IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දේශීය ව්‍යාපාරවල බොටුව සිඳින ගිවිසුම් එපා

මීට අවුරුදු 70කට පමණ පෙර නිවෙසේ කුස්සියෙන් ‘ඕඩික්ලෝන්’ නිෂ්පාදනය කිරීමෙන් ඇරඹූ ඒ ව්‍යාපාරය අද ඖෂධ හා සනීපාරක්‍ෂක නිෂ්පාදනයේ දැවැන්තයෙකි. හෝටල් හා රෝහල් ක්‍ෂේත්‍රයේ ද විශිෂ්ටයෙකි. හේමාස් හෝල්ඩින්ස් නමින් හඳුන්වන ඒ ව්‍යාපාර සමූහයේ සේවක සංඛ්‍යාව 8100කි. තෙවැනි පරම්පරාව අත රැඳුණු ඒ ව්‍යාපාර සමූහයේ වත්මන් සභාපති හුසේන් එසුෆාලී ය. එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිධරයකු වන හුසේන් මහතා සමඟ ‘කළයුත්තේ කුමක්ද? විශේෂාංගයෙන් අද කතා කරන්නේ ද මෙරට කර්මාන්තකරුවන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳවය. ප්‍රශ්නය හා පිළියම් හුසේන් මහතා දකින්නේ මේ අයුරිනි.

නිෂ්පාදන කර්මාන්ත රටට ඉතා වැදගත්ය. රටේ දරු දැරියන්ට රැකියා සපයන්නේ කෙසේද? විශ්වවිද්‍යාලවලින් පිහිවන උපාධිධාරී තරුණ තරුණියන්ට රැකියා සපයන්නේ කෙසේද? යන්න අදටත් බරපතළ ප්‍රශ්නය. ශ්‍රම බලකායේ සියලු දෙනාට රජයේ රැකියා සැපයිය නොහැකිය. රජයේ රැකියා කරන්නේ ශ්‍රම බලකායෙන් සියයට 15කි. ශ්‍රම බලකායෙන් සියයට 45ක් රැකියා කරන්නේ පෞද්ගලික අංශයේය. රැකියා සැපයීම අතින් පමණක් නොව විදේශ විනිමය ඉපයීම අතින් ද නිෂ්පාදන කර්මාන්ත සුවිශේෂීය. එහෙත් මේ නිෂ්පාදන කර්මාන්ත ක්‍ෂේත්‍රයෙහි වැදගත්කම් මේ රජය තවමත් නිසිලෙස තේරුම් ගෙන තිබේදැයි මට ඇත්තේ සැකයකි.

දසක ගණනාවක් තිස්සේ අපි තේ, රබර්, පොල් අපනයනය කළෙමු. එහෙත් රබර් හා පොල්වලට තිබූ ඒ වැදගත්කම දැන් ගිලිහී ගොසිනි. ලෝකය දැන් එදාට වඩා වෙනස්ය. වර්තමාන ලෝකයේ අප වැඩියෙන් නිෂ්පාදනය කළ යුත්තේ වැඩි වැඩියෙන් අපනයනය කළ යුත්තේත් අගය එකතු කළ නිෂ්පාදනය. එසේ කළ යුත්තේ රටට වැඩි වැඩියෙන් ඩොලර් උපයා ගැනීමටය. එය එසේ වී තිබෙන්නේ රටක් ලෙස අප බරපතළ විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටින හෙයිනි. විදෙස් සමාගම් මෙරටට ගෙන්වා ගෙන ඔවුන් සඳහා නිෂ්පාදනය කර ඒවා පිටරට යැවීම කාලයක් තිස්සේ කෙරුණු දෙයකි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආරම්භ කළේ ද ඒ අරමුණෙනි. එහෙත් එහිදී අප සිතිය යුත්තේ ඒ විදෙස් සමාගම් ලංකාවට එන්නේ ඇයි ද යන්න පිළිබඳවය.

