IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නව ආර්ථික මොඩලයකට යායුතු ඇයි?

පශ්චාත් කොවිඩ් ලෝකයෙහි සියලු රටවලට බලපාන ආර්ථික බලපෑමින් මිදෙන්නට අපට පමණක් හැකියාවක් නැත. ඇත්තවශයෙන්ම එය අප රටට බලපෑම් කරනු ඇත්තේ වඩා තීව්‍ර ලෙසය. මන්දයත් එහිදී දැනටමත් අප වැටී සිටින ආර්ථික අගාධයේ පළල සුළුපටු නැති නිසාය. එහිදී මූලික වශයෙන්ම මගේ අවධානය යොමු වන කලාපයක් වන්නේ අපේ ආනයන අපනයන ආර්ථිකයයි. අපේ අපනයන වෙළෙඳපොළ දැන් තිබෙන්නේ අපේ පාලනයේ නොවේ. විදේශ විනිමය උපයන පැත්ත විමසිල්ලෙන් බැලීමෙන් එය තව පැහැදිලි කළ හැකිය. විදේශ විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් නම් තේය. ඇඟලුම්ය. අනෙක විදේශ සේවා නියුක්තිකයෝය. සංචාරක කර්මාන්තයයි. ප්‍රධාන ක්‍ෂේත්‍ර හතර එයයි. තේ යනු කවර තත්ත්වයක් පැමිණියත් මිනිසුන් පානය නතර කරන්නක් නොවේ. අනෙක් අතට කොරෝනා නිසා සිදුවුණේ තේ පානය වැඩිවීමය. එහෙත් ඇඟලුම් ආදිය එසේ නොවේ.

ඇඳුම් මිලදීගැනීමට මිනිස්සු ප්‍රමුඛ තැනක් නොදෙති. අනෙක් අතට යුරෝපාකරයේ ගන්නා ප්‍රතිපත්ති තීන්දු ද එයට බලපානු ඇත. එනිසා ඇඟලුම් ආදිය තිබෙන්නේ අපේ පාලනයෙන් බැහැරවය. විදේශ ශ්‍රමිකයන් වැඩිපුරම සිටින්නේ මැදපෙරදිග දකුණු කොරියාව ආදී කලාපවලය. එම රටවල ආර්ථික කඩාවැටීම් සමඟ බොහෝවිට මේ මිනිසුන්ගේ සේවා අත්හිටුවීමේ අවදානමක් මතුවේ. එසේ වුවහොත් මැදපෙරදිග ශ්‍රමිකයන් ද පෙරළා ලංකාවට ගෙන්වාගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇත. සංචාරක කර්මාන්තය කොවිඩ් 19 සමඟ කොහොමටත් වැටී ඇත්තේ අවුලකටය. ගුවන් තොටුපොළ විවෘත කළ ද රටට පැමිණෙන සංචාරකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැනගැනීම සඳහා සහතික කරගැනීම් අවශ්‍ය වනු ඇත. එවැනි පියවර අනිවාර් යයෙන්ම සංචාරක පැමිණීමට බලපෑමක් කරනු ඇත. මෙසේ බලද්දී විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ග තුනක්ම ඇත්තේ අවදානම් අඩියකය.

මේ තත්ත්වය තුළ අපට ඇති විකල්පය කුමක්දැයි අප දැන්ම කල්පනා කළ යුතුය. මට පෙනෙන ආර්ථික භූ දර්ශනය අනුව නම් අප යොමුවිය යුත්තේ මෙසේ අවදානමට වැටෙන විදේශ විනිමය උපැයුම් මංවලින් අහිමි වන ඩොලර් පංගුව රට තුළම ඉතිරි කරගැනීමකටය. එය නොකොට ආර්ථික වෘද්ධි වේගය නමැති මිථ්‍යාව පසුපස දිවීමේ නම් තේරුමක් නැත. විදේශයක ආධිපත්‍යය යටතේ හෝ මිනිසුන් කා බී ජීවත්වීම කමකට නැතැයි සිතන අයට නම් මෙය ගැටලුවක් නැත. එසේ නම් ඊට ඇත්තේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇමෙරිකානු ව්‍යවස්ථාව වන්නේ යැයි කියා එක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක පාලනයට යෑමය.

