ජනවාරි 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තම ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් පැවැත් වූ කතාව මේ රටේ කී දෙනකු අසන්නට ඇත් ද?
එම කතාවට සවන් දුන්න වුන්ගෙන් කී දෙනකු එය බැරෑරුම් ලෙස ගණන් ගන්නට ඇත් ද? එම වැඩ සටහන ආණ්ඩුව සමග එක්ව මෙරට ජනතාව ක්‍රියාත්මක කළ යුතු එකක් බව ජනාධිපතිවරයා පැවසුව ද මෙරට ජීවත් වන දෙකෝටියකට අධික ජනතාවගෙන් කී දෙනෙක් එහි තමන්ටත් වැඩ කොටසක් ඇතැයි සිතන්නට ඇත් ද? එසේ සිතුවත් කී දෙනකු තම වැඩ කොටස ඉටු කරන්නට එකඟ වන්නට ඇත්ද? කී දෙනකු තුළ මෙම වැඩසටහන පිළිබඳව විශ්වාසයක් ඇති වන්නට ඇත් ද?
මෙම වැඩසටහන ජාතික ජන බලවේගය ආණ්ඩුවේ සමස්ත ගමනට ආවරණය කරන්නක් වුවද එය ක්‍රියාත්මක කිරීමේ දී ආණ්ඩුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය මෙයයි. එනම් එය ඊට මහජන සහයෝගයක් ලබා ගැනීමයි.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක ඕනෑම වැඩ පිළිවෙළක් විවේචනය කිරීමත් ප්‍රතික්ෂේප කිරීමක් විරුද්ධ පක්ෂවල ස්වභාවය වුවත් වත්මන් විරුද්ධ පක්ෂවල කිසිවකු ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන විවේචනය කරනු අසන්නට ලැබුණේ නැත. ඔවුන් ආණ්ඩු පක්ෂයේ ඇතැමුන්ගේ අධ්‍යාපන සහතික හා පෞද්ගලික චරිතය පිළිබඳ ඕපාදූප සම්බන්ධයෙන් මීට වඩා උනන්දුවක් දක්වා තිබිණි.
අනෙක් අතට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය දුන් ලක්ෂ හැට අටකට අධික ජනතාවගෙන් මේ රටේ යහපත් චාර්යාවලින් යුත් සමාජයක් ගොඩ නැගිය හැකි යැයි විශ්වාස කරන්නේ නම් ඒ අතලොස්සක් විය යුතුය.
එසේ වන්නේ මෙම වැඩසටහන ඉදිරිපත් කරන පිරිසගේ වරදක් නිසා නොව ඔවුන් තම ජීවිත කාල පුරා ලැබූ අමිහිරි අත්දැකීම් නිසාය. උදාහරණයක් වශයෙන් පසුගිය ආණ්ඩු විසින් විවිධ නම්වලින් ආරම්භ කරන ලද වැඩසටහන් රාශියක් ගෙන හැර දැක්විය හැකිය. ආසන්නතම හොඳම උදාහරණය වන්නේ රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජුනි 1 වැනිදා ඉදිපත් කළ ආර්ථික මාර්ග සිතියමයි.
එම වැඩසටහන මුල්‍ය ප්‍රතිසංස්කරණ ආයෝජන ප්‍රවර්ධන, සමාජ සංරක්ෂණය හා රාජ්‍ය පාලනය සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යන්න කුලුනු තුනක් මත පදනම් වන බවත් එම වසර අවසානයේ දී ‘‘ජාතික ප්‍රතිසංවිධාන සැලැස්මක් ඉදිරිපත් කරන බවත් ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශනයක දී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම වැඩ සටහන අනුව පළමු සති හය තුළ ආයෝජන වැඩ පිළිවෙළක් සකස් කළ යුතු වුවත් ජාතිය අමතා ඔහු කළ එම කතාවෙන් පසු බලයෙන් ඉවත් වන තෙක්ම ඔහු හෝ ඔහුගේ ආණ්ඩුවේ වෙනත් කිසිවකු හෝ එම මාර්ග සිතියම පිළිබඳව හෝ එහි ප්‍රධාන පියවරක් වූ ආයෝජන වැඩ පිළිවෙළ පිළිබඳව වචනයක් හෝ කතා කළේ නැත. ඔහුගේ එම මාර්ග සිතියම කිසිවකු ගණන් නොගත් අතර එහෙයින් විරුද්ධ පක්ෂයක් හෝ ඒ මාර්ග සිතියම කොහිදැයි ඔහු බලයෙන් ඉවත්වන තෙක් කිසිදු අවස්ථාවක ප්‍රශ්න කළේ නැත.
