රටට සෞභාග්‍යයත්, මහජනතාවට සමෘද්ධියත් අත්වන සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ආර්ථික අර්බුදය රට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව වී ඇති අවස්ථාවක උදා වන නව වසරේ රටේ ආර්ථිකය කෙබඳු වේද යන්න පිළිබඳව සංවාදයක යෙදීම වැදගත් වනු ඇත. රට මුහුණ දී සිටින ආර්ථික ගැටලුවේ ආරම්භය, තීරණාත්මක අවස්ථා, වත්මන් තත්වය සහ ඉදිරි අභියෝග පිළිබඳව විමසා බැලීමට ඒ තුළින් අවස්ථාවක් සැලසෙනු ඇත.
2019 වසරේ අප්‍රේල් මස 21 සිදු වූ පාස්කු දා ප්‍රහාරය මෑත කාලීන ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ ආරම්භය ලෙස සැලකිය හැකිය. ඉන් පසුව ගත වූ කාලය තුළදී කෝවිඩ් වසංගතයට ද ඉන් පසු ආර්ථික අර්බුදයට ද මුහුණ දීමට සිදු වූ අතර, අවසන් ප්‍රතිඵලය වූයේ විදේශ ණය ගෙවීම අත්හිටුවා බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදු වීමයි. ඒ අතරම, මෙම ව්‍යවසනය බලපැවැත්වූ කාලය තුළ රටේ දේශපාලනයේ ද තීරණාත්මක වෙනස්කම් සටහන් වනු දැකිය හැකි විය. එම වසර කිහිපය තුළ ජනාධිපති ධුරය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද, ඉන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට ද, අවසානයේදී අනුර කුමාර දිසානායක මහතාට ද භාර විය. ඉතා කෙටි කලක් තුළදී බලය මේ ආකාරයට හුවමාරු වීමේ මූලික සාධකය වූයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ තීව්‍රතාව යයි සිතමි.
ආර්ථික අර්බුදය උග්‍ර වී, ගෝල්ෆේස් අරගලය උච්චතම අවස්ථාවට පත්වූ විට ගෝඨාභය රාජපක්ෂ මහතාට රට හැරගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. 2022 ජුලි මස 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් රනිල් වික්‍රමසිංහ මහතා 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් කරගන්නා ලදී. එම අවස්ථාවේ රටේ පැවැති තත්වය සාර්ව ආර්ථික සංඛ්‍යා දත්ත පරීක්ෂා කිරීමෙන් වටහාගත හැකි වේ. ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව වූයේ රට විශාල විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටීමයි. ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා විදේශ විනිමය නොතිබීම බොහෝ ගැටලුවලට හේතුව විය. 2022 ජුනි මාසයේදී රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9ක් විය. එයින් ද ඩොලර් බිලියන 1.5ක් චීනය විසින් ලබා දුන් හුවමාරු වැඩසටහනේ පොරොන්දු මුදල් ප්‍රමාණය වන අතර, සැබැවින්ම සංචිත වශයෙන් පැවැතුණේ ඩොලර් මිලියන 400ක් පමණි.
ඩොලර් හිඟයේ ඊළඟ ප්‍රතිඵලය වූයේ රුපියල ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයෙන් අවප්‍රමාණය වීමයි. 2021 දෙසැම්බර් මස ඩොලරයේ වටිනාකම රුපියල් 200.43ක් වුව ද, 2022 ජුනි මාසයේදී එය රුපියල් 360.80ක් විය. විදේශ ප්‍රේෂණ 2021 ජුනි මාසයේදී ඩොලර් මිලියන 478ක් වුව ද, 2022 ජුනි මාසයේදී එය ඩොලර් මිලියන 274ක් දක්වා පහත වැටුණි. එම මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 59ක් පමණක් විය. එම මාසයේ රටේ උද්ධමන අනුපාතය සියයට 66.7ක් ද, ආහාරමය උද්ධමනය සියයට 82.5ක් ද, ආහාර නොවන උද්ධමනය සියයට 51.4ක් ද විය. එම වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය ඍණ සියයට 5.3 දක්වා පහත වැටුණි.
මෙම තත්වය 2024 ජනාධිපතිවරණයේදී මහජනතාව විසින් රනිල් වික්‍රමසිංහ මහතා ගෙදර යැවීමට තීරණය කළ අවස්ථාවේ පැවැති තත්වය සමග සන්සන්දනය කළ හැකිය. 2024 අගෝස්තු මාසයේදී රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6 දක්වා ඉහළ නැග්ගේය. ඩොලරයේ වටිනාකම රුපියල් 300 දක්වා අඩු වී තිබුණි. විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 577 දක්වා ද, සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ඩොලර් මිලියන 282 දක්වා ද ඉහළ නැග තිබුණි. විස්මිත ප්‍රතිඵල ප්‍රදර්ශනය වූයේ රටේ උද්ධමනය සම්බන්ධයෙනි. 2024 අගෝස්තු මාසයේ රටේ උද්ධමන අනුපාතය සියයට 0.5 දක්වා ද, ආහාරමය උද්ධමනය සියයට 0.8 දක්වා ද, ආහාර නොවන උද්ධමනය සියයට 0.4 දක්වා ද පහත වැටී තිබුණි.
බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රටේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් දක්නට ලැබුණේ ඉතා අවාසනාවන්ත තත්වයකි. 2022 වසරේදී සියයට 7.3ක ඍණ වර්ධනයක් පෙන්නුම් කළ අතර, 2023 වසරේදී එය ඍණ 2.3ක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 සම්බන්ධයෙන් පුරෝකථනය කර තිබුණේ සියයට 1.5ක ආර්ථික වර්ධනයක් සිදු වන බවටය. එසේ වුව ද, 2024 වසරේ දෙවැනි කාර්තුවේදී සියයට 4.7ක වර්ධනයක් ඇති වූ අතර, ඒ අනුව එම වසරේදී සියයට 4.5ක වර්ධනයක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන වෙනස් කරනු ලැබීය.
පසුගිය සැප්තැම්බර් මාසයේ 21 දින පැවැති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර, 2024 නොවැම්බර් මස 14 දින පැවැති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය. ජනාධිපතිවරයා සහ නව කැබිනට් මණ්ඩලය තේරී පත්වීමට ප්‍රථම රටේ පැවැති ආර්ථික තත්වය පිළිබඳව ඉහත සඳහන් සංඛ්‍යා දත්තවලින් කරුණු පැහැදිලි වේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලැබූ විට පැවැති තත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක් නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්වන විට පැවැති බව පෙනී යයි. ඒ අනුව, නව පාලනය යටතේ ඊට වඩා ඉහළ මට්ටමකට පත්වූ ආර්ථිකයක් බිහි වනු දැකීම මහජනතාවගේ බලාපොරොත්තුව වී ඇත.
රජය විසින් 2025 වර්ෂයට අදාළ අයවැය ලේඛනය තවමත් ඉදිරිපත් කර නැත. එබැවින්, නව රජය විසින් ආර්ථිකය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති හෝ යෝජනා ක්‍රම පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කිරීමට හැකියාවක් නැත. ඒ අතරම, නව රජය බලයට පත්ව ගත වී ඇති කෙටි කාලය රජයේ ආර්ථික පිළිවෙත සම්බන්ධයෙන් නිගමනයකට එළැඹීමට තරම් ප්‍රමාණවත් කාලයක් ලෙස සැලකිය නොහැකිය. රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විසඳා ගැනීමට තිබූ මූලිකම කරුණ වූයේ, එම තත්වයෙන් අත්මිදීමයි. පසුගිය වසරේ දෙසැම්බර් 12 වැනිදා බංකොලොත්භාවයෙන් අත්මිදීම සඳහා ගත යුතුව තිබූ අවසන් පියවර වූ ස්වෛරීත්ව බැඳුම්කර ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණීමට හැකි විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එම එකඟතාවන්ට පැමිණීමට හැකි වූයේ වසර 2ක් තුළ පවත්වාගෙන ගිය වේගවත් සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බවයි.
මේ දිනවල රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීම පිළිබඳව උප්පැන්න සහතිකය ලිවිය යුත්තේ කාගේ නමට ද යන්න පිළිබඳව සාකච්ඡා සහ සංවාද ඇතිව තිබෙන බව පෙනේ. විවිධාකාරයේ තර්ක විතර්ක සහ ප්‍රචාර ඉදිරිපත් කළ හැකි වුව ද, සත්‍යය යටපත් කළ යුතු හෝ යටපත් විය යුතු යැයි නොසිතමි. බංකොලොත්භාවයෙන් අත්මිදීම සඳහා නව රජයට ඉටු කළ යුතු කාර්යභාරයක් තිබුණේ නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ප්‍රතිඵලය ඇති වන තුරුම ඒ සඳහා ගත යුතු පියවර සියල්ල ගෙන තිබුණි. FITCH සහ MOODY'S වැනි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ දක්වා පවත්වාගෙන ගිය ශ්‍රේණි වෙනුවට ඉහළ ශ්‍රේණි ලබා දී ඇත. එමගින් ප්‍රකාශ වන්නේ, ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී, ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ණය ගත හැකි රටක් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන ආයතන පිළිගෙන ඇති බවයි.
ආණ්ඩුවේ ඇතැම් ප්‍රචාරක ආයතන සහ ආණ්ඩුවට සම්බන්ධ සමහර පුද්ගලයන් බංකොලොත්භාවයෙන් අත්මිදීමට හැකි වීම පිළිබඳව උප්පැන්නයට නම ලබා දීමට තැත් කරන නමුදු එවැනි ප්‍රචාරක ව්‍යාපාර තුළින් අපකීර්තියට පත්වන්නේ ආණ්ඩුවම බව වටාගත යුතුව ඇත. රටේ නව ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විශාල ජනවරමක් ලබා දී ඇත. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ එහි ආර්ථික පිළිවෙත මහජනතාව ඉහළින්ම අනුමත කර ඇත. එබැවින්, ආණ්ඩුවේ වගකීම විය යුත්තේ අනුන්ගේ වැඩට උප්පැන්න ලිවීම නොව මහජනතාව විසින් විශාල ජනවරමක් තුළින් අනුමැතිය ලබා දී ඇති ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීමය.
