IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


දේශපාලන කැරට් අලයක් වූ ශාක්‍ය රාජධානියේ ඇත්ත කතාව

මුදිතා දයානන්ද

ශාක්‍ය රාජධානිය ගැන කියන විට අපට සිහිපත් වන්නේ ඉන්දියාවේ කපිලවස්තු පුරයයි. ඉන්දියාවේ කපිලවස්තු පුරය දැකබලාගන්න යන අයටද දැකිය හැකි වන්නේ ශාක්‍යවංශිකයන්ගේ මාලිගාවල නටබුන් පමණි. මාලිගා කිසිවක් එහි නැත.

අන්තර්ජාලයේ සැරිසරන විට ශ්‍රී ලංකාවේ ද ශාක්‍ය රාජධානියක් හමුවේ. කපිලවස්තු පුරයේදීවත් හමුනොවන සුද්දෝධන රජමාලිගය, එතුමා සිය පුතු සිදුහත් කුමරා වෙනුවෙන් ඉදිකළ රම්‍ය, සුරම්‍ය, සුබ, මාලිගා තුන සමග නෙත් සිත් පැහැරගන්නා හංසයන් ගැවසෙන විල් සහ වන පෙත් සහිත ශාක්‍ය රාජධානියක් එහිදි දැකගත හැකිය. ලුම්බිණි සල් උයන, සුන්දර පොකුණු හා විල් සහිත බිමේ රාත්‍රී කාලයේ ඇවිද යන අයකුට දැකිය හැකි මනරම් දසුන් සහිත වීඩියෝවක්ද නැරඹීමට අන්තර්ජාලයෙන් අවකාශ සලසා තිබේ. තමන් මිය යන්නට පෙර රුවන්වැලිසෑය වැඩ නිමවා පෙන්වන්නැයි ඉල්ලා සිටි දුටුගැමුණු රජුට අඩක් නිම කළ සෑයට සුදු රෙදිකඩ ඇද වැඩ අවසන් කළ සෑයක් සේ පෙන්වූවා සේ ඩිජිටල් තාක්ෂණයෙන් නිමවූ මේ දසුන් කෙනෙකුට සත්‍ය දසුන් සේ වුවද සිතිය හැකි තරම් ඇස රවටන සුලුය. එනිසා එය පියවි ඇසින් දැක ගැනීමට කෙනෙකුට සිතක් පහළ නොවන්නේ නම් පුදුමයකි.

අප පිළියන්දල, කහපොළ, රෙජිඬේල්වත්තේ ඉදිකළ ශාක්‍ය ජනපදය සොයා ගියේ අන්තර්ජාලය පිනවූ දෑස් තවදුරටත් පිනවනු රිසියෙනි. රෙජිඬේල් වත්ත ශාක්‍ය රාජධානිය පිහිටි බිමට පය තබනවාත් සමගම මා දුටු සිහිනය බිඳවැටෙදෝයි බියක් ඇතිවිය. ඒ අන්තර්ජාලයේ දකින්නට ලැබුණ රාජධානිය වටා පිහිටි වනරොද තබා එහි ඡායා ලෙස පැළයක්වත්  නොවූ බැවිනි. මදකට එය අමතක කර කබොකින් කළ සුවිසල් පවුරේ දැවැන්ත දොරටුවෙන් අපි රාජධානියට පිවිසුනෙමු. ඇතුළට ගිය විට දක්නට ලැබුණේ කබොකින් කළ පවුර වෙනුවට බ්ලොක් ගලින් කළ තාප්පයකි. ඒ පැත්ත මේ පැත්ත බැලුවද අපට එකම ගොඩනැගිල්ලක් හැර වෙනත් කිසිවක් දැකිය නොහැකිය.

මුඑ භූමි භාගය වටා සැරිසැරූ අපට දැකගත හැකි වූයේ මුල්ගලක් මත මුල්ගලක්, ඒ මුල්ගල මත තවත් මුල්ගලක් ලෙසින් එකම බිමක මුල්අදින්නට ඉඩහැරි පැරැණි මුල්ගල් තුනක් මත අලුතෙන් තැබූ තවත් මුල්ගල් දෙකක් පමණි. ඒවාද දැනටමත් මුල්අදින්නට පටන්ගෙන තිබෙන බවක් පෙනේ.

කහපොල සමාධි නිකේතනාධිපති කහපොල නන්දරතන හිමියෝ මේ පිළිබඳ මෙසේ පැවසූහ.

