IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


නීතිය නමලා මත්පැන් බලපත් දුන්නේ මෙහෙමයි

මෙරට සුරාබදු බලපත්‍ර ලබාදීමට නියම කර ඇත්තේ සුරාබදු නීති මාර්ගෝපදේශ හා නීති රෙගුලාසි සඳහන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 1544/17 හා 2008-04-10 දරන සුරාබදු නිවේදන 902 අනුවය.

අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2366/39 හා 2008-01-12 දිනැති අංක 02/2024 දරන ගැසට් නිවේදන මගින් එය තව දුරටත් පරිච්චින්න කර ඇත. තවද පාර්ලිමේන්තුව තුළ මෙම ගැසට් පත්‍රය සම්මත කොට බලාත්මක කර ඇත. එහෙත් මෙම පනත 2024 අගෝස්තු 21 දින නැවත පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී ඇත. එසේ සංශෝධනයට ලක් වුවද පසුගිය කාලයේ සුරාබදු බලපත්‍ර ලබදීමේදී ක්‍රියාකර තිබුණේ

2008-04-10 දරන සුරාබදු නිවේදන 902 ප්‍රකාරවය. අදාළ ගැසට් නිවේදනය නිවැරැදි නොවන බවට CA(W) Application 424/2024 නඩුවක්ද විභාග​ වෙමින් පවතී.

සුරාබදු නිවේදන 902 ප්‍රකාරව සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී කිසිදු ලෙසකින් නීතියට පටහැනිව කිසිදු බලපත්‍රයක් ලබා නොදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය SCFR 116/2023 අංකය යටතේ 2024 අප්‍රේල් 2 වැනි දා නියෝගයක් ප්‍රකාශයට පත් කොට ඇත. සුරාබදු පනත හා ඒ යටතේ අදාළ වෙනත් නීති සහ නියෝගවලට ​ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අදාල බව සඳහන් කොට ඇත. එම නියෝගවලට අනුව සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී එක් දිස්ත්‍රික්කයක් තුළ එක් පුද්ගලයකුට හෝ එක් ආයතනයකට ලබා දිය හැක්කේ බලපත්‍ර දෙකක් පමණි. එලෙස බලපත්‍ර දෙකක් ලබාගත හැක්කේ බලපත්‍රයක් ලබාගැනීමට සුදුසුකම් සපුරා නැති තවත් අයකු නැති විට පමණි. සුරාබදු නිවේදන 902 හි 24 වැනි කොන්දේසිය මගින් ඒ බව මෙසේ පෙන්වා දෙයි. ‘‘දැනටමත් බලපත්‍රයක් ලත් ඉල්ලු‍ම්කරුවකුගේ නමින් දිස්ත්‍රික්කයේ ඇතුළත තවත් බලපත්‍රයක් ලබාගැනීමට කරන ඉල්ලීමක් සලකා බලනුයේ එම අවසරය දී ඇති සංබ්‍යාව ඇතුළත වෙනත් සුදුසු ඉල්ලීම්කරුවකු නැත්නම් පමණි යනුවෙනි එහි 25 වැනි කොන්දේසියේ සඳහන් වෙන්නේ”‍ කෙසේ වුවද දිස්ත්‍රික්කය ඇතුළත ඉල්ලුම්කරුවකුට බලපත්‍ර දෙකකට වඩා නිකුත් කිරිමෙන් එම දිස්ත්‍රික්කය ඇතුළත මත්පැන් ඒකාධිකාරයකට හෝ අනවශ්‍ය මත්පැන් පාලනයට හෝ නිදහස් බාධ රහිත සැපයුම් බෙදාහැරීමක් හෝ පාරිභෝජනයට හෝ අවහිර ඇති වීමේ තත්වයකදී තුඩු දිය හැකි යැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදහස් කරන්නේ නම් එක ඉල්ලු‍ම්කරුවකුට දිස්ත්‍රික්කය ඇතුළත බලපත්‍ර දෙකකට වඩා නිකුත් නොකරනු ඇත’’ යනුවෙනි.

