අද රටේ තිබෙන්නේ අතීතය ගැන කතා කරන්නට බිය වන විපක්ෂයක් හා වර්තමානය ගැන කතා කරන්නට බියවන ආණ්ඩු පක්ෂයකි.
මෙය රූපවාහිනී නාලිකාවල කෙරෙන දේශපාලන සංවාදවලදී ඉතා අපූරුවට පෙනේ. එහිදී විපක්ෂයේ දේශපාලනඥයෝ දැනට රටේ පවතින සහල් ප්‍රශ්නය, පොල් ප්‍රශ්නය, සුළු වුවත් දැනට මතුවී ඇති විදුලි ප්‍රශ්නය ගැන කතා කරන්නට ඉමහත් රුචියක් දක්වති. එහිදී ඔවුන් කතා කරන්නේ ආණ්ඩුවට ඔච්චම් කරන ස්වරූපයෙනි.
එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න ඇති වූ අයුරු කියන්නට පෙළඹෙති. දශක ගණනාවක් තිස්සේ විවිධ ආණ්ඩු ගත් ක්‍රියාමාර්ග හා විශේෂයෙන්ම 2019න් පසු බලයේ සිටි ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ගේ කාලයේ දී ගත් ක්‍රියාමාර්ග වත්මන් ප්‍රශ්නවලට බලපෑ ආකාරය විස්තර කරති.
එවිට විපක්ෂයේ දේශපාලනඥයෝ ‘‘ඔය අවුරුදු හැත්තෑ හයේ කතාව ඡන්දෙට කලින් ඉදන්ම කියනව නේ. ඕක දැන් ඇතිවෙලා තියෙන්නේ ප්‍රශ්න විසඳන හැටි කියන්න’’ යි. කියති.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හෝ දේශපාලනඥයෝ එවිට ප්‍රශ්නය විසඳන්නට කාලය අවශ්‍ය බව කියති. එහෙත් විපක්ෂයේ දේශපාලනඥයන් එය පිළිගන්නට සුදානම් නැත. ඔවුන් බලකර කියා සිටින්නේ ප්‍රශ්නය ක්ෂණිකව කළමනාකරණය කර ගන්නට ආණ්ඩුවට හැකි විය යුතුය කියාය. තමන්ට රිදවන අතීතය ගැන කතා නොකොට එය කළ යුතුය කියාද ඔවුහු තර්ක කරති. සංවාද කරන පුද්ගලයන් වෙනස් වුවද සංවාදයට බඳුන් වන මාතෘකා කුමක් වුවද අපටද දැන් මේ සංවාද රටාව ‘‘ඇතිවෙලාය’’
අපට දැනෙන ආකාරයට නම් ඇඟට දැනෙන වෙනසක් කිරීමට වත්මන් ආණ්ඩුවට තවත් සුළු කාලයක් දිය යුතුය. ඔවුනට ලැබුණේ බංකොළොත් බව ප්‍රකාශයට පත් කළ ආණ්ඩුවකි. ඒ වනවිටත් ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගැට ගසා තිබිණි.. වත්මන් තත්වය යටතේ වෙනත් විකල්පයක් නැත. ඔවුනට කටයුතු කරනන්ට සිදුව ඇත්තේ දශක ගණනාවක් තිස්සේ දූෂිත දේශපාලනඥයන් සමඟ අත්වැල් බැඳගෙන දූෂණයේ යෙදුණු පිරිසක්ද ඇතුළු ඉහළ නිලධාරීන් සමඟය. ආකාර්යක්ෂමතාව දෛනික රාජකාරී ක්‍රමවේදය කොටගත් රාජ්‍ය සේවයක් සමගය.
ඔවුන් කටයුතු කළ යුතුව ඇත්තේ ඉතා අඩු දේශපාලන සාක්ෂරතාවක් ඇති රටකය. ඒක කරන්නට ඔවුන් සමග සිටින්නේ ද අවශ්‍යතාව තිබුණාද අත්දැකීම් නැති කණ්ඩායමකි. ඒ අතර පැවැති දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කැපවුණු ප්‍රතිවිරුද්ධ කෛරාටික දේශපාලනඥයෝ පිරිසකට මුහුණ දීමට ඔවුනට සිදුව තිබේ.
විපක්ෂයේ දේශපාලනඥයන් කොතෙක් අකැමැති වුවද අතීතය ගැන කතා නොකොට වත්මන් දේශපාලනය හා ආර්ථිකය ගැන කතා කළ නොහැකිය. විදේශ විනිමය සංචිතයේ වර්ධනය, විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය රට බංකෙලොත් බවින් මිදීම ආදිය ගැන කතා කිරීමේ දී විපක්ෂය එහි කීර්තිය හිටපු පාලකයන්ට දෙන්නට විපක්ෂය කරන්නේ ද අතීතය ගැන කතා කිරීමය.