මේ භූමිය යොදාගෙන වංචා කිරීම පටන් ගත්තේ පසුගිය රජයේ ප්‍රබලයන්. මෙතැන පුදබිමක් කරනවා කියලා බෝධි ප්‍රාකාරයක් හැදුවා. ඒත් හිටවපු බෝධියක් නැහැ. මල් ආසනය භාවිත කරමින් ගංජා කාරයෝ, කුඩු කාරයෝ අපචාර ක්‍රියා කළා විතරයි. කෝටි තුනහමාරක් ඒකට වැය කළා. ඊට පස්සේ මෙතැනට සත්තු වත්තේ කොටසක් ගේන්න හැදුවා. අපි ඒකටත් විරුද්ධ වුණා. ඒ පරිසරය විනාශ කරන නිසා.  අපි සංඝරත්නය හැටියට මේ ආණ්ඩුවට යෝජනා කළා මේක ප්‍රයෝජනවත් දේකට යොදාගන්න කියලා. විජේදාස මහත්තයා මෙතැන ශාක්‍ය ජනපදයක් හදනවා කිව්වා. ඇත්තටම අද එවැන්නක් ඉන්දියාවෙත් නැහැ. තියෙන්නේ නටබුන් විතරයි. සුද්ධෝදන මාලිගය තියෙන්නේ නේපාලයේ කියලත් නේපාල ජාතිකයන් කියනවා. එවැනි ගැටුමක් තිබියදි අපි ඒ මාලිගා තුන මෙහේ හදන්න යනවා. ඉන්දියාවට යන විදේශ විනිමය මෙයින් අඩුකරගන්න පුලුවන්ද?
මිනිසුන්ට නටබුන් දැකබලා ගන්න තිබෙන ආසාව මෙවැනි ආකෘතියකින් සමනය කරන්න පුලුවන්ද? මේවාට විදේශිකයන්ගෙන් ලැබෙන ආධාරවලට මොකද වෙන්නේ? අපි මේකට විරුද්ධ වුණාම අප ගෙන්න ගන්න ඇමැති අලුත් වැඩක් අරන් ආවා. ඒ තමයි ඉන්දියාවේ තිබුණ නාලන්දා විශ්ව විද්‍යාලයක් මෙහේ ආරම්භ කරන්න. දැන් ඉන්දියාවෙත් නාලන්දා විශ්ව විද්‍යාලයක් නැහැ. ඒක විනාශ කරලා. ඒත් කමක් නැහැ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය වෙනුවෙන් නාලන්දා විශ්ව විද්‍යාලය හැදුවා නම්. නමුත් දැන් මාස හතරක් වෙනවා. මෙතැන එදා මුල්ගල් තියන්න හාරපු වළවල් විතරයි තිබෙන්නේ. එදාම කොරියන් හාමුදුරු නමක් මිලියන විස්සක් දුන්නා. ඒවාට මොකද වුණේ? අපි ඉල්ලන්නේ මේ ඉඩම ගමට ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න කියලයි.

ශාක්‍ය රාජධානියට පදනම් වූ මේ රෙජිඬේල්වත්ත අක්කර හැත්තෑඅටක භූමියකි. මේ භූමියේ මුල්අයිතිකරු වන්නේ සමරකෝන් මුදලි නමැති කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වූ ධනවතෙකි. ඔහු මිය යනවිට තමත් සතු දේපළ විශාල ප්‍රමාණයක් මහාභාරකරුට පවරා තිබේ. ඒ ඒ ඉඩම් සඳහා කළ යුත්තේ කුමක්ද යන්නද ඔහු මහාභාරකරුට ලිඛිතව දන්වා ඇත. ඒ අතර වූ රෙජිඬේල් වත්ත රබර් වත්තකි.

රෙජිඬේල් වත්ත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලයේදි අයෝජන මණ්ඩලයට පවරා ඇත. පසුව ලලිත් කොතලාවල මහතාට නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉඩම ලබාදී ඇති නමුත් ගම්වැසියන්ගේ විරෝධතාව නිසා එය අතරමග නැවතුනේ රබර් ගස් සියල්ලද උදුරා දැමීමෙන් අනතුරුවය.