එහෙත් මෙම නීතියට පටහැනිව සෑම දිස්ත්‍රික්කයකම පාහේ පුද්ගලයන්ට මෙන්ම ආයතනවලට ද සුරාබදු බලපත්‍ර දෙකට වඩා නිකුත් කර ඇති අයුරු දක්නට පුළුවන. එසේම දේශපාලන සබඳතා මත සුරාබදු බලපත්‍ර ලබා දී ඇත. බාලවයස්කාරයන්ගේ නමට බලපත්‍ර නිකුත් කර ඇත. තවද සුරාබදු බලපත්‍රයක් ලබාගැනීමට සැපිරිය යුතු මූලික නීති උල්ලංඝනය කරමින් බලපත්‍ර ලබා දී ඇත. ඒ අනුව බලන කල පසුගිය කාලයේ සුරාබදු බලපත්‍ර ලබාදීමේදී සුරාබදු ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කරමින් නීතියට පටහැනිව ලබා දී ඇත. මේ ආකාරයට ලබා දුන් බලපත් අංක කිහිපයක් අප සතුව ඇත. ඒවා වන්නේ  A- 065287, A-083301, A- 058320, A-062181, A-079571, A-091755, A- 080156, A-091755, A- 077587, A-090827, A-062180 ලෙසිනි.

සුරාබදු නිවේදන අංක 795 ට අනුව පොල් අරක්කු නිෂ්පාදනය කිරීම හෝ පොල් අරක්කු තොග වශයෙන් විකිණීම සඳහා වූ බලපත්‍රයට අනුව බලපත්‍රලාභියා විසින් අරක්කු හෝ රා කිසිවක් සිල්ලරට විකිණීමේ දී කිසි අයිතියක් දැරීම සහ එවැනි අයිතියක් සහිත කිසිම පුද්ගලයකු සේවයේ යොදවා ගැනීම තහනම් යනුවෙන් දක්වා ඇත. 794, 795, 796 වගන්ති මගින් ද එම කාරණා තව තවත් තහවුරු කර ඇත. මෙම සියලු‍ වගන්ති මගින් පෙන්වා දෙන්නේ මත්පැන් නිෂ්පාදනය කරන අයකුට සේවකයකු ලෙසවත් මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ඇති අයෙක් සේවකයකු ලෙස තබාගැනීමට බැරි බවය. එහෙත් ඒ කිසිදු නීතියක් ගැන නොතකා 1544/17 හා 2008-04-10 දරන සුරාබදු නිවේදන 902 හි වගන්ති ද උල්ලංඝනය කරමින් මත්පැන් විකිණීමේ බලපත්‍ර පසුගිය කාලයේ ලබා දී ඇත.

කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මත්පැන් විකිණීමේ බලපත්‍රයක් පසුගිය කාලයේ ලබා දී ඇත. එම බලපත්‍රලාභියා මත්පැන් නිෂ්පාදිත සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකි. අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයා තමන්ට හිමි මත්පැන් විකිණීමේ බලපත්‍රය ලබාගෙන තිබුණේද හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු අතිනි. මීට අමතරව තවත් සමාගමකට මත්පැන් බලපත්‍රයක් ලබා දී ඇත. එම බලපත්‍රලාභියා මත්පැන් සමාගමක කොටස් හිමිකරුවෙකි. එසේම සිය බිරිඳගේ නමින් මත්පැන් නිෂ්පාදනය කරන සමාගම ලියාපදිංචි කර ඇත. මේ ආකාරයට එම බලපත්‍ර ලබා දී ඇත්තේ සුරාබදු නිවේදන 902 හි 791, 792, 793, 794 වගන්ති උල්ලංඝනය කරමිනි.