ජාතික ජන බලවේගය රටේ ආර්ථික සංවර්ධනයට ඇති ප්‍රධාන බාධාව ලෙස පෙන්නුම් කරන ලද්දේ, රටේ දේශපාලනඥයන් සහ ප්‍රභූ අංශවල සිදු වන දූෂණ සහ වංචාය. එබැවින්, ඉතා ඉක්මනින් එම තත්වය වෙනස් කර දූෂණයෙන් හා වංචාවෙන් තොර ආර්ථික ක්‍රමයක් ස්ථාපිත කිරීමට වහාම පියවර ගත යුතුව ඇත. දූෂණ විරෝධි අණපනත් රැසක් පසුගිය කාලයේදී සම්මත කරගෙන ඇති අතර, දූෂණ පිටුදැකීම සඳහා වූ න්‍යායපත්‍රයක් ද අනුමත කරවාගෙන ඇත. එවැනි තත්වයක් තුළ නව නීති පැනවීමකින් තොරව දූෂණ විරෝධි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට රජයට හැකියාවක් ලැබී තිබේ. ජාතික ජන බලවේගය පසුගිය රජය අනුගමනය කළ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කීරීම රටේ ආයෝජන අවස්ථාවන් විදේශිකයන්ට හිමි කර දීම වැනි කරුණු පිළිබඳව එකඟතාවක් නොදක්වන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබේ.
එවැනි තත්වයක් තුළ නව රජය ආර්ථිකය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග පිළිබඳවත්, ප්‍රධාන ආර්ථික ක්‍රමෝපාය පිළිබඳවත්, සර්ව ආර්ථික කළමනාකරණයේදී අනුගමනය කරන උපායමාර්ග පිළිබඳවත් පැහැදිලි කිරීමට රජයේ පළමු අයවැය ලේඛනය මගින් අවස්ථාව සැලසී තිබේ. ඒ අතරම, සෑම රජයක්ම මුහුණ දුන් සහල් ගැටලු පිළිබඳව ක්ෂණිකව ක්‍රියාමාර්ග ගැනීමට සිදු වීම වැනි අවස්ථාවන් ද තිබේ. එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන අතරම, රටේ ආර්ථික ගමන් මග වෙනස් කර මහජනතාවට වඩාත් සමෘද්ධිමත් යුගයක් උදා කර දීම උදෙසා කවර වෙනස්කම් ඇති කරන්නේ ද යන්න පිළිබඳව මහජනතාව අවධානයෙන් සිටී.
රට ආර්ථික අර්බුදයෙන් තරමක් මිදී ස්ථාවරත්වයක් ළඟා කරගෙන ඇති නමුදු මහජනතාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය සේවකයන්, ගොවියන්, ධීවර ප්‍රජාව සහ අඩු ආදායම්ලාභි පිරිස් මුහුණ දී සිටින ආර්ථික පීඩනය සමනය වී නැත. එබැවින්, එම පීඩනයෙන් සියලු ජන කොටස් මුදා ගන්නා ආර්ථික පිළිවෙතක් නව රජය ක්‍රියාත්මක කරනු දැකීම රටේ සියලු ජන කොටස්වල බලාපොරොත්තුව වී ඇත.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා
අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර
ජනවාරි 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තම ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් පැවැත් වූ කතාව මේ රටේ කී දෙනකු අසන්නට ඇත් ද?
මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්
සහල් හිඟය හා උතුරේ මහවිරු සැමරුම් උත්සවත් දකුණේ ඒ සම්බන්ධව වර්තාවූ තැන් පසුගිය සතියේ කරළිය මත දිස්වුණු කාරණාය. නව රජය මැතිවරණ පොරොන්දුවලින් පාලනයේ යථ
2025 ලැබූ නව වසර මෙරට ජනතාව ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතික ආදි විවිධ ක්ෂේත්‍රවල කිසියම් සාධනීය වෙනසක් අපේක්ෂාවෙන් පසුවන වසරකි. විශේෂයෙන්ම ආර්ථික ද
“අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. කුඹුරු කරනවා වගේම කජු, ඉරිඟු, කුරක්කන්, මුංඇට වගේ ධාන්‍යත්, කෙසෙල්, ගස්ලබු වගේ පලතුරු වර්ගත්, එළවළු වර්ගත්, බතල, මඤ
රටට සෞභාග්‍යයත්, මහජනතාවට සමෘද්ධියත් අත්වන සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි. ආර්ථික අර්බුදය රට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුව වී ඇති අවස්ථාවක උදා වන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නව වසරේ ජනතා අපේක්ෂා