ඉන්පසුව 2007 දී පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පළාත් නවයට දාගැබ් නවයක් සහිත පූජා භූමි නවයක් ඉදිකිරිමේ සැලැස්ම අනුව බස්නාහිර පළාතේ පූජා භූමිය බවට පත් කරමින් මෙහි බෝධි ප්‍රාකාරයක් ඉදිකිරිම අරඹා ඇත. එහි රන්වැටවල් දෙකක්ද සහිත බෝධි ප්‍රාකාරයක් ඉදිකරනු ලැබුවත් බෝධියක් රෝපණය කිරීම හෝ දාගැබේ ඉදිකිරිම් ආරම්භ කිරිම හෝ නොකරම වැඩ අතරමග නැවතිණ.

හිටපු වනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මෙම ඉඩම වනජීවි සත්ත්ව සංරක්ෂණ හා පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කළේය. එහෙත් එයද අතරමග නැවතිණ. 2014 වසරේදි උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරිම සඳහා මුල්ගල් තැබුවේය. එහෙත් එහිදී සිදුවුයේ දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ අපද්‍රව්‍ය මෙහි ගෙනැවිත් දැමීම පමණි. එය නවත්වා ගැනීමට ප්‍රදේශවාසින්ට උද්ඝෝෂණ කරන්නටද සිදුවිය. ඉතිහාසයේ මෙහි තැබූ සියලු මුල්ගල් මුල් අදිනතුරු කිසිදු සංවර්ධනයක් මේ භූමිය තුළ සිදුකිරිමට කිසිවකුට නොහැකි විය.

මේ සියල්ලෙන් සිදුවූයේ ඉදිකරන ලද බෝධි ප්‍රාකාරයේ නිදහස් පරිසරයද භාවිත කරමින් අපචාර ක්‍රියා සිදුවන බිමක් බවට මෙය පත්වීමය. ඒ නිසා මේ බිම ඇසුරෙහි කාන්තා අපචාරයන් සිදුවන බවත් තරුණයකු හා කාන්තාවක ඝාතනයට ලක්වූ බවත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තිප්පොළක් බවට පත්වී ඇති බවත් පවසමින් ගමට නායකත්වය දෙන භික්ෂුන් වහන්සේලා රටේ නායකයන් වෙත ඉල්ලීමක් යොමු කළේය. ඒ මේ බිම ගමේ අයට ප්‍රයෝජනවත් දෙයකට යොදවන ලෙසය.

ඒ යෝජනාව අල්ලාගනු ලැබූ ඇතැම් ඇමතිවරු මෙය බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව පැවසීය. ඇතැමෙක් මෙහි අනුරාධපුරයේ අටමස්ථාන නිර්මාණය කරන බවටද පවසනු ලැබිණ. එවැනි යෝජනා ඉදිරිපත් කළ ඇමැතිවරු අතරින් හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඉස්සර විය. හෙතෙම ‘ලයිට් ඔෆ් ඒෂියා’ සංවිධානය සමග එක්ව මේ බිම ශාක්‍ය රාජධානිය ඉදිකිරිම සඳහා වෙන්කර ගත්තේය. බුද්ධ ශාසන අමාත්‍යංශයත් ‘ලයිට් ඔෆ් ඒෂියා’ සංවිධානයත් අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් තැබිණ.

විවෘත කිරිමේ උත්සවයේදි ඉදිරිපත් වූ අදහස් අනුව මෙය බුද්ධ ශාසන අමත්‍යංශයේ ඉල්ලීම පරිදි, ‘ලයිට් ඔෆ් ඒෂියා’ පදනමෙන් ක්‍රියාක්මක කරනු ලබන අතර ඒ සඳහා අවශ්‍ය මිලියන පන්සියයක මුදලක් ඇමෙරිකාවේ වෙසෙන වෛද්‍යවරුන් දෙපළක් වන වෝල්ටර් ජයසිංහ හා අයේෂා ජයසිංහ දෙපළ විසින් ලබාදී තිබේ. ජයසිංහ මහතා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලංකා පදනමේ සභාපතිවරයාය. මෙහි උපදේශකත්වය ලබාදී තිබෙන්නේ මෙරට මහාචාර්යවරයකු වන අතර අධීක්ෂණ කටයුතු නේපාල ජාතික පුරාවිද්‍යාඥයකු විසින් සිදුකළ බව ශාක්‍ය ජනපදය ගැන සඳහන් වෙබ් පිටුවේ සඳහන්ව ඇත.