ලංකාවේ විශාල වෙළෙඳ පොළක් නැත. එසේම රට අලුත් බදු නීතියක් ද සම්මත කරගෙන තිබේ. ඒ නීතිය යටතේ දැන් බදු නිදහසක් නැත. අතීතයේ විදෙස් ආයෝජකයන්ට බදු නිදහසක් තිබිණි. එවැනි නිදහසක් නැතිව තිබියදී ඔවුන් මෙහි එයි දැයි අප සිතා බැලිය යුත්තකි. විදෙස් ආයෝජන අද්දා ගැනීමට අද ලෝකයේ තිබෙන්නේ තරගයකි. අපේ රටට වඩා ලොව ඇතැම් රටවල තිබෙන ආයෝජන පරිසරය ඉතා ඉහළය. ප්‍රධානම කාරණය ඒ රටවල සාමය තිබීමය. ඇතැම් රටවල ශ්‍රමයට ගෙවීමට සිදුවන මුදල අඩුය. ඒ කෙසේ වුවත් මා කියන්නේ ලාංකිකයන් ලෙස අප සිතිය යුත්තේ කිහිලිකරුවලින් තොරව නැඟී සිටීමටය.

විදෙස් ආයෝජන මතම නොයැපී ලාංකික සමාගම් සමඟ නැගී සිටීමට ආණ්ඩු කල්පනා කළ යුතුය. එහෙත් ලාංකික සමාගම්වලට තනියෙන් නැඟී සිටිය නොහැකිය. එයට හේතු වී තිබෙන්නේ ලාංකික සමාගම්වලට එවැනි අත්දැකීමක් නොමැති හෙයිනි. ඒ නිසා අප විදෙස් ආයෝජකයන් සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතුය. ඒ සමයෝගයේ අරමුණ විය යුත්තේ තාක්‍ෂණික දැනුම පළපුරුද්ද හා අත්දැකීම් ලබාගැනීමය. විදෙස් ආයෝජකයන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීම හා ඔවුන් හිස මත තබාගෙන වැඩ කිරීම එකක් නොව දෙකකි. අප රටේ තිබෙන බුද්ධිමය දේපළ අපට ඉතා වැදගත්ය.

විදෙස් ආයෝජකයන් සමඟ එකතු වී අප නිෂ්පාදනය කළ යුත්තේ විදෙස් රටවල ජනප්‍රිය වෙළෙඳ නාමවලින් යුතු භාණ්ඩ නොවේ. එවැනි භාණ්ඩ නිපදවීමට අප විදෙස් ආයෝජකයන් සමඟඑකතු වූ විට ඔවුන් හදිසියේ අප රටෙන් ඉවත් වී වෙනත් රටකට ගියොත් අපට අකුළා ගැනීමට සිදුවෙයි. එහෙයින් අප ඔවුන් සමග නිෂ්පාදනය කළ යුත්තේ අපේ, එනම් ලාංකික වෙළෙඳ නාමවලින් යුතු භාණ්ඩය. විදේශිකයන් භාණ්ඩ මිලදී ගන්නේ වෙළෙඳ නාමයේ ජනප්‍රියත්වය මතය. උදාහරණයකට කොකාකෝලා ලෝකයේම ජනප්‍රිය වෙළෙඳ නාමයකි. එහි රසය හා ගුණය ගැන කවුරු මොන කතා කිව්වත් එහි ජනප්‍රියතාව ඉතා ඉහළය.

අපේ රටේ ද එසේ ජාත්‍යන්තරය දිනූ වෙළෙඳ නාම නැත්තේ නොවේ. ‘සිලෝන් ටී’ හොඳ උදාහරණයකි. තේ නිපදවන ඇතැම් රටවල් ‘සිලෝන් ටී’ තත්ත්වයට පත්වීමට වෙර දරන්නේ ද ‘සිලෝන් ටී’ වලට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම නිසාය. එසේ අප උත්සාහ කළ යුත්තේ ලාංකික වෙළෙඳ නාම ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහාය. එසේ කළ විට විදෙස් ආයෝජකයා හදිසියේ අප හැර ගිය ද අපට ප්‍රශ්නයක් නොවේ.

එහෙත් රජයෙන්, ආණ්ඩුවෙන් අද ඒ කාර්ය භාරය ඉටු නොවෙයි. ආණ්ඩුව බලන්නේම හසුරුවන්නේ පාලනය කරන්නේ හා නියාමනය කරන්නේ  කෙසේද යන්න පිළිබඳවය. පෞද්ගලික අංශයට, නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහාය දෙන්නේ කෙසේද, සහයෝගයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව ආණ්ඩුව නොසිතයි. කල්පනා නොකරයි. ආණ්ඩුව පොලිස්කාරයාගේ භූමිකාවෙන් මිදී පෞද්ගලික අංශය සමග එකතුවී රට ගොඩ දමන්නේ කෙසේදැයි කල්පනා කර ඒ සඳහා ක්‍රමවිධි හඳුන්වා දිය යුතුය. අපට අවශ්‍යව තිබෙන්නේ අප සමග එකතුවී වැඩ කරමින් අපේ ප්‍රශ්න සොයා බලමින් ඒවා අවබෝධ කර ගනිමින් විශ්වවිද්‍යාලවල සිටින උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ සහාය ලබාගෙන කවුරුත් සහයෝගයෙන් වැඩ කරන ක්‍රමවේදයකි.

