වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමියන්ගේ 207 වැනි ගුණ සැමරුම අද දිනට (02) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
දිනය 1815 මාර්තු 02වැනිදාය. වේලාව සිංහල පැය ක්‍රමය අනුව හිරු උදාවී දස පැයක් ගිය තැනයි. ස්ථානය මහනුවර මගුල් මඩුවයි. මෙදිනට නියමව තිබුණේ වසර දෙදහස් තුන්සීයකට අධික කාලයක් පුරා ස්වාධීනත්වයේ ප්‍රතාපවත් බවින් විරාජමානව තිබූ ශ්‍රී ලංකාද්වීපය ගිවිසුම් පත්‍රයක් මාර්ගයෙන් එංගලන්තයේ තුන්වන ජෝර්ජ් රජතුමා වෙත පවරා දීමයි.
කථිකා කරගෙන තිබූ එකඟතාවය වූයේ සිංහල හා ඉංග්‍රීසි දෙපාර්ශ්වයම නියමිත වේලාවට ගිවිසුමට අත්සන් තබා, සිංහල සහ ඉංග්‍රීසි ධජය එකවර ඉහළට එසවීමටය. කොඩි එසවීමේ කටයුත්ත එහි සිටි සිංහල හා ඉංග්‍රීසි සෙනෙවිවරු දෙපළකට බාරව තිබිණි. මගුල්මඩුවේ එක් පසෙක කොඩි සහ තුවක්කු අතින් ගත් සිංහල සේනාවක්ද අනෙක් පස ඉංග්‍රීසි සේනාවක්ද වූහ. ඒ මොහොතේ ගිවිසුම අත්සන් කරන්නටත් පෙර, ඉංග්‍රීසි කොඩිය එසවීමට සිටි සෙනෙවියා වහා එම කොඩිය අහසට නංවාලීය. ගිවිසුම් ප්‍රකාරව මෙය නීත්‍යානුකූල නොවන ක්‍රියාවකි. එහෙත් මෙතෙක් කල් නිදහස්ව නිවහල්ව සිටි ජාතියක් ලෙසටත් එම ජාතියට මගපෙන්වූ සම්බුද්ධ සාසනයටත් කළ මේ අවමානයට එරෙහිව නැගී සිටීමට එකදු පුද්ගලයෙකු මෙම රාජකීය උත්සව සභාවේ නොසිටීම ඛේදනීය තත්ත්වයක් විය.
මේ අතර සිදුවූයේ තවත් ඓතිහාසික සිදුවීමකි. මෙම සෑම දෙයක් පිළිබඳවම විමසිල්ලෙන් සිටි අයෙක් දළදා මැදුර තුළ විය. ඒ එවකට දළදා වහන්සේගේ තේවාව බාරව කටයුතු කළ වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියන්ය. ජාතිය ගැන උදාර හැඟීම් ඇතිව වාරියපොල හිමියන් දළදා මැදුරේ නැගෙනහිර දොරටුවෙන් පිටතට ආහ. උන්වහන්සේගේ නෙත ගැටුණේ මඟුල් මඩුව අහසේ ලෙල දෙන ඉංග්‍රීසි කතිර කොඩියයි.
වර්ගයාගේ අභීත කාහල නාදයේ උත්කෘෂ්ටත්වය නිර්භීත ලෙස කියාපාමින් උන්වහන්සේ ඉදිරියට පැමිණියහ. උණුසුම් වූ රුධිරයෙන් දැඩි ආත්ම විශ්වාසයෙන් හා ජාතිකානුරාගයෙන් සුමංගල හිමියන් තේජාන්විත ස්වරයෙන් “තොපට තොපේ කොඩිය දැන්ම මෙහි එසවීමට ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවුරුන්දැයි” විචාළහ. එයින් නොනැවතුණු උන්වහන්සේ ඉංග්‍රීසි කොඩිය නැවත පහළට දැමූහ. අනතුරුව ඩොයිලි ඇතුළු බ්‍රිතාන්‍ය අධිකාරීන් අවස්ථාවට මැදිහත්ව තත්ත්වය සමනය කර නැවත ධජ දෙකම එකවර ඔසවා ගිවිසුමට අත්සන් තැබූහ. එතැන් පටන් මුළු ලංකාද්වීපයම එංගලන්තයේ රජතුමා යටතට පත්විය.
