IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්තාව ජනමාධ්‍ය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල අවධානයට ලක්ව ඇති බව පෙනේ. එහෙත් ඒ පිළිබඳ අපගේ අවධානය යොමු කිරීමට පෙර මේ කියන ආර්ථික අර්බුදය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපාන්නේ කෙසේද? යන්න කෙටියෙන් හෝ විමසා බැලිම අවශ්‍යය වේ.

ආර්ථිකය යනු කුමක්ද? ආර්ථික අර්බුදය යනු කුමක්ද? මේ පිළිබඳ හරි හැටි වටහා නොගැනීම මෙරට ගැටලු රාශියකට හේතු වී ඇති බව පෙනේ. සංකල්පමය වශයෙන් සරලව ගතහොත් ආර්ථිකය මැනෙන්නේ කිසියම් වර්ෂයක් තුළ රටක නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හා සේවාවල මුළු එකතුවෙනි. එය දල දේශීය නිෂ්පාදිතයයි. ඒ අනුව රටක ආර්ථිකය නියෝජනය කරන්නේ එම දල දේශීය නිෂ්පාදනයයි.

භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරෙන්නේ පරිභෝජනය පිණිසය. එය රට තුළ මෙන්ම රටින් පිට පරිභෝජනයක් නියෝජනය කළ හැකිය. එසේ නම් අපි ජීවත්වීම යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමත් පරිභෝජනය කිරීමත් ය. රටක මෙම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. එම පවත්වාගෙන යාමේදී ගුණාත්මක බව සහ සාධාරණ මිලක් අවශ්‍ය වේ. එසේ නම් ආර්ථික අර්බුදයක් ඇතිවන්නේ එම ගුණාත්මකභාවය එක දිගට පවත්වාගෙන යා නොහැකි වීම නිසාය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩුවීම නිසාය.

ඊට හේතු මොනවාද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට ජනතාව දායක වී පරිභෝජනය කරන විට මෙම ආර්ථිකයට ප්‍රධාන වශයෙන් සම්බන්ධවන ආයතන කිහිපයක් රටේ වෙයි. එහි ප්‍රථමයෙන් මහජන නියෝජිතයෝ වෙති. ඊට අමතරව රජයේ නිලධාරියෝ වෙති. ඒ දෙපිරිසම සිටින්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදීත් පරිභෝජනයේදීත් ජනතාවට පහසුකම් සැලසීමටය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට, ආර්ථිකයට දායකවන රජයේ ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් වෙයි. එකක් පාර්ලිමේන්තුව හා මුදල් අමාත්‍යාශය හරහා ක්‍රියාත්මක වන අය වැය ප්‍රතිපත්තියයි. එහි අපේක්‍ෂාව වන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට හා ජනජීවිතයට පහසුකම් සැලසීමයි. දෙවැන්න ආර්ථිකයේ මිල මට්ටම තීරණය කිරීම සඳහා මහ බැංකුව හරහා එන මූල්‍ය ප්‍රතිපත්තියයි. ආර්ථිකයක ස්ථායිතාව ලෙස හඳුන්වන්නේ රටක භාණ්ඩ හා සේවාවල වර්ධනයත් සහන මිල මට්ටමක් අඛණ්ඩව පවත්වාගෙන යෑමත්ය. මේ අනුව රටේ ආර්ථික ස්ථායිතාව සඳහා ජනතාව විසින් ආයතන දෙකක් පවත්වා ගෙන යනු ලැබෙයි.

එහෙත් පාර්ලිමේන්තුව සහ මහ බැංකුව ඔවුන්ගේ කාර්යය නිසි පරිදි ඉටු කිරීමට අසමත් වීම නිසා මෙරට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත් ආර්ථික ස්ථායිතාවත් එක දිගට පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ. පාර්ලිමේන්තුව හා මහ බැංකුව අතරමැදින් කොටසක් රාජ්‍ය අංශය නමින් ඇත්තේ මෙම කාර්යාවලියට උදව් කිරීමටය.

රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නෝ ව්‍යවසායකයෝ වෙති, මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ පෞද්ගලික අංශයයි. රාජ්‍ය අංශයෙන් ඉතා සුළු සේවා කිහිපයක් පවත්වාගෙන යයි. පාර්ලිමේන්තුවත්, මහ බැංකුවත් රාජ්‍ය අංශයත් ඇත්තේ එම ව්‍යවසායකයන්ට පහසුකම් සැලසීමටය, එහෙත් දැන් අපේ රටේ සිදුවන්නේ කුමක්ද? ප්‍රධාන තැන ව්‍යවසායකයන්ට ලැබිය යුතුව තිබිය දී ඒ තැන දැන් ලැබී ඇත්තේ මහජන නියෝජිතයන්ටය. මහබැංකුවටය. රජයේ නිලධාරීන්ටය. ඔවුහු පැවැත්ම තහවුරු කොටගනිති, එහෙත් රටේ ජීවනාලිය වන භාණ්ඩ හා සේවා නිපදවන්නෝ අසරණව සිටිති.

දීර්ඝ කාලීන අයවැය ප්‍රතිපත්ති සකස් නොවීමත් බාල දේශපාලනයත් නිසා රජයේ ආදායම 90 දශකයේ සිට මේ දක්වා එක දිගටම ආර්ථිකයට සාපේක්‍ෂව අඩුවෙමින් පවතී. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව සියයට 20ක් වත් අවම මට්ටමේ ආදායම් පවත්වාගෙන යායුතු වුවත් මෑත කාලීනව රජයට ලබාගත හැකි වූයේ සියයට  8ක පමණ අගයකි. එය රජයේ ආකාර්යක්‍ෂමතාව දිගින්  දිගටම පෙන්වීමේ ලක්ෂණයකි. මීට විකල්ප ලෙස රජය කළේ කුමක්ද? අසීමිත ලෙස ණය ලබා ගැනීමය. එය රජයේ වියදමින් අඩක් පමණ ප්‍රමාණයකි. දේශීය ණය මෙන්ම විදේශීය ණය ද ඒ අතර වේ.

මහබැංකුවේත් රජයේත් වගකීම නිසි පරිදි ඉටු නොකිරීම නිසා රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඩුවිය. ඒවායේ ගුණාත්මක භාවය වැඩිකර ගැනීමට නොහැකි විය. මහබැංකුවේ වගකීම හරියාකාරව ඉටු නොකිරීම නිසා ආර්ථිකයේ මිල මට්ටම ඉහළ ගියේය.

රටේ ජනතාවට ආදායම ලැබෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙනි. නිෂ්පාදනය අඩුවන විට සිදුවන්නේ ආදායම අඩු වීමය. ශ්‍රමයට ඇති ඉල්ලුම අවම වීමය. වැටුප් අඩුවීමය. ආර්ථිකයක් හොඳින් පවත්වාගෙන යාමට නම් රටේ ජනතාවට ගුණාත්මක භාණ්ඩ හා සේවා රට තුළ නිෂ්පාදනය කළ යුතු වේ. නිෂ්පාදන වැඩිවන විට ජනතාවට ආදායම වැඩි වේ. එම අදායම ජනතාවගේ භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා භාවිත වේ.

අනෙක් අතට අද වන විට අපනයනය කරන භාණ්ඩවලට වඩා ආනයනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි වී තිබේ. ආනයනය අපනයනය මෙන් දෙගුණයකි. එය හරියට අය වැය මෙනි. අයවැයේ රජයේ වියදම ආදායම මෙන් දෙගුණයකි. මේ අර්බූදය දීර්ඝ කාලීනව අපේ සමාජය වෙළාගත් එකකි. අද වන විට එය බරපතළ තත්වයට පත්ව තිබේ.

2018 දී මෙරට දල දේශීය නිෂ්පාදිතය වැඩිවීම සියයට 2.3 කි. 2019 දී එය සෘණ දෙකක පහළ අගයකි. කොරෝනා බලපෑම ද ඊට හේතු වූ බව පෙනේ. 2020 දී එහි අගය සෘණ 4.6 කි. එය තවදුරටත් පහළ බැස ඇති බව මෙයින් පැහැදිලිය. 2022 වන විට දල දේශීය නිෂ්පාදිතය සෘණ 7.8 කින් පහළ බැස තිබේ. එය ආර්ථිකයේ හැකිළීමකි. මෙරට දල දේශීය නිෂ්පාදිතය අංශ තුනක් යටතේ සිදු කෙරේ. කෘෂිකාර්මික නිෂ්පාදන, කාර්මික නිෂ්පාදන හා සේවා වශයෙනි, 2021 ට සාපෙක්‍ෂව 2022 වන විට කෘෂිකාර්මික නිෂ්පාදන සියයට 4.6කින් අඩු වී තිබේ. කාර්මික නිෂ්පාදන සියයට 16කින් අඩු වී ඇත. සේවා සියයට 2කින් අඩුවී තිබේ. සමස්තයක් ලෙස ගත් කල එය දල දේශීය නිෂ්පාදිතයේ 7.8 ක අඩුවීමකි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ද මෙම තත්වයයි.

