ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් බැහැරව සිටින බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත්කරනු ලැබී යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (13) දහවල් ප්‍රකාශ කළේය. මීට පෙර කතානායකවරයා සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා 13 වැනිදා බදාදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවය. වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත් කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කර බස්නාහිර පළාතට ඇඳිරි නීතියද පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක සඳහන් විය.
මේ අනුව රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතා පැවැත්විණි. ජනතාව විශාල වශයෙන් එයට සහභාගි වී සිටි අතර එය මැඩපැවැත්වීමට කඳුළු ගෑස් සහ ජල ප්රහාරද යොදා ගනිමින් ආරක්ෂක හමුදා විශාල පිරිසක් යොදවනු ලැබ සිටියහ. රට තුළ ඒ වනවිට නොසන්සුන්තාවක් හටගත් අතර ආගමික නායකයන් විසින් සන්සුන්ව ක්‍රියා කරන්නැයි විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීම්ද කෙරිණි. ඉතා ඉවසීමෙන් සහ වගකීමෙන් ක්‍රියා කළයුතු දින කිහිපයක ආරම්භයේ අපි රැඳී සිටිමු.
මීළඟට රටේම අවධානය යොමුවන්නේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන දෙසටය. දැනට එය තුන්කොන් සටනක් වශයෙන් පවතින බවද ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් නාමයෝජනා බාරදීමට සූදානමින් සිටින බව සඳහන්ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් පෙන්වා දුන් පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් වන අපේක්ෂකයන් අතුරින් එක් අයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතු වෙයි. භාවිත කෙරෙන වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් සහ ඊට වඩා ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා ජනාධිපති ධුරයේ ඉතිරි කාලය සඳහා තෝරා පත්කර ගනු ලැබෙයි. මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක වනතුරු වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් වත්මන් අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාවට අනුව පත්විය යුතුය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඉවත්ව යා යුතු බවට බලකෙරෙමින් රටේ ක්‍රියාත්මක වූ ජන අරගලය තවම අවසන් නැති බව අරගලකරුවෝ පවසති. දැනට පාර්ලිමේන්තුවේ බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසකුත් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු සියලු පක්ෂ නායකයන්ගේත් ඉල්ලීම රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරයා මෙන්ම ඉල්ලා අස්විය යුතු බවය. එසේ නොවුණහොත් රට තුළ දිගටම අරගලය ක්‍රියාත්මක වනු ඇති බවටද ඔවුහු අනතුරු අඟවති.
රටේ සාමාන්‍ය ජනතාවට දැන් අවශ්‍ය වන්නේ කාලයක සිට දැඩිව පීඩනයට පත්කර ඇති ගැටලුවලින් තමන් මුදාගන්නා පාලනයකි. අරගලයට නායකත්වය දුන් ප්‍රධානම පාර්ශ්වයක් වන පෙරටුගාමී පක්ෂයේ නායකයන්ගේ මතය වන්නේද දේශපාලන පක්ෂවල පවතින බලයට කුළල් කා ගන්නා අභ්‍යන්තර ගැටලු තමන්ට අදාළ නැති බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වී පිහිටුවන අන්තර්වාර රජයකින් මහජනතාව බලාපොරොත්තු වන සාධාරණ පාලනයක් ගෙන යා යුතු බවත්ය. ඒ සඳහා තමන් ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළයුතු බවටද ඔවුහු ප්‍රකාශ කරති.
මේ අනුව දැන් අපේ රට ඉතාම තීරණාත්මක මොහොතක නැවතී තිබේ. එසේ නැවතී තිබෙන්නේ රට මේ ව්‍යසනයට පත්කළ සියලු ගැටලු එලෙසම පවතිද්දීය. තෙල් පෝලිම් තවම එසේමය. පෙට්‍රල් ලැබෙන දිනයක් ගැන ඇත්තේ බලාපොරොත්තුවක් පමණි. ගෑස් පෝලිම් යන්තම් තුනී කරමින් ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් හෝ ක්‍රියාත්මක වීම යම් පමණක සහනයකි. ඉහළ ගිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් ඉහළ යමින් පවතී. ඇතැම් සහල් වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍ය හිඟයද දැඩි බලපෑමක් ඇති කර තිබේ. එදිනෙදා කුලී වැඩ කළ සහ ස්වයං රැකියාවල නියුතුව සිටි බොහෝ දෙනකුගේ ආදායම් මාර්ග ඇණහිට තිබේ. පොදු ගමනාගමන සේවා ක්‍රියාත්මක වන්නේ සීමිත වශයෙනි. මේ නිසා දුම්රිය ගමන මරුවා සමඟ වාසේ ගමනක් බවට පත්වී තිබේ. පාසල් සහ විශ්වවිද්‍යාල වැසුණු ගමන්ය. රජයේ කාර්යාල අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා වී තිබේ. රටේ ආර්ථික උද්ධමනය ලොවේ සියලු රටවල් අබිබවා ගොස් ඇත.
මීට මාස කිහිපයකට පෙර අපේ රට මේ තත්ත්වයෙන් නොතිබිණි. එහෙත් ඊටත් පෙර සිටම රටේ ආර්ථිකය මේ තත්ත්වයට පත්වනු ඇති බවට රටේ ආර්ථික විශ්ලේෂකයන් සහ විද්වතුන් පළකළ අනාවැකි සියල්ල ගඟට කැපූ ඉනි බවට පත්විය. ආර්ථිකය ගැන තීන්දු තීරණ ගත් විශාරද මොළ ටිකට ඒ බව තේරුම් ගැනීමට නොහැකි වීම රටේම අවාසනාවක් විය. ආර්ථිකය කඩා වැටීම කන්දෙන් පල්ලමට තල්ලු කිරීමේ තීන්දුව වූ ඊනියා කාබනික පොහොර විප්ලවය රට සාගතයක් කරා කැඳවාගෙන යන බවට පළකළ විද්වතුන්ගේ අදහස් සමච්චලයට භාජන කෙරිණි. මේ මරි මෝඩ දේශපාලන තීරණවල ප්‍රතිඵල දැන් විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක පොදු මහජනතාවටය. එම තීරණ ගත් සහ ඒවාට සහාය දැක්වූ දේශපාලනඥයෝද නිලධාරීහුද යෙහෙන් වැජඹෙති. රටේ ජන අරගලය හඬ ගා කියන්නේ මීළඟට බිහිවෙන අන්තර්වාර ආණ්ඩුව මේ අඩුපාඩුකම් හඳුනාගෙන ජනතාවගේත් රටේත් යහපත සඳහා ක්‍රියාත්මක විය යුතු බවය.
මේ අනුව පළමුවෙන්ම සිදුවිය යුත්තේ නීතිය සහ සාමය රැක ගනිමින් රට සන්සුන්ව ඉදිරියට ගෙනයාමය. එය වැඩබලන ජනාධිපතිවරයාගේත් රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගේත් වගකීම වෙයි. අරගලයට නායකත්වය ලබාදෙන සියලු පාර්ශවද ඇවිළෙන ගින්නට පිදුරු දැමීමෙන් වැළකී රටේ අනාගතය වෙනුවෙන් කල්පනාකාරීව ඉදිරි පියවර ගත යුතුය. ඉදිරි දින කිහිපයේදී ඉවසීමෙන් කටයුතු කිරීමට සියලු පාර්ශව කටයුතු කළ යුතුය. ඉවසීමෙන් තොරව කාටත් ලබාගත හැකි ජයග්‍රහණයක් නැත.
(***)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීතිය - සාමය රකිමු: ඉවසීමෙන් කටයුතු කරමු