IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අදින් (18) ඇරැඹෙන දළදා දැක්ම නිමිත්තෙන් මේ ලිපිය පළවේ.

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයේ උත්තරීතර බුද්ධ ධම්ම ද්විධරත්නයේ සංකේතය වන්නාසේම ලක්දිව රජුන්ගේ රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් රාජරාජ මහාමාත්‍යාධීන්ගේ රැකවරණයෙහි වැඩ වෙසෙමින්  සව්සත වෙත සෙත ශාන්තිය ආශිර්වාදය සලසමින් ආනේකවිධ බුදු පුද තේවා පුද සත්කාරයන්ට පාත්‍ර වූහ.

ඒ නන්විධ බුදුපුද පූජා සත්කාර චිරාගත සාම්ප්‍රාදායික පුද පිළිවෙත් වශයෙන් අදටත් මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ගේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනම ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් අසම්භින්නව පවත්වාගෙන ඒම ජාතියේ මහත් භාග්‍යයක් වන්නේය.

එකී අනේකවිධ බුද්ධෝ උපස්ථාන චාරිත්‍ර වත්පිළිවෙත් අතර කලට වැසි ලැබ, රටට සමෘද්ධිය, සෞභාග්‍යය, සමඟිය හා සමාදානය මෙලොව යහපත හා පරලොව සඟමොක් සුවය ප්‍රාර්ථනා කර හුදී ජනයන්ගේ බුද්ධාලම්භන ප්‍රීතිය හා ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය කෙරෙන ආකාරයෙන් සිරි දළදා වන්දනා පූජා මහෝත්සව පැවැත්වීම අතීතයේ රජදවස පටන් පැවත ගෙන එන පූජා චාරිත්‍ර ධර්මයක් වන්නේය.

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින ගන්ධ කුටියෙහි වෙඩි නොවදින වජ්‍රමය ආවරණය තුළ බද්‍රාසනය මත්තේහි තැන්පත් කර ඇති මහා රන් කරඬුව ඇතුළත ඇති එකිනෙකට කුඩා වන කරඬු සයෙන් අවසන් කුඩා රන් කරඬුවෙහි වඩා හිඳුවා ඇති අති උතුම් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක බලා වැඳ පුදා ගැනීම සඳහා පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කෙරෙන අතරම ඊට අදාළ වජ්‍රමය ආවරණයකින් යුතු කරඬුවේ තැන්පත් කර නිසි පුද සිරිත් අවසන්කර පිරිත් මණ්ඩපය වෙත වැඩමවා මහජනතාවට දළදා වහන්සේ සියැසින් දැක බලා වන්දනාමාන කිරීමට සැලසීමේ දුර්ලභ අවස්ථාව මෙවර යෙදී ඇත්තේ 2025 වර්ෂයේ අප්‍රේල් මස 18 වැනි සිකුරාදා දින සිට 27 වන ඉරිදා දින දක්වාය.

සිරි දළදා වන්දනාව පැවැත්වීමට නම් මල්වතු අස්ගිරි උභය මහාවිහාරවල මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනම හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේවරයා යන තුන් පාර්ශවයම එකඟතාවකට පැමිණ තීරණයකට එළඹිය යුතුය. එසේ එකඟතාවකට එළඹීමට නොහැකි වුවහොත් සිරි දළදා වන්දනාවක් ගන්ධ කුටියෙන් පිටත පැවැත්වීම කෙසේවත් සිදු කළ නොහැකිය. එයට හේතුව වනාහි පරම පූජනීය දළදා වහන්සේ වැඩසිටින කරඬුවේ පූජනීය යතුරු භාරකාරත්වය පැවැරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහා විහාරවල මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම හා ගිහි භාරකාර දියවඩන නිළමේවරයා භාරයේ වන බැවිනි.

