IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


දළදා මාලිගාවට උඩින් අනවසර ආගමික ඉදිකිරීමක්

11-page1-NIM-3

 

ඓතිහාසික මහනුවර පුරවරය මෙරට පමණක් නොව ලොව සියලු බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේ ද ඉතිහාසය, සංස්කෘතිය හා ඉපැරණි ජන සමාජය පිළිබඳව අධ්‍යයනයේ යෙදෙන බොහෝ විද්වතුන්ගේ ද අවධානයට ලක්වී තිබේ. 


ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඩසිඳුවා තිබෙන ශ්‍රී දළදා මාලිගාව ලෝක උරුම ලෝක පූජිත බෞද්ධ සිද්ධස්ථානයක් මෙන්ම ලෝක ජනතාවගේ නිරන්තර ගෞරව බහුමානයටද පාත්‍ර වූ පූජනීය ස්ථානයකි. ඈත අතීතයේ මෙරට විසූ රජවරු පමණක් නොව පසුකලෙක මෙරට පාලනය නතු කරගත් විදේශීය රාජ්‍ය පාලකයන් මෙන්ම ප්‍රාදේශීය විදේශීය රාජ්‍ය පාලකයන් පවා ශ්‍රී දළදා මාලිගාව කෙරෙහි දැක්වූයේ ගෞරවයකි. 


රාජ්‍යත්වයේ සංකේතය ලෙසද සලකනු ලබන ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කොට සුරක්ෂිතව රන් කරඬු සතක බහා අඛණ්ඩ පුද පූජා ආගමික වතාවත් පවත්වමින් රැකබලා ගත්නේද මහත් වූ ශාසන ලැදිවය. ශ්‍රී දළදා මාලිගාවේ ගොඩනැගිලි පරිශ්‍රයට ඉහළින් පෙනෙන සේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි නොකළ යුත්තේය යන මතයක්ද කාලයක් තිස්සේ ආගමානුකූලව පවතියි. 


සියලු ජාතින් නියෝජනය කරන කන්ද උඩරට ජනතාව විවිධ ආගම් අදහමින් සහජීවනයෙන් යුතුව සාමකාමීව තම තමන්ගේ දෛනික කටයුතුවල යෙදෙමින් ව්‍යාපාර කරති. අධ්‍යාපනය හදාරති. විවිධ ව්‍යාපෘතිවල යෙදෙති. කිසිවකුගේ ජාති ආගම් කුලබේදවලින් පොලු හරස් කරගෙන ගැටුම් නොකරති. ඉඳහිට හෝ සුළු වශයෙන් යම්යම් සිදුවීම් ඇති වුවද  ආගමික සහජීවනය තුළින් සාකච්ඡා තුළින් ඒවා විසඳා ගනිති. 


විවිධ ජාතින් විවිධ ආගම් විවිධ ඇදහිලි සහිතව විවිධ මත විවිධ අදහස් දරන ජන සමාජයක් වෙසෙන මහනුවර පුරවරයේ ශ්‍රී දළදා මාලිගාව බෞද්ධ අබෞද්ධ සැමගේ ගෞරව ප්‍රණාමයට පාත්‍රවූ පූජනීය වස්තුවකි. ඒ වාගේම ශාන්ත පාවුළු දේවස්ථානය, මීරාමක්කම් මුස්ලිම් පල්ලිය, ඉපැරණි ඉතිහාසයක් ඇති ශ්‍රී සෙල්ව විනයාගර් හින්දු කෝවිල, කටුකැලේ මහ පල්ලිය මේ සියලු ආගමික මධ්‍යස්ථානවල ඒ ඒ භක්තිකයන් නිදහසේ තම ආගමික වතාවත් ඉටු කරමින් සංහිඳියාවෙන් යුතුව ජීවත් වෙති. 