මෙම වාර්තාවට අනුව 2018 ට සාපේක්ෂව සියයට 20.2 කින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය ව්‍යාපාර වැසී ගොස් ඇත. 2018 දී ලක්ෂ 10 කට අධිකව පැවැති මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් වැඩිපුර වසා දමා ඇත්තේ ක්ෂුද්‍ර ව්‍යාපාර වේ. එහෙත් මේ වාර්තා වේ සඳහන් වන ආර්ථික අර්බුදය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය ව්‍යාපාරවලට බලපෑවාය යන අදහස පැහැදිලි නැත. ආර්ථික අර්බූද ඇතිවන්නේ මේ කර්මාන්ත වැසී යාමෙන්ය. එසේ නොමැතිව ආර්ථික අර්බුදය කර්මාන්ත වැසී යාමට බලපානවා යන්න පිළිගත හැක්කක් නොවේ.

මේ රටේ සමස්තය ගතහොත් ඉන් සියයට 75 ක්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ වෙති. රටේ සේවා අංශය අතුරින් ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සියයට 45කි, රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 ක දායකත්වයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ලබා දෙති. ආර්ථික අර්බුදය යනු මොවුන්ගේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ අඩු වීමයි.

මේ සියල්ල අනුව මේ වන විට රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ බරපතළ අර්බුදයක් ඇති බව ඉතා පැහැදිලිය. මේ අර්බූදය කොරෝනා වසංගතය නිසා පමණක් ඇති වූවක් නොව දීර්ඝ කාලයක ක්‍රමික වර්ධනයකින් ඇති වූවකි. එම ආර්ථික අර්බූදය අපට ජයගත නොහැකි වූවකි, එය එසේ වූයේ අයවැය ප්‍රතිපත්තිවල හෝ මූල්‍ය ප්‍රතිපත්තිවල කාර්යක්‍ෂමතාවක් නොතිබීම හේතුවෙනි. ණය අර්බුදයෙන් හා විදේශ විනිමය අර්බුදයෙන් මේ තත්ත්වය තවත් උග්‍ර විය.

මෙම අර්බූදය මෙතැනින් නතර වන්නක් නොවේ. අර්බූදයට විසඳුම් සෙවීමට නම් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කර ගත හැකි ක්‍රමෝපායයන් කවරේදැයි සොයා බැලීම වැදගත්ය. ඒ සඳහා අය වැය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය ඉතා සීරුවෙන් පවත්වාගෙන යායුතු වෙයි. මගේ නිරීක්‍ෂණය අනුව නම් පෙනෙන්නේ අද වන විටත් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා ගුණාත්මකභාවය කර ගැනීමට අවශ්‍ය පහසුකම් කිසි කෙනෙකු අතින් නොසැලසෙන බවය.

එම පහසුකම් සලසන්නට බැඳී සිටින මහජන නියෝජිතයන්, මහ බැංකුව හා රාජ්‍ය සේවය යන අංශ රටේ ජීවන අර්බුදයක් ඇති වූ අවස්ථාවේ හරි නම් කළ යුතුව තිබුණේ කුමක්ද ? භාණ්ඩ හා සේවා නිෂ්පාදකයන්ට පහසුකම් සැලසීමය. එය රජයේ උදව් අත්‍යවශ්‍ය මොහොතකි. ඒත් මේ ආයතන තුනම කරමින් සිටින්නේ ව්‍යවසායකයන්ට පහසුකම් සැලසීම වෙනුවට තමන්ටම පහසුකම් සලසා ගැනීමය. ඒ හේතුවෙන් මෙම අර්බුදය තවදුරටත් ඔඩුදුවමින් තිබේ.

වෘත්තීකයෝ තමන්ගේ වැටුප් වැඩි කරගනිමින් සිටිති. මහජන නියෝජිතයන් ද එම ක්ෂේත්‍රයට පැමිණි දා සිට කළේ තමන්ගේ වරප්‍රසාද සාධනය කොට ගැනීමය. මහබැංකුව කරන්නේ ද ඒ ටිකමය.

