IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පුංචි ආණ්ඩු නූල් බෝලේ

මහනුවර, දිගන ප්‍රදේශයේ පැවැති නොසන්සුන්කාරී වාතාවරණය මේ වනවිට නිමාවට පත්වී තිබේ. මතුපිටින් පැවැති ගැටුම නිමාවුවද ජාතීන් අතර පවතින සිත් තැවුල පහව ගොස් ඇතැයි සිතිය නොහැක. ඒ තරමටම විනාශය බරපතළ ය. ආණ්ඩුවට මෑත කාලයේ දී මුහුණදීමට සිදුවූ ප්‍රබලතම ප්‍රශ්නය දිගන සිද්ධිය බවත් එය පුංචි ඡන්දයේ ප්‍රතිඵලයට වඩා ආණ්ඩු විරෝධී බවත් දේශපාලන විචාරකයෝ නිර්වචනය කරති.

කෙසේ වෙතත් ප්‍රමාදවී හෝ ආණ්ඩුව යම් යම් පියවර ගනිමින් තත්ත්වය පාලනය කළද එහි කොන් තවමත් තැන් තැන්වල ඉතිරිව තිබේ. මේ අතර මුහුණුපොත හෙවත් ෆේස්බුක් තහනම ද මේ වනවිට ඉවත්කර තිබේ. කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කළේ ෆේස් බුක් සඳහා ඉදිරියේදී අනිවාර්යයෙන්ම යම් යම් සීමා පැනවීමට රජය තීන්දු කර තිබෙන බවය. ඒ අනුව මින් ඉදිරියට ආණ්ඩු විරෝධී, සමාජ විරෝධී හෝ ජාතීන් අතර වෛරය, ආගම් හෙළා දැකීම් ආදී ප්‍රකාශ හා අදහස් සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ ප්‍රකාශ කිරීමට ඉඩක් නොලැබෙනු ඇතැයිද පැවසේ.

තේ සහ අනෙකුත් බෝග සඳහා වල් නාශකයක් ලෙස භාවිත කරන ග්ලයිෆොසේට් තහනම්කර මේ වනවිට වසර දෙකකටත් වැඩිය. ආණ්ඩුව ග්ලයිෆොසේට් තහනම පැනවූයේ හුදෙක්ම දේශපාලන කරුණු කාරණා මතය. රසායනික පොහොර භාවිතය හා රජරට ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව යහපාලන ආණ්ඩුව මුලසිටම උනන්දුවක් දැක්වීය. මැතිවරණ වේදිකාවේද ඒ පිළිබඳව නොයෙක් වර අදහස් පළ කෙරිණ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවටත් ජානාධිපතිවරයාටත් බලපෑම් කරනු ලැබුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි. උන්වහන්සේ දිගින් දිගටම ග්ලයිෆොසේට් තහනම වෙනුවෙන් පෙනී සිටියහ. එහෙත් වසර දෙකකට පමණ පසුව ආණ්ඩු තැබූ එම පියවර ආපස්සට ගැනීමට තීරණයක් ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින් පත්කළ ජාතික ආර්ථික සභාව මෑතකදී තීරණයක් ගෙන ආණ්ඩුවට යෝජනා කර තිබෙන්නේ ග්ලයිෆොසේට් තහනම වහාම ඉවත් කරන ලෙසය. ඒ සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියෝ බොහෝ කණස්සල්ලට පත්ව සිටිති. “මේ ආණ්ඩුව කළෙත් එකම එක හොඳ දෙයයි. ඒකත් හෙට අනිද්දා වෙනස් කරන්නයි යන්නේ. මම හිතන්නේ මේවාට උපදෙස් දෙන්නේ ආර්ථික විශේෂඥයන්ද නැත්නම් වෙන කවුරුවත්ද කියලා දන්නේ නැහැ” යැයි රතන හිමියෝ පවසති. ග්ලයිෆොසේට් තහනම ඉවත් කර ගැනීම සඳහා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායකද මහත් උනන්දුවක් දක්වයි. ඇමැතිවරයා සඳහන් කරනුයේ “කෘෂිකර්ම අමාත්‍යංශයට හතර වටින්ම පැමිණිලි ගලා එනවා. මේක කිසිම පදනමක් නැති දෙයක්. ග්ලයිෆොසේට් වල්නාශකය 