කිසිවකුත් ගොස් ශ්‍රී දළදා මාලිගාවට ගල් නොගසති. මුස්ලිම් පල්ලියට ගල් නොගසති. කතෝලික දේවස්ථානයට අපහාස නොකරති. ඒ ඒ ආගම්වල පූජක උතුමන්ලාද  මිනිස් සමාජය කුපිත කරවන විෂ පතුරුවන ගැටුම්කාරි මත තම අනුගාමිකයන් හට බෙදා දෙන්නේද නැත. එහෙත් එක්වරම මහනුවර පුරවරය ආගමික සංහිඳියාව නමැති සුපිරිසුදු කිරි කළයට ගොම බිංදුවක් පතිත විය. මහනුවර නගරයේ බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි මුස්ලිම් පල්ලියේ එක් ඉහළ ස්ථානයක ඉදිකිරීමක් සම්බන්ධව පැතිර ගිය එම සිදුවීම රටපුරා මුහුණු පොත් (ෆේස් බුක්) තොරතුරු ආරංචි මාර්ගවලින් ව්‍යාප්ත විය.


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ගොඩනැගිලි පරිශ්‍රයේ රන් වියනට හා ඉපැරණි ඓතිහාසික පත්තිරිප්පුවට ඉහළින් පෙනෙන සේ මුස්ලිම් පල්ලියේ ඉදිකිරීමක් සිදුවන බවට මුහුණු පොතේ (ෆේස් බුක්) ජාලය හරහා ව්‍යාප්තවීමත් සමග සිහලේ ජාතික බලමුළුව හා ඒකාබද්ධ බෞද්ධ තරුණ සංවිධානය නමින් වූ සංවිධාන කීපයක්, අරඹේපොළ රතනසාර, බෝලැපේ ඉඳුගොඩ ආනන්ද යන හිමිවරු ප්‍රමුඛ සංඝයා වහන්සේලා පිරිසක් සහ තරුණ පිරිසක් ජූනි මස 05 වැනි දින දහවල් හදිසියේම මහනුවර නගරයට එක්රොක් වූහ.


ඔවුන් මහනුවර වැව ඉදිරිපිටින් බෝගම්බර බන්ධනාගාරය හා මධ්‍යම වෙළඳපොළ දෙසට යාමට ඇති ප්‍රධාන මහා මාර්ගය අවහිර කරමින් මහ පාර මැද බිම වාඩිවී විරෝධතාවක් ආරම්භ කළේ ශ්‍රී දළදා මාළිගාවේ ගොඩනැගිලි පරිශ්‍රයට ඉහළින් දිස්වෙන සේ කිසිදු ගොඩනැගිල්ලක් හෝ ඉදිකිරීමක් සිදු නොකරන ලෙස මහනුවර නගරයේ විවිධ රාජ්‍ය ආයතන බලධාරීන්ට බල කරමිනි. 


ශ්‍රී දළදා මාළිගාවේ පත්තිරිප්පුවට හා රන් වියනට ඉහළින් පෙනෙන සේ කිසියම් ස්ථානයක හෝ ආගමික ස්ථානයක ගොඩනැගිල්ලක ඉහළ කොටසේ ඉදිකිරීමක් කරන්නේ නම් එකී කාර්යයට එරෙහිව දැඩි විරෝධතාවයක් සමග අඛණ්ඩ උපවාසක්ද ආරම්භ කිරීමට පසුබට නොවන බව පවසමින් විරෝධතාවයකට එක්වූ තරුණ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ තරුණ පිරිස ආවේගශීලීව ප්‍රකාශ කරන්නට වූහ.


මහනුවර පොලිස් නිලධාරීහු ක්ෂණිකව පියවර ගෙන විරෝධතාව පැවැත්වුණු මුස්ලිම් පල්ලිය ඉදිරිපිට මාර්ගය වසා දමා රථවාහන ධාවනයද එම මාර්ගයෙහි අත්හිටුවා අවට ආරක්ෂාව තර කළහ. ඉතා සාමකාමීව විරෝධතාවේ යෙදුණු පිරිස පැය කීපයක් එම ස්ථානයේ සිට විසිර ගියහ. පොලිසිය ආරක්ෂාව තර කිරීමට පියවර ගත්හ. 