මෙසේ අධිරාජ්‍යවාදයට යටපත් වීමට එරෙහිව පළමු වෙඩිමුරය එල්ල කිරීමේ ගෞරවය හිමිවන්නේ වාරියපොල ශ්‍රී සුමංගල අනුනායක ස්වාමීන්වහන්සේටය. ස්වකීය මාතෘභූමිය වෙනුවෙන් සිය දිවි පසෙක තබා දැක්වූ මෙම අභීත ක්‍රියාවට අද දිනට වසර 207 ක් සපිරේ. එමෙන්ම 1815 අත්සන් කළ ගිවිසුමට අනුකූලව ඉංග්‍රීසීන් රටේ පාලන කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටීම සහ ස්වදේශිකයන් වෙත දැඩි පීඩා ගෙනදෙන ආකාරයේ පාලනයක් ඇතිකිරීමට එරෙහිව 1818 කැරැල්ලක් ඇතිවිය. වාරියපොල හිමියන්ගේ මූලිකත්වයෙන් නැවතත් මව්බිමට සිංහල බෞද්ධ නායකත්වයක් ලබාදීමේ අරමුණින් ආරම්භ කළ මෙම කැරැල්ලටද වසර 204 ක් සපිරේ.
වාරියපොල සුමංගල හිමියන්ගේ ගිහි පරම්පරාව ආරම්භ වන්නේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවස, ශ්‍රී ලංකාවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවූ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු යන දෙපළගෙන් බව පැරණි පොත්පත්වල ඇති තොරතුරුවලින් අනාවරණය වේ. මුඛ පරම්පරාගත කතා සහ අනෙකුත් පිළිගත හැකි සාධක ඇසුරින් ගත්කල සුමංගල හිමියන් උපන් ග්‍රාමය ලෙස සැලකෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දේවමැද්දේ කෝරළයේ වාරියපොලයි. හේරත් මුදියාන්සේලාගේ බමුණාකොටුවේ රාල උන්වහන්සේගේ පියා බව වාරියපොල කහටගස්වැව ප්‍රදේශයේ පැරණි ගල් ස්මාරක කීපයක තිබූ සටහන් ඇසුරින් නිගමනයකට පැමිණ ඇත. ඒ අනුව වාරියපොල සුමංගල හිමියන්ගේ ගිහි නාමය හේරත් මුදියාන්සේලාගේ කිරිහාමි ලෙස සඳහන් වේ.
වාරියපොල හිමියන්ගේ ගිහි පරම්පරාව දළදා වහන්සේ ලක්දිවට ගෙන ඒමට සහ රැකගැනීමට සම්බන්ධ සේම උන්වහන්සේගේ පැවිදි පරම්පරාවද දළදා වහන්සේගේ කටයුතු සඳහාම උරුමයක් ලද කොට්ඨාසයක් බව පෙනී යයි.
මහනුවර රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේ ලන්දේසීන් විසින් මහනුවරට කළ ආක්‍රමණයක් හේතුවෙන් දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ වගකීම එවකට අස්ගිරි විහාරයේ ගණනායකව සිටි නාවින්නේ ධම්මදස්සි හිමියන්ට පැවරිණ. උන්වහන්සේ විසින් දුම්බර සැතපෙන ගෙය, තෙල්දෙණියේ ගමන් මාලිගය, මැද මහනුවර වැඩිහිටි මාලිගය යන ස්ථානවලටත් අවසානයේ කිවුල්ගම ගල්ලෙන් විහාරයටත් දළදා වහන්සේ රහසේ වඩමවා ආරක්ෂා කළහ. මෙම නාවින්නේ ධම්මදස්සි ස්වාමීන්වහන්සේ විසින් හේරත් මුදියාන්සේලාගේ කිරිහාමි නම් කුලදරුවා එවකට අස්ගිරි විහාරයේ මහානායක පදවිය දැරූ ඉදවලුගොඩ ධම්මපාල මහ නාහිමියන්ට බාරදුන් බව ඉතිහාසයේ කියැවේ.
අනතුරුව, එම කුලදරුවා අස්ගිරි මහා විහාරයේදී වාරියපොල සුමංගල නමින් පැවිදි බිමට පත්විය. මෙසේ ගත්කල පැවිදි පරපුර වශයෙන්ද දළදා වහන්සේ රැකගත් අස්ගිරි මහා විහාරවංශික භික්ෂු පරම්පරාවට වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියෝ ඇතුළත් වෙති.
