මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්වයකි.
2005 නොවැම්බර් 17 වැනිදා පළමු වරට ජනාධිපතිවරණයෙන් ජයගත් මහින්ද රාජපක්ෂ මහතා එම වසරේම දෙසැම්බර් 27 වැනිදා සිය පළමු විදේශ සංචාරය වශයෙන් නව දිල්ලියට ගියේය. 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා එම වසරේම පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය.
බලයට පත් වී කෙටිම කාලයකින් (දින 13කින්) එවැනි සංචාරයක් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. 2019 නොවැම්බර් 16 වැනිදා මැතිවරණයෙන් ජය ගත් ඔහු එම මාසයේ 29 වැනිදා ඉන්දියාවට ගියේය. ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා බලයට පත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පමණක් තරමක් ප්‍රමාද වී (මාස තුනකට පමණ පසු) ඉකුත් ඉරිදා සිය පළමු විදේශ සංචාරය ලෙස ඉන්දියාවට ගියේය.
මැතිවරණයෙන් ජයගෙන දින දෙකකින් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම නිසා මෙම ප්‍රමාදය වුවා විය හැකිය.
මේ සියලු සංචාර සිදු වූයේ වෙනත් රටවල නායකයන්ට වඩා ඉක්මන් වී ඉන්දියාවේ නායකයන් මෙම ජනාධිපතිවරුන්ට එරටට පැමිණෙන ලෙස කළ ආරාධනා අනුවය. මෙරට ජනාධිපතිවරුද එම ආරාධනය පිළිගෙන ඉන්දියාවේ සංචාරය කිරීමට ඉක්මන් වී ඇති බව පෙනේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිව්රුම් දුන්නේ 2019 නොවැම්බර් 18 වැනිදාය. පසුදාම ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිෂංකර් මෙරටට පැමිණ ඉන්දියාවට පැමිණෙන ලෙස රාජපක්ෂ මහතාට ආරාධනා කළේය. රාජපක්ෂ මහතා ද ජනාධිපති ධුරයේ වැඩ භාරගෙන දින 11කින් ඉන්දියාවේ සංචාරයක නිරත විය.
ඉන්දියාවට ශ්‍රී ලංකාවත් ශ්‍රී ලංකාවට ඉන්දියාවත් කොතරම් වැදගත් ද යන්න මෙම සිදුවීම්වලින් පෙනේ. ඉන්දියානු සාගර කලාපයේ බලය සඳහා ඉන්දියාව හා චීනය අතර ඇති තරගයත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ චිනයේ බලපෑමත් සලකා බලන කල ඉන්දියාවට ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පැවැත්වීම ආර්ථික වශයෙන් වැදගත් වීමට වඩා උපායික වශයෙන් වැදගත්ය.
ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ ඇති සබඳතාව ආර්ථික හා උපායික යන දෙආකාරයෙන්ම වැදගත්ය. ශ්‍රී ලංකාව තවමත් විශාල ආර්ථික අර්බුදයක ගිලී සිටි. මෙම අර්බුදයේ උච්චතම අවස්ථාව වූ 2022 දී මෙරටට වැඩිම සහයෝගයක් දුන්නේ ඉන්දියාවයි. අනෙක් අතට අසූ ගණන්වල දී කලාපයේ ඉන්දියාවේ බලයට විශාලතම අභියෝගය වූ ඇමෙරිකාවට පක්ෂ පාති වී ශ්‍රී ලංකාව කරගත් වින්නැහිය මෙරට පාලකයන් කිසිදා අමතක නොකරනු ඇත. ඉන්දියාව මෙරටට ආර්ථික හා උපායික වශයෙන් වැදගත් වන්නේ ඒ අනුවය.
ඉන්දියාව මෙරටට උපායික වශයෙන් බලපෑම් කරන්නට අසූ ගණන්වල සිටම යොදාගත් ප්‍රධානතම මෙවලම මෙරට ජනවාර්ගික ප්‍රශ්නයයි. කෙසේ වෙතත් ඉන්දියාව ඒ කාලයේ එම මෙවලම යොදා ගත් ආකාරයත් දැන් එය යොදා ගන්නා ආකාරයත් විශාල වශයෙන් වෙනස්ය.
එදා කොටි සංවිධානය ඇතුළු දෙමළ සන්නද්ධ සංවිධාන ගණනාවක් පොලිසියට හා ආරක්ෂක හමුදාවලට පහර දෙමින් රාජ්‍ය දේපළ විනාශ කරද්දී ආරක්ෂක අංශ එම බෙදුම්වාදී කැරැල්ල මර්දනය කරන්නට පියවර ගත් විට එමගින් උතුරේ දෙමළ ජනතාව පීඩනයට පත්වන බවටත් ඔවුන් ආහාර හිඟයෙන් පෙළෙන බවටත් චෝදනා කරමින් ඉන්දියාව මෙරට රජයේ අනුමැතියකින් තොරව එම ජනතාවට ආහාර බෙදා දීමට උත්සාහ කළේය.