අහිතකර බවට කිසිම විද්‍යාත්මක ඔප්පු කිරීමක් නැහැ. වෙනත් රටවල මෙය භාවිත කරනවා” යැයි දුමින්ද දිසානායක කියන විට ඊට අනුබල දෙමින් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකද තවත් කතාවක් කියන්නේය “තේ වගාවට මේකෙන් විශාල පාඩුවක් වුණා. මේ නිසා අපට ජාත්‍යන්තර වෙළෙඳපළ සමඟ තරග කරන්න අමාරු විය හැකියි. වෙනත් රටවල ග්ලයිෆොසේට් භාවිතා කරනවා” යැයි නවීන් දිසානායක කියන්නේය. කෙසේ වෙතත් ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ඉතාම ඉක්මනින් මෙම තහනම ඉවත් කෙරෙනු ඇති බවය. එහෙත් ඒ නිසාම ආණ්ඩුව ඇතුළේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ග්ලයිෆොසේට් වෙනුවෙන් දෙපිළක් බෙදී සිටින බවය.


ගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමේ විපක්ෂයේ අදහස අතහැර දමා නැත. ඉකුත් දින කිහිපයේදීම ඒකාබද්ධ විපක්ෂය අත්සන් එකතු කිරීමේ නිරතව සිටි අතර අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කතානායකවරයාට භාරදෙනු ඇතැයි දැන ගන්නට තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් නොකරන බවය. ප්‍රසිද්ධියේ ඡන්ද විමසීමක් නොතබා රහස් ඡන්ද විමසීමක් සිදුකළහොත් පමණක් එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාසභංගයට සහායදීමට පොරොන්දුවී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අතුරලියේ රතන හිමියන් සහ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චතුර සේනාරත්න ප්‍රසිද්ධියේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කරන බවත් දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද පැවසේ. කෙසේ වෙතත් එජාපය දැනටමත් සැලසුම්කර ඇත්තේ අවශ්‍ය වුවහොත් අගමැතිවරයාගේ සහායට දෙමළ ජාතික සන්ධානය හා සුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් කර සිටින බවය. ඒ අනුව ඉතාම ඉක්මනින් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට එක්වනු ඇතැයිද පැවසේ. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට එවැනි යෝජනාවක් ඇතුළත්වූ පසුව කතානායකවරයාගේ සහ පක්ෂ නායකවරයාගේ එකඟතාවයක් මත විවාදයකට හා ඡන්දය විමසීමකට පත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. 

මේ අතර අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් සන්ධානයේද ආශිර්වාදය ලැබෙන බවට ප්‍රතිඥා ලැබී ඇති අතර එයට සහාය නොදක්වන්නේ මන්ත්‍රීවරුන් හතර දෙනකු බවද ඔවුන් මැතිවරණයෙන් පරාජය වී නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කෙරුණු අය බවද කියැවෙයි.

මේ අතර පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස සඳහන් කරමින් තවත් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ. එම යෝජනාව ද ඒකාබද්ධ විපක්ෂය ගෙන එනු ඇතැයි දැනටමත් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ආණ්ඩුවට අභියෝගයක් කළේය. ඔහු කීවේ ආණ්ඩුව මහබැංකු මංකොල්ලය සෙවීම නතර කර ඒ වෙනුවට ෆේස්බුක් ගිණුම් හොයමින් සිටින බවය. “වර්තමාන ආණ්ඩුව මහ බැංකුව කොල්ලකාපු අර්ජුන මහේන්ද්‍රන්ගේ බැංකු ගිණුම් හොයන එක නවත්තල රටේ තරුණ තරුණියන්ගේ ෆේස්බුක් ගිණුම් සොයන්න පටන්ගෙන ඇති බවය. ලොකුම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතු පුද්ගලයින් රටින් පැනලා ගිහිල්ලා. ඒ අය නිදැල්ලේ ඉන්නවා. ආණ්ඩුව ෆේස් බුක් යන තරුණ තරුණියන්ගේ පස්සේ යනවා” යැයි මෛත්‍රී ගුණරත්න සඳහන් කරයි. 