රාජාධිරාජසිංහ රජුගෙන් පසු මහනුවර රජ බවට පත්වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවසේදී එවකට අස්ගිරි විහාරයෙහි බලසම්පන්නව සිටි වාරියපොල හිමියෝ දළදා වහන්සේගේ ප්‍රබලම ආරක්ෂකයා වූහ. එසමයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා අයකු පත්කිරීම රජුගේ කැමැත්ත පරිදි සිදුවිය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් දළදා වහන්සේගේ භාරකාරත්වය සහ තේවා මුරය වාරියපොල හිමියන්ට පවරා තිබුණි.
1815 ගිවිසුම අත්සන් කිරීමට පෙර කාලයේ පැවැති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එවකට දළදා වහන්සේගේ තේවා මුරය බාරව සිටි වාරියපොල හිමියන්, කපුවත්තේ දියවඩන නිළමේතුමන් සහ දෙපාර්ශ්වයේ මහනායක හිමිවරුන් යන පාර්ශ්වයන් අතර ඇතිවූ සාකච්ඡාවකින් අනතුරුව දළදා වහන්සේ රහසේම කොත්මලේ පුසුල්පිටියට වැඩමකරවා ආරක්ෂා කළහ. එහෙත් වාරියපොල හිමියන් දළදා මැදුරේ තේවා කටයුතු දිගටම කරගෙන යන ලදී. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මහනුවරින් පිටමං කොට සඟවා සිටි දළදා වහන්සේ නැවත මහනුවර දළදා මැදුර කරා වැඩමකරවීමට ජෝන් ඩොයිලි මහත්සේ උනන්දු වී ක්‍රියා කළේය. දළදා වහන්සේට සියලු පුද සත්කාර සලසන බවට ඩොයිලි විසින් දුන් පොරොන්දුවකට අනුව 1815 අප්‍රේල් 24 වැනිදා මහත් හරසරින් දන්ත ධාතූන් වහන්සේ හිඳගල සිට මහනුවරට වැඩම කර දළදා මාලිගාවේ වඩා හිඳවීය.
ගිවිසුමෙන් පසු ඉංග්‍රීසීන් ගෙනගිය පාලනය හේතුවෙන් ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් තුළ ඇතිවූ අසහනය මුල්කරගෙන 1818 දී ඌවෙන් මහා කැරැල්ලක් ආරම්භ විය. එම අවස්ථාවේ මෙම දේශවිමුක්ති අරගලයේ සාර්ථකත්වය උදෙසා දන්ත ධාතූන් වහන්සේ තමන් සතුකර ගත යුතු යැයි උඩරට රදළවරු කල්පනා කළහ. ඉහගම තෙරුන් වහන්සේ සහ මඩුගල්ලේ උඩගබඩා නිළමේ ඇතුළු පිරිසක් මේ සඳහා කුමන්ත්‍රණය කළ බව කියැවේ. මෙය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස හඳුන්වා ඉංග්‍රීසීන් විසින් නඩු අසා වරදකරුවන් කළ පිරිසකට දඬුවම් පමුණුවන ලදී. දළදා තේවා මුරයේ යෙදීසිටි වාරියපොල සුමංගල මාහිමියන්ගේ උපක්‍රමයක් යටතේ දළදා වහන්සේ රහසින් මාළිගයෙන් පිටමං කර වීර කැප්පෙටිපොළට බාරදීමට සැලසුමක් දියත්වූයේ මෙම අවස්ථාවේ දීය. වාරියපොල හිමියන් කළුගමුවේ කාරියකරවන රාළගේ උදව් ඇතිව දළදා වහන්සේ මහනුවරින් රහසේම රැගෙන ගොස් වැල්ලගිරියේදී කැප්පෙටිපොළ නිළමෙතුමාට බාරදුන්නේ එම නිදහස් අරගලය සාර්ථක කරගැනීමේ අරමුණ ඇතිවය. මෙහි පරමාර්ථය වූයේ දේශීය රාජ්‍යත්වයේ සංකේතය වූ දළදා වහන්සේ තමා සතුව ඇති බව පෙන්වමින් කැරැල්ලට ජනතාවගේ සහය ලබාගැනීමයි.