එහෙත් අපට අවශ්‍ය එය ද? නැත. අපට අවශ්‍ය ශ්‍රී ලංකාව ස්වෛරී රටක් හැටියට මේ රටේ අනාගත පරපුරට මේ රටේ සම්පත්වල භූමියේ ආර්ථිකයේ අයිතිය සුරක්ෂිත වන පරිදි තෘප්තිමත්ව ජීවත් වන ජනතාවකි. මෙහි මහා ලොකු අභ්‍යවකාශ විද්‍යාවක් නැත. අප සැමට අවශ්‍ය වන්නේ කා බී සාමයෙන් සංහිඳියාවෙන් ජීවත්වීමටය. අපට අවශ්‍ය එය නම් ආර්ථික වෘද්ධිය පසුපස මිරිඟුවක් පසුපස මෙන් දිවයාමේ තේරුමක් නැත.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය ආනයනය එපා යැයි කීමක් මෙයින් අදහස් වන්නේ නැත. අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් ඕනෑම නැත. දෙවැනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හැර කිසිවක් ආනයනය කළ යුතු නැත. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ද ආනයනය කළයුත්තේ දේශීයව නිෂ්පාදනය කළ නොහැකි නම් පමණි. දේශීයව නිෂ්පාදනයේදී යම් මුදලක් වැඩිපුර ගෙවන්නට සිදු වේ නම් එය ගෙවීමට අප සූදානම් විය යුතුය. උදාහරණයකට රටින් ගෙන්වන භාණ්ඩයක් රුපියල් දහසකට මිලදී ගන්නා පාරිභෝගිකයාට දේශීය නිෂ්පාදනය සඳහා රුපියල් එක්දහස් දහයක් දුන්නාට කම් නැත. මන්දයත් ඒ වැඩිවන රුපියල් දහය දේශීය නිෂ්පාදකයාට ආදායමක් වන බැවිනි. විශේෂයෙන් ආහාර, එළවළු වැනි නිෂ්පාදනවලදී මේ මුදල් යන්නේ අපේ ග්‍රාමීය දුප්පත් ගොවීන්ට වන බැවිනි.

පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය හා මෝටරිත නොවන ප්‍රවර්ධනය ද මේ තේමාවේදී අපේ අවධානයට ලක්විය යුතුම කොටසකි. අදටත් මා බම්බලපිටියේ දුම්රිය පොළේ සිට කොළඹ විශ්ව විද්‍යාලයට යන්නේ විශ්ව විද්‍යාල සිසුවකුව සිටි අවදියේ මෙන්ම පයින් ඇවිදගෙනය. එහෙත් අද වනවිට අපේ වත්මන් තරුණ පරම්පරාවට මේ දුර බස් රථයක හෝ කුලී රථයකින් හැර පා ගමනින් යෑම දුෂ්කර වී ඇත. පා පැදියකින් කිලෝ මීටර පහක දුරක් යන්නට මිනිසුන්ට කිසිදු අපහසුවක් නැත. අපේ ඈත ගම් දනව් දෙස බැලුවහොත් එය අත්දුටු සත්‍යයකි. අදටත් මේ රටේ සිසු දරුවන් රැසක්ම පාසල් යන්නේ පාපැදියෙනි. චීනය මතු නොව නෙදර්ලන්තය, ස්වීඩනය වැනි පෙර අපර දෙදිගම භාවිත කරන සාර්ථක ප්‍රවාහන මාධ්‍යයක් බවට අද වනවිට පා පැදිය පත්ව තිබේ. එය සෞඛ්‍යයට පමණක් නොව තමන්ගේ පොකැට්ටුවට ද හොඳය. පරිසරයට හොඳය. මොන අතින් බැලුවත් රටකට හොඳය. ඉන්ධන සඳහා මෙරටින් විදේශවලට ගලා යන මුදල් කන්දරාව මෙවැනි ප්‍රවාහන මාධ්‍ය මගින් කොපමණ නම් වළක්වා ගත හැකිද? එනිසා කිලෝ මීටර් පහකට අඩු දුරක් සඳහා පාපැදියකින් හෝ පයින් හැර බස් රථවල හෝ මෝටර් රථවලින් යාම අධෛර්යමත් කළ යුතුය.