 

අනුරාධපුර යුගයේ කිත්සිරි මෙවන් රජු දවස

ප්‍රථම වරට ලක්දිව සිරි දළදා වන්දනාව ආරම්භ වූයේ අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස ක්‍රි.ව 310 වැන්නේ සිටය. ඒ අදට වසර එක්දහස් සත්සිය පහළොවකට පමණ පෙරය. දාඨා ධාතූ වංශය, දළදා සිරිත, මහාවංශය හා පාහියන්ගේ දේශාඨන වාර්තාව වැනි මූලාශ්‍රවලට අනුව කිත්සිරි මෙවන් රජු දවස අනුරපුර ගම් නියම්ගම් ජනපද නුවර වැසියෝ දළදා වහන්සේ අනුරපුර ඇතුළු නුවරට වැඩමවූ පුවත අසා බුදුගුණ, බුදුසිරිත පසසමින් ලොවට හිත පිණිස, සුව පිණිස වැඩ සැදූ සර්වඥයන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ “අපිද පිදුමට කැමැත්තෙමුයි” කියා උද්ඝෝෂණ කළහ.

එවිට රජතුමා “අනුරපුර ආරාමවාසි භික්ෂූන් වහන්සේ වැඩමවා දළදා පිදීමේ කැමැත්තෙන් උකටලීව රැස්වූ ජනයාගේ අදහස සැළකර සිටියේය. ඒ මහසඟ මැද සිටි කුළුණු නුවණින් යුත් එක් තෙරුන්වහන්සේ නමක් රටවැසියන්ගේ හිතසුව අභිවෘද්ධිය සලසන මහත්මා ගුණයෙන් සපිරි රජදරුවන් අනුගමනය කර ළඟ එන වසන්ත කාලයෙහි දළදා වහන්සේ පිටතට වැඩමවා පින් කැමති ජනතාවගේ සඟමොක් සුවය පතා සිරි දළදා වන්දනාවට අවස්ථාව සලසා දෙන්නැයි වදාළ සේක. එකී දළදා වන්දනා  පූජෝත්සවයට කිනම් තැනක් සුදුසුදැයි රජතුමා පෙරළා විමසූ තැන සියලු නිකායවල භික්ෂූන් වහන්සේ තමතමන්ගේ විහාර ඊට සුදුසු බව පළකොට තම තමන්ගේ විහාරස්ථාන සිරි දළදා වන්දනාව සඳහා යොදා ගන්නැයි ඉල්ලා සිටියහ. මෙසේ සිරි දළදා වන්දනාව පැවැත්වෙන තැන සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වූයෙන් මැදහත් සිත් ඇති රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ අභිමත තැනකට වැඩියාක් මෙන් දළදා වහන්සේ ද තමන් වහන්සේ කැමති තැනකට වඩිනු ඇතැයි සලකා නුවර සැරසීමට නියෝග කළේය. ඒ නියෝගයෙන් මහත් සතුටට පත්වූ ජනයා එපුර සියලු මාර්ග ඇමද, පිරිසුදු කර සුදුවැලි ඉස, රන් රිදී කලසින්, විසිතුරු තොරණින්, සුවඳමල් දමින් ධජ පතාක ආදියෙන් සරහා ඒ වග රජු වෙත දැන් වූහ. එවිට රජතුමා සේසත් යොදා සැරසූ සුදු අසුන් බැඳි රියැදුරු නැති අලංකාර රියක දළදා වහන්සේ වඩා හිඳුවා ඇත් අස් රිය පාබල යන සිව්රඟ සෙනඟ සමඟ පංචතූර්ය නාදයෙන් හා සාධු නාදයෙන් අස්රිය පිටත් කර යැවීය. අස්රිය පිටත් වූ මඟ දෙපස සිටි එනුවර වැසියෝ නොයෙක් ආභරණයෙන් හා සුවඳ කුසුමින් පූජා කෙරෙද්දී, සව්සිරිබරණින් සැරසුණු රජතුමා නන්විධ පූජා පවත්වමින් රිය පසු පසින් ගමන් කළහ.