එය පෞද්ගලික අංශයේ අපට තනියෙන් කරගත හැකි දෙයක් නොවේ. ඒ සඳහා අවශ්‍ය අධිකාරිය හා බලය ද අපට නැත. එය තිබෙන්නේ ආණ්ඩුව අතය. ඇත්තෙන්ම ආණ්ඩුව කළ යුත්තේ මැදිහත්කරුවන්ගේ කාර්යභාරයකි. එය මුදල් වියදම් වන කටයුත්තක් නොවේ. රටක් හැටියට අපට ඉදිරියට යා හැක්කේ ආණ්ඩුව එලෙස කටයුතු කළහොත්ය. ආණ්ඩුව පොලිස්කාරයකු වීම පමණකින් රටේ ආර්ථිකය දියුණු කළ නොහැකිය. රැකියා උත්පාදනය කළ නොහැකිය. වැඩි වැඩියෙන් විදේශ විනිමය ඉපයිය නොහැකිය. එහෙත් එය එලෙසින් තේරුම් ගෙන ඇත්තේ දැයි තිබෙන්නේ බරපතළ සැකයකි.

එය දිගුකාලීන සැලසුමක් සහිත ක්‍රියාවලියක් විය යුතුය. සිංගප්පූරුව හා ජපානය වැනි රටවල් දියුණු වූයේ එලෙසිනි. දිගු කාලීන දර්ශනයක් සහිත ප්‍රතිපත්තියන් සහිත වැඩපිළිවෙළක් ලංකාවේ ක්‍රියාත්මක නොවේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමැතිගෙන් ඇමැතිට ප්‍රතිපත්ති වෙනස් වෙයි.

ආණ්ඩු කටයුතු කරන්නේ එලෙස නම් පෞද්ගලික අංශයේ අප දිගුකාලීන සැලසුම් සහිතව දිගුකාලීන ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ආයෝජනය කරන්නේ කෙසේද? ආණ්ඩුවක් වී රටට ගැළපෙන දිගුකාලීන සැලසුම් හා දිගුකාලීන ප්‍රතිපත්ති සකස් කළ යුතුය. ආණ්ඩු හා ඇමැතිවරුන් මාරු වුණාට ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතුය. ඊට අමතරව තිබිය යුතු අනෙක් වැදගත්ම සාධකය වන්නේ නීතිය හා සාමය මැනවින් ආරක්‍ෂා වීමය. අද සැම තැනම තිබෙන්නේ ගනුදෙනුය, කොමිස් ඉපයීමය. මුළු රටේම හැම ක්‍ෂේත්‍රයකම පවතින්නේ ගනුදෙනුය, ඩීල්ය. ‘ඩීල්’ මතම රටක් දියුණු කළ නොහැකිය. අපේ සමාගම අවුරුදු 70ක් තිස්සේ මෙරටෙහි ව්‍යාපාර කරයි. අප බලන්නේ තවත් අවුරුදු 70ක් ව්‍යාපාර කිරීමටය. ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරන්නේ එලෙස දිගුකාලීන සැලසුම් සහිතවය. ඒ නිසා අප බලන්නේ දේශීය වෙළෙඳාම ජාත්‍යන්තරයට ගෙනයාමය. අපේ වෙළෙඳ නාම අපේ බුද්ධිමය දේපළකි. ඒවා කිසිවකුට පැහැරගත නොහැකිය. අප එසේ දිගු කාලීන ආයෝජන කරන්නේ ඉතා විශාල අවදානමක් දරාගෙනය. රටේ නීතිය හා සාමය යථාපරිදි ක්‍රියාත්මක විය යුත්තේ එහෙයිනි. අඛණ්ඩ ප්‍රතිපත්ති අවශ්‍ය වන්නේද ඒ සඳහාමය.