2017 මාර්තු මාසයේදී ඉදිකිරිම සඳහා මුල්ගල් තැබිණ. 2017 මැයි 11 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. විවෘත කිරිමේ උත්සවයට විදේශිකයෝද පැමිණ සිටියහ. විශේෂයෙන්ම ඉන්දියාව නේපාලය, ජපානය, කොරියාව වැනි රටවල නියෝජිතයෝද එක්ව සිටියහ.

එදා විවෘත කළේ මොනවාද යන්න අදටත් ගැටලුවකි.  ජනාධිපතිවරයා පැමිණ සමරු ඵලකය නිරාවරණය කරනු ලැබූ අතර ලුම්බිණි සල්උයනේ පැළයක් ද රෝපණය කළේය. එහෙත් ලුම්බිණිය නැරඹූ ජනාධිපතිවරයා ඇතුලු සිය`එ දෙනාට දැකගත හැකි වූයේ සල් උයනක් වෙනුවට ඇකේෂියා උයනක් පමණි. අදත් එය පවතින්නේ ඇකේෂියා වනයක් ලෙස මිස සල්උයනක් ලෙස නොවේ. නොගැඹුරු පොකුණු දෙකක් දැවැන්ත පවුර අසලින් දිගට ඉදිකර තිබේ. එහි අදටත් ඕලු නෙලුම් වැනි මල්වර්ගයක් හෝ මාලුවකුවත් දක්නට නැත.  රාජධානියට පිවසුණ පසු ගස්කොළන් ඉවත් කර ඩෝසර් කරන ලද බිමක් සහ තැනින් තැන නිමවූ වෙසක් කූඩු හා වෙසක් උළෙල හා සම්බන්ධ නිර්මාණ කීපයක් එදා විවෘත කිරීම සිදුවූ දිනයේ ඉදිකර තිබිණ. මේ ස්ථාන කිහිපයක් නැරඹූ ජනාධිපතිවරයා උත්සවයට සහභාගී නොවී පිටව ගියේය.

ජනාධිපතිවරයා තවදුරටත් භූමිය පුරා ඇවිද්දේ නම් එදා දැකගැනීමට තිබුණේ එකම එක ගොඩනැගිල්ලක් පමණි. ඒ සුද්ධෝදන මාලිගාවය. එහෙත් එහිද මාලිගාවක් නොවිණ. මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව ඉදිවූ බෝධි ප්‍රාකාරයේ රන්වැටවල් දෙක කපා ඉවත් කර එහි මැද කොටසේ කණු සිටුවා සෙවිලි තහඩුවලින් සෙවිලි කළ වහලයක් සහිත විවෘත ගොඩනැගිල්ලක් පමණක් දැකිය හැකිවනු ඇත. සුද්ධෝදන මාලිගාව තැනූ කාලයේ මෙවැනි තහඩු තිබුණේදැයි අප දන්නේ නැත. එසේම මෙම මාලිගාවේ බිත්ති කිසිවක් අදටත් නැත. මාලිගාවක් යනු එවැන්නක්ද? සඳකඩ පහණක් තිබෙන්නේ පූජනීය ස්ථානයකට පිවිසෙන විටය. බෝධි ප්‍රාකාරය සඳහා සිවුපසින්ම ඉදිකරන ලද සඳකඩපහන, මුරගල් මෙරට සංස්කෘතියට අයත් කලාකෘතියකි. එවැනි දෑ සුද්ධෝදන මාලිගාවේ තිබුණා විය නොහැකිය.

එහෙත් වෙසක් මහේ ජාත්‍යන්තර වෙසක් උත්සවයට පැමිණෙන විදේශිකයන්ට පෙන්වීමට ශාඛ්‍ය ජනපදයක් නිර්මාණය කිරීමේ අභියෝගය ජයගැනීම සඳහා මෙම ඉඩමේ තිබූ බෝධි ප්‍රාකාරය සුද්ධෝදන මාලිගාව බවට පත් කරද්දී මේ මුරගල්, සඳකඩපහන කිසිවක් ඉවත් කර නැත. එසේම බෝධි ප්‍රාකාරයේ මල්ආසන කරා ගමන් කිරීමට සිවුපසින් ඉදිකළ පියගැට පෙළද එසේම පවතී. සුද්ධෝදන මාලිගාවේ එවැන්නක් තිබුණාද?

