කවුද ඇමතිතුමාට උදවු කරපු අය..?’
‘මම හිරේට යද්දි වේට් කෑලි (ව්‍යායාම උපකරණ) දෙක තුනක් අරගෙන ගියා. ඒකෙන් හැමදාම ව්‍යායාම කළා. තනියම නෙවෙයි, ආමි කැප්ටන්, නේවි එකේ කමාන්ඩර් සහ ගුරුවරයෙක් සමඟ. ව්‍යායාම නොකළොත් හිරේ ඉඳල එන ගොඩක් අය එළියට එන්නෙ ලෙඞ්ඩු වෙලා. මහින්ද රාජපක්‍ෂ අවුරුද්දකුත් මාස තුනක් රිමාන්ඞ් හිටියා. එයා හිටියේ රෝහලේ ඇඳේ. ඇඳට වෙලා නිදාගෙන ඉන්න එක ඊට වඩා අමාරුයි. කොහොම හරි ඇඳට වෙලාම ඉඳල මහින්දට ප්‍රෙෂර් (අධි රුධිර පීඩනය) ආවෙත් රිමාන්ඞ් ඉඳල ආවමනෙ...
‘මම හිටපු වාට්ටුවේ හිටියා නක්ෂත්‍රය දන්න ගුරුවරයෙක්. මම එයාට කියල කේන්දර බලවාගත්තා.’
තවත් මනුස්සයෙක් මාසෙකට වතාවක් ඇවිත් මගේ කොණ්ඩෙ කපනවා. හැබැයි ඉතින් එයාටනම් හැමදාම කීයක් හරි දෙන්න ඕනැ.’
‘එතකොට සල්ලි..?’ හිරේදි සල්ලි තියාගන්න බෑනෙ..’
‘සල්ලි තිබුණා. හැබැයි ජේලර් කෙනෙකුට දීලා තිබුණෙ. ඕනැ වුණාම ඉල්ලාගන්නවා’..
‘ජංගම දුරකතනත් පාවිච්චි කරන්න ඇතිනෙ.’ මම ඇසුවෙමි.
‘පාවිච්චි කරන අය ඉන්නවා. මමනම් ලේසියටම ෆෝන් එකක් ගෙනිච්චේ නෑ. පණිවුඩයක් දෙන්න ඕනැ වුණාම ජේලර්ට කියනවා. එයාල ක්‍ෂණිකව උදවු කරනවා.’
‘බලාගෙන ගියාම එහෙම ලොකු දුකක් විඳලත් නෑ වගේනේ..’ මම සිනාසී විමසුවෙමි...
‘ලොකුම දුක මොකක්ද දන්නවද? මට ඇඳක් දෙන්න හදලත් ගත්තෙ නෑනෙ. රෑට පැදුර එළාගෙන නිදාගත්තෙ බිම. වාට්ටුවේ කූඹි ඉන්නවා. අපි කරන්නෙ නිදාගන්න කලින් රෑට පැදුර වටේ භුමිතෙල් ගානවා. පාන්දර වෙද්දි භූමිතෙල් වාෂ්ප වෙලා ගියහම කූඹි කීපදෙනෙක් කනවා. ඒක තමයි අමාරු..’ මම හිරේට යද්දි පැදුරු දෙකකුයි තව හොඳ බ්ලැන්කට් එකකුයි අරගෙන ගියේ.
‘හැබැයි ඕනෑ වෙලාවක නාන්න වතුර ටැංකි, වැසිකිළි තිබුණා. වැසිකිළිය පෝච්චි එකක්. මම යද්දි ඒකත් කැඩිලා. පස්සෙ මගේ යාළුවෙකුට ඔය ප්‍රශ්නෙ කිවුවා. එයා බන්ධනාගාරයට සල්ලි දුන්නා වැසිකිළි හදන්න කියලා’
‘ඇමතිතුමා, සාමාන්‍යයෙන් හිර ගෙදර නීතියට අනුව පිටින් ගෙන්වාගෙන කෑම කන්න බෑ. ඔබ මොකද කළේ..?
මෙහෙමයි. ගෙදරින් ගෙන්වාගෙන අවුරුද්දටම එක වේලක් කන්න පුළුවන්. හුඟක් හිරකාරයො කරන්නෙ උපන්දිනේට හරි සිංහල අවුරුද්දට හරි ඒ කෑම එක ගෙන්වාගන්නවා. අනේ... මම නම් තුන් වේලම වගේ ගෙන්වාගත්තා. ඒ හිර ගෙදර කෑම කන්න බැරිව නෙවෙයි. මට වෙනම ගෙනාවා. දෙතුන් දෙනෙක්ට සෑහෙන්න ගෙනාවම අපි කීප දෙනෙක් එකතු වෙලා කනවා. මම හිරේ ඉන්න කාලෙ ඇතුළෙ හිටියා නාවල නිහාල්. මිනිහා නිකන් රජා වගේ. හැමදාම උදේට එයාට රුපියල් 20,000ක විතර විසිට් එකක් එළියෙන් ලැබෙනවා. පලතුරු, කෑම, බීම හැමදේම. මටත් ඉතින් එයා ඔය චීස් පැකට් එකක්, තව මොනව හරි එවනවා.
‘විස්කි බ්‍රැන්ඩි එහෙම..’
‘ඒවා හිරගෙදර නෑ කියල මම කියන්නෙ නෑ. මම කිවුවනෙ මට අහුවුණේ ටිකක් හොඳ මිනිස්සු ඉන්න වාට්ටුවක් කියලා. සමහර වාට්ටු තිබුණා ජේලර්ට පාලනය කරගන්න බෑ. හැම දහජරාවක්ම වෙනවා. ගංජා ගහනවා, කුඩු ගහනවා එහෙමයි.