ඒ අනුව දිසානායක මහතාගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන ද රට තුළ විශාල බලාපොරොත්තු ගොඩනොනැගුවද, එම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් තොරව ජාතික ජන බලවේගය පසුගිය කාලය පුරා කතා කළ සමාජ ක්‍රමය වෙනස් කිරීම ද කළ නොහැකිය.
දිසානායක මහතා සඳහන් කරන ආකාරයට මෙම වැඩ සටහන ආණ්ඩුවේ ප්‍රධාන ව්‍යාපෘති දෙකෙන් එකකි. ගමට ආර්ථික ප්‍රතිලාභ ගලා යන අයුරින් ආර්ථික ප්‍රතිසංස්කරණය කිරීම හා ඩිජිටල් කරණය අනෙක් ව්‍යාපෘති දෙකයි. ආණ්ඩුව අපේක්ෂා කරන අයුරින් සමාජ ක්‍රමය වෙනස් කරන්නට නම් මේ ව්‍යාපෘති තුන ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතුවනු ඇත. 2027 මැද භාගය දක්වා ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන හෙයින් ඒ කාලය තුළ ආණ්ඩුව මෙම ව්‍යාපෘති තුන මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ සමඟ නොගැටෙන අයුරින් ඉදිරියට ගෙන යන්නට ද සිදුවනු ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හුදු පාරිසරික වැඩසටහනක් නොව සදාචාරාත්මක හා චර්යාත්මක වැඩ සටහනක් ද වන බව ජනාධිපතිවරයා පවසයි. මෙය බොහෝ දුරට වැදගත් වන්නේ රාජ්‍ය සේවය සම්බන්ධයෙනි. මන්දයත් ආර්ථික ප්‍රතිසංස්කරණය හා ඩිජිටල් කරණය පමණක් නොව පරිසරය ආරක්ෂා කිරීමේදී ද රාජ්‍ය සේවකයන්ගේ අවංක බව වගවීම හා නිර්මාණශීලිත්වය අත්‍යවශ්‍ය වන හෙයිනි. පොදු දේපළ අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කිරීම ගැනත් තම තමන්ගේ වගකීමට වගවීම ගැනත් නව වටිනාකම් හා හර පද්ධති ගැනත් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ඒ නිසා විය යුතුය.
ජාතික ජන බලවේගය බලයට පත් වූයේ දූෂණය හා වංචා පිටුදැකීමේ පොරොන්දුව මතය. ඔවුන් බලයට පත් වූ සැණින් රට තුළ හෝ රාජ්‍ය යන්ත්‍රණය තුළ පැවැති වංචා හා දූෂණ අවසන් වූයේ නැත. එසේ වන්නේ ද නැත. ඒ වෙනුවට දැනටමත් එම දූෂණය ආණ්ඩුවේ කටයුතුවලට බාධා පමුණුවන්නට පටන් ගෙන තිබේ. පසුගිය වසරේ රටේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වී අස්වැන්නක් ලැබී තිබෙන බව සංඛ්‍යා ලේඛනවලින් පෙනුණ ද මේ වනවිට රටේ සහල් හිඟයක් ඇති වී තිබෙන්නේ ඒ නිසාය.
අදාළ රජයේ ආයතනවල ඉහළ නිලධාරීන්ගේ සහයෝගය නැතිව සහල් මෝල් හිමියන්ට මෙම සහල් හිඟය නිර්මාණය කළ නොහැකිය.