අපේ අධ්‍යාපන ක්‍රමයද වෙනස් විය යුතුය. රැකියා වෙළෙඳපොළේ තිබෙන රැකියාවලට ගැළපෙන පුද්ගලයන් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි නොවීම බරපතළ කාරණයකි. අපේ සමාගම ඖෂධ නිපදවා ආනයනය කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ කටයුතු කිරීමට අපට උගත් තරුණයන් අවශ්‍යය. අපට අවශ්‍යවන්නේ ඖෂධ නිෂ්පාදනය පිළිබඳ උපාධිධාරීන්ය. එවැනි උපාධිධාරීන් බිහිකිරීම අපේ විශ්වවිද්‍යාලවල වගකීමකි. එවැනි උගතුන් මෙරට විශ්වවිද්‍යාලවලින් බිහි නොවන්නේ නම් අපේ ආයතනවල තියෙන රැකියාවලට අවශ්‍ය වෘත්තිකයන් අපට ගෙන්වන්නට සිදු වන්නේ පිටරටවලිනි. ලංකාවේ වෘත්තිකයන් විශාල පිරිසක් දැන් රට හැර ගොසිනි. ඒ ඇතැමුන් රට හැර ගියේ ඔවුනට කළ හැකි දේවල් මෙරටෙහි නැති හෙයිනි. ඒ අයගෙන් යම් පිරිසක් යළි ලංකාවට ඒමට කැමැතිය. එහෙත් ඔවුනට මෙහි පැමිණ පිළිගැනීමක් සහිතව රැකියා කළ හැකි තත්ත්වයක් නිර්මාණය විය යුතුය. එය ඉබේ වන දෙයක් නොවේ. එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීමකි. මෑතක දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය වූයේ තරුණ පරපුරේ අති බහුතරය මෙරටෙහි ජීවත් වීමට අකැමැති බවය. ඔවුන් ආසියාවේ හා යුරෝපයේ දියුණු රටවල යාමට කැමැති බවය. ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ ගැන අවධානය යොමු කළහොත් බොහෝ දේවල් අනාවරණය කර ගැනීමට හැකි වෙයි. 

ඖෂධ හා සනීපාරක්ෂක භාණ්ඩ (දත් බෙහෙත්, සබන්, ආලේපනය කරන ක්‍රීම්) නිෂ්පාදනයේ නියුතු අපේ සමාගම්වල අරමුණ වන්නේ සංකල්පයේ සිට නිෂ්පාදනය දක්වා සියල්ල අපේ සේවකයන් වෙතින්ම කිරීමය. ඒ සඳහා ඉගෙන ගත් හා පුහුණු වෘත්තිකයන් අපට අවශ්‍යය. එහෙත් අවශ්‍ය තරමට මෙරට විශ්වවිද්‍යාලවලින් එවැන්නෝ බිහි නොවෙති. 

රටට අවශ්‍යව තිබෙන්නේ ඉන්දියාවේ හා ජපානයේ වැනි වෘත්තිකයන්ය. එවැනි වෘත්තිකයන් බිහි කළ හැකි මට්ටමට අපේ විශ්වවිද්‍යාලවල පාඨමාලා නවීකරණය විය යුතුය. ව්‍යාපාර හා කළමනාකරණ පාසල් ද ලංකාවේ තිබිය යුතුය. උදාහරණයකට ගතහොත් බංග්ලාදේශයේ ව්‍යාපාරික හා ඉන්ටනෙට් පාසල් තිබේ. එහෙත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැත. ඒ නිසා අපට විදේශ රටවලින් වෘත්තිකයක් ගෙන්වා ගැනීමට සිදු වී තිබේ. අපේ විශ්වවිද්‍යාලවල උපාධිධාරින්ගේ ආකල්පවල ද වෙනස්කම් තිබේ. මා ඉගෙන ගත්තේ එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනි. උපාධිය ලබා ගත්තේ 1981 දීය. 

ඒ අනුව මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වූයේ මීට අවුරුදු 38කට ඉහතදීය. එංගලන්තයේ ඒ කාලයේත් විශ්වවිද්‍යාල හා කර්මාන්තශාලා අතර තිබුණේ සමීප සබඳතාවකි. 

