IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


නව පනතින් ආර්ථික ප්‍රාර්ථනා ඉටුවේද?

නව ලිබරල් ආර්ථික රාමුව තවදුරටත් පුළුල් කරමින්, නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය මත පදනම් වූ, පෞද්ගලීකරණය, විදේශ ආයෝජනය, ජාත්‍යන්තර වෙළෙඳාම කෙරෙහි වැඩි නඹුරුවක් සහිත ආර්ථික පරිවර්තන කෙටුම් පත මේ වනවිට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ආණ්ඩුව ලබාගෙන ඇති ද්විපාර්ශික විදේශ ණය හා වෙළෙඳපොළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා මත මේ පරිවර්තන කළ යුතුව ඇත. මෙම කෙටුම් පතෙන් ඉදිරිපත් කර ඇති සාර්ව ආර්ථික අභියෝග අපට ජය ගත හැකි නම් මේ අර්ථික අර්බුදයෙන් ගොඩ යා හැකි බව ආණ්ඩුවේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරයයි. මෙම සාර්ව ආර්ථික අභියෝග ජය ගත හැකි නම් රටක් හැටියට අප සතුටු විය යුතුය. එසේ නම් එම අභියෝග කොතරම් යථාර්ථවාදී ද? ඒවා ජය ගත හැක්කේ කාටද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. ආර්ථික පරිවර්තන කෙටුම් පතෙහි ඇති ආර්ථික අභියෝග කීපයක් පමණක් පදනම් කර ගනිමින් මෙම විග්‍රහය ඉදිරිපත් කරනු ඇත.

අභියෝග 01 - දළ දේශීය නිෂ්පාදිතයට රාජ්‍ය ණය අනුපාතය 2032 වර්ෂය වනවිට සහ ඉන් පසුව සියයට 95 වඩා අඩු විය යුතුය.

2023 වසරේ දළ දේශීය නිෂ්පාදිතයට රාජ්‍ය ණය අනුපාතය සියයට 104.4 කි. ලංකාවේ මෙම අගය වැඩිම වසර වූයේ 2022 වසරයි. එම අගය සියයට 120.9 ක් බව ලෝක බැංකුව පෙන්වා දෙයි. එයට ප්‍රධාන හේතුව වූයේ රටේ ආර්ථික අවපාතය හමුවේ දළ දේශීය නිෂ්පාදිතය එම වසරේ ඇ.ඩො. බිලියන 66 දක්වා කඩා වැටීමයි. පසුගිය දශකය පුරාවට ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. බිලියන 80 - 90 අතර පරාසයේ පැවතුණි. දළ දේශීය නිෂ්පාදිතයට රාජ්‍ය ණය අනුපාතය අඩුම වසර වූයේ 2018 වන අතර එම අගය වූයේ සියයට 72 කි. මෙම අභියෝගය ජය ගැනීමට නම් විකල්ප දෙකක් ඇත. එනම් මෙරට වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ගැනීම හෝ රාජ්‍ය ණය පාලනය කර ගැනීමයි. 

ආර්ථික පරිවර්තන කෙටුම්පතෙහි ඇති, නව ලිබරල් ආර්ථික රාමුව ක්‍රියාත්මක කිරීමට නම් විදෙස් ණය අත්‍යාවශ්‍ය වේ. විදෙස් ආයෝජන සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් සඳහා විදෙස් ණය ගත යුතු වේ. කොටින්ම වසරකට අපගේ වෙළෙඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 8ත්, අයවැය හිඟය ඩොලර් බිලියන 5ත් පියවා ගැනීම සඳහා ණය ගත යුතුවේ. ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මුදල් අච්චු ගැසීම සීමා කර ඇති බැවින්ද, දේශීය බැංකු මත පීඩනය සීමා කර ඇති බැවින්ද, විදෙස් ණය වලින් මිදිය නොහැක. එහෙත්  දැනට විදෙස් ණය පැහැර හැර ඇති බංකලොත් රාජ්‍යයකට තවදුරටත් ණය ලබා ගැනීම පහසු නොවනු ඇත. මේ නිසා මෙරට වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය ඇ. ඩොලර් බිලියන 100 ඉක්මවා යන මට්ටමට අප ළඟා විය යුතුමය. ඒ සඳහා ඇති වැඩ පිළිවෙළ කුමක්ද? දළ දේශීය නිෂ්පාදිතයට රාජ්‍ය ණය අනුපාතය ඉන්දියාවේ සියයට 59ක් ද, මැලේසියාවේ සියයට 65ක් ද, නේපාලයේ සියයට 39ක්ද වේ. මෙයින් කියවෙන්නේ එම රටවල් රාජ්‍ය ණය කොතරම් හොඳින් කළමනාකරණය කර ඇද්ද යන්නත්, ඒවා කොතරම් ප්‍රසස්ථ මට්ටමින් භාවිතා කර ඇද්ද යන්නයි.