ඖෂධ යනු අපට නැතිවම බැරි දෙයකි. එහෙත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තිබෙන්නේ හැත්තෑ ගණනකි. මෙම බෙහෙත් වර්ග දේශීයව නිෂ්පාදනය කරගැනීමට අපට බැරි ඇයි? ආහාර ද එසේය. මගේ මතය නම් ආහාර නම් ආනයනය කිරීම කිසිසේත් අවශ්‍ය නැති බවය. ඇත්තෙන්ම මේ හාල් මිල පාලන පියවර කුමක් සඳහාද කියා මට නම් තේරෙන්නේ නැත. ගොවියා නඟාසිටුවීමට නම් ගොවියාට වැඩිපුර ආදායමක් ලැබිය යුතුය. වී වල මිල දෙගුණ වන තරමට හොඳ මේ රටටමය. මිල වැඩි කිරීමේ වාසිය යන්නේ ගොවියාට නම් හාල් මිල තරමක් වැඩිවීම ප්‍රශ්නයක් නොවේ. ඒ සඳහා කළයුත්තේ ආනයනික සහල්වලට බදු ගැසීමය. ජපානය කරන්නේ එයයි. ජපානයේ හාල් ආනයනය තහනම්ය. ආනයනය කරන්නේ නම් 300%ක පමණ සුවිශේෂී බද්දක් පනවයි. එයින් සිදුවන්නේ හාල් නිෂ්පාදනයට දිරි දීමය. පාන් පිටිවලට සහන දීමෙන් එය කළ හැකි නොවේ.

මිනිසුන් එවිට කරන්නේ බත් වෙනුවට පාන් කෑමය. ඉතින් කෙළින්ම කිව්වොත් පාන් ගෙඩිය මේ මිලට විකිණීමෙන් ශ්‍රී ලංකාව ගොඩදාන්නට බැරිය. මෙසේ මිල වැඩිවීම නිසා සමාජයේ දරිද්‍ර කොටස්වලට ප්‍රශ්න පැන නගින්නේ නම් ඒ පිරිසට සහනයක් දිය හැකිය. පාසලේ නිල ඇඳුමට කූපන් දිය හැකි නම් සහල්වලට කූපන් දිය නොහැක්කේ ඇයි? ඒ කූපනය රැගෙන වෙළෙඳසලට ගිය විට ඊට නොමිලේ සහල් දුන්නත් පාඩු නැත. දැන් අප කරන්නේ කුමක් ද? තරු පහේ හෝටල්වලින් දිවා ආහාරය ගන්නා ධනපතීන්ට ද සහල් විකුණන්නේ රුපියල් අනූ අටටය. බියර් බෝතලයක් ගන්නට සුපිරි වෙළෙඳසලට යන තැනැත්තන්ට සහල් විකුණන්නේ රුපියල් අනූ අටටය. අපරාධ යනු ඒවාය. ඉතින් දැන් අප කළයුත්තේ කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකසාගැනීමය. ඒ හරහා අපට ආහාරයෙන් ස්වයංපෝෂිත විය හැකිය. අනිවාර්යයෙන්ම අපට නැගී සිටින්නට අවශ්‍ය නම් ස්වයංපෝෂිත තත්ත්වයට යෑම අත්‍යවශ්‍යය. වටේටම මුහුද ඇති මේ රටට මාළු ආනයනය කරන්නේ ඇයි? මේ සඳහා බලපා තිබෙන්නේ වෙළෙඳ ප්‍රතිපත්තියයි. අපට වෙළෙඳ ප්‍රතිපත්තිය සංශෝධනය කරගැනීමට බැරි නම් මා කියන කිසි දෙයක් ප්‍රායෝගික කරගන්නට නොහැකි වනු ඇත. ජාත්‍යන්තර තත්ත්ව නිසා ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්තියකට යන්නට අපට බැරි යැයි කවරකු හෝ කියන්නේ නම් මේ කියන දේවල් කරන්නට බැරි වනු ඇත. අප මොන කතා කීවත් ලෝකයේ දියුණුව අත්පත් කරගත් රටවල් නැගී සිටි රටවල් ඒ තත්ත්වයට පැමිණියේ ද එමගින් බව ද සත්‍යයකි.

