IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


නවසීලන්ත අගමැතිනිය පෙන්වූ නියම ආදර්ශය

රටක නායකයා අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ විය හැක. ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේ නායකයන් බිහිවන්නේ මහජනතාවගේ ඡන්දයෙනි. ඡන්දයකින් බලයට පත්වන නායකයා කවරකු වුවද ඔහුට හෝ ඇයට අයිති වරප්‍රසාද ගණනාවකි. රටකින් රටකට මේ වරප්‍රසාදවල වෙනස්කම් පැවතිය හැකි වුවද ඒවා ධූරයට පමණක් අදාළ බවත් පුද්ගලයකුට ඒවා අදාළ කරගත නොහැකි බවත් යන්න අවිවාදිතය. එහෙත් එසේ නොවන අවස්ථා ද තිබෙන බවත් සඳහන් කළ යුතුය.

අප මේ කරුණු සැකෙවින් සඳහන් කළේ තේ බීම සඳහා තේ පැන්හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආඩේන් සහ ඇයගේ සහකරුට ආපසු හැරී යාමට සිදු වූ ප්‍රවෘත්තිය දැකීම හේතුවෙනි. නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය ව්‍යාප්ත වීම සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේම අවධානයට ලක්වූ රටක් වෙයි. රටේ සෞඛ්‍ය පද්ධතිය පීඩනයකට හසුවීමට පෙර වසංගතය සාර්ථකව පාලනය කරගැනීමට නායකත්වය දුන් නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආඩේන්, එරට ජනතාවගේ පමණක් නොව ලෝකයේම ගෞරවයටත් ඉහළ පිළිගැනීමටත් ලක් වී සිටින්නීය. තේ පැන් සලේ ඉඩකඩ නොමැති වීම නිසා ආපසු හැරී යාමට සිදුවූයේ එවන් ගෞරවණීය නායකයකුටය.

කොරෝනා වසංගතය පසුබැසීමත් සමඟ නවසීලන්තයේ ‘දොරගුළු’ද ක්‍රමානුකූලව විවෘත කෙරිණි. එහිදී දැඩි සීමා පැනවීම ද සිදුවිය. එහි එක් ප්‍රතිඵලයක් වී තිබුණේ අවන්හල් ඇතුළු ජනතාව කෑම බීම ගන්නා සියලු‍ හෝටල් විවෘත කිරීමට අවසර ලැබුණ ද කායික දුරස්ථභාවය රැකගැනීම අත්‍යවශ්‍ය  කොන්දේසියක් වීමය. තේ පැන් හලට පසුගිය සෙනසුරාදා තම සහකරු සමඟ අග්‍රාමාත්‍යවරිය ගිය අවස්ථාවේ ඒ තුළ කායික දුරස්ථභාවය රකිමින් පනවා තිබූ ආසන සියල්ල පිරී තිබීම හේතුවෙන් අවන්හල විසින් ඈ ආපසු හරවා යවනු ලැබුවාය. තම රටේ පමණක් නොව ලෝකයේම ගෞරවයට නතුව සිටි රටේ නායිකාව වුවද ඇය තම තනතුරට අදාළ වරප්‍රසාද එහිදී භාවිත කිරීමට තැත් නොකළාය. ඒ වෙනුවට ඇය ආපසු හැරී ගියේ සමාජය තුළ සෙසු පිරිසට ක්‍රියාත්මක නීතිරීතිවලට තමාද යටත් වන බව තම ක්‍රියාපිළිවෙතින්ම පෙන්නුම් කරමිනි. එය ඉතාම දුර්ලභ මෙන්ම යහපත් වූ ආදර්ශයක් බව පෙන්වා දිය යුතුය.

තම ධූරයට අදාළ වරප්‍රසාද පෞද්ගලිකව පරිහරණය කරමින් රටේ සෙසු සියලු‍ ජනතාව තම යටත් වැස්සන් වශයෙන් සලකන අපේ රටේ ඇතැම් මැති ඇමැතිලාට ද මෙය කදිම පාඩමකි. තනතුරින් පිම්බී රාජ උෂ්ණත්වයෙන් මත් වී තමන් පය තබන කිසිම තැනකට සාමාන්‍ය මිනිසුන් පය නොගැසිය යුතු බවට සිතමින් කටයුතු කරන එවැනි හිස උදුම්මාගත් චරිත රටක ජනතාව අතරින් ප්‍රතික්ෂේප වන්නේ නිතැතිණි. පෞද්ගලික විනෝද ගමනකදී පවා ආරක්ෂක රථ පිරිවරාගෙන තමන්ගේ ආරක්ෂාවට පමණක් නොව තම පවුලේ සාමාජිකයන්ට ද රැකවලු‍න් තබා ගනිමින් හෝටල්වලට ගොස් තම ආධිපත්‍යය පෙන්වීමට උත්සාහ කරන අපේ ඇතැම් දේශපාලන ලොකු ලොක්කන්ට නම් මෙවැනි සිදුවීම් අදහන්නටත් බැරි වනු ඇත. සමහර ප්‍රබලයන් කාර්යාලයේ විදුලි සෝපානය පාවිච්චි කරන විට තවත් කෙනකුට යා නොහැක. මෙවැනි සිද්ධි ද සමාජයේ කොතෙකුත් වෙයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ දේශපාලන නායකයන් ක්‍රියා කළ යුත්තේ නවසීලන්තයේ අගමැතිනිය ක්‍රියා කළ ආකාරයට මිස, හිස උදුම්මාගෙන වරප්‍රසාද තමන්ගේ නීතිය බවට පත් කරගන්නා දේශපාලකයන්ගේ ආකාරයට නොවන බව ඔවුන් තේරුම් ගත යුතුය.