මෙම සිද්ධිය නගරයේ ජනතාව අතර කනවැකුණද බොහෝ දෙනෙක් එම සිදුවීම පිළිබඳව අවධානයක් යොමු කළද ආවේගශීලීව හෝ ප්‍රචණ්ඩව හැසිරීමේ ක්‍රියාදාමයකට යොමු නොවූහ. එලෙස සිදුවූයේද අතීතයේ විවිධ ජනවාර්ගික අරගල පිළිබඳව  මහනුවර සාමකාමී ජනතාවට මනා අවබෝධයක් තිබූ නිසාය. මාධ්‍ය ආයතන නියෝජනය කළ මාධ්‍යවේදිහුද විවිධ කෝණ ඔස්සේ මෙම ක්‍රියාදාමය රටට හෙළි කළහ.


කෙසේ වෙතත් මහනුවර නගරය තුළ මුස්ලිම් පල්ලි පහක් පමණ පිහිටා තිබේ. නගරයේ මුස්ලිම් ජනතාව ඉතා සාමකාමිව නීතිගරුකව තම ආගමික යාච්ඤා කටයුතුවල යෙදුණේ සිදුවීම මහා බරපතළ දෙයක් ලෙස නොසිතාය. මහනුවර උපන් මහනුවර ආගමික සංස්කෘතිය හඳුනන උගත් මුස්ලිම් ප්‍රජාව ආගම්වලට ගරු කරමින් සාමකාමීව ජීවත් වන ජන කොටසකි. ඔවුන් නිරන්තරයෙන් බෞද්ධ හින්දු මැලේ බර්ගර් ජනතාව සමග සහජීවනයෙන් දිවි ගෙවති. කෙසේ වෙතත් මහනුවර නගර පාලකයෝ පොලිස් ප්‍රධානින් ආගමික නායකයෝ සිද්ධිය දුරදිග නොයා සාමකාමිව විසඳා ගැනීමට දැඩි ප්‍රයත්නයක යෙදුනහ. එය සාර්ථක විය.


මතබේදයට තුඩුදුන් මහනුවර මුස්ලිම් පල්ලියේ ඉහළ කොටසක සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබූ ඉදිකිරීම් නතර කිරීමටද මුස්ලිම් ආගමික පූජකතුමන්ලා හා මුස්ලිම් දේශපාලනඥයන් සුහදව සාකච්ඡා කොට තීරණයක් ගත්හ. ඔවුහු මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් කටයුතු  අමාත්‍ය ඒ.එච්.ඒ. හලීම්, මහනුවර නාගරික මන්ත්‍රී ඉලාහී ආබ්දීන්, මුස්ලිම් ආගමික නියෝජිතයෝ පිරිසක් සමග මල්වතු මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ මල්වතු  අනුනායක  දිඹුල්කුඹුරේ විමලධම්ම යන හිමිපාණන් වහන්සේලා ද හමුවූහ. 


ඉතා සුහදව මහා නායක හිමිපාණන් වහන්සේ සමග පිරිස සාකච්ඡාවක යෙදුණහ.  කිසිදු අයුරකින් හෝ ශ්‍රී දළදා මාළිගාවට ඉහළින් දිස්වෙන සේ කිසිම ඉදිකිරීමක් සිදු නොකර පෙර පරිදි තම ආගමික වතාවත්වල යෙදෙන ලෙසත් ඉතා සාමකාමී සංහිඳියාවකින් පසුවෙන ජනතාව අතර අසමගිය පතුරුවා වෛර සිතුවිලි ක්‍රියාත්මක නොකරන්නට ආගමික නායකයන් හා රජයේ වගකිවයුතු දේශපාලනඥයන් ලෙස සැමදෙනා අවබෝධ කරගත යුතු බවත් මහානායක හිමිපාණන් වහන්සේ මෙහිදී තමන් හමුවට පැමිණි පිරිසට  අවවාද කළහ.