ලංකාවේ කර්මාන්තකරුවා නඟාසිටුවීමට නම් පහසුවෙන් ඔහුට ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීමට මං තැනිය යුතුය. එහෙත් ලංකාවේදී ඒ වෙනුවට සිදුවුණේ තිබුණු සංවර්ධන බැංකු දෙකම පෞද්ගලීකරණයයි. අද වනවිට ජාතික ආර්ථිකයට දායක වන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පහසුවෙන් ණයක් ගැනීමට ක්‍රමයක් නැත. එනිසා රටට සංවර්ධන බැංකුවක් අත්‍යවශ්‍යව තිබේ. එය වර්තමානයේ වාණිජ පදනමින් තිබෙන පන්නයේ බැංකුවක් නොවේ. අතීතයේ පැවැති සංවර්ධන මූල්‍ය සංස්ථාව බඳු එකකි. ඒ හරහා ජාතික ආර්ථිකයට අවැසි කර්මාන්ත, නිෂ්පාදන, ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට අපට හැකිය. සියයට සියයක් ස්වයංපෝෂිත කතාව බොරුවකි. මේ කියන්නේ එවැන්නක් නොවේ. තාක්ෂණික බාධා නොමැතිව රට තුළ නිෂ්පාදනය කළ හැකි හැමදේම රටේ නිෂ්පාදනය කළ යුතුය.