කර්මාන්ත ශාලාවල පර්යේෂණ හා සංවර්ධන අංශ තම කටයුතුවලට උදව් ගන්නේ විශ්වවිද්‍යාලවලිනි. එංගලන්තය මීට අවුරුදු 38කට පෙර එසේ කළත් අපේ රටේ අදටත් එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවේ. 

රටේ ආර්ථික දියුණුව ගැන සිතන්නේ නම් අප ද වෙනස් විය යුතුමය. අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුමය. විශ්වවිද්‍යාලවල පාඨමාලා වෙළෙඳපොළ  රැකියා සමග බද්ධ කළ යුතුමය. 

ඒ අතින් ෆින්ලන්තයේ තිබෙන්නේ නිර්මාණශීලී ක්‍රමවේදයකි. එරට පාසල් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ක්‍රමය ද නිර්මාණශීලීය. පෞද්ගලික සමාගම් සමඟ එකතු වී කටයුතු කිරීම හා ඔවුන්ට විශාල ලෙස සහාය දැක්වීම එරට රජයේ ලක්ෂණයකි. 

අවදානම් ගැනීම සඳහා සමාගම්වලට උදව් කිරීම එරට රජයේ සුවිශේෂ ලක්ෂණයකි. පාසල් සමයේදීම තරුණ වයසේදීම එරට දරුවන්ට කර්මාන්තවලට සම්බන්ධ වීමට අවස්ථාවක් හිමිවෙයි. එරට ක්‍රමවේදය අපට වඩා සපුරා වෙනස්ය. අප ද වෙනස් වන ලෝකයට අනුව වෙනස් විය යුතුය. වෙනස් වන ලෝකයට අනුව වෙනස් විය නොහැකි සත්ත්වයන් වඳ වී යන බව පරිණාමවාදයේ පියා වන චාල්ස් ඩාවින් ලෝකයට පෙන්වා දී තිබෙන්නේ අවුරුදු සිය ගණනකට පෙරය. අප ඒ බව දැන දැනම වෙනස් නොවී සිටීම රටක් ලෙස ඉතා භයානකය. එහෙත් එහි භයානකකම ප්‍රතිපත්ති සම්පාදකයන් නිසි ලෙස තක්සේරු කර තිබේ දැයි ඇත්තේ ද සැකයකි. 

බදු හා ගාස්තු අඩු කිරීමෙන් සේම නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමෙන් රට දියුණු කළ හැකි බව ආණ්ඩුව සිතයි. ඒවා නොකළ යුතු බවත් මම නොකියමි. ඇත්තෙන්ම ආණ්ඩුව කළ යුත්තේ දියුණු කළ යුත්තේ මොන කර්මාන්ත ද රැක ගත යුත්තේ මොන කර්මාන්ත ද ජාත්‍යන්තරය දිනා ගත හැක්කේ මොන කර්මාන්තවලින් ද කියා හඳුනා ගැනීමය. ඒවා ගැන සොයා බැලීමෙන් අනතුරුව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම සුදුසු බව මගේ හැඟීමයි. අප රැක ගත යුතු කර්මාන්ත රැක ගත යුතුමය. ඒවාට තර්ජනයක් වන ආකාරයේ ගිවිසුම් අත්සන් කිරීම රටට හානිකරය. 

වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ යුත්තේ අපේ රටට වාසි ලබා ගැනීමට මිස අපට අවාසි හා අලාභ වනු පිණිස නොවේ. ගාස්තු අඩු කිරීම ගැන ද සලකා බැලිය යුත්තේ ඒ අයුරිනි. පළමුව ලංකාවේ තිබෙන සමාගම්වල තරගකාරීත්වය වැඩි කළ යුතුය. අපේ කර්මාන්තශාලාවල තත්ත්වය හා ප්‍රමාණය ඉන්දියාවේ කර්මාන්ත ශාලාවලට වඩා වෙනස්ය. ඉන්දීය කර්මාන්තශාලාවලට රාජ්‍ය රැකවරණය ඉහළින් ලැබෙයි. එහෙත් අපේ රටේ එවැනි තත්ත්වයක් නැත. ඒ නිසා අපේ බොහෝ කම්හල් දැනටත් වැසී ගොසිනි. 