අපටත් ඉඳල හිටල විස්කි, බ්‍රැන්ඩි ටිකක් ලැබුණා. ඒ කාලෙ පොට්ට නවුෆර් ඇතුළෙ හිටියනෙ. එයා හැමදාම විස්කි ගෙන්වාගෙන බිවුවා.
එයා මට කතා කරනවා, සර් එන්න සෙට් වෙමු කියලා. දවසක් මමත් ඔය ජේලර් කෙනෙක්ටත් බෝතලයක් දීලා ඇතුළටත් බෝතලයක් ගෙන්න ගත්තා. එච්චරයි.
‘හොඳ සිද්ධියක් වුණා. දවසක් මාව බලන්න මන්ත්‍රීතුමෙක් ආවා. එයා සාක්කු දෙකේ පොඩි විස්කි බෝතල් දෙකක්ම දාගෙන ඇවිත් මට දුන්නා.’
‘හිනා...’
‘ඔය කියන විදිහට හිරකාරයො බලන්න යන ඇමතිවරුත් හොරෙන් හොරෙන් විස්කි, බ්‍රැන්ඩි වගේ ඒවා සාක්කු වල දාගෙන සද්ද නැතුව යනවා..?’ මම විමසීමි.
‘මගෙ වාට්ටුවේ හිටපු හමුදා කැප්ටන්ට, බැංකු මැනේජර්ට ඉඳල හිටල බෝතල් භාගයක් විතර ලැබුණා. ඒ අය ඉතින් ඇතුළෙ පොඩියට සෙට් වෙද්දි එන්න සර්, බාගයක් හම්බවුණා කියලා කතා කරනවා. එදාට ඉතින් පොඩි ඩි්‍රන්ක් එකක් ගන්නවා.’
‘හිරේට ගිය කෙනෙක්ව බලන්න එහෙම නිතරම එන්න බෑනෙ..’
‘නීතිය හැටියට මාසයට එක වතාවයි පුළුවන්..’
‘මාව බලන්නනම් කට්ටිය ආවා. දිනපතාම විවිධ අය එනවා. හැබැයි හෝල් එකට නෙවෙයි. ඇතුළෙ වෙනත් තැනකට. හෝල් එකට පිටස්තරයො කීප දෙනෙක් විතරයි ආවේ. පෝය දවසක සිද්ධාලේප වික්ටර් හෙට්ටිගොඩ මහත්තයා ඇවිත් ඉන්නවා කියලා මට හමුවෙන්න යන්න කතා කළා. මම එදා මොකක් හෝ දෙයක් නිසා බෑ කිවුවා. ඊට පස්සෙ හෙට්ටිගොඩ මහත්තාය වාට්ටුවට එක්ක ආවා. තව දවසක් පාලිත රංගේ බණ්ඩාරත් වාට්ටුවට ආවා.’
මේ කතාව තව බොහෝ දීර්ඝය. නමුත් සාරාංශගත කළෙමි.
මේ කතා තුළින් අපට දැනෙන ‘ඉඟි බිඟි’ කීපයකි.
‘ලොකු මහත්තුරුන් හිරේට යාම සමහර හිරකාරයන්ටත් සමහර ජේලර්ලාටත් හොඳ හොඳ වාසි ගෙන දෙන්නකි.
හිර ගෙදරදී හොඳට සැලකුවොත් එළියට පැමිණි විට දරුවන්ගේ රැකිරක්‍ෂා ප්‍රශ්න වැනි බොහෝ දේ ඉතා පහසුවෙන් විසඳාගත හැක්කේය. මැති ඇමතින් වූ කල සමීපව ඇසුරු කළ හැක්කේය. ඒ නිසා හිරේ ඉන්න ලොකු මහත්තුරුන්ට පොඩි හිරකාරයන් සලකන්නේ දෙවියන්ට මෙනි. වැසිකිළි සෝදා, තේ හදා, නාන්න වතුර පුරවා දී, රෙදි හෝදා මේ ආදී නොකරන දෙයක් නැත. එසේ සලකන පොඞ්ඩන් ගෙදර නැතිබැරි කම් කී විට ගෙදරට සල්ලි යවන ක්‍රමද ලොකු මිනිස්සු සූදානම් කරති.
එබැවින් හිරගෙදර යනු අපූරු සංස්කෘතියකි. එහි දුෂ්කර බව ඇත්තකි. නමුත් හිරගෙදර ලොක්කන්ගේ සිට කවුරු කවුරුත් හිරේට යන ලොක්කන්ට නම් අවනත බව අපට හැඟේ. එයට පිළිතුර එළියට පැමිණි විට කළ නොහැක්කේ මොනවාද? එය කාගෙ කාගේත් සිහියේ තියෙන බැවිනි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දේශපාලකයන් සිරගත වෙන්න බයවෙන හේතු මෙන්න
සහාන් Friday, 18 March 2016 01:13 PM
මේ ඔක්කොම කතාවේ තියෙන්නේ හිර ගෙදර සිදු වුණු නීති විරෝදී වැඩනේ? ඇය මේකට විරුද්ධව මෙයටත්, ඒ හොර වැඩට උදව් කල යටත් පියවර නොගන්නේ? (අ)
වින්සන්ට් Tuesday, 15 March 2016 03:28 PM
කදිම විස්තරයක් ලබා දුන් ගරු ඇමැතිතුමාත්, ලියුම්කරුත්, ලංකාදීප පුවත්පතත් අපි අගය කොට සළකමු.(බ)
බටගල Wednesday, 16 March 2016 09:07 PM
ඉතා හොඳ ලිපියක්. මෙවන් ලිපි අපි ආශාවෙන් කියවනවා (නි)