ලෝකය විනාශ කරන, සම්පත් කාබාසිනියා කරන, ධරණීය නොවන හා මහ පොළවට දඬුවම් කරන ලිබරල්වාදී ආර්ථික රැල්ල අපට ගැළපෙන්නේ නැත. එය මානව වර්ගයාට පමණක් නොව සමස්ත ජෛව ප්‍රජාවටම හානිකරය. එහෙත් ශ්‍රී ලංකාව යනු බෞද්ධ සංස්කෘතික පදනමක් සහිත රාජ්‍යයකි. එහි මූලික දර්ශනයම ඇත්තේම අල්පේච්ඡතාවයි. එහෙව් දාර්ශනික මූල සහිත සමාජයක් මේ අධිපරිභෝජනවාදී කෑදර ක්‍රමයක ගැලී සිටිය යුතු නැත. ලිබරල්වාදී ආර්ථික මොඩලයේදී අපට මුණගැසෙන්නේ වෙළෙඳපොළ තුළ අතෘප්තිකර ලෙස ආශා ලුහුබඳින සත්වයෙකි. එහෙත් බෞද්ධ මානවයා යනු ආත්මාර්ථකාමී කෑදර සත්වයෙක් නොවේ. එනිසා ශ්‍රී ලාංකික පුරවැසියාට සිය බෞද්ධ උරුමයේ ඇති දාර්ශනික සමාජ හරය නිසි ලෙස ගළපා ගතහොත් යහපත් ආර්ථික ප්‍රතිසංස්කරණයකට පාර කැපීම අපහසු නැත. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණයේදී මූලික වන්නේ දෘෂ්ටිමය මඟපෙන්වීමය. ඒ සඳහා විසල්ම කාර්යභාරය පැවැරෙන්නේ අපේ රටේ අධ්‍යාපනයටය. ස්වදේශික චින්තනය සහිත එකී පුරවැසියා නිර්මාණයෙහි විසල්ම කාර්යභාරය පැවැරෙන්නේ අධ්‍යාපනයටය. බටහිර අධ්‍යාපන ක්‍රමය විසින් මෙතෙක් කල් සේවය කරනු ලැබ තිබෙන්නේ රටක අනන්‍යතාව, උරුමය සහ රට පිළිබඳ හැඟීමක් ඇති පුරවැසියකු නිර්මාණය කරගැනීමට නොවේ. දන්නා කල් පටන් උත්සාහ කර තිබෙන්නේ ගෝලීය පුරවැසියකු නිර්මාණයටය. මෙරට කම්කරුවාගේ ගොවියාගේ දහඩිය මහන්සියේ පිරිවැයෙන් අධ්‍යාපනය ලැබූවන් ගෝලීය පුරවැසියන් ලෙස සිතන්නට යාමේ අවසන් ප්‍රතිඵලය වී තිබෙන්නේ එලොවටත් මෙලොවටත් දෙකටම නැති මඟකට රට වැටීමය. අප මේ පුරවැසියන් තනන්නේ ඇමෙරිකාවේවත් ජපානයේවත් එංගලන්තයේවත් ඉන්දියාවේවත් සම්පත්වලින් නොවේ. ඉතින් එසේ තැනෙන පුරවැසියන් තුළ ‘‘අපි ලාංකිකයෝ’’ යන හැඟීම නැත්නම් පලක් නැත. ඉතින් දැන්වත් ස්වදේශිකත්වයට බර තබන ආර්ථිකයක් ගැන හැඟීමක් ලේ ඇට මිදුළුවලට එන්නත් කළ අධ්‍යාපනයක් රටට අවශ්‍ය කර තිබේ. නොඑසේව ලාංකිකයන්ගේ දහඩිය මහන්සියෙන් තෘතීයික අධ්‍යාපනය ලබා උපාධි ගසන ගෝලීය පුරවැසියන් තවදුරටත් විදේශවලටම සේවය කරනු ඇත.

ඇත්තටම මේ කලක් තිස්සේ අප තනන ගෝලීය පුරවැසියාට සිය මව් රට යනු තවත් වෙළෙඳපොළක් පමණි. එතැනින් ඔබ්බට මේ මගේ රට යැයි හැඟීමක් ඔවුන්ට නැත. සරල සමීකරණයක නොපවතින විචල්‍යයකට අගයක් නැති බව අපි දනිමු. මේ ගෝලීය පුරවැසියන්ගේ ආර්ථික සමීකරණයෙහි මව් රට යන විචල්‍ය නැති කල ඊට අගයක් කොයින්ද? ආර්ථික විද්‍යාඥයන් වර්ණනා කරන කේන්සියානු මාදිලිය යනු ද ජාතික ආර්ථික මාදිලියකි. 1930 දී ආර්ථික අවපාතයෙන් ගොඩ එනු වස් එය සැකැසුවේ බ්‍රිතාන්‍යයටය. සරලව කිවහොත් එරට ආර්ථික විද්‍යාඥයන් ආණ්ඩුවට කියා සිටියේ අයවැය හිඟය ගැන වද නොවී මිනිසුන්ගේ ආදායම් මට්ටම ඉහළ දැමීමට මුදල් පොම්ප කරන්නැයි කියාය. එහි නොකියා කියැවුණු කතාව නම් ඒ ආදායම පාවිච්චි කර මිනිසුන් රට තුළ භාණ්ඩ මිලදී ගැනීමය. කේන්සියානු ක්‍රමය සාර්ථක වීමේ පූර්ව කොන්දේසිය නම් ආරක්ෂණවාදයයි. ඉතින් අප දැන්වත් එය තේරුම් ගත යුතුය. අපේ දේ අප පරිභෝජනය නොකරන තාක් කල් කේන්සියානු තල්ලුව ලැබෙන්නේ ජාතික ආර්ථිකයකට නොව ගෝලීය ආර්ථිකයකටය. සැබැවින්ම කොවිඩ් 19 ලෝකය විසින් අප දැන් තල්ලු කරනු ලැබ තිබෙන්නේ මෙතෙක් කල් වචනවල එල්ලී හරඹ පෑ ආර්ථික විජ්ජාවලින් ගැලවීමට දෑස් පාදාගැනීමටය.