සුදු අසුන් යෙදූ රන් පැහැයෙන් යුත් එම උතුම් රිය වේගයෙන් ගමන් කර නගරය පැදකුණු කර ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට අභිමත වූ තැනකට වඩින්නාක් මෙන් විසිතුරුව අලංකාරව සැරසූ ඒ මඟෙහි ගොස් මහමෙව්නා උයන්හි මිහිඳු මහරහතන් වහන්සේ දම් දෙසීමෙන් බැබළවූ ජෝතිය නම් නන්දන වනෝද්‍යානයෙහි නතර විය. බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය ජනයා ආභරණ ආදියෙන් පුදද්දී, සාධුකාර දී වඳිද්දී, මහානුභාව සම්පන්න, චන්ද්‍රයාට බඳු ශෝභා ඇති දළදා වහන්සේ රිදි පැහැයෙන් යුත් බුද්ධ රශ්මි මාලා විහිදුවා පෙළහර පෑ සේක.

මෙම අවස්ථාවේ දී සඟමොක් සුවය පතන ජනතාවට සර්වඥයන් වහන්සේගේ උතුම් දළදා වහන්සේ විසිතුරු රුවන් කරඬුවෙන් පිටතට ගෙන දැක්වීය. එතැන් පටන් වාර්ෂිකව නවලක්ෂයක් දන විසඳා මහපෙරහරින් අභයගිරි මහාවිහාරයට දළදා වහන්සේ වැඩමවා දින අනූවක් තිස්සේ බොහෝ දෙනා උදෙසා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සලස්වා අනාගතයෙහි ද එසේ පූජා කරන ලෙස දළදා සිරිත් ලේඛනයක් ද ලියවා තැබීය.

මෙම විචිත්‍ර දළදා පූජෝත්සවය සම්බන්ධයෙන් දාඨා වංශයේ එන විස්තර වර්ණනාවන්ට අමතරව පාහියං චීන දේශාඨන වාර්තාකරු සිය දේශාඨන වාර්තාවෙහි දක්වා ඇති විස්තර වර්ණනාව ද අතිශයින් වැදගත් තැනක් ගනී. පාහියං පවසන අයුරු පෙරහර හා සිරි දළදා වන්දනාවට දස දිනකට පෙරාතුව විසිතුරුව සැරසුණු රාජපුරුෂයකු ඇතකු පිට නංවා අණබෙර සමඟ නගරය පුරා යවා දස දිනකට පසුව දළදා වහන්සේ දළදා මැදුරෙන් පිටත අභයගිරි මහවෙහෙරට වැඩමවීමට නියමිත බවත් මහමඟ හා නුවර සරසා දළදා වහන්සේ පිදීමට සැරසෙන ලෙසත් නිවේදනය කළ බව කියැවේ”.

පොලොන්නරුවේ රජ පැමිණි මහා පරාක්‍රමබාහු මහරජතුමා රුහුණේ උරුවෙල් දනව්වේ සැඟව සිටි සුගලා රැජින පරදවා ඇය සඟවාගෙන සිටි දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ ගෙන මංජු සෙනෙවි රජු වෙත එවූ කල්හි රජතුමා ධාතු යුග්මය දැකීමට ලැබීම සිය ජීවිතයේ ලත් මහත් භාග්‍යයක් කර සලකා අමාරස දහරින් නැහැවූවකු සේ සුවඳ පැනින් ස්නානය කර පිරිසුදු වී විසිතුරු රාජාභරණයෙන් සැරසී පෙරගමන් කළේය. තමන් වෙත වැඩමවූ ධාතු යුග්මය දැක ජීවමාන බුදුරජාණන් වහන්සේ දුටුවාක් මෙන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔදවැඩී ගොස් නන්විධ රත්නයෙන් හා සුවඳ කුසුමින්, සුවඳ දූපයෙන් හා දැල්වූ පහනින් පිදීය. අනතුරුව රජතුමා දළදා වහන්සේ හිසින් දරාගෙන තමන් සමඟ පැමිණ සිටි සියල්ලන්ටම ධාතුන් වහන්සේ සියැසින් දැක බලා වන්දනාමාන පුද සත්කාර  සිදුකිරීමට සැලැස්වීය. දළදා වහන්සේගේ උත්තරීතර ගුණ සමුදාය ප්‍රකාශ කෙරෙමින් අනෙක් සියල්ලන් ලවා ද නොයෙක් පූජාවෙන් පූජා කරවීය.