තවද ගම්පහ දිස්ත්‍රික්කයේ එකම සමාගමකට වෙනත් නම් යොදා මත්පැන් විකිණීමේ බලපත්‍ර තුනක් ලබා දී ඇත. වත්තල, පෑලියගොඩ සහ ගම්පහට එම බලපත්‍ර ලබා දී ඇත. ඒ බලපත්‍ර දෙකක් පමණක් එක් අයකුට ලබාගත හැකි බවට ඇති වගන්තිය උල්ලංඝනය කරමිනි. එකී බලපත් ලද අය ගම්පොල ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් නීතිවිරෝධිව බද්දට ගෙන පවත්වාගෙන යන අයෙකි. කලු‍තර පිහිටි පෞද්ගලික ආයතනයකට මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබා දී තිබුණේ ඊට මීටර් 94ක දුරින් පාසලක් පිහිටා තිබෙන පසුබිමකය. එය ද ලබා දී ඇත්තේ සුරාබදු ආඥා පනතේ වගන්‍ති කඩකරමිනි. තවද රත්නපුර නගර ආසන්නයේ ප්‍රසිද්ධ ආයතනයකට මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දී ඇත. ඒ මුස්ලිම් පල්ලියක් සහ රජයේ පාසලක්, ජාත්‍යන්තර පාසලක් පිහිටි තැනක් ආසන්නයේය. මෙම බලපත්‍ර ලබාදීමට සැකසූ පිඹුරුපත් අංකය වන්නේ Tracing no 363/2024 ය.

සුරාබදු ආඥා පනතේ 19 වැනි වගන්තිය මගින් මත්පැන් බලපත්‍රයක් ලබාදීම විශේෂ වරප්‍රසාදයක් ලෙස පෙන්වා දී ඇත. එහි 19:1 වගන්තිය අනුව අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට යෝග්‍ය යැයි හැඟෙන කොන්දේසි මත හා යම් කාලයකට ඕනෑම පුද්ගලයකුට විශේෂ වරප්‍රසාද ලබා දිය හැකි බව පෙන්වා දී ඇත. 1978-10-03 සිට 1983 දක්වා ක්‍රියාත්මක වූ දයාරත්නට එරෙහිව වයි. එම්.එච්.ඩබ්ලිව්. බණ්ඩාර 924/77 නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව මෙහිදී වැදගත් වෙයි. මෙම නඩු තීන්දුව පාදක කර ගනිමින් සුබාකරන්ට එරෙහිව භාරතී නඩු තීන්දුවද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇත. ඒ CA/87-2SLR 243 සහSL/ 89 - 1- SLR 46 නඩු මගිනි. මෙම නඩුවේ තීන්දුවට ඇපෑලක් ඉදිරිපත් වී ඇති අතර එම තීන්දුව මගින් සහතික කර ඇත්තේ මත්පැන් බලපත්‍රයක් යනු දේපළ අයිතියක් කියාය.

සුරාබදු ආඥා පනතේ 19 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විශේෂ වරප්‍රසාදයක් සේ සලකා මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී රටේ මුදල් ඇමැතිවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටියේය. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අපේක්ෂකයා විශේෂ වරප්‍රසාදයක් සේ සලකා දේපළ වටිනාකමක් ඇති සුරාබදු බලපත්‍ර තම හිතවතුන්ට ලබාදීම මැතිවරණ සමයේ අල්ලස් ලබාදීමකි. මැතිවරණ නීතියට අනුව ද එය පෙන්වා දී ඇත. පසුගිය ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයකු මැතිවරණ කටයුත්තකින් පසුව පැමිණ සිටි පිරිසට ලබාදීමට තිබූ ෆ්‍රයිඩ් රයිස් ආහාර වේල ද මැතිවරණ කොමිසම මගින් නතර කළේ එම ආහාර වේල පැමිණි සිටි පිරිසට ලබාදෙන අල්ලසක් නිසාය. මැතිවරණ සමයේ දී මැතිවරණ නීතියට අනුව කෑම වේලක්වත් ලබාදීමට නොහැකි නම් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි මුදල් අමාත්‍යවරයා විශේෂ වරප්‍රසාදයක් ලෙස හඳුන්වන දේපළ අයිතියක් යැයි අධිකරණය පවා තහවුරු කර ඇති සුරාබදු බලපත්‍ර ලබාදීම මැතිවරණ නීතියට අනුකූල නැත. මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද ලැබී තිබුණි. ඒ අනුව මැතිවරණ සමයේ දේපළ වටිනාකමක් ඇති මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීම අල්ලසක් සේ සලකා වහාම මත්පැන් බලපත්‍ර ලබාදීම නතර කරන ලෙස මැතිවරණ කොමිසම සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබුණි.

