IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


දිළින්දන් නොවී ආධ්‍යාත්මික සාර්ථකත්වය ලබමු

දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දුර්වල වීම ආදී සමාජ ව්‍යසන ජනිත වීමට රටෙහි පවත්නා දේශපාලන තත්වය හේතුවන බව බුදුසමය පිළිගනී.

කවර සමාජයක වුව ද ජීවත් වන මිනිසුන්ගේ භෞතික අවශ්‍යතා අසම්පූර්ණ වූ විට ආධ්‍යාත්මික දියුණුවක් කරා යා නොහැක. රටෙහි දේශපාලන නායකත්වය තම පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා සාධාරණ ලෙස හා ප්‍රමාණවත් ලෙස සැපයීමෙහිලා අපොහොසත් වූ විට පුද්ගල හා සමාජ ගැටලු නිර්මාණය වේ. සමාජයක සදාචාර පරිහානියට දිළිඳු බව මුල්වන බව මෙන් ම කාමභෝගී ජීවිත ගතකරන ගිහියන්ට ද එය දුකක් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

දිළිඳුකම යනුවෙන් දැක්වෙන්නේ යම් පුද්ගලයකුට ඉතාම අඩුවෙන් සම්පත් තිබීම හෝ සම්පත් නැතිකමය. සම්පත් නැතිකම නිසා ඔහුට නිරන්තරයෙන් අනුන්ට ණයගැති වීමට සිදුවෙයි. එසේම ධනය රැස්කර ගොඩගසා ගැනීම යහපත් නොවන බවත්, ධනය මිනිසාගේ ජීවිතයේ වැදගත් පුරුෂාර්ථයක් නොවන බවත් මෙහි ලා අවධාරණය කළ යුතුය. ධනය ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වූවකි. භවභෝග සම්පත්

පිළිබඳව පමණක් සිතන්නා බුදුසමය දකින්නේ එක් ඇසක් ඇත්තෙකු ලෙසිනි. (එකචක්ඛු) ඔහු ධනය පිළිබඳ ව මිස ආධ්‍යාත්මික දියුණුවක් කෙරෙහි සිත යොමු නොකරයි. බුදුසමය අගය කරන්නේ දෑස් ඇත්තාය. ඔහු භවභෝග සම්පත් දැහැමින් සපයා ගනිමින් ආධ්‍යාත්මික වශයෙන් ද දියුණු වෙයි. 

ක්‍රිස්තු පූර්ව 6 තරම් ඉතා පුරාතන සමාජයේ දිළිඳුකම වැනි සමාජ ප්‍රශ්න ආගමික හෝ දාර්ශනික වශයෙන් කිසිදු සන්දර්භයක සාකච්ඡා නොකළද චක්කවත්ති සීහනාද සූත්‍රය මෙය සමාජයේ පවතින සමාජ ප්‍රශ්නයක් ලෙස සාකච්ඡා කොට ඇත.  

“අධනානං ධනෙ අනනුප්පදීයමානෙ දාළිද්දියං වෙපුල්ලමගමාසී ”

දුප්පත් ජනතාවට ධනය නොලැබෙන කල්හි දිළිඳුකම ඉතා මහත් බවට පැමිණේ යන්න එහි තේරුමය.

මෙහි එන අනනුප්පදීයමානෙ යන වචනය ඓතිහාසිකව වැදගත් වචනයකි. එනම්, දුප්පත් ජනතාවට ධනය උපදින මාර්ග නොමැති කල්හි යන්න යි. සමාජයේ මහජනතාව ධනය උපදින මාර්ග නොමැතිවීම යන කාරණය සම්බන්ධයෙන් රාජ්‍ය හෝ ආණ්ඩු ක්‍රමය වගකිවයුතුය.

චක්කවත්ති සීහනාද සූත්‍රය හා කූටදත්ත සූත්‍රයට අනුව දිළිඳුකම නිසා පළමුවෙන්ම ඇති වන සමාජ දුරාචාරය නම් සොරකමයි. කූටදත්ත සූත්‍රයේ එන කතා පුවතට අනුව සොරකම් කරන්නා රජු කරා ගෙන යන අතර රජතුමා, සොරකම් කළේ ඇයි දැයි සොරකම් කළ පුද්ගලයාගෙන් විචාරයි. සොරකම් කළ තැනැත්තා පවසන්නේ දේවයන් වහන්ස, ජීවත් වීමට ක්‍රමයක් නැත යනුවෙනි. සැබැවින් ම එය පවත්නා සමාජ යථාර්ථය යි.