දඹදෙණිය රාජධානිය කර ගත් තුන්වැනි විජයබාහු රජුට පසුව රජ වූ ඔහු පුත් දෙවැනි පරාක්‍රමබාහු ස්වකීය රාජ මන්දිරය සමීපයෙහිම දන්ත ධාතු මන්දිරයක් කරවීය. ඉන්පසු දළදා මන්දිරයෙහි සිට මුළු පුරය අලංකාර ලෙස සරසා දළදා මහා පූජාවක් කර දන්ත ධාතුන් වහන්සේ ස්වකීය හස්තය නැමති පද්මයේ තබාගෙන මහා සංඝයා වහන්සේ මධ්‍යයේ සත්‍යක්‍රියා කර දෙමළ මාඝ, ජයබාහු ආදින් පරදවා ලෝක ශාසනය නගන්නට හැකි වේවායි, ප්‍රාර්ථනා කර ප්‍රාතිහාර්යයක් දක්වන්නේ නම් මැනවැයි කියා සිතීය. එකණෙහි දන්ත ධාතුන් වහන්සේ හස්ත පද්මයෙන් අහසට පැන නැගී බුදුරුවක් මවා සවණක් ගණ බුදුරැස් විහිදුවා සියලු පුරය බබළවා යළි රජතුමාගේ දෑතෙහිම වැඩසිටි සේක. ධාතුන් වහන්සේගේ මෙම අද්භූත ප්‍රාතිහාර්ය දුටු මහජනයා ද සාධු නාදයෙන් පිදූහ.

ඇතුගල්පුර රාජධානියෙහි සිව්වැනි පරාක්‍රමබාහු රජතුමා පෙරහර කරවා, උතුරුමුළු අයතැන් සිටිතැන් හා මහා සංඝයා වහන්සේ (උත්තර මූලායතන අධිපතිවරුන් හා මහා සංඝයා වහන්සේ) හා ගණවැසි කිලිං දෙකුලය හා මැතිමඬුලු පිරිවරා උස්ව පෙනෙන තෙනෙක බොහෝ දෙනාට දැක වැඳපුදා ගැනීමට සැලැස්වීය. ඉක්බිති දළදාගෙට වඩා නිරිඳුන් මැදව ස්වාමින් කරඬුවට වඩා කටුකස්සෙන් පාමුල් පෙට්ටියෙන් ගණයෙන් අස්තුනින් අස් බඳනාව ඉසා, (රාජ්‍ය භාණ්ඩාගාර මුද්‍රාවෙන් මුද්‍රා තබවා) යනුවෙන් එදා ශ්‍රී දළදා වන්දනාවේ අනුගමනය වූ සිරිත් ද අපට විස්තර කර දෙයි.