2023 වසරේ සිටම ජනාධිපති මැතිවරණය ඉලක්ක කර ගනිමින් මත්පැන් බලපත්‍ර ලබාදීමක් සිදුවුණි. මත්පැන් බලපත්‍ර ලබාගැනීමට දේශපාලනයෙන් තොර සුදුසුකම් ලැබූ තිදෙනෙක් ද එම කාලයේ බලපත්‍ර සඳහා අයදුම් කර තිබුණි. එහෙත් තමන්ට සුදුසුකම් තිබුණත් බලපත්‍ර ලබා නොදී දේශපාලන හිතවතුන්ට බලපත්‍ර ලබාදුන් බව පවසමින් එම තිදෙනා මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ. එම නඩු අංකය වන්නේ SCFR 131/2023 131/2023 යි.

 1979 -12-01 නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සුරාබදු නිවේදන 666 හි පස්වැනි කොන්දේසියේ V වැනි උප වගන්තිය ප්‍රකාරව 2024-8-13 දින සංශෝධනය කිරීමක් කර තිබුණි. එම V වැනි වගන්තියෙන් පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 18 අඩු කවරකුට වුවත් මත්පැන් විකිණීම ලබාදීම නොකළ යුතු බවකි. තව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් යම් කාර්යයක් සඳහා අනුමත කරන ලද බලපත්‍ර ස්ථානවල වයසින් අවුරුදු 18ට වැඩි ගැහැනු පමණක් හෝටල් සේවිකාවන් ලෙස සේවයේ යෙදීමට හැකි බව පෙන්වා දෙයි. එනම් එවැනි රැකියා සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අභිමතය පරිදි ඉඩ දිය හැකි යැයි දක්වා ඇත. එසේම සුරාබදු නිවේදන 666 හිම 11 වැනි කොන්දේසියේ පැහැදිලිව මත්පැන් විකිණිය යුතු පිරිස් පෙන්වා දී ඇත. වයස අවුරුදු 21 අඩු අයකුට හෝ සිහිවිකල වූ අයකුට හෝ මත් වී සිටින අයකුට හෝ මත් වී ඇතැයි සිතිය හැකි අයකුට හෝ මත්පැන් විකිණීම හෝ දීම නොකළ යුතු බව දක්වා ඇත. මෙම වගන්තිය 2024/04 ගැසට් පත්‍රය හරහා සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. එහෙත් එම සංශෝධනයේ දී 11 වැනි වගන්තියේ ‘‘ඈ’’ වගන්තියේ සඳහන් මොනම අයුරකින්වත් වයස අවුරුදු 21 කට අඩු හෝ සිහි විකල් වූ අයකුට හෝ මත් වී සිටින අයකුට මත්පැන් විකිණීම හෝ දීම නොකළ යුතුයි කියන කොටස ඉවත් කර ඇත. එහෙත් මෙම සංශෝධන ගැසට් පත්‍රය 2024 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතත් එය සම්මත වී නැත. එසේ නම් තවමත් බලාත්මක වන්නේ පරණ නීතියමය. එනම් සුරාබදු නිවේදන 666 හි 11 වැනි වගන්තියයි.

එසේම 2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ 31 වැනි වගන්තියට අනුව මෙම වෙනස් කිරීම කළ හැකිද යන්න ගැටලු‍වකි. එම වගන්තියේ (1) හි සඳහන් වන්නේ යම් තැනැත්තකු විසින් අවුරුදු 21ට අඩු තැනැත්තන්ට දුම්කොළ නිෂ්පාදන හෝ මද්‍යසාර අලෙවි කිරීම, අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ඒවා අලෙවි කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවය. එම පනතේ (ii) උපවගන්තියට අනුව කියැවෙන්නේ මෙම විධිවිධාන උල්ලංඝනය කරන යම් තැනැත්තකු මෙම පනත යටතේ වරදකරුවකු වන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වන ලද ලඝු නඩු විභාගයෙන් වරදකරු කරනු ලබන විට රුපියල් 4000කට නොවැඩි දඩයකට හෝ අවුරුදු 1කට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම හෝ යටත් වන බව පෙන්වා දී ඇත. දුම්කොළ සහ මද්‍යසාර පනත ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ පොලිසියට, සුරාබදු නිලධාරීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටය.

එසේ නම් සුරාබදු දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු රාජ්‍ය ඇමැතිවරයකුගේ වයස අවුරුදු 19ක් වයසැති දරුවාගේ නමට අංක A073857 මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රයක් 2024-09-12 දින නිකුත් කළේ 2024-9-11 සිට 2024-12-31 දක්වා බල පැවැත්වෙන පරිදිය. වයස අවුරුදු 21 අඩු අයට මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කිරීමට බැරි බව දුම්කොළ සහ මද්‍යසාර පනතේ 31 වැනි වගන්තියේ පැහැදිලිව දක්වා තිබියදී එම පනත ද උල්ලංඝනය කරමින් මෙම බලපත්‍රය නිකුත් කොට ඇත. එසේම සුරාබදු නිවේදන 666 හි 11 වැනි වගන්තිය සංශෝධනය කළ ද එය පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් පත්‍රයක් ලෙස එළිදක්වා නැති පසුබිමක තවමත් වලංගු වන්නේ පැවති ගැසට්ටුවේ වගන්තිමය.

තවද මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ නියෝජ්‍ය ඇමැතිවරයකු මැදිහත්ව නුගවල ප්‍රදේශයට ලබාගත් මත්පැන් විකිණීමේ බලපත්‍රයට එම ප්‍රදේශයේ මත්පැන් විකිණීමේ ස්ථානයක් ආරම්භ කොට ඇත. එම බලපත්‍රය මිලදීගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ බිත්තර වෙළෙඳාමේ යෙදෙන අයෙකි. ඔහු අදාළ නියෝජ්‍ය අැමැතිවරයාගේ ලේකම්වරයකු ලෙස පෙනී සිටි අයෙකි. එසේම දෙමළ සන්ධානය නියෝජනය කරන උතුරේ හිටපු නායකයකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මැදිහත්ව එම ප්‍රදේශයේ කාන්තාවකට මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබාගෙන ඇත. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමැතිවරයකුට හිතවත් සුරාබදු දෙපාර්තමේන්තුවේම සේවය කරන අයකු සිය බිරිඳගේ නමට මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබාගෙන ඇත. එම බලපත්‍රය මිනුවන්ගොඩ ප්‍රදේශයේ අයකුට රුපියල් කෝටි 10කට විකිණා ඇති බවද දැනගන්නට ඇත.

 මේ සියලු‍ බලපත්‍ර ලබ දී ඇත්තේ ජනාධිපතිවරණ ඡන්දය ඉලක්ක කර ගනිමිනි. 2023 සිට සුරාබදු ආඥා පනතේ වගන්ති හා නීති උල්ලංඝනය කරමිනි. එසේ නම් මෙම බලපත්‍ර ලබාගෙන අසීමිත වරප්‍රසාදයක් සහ දේපළක් හිමිකර ගත් අය ගැන සොයා බැලීම අලු‍තෙන් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ වගකීමකි.

2024 වසරේදී ලබා දී ඇති සුරාබදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 232කි. එම ඉලක්ක සපුරා ගැනීමේදී මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය කුමක් ද යන්න මේ වන විට විවේචනයට භාජන වී ඇත. මෙය විශේෂ වරප්‍රසාදයක් නම් ලංකාවේ ඕනෑම කෙනකුට මත්පැන් විකිණීමේ බලපත්‍ර සඳහා ඉල්ලු‍ම් කළ හැකිය. මේ තෝරා ගැනීමේ පදනම විනිවිද නැතැයි කියමින් තිදෙනෙක් මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. එහෙයින් මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දුන් ක්‍රමවේද ගැන ප්‍රශ්නකාරී තත්වයක් උදා වී ඇත.

 මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීමෙන් රුපියල් බිලියන 2.5ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව කියා තිබුණද මේ වන විට රුපියල් බිලියන 50ක ආදායමක් රටට අහිමි කළ බව පවසමින් සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව මත්පැන් බලපත්‍රලාභීන් පැවරූ නඩුවක් අභියාචනාකරණයේ දී අංක 4/2019 යටතේ ක්‍රියාත්මක වෙයි.