නිමැවුම්කරුවන්ට මේවා අමතක වූවාද? නැතහොත් එවැනි දෑ භාවිත වන්නේ කෙබඳු ස්ථානවලද යන අවබෝධය මෙය නිමවූවන්ට හා අධික්ෂණය කළ අයට නැතුවාද යන්න අපට පැහැදිලි නැත. අද සුද්ධෝදන මාලිගය එලෙසම පවති. එපමණක් නොව මල්ආසන හතරේ ආසන හතර ඉවත් කර කුටි හතර බෝධි ප්‍රාකාරය සිවුපසින් තිබූ පරිදිම අදත් පවතී. සුද්ධෝදන මාලිගය මෙවැනි ගොඩනැගිල්ලක්ද? එහි සඳකඩපහන් හා මුරගල් තිබුණේද? ශාක්‍ය ජනපදය ඉදිකරනු ලබන්නේ සියුම් වෙනස්කම් නොව මෙවැනි සාමාන්‍ය වෙනස්කම් පවා නොදන්නා පිරිසක්ද යන ගැටලුව මේවා දකින විට කෙනෙකුට සිතෙනු ඇත.

ශාක්‍ය රාජධානිය ඉදිකිරිම සම්බන්ධයෙන්ද විවිධ පාර්ශවවලින් විරෝධතා එල්ල විය. මැයි මාසයේ එය විවෘත කළ හිටපු බුද්ධශාසන ඇමැති ඉන් මසක් ඉක්ම යාමටත් පෙර යළි කොරියන් බෞද්ධ සංවිධානයක ආධාර ඇතිව එම භූමියේම ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය ඉදිකිරිමට ද මුල්ගල් තැබුවේය. අද එහිද දක්නට තිබෙන්නේ මුල්ගල් තැබීමට හෑරූ වළවල් හතරක් පමණි.

එදා විවෘත කිරීමේ උත්සවයේදී දක්නට ලැබුණ සුද්ධෝදන මාලිගාව ලෙස නැවත සකස් කළ බෝධි ප්‍රාකාරය හැර වෙනත් කිසිම ඉදිකිරීමක් අදටත් මේ ශාක්‍ය රාජධානියේ දක්නට නැත. ඉදිකිරීමක් කරනවා තබා ඒ සඳහා ගෙන ආ යන්ත්‍ර සූත්‍රයක් ඉදිකිරීමේ ද්‍රව්‍යයක් පවා අද එහි නැත. කිසිදු කම්කරුවකු, පෙදරේරුවකු එහි නැත.

මෙහි සිටින්නේ සිවිල් ආරක්ෂක නිලධාරින් කීප දෙනකු පමණි. නියම ටෙන්ඩර් පටිපාටියට අනුව ඉදිකිරීමේ කොන්ත්‍රාත් ලබානොදුන් නිසා මෙය අතරමැද නවතා දමන්නට තීරණය කර ඇති බවටද මතයක් තිබේ. කෙසේ වුවද දැන් ශාක්‍ය ජනපදය ඇරඹූ ඇමැතිවරයා ද නැත. දැන් සිටින්නේ නව බුද්ධශාසන ඇමැතිවරයෙකි. කවුරු ඇමැතිකම දැරුවත් දැන් මෙහි ඉදිකිරිම් නැවතී ඇති බව නම් පැහැදිලිය.

ඒ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ බුද්ධශාසන අමත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) ප්‍රියදර්ශනී මහත්මිය මෙසේ පැවසීය.

මේ ව්‍යාපෘතිය විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා ඉන්න කාලේ පටන් ගත්ත වැඩක්. එතුමා වෙනස් වුණාට පස්සේ පොඩි ප්‍රමාදයක් වෙලා තියෙනවා. මේක කරන්නේ භාරකාර මණ්ඩලයක් යටතේ. ඒකට අමාත්‍යාංශයේ ලේකම්තුමා සම්බන්ධ වෙනවා. ලැබුණ මුදල්වලට මොකද වුණේ කියලා දන්නේ මේ භාරකාර මණ්ඩලය තමයි. නාලන්දා විශ්ව විද්‍යාලයත් ඒ ව්‍යාපෘතියේම කොටසක්.     
   