අභියෝග 02 - 2027 වර්ෂය වනවිට වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට 5 මට්ටමට ළඟාවීම හා ඉන් පසුව සියයට 5 ඉක්ම වූ ආර්ථික වර්ධනය.

සමස්ත සාර්ව ආර්ථික විචල්‍යවල පැවැත්ම මෙම අභියෝගය මත රඳාපවතී. මෙම අරමුණ  ළඟා කර ගැනීමට හැකි නම් එය ඉතා හොඳ තත්වයකි. ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වැඩිම වර්ධනයක් තිබුණේ 2012 වසරේදීය. එය සියයට 8.6කි. ඒ වගේම ඉතිහාසය පුරාවට අඩුම ආර්ථීක වර්ධනය සටහන් කළේ 2022 වසරේදීය. එය සියයට -7.8 කි. මෙලෙස ලංකාවේ ඍණ ආර්ථික වර්ධනයක් ඉතිහාසයේ තවත් වසර 4ක ඇති වී තිබේ. එනම් 1972 (-0.4%), 2001 (-1.5%), 2019 (-0.22%), 2020 (-4.6%) යන වසර වලය. 1950 - 60 දශකයේ දළ දේශීය නිෂ්පාදනය වර්ධනයේ සාමන්‍ය සියයට 4.6කි. එම අගය 1960 - 70 දශකයේ සියයට 3.9කි. 71 - 74 කාලයේ සියයට 2.6 කි. 1990-2000 දශකයේ මෙහි සාමාන්‍යය සියයට 5.3ක් ද, 2001 - 2010 කාලයේ සියයට 5.85 ක් ද 2011 - 2020 කාලයේ සියයට 4.1ක් ද විය. මේ අනුව මේ ඉලක්කය මීට පෙර දශක දෙකකම අත්පත් කරගෙන ඇත. අවසාන දශකයේ (2010 - 2020) මෙම සියයට 5 ක වර්ධනය ළඟා කර ගෙන නොමැත.

එහෙත් ඉදිරි වසරවල දී මෙම ඉලක්කය වෙත යා යුත්තේ විදෙස් ණය ලබා ගැනීමේ සීමාව යටතේ වීම විශාල අභියෝගයකි. දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සියයට 5 මට්ටමට ළඟාවීමට නම් නව අයෝජන හා නව නිෂ්පාදන ගොඩනැගිය යුතුමය.  ඒ සඳහා විදෙස් ණය අවශ්‍ය වන අතර ඒ ණය සීමාවලට යටත්ව මෙම වර්ධන ඉලක්ක වෙත යාම තවත් අභියෝගයකි.

අභියෝග 03 - ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1ක් නොයික්මවීම. 

විදෙස් සංචිත එකාරාශී කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම ඉලක්කය ඉතා වැදගත් වේ. එහෙත් මෙය එතරම් පහසු නොවන්නේ ලංකාව භාණ්ඩ ආනයනය මතම රැඳුනු රාජයක් වීම නිසාය. එක් අතකින් ඉලක්ක ගත ආර්ථික වර්ධනයක් කරා යා යුතුය. ඒ සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කිරීමට විශාල ආයෝජන හා අන්තර් භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කළ යුතුය. අනෙක් අතට ජංගම ගිණුමේ හිඟය වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1ක් නොයික්ම විය යුතුය.