මැතිවරණයට පෙර ජාතික ජන බලවේගය පොරොන්දු වූ පරිදි විදුලි ගාස්තු, තෙල්මිල හා පෞද්ගලික ආදායම් බදු අඩු කළ යුතු යැයි බොහෝ දෙනා ආණ්ඩුවට බල කරති. එහෙත් මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළට ගැට ගසනු ලැබ තිබේ. බලශක්ති මිල වියදම් සමඟ බද්ධ කළ යුතු බව මූල්‍ය අරමුදල පවසා ඇත. පසුගිය වසරේ නව ආදායම් බදු පිළිබඳ අවසාන තීරණය ගත්තේ ද මූල්‍ය අරමුදලයි.
එහෙත් රජයේ සමස්ත ආදායම් ඉලක්කවලට බාධාවක් නොවන අයුරින් මේවා වෙනස් කළ හැකි බව මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පසුගිය වසරේ මාර්තු මාසයේ දී පැවසූහ. එනම් මෙම ගාස්තු, මිල හා බදු අඩු කරන විට වෙනත් පැත්තකින් රජයට එම ආදායම ලැබිය යුතුය. මේ රටේ බදු ගෙවිය යුතු බෙහෝ දෙනකු බදු නොගෙවීම පිළිබඳවත් බදු යාන්ත්‍රණය දූෂණයෙන් අවහිර වී ඇති බවත් විටින් විට ජනමාධ්‍ය වාර්තාවලින් කියවේ. එසේ නොවේ නම් මෙම ගාස්තු, මිල හා බදු අඩු කළ හැකිවනු ඇත.
ඇතැම් ආයතනවල දූෂණය වැළැක්වීම සඳහා ඩිජිටල්කරණයේ සහාය පැතුව ද අවසානයේදී එම ඩිජිටල්කරණය ද දූෂණයට ලක්වී ඇති බවත් එම ජනමාධ්‍ය වාර්තාවලින් දැක්වේ. විවිධ රාජ්‍ය ආයතනවල පවතින දූෂණය නිසා සමාජ ක්‍රමය වෙනස් කිරීමේ තම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම දුෂ්කර වී ඇතැයි වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු ද කියති.
රට ඉදිරියට ගෙන යාමට ඇතැම් නිලධාරීන් බාධා කරන බවත් මීළඟ සුනාමිය එනු ඇත්තේ ඔවුනට එරෙහිව බවත් පසුගිය සතියේ කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසා තිබිණි. එසේම ඉකුත් දෙසැම්බර් 18 වැනිදා ශිල්පාභිමාණී ජනාධිපති සම්මාන උළෙලේ දී ප්‍රකාශයක් කළ කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් නිලධාරීන්ට එරෙහිව අරගලයක් කරන්නට සිදුවී ඇතැයි පැවසීය. පසුගිය ආණ්ඩු යටතේ දූෂණය, වංචාව හා නාස්තියේ හවුල්කරුවන් වූ ඇතැම් නිලධාරීන්ට එම පුරුදු අත්හැර ගැනීමට නොහැකි බවත් ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු ජන වරමේ ස්වභාවය හා ප්‍රමාණය අවබෝධ කරගෙන නැති බවත් ඔහු සඳහන් කළේය.
එදිනම ජනාධිපතිවරයා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව හා ගුවන් තොටුපොළ හා ගුවන් සේවය යන ආයතන තුනේ ඉහළ නිලධාරීන් සමග ගුවන් තොටුපොළ ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා හා දූෂණ පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී ජනාධිපතිවරයා දැඩි ලෙස අදහස් දැක් වූ බවද කියවිණි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවේ දී කතා කළ ජනාධිපතිවරයා නිලධාරී ක්ෂේත්‍රයේ මේ තත්වය ඉතා වක්‍ර ලෙස සඳහන් කළේය. ‘‘අපි ඉතා සුනම්‍ය ලෙස මේ හැරවුම ගන්න සූදානම්, හැබැයි නම්‍යතාවෙන් මේ හැරවුම ගන්න කෙනෙක් බාධා කරනවා නම් දැඩි ලෙස මේ හැරවුම ගන්නත් අපි සුදානම්’’ යැයි ඔහු කීවේය. එහි තවත් අවස්ථාවක දී ඔහු ‘‘ මා පළමු කොටම නීතිය කෙරෙහි නෙවෙයි විශ්වාසය තබන්නේ, පුරවැසියන් කෙරෙහි. ඔවුන් ඔවුන්ගේ දායකත්වය නොදෙන්නේ නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්තියි.’’ යනුවෙන් ප්‍රකාශ කළේය. ඔහු ප්‍රශ්නයේ බැරෑරුම් බව වටහාගෙන ඇති බව ඉන් පෙනේ.