දුප්පත්කම දුරැලීම සඳහා මූලික සැලැස්මක් කූටදත්ත සූත්‍රයෙන් යෝජිතව ඇත. සැලැස්මකට අනුව වැඩ කිරීම හෝ සංවර්ධන කටයුතු කළ යුතු යැයි (ඉමං සංවිධානං ආගම) යන අදහස උගන්වන ලෝකයේ ඉපැරණිම ආගම බුදු දහමයි. මෑතකාලීන දේශපාලන දර්ශනයක් වන සමාජවාදී දර්ශනයේ ද උගන්වන්නේ සැලසුම් කරණය රටක සංවර්ධනයට ඉතා අවශ්‍ය වූ දේශපාලන ප්‍රතිපත්තියක් බවයි.

රජතුමනි, ඔබේ රාජ්‍යයේ කෘෂිකාර්මික හා ගවපාලන කටයුතුවල යෙදෙන යම් කෙනෙක් වේ නම් ඔවුනට බත් වැටුප් දිය යුතු ය.

දෙවනුව, රජතුමනි, ඔබේ රාජ්‍යයේ වාණිජ කටයුතුවල යෙදෙන යම් කෙනෙක් වේ නම් ඔවුනට ප්‍රාග්ධනය දිය යුතු ය,

තෙවනුව, රජතුමනි, ඔබේ රාජ්‍යයේ රාජ්‍යය සේවා කටයුතුවල යෙදෙන යම් කෙනෙක් වේ නම් ඔවුනට බත් වැටුප් දිය යුතුයි,

මෙසේ කූටදත්ත සූත්‍රයට අනුව කෘෂිකර්මාන්තය හා ගව පාලනය ද වාණිජ කටයුතු ද රාජ්‍ය සේවා කටයුතුද විධිමත් කිරීම සහ ඒ සඳහා සක්‍රීයව මැදිහත් වීම ලෝකයේ ඕනෑම රාජ්‍යයක මූලික මෙන් ම ඉතා අවශ්‍ය වූත් අනිවාර්ය වූත් රාජ්‍ය ප්‍රතිපත්තියක් බව පැහැදිලි වේ. මෙම මූලික පාඨත්‍රයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ලෝකයේ ඕනෑම කාලයක ඕනෑම රටක ආර්ථික දේහයේ ඇති මූලිකම ලක්ෂණ තුනයි. එනම්,

1. නිෂ්පාදනය, 2. බෙදා හැරීම,3. රාජ්‍ය සේවයයි.

කූටදත්ත සූත්‍රයට අනුව රටක දැහැමි සංවර්ධනය සඳහා පාරිසරික සම්පත් ද මැනවින් ආරක්ෂා කළ යුතු බව ද දක්වා තිබීම විශේෂ ලක්ෂණයකි. එවිට ජන සමාජය ඉතා ප්‍රීතිමත් භාවයට පැමිණ සැපයෙන් හා සතුටින් වාසය කිරීමට පෙළඹේ. කූටදත්ත සූත්‍රයේ දැක්වෙන පුරාතන සැලැස්ම සර්වකාලීනය. සර්වදේශීය ය.

සිඟාලෝවාද සූත්‍රය සමාජ සම්බන්ධතාවන් මගින් ආර්ථික වශයෙන් දියුණු වීමට අවශ්‍ය කරන ධාර්මික සැකැස්ම පිළිබඳ විස්තර කරන සූත්‍රයක් ලෙස පෙන්වා දිය හැකිය. සමාජගත පුද්ගලයකු සංවිධිත සමාජයකට යොමු කොට ධාර්මික සැකැස්මකට යොමු කිරීමක් එහි දක්නට ලැබේ. චතුර්විධ කර්මක්ලේශ (ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය) ෂට් විධ භෝග විනාශ මුඛ (මත්පැන් පානය, නුසුදුසු කාලයෙහි වීථි සංචාරය, නැටුම් පොලවල නිතර හැසිරීම ද, දූ කෙළිය, පාප මිත්‍රයන් සේවනය කිරීම, අලසකම) යනුවෙන් දැක්වෙන පාප ධර්ම කෙරෙන් වැළකෙන පුද්ගලයා යහපත් බවට පත්වන බව පෙන්වා දී ඇත. ඔවුන් දිළිඳු තත්වයට පත්වීම සිදු නොවන බවද පෙන්වා දෙයි.

ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ ද සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට පුද්ගලයාගේ ආර්ථික තත්වය දියුණු විය යුතු බව පෙන්වා දෙයි. පුද්ගලයාගේ ආර්ථික ශක්තිය හා ආර්ථික සුරක්ෂිතතාව ද, ධන සම්පත් පිළිබඳ නිරවද්‍ය පරිහරණය ද එහි අත්‍යවශ්‍ය මූලිකාංග වෙයි. පුද්ගලයාගේ ලෞකික අභිවෘද්ධියට හේතු වන කරුණු 04 ක් මේ සූත්‍රයෙහි දැක්වෙයි. 

බුදු දහමින් පුද්ගලයාගේ ජීවනෝපාය සඳහා කෘෂිකර්මය, වෙළඳාම, ගව පාලනය, දුනු ශිල්පය හා රාජ්‍ය සේවය වැනි වෘත්තීන් නිර්දේශ කරයි. මෙහි දී ගව පාලනය මස් පිණිස නොව කෘෂිකර්මාන්තය හා කිරි දොවා ගැනීම සඳහා පමණක් බව සැලකිය යුතුය. වාණිජ කටයුතු සඳහා ද තලාකූට, මානකූට, කංසකූට වැනි බාධක තුළින් වංචා නොකිරීම දක්වයි.

උට්ඨාන සම්පදාව යනු ස්වකීය කුසලතා අනුව ජීවනෝපාය සඳහා ධාර්මික වෘත්තියක් තෝරා ගැනීම හා එම වෘත්තියෙහි උත්සාහයෙන් හා සංවිභාග ශීලීව ක්‍රියා කළ යුතු ආකාරය ඉන් පැහැදිලි කරයි. එසේ උපයාගත් ධනය අපාය මුඛවලින් වැළකී ආරක්ෂා කරගත යුතු බව දෙවැනි ව දැක්වෙන ආරක්ඛ සම්පදාවෙන් පැහැදිලි කරයි. උපයාගත් ධනය අවශ්‍යතාවන් හා අවදානම් බව සලකමින් අය වැය සමව දැන වියදම් කළ යුතු බව සිව්වන කරුණෙන් පැහැදිලි කෙරෙයි. ධාර්මික ව ධනය ඉපයීමේ දී ඒ පිළිබඳ ගුණාත්මක අගය බුදුසමය පෙන්වා දෙයි. 

වත්මන් සමාජය තුළ ධනය ඉපැයීමෙහි උපාය මාර්ග පිළිබඳව නොතකන අතර කෙසේ හෝ ධනය උපයා ගැනීමට වැර දරයි. විවිධ සමාජ ව්‍යසනවලට හා පාරිසරික ගැටලුවලට සමස්ත ලෝකයම මුහුණ පා ඇති මේ ගැටලුවට හේතුව මිනිසාගේ අතෘප්තිකර ධන ආශාව හා තමා පමණක් ජීවත් විය යුතුය යන පටු කල්පනාව නිසාය. එහෙත් බුදුදහම කිසිදු හිංසාකාරී ක්‍රමයකින් ධනෝපායනය නිර්දේශ නොකරයි.

මෙහි දී භෝග රැස්කිරීම හෙවත් නිෂ්පාදනය (ධම්මේන භොගෙ පරියෙසති) පරිභෝජනය (අත්තානං සුඛෙති පීණෙති) බෙදාහැරීම (සංවිභජති පුඤ්ඤානි කරොති) පරිභොජනය (අගථිතො, අමුඡිතො, අනජ්ඣාපන්නො, ආදීනව දස්සාවි, නිස්සරණපඤ්ඤෝ පරිභුඤ්ජති) යන කරුණු සම්බන්ධයෙන් බුදුසමය වඩාත් සැලකිලිමත් වන බව පෙන්වයි. එසේම බුදුසමය පෙන්වා දෙන්නේ ධාර්මිකව උපයා සපයා ගන්නා ධනයෙන් තමන් පමණක් නොව තමාට සම්බන්ධ සෙසු පිරිස් ද පෝෂණය කළයුතු බවය.

ධනය කිසිසේත් මිනිසාට හානිකර බව බුදුසමය නොකියයි. එහෙත් මසුරු මලයෙන් යුත් පුද්ගලයාට ධනය හානිකර වෙයි. බමරකු මල නොතලා රොන් ගන්නා සේ සමාජයට හා පරිසරයට අහිතකර නොවන සේ හානිකර නොවන සේ සත්ව (ආයුධ) සත්ත, (මිනිස්) විස, මාංස (මස්), මජ්ජ (මත්පැන්) යන නොකටයුතු වෙළඳාම් පසින් ද ඉවත් වී වේයකු තුඹසක් බඳින්නා සේ දැහැමින් සෙමින් උපයන ධනය බුදුසමය පිළිගනී. තෘෂ්ණාව, ලෝබය අඩුකර ගැනීමට බුදුසමය උපදෙස් දෙයි.