පළාත් පාලන මැතිවරණය පවත්වා මාස එකහමාරකට අධික කාලයක් ගත වුවද පුංචි ආණ්ඩුවල සභා ස්ථාපිත කිරීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. ඒ එම මැතිවරණ ක්‍රමයේ පවතින යම් යම් අඩුපාඩු හේතුවෙන් බව දේශපාලන විචාරකයින්ගේ අදහස්ය. පළාත් පාලන ආයතනයක කාන්තා නියෝජනය සියයට විසිපහක්ව පැවතිය යුතු බවට වන නියමය ද ඒ ආකාරයෙන් සැපිරිය නොහැකි බවට පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිසමට දන්වා ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව පළාත් පාලන ආයතන පහළොවක සභා ස්ථාපිත කොට මංගල රැස්වීම පැවැත්වීම තව දුරටත් කල් යන බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර තවත් ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය අපේක්ෂා කළද මුළු රටේම පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමට තවත් මාසයකට අධික කාලයක් ගතවනු ඇති බවය. කාන්තා නියෝජනය, සමානුපාතික ලැයිස්තුව ආදී ගැටළු රැසක් හේතුවෙන් සභා ස්ථාපිත කිරීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයිද පැවැසේ.

නව මැතිවරණ නීතියට අනුව පළාත් පාලන ආයතනයක නියෝජිතයන් අතරින් සියයට 25ක් වත් අවම තරමින් කාන්තාවන්ගෙන් සමන්විත යුතු බවට වන නියමය ඒ අයුරින්ම ක්‍රියාත්මක වීද යන්න සැක සහිත බවය. ඇතැම් දේශපාලන පක්ෂ ලේකම්වරුන් විසින් මැතිවරණ කොමිසමට එවන ලද සමානුපාතික ලැයිස්තුවේ නාමලේඛනයට අනුව කාන්තා නියෝජනයට අදාළ නීතිය ඒ අයුරින්ම පිළිගත් බවක් පෙනෙන්නට නොතිබෙන බවද දේශපාලන විචාරකයන්ගේ අදහසය. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියද සඳහන් කරනුයේ නව මැතිවරණ ක්‍රමයේ පවතින ප්‍රායෝගික ගැටලු හේතුවෙන් සියයට විසිපහේ කාන්තා නියෝජනය සාක්ෂාත් කර ගැනීමේ නොහැකියාවක් පවතින බවය. ඒ අනුව කිසියම් සංශෝධනයක් හෝ ඒ ඒ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවයක් මත කාන්තා නියෝජනය පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතු වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අදහස වී තිබේ. ආරංචි මාර්ග සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබඳව මෘදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ බවය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේදී  හිතවතුන් දුරුතු පිටින් විදේශ සංචාරවලට සහභාගී කරවා ගන්නා බවට චෝදනා පිට චෝදනා එල්ල වන්නට විය. ඉකුත් ජනාධිපතිවරණ සමයේදීත් මහා මැතිවරණ  සමයේදීත්  දේශපාලන වේදිකාවේදී එම කරුණු මුල්කර ගනිමින් මහින්ද රාජපක්‍ෂ පිළට චෝදනා කරන්න  වර්තමාන ආණ්ඩුවේ දේශපාලනඥයෝ එදා කටයුතු කළහ. “මහින්දගෙ කාලෙ වගේ මම හිතවතුන් නැදෑයන් විදේශ සංචාරවලට සහභාගී කර ගත්තේ නැහැ. රටේ  ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළේය. ඔහු බලයට පත්වූ මුල් කාලයේ තරමක් එම ප්‍රතිපත්තිය අනුගමනය කළ අතර විදේශ ගතවීමේදී වරක් ජනාධිපතිවරයා ගුවන් යානයක සුඛෝපභෝගි පන්තියේ නොවන අසුනක වාඩි වී  සංචාරයකට සහභාගි වන පුවතක් ඡායාරූපයක්ද සමඟ මාධ්‍ය වාර්තා කර තිබිණ. එහෙත් ආණ්ඩුවේ එම යහපාලන ප්‍රතිපත්තිය අනෙක් බොහෝ ප්‍රතිපත්තීන් මෙන්ම වෙනස් වන්නට විය. ජනාධිපතිවරයා ඉකුත් කාලයේ කළ විදේශ සංචාර කිහිපයකදීම  ඔහු සමඟ වැඩි පිරිසක්  ඊට සහභාගි වී සිටියහ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වනවිට ජපානයේ නිල සංචාරයකට සහභාගි වී සිටින්නේය. ජනාධිපතිවරයා සමඟ ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම, නිමල් සිරිපාල ද සිල්වා, තිලක් මාරපන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශූ මාරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුරුද්ධ පොල්ගම්පල, පියසිරි විජේනායක, සෝමවීර චන්ද්‍රසිරි සහ උලපනේ සුමංගල හිමියෝද සහභාගිවී සිටිති. 