අවශ්‍ය වුවහොත් මෙම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරියට ගෙන යන්නට බාධා කරන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පැවසුව ද නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයෙන් බාධා ඉස්මතු විය නොහැකිද? ඔහු ඒ ගැන ද සිතා ඇති බව පෙනේ. සිය කතාවේ දී ඔහු මෙසේ පවසයි. ‘‘අපට මේ දූෂණය හා වංචාව නතර කරන්න විශාල වෙහෙසක් දැරිය යුතුව තිබෙනවා. මා හිතනවා එහිදී නීතිපති දෙපාර්තමේන්තුවටම විශාල කාර්යභාරයක් තිබෙනවා කියා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අධිකරණයට අපේ රට දූෂණයෙන් හා වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත් කිරීමේ නියමු කාර්ය භාරයක් තිබෙනවා.’’
මෙහිදී ජනාධිපතිවරයා දූෂණය අවසන් කිරීමට පළමුව පුද්ගලයන්ගේ අවංකභාවය හා කැපවීම මත විශ්වාසය තාබා ඇති බව පෙනේ. මෙම වැඩසටහනට සහාය දෙන්නැයි ඔහු පුද්ගලයන්ගෙන් ඉල්ලන්නේ එනිසාය. පුද්ගලයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් මෙය ප්‍රායෝගික විය හැකිය. එහෙත් ආයතනයක්, අමාත්‍යාංශයක් හා රටක් සම්බන්ධයෙන් සලකා බලන කල පුද්ගලයන්ගේ අවංකභාවය මත විශ්වාසය තබා දූෂණය නැති කිරීම ගැන බලාපොරොත්තු තබා ගත නොහැකිය. අනෙක් අතට අද අවංක පුද්ගලයා හෙට අවංක නොවිය හැකිය.
අවශ්‍ය වන්නේ පුද්ගලයන් දූෂිත ක්‍රියාවල යෙදීම අවම කරන යාන්ත්‍රණයකි. එය අනිවාර්යයෙන්ම ජනප්‍රිය ක්‍රියාවලියක් නොවේ. දූෂිතයන් නිල වශයෙන් හා නොනිල වශයෙන් සංවිධාන ගත වී ඇති හෙයින් මෙය පරෙස්සමින් කළ යුත්තකි. එම කටයුත්තේ දී ආණ්ඩුවේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳ අදහසක් ගන්නට තවත් මාස පහක් හෝ හයක් යා යුතුය.
(*** එම්.එස්.එම්. අයුබ්)
රාජ්‍ය සේවයට ඇතුළු වන සියලු දෙනාගේ අරමුණ අවසාන කාලය විශ්‍රාම වැටුපක් ලබමින් කිසිවකුට බරක් නොවී ජීවත් වීමය. රාජකාරිය උදෙසා අපරිමිත කැපකිරීම් සිදුකළ
2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ
ජනවාරි 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තම ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් පැවැත් වූ කතාව මේ රටේ කී දෙනකු අසන්නට ඇත් ද?
මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්
සහල් හිඟය හා උතුරේ මහවිරු සැමරුම් උත්සවත් දකුණේ ඒ සම්බන්ධව වර්තාවූ තැන් පසුගිය සතියේ කරළිය මත දිස්වුණු කාරණාය. නව රජය මැතිවරණ පොරොන්දුවලින් පාලනයේ යථ
2025 ලැබූ නව වසර මෙරට ජනතාව ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික ආදි විවිධ ක්ෂේත්‍රවල කිසියම් සාධනීය වෙනසක් අපේක්ෂාවෙන් පසුවන වසරකි. විශේෂයෙන්ම ආර්ථික ද
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
දූෂණ මර්දනයට ජනතා යුතුකම