මිනිසාට තිබිය යුතු සැප පිළිබඳව සැලකීමේ දී අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය ආර්ථික වශයෙන් වැදගත් වන බවයි.

මෙහිලා සලකන විට බුදුසමය අනුව අනවජ්ජ සුඛය වැඩි වටිනාකමක් උසුලනු ලබයි. බොහෝ රටවල් මුහුණ පා ඇති ආර්ථික ගැටලුවලින් හා දිළිඳුබවින් මිදීම පිණිස කුමන හෝ ක්‍රමවේදයක් බුදුසමය නොපිළිගනී. වත්මන් ලෝකයෙහි ධනවතුන් වීමේ පහසු ක්‍රම ලෙස අවි ආයුධ හා මත්ද්‍රව්‍ය වෙළඳාම පහසු ක්‍රමයක් වී ඇත එහෙත් බුදුසමය හිංසාකාරී ක්‍රමවලින් සොයන ධනය පිළිකුල් කරයි.

“අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං

ජිණ්ණකොඤ්චාව ඣායන්ති - ඛීණමච්චේව පල්ලලේ ”

යොවුන් වියේදී ධනය ඉපදවීම කළ යුතුය. ඒ සඳහා බුදු දහමින් නිර්දේශිත ධනෝපායන ක්‍රම අනුගමනය කළ යුතුය. එසේ නොකළේ නම් වයසට ගිය පසු පසුතැවිලි වන්නට සිදු වන්නේ මසුන් නැති දිය සිඳුණු විලක මඩපිට හිඳ තැවෙන මහලු කොස්වා ලිහිණියන් මෙන්ය.

භික්ෂූන් වහන්සේ ගිහි ජනතාවගෙන් යැපී ඇතැම් පිරිසකගේ විවේචනවලට පාත්‍ර වී ඇත. කසීභාරද්වාජ බ්‍රාහ්මණයා නිවන් දැකීමට හේතු සම්පත් ඇති බව වටහා ගත් බුදුරජාණන් වහන්සේ ඔහු සීසාන තැනට වැඩියහ. එහෙත් එය වරදවා වටහාගත් බමුණා බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපනය කළේ ඔහු මෙන් සීසා කුඹුරු වපුරා ආහාර ගන්නා ලෙසය. බුදුරජාණන් වහන්සේද එසේ කරමින් ආහාර ගන්නා බවත්, හීයට අවශ්‍ය නගුල්, වියගස් ආදියත් පිළිබඳව බමුණාට පැහැදිලි කර දෙමින් තමාගේ හීය පිළිබඳව හා කෘෂි ආම්පන්න පිළිබඳව මනා විස්තරයක් වදාළහ.

 

“සද්ධා බීජං තපො වුට්ඨි - පඤ්ඤා මෙ යුගනංගලං

හිරි ඊසා මනො යොත්තං - සති මෙ පාලපාචනං

කාය ගුත්තො වචී ගුත්තො - ආහාරෙ උදරෙ යතො

සච්චං කරොමි නිද්දානං - සොරච්චං මෙ පමෝචනං....”

මෙහිදී බුදුරජාණන් වහන්සේ කසීභාරද්වාජ බමුණාගේ ආර්ථික වටිනාකම් මෙන්ම බුදුන් වහන්සේගේ ආධ්‍යාත්මික වටිනාකම් ද පෙන්වා දී ඇත. භික්ෂුව ධන ධාන්‍ය වශයෙන් ගැණෙන උපභෝග පරිභෝග වස්තු රැස් නොකරන අතර, එසේ වස්තු රැස් කරමින් ගිහි ජීවිතයක් ගත කරන ගිහි සමාජයට ආධ්‍යාත්මික වශයෙන් උසස් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මග පෙන්වා දෙයි.

පැවිදි සමාජයේ පෝෂණ බර දැරීම සිදුවන්නේ ගිහියන් අතිනි. ගිහි පැවිදි සබඳතාවෙහි පැහැදිලි මූලික යුතුකම් ගොඩනැගෙන්නේ මෙම ආර්ථික උපකාරය පිළිබඳ ප්‍රති උපකාර සම්බන්ධ වූ කෘතඥතා පූර්වක වූ හැඟීම් මතය. නිතර තමන්ට උපකාර කරන ගිහියන්ට ධර්ම දානයෙන් ප්‍රත්‍යුපකාර කරන්නැයි සඳහන් වී ඇත්තේ එහෙයිනි.