ඇත්ත වශයෙන්ම එම කාරණා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පූර්ණ වශයෙන් කීර්තිය අත්කර ගන්නට උත්සාහ කරන්නේ නම් එය සාධාරණ නොවේ. බංකොලොත් බවින් රට මිදුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ කොන්දේසි හා එම අරමුදලේ වැඩ පිළිවෙළ නිසා ලැබෙන විදේශ ණය නිසාය.
දේශීය වශයෙන් ඊට කිසිවකුට හෝ කීර්තිය අත්කර දිය යුතු නම් එසේ දිය යුත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටය. 2022 මාර්තු මාසයේ දී මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත්තේ ඒ මහතාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කළේත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවත් කරන්නේත් එම අරමුදලේ වැඩපිළිවෙළ එහි කොන්දේසි අනුව පවත්වා ගෙන යාමය.
එම වැඩ පිළිවෙළේ ප්‍රතිලාභ ගැන කතා කිරීමේ දී අතීතය ගැන කතා කිරීම වලංගු නම් වත්මන් ආණ්ඩුවට දායාද කෙරුණු අතීත දූෂිත කළමනාකරණය ගැන කතා කිරීම ද වලංගුය.
දැන් ජාතික ජන බලවේගයේ නායකයන් හා මන්ත්‍රීවරුන් අමාරුවේ වැටී සිටින්නේ මෙවැනි ප්‍රශ්න ඉතා පහසුවෙන් විසඳිය හැකිය යන හැඟීමක් ඔවුන් ඉකුත් ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට පෙර ජනතාව තුළ ගොඩ නැඟූ නිසාය. ඔවුන් ‘‘එක පෑන් පහරින්’’ මෙම ප්‍රශ්නය විසඳිය හැකියැයි පැවසී යැයි විපක්ෂයේ දේශපාලනඥයෝ කියති. එහෙත් මෙම පෑන් පහරේ කතාව කවුරුන් කවද කොහෙ දී කීවේදැයි කිසිවෙක් මෙතක් කියා නැත. එසේ වුවද ජා.ජ.බ එවැනි හැඟීමක් රට තුළ ගොඩ නැඟූ බව සත්‍යයකි.
ප්‍රායෝගික තත්වය නම් මෙවැනි ප්‍රශ්න දින කිහිපයකින් විසඳිය නොහැකිය යන්නයි. විසඳන්නට පෙර ප්‍රශ්නය හඳුනා ගත යුතුය. සහල් කර්මාන්තයට අදාළ දත්ත අදාළ කිසිදු ආයතනයක නැතැයි ජා.ජබ නායකයෝ පවසති. පසුගිය දිනෙක කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රාජ්‍ය මුදල් කාරක සභාවේදී කළ ප්‍රකාශවලින්ද ඒ බව පෙනී යයි.. පොල් ප්‍රශ්නයටද හේතුව එවැන්නකි. දේශීය අවශ්‍යතාව නොසලකා පොල් අපනයන කෙරෙන බව කියවේ. එහෙත් ඒ පිළිබඳව දත්ත ඉදිරිපත් කෙරෙන්නේ නැත.
පසුගිය ඉරිදා හදිසියේම රට පුරා විදුලිය විසන්ධි විය. එය වඳුරකු ලංකා විදුලිබල මණ්ඩලයේ පානදුර උපපොළට පැන කරන ලද හානිය නිසා ඇති වූවකැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා මුලදී පවසා තිබිණි. ඔහුට මෙය කියන්නට ඇත්තේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීයකු විය යුතුය. බොහෝ දෙනා ඊට සිනාසුණා ද, එවැන්නක් විය හැකි නිසාදෝ නැත්නම් එම ප්‍රකාශයේ හාස්‍යජනක පැත්තක් තිබීම නිසාදෝ ජාත්‍යන්තර ජනමාධ්‍යය ද මෙම සිද්ධියට හේතුව වඳුරකැයි වාර්තා කොට තිබිණි.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පවසන්නේ නිවාඩු දිනයක් වූ එදින විදුලි ඉල්ලුම හා සැපයුම අතර ඇති වූ අසමතුලිතතාව මීට හේතු වූ බවත් සූර්ය පැනල මගින් උත්පාදනය කෙරෙන විදුලිය නිසා සැපයුම ඉහළ ගිය බවත්ය. සැපයුම ඉහළ ගියේ සූර්ය පැනල නිසාම යැයි මෙම ඉංජිනේරුවන් නිගමනය කළේ කෙසේද ? මේ ඔවුන් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ දරන යම් ආකල්පයක් නිසා කළ නිගමනයක් ද?