මහනුවර කිසිදු බේදයකින් ගැටුමකින් තොරව ජීවත්වන සියලු ජනතාවගේ සංහිඳියාව පලුදු කරවන අන්දමේ කිසිදු ක්‍රියාවක නොයෙදන ලෙසත් සාමකාමීව ජීවත්වෙන ජනතාව අතර ආරවුල් ඇති කිරීමට පියවර නොගන්නා ලෙසත් මල්වතු මහා නාහිමියෝ අමාත්‍ය  හලීම් මහතා ඇතුළු  ඔහු  සමග පැමිණි නියෝජිත පිරිසට වැඩිදුරටත් පැවසූහ. 


අවසානයේ තැපැල් කටයුතු හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.ඒ. හලීම් මහතා මල්වතු මහා නායක හිමිපාණන් වහන්සේ හමුවෙහි ප්‍රකාශ කළේ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි කටයුතු කරන බවත් ශ්‍රී දළදා මාලිගාවේ ගොඩනැගිලිවලට ඉහළින් දිස්වෙන සේ කිසිම ඉදිකිරීමක් මහනුවර නගරයේ මුස්ලිම් පල්ලියේ ඉදි නොකරන බවත්ය. 


පෙර පරිදි සුපුරුදු ආගමික වතාවත්වල  යෙදෙන්නැයි ද එකී කටයුතු උස්මිටි බේදයකින් තොරව පවත්වාගෙන යන ලෙසත් අවවාද කළ මල්වතු මහා නාහිමියෝ මහියංගන ප්‍රදේශයේදී අසංවර මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙක් වෙසක් සැරසිලි කඩා බිඳ දමා බෞද්ධ කොඩිවලට අලාභහානි කිරීමේ සිද්ධිය ගැනද මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු  පිරිසට පවසා එම අවස්ථාවේදී මහියංගන ප්‍රදේශවාසීහු පොලිසිය හා ජනමාධ්‍ය ඉවසිලිවන්තව කටයුතු කළ ආකාරයත් පෙන්වා දුන්හ. එකී සිදුවීම්වලට සිය කනගාටුව පළ කළ මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍ය හලීම් මහතා ඇතුළු මුස්ලිම් ආගමික නියෝජිත පිරිස මහනුවර පුරවරයේ කිසිම අවස්ථාවක එවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වන්නට ඉඩ නොදෙන බවද පැවසූහ.


මෙම සිදුවීම සම්බන්ධයෙන්  මහනුවර නගරයේ අත්දැකීම් සහිත පැරණි වැසියන් කීප දෙනකුගෙන්ම විමසූ අවස්ථාවේ ඔවුන් පැවසුවේ මහනුවර නගරයේ කිසිදු ආයතනයක් ඔවුන්ගේ ගොඩනැගිලි ඉදිකිරීමේදී ශ්‍රී දළදා  මාලිගාවේ පත්තිරිප්පුවට හෝ රන් වියනට ඉහළින් කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන බවයි. එහෙත් මහනුවර නගරය පුරා ඉතා උස්වූ අනවසර ගොඩනැගිලි රැසක් ඉදිකර ඇතත් ඒවා ඉදිකරන ලද්දේ සිංහලද දෙමළ ද මුස්ලිම් ජාතිකයන්ද එසේත් නැත්නම් මැලේ, බර්ගර් ජාතිකයන්ද කියා කිසිවෙකු සොයාබලා නැතැයි නගරයේ ජනතාව පැවසුහ.


මෙම අර්බුදකාරී ක්‍රියාදාමය විසඳාගත්ත ද ඇතැම් අන්තවාදී දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ දරන අමනෝඥ දේශපාලනඥයන් කිහිප දෙනකු යළි යළිත් එම සිදුවීම් ඉස්මතු කිරීමට උත්සාහ ගත්ත ද  එය නිශ්ඵල ක්‍රියාවක් විය. 