ලංකාවේ ජංගම ගිණුම අතිරික්තයක් (ආනයන අපනය පරතරය)  ළඟා කරගත් වසර දෙකකි. එනම් 1978 සහ 2023 යන වසර දෙකයි. මේ වසර දෙකේම දැඩි ආනයන සීමා නිසා ජංගම ගිණුමේ අතිරික්තයක් ඇතිවූවා විනා අපනයනවල වර්ධනයක් නිසා එය සිදු නොවුණි.

1970 වසරේදී ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15 ඉක්මවා ගියේය. එය මෙතෙක් වාර්තා වූ වැඩිම ජංගම ගිණුමේ හිඟයයි. 1980 - 2000 කාල පරාසය තුළ ජංගම ගිණුමේ හිඟය වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 ඉක්මවා තිබුණි.  පැවති යුද තත්වය හේතුවෙන් ආනයන වියදම සැලකිය යුතු ලෙස වැඩිවීම මෙයට හේතු විය. 2024 - 2020 කාල පරාසය තුළ මෙම හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4 මට්ටමේ පවත්වා ගෙන ගොස් තිබුණි. එසේ නම් මෙය සියයට 1 මට්ටමට ගෙන ඒම දැවන්ත අභියෝගයකි. එක් අතකින්, නව ආයෝජන, ගෝලීය ආර්ථිකයට ගැළපෙන නවෝත්පාදන, ඩිජිටල් ආර්ථිකය, ගැන කතා කරන අතර, ජංගම ගිණුමේ හිඟය සියයට 1 මට්ටමේ රඳවා තබා ගැනීමට අපනයන ක්‍රියාවලියේ දැවන්ත පෙරළියක් සිදුකළ යුතුය. මෙහි දී විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක කර්මාන්තයට විශාල කාර්යක් කළ යුතුව ඇත. 

අභියෝග 04 - දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස භාණ්ඩ හා සේවා අපනයනය කිරීම 2025 වන විට සියයට 25ක් ද, 2030 වන විට සියයට 40ක් ද, 2040 වන විට සියයට 60ක් ද විය යුතුය.

මෙය ආර්ථිකයක ශක්තිමත් පදනම වේ. මෙය ඉතා හොඳ ඉලක්කයකි. එහෙත් මෙය සුපුරුදු පරිදි ඉලක්කමක් පමණක්ම වේවිද? මේ වනවිට දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස භාණ්ඩ හා සේවා අපනයනය කිරීමෙන් ලැබෙන ආදායම සියයට 16 මට්ටමේ පවතී. එහෙත් ආනයන වියදම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට  25 මට්ටමේ පවතී. 2022 වසරේ අපනයන ආදායම ඩො. බිලියන 12ක් පමණ වන විට, ආනයන වියදම ඩො. බිලියන 15කි. එසේ නම් මෙම ඉලක්කය කොතරම් ප්‍රයෝගිකද? 2025 වන විට දැනට තිබෙන අගය සියයට 25 දක්වා ප්‍රවර්ධනය කිරීමට උපාය මාර්ග කවරේද? 2030 වන විට මෙම අගය සියයට 40 මට්ටමට ළඟාවීමට නම් අපනයන ක්‍රියාවලිය තුළ විශාල පෙරැළියක්  කළ යුතු වේ. අපනයනයේ ව්‍යුහාත්මක වෙනස්කම් ගණනාවක් සිදු කළ යුතුවේ. මේ වන විට රටට වැඩිම අපනයන ආදායම ගෙන දෙන (43%) ඇඟලුම් අංශය 2023 සියයට 18 කින් කඩා වැටීමත්  සමග (2022 ට සාපේක්ෂව) මෙම  ඉලක්කය ළඟා කර ගැනීම දැඩි අභියෝගයකි. රබර් සහ පොල් නිෂපාදනයේද, 2023 පෙන්නුම් කරන්නේ ඍණ වර්ධනයකි. මෙවන් වට පිටාවක 2025 අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 25 මට්ටමට ගෙන ඒම පහසු කටයුත්තක් නොවනු ඇත.