කෙසේ වෙතත් මෙම අසමතුලිතාව විදුලිබල පද්ධතියේ ප්‍රශ්නයකි. 2030 දී අවශ්‍ය විදුලි බලයෙන් සියයට 70ක් පුනර්ජනනීය බල ශක්තියෙන් ලබා ගන්නට අපේක්ෂා කරන රටක මෙවැනි අසමතුලිතතාවක් පිළිබඳව පුරෝකථනය කරන්නට බලධාරීන්ට නොහැකිවීම තේරුම් ගත නොහැකිය. එසේම එය ජාජබ බලයට පත් වූ පසු ඇති වූ තත්වයක් නොවේ. එහෙයින් මෙවැනි ප්‍රශ්න ගැන කතා කිරීමේ දී අතීතය ගැන කතා නොකළ යුතු යැයි විපක්ෂයේ දේශපාලනඥයන් කරන ප්‍රකාශය අතිශයින්ම වංකය.
කෙසේ වෙතත් තුනෙන් දෙකක බලයක් සහිතව ජාජබ ආණ්ඩුව බලයට පත් වී (මන්ත්‍රීවරුන් දිවුරුම් දී) ලබන සිකුරාදාට මාස දෙකක් ගතවේ. මේ කාලය තුළ ආණ්ඩුව ජනතාවගේ ඇඟට දැනෙන දෙයක් කර ඇත්දැයි යන්න විවිධ තැන්වල මතු කෙරේ. පසුගිය බදාදා රාත්‍රී රූපවාහිනී සංවාදයකදී මෙම ප්‍රශ්නය ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය වෙත යොමු කෙරිණි. බොහෝ සංවාදවලදී ඉතාමත් බුද්ධිමත්ව හා තර්කානුකූලවත් සාධක සහිතවත් කතා කරන නීතිඥවරියක වන ඇයද එහිදී අමාරුවේ වැටුණු බවක් පෙනිණි. ප්‍රශ්නයේ හරය වන්නේ ආණ්ඩුව ජනතාවගේ ඇඟට දැනෙන දෙයක් කර ඇද්ද? යන්න බව ඇය දැන සිටීම ඊට හේතුව බව පෙනිණි. මෙය එක් අතකින් ජනතාවගේ පැත්තෙන්ද මතු කෙරෙන ප්‍රශ්නයකි.
ඇත්ත වශයෙන්ම ආණ්ඩුව සහල් ආනයනය කොට හෝ සහල් ප්‍රශ්නය අර්බුදයක් නොවන තැනට කළමනාකරණය කර ගත්තේය. බිත්තර හිඟයට පිළියමක් වශයෙන් ආණ්ඩුව කළ දෙයක් පැහැදිලි නැතත් එය මේ වනවිට කිසිවකු කතා නොකරන තත්වයෙන් විසඳී ඇත. පොල් හිඟයට පිළියමක් වශයෙන් ආණ්ඩුව කළ දෙයක්ද නැත. ප්‍රශ්නය විසඳුණේ ද නැත. ඒවා විසඳුණා වුවද ජනතාව අපේක්ෂා කළේ ජනාධිපතිවරණය පැවැත්වෙන විට තමන් මුහුණ දුන් දුෂ්කරතා අඩුවේය කියාය. ඒ දිශාවට තවමත් සැලකිය යුතු යමක් සිදුවී නැත.
තමන්ගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවසුවේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැඟීම සඳහා ආණ්ඩුව මේ වනවිට පියවර ගනිමින් සිටින බවය. සැබෑවකි. ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාවගේ බදු මුදලින් සුර සැප විඳින දූෂිත පරපුටුවන් රැළකගේ තත්වයට අඩු තරමින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් හෝ පත් නොවන තැනට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වූ සැණින් ‘‘කෝ හොරු ඇල්ලුවාද’’දැයි විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයෝ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ ඇසූහ. ‘‘හොර අල්ලනකොට කෙඳිරි ගාන්න එපා’’යි එවිට දිසානායක මහතා පිළිතුරු දුන්නේය. දැන් ප්‍රකට පුද්ගලයන් ගණනාවක් කළ බව කියන දූෂිත ක්‍රියා පිළිබඳ ලිපිගොනු දුහුවිලි ගසා දමා අධිකරණයට හමුවට යළි පමුණුවනු ලැබ තිබේ. මෙම ලිපිගොනු සකස් කරන්නට මුල් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලනඥයන් ඇතුළු ආසන්න වශයෙන් විපක්ෂයේ සියලු පක්ෂ දැන් ඒ ගැන ‘‘කෙඳිරිගානු’’ ඇසේ.