අදහස් (9)

දේශපාලන කැරට් අලයක් වූ ශාක්‍ය රාජධානියේ ඇත්ත කතාව

kumar (galf) Monday, 30 October 2017 12:45 PM

කොතලාවල මහත්තයාට මේක හදන්න දුන්නේ නැත්තේ රාජපක්ෂ පවුල, මිනිස්සු අවුස්සලා වතුර ළිං හිඳෙනවා කියලා... ඒ ව්‍යාපෘතිය අවුල් කෙරුවා. රටටත් නෑ, බඩටත් නෑ, මේ තමා ජාතික අපරාධ...

:       656       174

Ishan Monday, 30 October 2017 01:33 PM

අපරාදේ අයිතිකාරයා මේකේ දුප්පත් පවුල් 60,70ක් පදිංචි කෙරෙව්වනම් ඉවරයි.

:       208       170

kamani Monday, 30 October 2017 02:19 PM

මොලේ නැති පාලකයින් ඉඳිද්දී මේ වගේ අනවශ්‍ය වැඩ නවත්වන්න බැහැ.

:       2       154

SAMJAY Monday, 30 October 2017 02:50 PM

චන්ද්‍රිකා කොතලාවලට දෙන්න ඇත්තේ නිකන් නෙමෙයි. මහින්ද වගේම චන්ද්‍රිකාත් මේ රටේ ධනය අරගෙන කෑවා. හැබැයි දැන් නම් චන්ද්‍රිකා නෝනා කතා කරන්නේ රටට කල කෙනෙක් නැහැ වගේ. දැන් ඉන්න අයත් ඉතින් වෙනසක් නැතුව ඒ දේවල් එහෙම්ම කරගෙන යනවා. කිසිම දේශපාලකයෙක්ව විශ්වාස කරන්න එපා. මේ ඔක්කම බලයට එන කම් විතරයි.

:       24       97

රන් Monday, 30 October 2017 08:40 PM

ඉන්දියානු රජය මෑතකදී නාලනදා විශ්ව විද්‍යාලය නැවත ආරම්භ කලා. මෙහේ අමුතුවෙන් පටන්ගන්න ඕනා නෑ.

:       142       170

himal Tuesday, 31 October 2017 09:59 AM

පේන විදිහට නම් මේ භූමිය වැඩක් කරගෙන යන්න බාධා දෙන තැනක්. ඒ වගේම හැමෝම සතු‍ටු කරන වැඩ කරන්නත් බෑ. හදන්න හදන හැම එකටම විරුද්ධ වෙන්න පිරිසකුත් ඉන්නවානේ. මේ සල්ලි ගැන හාමුදුරුවන්ට ගැටළුවක් තියෙනවා නම් තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඉල්ලීමක් කරලා තොරතුරු ලබා ගන්න පුළුවන්.

:       21       160

channa Tuesday, 31 October 2017 10:22 PM

බුදුන් උපන් රටේ සෙල්ලන් දාන්න බෑ

:       2872       1074

සුගීෂ්වර භාතිය සමරකෝන් Friday, 03 November 2017 04:49 AM

ඔය කොතලාවල තමයි වටිනා කොළඹ අවට පොල් ඉඩම්, කුඹුරු, රබර් වතු කපලා විනාශ කරලා කොන්ක්‍රීට් වනාන්තර මේ රටේ බිහි කරන්න පටන් ගත්තේ....

:       0       0

ප්‍රසාද් Sunday, 05 November 2017 04:02 PM

ලංකාවේ කිසිම ව්‍යාපෘතියක් කරගන්න දෙන්නේ නැත්තේ සල්ලි හොරාකන දේශපාලකයෝ. පිනට දුන්න සල්ලි දැනටම ගසාකාලා ඉවර ඇති. වැඩක් ඇති දෙයක් කරන්න වුවමනාවක් නැහැ. කුණු කන්දක් වුණත් පගාව ඉල්ලන එකේ මේක පුදුමයක්ද? සල්ලි ඉල්ලමක්නේ. අපරාදේ සමරකෝන් මහතාගේ දේපල. කීදෙනෙක් මේ ඉඩමට කටුව ගහන්න බලාගෙන ඇතිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 15 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 9 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 5 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


අසාද් මවුලානාගේ සාක්ෂි වැදගත්ද?
2025 අප්‍රේල් මස 29 40 0

2023 සැප්තැම්බර් 5 වැනිදා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර”


ගැටුමකට අරඅදින ඉන්දු - පාකිස්තාන යුද ශක්තිය
2025 අප්‍රේල් මස 29 46 0

ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට


අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 21 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 19 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 13 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1048 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site