මහනුවර මුස්ලිම් පූජකවරයකු වන මවුලවි ෆසුල් රහුමාන් මහතා මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් : දැන් තිබෙන තත්ත්වය අනුව අපි නගරය තුළ සාමකාමීව ජීවත් විය යුතුයි. අපිට අවශ්‍ය නැහැ එක එක ඉදිකිරීම් නිසා අපේ මිනිස්සු අතර තිබෙන සමගිය නැතිකර ගන්න. අති පූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේලා ලබාදුන් අවවාද අනුශාසනා පරිදි  අපි ක්‍රියා කරනවා. උන්වහන්සේලා කියන දේ අපි අහනවා. අපි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව සමග සමගියෙන් හිටියා. ඉදිරියටත් අපි එහෙම ඉන්නවා.


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ කීය. 


මහනුවර ඓතිහාසික නගරයක්. මේ නගරයේ ප්‍රධාන පූජනීය ස්ථානය ශ්‍රී දළදා මාලිගාවයි.

 මෙම පූජනීය ස්ථානයේ ගොඩනැගිලිවලට උඩින් පෙනෙන සේ කිසිම ගොඩනැගිල්ලක් ඉදිකරල නැහැ. අතීතයේ සිටන් ඉංග්‍රීිසි පාලන සමයේ සිටන් එම සම්ප්‍රදාය ආරක්ෂා වූවා. කිසිදු ආයතනයක් හෝ ආගමික ස්ථානයක් හෝ ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ගොඩනැගිලි පරිශ්‍රයට ඉහළින් පෙනෙන සේ ඉදිකිරීමක් කරන්නේ නැහැ. එවැන්නක් සිදු කරන්නේ නම් නගර සභාවත් නාගරික සංවර්ධන අධිකාරියත් ලෝක උරුම නගර කමිටුවත් පුරාවිද්‍යා අංශයත් ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගත යුතුයි. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය අවට හෝ කිසිදු ඉදිකිරීමක් කරන්නේ නම් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගන්නවා. 


ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවට හෝ රන් වියනට ඉහළින් දිස්වෙන සේ කිසිදු ඉදිකිරීමක් සිදු නොකිරීම ශ්‍රී දළදා වහන්සේට කරනු ලබන පූජනීය ගෞරවයක්. කවුරුන් හෝ එවැන්නක් කරනවා නම් එය අනුමත කළ නොහැකියි. 


ශ්‍රී දළදා මාලිගාවට හා එහි ඓතිහාසික ගොඩනැගිලිවලට ඉහළින් කිසිදු ඉදිකිරීමක් නොකරන්නට නගරයේ පාලනය භාර වගකිවයුත්තන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් බෞද්ධ උරුමයට බෞද්ධ අනන්‍යතාවයට රට තුළ කොහේ හෝ හානියක් අවැඩක් සිදු කෙරෙනවා නම් එයට එරෙහිව තම සංවිධානය දැඩිව නැගී සිට රටපුරා වුවත් විරෝධතා ව්‍යාපාර ආරම්භ කරන බව සිහලේ ජාතික බල මුළුවේ පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියෝ අවධාරණය කළහ. 


මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන ජේ.ඒ.එම්. ලාෆීර් මහතා පළාත් සභාවේදී (07 වැනිදා) ප්‍රකාශ කළේ මහනායක හිමිපාණන් වහන්සේලාගේ එකඟතාවය කැමැත්ත පරිදි මහනුවර මුස්ලිම් ප්‍රජාව සාමකාමීව ක්‍රියා කරන බවයි. ශ්‍රී දළදා මාලිගාවට මහනුවර වෙසෙන මුස්ලිම් භක්තිකයන්ගේද ගෞරවයක් ඇති බැවින් එවැනි පූජනීය ස්ථානයකට අගෞරව වන අන්දමේ කිසිදු ඉදිකිරීමක් කිසිදා සිදු නොවන බවද එම මන්ත්‍රීවරයා මධ්‍යම පළාත් සභාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. විවිධ පුද්ගලයන් විවිධ ප්‍රචාර පතුරුවා හැරිය නමුදු වගකිවයුතු මුස්ලිම් ප්‍රජාව මහනුවර පුරවරය තුළ ඔවුන් සියලු ජනතාව සමග සංහිඳියාවෙන් ජීවත්වෙමින් තම කටයුතු කරගෙන යන බව මෙහිලා සඳහන් කළ යුතුය.