මුලින් 1987 ජූනි 3 වැනිදා නාවික යාත්‍රා 19ක් මුර යාත්‍රා දෙකක් සමග යාපනයට ආහාර රැගෙන කච්චතිව් දක්වා පැමිණියේය. මෙරට නාවික හමුදාව ඔවුන්ගේ මග හරස් කොට ඒකට මෙරට මුහුදු සීමාවට ඇතුළු වන්නට ඉඩ දිය නොහැකි බව දැන්වීය. එම ඉන්දීය යාත්‍රා ඒ අනුව ආපසු හැරී ගියේය. එහෙත් පසුදින කිසිදු දැනුම් දීමකින් තොරව මිරාජ් ජෙට් යානා දෙකක ආරක්ෂාව යටතේ ඉන්දීය ගුවන් යානා පහක් යාපනයේ ගුවනට බලහත්කාරයෙන් ඇතුළු වී යාපනය අර්ධද්වීපයේ ඇතැම් තැන්වලට සහල්, පරිප්පු වැනි භාණ්ඩ ඇතුළත් ආහාර පොදි හෙළා ආපසු පියාසර කළේය. එය මෙරට බොහෝ දෙනා හඳුන්වන්නේ ඉන්දියාව යාපනයට පරිප්පු දැමීම යනුවෙන් උපහාසාත්මකවය.
1987 ජුලි මාසයේ දී ඉන්දු- ලංකා ගිවිසුමට එකඟ වන්නට ශ්‍රී ලංකාවට සිදු වූයේ ඉන්දියාව මෙම බලහත්කාරය මඟින් කළ අනතුරු ඇඟවීම අනුවය. ඊට පෙරම මෙරට බලය බෙදිමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාව එවක පැවති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට බලපෑම් කරමින් සිටියේය. ඒ සඳහා එරට ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වූ ගෝපාලස්වාමි පාර්තසාරදී හා රොමේෂ් බණ්ඩාරි යන නිලධාරීහු විටින් විට කොළඹට පැමිණියහ.
මේ සඳහා ඉන්දියාවට එකල හේතු දෙකක් තිබිණි. 1983 මෙරට දෙමළ විරෝධී ප්‍රහාර හේතුවෙන් තමිල්නාඩුවේ ඇති වූ නොසන්සුන්තා සමහන් කිරීමට ඉන්දියාවට අවශ්‍ය විය. අනෙක් අතට එකල ඉන්දියාව සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරට පක්ෂව සිටි අතර ජයවර්ධන මහතා දැඩි ලෙස ඇමෙරිකානු හිතවාදියෙක් විය.
ඉන්දියාවට දෙපසින් පාකිස්තානයේ හා බංග්ලාදේශයේ ඇමරිකානු හිතවාදී හමුදා පාලනයන් පවතිද්දී දකුණින් ද තවත් ඇමරිකානු හිතවාදී රටක් පැවතීම තම ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දීය බලධාරීහු සැලකූහ. ඒ අනුව එම සතුරු වළල්ලේ දුර්වලම පුරුකට පහර දීමට ඉන්දියාව ඉදිරිපත් විය. ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ මෙරට ජනවාර්ගික ප්‍රශ්නයයි.
එහෙත් මේ වනවිට ලෝක දේශපාලනයේ බලතුලනය විශාල වශයෙන් වෙනස් වී ඇති අතර ඊට අනුරූපව මෙරට ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය ද බොහෝ දුරට වෙනස් වී ඇත. ඒ බව ඉතාමත් හොඳින් පෙනෙන්නේ මේ සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ කළ සංචාරයේ දී ඉන්දීය නායකයන් දැක් වූ අදහස්වලිනි.
එදා ශ්‍රී ලංකාවේ දේශපාලනය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබිණි. මේ වන විට කලාපය තුළ ඉන්දියාවේ තත්වය ශක්තිමත්ය. චීනය සමග වන ඉන්දියාවේ ප්‍රශ්නවලදී අද ඇමරිකාව සිටින්නේ ඉන්දියාව සමඟය. ශ්‍රී ලංකාව වැනි රටවලට චීනය යම් බලපෑමක් කරන නමුත් එය කලාපයේ ඉන්දියාවේ ආධිපත්‍යයට තර්ජනයක් වන තරමට නැත. එහෙයින් ශ්‍රී ලංකාව මේච්චල් කිරීමට මෙරට ජනවාර්ගික ප්‍රශ්නය යොදා ගත යුතු නැත. මෙරට ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය වෙනස් වී ඇත්තේ ඒ අනුවය.
1980 ගණන්වල සිට ඉන්දියාවේ නායකයන් මෙරට ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශවලින් දියාරුම ප්‍රකාශය නිකුත් වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදීය. එම සංචාරය අවසානයේදී නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශයේ ජනවාර්ගික ප්‍රශ්නය ගැන කිසිවක් සඳහන් වී නැත. ජනාධිපතිවරයා එරට විදේශ ඇමැති ආචාර්ය ජයිෂංකර් හා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදීද එම ප්‍රශ්නය මතු වූයේම නැත.