අභියෝග 05- 2027 වර්ෂය වන විට බුහුමාන ජනගහන දරිද්‍රතා අනුපාතය සියයට 15 වඩා අඩු විය යුතුයි. 2035 වනවිට එය සියයට 10 වඩා අඩු විය යුතුයි.

මෙම අභියෝගය නම් ලොකුම විහිළුව බවට පත්විය හැක. වාර්තාවලට අනුව අද වනවිට අපේ රටේ බුහුමාන ජනගහන දරිද්‍රතා  අනුපාතය සියයට 55.7 කි. එනම් ජනගහනයෙන් සියයට 57.5ක් හෙවත් මිලියන 22.2 ක  ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට එනම් මිලියන 12.3ක් වූ පුද්ගලයන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය,  ආපදා සහ ජීවන තත්වය යන තීරණාත්මක මානයක් දක්වා විහිදෙන දර්ශක දොළහෙන් (12) අවම වශයෙන් තුනක් වත් අහිමි වී ඇත. එසේ නම් 2027 ට ඇත්තේ තවත් වසර 3කි. එක කෙටි කාලයක් තුළ මෙම සියයට 57.5  සියයට 15 දක්වා අඩු කළ හැකිද? ග්‍රාමීය මට්ටමේ මේවාට ඇති වැඩසටහන් කවරේද? දැනට ක්‍රියාත්මක අස්වැසුම, සහල් කිලෝ 20 බෙදීම වැනි සිල්ලර වැඩ වලින් මෙම ඉලක්ක සපුරා ගත නොහැකි බව පාලකයන් තේරුම් ගත යුතුව ඇත.

මෙවා ජයගත හැකි පාලකයන් සහ පාලනයක් අපට තිබේද?

වසර 75ක් තිස්සෙ මෙරට පාලනය කළ පාලකයන්ට මේ සාර්ව ආර්ථික ඉලක්ක අත්පත් කර ගැනීමට නොහැකි වී ඇති බව එම පාලකයන්ම පිළිගැනීම දෛවයේ සරදමකි. දූෂණය, නාස්තිය, අකාර්යක්ෂමතාව, අවභාවිතය, සාර්ව ආර්ථික ඉලක්ක වෙනුවට තම දේශපාලන ඉලක්ක ඉස්මතු කර ගැනීම වැනි හේතු නිසාම රාජ්‍යයක් හැටියට මේ ආර්ථික ඉලක්ක වෙත ළඟාවීම වසර ගණනාවකින්  ප්‍රමාද වී ඇත.  අනෙකුත් ආසියාතික රටවල් මේ ඉලක්ක නිවැරදිව, කාලානුරූපව ස්ථාන ගත කරමින් සහ ඒවාට නිසි ප්‍රමුඛත්වය දෙමින් නිවැරදි දේශපාලන නායකත්වය ලබාදුන් නිසාම මේ ඉලක්ක ජයගෙන ඇත. එහෙත් අපේ රටේ මේ කුමන සාර්ව ආර්ථික විභවයන් සහ අභිමතාර්ථ තිබුණත් ඒවා ළඟාකර දිය හැකි පාලකයන් මෙරට රජ නොවීම ජනතාවගේ අවාසනාවකි.

 

(***)



අදහස් (0)

නව පනතින් ආර්ථික ප්‍රාර්ථනා ඉටුවේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 120 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 236 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 17 154 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය


අධ්‍යාපන පරමාර්ථ සාර්ථකද?
2025 අප්‍රේල් මස 17 38 0

රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා


සිංහල අලුත් අවුරුද්ද හා චාරිත්‍ර විධි
2025 අප්‍රේල් මස 13 223 0

වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.


හම්බන්තොට කෞතුකාගාරය ඉබිගමනක
2025 අප්‍රේල් මස 10 646 0

හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1083 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site