හින්දු භක්තිකයෝද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව සමග සබඳතාවයක් ගොඩනගාගෙන සිටිති. ඔවුහුද සෑම වසරකම ශ්‍රී දළදා වහන්සේට පූජෝපහාර පිණිස පවත්වන ඇසළ පෙරහරට දායක වෙමින් දළදා සමිඳුන්ට හින්දු බැතිමතුන්ගේ පූජෝපහාර ලබාදෙති. 


මහනුවර නගරයේ වෙසෙන සියලු ජනවාර්ගික කොටස් ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ගනිමින් ඉදිරියටත් අනාගත පරපුරට ආදර්ශයක් ගෙන දෙමින් සහජීවනයෙන් යුතුව ජීවත් වන්නේ නම් ඓතිහාසික කන්ද උඩරට ආගමික පරිසරය පිළිබඳව මනා වැටහීමක් හා අවබෝධයක් සහිතව ක්‍රියා කළ යුතු බව මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා අවධාරණය කර  සිටිති. මහනුවර නගරය තුළ ඉරිදා (05) දහවල් සිදුවූ විරෝධතාවය පිළිබඳව මුහුණු පොත (ෆේස් බුක් ජාලය) ඔස්සේ ඇතැමුන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමක් සිදුකළ බවත් මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වන එම්. හිදායන් (එජාප) මහතා ප්‍රකාශ කළේය.


එම මන්ත්‍රීවරයා සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති සිංහල දෙමළ මුස්ලිම් ජනතා සහජීවනය පළුදු කරවීම සඳහා ඇතැම් පාර්ශ්වයයන් උත්සාහ දැරුවද එයට කිසිසේත් මුස්ලිම් ප්‍රජාව ඉඩ නොතබන බවයි.


අවසාන වශයෙන් මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ උන්වහන්සේ හමුවූ මුස්ලිම් ආගමික නියෝජිතයන් හමුවේ පැවසූ වදන් කිහිපයක් මෙහි සඳහන් කළ යුතුය.


“අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීම හොඳ නැහැ. බෞද්ධ ජනතාව කුපිත වන අන්දමට කටයුතු කරන්න ඉඩ දෙන්න එපා. සංහිඳියාව ගැන කථා කරමින් මේ අන්දමේ දේවල්වලට යොමුවී අවුල් ඇතිකිරීම නිසා රටේ දියුණුව නැතිවී අපි අතරත් බේද ඇතිවෙනවා. මේ තත්ත්වය රටේ ජාතික සමගියටත් විශාල වශයෙන් බලපාන්න පුළුවන්. ඒ නිසා මේ ඉදිකිරීම් නතර කරන එක තමයි වඩාත් හොඳ”.


මහනුවර ජීවත් වන මුස්ලිම් ප්‍රජාව බහුතරයක් නගරයේ සියලු ජනතාව සමග සමගියෙන් කටයුතු කරද්දී ඉතා සුළු පිරිසක් ජාතිවාදී පටු හැඟීමෙන් ක්‍රියා කිරීම මහනුවර නගරයේ ජාතික සමගියට මහත් බාධාවක් වනු ඇතැයි විද්වත්හු රැසක් පවසති.

M



අදහස් (0)

දළදා මාලිගාවට උඩින් අනවසර ආගමික ඉදිකිරීමක්

ඉෂාක් Wednesday, 22 June 2016 09:28 AM

අැයි ඔය කියන සංවිධානය අරක්කු තැබෑරුමට, ගණිකා හොටෙල් වලට සහ නීති විරෝධී වැඩ කෙරන තැන් පෙන්නේ නැද්ද .(බ)

:       0       0

නිශා Friday, 17 June 2016 03:03 AM

මේගොල්ලෝ දැන් පසුබැස්සට තව අවුරුදු 100 කින් විතර තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්. සිංහලයා යථාර්ථය තේරුම් ගන්න ඕනෑ. (නි)