එම ප්‍රශ්නය ගැන යම් සඳහනක් වූයේ නම් ඒ දිසානායක මහතාගේ සංචාරය අවසානයේ දී දෙරට නායකයන් දෙදෙනා අදහස් දැක්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ කතාවේදී පමණි. එයද මීට පෙර කිසිදා නොවූ අයුරින් ඉතාමත් දියාරු ආකාරයෙන් කළ සඳහනකි. දෙරට අතර නායකයන්ගේ හමුවල දී සෑම විටම ඉස්මතු වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ගැන ද මෝදි සඳහන් කළේ සෘජුව නොව වක්‍රාකාරයෙනි.
දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ඉටු කිරීම සඳහා වූ ශ්‍රී ලංකා රජයේ කැපවීම ඉටු කිරීමටත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමටත් ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව එහිදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම යන්නෙන් මෝදි අදහස් කරන්නේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම බව පැහැදිලිය.
13 වැනි සංශෝධනය සම්මත කරනු ලැබුදා සිට පැවැති හමුවීම් කෙසේ වෙතත් ආරක්ෂක හමුදා හා කොටි සංවිධානය අතර වූ යුද්ධය අවසාන වූදා පටන් දෙරට අතර නායකයන් හමු වූ සෑම අවස්ථාවකදීම එම සංශෝධනය පූර්ණ වශයෙන් කියාත්මක කිරීම නිශ්චිතවම සඳහන් කෙරිණි. එය නිශ්චිතවම සඳහන් නොවූ මුල්ම අවස්ථාව දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයයි.
මෙය වසර ගණනාවක සිට ගොඩ නැඟී ගෙන එන තත්වයකි. ඉන්දු- ගිවිසුම අනුව මෙරට උතුරු හා නැඟෙනහිර පළාත් පරිපාලනමය වශයෙන් ඒකාබද්ධ කෙරිණි. 2006 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව එම පළාත් වෙන් කෙරිණි. එම පළාත් ගිවිසුම අනුව යළි ඒකාබද්ධ කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන ලෙස ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා 2017 දී එවක ඉන්දියාවේ විදේශ ලේකම් වූ ආචාර්ය ජයිෂංකර්ගෙන් ඉල්ලා සිටියේය. ඊට ජයිෂංකර්ගේ පිළිතුරු වූයේ 1987 සිට බොහෝ දෑ සිදුව ඇති හෙයින් දෙමළ නායකයන් අලුත් තත්වය අනුව කටයුතු කළ යුතු බවය. මෙය ඉන්දියාව රාජ්‍යතන්ත්‍රික භෂාවෙන් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම අත්හැර දමා ඇති ආකාරයයි.
දැන් ඉන්දියාව පළමු වතාවට 13 වැනි සංශෝධනය ද ක්‍රමයෙන් වැදගත් කමින් පහතට ඇද දමා ඇති බව පෙනේ. මේ තත්ත්වය යටතේ මෙරට දෙමළ නායකයන්ට තම දේශපාලන ඉල්ලීම් සම්බන්ධයෙන් යළි සිතන්නට සිදුව තිබේ.
ඔවුන් මෙතෙක් සිතාගෙන සිටියේ තම දේශපාලන ඉල්ලීම්වලදී ඉන්දියාව තමන් සමඟ සිටිනු ඇති බවයි. එම තත්වය වේගයෙන් වෙනස් වෙමින් තිබේ. ඒ අතර උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව ද දෙමළ දේශපාලනඥයන්ගේ දේශපාලන සටන් පාඨවලින් ක්‍රමයෙන් ඈත්වන ලක්ෂණ ද පෙනෙන්නට තිබේ. පසුගිය මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එම ජනතාව ජාතික ජන බලවේගයට දුන් පෙර නොවූ විරූ සහයෝගයෙන් පෙනෙන්නේ එයයි. මෙය පළාත් ඒකාබද්ධ කිරීම, ෆෙඩරල් ක්‍රමය, ස්වයං තීරණ අයිතිය වැනි දෙමළ දේශපාලනඥයන්ගේ සටන් පාඨවල අනාගතය පිළිබඳව ද ප්‍රශ්නයක් මතු කරයි.
කෙසේ වෙතත් ඉන්දියාව මෙරට ජනවාර්ගික ප්‍රශ්නය මුළුමනින්ම තම න්‍යාය පත්‍රයෙන් ඉවත් කර දමනු ඇතැයි සිතන්නට කිසිවකු ඉක්මන් විය යුතු නැත. ශ්‍රී ලංකාව තුළ තම ආර්ථික ඵල ප්‍රයෝජන ආරක්ෂා කර ගැනීමේ දී හා ශක්තිමත් කර ගැනීමේ දී ශ්‍රී ලංකා බලධාරින් ‘‘ඕනෑවට වඩා දැඟලුවොත්’’ පාවිච්චි කිරීම සඳහා ඔවුන් එය පැත්තකින් තබා ගනු ඇත. එසේම එය විටින් විට ප්‍රබල අයුරින් නොවුවත් ප්‍රදර්ශනයද කරනු ඇත.
(*** එම්.එස්.එම්.අයුබ්)
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්‍රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
නොකැඩෙන ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා