පන්නල සෙක්කුවත්ත ජේ.එම්. තිලකරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.
දැදුරුඔය වයඹ පළාත හරහා ගලා යයි. සරුසාර ගම්බිම්වලින් හෙබි මෙම නිම්නයේ කඳු හෙල් කැලෑ බිම්ද රාශියකි. මෙම කැලෑවල සෑම වර්ගයකම සතුන් බහුලව ජීවත් වෙති. වයඹට ආසන්න ප්‍රදේශයක ජීවත්වන මෙම පුද්ගලයා වික්ටර් වශයෙන් හඳුන්වමු.
මොහු මැදිවියට ආසන්න අයකු වූ අතර ගිනි කඳයාද ගෙන කැලෑවට රිංගනුයේ හාවෙකු, මීමින්නෙකු, වඳුරෙකු හෝ වෙනත් සතෙකු දඩයම් කර ගැනීම සඳහාය. පවක මහිම, මොහුට කවදාවත් දඩයම වරදින්නේ නැත. සතා මරා මස් කරගෙන එන මොහු මත්පැන් බෝතලයක් ගෙනවුත් සප්පායම්වීම සිරිතකි. මෙයටත් වඩා මොහු අධික ලෙස දුම්පානයට ද රුසියෙකි.
පන්සලක් තිබෙන පළාතකටවත් නොගිය මොහු අහිංසක සතුන්ට වධ හිංසාකර ඉන්ද ඉමහත් සතුටක් ලබයි. වනයේ දුව පැන යන අහිංසක රිලා පැටවුන් අල්ලාගෙන විත් රිලා පැටවුන්ගේ කට ඇර උණු වතුර වත්කරයි. රිලාපැටවුන් මරලතෝනි දී පැනයන අතර මද දුරක් ගොස් වැටී මිය යයි. අහල පහළ සිටිනා බල්ලන්ට පාන් කෑල්ලක් දී ළඟට ගෙන්වා උරමින් තිබූ සිගරට්ටුව බල්ලාගේ පස්සා පැත්තේ ගසයි. වලිගය පහත් කළ විට පිළිස්සෙන බල්ලෝද කෑගසමින් පැන දුවයි.
දිනයක අහිංසක ඉබ්බෙකු යනවා දැක ඉනේ තිබූ පිහියෙන් එක පාදයක් කපා දමා විනෝදයෙන් බලා සිටින විට ඉබ්බා මද වේලාවකින් ලේ පෙරි පෙරී ඇවිද ගන්නට හදන විට තව පාදයක් කපා දැමීය. අසරණ වූ ඉබ්බා නැවත දෑත් දිගුකරත්ම අත් දෙකද කපාකටේ තිබූ දුම්වැටිය ඉබ්බාගේ කට අරවා දුම් වැටිය කටේ ගසා සතුටු සිතින් බලා සිට ඇත.
අහළ පහළ අය කොතෙක් උපදෙස් දී ඇතත් ඒවා තඹදොයිතුවකට මායිම් නොකළ මොහු දිනක ගිනි කඳයාද ගෙන කැලෑවට රිංගුවේ සතකු දඩයම් කර ගැනීමටය. අවාසනාවක මහිම වෙනත් අයකු සතෙකුට අවටා තිබූ බඳින තුවක්කුවක් පත්තුවී මොහුගේ කකුලකට බරපතළ ලෙස තුවාල සිදුවිය. රෝහල්ගත කළ ද කකුල කපා දැමීමට සිදුවිය. අද මොහු ඉතාමත් දුක්ඛිත තත්ත්වයකින් තනි අණ්ඩෙන් පොල්ලක ආධාරයෙන් ගමන් කරමින් මරණාසන්නව ජීවත්වෙයි.
මොහු කළ පාප කර්ම නිසා මෙම ප්‍රදේශයේ කිසිවකු මොහුට අනේ අපොයි කියනු නෑසේ.
ඇල්පිටිය ධනංජනී ජයසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.
දකුණු ලකේ එක්තරා ගම්මානයක “සුමනා” නම් වූ කාන්තාවක් වූවාය. ඇය ගමේ කාගේත් හොඳ හිත දිනාගනිමින් ගමට, රටට බොහෝ හිතෛශී අයුරින් කටයුතු කළ ගුණගරුක එක්දරු මවක් ද වූවාය. ඇය ඇගේ දියණියට කුඩා කාලයේ පටන්ම බිත්තර ලබාදීම සඳහා “සුමනා” තම නිවසේ කිකිළියන් කිහිපදෙනෙක් ඇතිකළ අතර දියණිය වයසින් වැඩෙත්ම කිකිළියන් ඇති කිරීම ඇය අතහැර දැමුවද එක් කිකිළියක් පමණක් ඉතිරිවී සිටියාය.
දිනක් සුමනා මුළුතැන්ගෙයි හිරමණය මත වාඩිවී පොල්ගාමින් සිටි අතරතුර කිකිළිය පිටුපස දොරින් නිවසට ඇතුළුවීමට පැමිණියාය. සුමනා කෙතරම් සතුන්ට ආදරය දැක්වුවද සතුන් නිවස තුළට ගැනීමට ප්‍රිය නොකළ ඇය දෙතුන් වතාවක්ම ෂෝ ෂෝ කියමින් කිකිළිය එළවා දැමුවද සුමනාගේ විරෝධය නොතකා කිකිළිය යළි යළි නිවස තුළට ඒමට යන්න දරුවාය. ෂෝ කියමින් බය කර කිකිළිය එලවා ගැනීමට නොහැකි බව අවබෝධ කරගත් සුමනා ගා අවසන් කොට පසෙක තිබූ පොල් කටුව ගෙන කිකිළිය දෙසට දමා ගැසුවේ බියට පත්තකර කිකිළිය එළවා දැමීමට මිස කිකිළියට රිදවීමේ අරමුණින් නොවේ. එහෙත් අවාසනාවට මෙන් පොල්කටුව කරකැවී ගොස් කිකිළියගේ කුකුළේ වැදුණු අතර කිකිළිය මහත් වේදනාවෙන් බිම වැටී මොර ගෑවාය.
කලබලයට පත්වූ සුමනා කිකිළිය සමීපයට දිව ගියමුත් ඒ වන විටත් පොල් කටුව වැදීමෙන් කිකිළියගේ එක් පාදයක් බිඳී එය නොපිට හැරී තිබුණි. එය තමා අතින් වූ අත්වැරදීමක් වුව මහත් කම්පනයට පත්වූ සුමනා ආහාර පිසීම පසෙක දමා කිකිළියගේ කකුළට බෙහෙත් කිරීමට කඩිනමින් කටයුතු කළ අතර මාස ගණනක යත්නයකින් අනතුරුව කිකිළියගේ පාදය සුවපත් බවට පත්වූයේ සුමනාගේ උත්සාහය නිසාවෙනි.
ඉන් වසර කිහිපයකට පසුව උකුස්සෙකුගේ පහරට ලක්වීමෙන් කිකිළිය මිය ගියාය. ඊටත් කලකට පසුව දිනක් තේ ඉඩමේ දළු නෙළනා පිරිසට දිවා ආහාර රැගෙන යන අතරතුර ගල් කැටයක් පයට පෑගී පෙරළී යාමෙන් සුමනා ඇද වැටුණි. ඇයගේ පාදය වළලුකර අසලින් යටිපතුළ උඩ අතට හැරෙන අයුරින් කැරකී සන්ධියෙන් ගැලවී තිබූ අතර පෙර දිනෙක ඇය විසින් අත්වැරදීමකින් එම කිකිළියගේ කුකුළ කඩාදැමූ අයුරින්ම ඇගේ කුකුළ ද කැඩී තිබුණි.
