IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නිර්භීත තීරණ ගතයුතු යුගයක්

ශ්‍රී ලංකාව ඉතිහාසයට එකතු වන අලුත් යුගයක් අභිමුවෙහි සිටී. පරිණතභාවය, අනාගතය ගැන අපේක්ෂා සහ අභිලාෂ සාක්ෂාත් කර ගැනීමෙහි ලා සුදුසු කැපවීමක් අවශ්‍යම කරන කාලවකවානුවකි. ක්‍රමය ගැන බරපතළ විවේචන ඇත. දූෂණ හා අත්තනෝමතික ලෙස බලය උපයෝගී කර ගැනීම ගැන රට තුළ විරුද්ධත්වයක් තිබේ. ක්‍රමය වෙනස් කරන්නට, ඇතැම් පිරිසක් බලකරන අතර බහුතරය හැර සුළු පිරිසකට ඉඩ දෙන අමුතු විකල්ප ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදය තුළ නැත.

හැට නම ලක්ෂයක ජන වරමක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් බලයට පත් ආණ්ඩුව විශාල අවදානමක පසු වේ. ආණ්ඩුව පමණක් නොව සියලුම දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන බව පෙනේ. මෙම තත්ත්වය ඇති කරන පීඩනය සුළුපටු නැත. පාර්ලිමේන්තු සංයුතිය අනුව ජනාධිපතිවරයා තෝරාගන්නට අවස්ථාවක් ලැබී ඇති අතර එය ව්‍යවස්ථාවේ සඳහන්, මෙතෙක් අත්හදා බලා නොතිබුණ අලුත් අත්දැකීමකි. බලයට පත්වන විධායක ජනාධිපතිවරයාට ක්‍රමය ගැන අත්හදා බැලීම් කරන්නට වෙලාවක් නැත. බින්දුවේ සිට රට හැරවීමේ දැවැන්ත අභියෝගයට මුහුණ දෙන්නට සිදුවේ. එක කණ්ඩායමක්, එක පිරිසක්, පුද්ගල මතවාදයක් වෙනුවට සියලුම දෙනා එකතු කරගෙන දුෂ්කරභාවයෙන් ගැලවීම අරමුණු කරගෙන පොදු මාර්ගයක් සොයා ගත යුතුව තිබේ.

පළමු පියවර ගැනීමට පෙර සන්සුන් භාවයක්

මහජනතාව නොසන්සුන්ය. එයට සාධාරණ හේතුවක් ඇත.

ස්වකීය අවශ්‍යතා සාක්ෂාත් කරන්නට බලයට පත් කළ ආණ්ඩුව සිය අසමත් බව ඔප්පු කර තිබේ. පොදු ජනතාව මැදි ආදායම් රටක් ලෙස භුක්ති විඳිමින් සිටි පැවැත්ම විනාශ වී ඇත.

බහුතරයක් දරුවන්ගේ ඉගෙනුම කඩාකප්පල් වී තිබේ. පොදු ප්‍රවාහනය පවා ඉන්ධන හිඟය මත අඩාල වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසල් වසා දමන්නට සිදුවී ඇත. රෝහල්වල ප්‍රතිකාර ඇනහිට තිබේ. රැකියාවට යා නොහැකි අතර එය සාමාන්‍ය ජනතාවගේ ආදායම ගැටලු සහගත තැනකට පත් කරන හේතුවකි. අතට ලැබෙන මුදල ජීවත්වීමට ප්‍රමාණවත් නැත. බස් ගාස්තුව දරාගත නොහැක. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල අහස උසට නැග ඇති අතර උද්ධමනය ගැන මහ බැංකුව ප්‍රකාශ කරන ඉලක්කම් අර්බුදයක තරම දක්වයි. දිළිඳු ජනතාවට එදිනෙදා ආහාර පවා සපයා ගත නොහැකි බව ප්‍රකාශ වේ. එය කෙසේ වෙතත් රට පත්ව ඇති ඉරණම ගැන විශාල අමනාපයක් ද ඔවුන්ට ඇත. දහසකුත් එකක් ප්‍රශ්න විසඳාගෙන නැගී සිටින අරමුණ ඇතිව පත් කරගත් ආණ්ඩුවක් රට පත් කර ඇති තැන ගැන අතෘප්තියක ඔවුහු පසුවෙති.