දළදා වහන්සේ මහනුවරින් අතුරුදන් වනවාත් සමගම වාරියපොල හිමියෝද අතුරුදන් වූහ. කැප්පෙටිපොළ නිළමේතුමන් බාරයේ තිබූ දළදා වහන්සේ නැවත තමන් බාරයට ගත් සුමංගල හිමියන් ඉන් ඉදිරියට දළදා වහන්සේ රැක බලාගත් ආකාරය ගැන ඉතාමත් සංවේදී කතාවක් උඩරට ජනතාව අතරේ ව්‍යාප්තව ඇත. ”නයිගිල්ල කරඬුව”, නැතහොත් හේමමාලා කුමරිය දළදා වහන්සේ තැන්පත් කොට රැගෙන ආ කුඩා කරඬුවේ දළදා වහන්සේ තබා තම සිවුරේ එක් වාටියක රඳවාගෙන උන්වහන්සේ දඹුලු කැලයේ සැඟවී මහත් ශ්‍රද්ධාවෙන් හා භක්‍තියෙන් ආවතේව කරමින් දළදා වහන්සේ රැකබලාගත් බව ඉතිහාසයේ කියැවෙයි.
1819 ජනවාරි 08 වැනිදා ආණ්ඩුකාරයා විසින් බැතර්ට්ස් වංශාධිපති වෙත යවන ලද ලිපියකින් සඳහන් කරන්නේ 1818 නොවැම්බර් 02 දින ඉංග්‍රීසි සෙබළ මුළුවක් විසින් භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී දළදා වහන්සේ සොයාගත් බවයි.
ඉංග්‍රීසීන්ට ලැබුණු ඔත්තුවක් අනුව මාතලේ කයිකාවල ප්‍රදේශයේ කළ සෝදිසි කිරීමකදී සුමංගල මාහිමියෝ එසේ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූහ. සූට්බ්‍රේඩ් නමැැති ඉංග්‍රීසි නිලධාරියා සුමංගල හිමියන් දැක ඔබ කවුරුන්දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ දී උන්වහන්සේ පිළිතුරු දී ඇත්තේ ‘‘තමන් වාරියපොල” යනුවෙනි. උන්වහන්සේ සතුව පොට්ටනි කීපයක් තිබී ඉංග්‍රීසි නිලධාරීන්ට හමුවී ඇත. ඉන් එක් පොට්ටනියක රන් කරඬුවේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ ඉංග්‍රීසීන් අතට පත්වූ බව කියැවේ. ඉංග්‍රීසීන් දළදා වහන්සේ තිත්තවෙල විහාරයේ තැන්පත් කොට තබා පසුව චාරිත්‍රානුකූලව මහනුවරට වැඩම කරවන ලදී.
දළදා වහන්සේ සොරකම් කිරීමේ වරදට වාරියපොල සුමංගල හිමියන්ට ඉංග්‍රීසි රජය විසින් දඬුවම් පමුණුවනු ලැබීය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගෙන් පසුව ආණ්ඩුකාර ධුරයට පත් සර් එඩ්වඩ් බාන්ස් 1820 ජනවාරි 25 වැනිදා බ්‍රිතාන්‍ය විදේශ බාර ලේකම් වෙත යැවූ අංක 05 දරන ලිපියේ යාපා පටුනේ සිරගෙදර රඳවා තැබිය යුතු සිරකරුවන්ගේ භික්ෂූන් වහන්සේලාගේ ලේඛනයෙහි 04 වන ස්ථානයේ සඳහන් වන්නේ වාරියපොල හිමියන්ගේ නාමයයි.
වාරියපොල ශ්‍රී සුමංගල මාහිමියන්, පරම පූජනීය වූ දළදා වහන්සේ රැකගැනීම සඳහාත් ලංකාද්වීපයේ සිහසුන නැවතත් සිංහල බෞද්ධ නායකත්වයකට අත්කරදී නිදහස් නිවහල් දේශයක් ඇතිකරලීම සඳහාත් ජාතිවාත්සල්‍යයෙන් හා දේශානුරාගයෙන් ක්‍රියාකිරීම හේතුවෙන් ඉංග්‍රීසි අධිකරණය ඉදිරියේ වරදකරුවකු බවට පත්වූහ. 1831 පෙබරවාරි මස 05 වැනිදා උන්වහන්සේ යාපනය හිරගෙදර දී අවසන් හුස්ම හෙලූහ.
(***)
රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දළදා වහන්සේ රැකගත් වාරියපොල ශ්‍රී සුමංගල අනු නාහිමියෝ