 

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර නෑ

මේ ගැන අප අලු‍තින් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමට 0112045033 අංකයට ඇමතුමක් ගත් විට දුරකතන ක්‍රියාකරු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම්වරිය සම්බන්ධ කළේය. ඇය පැවසුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රැස්වීමක කියාය. ඒ අනුව අපට ඇය සුරාබදු කොමසාරිස් (නීති) සී.ජේ.එස්. වීරක්කොඩි මහතා සම්බන්ධ කර ගන්නා ලෙස උපදෙස් දුන්නාය. ඒ සඳහා දුරකතන අංක 0112 045033 ඇමතුම් ගන්නා ලෙස කීවාය. ඒ අනුව 14:19, 14:23, 14:25, 14:37, 14:45 , 15.35 යන අවස්ථා කීපයක දී එම දුරකතන අංකයට ඇමතුවද ප්‍රතිචාර ලැබුණේ නැත. දුරකතනයට ප්‍රතිචාර නොදැක්වුවද අලු‍තෙන් පත් වූ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාම මේ සඳහා පිළිතුරු දීමේ අයිතිය තවමත් විවෘත පවතියි. එසේම ඔහු මේ සියලු‍ කරණා සොයා බලා රටට සත්‍ය හෙළි කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 

(***)
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
- සුධාරිකා ගුරුසිංහ



අදහස් (1)

නීතිය නමලා මත්පැන් බලපත් දුන්නේ මෙහෙමයි

de silva Friday, 25 October 2024 06:12 PM

මේක ඉතා වැදගත් ලිපියක්... මේක මම ඉතා පරිස්සමෙන් කියවා බැලුවා.., මේකේ තිබෙන කරුණු වලින් 95%ක් පමණ මගේ දැනීමේ හැටියට සම්පුර්ණයෙන් සත්‍යයයි, ඔය දෙපාර්තමේන්තුවේ යට ඉඳල උඩටම ඉන්නේ හොරු.., ඔය අලුතෙන් පත්වෙච්චි මනුස්සයත් කලින් සේවය කලේ ඔය දෙපාර්තමේන්තුවේ නම්, ඔහුත් වැටෙන්නේ එම ගොඩටම තමයි... ඔහු ටෙලිෆෝන් එකට උත්තර දෙන්නේ නැති එක විමතියට කාරණයක් නොවේ.. ඔහුගෙන් විස්තර අහන එක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාස්කු දා වාර්තාවලින් පස්සේ?
2024 ඔක්තෝබර් මස 26 118 0

වසර පහකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ එම වසරේ පාස්කු ඉරිදා දිනයේ දී මුස්ලිම් ත්‍රස්තවාදීන් පිරිසක් ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කොට එල්ල කළ මරාගෙන


බෝම්බ බිය පැතිරුණු අරුගම්බෙ
2024 ඔක්තෝබර් මස 25 524 2

ලෝකය මැවීමට අල්ලා දෙවියන්ට දින හයක කාලයක් ගත වූ බවත් ලෝකය මවා අවසන් වීමෙන් පසු හත්වැනි දිනයේ අල්ලා දෙවියන් නිවාඩු ලබාගත් බවත් යුදෙව් ජාතිකයෝ විශ්වාස ක


සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වා
2024 ඔක්තෝබර් මස 25 164 0

සංගීත විශාරද පී. ඩන්ස්ටන් ද සිල්වාගේ 36වැනි ගුණානුස්මරණය මේ මස 27 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


දේශපාලන ආර්ථික අභියෝග
2024 ඔක්තෝබර් මස 25 99 0

ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජ


නීතිය නමලා මත්පැන් බලපත් දුන්නේ මෙහෙමයි
2024 ඔක්තෝබර් මස 24 685 1

මෙරට සුරාබදු බලපත්‍ර ලබාදීමට නියම කර ඇත්තේ සුරාබදු නීති මාර්ගෝපදේශ හා නීති රෙගුලාසි සඳහන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැස


ශ්‍රී ලංකාව දුප්පත් රටක්ද?
2024 ඔක්තෝබර් මස 24 271 0

ලංකාවේ දුප්පත්කම පිළිබඳ ගැටලු‍ව දකුණු ආසියාවේ වෙනත් රටවල් හා සසඳමින් විවිධ මත හා සංවාද ඉදිරිපත් කරන්නට බොහෝ දෙනා මෑත කාලයේ උනන්දු වූ බව පෙනේ. එහෙත් සං


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 582 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site