නිදහස් වෙළෙඳ ගිවිසුම් යටතේ බදු අඩු කළ පසු සහ බදු නැති වූ විට සියල්ල නිදහසේ මෙරටට ගලා ඒම වැළැක්විය නොහැකිය. එතෙරින් එන භාණ්ඩ සමඟ තරග කිරීමට මෙරට නිෂ්පාදකයන්ට නොහැකි වූ විට අපේ කම්හල් වැසීයාම වැළැක්විය නොහැකි වනු ඇත. එවිට මෙරට කර්මාන්ත ශාලා හිමියන්ට ද ඒ රටවල ගොස් ඒ රටවලදී භාණ්ඩ නිපදවා මෙරටට ගෙන ඒමට සිදු වනු ඇත. එසේ වූ විට ලාංකිකයන්ගේ රැකියාවලට වන්නේ කුමක්ද? රටට විදේශ විනිමය ලැබෙන්නේ කෙසේද? 

සාකච්ඡා සටහන  -ගුණසිංහ හේරත්



අදහස් (5)

දේශීය ව්‍යාපාරවල බොටුව සිඳින ගිවිසුම් එපා

Piyasiri Wednesday, 17 July 2019 03:43 PM

දේශීය කර්මාන්ත ව්‍යාපාර පදනමක් මෙයට දශක කිහිපයකට පෙර වැටි තිබිණි.සිංගපුරු සිහිනයක් පහළවී සැලැස්මක් නොමැතිව විවෘත ආර්ථිකයක් හදුන්වාදී ඒ සියල්ල විනාශ විය.ඉන්දියාව විවෘත ආර්ථිකයක් හදුන්වා දුන්නේ සැලැසුමකටය .දැන් ඇත්තේ නිමි ඇදුම් පමණක් යයි කිව හැක.ලොව බලවත් ජාතින් බලවත්ව ඇත්තේ අධි තාක්ෂණ කර්මාන්ත මගිනි.අපට ඒවා තවම සිහිනයකි.බලවත් ජාතින් අපට ඒවා නොමිලේම පුදන්නේ නැත.විදේශ ආයෝජන ගැන කතා කලත් ගතවූ දශක කිහිපයේ ලැබූ ලොකු ප්‍රයෝජනයක් නැත.හරියට ඇගයුව හොත් කිසි දෙයක් නැති තරම්ය.අපට සැලසුමක් තිබිය යුතුය .මේවා අපගේ 225 අතරින් ඉදිරිපත් වේ දැයි සැක සහිතය .මවුන් අතරින් අඩක් ම අඩු අධ්‍යාපන පසුබිමකින් සිටිති.අපගේ විද්වතුන් ,වෘත්තිකයින් තමාගේ වරප්‍රසාද ගැන වේදනාවෙන් කෑ මොර ගසති තිරසාර ප්‍රතිපත්ති ගැන තැකීමක් නොමැත.දේශීය සංස්කෘතිය පාගා තිබු අවදියේ ජන මතයක් ඇති කළේ ජන නායකයින් මිස රජයක් මගින් නොවේ.රජය මතම වගකීම් පටවා නොසිට අපගේ දේශීය වෘත්තිකයින්ට මෙම වගකීමෙන් අඩක් හෝ ගතයුතු කාලය පැමිණ ඇත.නැතහොත් උගත් පිරිස රැකියා නොමැතිව රට යාමෙන් වැදගත් මානව සම්පත් ද අහිමිවනු ඇත.

:       71       20

SL Thursday, 18 July 2019 04:52 PM

වටිනා අදහස් කිහිපයක් මේ පාර ඡන්දෙට වෘත්තිකයින් ආ යුතුමය.