සෙංකඩගල පුර රජ පැමිණි ශ්‍රී විජයරාජසිංහ රජතුමා “පිළිවෙළින් ඇතුළු කරඬුව හැර දන්ත ධාතුන් වහන්සේ දැක මහත් ප්‍රීතියට පැමිණ දළදා මාලිගාව දිව්‍ය විමානයක් සේ සරසවා, නගරය පිරිසිදු කරවා සකස් කොට සුදුවැලි ඉස දළදා මන්දිරය හා නගරය වටා තොරණ බැඳවීය. වියන්ද බඳවා නානා වර්ණයෙන් යුත් රෙදි කොඩිවලින් නගරය සැරසවීය. ලද පස්මල් ඉස නගරය විසිතුරු කළේය. අනතුරුව රජතුමා රාජභරණයෙන් සැරසී භික්ෂු සංඝයා ද උපාසක උපාසිකාවන් ද විදෙස් වැසියන් ද රැස් කරවා පසඟ පිහිටුවා දළදා වහන්සේ වැඳ හස්ත පද්මයෙහි තබා දළදා වහන්සේ වැඩමවාගෙන සතුටු සිතින් දළදා මාළිගාවෙන් නික්මුණේය. රිදී කුඩයෙන්ද රන් කරඬුවෙන් ද සෙමර පෙළින් ද නානාවිධ පුෂ්පයෙන් ද මිණිමුතු ආදි ආභරණයෙන් ද පංචතූර්ය නාදයෙන් ද පිටත මණ්ඩපයකට වැඩමවා තම හස්තය නමැති පද්මයට දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ වැඩමවාගෙන සියලු දෙනාට දක්වා  ප්‍රීති ප්‍රමෝදයට පත් කළේය. උතුම් දන්ත ධාතුන් වහන්සේ අවට සිටි ජන සමූහයාට සිරි දළදා වන්දනා කිරීමට සලස්වා යළි ගන්ධ කුටියට වැඩමවා තැන්පත් කළේය.”

අනතුරුව රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා විමලධර්මසූරිය රජතුමා විසින් කළ මහ කරඬුව රන් ආලේප කිරීමෙන් ද මිණිමුතු බඳවා නිම කරවා එය ඇතුළත තැබීමට තවත් කරඬු දෙකක් කරවීමෙන් ද පසුව ලක්වැසියනට සිරි දළදා වන්දනාව පැවැත්වීමට කටයුතු සැලැස්වීය. 

 අවසන් වරට වර්ෂ 2009 වැන්නේ මාර්තු මස 06 වන සිකුරාදා පටන් 14 වන සෙනසුරාදා දක්වා ලක්ෂ සංඛ්‍යාත සුවිශාල මහාජනකායක් මධ්‍යයේ මහත් උත්කර්ෂවත් ලෙස පැවැත් වූහ. ශ්‍රී දළදා වහන්සේ පියැවි ඇසින් දැකබලා බුද්ධාලම්භන ප්‍රීතිය හා ශ්‍රද්ධා භක්තිය ඇතිකර ගැනීමට එවර ද මහනුවරට ඇදී ආ සුවිශාල ජනතාව වෙනත් කිසිදාක මහනුවර නගරයට ඇදී නොආ තරම්ය.

ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට පැමිණෙන බැතිමතුනට ශ්‍රී දළදා මාලිගාවට පිවිසීම සඳහා ප්‍රධාන පිවිසුම් දොරටු පහක් පිහිටුවා තිබුණේය. එම මං ඔස්සේ පොදි ගැසී, පේළි ගැසී ඇදී එන ජනතාවට අවු වැසි දෙකෙන් ආවරණය වීමට, ආවරණ යොදා තිබීම කාගේත් පැසසුමට ලක්විය. එවර ශ්‍රී දළදා වන්දනාව ඇරඹුණු මුල් දිනයේ ප. ව. 5.15 ට පමණ එතෙක් මහනුවර පැවති තද නියඟය කෙළවර කොට ඇදහැළුණු මහ වැස්ස දළදා ප්‍රාතිහාර්යයකින් සිදු වූවක් බව සියලු සැදැහැවතුන්ගේ පිළිගැනීම විය. මේ අසිරිය දුටු බැතිමතුන්ගේ සාධු නාදයෙන් අවට ගිගුම් දෙන්නට විය. අහස ගිඟුරුවමින් ඇදහැළුණු වැසි දහර ජනතාවට ආශිර්වාදයක් බඳු විය. මෙම ධාරානිපාත වර්ෂාවෙන් ආවරණය වීමට බැතිමතුන් පේළි ගැසී සිටි මඟ ඔස්සේ යොදා තිබූ යටකී ආවරණ මහත් සේ පිටිවහලක් විය.