අරගලය පැන නගින්නටත්, එය පැතිරෙන්නටත් හේතුව ආර්ථික අර්බුදය ඇති කළ වටපිටාව බව සඳහන් කළ යුතුය. අදක්ෂ පාලකයන් පලවා හැර ඕනෑම ක්‍රමයකින් එදිනෙදා තත්ත්වය විසඳා ගැනීමේ උත්සාහයක් කරා ජනතාව යොමු වෙමින් සිටියේය. මෙහි සංකීර්ණ බව අරගලකරුවෝ නොදනිති. අප සිටින අගාධයෙහි තරම ගැන සාමාන්‍ය ජනතාවට අවබෝධයක් නැත.

අනවබෝධයෙන් ඇති කරන නොසන්සුන් භාවය රට ගොඩනගන මාවත නොවේ. පසුගිය මාස තුනක හතරක කාලය තුළ හටගත් සංකීර්ණ භාවයෙහි කේන්ද්‍රය දේශපාලන අස්ථාවර භාවය බව නොරහසකි. ජනතා අපේක්ෂා සාක්ෂාත් කරන පියවරක් සඳහා ගමන් කිරීමේ දී දේශපාලන ස්ථාවරභාවය පළමු තැන ගනී.

පක්ෂ, ප්‍රතිපත්ති බල අරගලය පසෙක තබා රට වෙනුවෙන් තීරණ ගත යුතුය. සන්සුන් භාවය ඇති කරගත යුතුව ඇත. අවුල් වියැවුල් සහිත සමාජයක ආර්ථිකයක් හැදෙන්නේ නැත. ඡන්දයක් පැවැත්විය නොහැකි, එයට ව්‍යවස්ථාව තුළ ඇති සීමාසහිත අවස්ථා ගැන පමණක් නොව ඡන්දයකින් ඇති කරන ප්‍රතිඵලය ද කල්පනා කළ යුතු අප මෙම අවස්ථාවේ දී වගකීමකින් කටයුතු කළ යුතුව ඇත.

මහා පොදු සාධකය ඩොලර් බවට පත්වීම

රටට වුවමනා කරන අත්‍යවශ්‍ය ආනයන සඳහා විනිමය ප්‍රමාණවත්ව නැති තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත. එය හදිසියේ, කෙටි කාලයක් තුළ පැන නැගුණ තත්ත්වයක් නොවේ. පසුගිය දශක කිහිපය තුළ, විදේශ වෙළඳාම වාසිදායක තැනක පවත්වා ගැනීමට අපට හැකියාවක් ලැබුණේ නැත.

නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය 16 වතාවක් ලබාගැනීමට සිදුවී තිබේ.

නැවත නැවතත් විනිමය ප්‍රශ්න මතු වූ බව එයින් ඇඟවේ. බලයේ සිටි ආණ්ඩු රටට අවශ්‍ය ප්‍රමාණයට විනිමය උත්පාදනය කරන සැලැස්මක් ක්‍රියාත්මක කළේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවේ.

යටත් විජිත පාලකයන් වැවිලි භෝග අපනයනයෙන් විනිමය උපයන ආර්ථිකයක් රටට භාර දී තිබුණ අතර එයින් එපිට රාමුවකට ගමන් කළේ නැත. ශ්‍රී ලංකාවට විනිමය ලැබෙන තුන් වැනි වැඩිම අවස්ථාව වන ඇඟලුම් කර්මාන්තය ආරම්භ කිරීමේ දී පවා විරුද්ධවාදී දේශපාලනයෙන් එල්ල වූ චෝදනාවල තරම අද මෙවැනි මොහොතක අප අමතක කළ යුතු නැත.

ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේ දී රටට ඩොලර් අවශ්‍යය. ආනයන සම්පූර්ණයෙන්ම පාලනය කරන ලද පසුගිය කාලයේ පවා එක වසරක වෙළඳ පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 9කි.