කේන්සියානු හෝ නව ලිබරල් ආදී සිද්ධාන්ත හා න්‍යායවලින් මිදී දැන්වත් අපේම ආර්ථිකයකට මඟ හසර විවර කරගැනීමට මේ මොහොත පාවිච්චි කළ යුතුය. අසීමිත න්‍යායවාදීන් නොවී අපේම සමාජ ආගමික මූලික හර සංයුක්ත කරගත් ආර්ථික මාවතකට අවතීර්ණ වීමට මේ නම් හොඳම මොහොතකි.

 

(*** සටහන- බිඟුන් මේනක ගමගේ)



අදහස් (9)

නව ආර්ථික මොඩලයකට යායුතු ඇයි?

සුභාණි දිලූෂා Thursday, 28 May 2020 07:44 AM

ඉතා වටිනා ප්‍රායෝගික යෝ්ජනාවන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට රජයේ මෙන්ම මහජනතාවගේද කැපකිරීම අත්‍යාවශ්‍යයි.

:       3       9

sena Thursday, 28 May 2020 09:07 AM

මට මතක් වුණේ මැතිණිගේ ආණ්ඩු කාලය. ලබන මැයි දිනේදී ප්‍රධාන සටන් පාඨය "මිරිස් නැතුව හොදි කන්නම් සීනි නැතුව තේ බොන්නම් ගෝඨා අපිට කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම්"...

:       2       18

pathirana Thursday, 28 May 2020 10:05 AM

මොන ආර්ථිකේ ගෙනාවත් ලංකාවේ සාර්ථක කරන්න බැහැ. ප්‍රධාන හේතුව ඒවගේ ආර්ථික ප්‍රතිපත්තියක් ගෙනාවත් දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න වැරදි නිවැරදි කරන්න තරම් දැනුමක් හෝ වුවමනාවක් මේ රටේ පාලකයින්ට නැහැ. සිද්දවෙන හැම සුළු වැරැද්දක්ම විපක්ෂය සටන් පාඨයක් කරගන්නවා. අපේ රටේ දිනන්නේ හොඳම සටන් පාඨය ඉදිරිපත් කරන පක්ෂය කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...

:       0       24

Buddhika P Thursday, 28 May 2020 11:50 AM

පොදු සමාජයට යොමු කරන ලිපි වල සැකැස්ම පිලිබඳ හොඳ උදාහරණයක් මෙතුමා සපයනවා. අපේ රට ගොඩ නගන්න පුළුවන් මෙතුමා දෙන, බිග් පික්චර් එකට මම එකඟයි. කාර් එක ඩිසයින් කරාට කවුද එන්ජිම හදන්න දන්නේ? වෙනත් වචන වලින් කිව්වොත්, බහුවිද දැනුම් මණ්ඩලයක් අපිට අවශ්‍යයි, රට ගොඩ නගන්න. එහෙමයි සර්, උගත් වහලුන්ගෙන් පුළුවන් වෙන්නේ තමන්ගේ ඊළඟ පරම්පරාවට ඉනිමන් බඳින්න උදවුවක් ගන්න විතරයි. ආර්ථික විද්‍යාඥයෙකුට සමාජ සංස්කෘතිය, හර පද්දති, ජන බස, සිතුම් පැතුම් ආදී හා ජන හද ගැස්ම හොඳින් දැනෙන්නෙකු විය යුතුයි. බටහිර දැනුමට දේශීයත්වය කවන හා ඒ තුලින් වැඩි යමක් අලුතින් රටට දායාද කරන මිනිසුන් තමයි දේශයන් ඔසවා තබන්නේ. ජපානේ ටෝයෝටා වගේ ව්‍යාපාරිකයෝ පවා කලේ ඒ දේමයි. මමත් හිටියේ මේ කැම්පස් එකෙමයි. අපි ටිකක් සමකාලීනයි කියන්නත් පුළුවන්. මෙතුමාට මීට එහා මේ ලිපිය කාර්ය සාධන මට්ටමට ගෙනියන්න බෑ. කෝටි 1-1/2 වැඩි කාර් ජීප් වාහන ආනයනය අවු 5 කට තහනම් කර යුතුයි කියන්න බයයි. එහෙම උනොත් මට වුනා වගේ රස්සාව දාල රට එන්න තමයි වෙන්නේ. රාමුව චුට්ටක් හරි පෙන්නලා නතර වුනේ ඒකයි.