:       0       0

නුවන් Saturday, 18 June 2016 04:31 AM

ආගමක් තිබියයුතු වන්නේ උස අනුවද? බුදුහාමුදුරුවෝ බරණැස් නුවර සියලු ගොඩනැගිලි ජේතවනාරාමයට වඩා මිටි වියයුතුයි කියලා නීතියක් පැනෙව්වාද? (නි)

:       0       0

තුසිත Friday, 17 June 2016 04:34 AM

යථාර්ථය තේරුම් ගන්න විට පෙරහැර ගිහින් නිශා. (ර)

:       0       0

ශශිකා Saturday, 18 June 2016 04:38 PM

නුවන් දන්නේ නැත්නම් අදවත් දැනගන්න.ලෝකේ බොහෝ නගරවල සැළසුමක් තියෙනවා සංස්කෘතික වටිනාකම් තියෙන ගොඩනැගිලි වලට වඩා උසින් ඉදිකිරීම් කරන්නේ නැහැ කියලා. (නි)

:       0       0

ටානි Saturday, 18 June 2016 05:32 PM

සිංහලයන්ගේ පිබිදීම ගැන සතුටුයි (නි)

:       0       0

ගුණේ Saturday, 18 June 2016 06:18 PM

සිංහල ජාතියේ කොන්ද 71 බින්ඳා, තරුණ ජවය නැතිකළා. 88-89 එ්කම කළා. කොටි උවදුරු නිසා දෙජාතියේම තරුණ ජවය නැතිවුණා. දැන් සුළු ජාතියක් බලවත්වෙලා අපේ ඔළුවට අත සෝදනවා. අනාගතය ඛේදනීයයි. (නි)

:       0       0

උපුල් Sunday, 19 June 2016 05:21 PM

විරෝධයක් අාවේ නැත්නම් ඕක අහසටම උස්සනවා (නි)

:       0       0

ටෙෂාන් Friday, 17 June 2016 07:27 AM

කරුණාකරලා මේ ලිපිය හොඳට කියවන්න. තමන්ගේ නූගත් කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව. (බ)

:       0       0

පහන් Saturday, 18 June 2016 07:23 AM

නුවන්, ඕක කියන්නකෝ අනෙක් අයට. ඔක්කොම නීති බෞද්ධ අපිට විතරයි (නි)

:       0       0

චතුරි Thursday, 16 June 2016 12:44 PM

මේ වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්. මුස්ලිම් ජාතිකයින් කොහොමත් නුවර මාළිගාවේ නීතිරීති දන්නේ නැහැ. මෙම නීති ගැන දැනුවත් කරන්න ඕනෑ. (නි)

:       0       0

අභීත් Sunday, 19 June 2016 02:14 AM

මම මුස්ලිම් ජාතිකයෙක්. එහෙත් බුදු දහමට ඉමහත් ගෞරවයක් දක්වමි. (නි)

:       0       0

තුසිත Friday, 17 June 2016 10:26 AM

මොන පිස්සුද? තව අවුරුදු 100 ක් යන්නේ නැහැ නිශා. තව ටිකකලක් ගියාම හොඳට බලාගන්න පුළුවන් (නි)

:       0       0

අජිත් Saturday, 18 June 2016 08:31 AM

නිශා, තව අවුරුදු 10ක් 15ක් යනකොට තේරෙයි කට්ටියට. දැන්වත් අවදිවෙයවු! දැන්වත් පක්ෂ පාට අතහැර එක පක්ෂයක් වෙයවු! (නි)

:       0       0

රාවන් Monday, 20 June 2016 07:28 AM

ඔය සංවිධාන වලට අරක්කු කඩ වහන්න ඕන කියලා හිතෙන්නේ නැහැ වගේ. (ම)

:       0       0

අනු Monday, 20 June 2016 07:33 AM

මෙතන ප්‍රශ්නය තියෙන්නෙ නියම මුස්ලිම් ජාතිකයන්ට නොවේ අන්තවාදි කොටසක් තමන්ගේ ආගම උසස් කියලා පෙන්වන්න දරන අසාර්ථක පරයත්නයක් මේක. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1811 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 295 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 933 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 82 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 176 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 230 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site