එවර සිරි දළදා වන්දනාවේ ප්‍රථම දිනය වූ රාජ්‍ය වර්ෂ 2009 මාර්තු මස 06 වන සිකුරාදා, දහවල් නවපෑ බුද්ධ පූජා කටයුතු අවසන් වීමෙන් අනතුරුව ප.ව. 1.06 ට යෙදී තිබූ සුබ මොහොතින් ආරම්භ වූ ශ්‍රී දළදා වන්දනාවේ දී පෙර රජ දරුවන්ගේ සිරිත සිහිපත් කරවමින් එවකට රාජ්‍ය පාලකයා ද සුවඳ මලින් හා පිරිකරින් හා රන් භරණින් මුණි දළදා පිදීය. මහත් ශ්‍රද්ධාවෙන් පිනා ගිය උවැසියෝ වෙහෙස මහන්සිය නොතකා පැය ගණන් පේළි ගැසී සිට ජීවමාන බුදුන් දැක්කා සේ සිත් පහන් කොට, සුවඳ මලින්, පිරිකරින් දළදා වහන්සේ පිදූහ. ශ්‍රද්ධාවෙන් පිනා ගිය බොහෝ උවැසියෝ තම ගෙල පැලඳි මාල, කන් පැළඳි කරාබු, දෑත සැරසූ රන් වළලු ක්ෂණයකින් ගලවා දළදා වහන්සේ පිදූ අයුරු බුදු බැතිය දනවන සුලුය.

මෙවර වර්ෂ 2025 අප්‍රේල් මස 18 වන දින (අද) සිට ආරම්භ වන සිරි දළදා වන්දනාව අති උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සැමට සෙත ශාන්තිය සමෘද්ධිය සෞභාග්‍ය සමඟිය සමාදානය මෙලොව යහපත හා එලොව සුගතිය සැලසීමේ අරමුණින් පැවැත් වේ. මෙවර අතිඋතුම් දළදා වහන්සේ සියැසින් දැක බලා වන්දනා මාන පූජෝපහාර දැක්වීමට සුවිශාල ජන ගඟක් මහනුවරට ඇදී එතැයි අපේක්ෂා කෙරේ. මහජනතාවගේ ආරක්ෂාව සැලසීම සඳහාත් සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිය, පානීය ජල පහසුකම්, ආහාර පහසුකම් වැස්සෙන් අව්වෙන් ආවරණය වීමේ පහසුකම්, ආදි ශුභ සාධන සේවා සැලසීම කෙරෙහි වෙනදාටත් වඩා උභය මහාවිහාරයන්හි මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා මාර්ගෝපදේශයන්ට අනුව දියවඩන නිලමේතුමා විසින් ජනාධිපතිතුමා ඇතුළු රජයේ පූර්ණ අනුග්‍රහය ඇතුව හා සැදැහැති බෞද්ධ සංවිධානයන්ගේ සහාය ඇතුව කටයුතු සලසා ඇත. පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් එහි සියලු සංවිධාන කටයුතු අතිශයන්ම සාර්ථකවී දෙස් විදෙස් සැදැහැති බෞද්ධ ජනතාවට උතුම් දළදා වහන්සේ සියැසින් දැකබලා මහත් ආනිශංස ඇති කර ගැනීමට හැකි වේවායි ආශිංසනය කරමු. 

 

(***)
කේ. මීගහකුඹුර,
ශ්‍රී දළදා මාළිගාව.



අදහස් (0)

දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 103 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 373 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 117 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 115 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 284 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 545 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 99 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 224 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site