:       0       0

damayanthi peiris Thursday, 28 May 2020 09:39 PM

ඉතාමත් හොඳ අදහසක්...

:       3       1

විමල් බොරලැස්ස Friday, 29 May 2020 05:36 PM

මේ ගුණරුවන් ආර්ථිකය නැතිම කළා... මිලේනියම් ව්‍යාපෘතියට විරුද්ධ වුණා, රටට ඩොලර් කෝටි 480ක් නැතිවුණා. හැබැයි මෙයා දැන් සිංගප්පූරු ගිවිසුම ගැන කතා නැහැ.. ඒ දවස්වල මරහඬ දී කෑ ගැහුවා මතකයි.

:       0       0

විසිදාගම Saturday, 30 May 2020 02:40 AM

උග්‍ර බටහිර විරෝධියෙක් මෙයා. වාමාංශික අදහස් තියෙන අය එක්ක රටක් දියුණු කරන්න අමාරුයි. පේනවනේ සෝවියට් දේශයට මොකද වුනේ කියලා.

:       46       67

vidya Saturday, 30 May 2020 09:41 PM

මේ අදහස ඉතාම කදිමයි. අවුරුදු 30ක යුද්ධය ඉවරවෙලා පටන් ගන්න තිබුණු වැඩ පිළිවෙල හරියට කෙරුනේ නෑ. අයිතිකාරයින් නැති ගෙවල් හදලා පෑලදොරින් සමහරු පැනල ගියා. ඒ ගොල්ලන්ම ඇවිත් අායෙමත් හදන්න ගිහින් අායෙමත් ලෝකයට ණය වෙලා පරණ දේවල්ම කළොත් ලොකුම වලකට තමයි වැටෙන්නේ... කොමියුනිස්ට් ක්‍රමය ලෝකයේ කිසිම රටකට හරි ගියේ නෑ...

:       0       0

thusitha Sunday, 31 May 2020 05:48 AM

ඉතාමත් කාලෝචිත අදහසකි. මෙම අදහස බැලිය යත්තේ ඉදිරිපත් කළ කෙනාවත් ඔහු ඉගෙනගත් තැනත් අනුව නොව මින් කියන්නේ කුමක්ද යන්න මතයි. බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත වීම වර්තමානයේදී කිසිදු රටකට ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. නමුත් අප අපට පුළුවන් දේවත් නිෂ්පාදනය කර පරිභෝජනය කළයුතුයි. එළවලු පාත්තිය බුරුල් කරන අත් මුල්ලුවේ සිට ගඩොල් කැටය දක්වාත්, සරුන්ගලයේ සිට වෙසක් කූඩුව දක්වාත්, සෙරෙප්පු දෙකේ සිට සංස්කෘතික උරුමයක සිහිවටනය දක්වාත් සබ්බ සකලමනාවම ලාභ නිසා පිටින් ගෙන්වන්නට යාමේ ප්‍රතිවිපාක දැන් අපි අත් විඳිමින් සිටිමු.

:       23       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 74 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1419 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 660 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 208 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4665 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12994 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site