බොහෝ කාලයක් එක්තැන්වී සිට විශාල පිරිවැයක් දරා සුමනාගේ කුකුළ සුවත් කිරීමට පවුලේ උදවියට හැකිවුව ඇය අදටත් එදා තමා අතින් කිකිළියගේ පාදය ආබාධයට ලක්වූ අයුරින්ම තමාටද කළකම් පළදුන් බව නොසඟවා පවසන්නේ මිහිපිට දී කරනා පාපකර්ම සිතා කළද නොසිතා කළද මේ ආත්මයේදීම පළදෙන බවද අවධාරණය කරමිනි.
අනුරාධපුර 3 වැනි පියවර ඩී.එම්.ඒ. ගුණතිලක මහතා ලියා එවූ කතාවක් මෙසේය.
රජරට වැව් බැඳි රාජ්‍යයේ මීට වසර 40කට පමණ පෙර සිදුවූ සත්‍ය සිදුවීමකි. මෙම ගම ඉතා කුඩා ගමක් විය. මෙහි රජයේ ආයතන කිසිවක් නොවීය. දරුවන් පාසල් ගියේ අසල තිබූ ගමක තිබූ මහා විද්‍යාලයකටය. මේ කුඩා ගමේ මිනිසුන් ඉතා දිළිඳු අයය. ඔවුන්ගේ මූලික අරමුණ වූයේ කෙසේ හෝ එදිනෙදා වේලා සපයා ගැනීමය. මේ නිසාම දෙමාපියන් ළමයින්ට අධ්‍යාපනයක් ලබාදීමට උත්සුක නොවූහ. මේ හේතුව නිසාම බොහෝ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු පාසල් හැරයති. ඊට පසු ඔවුන්ද දෙමාපියන්සේම, කුමක් හෝ රැකියාවක් කිරීමට පෙළඹෙති.
මේ ගමේ “චාලියා” කියා තරුණයෙක් සිටියේය. මොහුද 2, 3 පන්තිවලට එහා අධ්‍යාපනයක් ලැබුවේ නැත. ගමේ අය පමණක් නොව අහළ පහළ ගම්වල උදවියද මොහුට “චාලියා’‘ කීවා මිස ඔහුගේ ඇත්ත නම, මේ කිසිවකුත් දැන සිටියේ නැත. ළමා කාලයේ සිටම දඩබ්බර ගති ගුණවලින් හෙබි මේ තැනැත්තා තරුණවියට පා තබත්ම, ඒ දඩබ්බර ගති ගුණ වැඩිවූවා මිස අඩුවූයේ නැත. මේ අතර ඔහුටම ගැලපෙන මදාවියන් දෙදෙනකු ඔහුගේ ඇසුරට ළංකර ගත්තේය. මත් පැනටත්, මස් මාංශ අනුභවයටත් බෙහෙවින් ඇලුම් කළ මොවුන් තිදෙනා නිතිපතා මස් මාංශ සොයා ගැනීමට කළේ අවට ගම්වල හරක් සොරකම් කොට, කැලෑවට හොර රහසේම රැගෙන ගොස් එම අහිංසක සතුන් මරා මස් කිරීමය.
ගමේ සහ අවට ගම්වල හොරසුරා පෙරණ බැවින් මත්පැන් වලින් අඩුවක් නොවීය. මේ අතර අවට ගම්වල ගැමියන් ගේ වී, සහල් සහ වෙනත් බවභෝග සොරකම් කිරීමද ජයටම කරගෙන ගියේය. මේ අතර කැළෑවට රිංගා බඳින තුවක්කුවලින් සහ උගුල් ඇටවීමෙන් හාවුන්, මුවන්, ඌරන් සහ මීමින්නන් වැනි අහිංසක සතුන් ද දඩයම් කර ගත්තේය.