:       0       0

aruna Friday, 19 July 2019 08:47 AM

දේශීය ව්‍යාපාරිකයන් මතම විස්වාසය තබා එයට ප්‍රමුඛත්වය දෙමින් අපනයනය සදහා කාර්මික ආර්ථිකයක් ගොඩනැගීමේ උපාය මර්ගනය එතරම් විචක්ෂණශීලී නොවන බව මගේ අදහසි. මෙයින් දේශීය ව්‍යාපාර නොතකා හරිය යුතු බව අදහස් නොකෙරේ. මෙවැනි උපාය මාර්ගයකට යාමට විශාල බාධක රාශියක් තිබේ. මුලිකව ලංකාවේ දියුණු තාක්ෂණය ප්‍රාග්ධනය වෙළදපොල ලබාගත හැකි නිර්මාණ ශීලී ව්‍යාපාර පන්තියක් සිටිය යුතුය. ලංකාවේ ඇත්තේ එවැනි ටිකදෙනකි. එබැවින් ප්‍රථමයෙන් කල යුත්තේ ලංකාවේ ව්‍යාපාරික පන්තිය දියුණු කිරීමයි. එය කල හැක්කේ කෙසේද? එය පිටින්ලබා ගෙන එකට වැඩ කිරීමට සලස්වීමි. විදේශ ආයෝජන කියන්නේ එයයි. රටකට විදේශ ආයෝජන ඒමට සුදුසු පරිසරයක් තිබිය යුතුය. එහිදී වෙළදපොලක් දේශපාලන ස්ථාවරභාවය , ශ්‍රමය වැදගත්. ලංකාවට විදේශ ආයෝජන ලබා ගැනීම දුෂ්කර වී ඇත්තේ මෙම සාදක හිතකර නොවීම නිසාය. ලෝකයේ ඇතැම් රටවලට විදේශ ආයෝජන බහුලව ලැබේ. අපටත් මෙම අහිතකර සාදක මග හරවා ගන්නේනම් විදේශ ආයෝජන ලබා ගත හැක. අපට වෙළද ගිවිසුම් අවශ්‍යව ඇත්තේ වෙළදපල පුළුල් කර ගැනීමටයි. වෙළද ගිවිසුම් පදනම් වී ඇත්තේ සාපේක්ෂ වාසිය මතය. එබැවින් රටේ සියලුම දේශීය කර්මන්ත් වලට එය හිතකර නොවේ........

:       1       0

aruna Friday, 19 July 2019 09:20 AM

කළ හැක්කේ හානිය අවම කිරීමයි. මේ නිසා රජය ගිවිසුම් සාදා ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත. වෙළඳ සංගම් හා වෘත්තීය ආයතනවල අදහස් ලබාගනී. දැන් ලංකාවේ විශ්ව විද්‍යාලවල පාඨමාලා පෙරට වැඩිය රැකියා අභිමුකව ඇත. දියුණුය. ප්‍රශ්නය ඇත්තේ ඔවුන්ගේ ආකල්ප වලයි. එයට හේතුවී ඇත්තේ ලංකාවේ විශ්වවිද්‍යාලවලට පැමිණෙන්නේ බහුතරය දුප්පත් පසුගාමී පවුල් වලිනි. ඇතැම් දේශපාලන පක්ෂ කෙසේ හෝ බලය ලබාගැනීමටත් වැරදි මතවාද සමාජ ගතකිරීම නිසා තරුණයෝ බහුතරය ආකල්පමය වශයෙන් දියුණු නොවේ. ලංකාවේ බහුතර ව්‍යාපාරික පන්තියද වෘත්තීමය නොවේ. ඔවුන්ගේ චේතනාව කෙසේ හෝ තමන්ට මුදල් උපයා ගැනීමයි. (ඉතා හොඳ ව්‍යාපාරික ටිකදෙනෙක් සිටිති. එමනිසා නියාමනයද අවැසිය. ගමෙන් පැමිණි උපාධිධාරීන් බහුතරය වාමාංශික මතවාද දරන්නන් නිසා පුද්ගලික ව්‍යාපාර කෙරෙහි විශ්වාසයක් නොමැත. ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා රජය විවිධ ආයතන පිහිටුවා විශාල වියදමක් දරයි. ප්‍රශ්නය වී ඇත්තේ ඒවා අකාර්යක්ෂම මෙන්ම අපාක්ෂික ප්‍රතිඵල නොලැබීමයි.

:       0       1

sana Friday, 19 July 2019 05:43 PM

ශ්‍රී ලංකාවේ අදටත් විවෘත ආර්ථිකය පූර්ණව ක්‍රියාත්මක වන්නේ නැත. එසේම සහල් පිටරට පැටවූ බව කියනා පැරකුම් යුගයේදීද, ලංකාවේ පැවතුනේ විවෘත ආර්ථිකයකි. අනෙක් අතට සිදුවිය යුතු දේ පවසනා ව්‍යාපාරිකයින් නිවැරදිව බදු ගෙවනවද? විදේශ රටවලින් කුණු ගෙන්වන්නේ නැද්ද? ටෙන්ඩර් මගඩි කරන්නේ නැද්ද කියාත් මෙතනම සාකච්ඡා වන්නේ නම් අගෙයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 521 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1028 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 960 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 174 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 115 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1003 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18434 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site