පරතරය තරවන විට වාණිජ ණය ගැනීම හැර විනිමය උත්පාදනයක් ගැන කල්පනා කළේ නැත. අපනයනය අඩු, නිෂ්පාදනයක් සීමිත සහ ආනයන සඳහා විනිමය හිඟ රටක අවසාන ආකෘතිය අද පවතින තත්ත්වය බව අවධාරණය කළ යුතුව ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වීමෙන් පසු ජාත්‍යන්තරයෙහි ඇති වූ  අධි ඉල්ලුම ශ්‍රී ලංකාවට බාධකයක් විය. යුක්රේනය හා රුසියාව අතර හටගත් ගැටුම් එය තවත් සංකීර්ණ පැත්තකට හරවා තිබේ. ආහාර ද්‍රව්‍ය, පොහොර, ඛනිජ තෙල් ඇතුළු සෑම ද්‍රව්‍යයකම මිල ඉහළ ගියේය. රටට අවශ්‍ය භාණ්ඩ ආනයනයට විනිමය නැති  සහ ජාත්‍යන්තර වෙළඳ පොළේ මිල ගණන් ඉහළ යන ස්වභාවය ඉදිරියේ ශ්‍රී ලංකාව අසරණ විය. ආනයන වියදම පාලනය කරගත නොහැකි වී ඇත. එය කිසිසේත් රටට හිතකර තත්ත්වයක් නොවන බව වටහා ගත යුතුය. විනිමය හිඟය මත, ආනයන සීමා කරන තීන්දුවකට ගිය අතර පොහොර, ඖෂධ, විදේශ අධ්‍යාපනික පිරිවැය පවා පාලනය කිරීම සමග සමාජය නොසන්සුන් ස්වභාවයකට පත් වූ බව සඳහන් කළ යුතුය. මේවා සම්පූර්ණ කර ගැනීමට විදේශ විනිමය අවශ්‍ය කෙරේ.

ජාතික ආදායම පවා පිරිහෙන දුර්වල චක්‍රය

විදේශීය වෙළඳාමේ ඇති වූ අධිපීඩනය අනෙක් පැත්තකින් දේශීය ආදායම් ව්‍යුහය ද බෙලහීන කර ඇත. ආනයන මත පනවන බදු රජයේ ආදායමේ එක කොටසකි.

අධික බදු ආදායමක් ලැබෙන වාහන ආනයනය නතර කරන අතර ජීවන බර සැහැල්ලු කරන අරමුණෙන් ඉන්ධන, කිරි පිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් අය කළ සුළු බදු ප්‍රතිශත පවා ඉවත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නට තරම් හෝ ආදායම උපයා ගැනීමට ආණ්ඩුව අසමත් විය.

මුල් කාලයේ දී ආර්ථිකය නංවන අදහසක සිටි ආණ්ඩුව වැට් හා ආදායම් බදු සීමා ලිහිල් කළේය. එය ජනතාවට වාසියක් වූ අතර අලුත් වාර්තා දක්වන පරිදි සාමාන්‍යයෙන් සියයට 15 ක පමණ ආදායමක් වැට් මගින් රජයට ලැබිය යුතුය. එය සියයට 8 දක්වා පහත වැටී ඇත. ජාතික ආදායම අඩුවන අතරවාරයේ බැංකුවලින් ණය ගෙන ඒවා පියැවීමට තවත් මුදල් අච්චු ගසන පිළිවෙළ කිසිම ආර්ථික විද්‍යාවකට නොගැළපෙන ක්‍රමයක් බව විචාරක මතය විය.

මෙම කරුණු ශ්‍රී ලංකාවේ ණය අවදානමට හේතු වූ අතර ණය අර්බුදයක් අභිමුවෙහි සිටින බව ජාත්‍යන්තර සංවිධාන අවස්ථා කිහිපයක දී අනතුරු අඟවන ලද බව මතක් කළ යුතුය. අර්බුදයක් නැති අතර මුල්‍ය ව්‍යුහය හා බැංකු ක්‍රමය ශක්තිමත් බව ආණ්ඩුවේ න්‍යායාචාර්යවරු එකල කියා සිටියහ. විශාල කම්පනයක් ඇති විය හැකි අතර එයට කලින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුමකට යා යුතු බව දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්පාදකයෝ පෙන්වා දුන්හ. මුල්‍ය අරමුදලේ ණය  සමග එන කොන්දේසි ගැන සලකා බලන ලද එවකට ආණ්ඩුවේ ඇතැම් පිරිස් එම ක්‍රියාමාර්ග ඉතා දැඩිව ප්‍රතික්ෂේප කළෝය.

ණය බරින් ගැලවිය යුතුව ඇති අතර සංවර්ධන අවශ්‍යතා සාක්ෂාත් කරගත යුතුව තිබේ. විනිමය උත්පාදනය කළ යුතුය. ජාතික ආදායම වැඩිකරගත යුතුව තිබේ. අසල්වැසි මිතුරන්ගෙන් තාවකාලික ණය ගැනීම පවා අවදානමකි. ඒවා ආපසු ගෙවිය යුතුය. ආපසු ගෙවන පිළිවෙළක් රහිත ණය ගැනීම මතු පරපුරට ඇති කරන මහත් බරකි. ණය ගෙවන්නට හැකි වන පරිදි විනිමය උත්පාදන සැලැස්මක් සකස් කළ යුතුව ඇත.