මොවුන්ගෙන් ගම්වැසියන්ට කොපමණ කරදර, හිරිහැර සිදුවුණත්, ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට ගම්මුන් ඉදිරිපත් නොවූයේ එසේ කළහොත්, ඔවුන් තිදෙනා, පන්න පන්නා පළිගන්නා නිසාය.
චාලියා මේ මොන දේ කළත් සිය දෙමාපියන්ගෙන් උරුම වූ කුඹරුවල වගා කටයුතු කළේය. රජරට වියළි කලාපයේ වී ගොවිතැන් කිරීමේදී, කුඹුරුවලට වතුර හරවන කාලයේදී ගොවීන් අතර බහින් බස්වීම් නිසා හබ හටන් ඇතිවීම සාමාන්‍ය දෙයකි. කවුරුත් බලන්නේ තමන්ගේ කුඹුර වැව් වතුරින් පුරවාලීමටය. මේ නිසා රාත්‍රි කාලයේ එක් එක් වේලාවන්වලදී අනෙකාට හොරෙන් වතුර හැරවීමට යයි. සමහරු මධ්‍යම රාත්‍රියේදීත්, සමහරු අළුයම කාලයේදීත් තම කුඹුරුවලට වතුර පුරවති. මේ අතර එක් දිනක් “චාලියා” තම කුඹුරට වතුර හැරවීම සඳහා මධ්‍යම රාත්‍රියේ කුඹුරට ගියේය. ඒ වන විට සෝමපාල නම් තරුණයෙක්, ඔහුගේ යාබද කුඹුරට වේල්ල හරස් කර වතුර හරවමින් සිටියේය. මෙය දුටු චාලියාට ඌරු ජුවල් නැංගේය. පරුෂ වචන කියමින් සෝමපාල වෙතට, කොටියෙකු මෙන් කඩා පැන්නේය.
සෝමපාල ද චාලියාට බැණ වැදුනේය. බහින් බස්වීම ගුටිබැට හුවමාරුවක් බවට පත්විය. පානය කර ටිකක් ඉතිරි වූ මත්පැන් බෝතලයක් චාලියා අතේ තිබුණේය. ඔහු මත්පැන් බෝතලයෙන් සෝමපාලට පහරදුන්නේය. පහරවල් කිහිපයක් ඔළුවටද වැදුණි. බෝතලය බිඳී තියුණු වීදුරු පතුරු, සෝමපාලගේ හිසට කිඳා බැස්සේය. එසේම ඇදවැටුණු සෝමපාලගේ දේහය නිශ්චල විය. මොහොතක් සෝමපාලගේ නිසල සිරුර දෙස බලාගත්වතම සිටි චාලියා එම නිසල සිරුර ඔසවා කරේ තබා ගත්තේය. කැලය මැදින් වැටී ඇති අඩිපාරේ ගමන්ගත් ඔහු නුදුරුව තිබූ ඔයට ළඟා විය.
ඔයේ තිබූ විශාල කුඹුක් ගස්වල මුල් ගොන්න අතර තිබූ මඬ වගුරක, සෝමපාලගේ සිරුර වැළලුවේය. ඉන්පසු අත, පය මුහුණු ඔයේ වතුරෙන්ම සෝදාගත් චාලියා. කිසිවක් සිදුනොවූ අයුරින් සිය නිවසට ගියේය.
දින කිහිපයකට පසු එතැනින් ගමන් කිරීමට පැමිණි ගොවීන්, දෙදෙනෙකුට අධික දුර්ගන්ධයක් දැනී ඒ පිළිබඳව සෝදිසි කර බැලීමේදී දක්නට ලැබුණේ නරක් වී ගිය පිරිමි මළ සිරුරකි. එම ගොවීන් දෙදෙනා මේ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කළේය.
ගම්මුන්ගෙන් ලැබුණ තොරතුරු අනුව චාලියා ගැන සැකසිතී ඔහු අත්අඩංගුවට ගෙන නඩු පැවරීය.