මහ බැංකුව ද ඔවුන්ගේ බලය ක්‍රියාත්මක කිරීමේ දී මේ රටේ මහජන නියෝජිතයන් තරම්ම දූෂිත බවට සමාජයේ මතයක් මෙයින් නිර්මාණය වේ. ඔවුහු ද තම වැටුප් වැඩි කරගනිති. විශාල වශයෙන් පහසුකම් ලබා ගනිති. රටේ පොලී අනුපාතය තීරණය කරන්නේ මහබැංකුවයි. එබදු පරිසරයක ඔවුහු ඔවුන්ගේ ණය මුදල්වලට රටේ අඩුම පොලී අනුපාතය අනුමත කර ගනිමින් සිටිති. ඒ අනුව මේ පාර්ශ්ව තුනම විසින් නොසැලකා හැර ඇත්තේ මේ රටේ ආර්ථිකයට සක්‍රීය ලෙස දායකවන වැදගත්ම කොටසයි. එනම් ව්‍යවසායක පිරිසයි. එබදු පරිසරයක රටේ ආර්ථික අර්බුදය උග්‍ර නොවන්නේ ද?

මේ රටේ ව්‍යවසායකයන්ට පහසුකම් දිනාගත හැකි බලයක් නොමැතිවීම අනෙක් ගැටලුවයි. මෙම ගැටලුවේ දී මේ රටේ අන්ත අසරණම කොටස බවට පත්ව සිටින්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් සියයක 50 කට අධිකව රටේ දල දේශීය නිෂ්පාදනයට  දායක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ය. මොවුනට විකල්පයක් නොමැති තැන කරන්නේ ව්‍යාපාරවලින් ඉවත්වීමය. එබදු තරුණ ව්‍යවසායකයෝ දැන් දැන් දැන් රට හැර යමින් සිටිති. රට හැර යාමට ද නොහැකි පිරිස අන්ත අසරණභාවයට පත්ව සිටිති.

බොහෝ රටවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීම වෙනුවෙන් ලබාදෙන පහසුකම් අපේ රටේ ව්‍යවසායකයන්ට හිතා ගන්නටවත් බැරිය. රජය කළ යුත්තේ නිෂ්පාදකයාට ඉහළ මිලක් ලබා දීම නොව ඉහළ ආදායමක් ලබා දීමය. ඒත් දැන් මේ රටේ ගොවියකුට ඇත්තේ උදලු මිට පමණය. අමුඩ ලේන්සුවක් ආනයනය කරන මට්ටමකට පැමිණ තිබේ.

රටක ආර්ථිකය, පරිභෝජනය, සෞඛ්‍යය සියලු කේෂ්ත්‍ර රැක ගැනීමට නම් රජය භාණ්ඩ හා සේවාවල නිෂ්පාදනය වැඩි කර ගැනීමට, ගුණාත්මක භාවය ඵලදායීතාව වැඩි කර ගැනීමට, නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමට, පරිමාව වැඩි කර ගැනීමට ප්‍රමුඛතාව අංක එක ලබාදිය යුතුමය. එබදු ප්‍රමුඛතාව ලබාදුන් සෑම රටක්ම දියුණූවට පත්විය. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නම් මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සමඟ ජනතාව ද මේ තත්වය මැනැවින් තේරුම්ගත යුතුමය.

 

(***)

සටහන – ගාමිණී කන්දේපොළ



අදහස් (1)

නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්

නන්දන Friday, 23 February 2024 12:27 PM

ඉතාම කාලෝචිත සටහනක්. මේ රටට බිත්තර ආනයනය කිරීමට යාමේදී මමත් එයට එයට විරුද්ධව කළයුතු දෙය පසක තබා නොකළ යුතු දේ කිරීම ගැන අදහස් දැක්වීය. ඒ විතරක් ද කැරට්, ලීක්ස් බෝංචි පවා පිටරටින් ගෙන්වන්න වෙළෙඳ ඇමැති වරයාම කියූ කතාවක් පත්‍රයේ පලවී තිබෙනවා දුටුවේය. ඉතින් මොවුන් කටයුතු කරන්නේ කාගේ යහපතටද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 133 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 473 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 137 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 133 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 314 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 602 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site