ප්‍රතිසංස්කරණ හැර අනෙක් පියවරක් නැත

මෙම තීරණාත්මක අවස්ථාවේ දී නායකත්වය භාර ගන්නා ජනාධිපතිවරයා අලුත් තීරණවලට යා යුතුය. දේශපාලනයට බලපෑම් කරන අරගලකරුවන් ගේ මතයට සවන් දෙන,

ඔවුන් සමග අන්තර් සබඳතා පවත්වන අතරවාරයේ රට නගා සිටුවන අංශ අරභයා කොන්දේසි විරහිත තීරණ ගැනීම අවශ්‍යය. රටට ආයෝජන කැඳවිය යුතුව තිබේ.

එය කිසිසේත් පහසු නැත. කර්මාන්ත හා ව්‍යාපාර බහුල කරන තීරණ ගත යුතුය. ශ්‍රී ලංකාවේ සම්පත්, ශ්‍රමය හා වෙළඳ පොළ අවස්ථා භාවිතා කර නිෂ්පාදන හා සේවා අංශ විවෘත කළ හැකිය. ඛනිජ තෙල්, විදුලිය උත්පාදනය, ප්‍රවාහන සේවා, අධ්‍යාපන වැනි අංශවල විශාල පරිවර්තනයක් ඇති කළ හැක.

රට විකුණන, ජාතික සම්පත් වෙන්දේසි කරන වැනි පටු විවේචනවලින් පලක් නැත. ඒවායේ එල්බ සිටි, එවැනි අදහස්වලින් යක්ෂයන් මවා රට භීතියට පත් කළ කුමන්ත්‍රණ වර්තමානයේ දී ගැළපෙන්නේ නැත.

ඉතාම ඉක්මනින් දරුණු ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතුව ඇත.

විනිමය උපයන අලුත් මාර්ග සොයාගත යුතුව තිබේ. සංචාරක ව්‍යාපාරය හෝ විදේශ රැකියා ආදායම ක්ෂණිකව සපයා ගත හැක. විනිමය අනුපාතිකය සහ රට තුළ පවතින සන්සුන් භාවය එහි ලා වැදගත්ය.

තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හෝ සිංගප්පූරුව වැනි රටවල් සමග සසඳනවිට මෙරටට සංචාරක පැමිණීම ඉතාම පහළ තැනට වැටී ඇත.

විනිමය ලබාගත හැකි මාර්ගවලට දොරටු හැරීම අලුත් ජනාධිපතිවරයා වෙත පැවරෙන වගකීමකි.

තෝරාගත් ජන කොටසට පමණක් සහන දෙන අතර අසීමිත සහනවලින් අය වැය පරතරය පාලනය කරගත යුතුය.

හිඟය වැඩි වන විට ඒවා පියවන්නට ගත යුතු ක්‍රියාමාර්ග ජනතාව මත පැටැවෙන අතිරේක බරකි. ව්‍යාපාරිකයන්ට බදු වැඩි කළ හැකි නමුත් ඒවා ගෙවන්නේ පාරිභෝගිකයන් බව අමතක කළ යුතු නැත. උද්ධමනය අඩු කරන, ආර්ථිකය සක්‍රිය කරන පියවර සඳහා තීරණ ගත යුතුය. පොලී අනුපාත පාලනය ඉතාම වැදගත්ය.

අතරමැදියන් අවම කරන තාක්ෂණික පියවර සඳහා රටට අවස්ථාවක් ඇත. රජයේ සේවය මෙවැනි අලුත් පැති කරා යෙදවිය යුතුව තිබේ. කෘෂිකර්මය දියුණු කළ යුතු අතර ජනගහනයේ වයස්ගත කොටස සම්බන්ධ කරගත හැකි සේවා ආර්ථිකයක් ගොඩනැගිය යුතුව ඇත. රජය සිය ව්‍යවසායකත්ව ආකල්ප අත්හැර දැමීම වැදගත්ය. අධික පාඩු ලබාදෙන ව්‍යවසාය ආරක්ෂා කිරීමට ජනතාව විශාල වන්දියක් ගෙවයි. කාර්ය සාධනය සඳහා පෞද්ගලික අංශයේ සම්බන්ධතාව වැඩි කරගැනීම ඉතාම වැදගත්ය.