 

(***)
නාමල්ඔය පියරතන හිමි,
මුල්ගිරි පුරාණ රජමහා විහාරය, නෙල්ලියද්ද.



අදහස් (1)

දිළින්දන් නොවී ආධ්‍යාත්මික සාර්ථකත්වය ලබමු

බද්රානි Thursday, 13 March 2025 05:28 PM

දිළිඳුකම හා හිඟන කම යනු, දෙකක් අපේ හාමුදුරුවනේ. දිළිදුකම ලෝකයේ සෑම රටකටම පොදු උවත්, හිඟන කම ඇත්තේ තක්කඩි පාලකයින් පාලනය කරන රටවල් වල පමණයි..මේ තක්කඩි පාලකයින් පුජකයින්ගේද සහය ඇතිව, ගිහියන් හිඟමනට පත්කොට ඔවුන් ඉහලින් වැජබීම සාමාන්‍ය ස්වභාවයයි..දුක මාකට් කරමින්, දානය ප්‍රවර්ධනය කරමින් අධ්‍යාත්මික පෝෂණයක් ගැන දේශනා කිරීම තමයි ලංකාවේ විවිධ ආගමික පුජකයින්ගේ ස්වභාවය.. පාලකයින් හා පුජකයින් නීතියට ඔබ්බෙන් සිටීමෙන් ඒ රටවල ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය වෙනවාද? සංවර්ධිත රටවල ගොවියා දුප්පතෙකු හෝ හිඟන්නෙකු නොවෙයි. ඊට හේතුව, සහනාධාර ලබාදීම නොව, අවශ්‍ය ගොවි උපකරණ හා පොහොර වල මිල අඩුවී, අස්වැන්න වෙළඳ පොලට පැමිණීමට නිසි යාන්ත්‍රණයක් පෞද්ගලික අංශයේත් සහාය ඇතිව, ඒ රටවල පාලකයින් සකස් කොට තිබීමයි.. කම්කරුවන්ට ඔවුන්ගේ මහන්සියේ තරමට වැටුපක් ඒ රටවල ඇත. ආර්ථික පීඩාව තුළ ඉඳගෙන, අධ්‍යාත්මික දියුණුව ගැන කතාකිරීමත් එකඟ අතකට විහිළුවක්.. මේ රටේ සමාජ පරිහානියට වගකිව යුත්තන් ගැන කතා කිරීම උඩ බලාගෙන කෙළ ගැසීමක් නිසා මම මීට වඩා යමක් නොලියමි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

ඉන්දියානු තඹ සමාගමත් ලංකාව හැර යන ලකුණු!
2025 මාර්තු මස 13 378 0

ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එකතු වන බවට අපි පසුගිය පෙබරවාරි 27 වැනිදා බ්‍රහස්පතින්දා වාර්ත


දිළින්දන් නොවී ආධ්‍යාත්මික සාර්ථකත්වය ලබමු
2025 මාර්තු මස 13 41 1

දිළිඳු බව ලෝකය පුරා දක්නට ලැබෙන්නකි. බුදුදහම එය අනුමත නොකරන අතර එය පිටුදැකිය යුතු බව දේශනා කරයි. ජන සමාජය දුර්වල වීම, අස්ථාවර වීම, සදාචාරාත්මක වශයෙන් දු


පළාත් පාලන ක්‍රම වෙනසක් අවශ්‍ය ඇයි?
2025 මාර්තු මස 13 29 0

2018 න් පසුව පළාත් පාලන මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වර්ෂයේ වුවද, ආර්ථික අර්බූදය සහ ආර්ථික අවපාතය හමුවේ පළාත් පාලන මැතිවරණය වරින් වර කල් ද


අයවැය සන්සුන්කමේ අභ්‍යාසය
2025 මාර්තු මස 12 247 0

ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඉන් දින දෙකකට පසු, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය නව ගුවන් යානා 21 ක් බද්දට ගැනීමේ සැ


අල්ජසීරා විවාදයේදී රනිල්ගේ හඬ
2025 මාර්තු මස 12 597 4

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා රූපවාහිනි නාලිකාවේ ආරාධනයකට අනුව සහභාගි වූ රූපවාහිනි සාකච්ඡාව එම නාලිකාව විකාශනය කිරීමෙන් පසු එය රට


යුද්ධයෙන් පසු ආයුධවලට මොකද වුණේ?
2025 මාර්තු මස 11 203 0

උසාවිය තුළ වෙඩි තැබීම ඇතුළු නොබෝදා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා මහජනයා අතර භීතිය මතු වී තිබේ. බොහෝ දෙනා මේ සිද්ධි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස විග්‍රහ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 457 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site