මාස ගණනාවක් තිස්සේ නඩුව විභාග වුවද, නිසි ආකාරයට සාක්ෂි නොතිබුණ බැවින් චාලියා නඩුවෙන් නිදහස් විය. එම මිනීමැරුම කාලයාගේ වැලි තලාවෙන් වැසී ගියේය.
නඩුවෙන් නිදහස්ව ගමට පැමිණි මොහු තමාගේ අතිජාත මිතුරන් සමග එක්ව පරණ පුරුදු චර්යාවම කරගෙන ගියේය. මෙසේ කාලයක් ගෙවී ගියේය.
චාලියා කෙමෙන් කෙට්ටුවන්නට විය. ආහාර අරුචිය ඇතිවිය. නින්ද යන්නේ ද නැත. බඩ, පපුව දැවීමට පටන්ගත්තේය. අසළ තිබූ ගමේ මධ්‍යම බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගත්තද සුවයක් නොවීය. එහි වෛද්‍යවරයා අනුරාධපුර මහ රෝහලට යන්නට කියූවත්, ඔවුන්ගේ නූගත් කමත්, දුප්පත් කමත් නිසා එම මහ රෝහලට නොගියේය. දිනෙන් දිනම අසනීප තත්ත්වය වැඩිවිය. ශරීරය කෘශ වන්නට විය. බඩ, පපුව තුළින් ආ වේදනාව දරාගැනීමට නොහැකිවිය. ඔහු වේදනාවෙන් කෑ මොර දුන්නේය.
අවසානයේදී චාලියාගේ නෑදැයින් එකතුවී ඔහු අනුරාධපුර මහ රෝහලට රැගෙන ගියෝය. වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමේදී සොයාගත්තේ ඔහුට ඉතා බරපතළ පිළිකාවක් වැළඳී ඇති බවයි. වහාම ඔහුව මහරගම පිළිකා රෝහලට යැව්වේය. ස්කෑන් පරීක්ෂණවලින් හෙළිවූයේ, පිළිකාව, අක්මාව, පෙනහළු සහ හෘදය වස්තුව දක්වා පැතිර ගොස් ඇති බවයි. ශල්‍යකර්මයක් කරන ලදි. එයින් හෙළිවූයේ පිළිකාව උපරිම ආකාරයෙන්, අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වසාගෙන පැතිර ඇති බවයි. මහරගම පිළිකා රෝහලේ මාස දෙකක පමණ කාලයක් ප්‍රතිකාර ලබාගත්ත ද තත්ත්වය එන්න එන්නම නරක අතට හැරුණේය.
අවසානයේදී එහි වෛද්‍යවරුන් කියා සිටියේ රෝගියා ගෙදර ගෙන ගොස් ඔහු ආසාකරන කෑම බීම ලබාදී, සිත සතුටින් තබන ලෙසයි. නිවසට පැමිබිමෙන් පසුද වේදනාවෙන් මිරිකෙමින්, අඳෝනා නගමින්, කෙඳිරිගාමින්, විලාප නඟමින් ඔහු තවත් මාස තුනක පමණ කාලයක් දැඩිසේ දුක් වින්ඳේය. අවසාන මාස දෙකේදී, ඔහුගේ ශරීරයෙන් නික්මුණේ දැඩි දුර්ගන්ධයකි. එම දුර්ගන්ධය නිවස තුළ පමණක් නොව පාරේ ගමන් කරන මිනිසුන්ටත් දැඩිව දැනුනේය. පාරේ ගෙය ඉදිරිපිටින් යන මිනිසුන් තදින් නාසය වසාගෙන කියමින් ගියේ “කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ” කියා ගෙනය.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග
අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නොසිතා කළ පවින් බැට කෑ සුමනා
අජිත් Tuesday, 19 April 2016 02:33 PM
කාට කාටත් මේවා හොද පාඩම්. කළකම් පලදේ. (බ)