නිෂ්පාදනය දියුණු කරන අලුත් සැලසුම්

අධ්‍යාපනය, සෞඛ්‍ය, වෙළඳාම ඇතුළු අංශ සඳහා ජාත්‍යන්තරය සමග සම්බන්ධ විය යුතු තරම ගාලුමුවදොර අරගලයේ කොටස්කරුවන් නොදන්නවා නොවේ. ලෝකයේ හැඩ තලය, වැඩිපුරම දන්නෝ අරගලකරුවෝ ය. ලෝකයේ සමහර රටවල් අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ ගැන තරුණ පරපුරට අවබෝධයක් ඇත. ලෝකයේ වෙනත් රටක දී, ඕනෑම දුෂ්කරතාවක් මැද වැඩ කරන්නට කැමැති පිරිසගේ ශක්තිය අලුත් මතධාරී දේශපාලනඥයන් ද සටන් කරන අරගලකරුවන් ද මෙම තීරණාත්මක අවස්ථාවේ දී ප්‍රයෝජනයට ගත යුතුය. ජාත්‍යන්තර ප්‍රවණතා අනුව තීරණ ගෙන විනිමය උත්පාදනය කළ හැකි අංශ යෝජනා කළ යුතු අතර ඒවාට පහසුකම් සැලසිය යුතුය. ජනමාධ්‍ය, විශේෂයෙන් සමාජ මාධ්‍යවලට විශාල වගකීමක් තිබේ. අවස්ථා ගණනාවක දී විනාශය අභිමුවට පැමිණිය නමුත් පාඩමක් ඉගෙන ගෙන නැති ජන සමාජය නැවතත් තල්ලු කිරීම පහසුය.

ශ්‍රී ලංකාවට වහාම අවශ්‍ය මධ්‍ය හා මහා පරිමාණ නිෂ්පාදන ජාලයකි. තත්ත්වයෙන් උසස්, ජාත්‍යන්තර වෙළඳ පොළේ පවතින මිලට අඩුවෙන් නිපදවිය හැකි දෙයට ඉල්ලුමක් තිබේ. කාර්යක්ෂමතාව හා ඵලදායීතාව එහි ලා වැදගත්ය. ශ්‍රමය උපයෝගී කරගන්නා ආකාරය, ප්‍රවාහන විධි, තාක්ෂණය භාවිතා කරන අන්දම අලුත් යුගයකට ශ්‍රී ලංකාව යොමු කරනු ඇත. තාක්ෂණ යුගයේ සේවා අංශයට කැපවිය හැකි ජන කොටසක් අපට ඇත. තරගකාරීත්වය අමතක කළ යුතු නැත. ලෝකයේ අනෙක් රටකට වඩා සූක්ෂමව ඉදිරියෙන් සිටිය යුතු අතර එයට අවශ්‍ය දැනුම, තාක්ෂණය සහ ක්‍රියාපටිපාටිය කොතැනකින් හෝ උපයා ගත යුතුය. එම අභියෝග ජයගැනීමට වෙහෙසෙන ජනතාවට අවස්ථා සම්පාදනය කරන අතර රාජ්‍ය සේවයේ පරිවර්තනයක් තුළින් ලිහිල් ව්‍යුහයක් සකස් කරදීම අලුත් පාලකයන්ගේ වගකීමකි. අලුත් අණ පනත් හා ඉක්මන් තීරණ ගැනීම අතින් ලෝකයේ අනෙක් රටවලට වඩා ඉදිරියට යා යුතුව ඇත.

(*** සාරා කන්දෙගොඩ)



අදහස් (1)

නිර්භීත තීරණ ගතයුතු යුගයක්

Vinivida Wednesday, 20 July 2022 05:55 PM

ශ්‍රී ලංකාවට අලුත් යුගයක්, නව දේපාලන සම්ප්‍රදායක් අවශ්‍යව තිබේ. වෙනස් වන දියුණුවන ලෝකයේ ශ්‍රී ලංකාවත් වෙනස් විය යුතුවේ. ශ්‍රී ලංකාව අලුත් යුගයක් වෙත ගෙන යාම සඳහා පසුබිම නිර්මාණය කිරීමට අවශ්‍යව තිබේ. ජාතින් වශයෙන් ආගම් වශයෙන් බෙදී රට දියුණු කළ නොහැකි බව සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මානුෂීය අරගලයට සහභාගී වූ (අන්තවාදී අරගලකරුවන්ගේ අරගලය නොවේ) සියලු ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තුව මෙන්ම ඔවුන් රටට ලබාදුන් පණිවිඩයද වේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1997 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11376 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 519 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 896 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 957 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 484 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site