ඒකාබද්ධ විපක්‍ෂය කල් තියාම මැයි දින රැලිය සඳහා සූදානම් වෙමින් තිබෙන බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයින් ඉකුත්දා රැස්වී තීන්දුකර ඇත්තේ මෙවර ඔවුන්ගේ මැයි රැලිය කොළඹින් පිට නගරයක පැවැත්වීමටය. ඒ අනුව

ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලිය මෙවර ගාල්ල නගරයේ පැවැත්වීමට නියමිතය. මැයි දිනය සහ වෙසක් උත්සවය ළඟ  ළඟ දිනවල යෙදීම නිසා මැයි රැලිය කොළඹින් පිටත පැවැත්වීම වඩාත් යහපත් බවද ඒකාබද්ධ විපක්‍ෂයේ  නායකයින්ගේ අදහස වී තිබේ. 

එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස්  පක්‍ෂයත් තවමත් මැයි රැලි පැවැත්වීම පිළිබඳව නිශ්චිත තීන්දුවක් ගෙන නැත.

මේ අතර ඒකාබද්ධ  විපක්‍ෂයේ මිළඟ සටන දියත් කිරීමට සූදානම් වන්නේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගෙනය. “ අපි මීළඟ පළාත් සභාවල බලය අල්ලනවා. ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් අවශ්‍යයි. දැනටමත් පළාත් සභා කීපයක් පාලනය කරන්නේ ආණ්ඩුකාරවරයා යටතේයි. ආණ්ඩුකාරවරයකු යටතේ පමණක් පළාත් සභා පාලනයක් සිදුවීම හොඳ දෙයක් නොවෙයි. යැයිද ඒකාබද්ධ විපක්‍ෂ නායකයෝ පවසති.

 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව සමානුපාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන සකස් කිරීම සති ගණනක තිස්සේ විශාල අර්බුදයක් වන තරමට දුරදිග ගොස් ඇත. එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ හා ලැයිස්තුවේ නම සඳහන් පිරිසක් ඉකුත්දා සිරිකොත මූලස්ථානයට පැමිණ විරෝධතාවක ද නිරත වූහ. 

මේ අතර නුවරඑළිය, කොත්මලේ මැතිවරණ මෙහෙයුම්  කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඇමති නවීන් qදිසානායක, කොත්මලේ ආසන සංවිධායක අශෝක හේරත්ද ඇමති නවීන්ට සහාය දැක්වීය. මෙවර මැතිවරණයේදී

ඡන්ද හාරදහසකින් කොත්මලේ ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකිවිය. ඒ අනුව සමානුපාතික ලැයිස්තුවෙන් පත්විය යුතු නියෝජිතයන්ගේ නාම ලේඛනය  සකස් කිරීමේ වගකීම ඇමති නවීන් බාරගත්තේය. ඇමැතිවරයාට යැවූ ලැයිස්තුවට අමතරව ඇමතිවරයාට නොදන්වා තවත් ලැයිස්තුවක් සකස් කර පක්‍ෂ මූලස්ථානයට යැවීමට ආසන සංවිධායක අශෝක හේරත් පියවර ගෙන තිබිණ.

එහෙත්  පක්‍ෂ  මහලේකම් කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම එක්වී ආසන සංවිධායකවරුන් ලබාදුන් ලැයිස්තුවේ සිටි අපේක්‍ෂකයන් මන්ත්‍රී ධුර සඳහා පත්කිරීමට කටයුතු කළහ. තමන්ට නොදන්වා එවැනි පත්කිරීමක් කිරීම පිළිබඳව ඇමති නවීන් තරමක් සිත් අමනාපයෙන් පසුවිය. ඔහු අගමැති රනිල් හමුවී ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළේය.
“මට කොත්මලේ ආසනයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය නිල වශයෙන් ලබාදී තිබුණා. ඒත් මගෙන් අහන්නෙවත් නැතිව ආසන සංවිධායක එවූ ලැයිස්තුව පත්කරලා” යැයි නවීන් රනිල්ට කීවේය.
“පොඞ්ඩක් ඉවසන්න. හැම පැත්තකින්ම මේ ප්‍රශ්නය එනවා. අපි විසඳුමක් දෙන්නම්” යැයි රනිල්  නවීන්ට  පොරොන්දුවක් විය.

කස්තුරි

[email protected]

 



අදහස් (0)

පුංචි ආණ්ඩු නූල් බෝලේ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 358 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 30 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 155 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 192 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 136 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 199 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site