දූෂිතයන්ට දඬුවම් දීම 2022‘‘අරගලය’’ යන නමින් හැඳින්වුණු ජනතා නැගිටීමේ සිටම ජනතාවගේත් බහුතරයකගේ ප්‍රබල අපේක්ෂාවක් විය. ජා. ජබට ඡන්දය දීමේදී ද එය ඔවුන් පෙළඹ වූ සාධකයක් විය. එහෙත් තමන්ගේ ආර්ථික ප්‍රශ්න නොවිසඳී තිබීම ගැන ජනතාව තුළ ඇත්තේ එක්තරා ආකාරයක කලකිරිමකි. එය ළඟ එන පළාත් පාලන මැතිවරණයේ දී බලපෑමක් කරන තරමට ප්‍රබල බවක් නම් නොපෙනේ. ලක්මාලි මන්ත්‍රීවරිය ඉහත කී රූපවාහිනී සංවාදයේ දී තරමක් දුෂ්කරතාවට පත් වූ බවක් පෙනී ගියේ ජනතාවගේ මේ කලකිරීමේ තත්වය නිසා විය යුතුය.
යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග ද ගැටලු සහගත හා ප්‍රායෝගික නොවන බව පෙනේ. දෙතුන් දෙනකුගෙන් යුත් පවුලක් සාමාන්‍ය මට්ටමේ තුන් වේලක් ආහාර ගැනීම සඳහාත් රුපියල් 60,000ක් පමණ අවශ්‍ය වන තත්වයක් තුළ ජාජබ මන්ත්‍රීවරුන් රුපියල් 54,000ක් වන සිය මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට පරිත්‍යාග කිරීම අපට නොතේරෙන එක් ගැටලුවකි. මන්ත්‍රී වැටුපට අමතරව ප්‍රමාණවත් ස්ථිර ආදායමක් නැති මන්ත්‍රීවරයකු එය කරන අකාරය පැහැදිලි නැත. අපට ගැටලුවක් වන්නේ එම පරිත්‍යාගය නොව එය කරන්නේ කෙසේ ද යන්නයි.
මන්ත්‍රීවරයකු මසකට දින අටක් පාර්ලිමේන්තුවට යා යුතුය. (ජාජබ මන්ත්‍රීවරුන් එසේ දින අටම පාර්ලිමේන්තුවට පැමිණීම ගැනද විපක්ෂ මන්ත්‍රීවරයකු අවලාදාත්මක අයුරින් පසුගියදා ප්‍රශ්න කොට තිබිණි) මෙම දින අටේ පාර්ලිමේන්තුවේ පැමිණීමේ දීමනාවෙන් ඔවුනට තුන්වේල පිරිමසා ගත හැකිය. එහෙත් ඔවුනට වෙනත් වියදම් ඇත. ඔවුන් මන්ත්‍රීවරුන් වශයෙන් පිළිවෙළකට ඇඳුම් ඇඳිය යුතුය. මන්ත්‍රීවරයකුට මසකට රුපියල් ලක්ෂ හතරක් පමණ ආදායමක් ලැබෙන බව වෙනත් පක්ෂයක මන්ත්‍රීවරයෙක් රූපවාහිනී සංවාදයක දී පැවසීය. එහෙත් නිශ්චිත අරමුණු සඳහා ගෙවන දීමනා වෙනත් අරමුණු සඳහා යොදා ගැනීම යහපත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරමින් කළ හැකිද?
ජාජබ මන්ත්‍රීවරුන් මාදිවල මන්ත්‍රී නිවාස හවුලේ පාවිච්චි කරන බව එක්තරා ප්‍රවෘත්තියක සඳහන් විය. එය වරදක් නොවේ. එහෙත් පිට පළාත්වල මන්ත්‍රීවරුන් සියල්ලන් හට එසේ කරන්නට එහි නිවාස තිබේද? ජාජබ මන්ත්‍රීවරු ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා ආකාරය ද පැහැදිලි නැත.
තමන් කරමින් සිටි රැකියා පවා අත්හැර ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන්ගේ සහායෙන් නඩත්තු වෙමින් දශක ගණනාවක් පූර්ණ කාලීන කාඩර්වරුන් වශයෙන් කටයුතු කරන පිරිසක් එම පක්ෂය තුළ සිටිති. එහෙත් ජාජබ නාමයෝජනා දෙන සියල්ලන් එවැන්නන් යැයි සිතිය නොහැකිය. එසේම ජනතාව ඡන්දයෙන් තෝරා ගන්නා සියල්ලන් ද එවැන්නන් යැයි සිතිය නොහැකිය.
(*** එම්.එස්.එම්.අයුබ්)
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම
මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන්නේ ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ‘‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’’ පසුගිය දිනක ශ්‍රී ලංකාව
ශ්රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ලේඛ
අද රටේ තිබෙන්නේ අතීතය ගැන කතා කරන්නට බිය වන විපක්ෂයක් හා වර්තමානය ගැන කතා කරන්නට බියවන ආණ්ඩු පක්ෂයකි.
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
දේශපාලක ප්‍රතිඥාවල යථාර්ථය