දේශපාලන නායකයන්ට අදාළ වරප්‍රසාද සහ සුවිශේෂී සැලකුම් තිබිය යුත්තේ තනතුරට අදාළව පමණක් බව අපි මීට ඉහතින් සඳහන් කළෙමු. එම වරප්‍රසාද රාජ්‍ය නායක තනතුරට අදාළ සියලු‍ රාජකාරිවලදී භාවිත කිරීම ද අවශ්‍යය. රාජකාරියට අදාළ වරප්‍රසාද භාවිත නොකිරීම උසස් නායකයකුගේ ලක්ෂණයක් නොවන බවද මෙහිදී පෙන්වා දිය යුතුය. අපේ රටේ ද මීට දශක කිහිපයකට ඉහතදී එවන් නායකයන්, මැති ඇමැතිවරුන් සිටි බවද අපගේ මතකයේ රැඳී තිබේ.

බැංකුවලට සද්ද නැතිව ගොස් පෝලිමේ සිට තම චෙක්පත මාරු කරගත් ඇමැතිවරුද සාප්පුවලට ගොස් තමන්ට අවශ්‍ය දෑ තෝරාගෙන මුදල් ගෙවා නිහඬව පිටව ගිය නායකයෝ ද සිටියහ. පවුලේ අය සමඟ කිසිදු වෙනසකින් තොරව හෝටල්වලට ගොස් ආහාර පාන ලබාගත් අය සේම තමන් පැමිණෙන විට සෙසු සියලු‍ දෙනා ඉවත් කළ යුතු බවට අණ දී පැමිණි ලොක්කෝ ද සිටියහ. වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරන පිරිස සහ එසේ නොකරන පිරිස පිළිබඳ පැහැදිලි මතකයක් රටේ ජනතාවගේ හදවත් තුළ නොමැකෙන ලෙස පවතින බව ඇතැම් මැති ඇමැතිලා දන්නේම නැත.

සුද්දන්ගේ රටවල සංස්කෘතිය ආසියානු රටවල සංස්කෘතියට වඩා බෙහෙවින් වෙනස් බව අපි දනිමු. ඇතැම්විට සුද්දන්ගේ රටවල ක්‍රියාකාරකම් පහත් ලෙස සැලකීමටත් ඒ දෙස අවඥාවෙන් බැලීමටත් අපි පුරුදුව සිටිමු. එහෙත් එය සෑමවිටම එසේ නොවන බවටත් ඔවුන්ගෙන් අප රටවලට විශේෂයෙන්ම දේශපාලන නායකයන්ට ඉගෙනගන්නට යහපත් පාඩම් බොහෝ සෙයින් තිබෙන බවටත් නවසීලන්ත අගමැතිනියගේ ක්‍රියාව අපට පෙන්වා දී තිබේ.

 



අදහස් (4)

නවසීලන්ත අගමැතිනිය පෙන්වූ නියම ආදර්ශය

දිමුත් Wednesday, 20 May 2020 12:47 PM

මම ඉන්න රටේ අගමැතිව ආපහු හරෝලා යැව්වා නම් එහෙම දේශප්‍රේමීන් විසින් කඩෙත් කුඩුකරලා කඩේ අයිතිකරුවයි සේවකයෝ ටිකයි දේශද්‍රෝහීන් හැටියට නම්කරලා හිරෙත් දානවා...

:       209       130

Esala Thursday, 21 May 2020 12:59 PM

ලංකාවේ රජය ගත් පියවරවල් වල කිසිම අගයක් තේරෙන්නේ නැති සමහරක් අපි අපිවම හෑල්ලුවට ලක්කර ගන්නවා. නවසීලන්තයේ ජනගහනය මිලියන 4.3 යි. ලංකාවේ ජනගහනය මිලියන 23.4 යි. පස් ගුණයක්. නවසිලන්තේ කොරෝනා අසාදිත 1.950 ක් ලංකාවේ 1,030. නවසිලන්තේ මැරුණු රෝගීන් 21, ලංකාවේ මැරුණු රෝගීන් 9 යි. මේ දත්ත වලින්ම තේරෙනවා කොරෝනා පාලනයට විශිෂ්ට සේවයක් ලංකාවේ රජය විසින් කර තිබෙන බව. ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර විය යුතුයි. අපි අපිටම අපහාස කර ගන්නේ නැතිව...

:       306       139

chandima Friday, 22 May 2020 12:40 AM

අපි ඉතින් ලෝකෙන් උතුම් රටනේ? එ්කයි අනික් රටවල්වල සැමදෙයක්ම පහත් කරන්නේ.

:       57       283

Kavinda Friday, 22 May 2020 05:05 PM

දිමුත්, පරණ ආණ්ඩුව පෙරලුණා.. එයාට පොඩි වැරදීමක් වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 200 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 119 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 175 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 501 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 141 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 46 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 232 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 67 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1094 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site